2008-12-23

නිලන්ත පියසිරි විසින් 09:39 පැයට
4

ලෝකය වැළඳීම

පසු ගිය දිනක පුවත් අසා හීදීමේදී අපූරු දෙයක් අසන්න ලැබුනා. එනම් අපේ දැනට ලෝකයේ සිටින මිනිසුන් විසින් ඔවුන් පරිභෝජනය කළ යුතු සම්පත් ප්‍රමාණයට වඩා 60% කින් ඉක්මවා ලෝක සම්පත් පරිභෝජනය කරන බවකි. එහිදී ලෝක ජනගහනය පසුගිය වසර 50 තුලදී දෙගුණයක් වූ බවද, වසර 2035 වන විට ඇතිවන ලෝක ජනගහනයට තවත් මෙවැනි ප්‍රථිවියක සම්පත් ප්‍රමාණයක් අවැසි බවද කියැවුනි. මෙහිදී මට පැණ නැගුනු පැණයකි. එනම් ලෝක ජනගහනය පමණට වඩා 60% සම්පත් වළඳියි නම් මොවුන් කෙතරම් සුඛෝපබෝගී ජීවිත ගත කරනු ඇතිද? එහෙත් බොහෝ රටවලින් ඇසෙන්නේ නිරාහාරව මිය ගිය මිනිසුන් ගැනයි. මේ ගැන සොයා බැලීමේදී අපූරු රූප සටහනක් හමු වූවා. ඒ වසර 2005 දී ලෝක මිනිසුන් ගේ පුද්ගලික පරිභෝජනය ගැන ප්‍රස්ථාරයක්. එහි කියවෙන්නේ ලෝකයේ ජනගහනයෙන් පොහොසතුන් 20% වන මිනිස්සු ලෝකයෙන් 76.6% පරිභෝජනය කරන බවත්, ලෝක ජනගහනයෙන් 60% වන මැද පන්තියේ මිනිසුන් විසින් ලෝකයෙන් 21.9% කා දමන බවත්, ලෝක ජනගහනයෙන් 20% වන දුප්පතුන්ට පරිභෝජනය සඳහා ඉතිරිව ඇත්තේ 1.5% ප්‍රමාණයක් බවත්ය. හොඳයි දැන් පැණ නඟින පැණය තමයි එතකොට උවමනාවට වඩා 60% ලෝකයෙන් පරිභොජනය කරන්නේ නම් මේ පොහොසත් මිනිස්සු ලෝකයෙන් කොපමණ ප්‍රමාණයක් කනවා ඇතිද?

2008-12-22

නිලන්ත පියසිරි විසින් 09:43 පැයට
1

ලිනක්ස් දවස් - 2

ඉතිං මා මේ දිනවල ලිනක්ස් එක්ක බව කීවා නොවැ. ඉතිං ඔන්න හැමෝම ෆෙදෝරා 10 ගැන කියන නිසා මගේ පෙට්ටියත් ෆෙදෝරා 10 ට උත්ශ්‍රේණි (upgrade) කළා. මේ පෙට්ටියට මුලින්ම පිහිටෙව්වේ ෆෙදොරා 8, පසුව 9 ට උත්ශ්‍රේණි කළා, එය ඔන්න දැන් 10 ටත් උසස් කළා. වැඩේ නියමෙට ගියා. අන්තිමට "ඔක්කෝම හරි පෙට්ටිය නැවත් අරඹන්න (restart)" කිව්වා. ඉතිං කළා තමයි. ඇවිත් නැවතුනේ grub> කියලා. ඔන්න තාප්පේ මගේ ඇඟ උඩ. දැන් මොකද කරන්නේ, මං ඉතිං ලිනුක්ස තදයෙකුත් නොවෙයිනේ, ලඟ තිබුනු විනදෝස් පෙට්ටියකින් ගූගල් සරණ පැතුවා. උත්තර ගොඩක් තිබුනා ලෙහෙසියි කියලා හිතුන එක කළා. ඒක මෙහෙමයි.
chroot /mnt/sysimage
grub-install /dev/hda
exit
exit
ඔන්න නැවත ඇරඹුවා, හහ් ඔය එන්නේ, නමුත් අර ලස්සන GRUB එකනම් නොවෙයි. කොහොම නමුත් ඔන්න ෆෙදෝරා 10 ට ආවා. දැන් මොකක්ද දන්නවද පැණය, වැඩතල පරිසරය (Desktop Environment) ලොකුයි. තිරය සැකසුම (Display setting) 800 x 600 සහ 640 x 480 හැර වෙනත් කිසිම දෙයක් දෙන්නේ නැහැ. මට හිතෙන්නේ nVidia මොකක් හරි අවුලක්. තාම විසඳුමක් නැහැ. උදව්වක් කරන්න පින්වතෙක් ඉන්නවද?


නිලන්ත පියසිරි විසින් 08:56 පැයට
1

ලිනක්ස් දවස්

මේ දවස් ටික ගෙවීගෙන ගියේ ලිනුක්ස් පිහිටවමින් සහ නැවත නැවතත් දමමින්. කෙසේ මුත් මා මීට කලින් සටහනක කී පරිදි ම සතු වූ පරණ පිරිගණනය ට සරිලන විවෘත කේත මෙහෙයුම් සුසැටියක් ගැන ලැබුණු ප්‍රතිචාර නිසා මෙවැන්නක් සොයන කල zenwalk නම් වූ සුසැටියක් ගැන හිත ගියා. මුලින්ම මෙහි වූ zen server නැමැත්ත බාගත කළ මුත් එහි වූයේ DNS, LAMP, mail server ආදී ලෙස වූ server පමණයි. පසුව එහි වූ එහි වූ Standard Edition හෙවත් සම්මත සංස්කරණය ගෙන පිහිටෙව්වා. ඔන්න දැන් ගෙදරත් ලිනුක්ස්...... හොඳයි නොවෙද? ප්‍රසාන් හෙට්ටිආරච්චි තුමා කී පරිදිම Xfce වැඩතල පරිසරය (Desktop Environment) නම් නියමයි. ඉඳින් සතුටු නොසිතෙන්නේ ද? කෙසේ මුත් පුංචි පුංචි අඩුපාඩු කිහිපයක් තිබෙනවා. MP3 ගොනු ඇසිය හැකි වුවත්, DAT සැකසුමේ ගොනු ක්‍රියා කළ නොහැකියි. කිසිම වැරැද්දක් (Error) කියන්නෙත් නැහැ. ඒ වගේම ලාම්පුව (LAMP) නැහැ. ඒකනම් ඉතින් පසුව පිහිටුව හැකි නොවැ. කොහොමින් මුත් ඔන්න ගෙදරත් ලිනුක්ස්. මටනම් සතුටුයි.

2008-12-18

නිලන්ත පියසිරි විසින් 11:55 පැයට
4

අග විනිසුරු

දැන් දැන් රටේ හැම තීරණයක් වගේම අග විනිසුරුතුමා ගේ නොවැ. ඉඳින් අප ඡන්දෙන් අග විනිසුරුතුමෙක් පත් කරගත්තා නම් යෙහෙකි නොවෙද?

2008-12-17

නිලන්ත පියසිරි විසින් 09:12 පැයට
2

පරණ පිරිගණනයට විවෘත කේත මෙහෙයුම් සුසැටියක්?

කාර්යාලයේ පිරිගණනය නම් විවෘත කේත වලට මාරු වෙලා දැන් අවුරුදු 4 පමණ වෙනවා, ඒත් ගෙදර තියෙන පරණ පිරිගණනය තවම වින්දෝස්. ම පිය සොඳුර එහි ඇබ්බැහියෙක් නිසා තමයි ඒ දවස් වලම විවෘත කේත වලට මාරු වුනේ නැත්තේ. කොහොම නමුත් මේ පිරිගණකය p3, 550MHz, 128MB ආදී වශයෙන් බොහෝ පරණ පිරිගණකයක්. දැන් දැන් දියණියත් මේක අත පත ගාන නිසා, මුල ඉඳන්ම විවෘත කේත වලට ඇයව හුරු කරන එක හොඳයි කියලා හිතුනා. ඉතිං මේ වගේ පිරිගණනයකට දමන්න පුළුවන් වගේම එයට දරන්න පුළුවන් ලිනුක්ස් බෙදාහැරීමක් (Linux Distro) ගැන දන්නා යමෙක් හිදී ද? FreeNAS ගැනත් කනින් කොනින් ආරංචි වුනා, තවත් තිබේ නම් හොඳයි. ඒ වගේම හැම දෙයකටම අතුරුජාලය නො ඉල්ලන්නේ නම් තවත් හොඳයි.

(මොකද ගෙදර එවැනි සබඳතාවයක් ගත්තොත් ගෙදරදිත් මේ පෙට්ටියේ එල්ලිලා ඉන්නවා කියා සොඳුර ගෙන් සොඳුරු බැණුම් අහන්න වෙනවා)

2008-12-16

නිලන්ත පියසිරි විසින් 09:22 පැයට
5

ගුණාත්මක විබපළක් (web site) සැදීම

විබපළ (website) සෑදීමේ දී යොදා ගන්නා අනේක ආකාර පෙරැකුම් බස් (programming languages) සහ මුදුකාංග මෙවලම් තොගයක් වෙයි. php කියයි, asp කියයි, සමහරෙක් ajax කියයි, තවත් සමහරෙක් jquery කියයි... නමුත් අන්තිම පිටදැමීම (output) බොහෝ විට html තමයි. කොහොම නමුත් සෑම විබපළක්ම නිර්මානයේ දී දැන් නම් එක්තරා රාමු කිහිපයකට කොටු වී ඇති බැව් හැඟේ. උඩින්ම විබපළෙහි නාමය හෝ මැය, මැදින් අළුත් වන පුවත, (බෝහෝ විට) වම් පසින් යාත්‍රණය (navigation).
කෙසේ හෝ වේවා, ගුණාත්මක විබපළක විය යුතු ගුණාංග මොනවාද? මුලින්ම විබපළ කියවන්න හැකි විය යුතුය. අකුරු, පසු තලය හා එක්ව නොයා වෙන්ව පෙනිය යුතුයි නොවෙද? විබපළ නිරන්තරයෙන් අළුත් විය යුතුයි, රූප සහ අකුරු අතර පරතරයක් තැබිය යුතුයි, ලෙහෙසියෙන් යාත්‍රණය කළ හැකි විය යුතුයි. ජනප්‍රිය browser සෑම තුල වරදක් නැතිව පෙනිය යුතුයි... ආදී ලෙස බොහෝ දේ මෙයට එකතු කළ හැක.
නමුත් තිබෙන පැණ අතර මූලික වෙන්නේ විබපළෙහි මූලික නිර්මාණයයි (general design). බොහෝ දෙනා කියන්නේ 640 x 460 pixel පරිමාණයට මෙය නිමැවිය යුතු බවයි. නමුත් දැන් ඇති බොහෝ පිරිගණන තිර (computer screens) තරමක් විසල් බැවින් එවැනි පරිමාණයට තිර සකසන්නෝ විරල වෙති. කෙසේ නමුදු තිරයේ පමණ මැණ විබපළෙහි නිමැයුම සැකසීමට හැකි වේද?

2008-12-15

නිලන්ත පියසිරි විසින් 10:05 පැයට
7

මස් බුදින්නෝ

අපේ අත්තා වරෙක ජීවක සූත්‍රය ගැන කළ විවරණයක සත්ව මස් අනුභවය ගැන බුදු හාමුදුරුවෝ දෙසූ ආකාරය මතකයි. වරෙක ජීවක නම් වූ වෙද තුමා බුදු හාමුදුරුවන්ගෙන් අහනවා "බුදු හාමුදුරුවනේ, මේ මිනිස්සු කියනවා ඔබ වහන්සේ මස් මාංශ අනුභව කරනවා කියලා, එය ඇත්තක්ද?" එවිට බුදු හාමුදුරුවෝ මෙලෙස පිළිවදන් දෙති. "එසේය ජීවක, මම මස් අනුභව කරමි, එහෙත් එය අවස්ථා තුනකදී හැර, එනම් යමෙක් මට කියන්නේ නම් මේ සතෙකු ගේ මස් බව මම අනුභව නොකරමි, සතෙකු මරා මස් ගත් බව මා දුටුවේ නම් මම අනුභව නොකරමි, එසේම මේ සතෙකු ගේ මස් බවට මට සැක සිතුනේ නම් මම අනුභව නොකරමි".
මෙම ජීවක සුත්‍රය ථේරවාදී බුදු දහමේ නොමැති බවත් එය මහායාන සූත්‍රයක් බවත් අත්තා කිවූ බව මට මතකය. කෙසේ මුත් බුදු දහම වැනි දහමක් දෙසූ බුදු හාමුදුරුවෝ යම් හෙයකින් හෝ මස් බිදීම අනුමත කළැයි බිදුකුදු හෝ සැකයක් තබා ගැනීම පවා පවක් බව මගේ පුද්ගලික මතයයි.

2008-11-28

නිලන්ත පියසිරි විසින් 09:12 පැයට
5

පුරවැසිකම සහ දේසපාලනය

දේසපාලනයෙන් විමුක්තව පුරවැසියෙකුට රටක විසිය හැකිද? 10 පන්තියේදී අපට සිංහළ බස ඉගැන්වූ ලේල්ලවල ජිනරතන හාමුදුරුවෝ මේසයට බර දී මේ ගැන දේසනා කළ හැටි තවමත් මට මතකය. "හාමුදුරුවනේ ඡන්දය නොදී, මගේ පාඩුවේ සිටීම වැරදිද?" අයෙක් නැඟු පැණයකට උන්නාන්සේ අපට වෙන් වූ කාල පරාසය අවසන් වන තෙක්ම එය වැරදි බව පැහැදිලි කළෝය.
කෙසේ වෙතත් දේසපාලනය එය ක්‍රියාත්මක කරන්නන් නිසා ජරාජීරණ වී ඇති බව අපි හැමෝම දනිමු. සාමන්‍යයෙන් සියළුම මනුස්සයෝ ගෝත්‍රවාදී වෙති. ජාතිවාදි වෙන්න එපා, ආගම් වාදී වෙන්න එපා, කුලවාදී වෙන්න එපා, පක්ෂවාදී වෙන්න එපා සහ එකී, මෙකී නොකී කුමන හෝ වාදී වෙන්න එපා කීවාට එසේ නොවෙනවාද? අපේ පාසලේ, අපේ ගමේ, අපේ කාර්යාලයේ, අපේ පවුලේ ආදි වශයෙන් කෙතරම් අපේ කියන දෙයට නැමියාවක් තිබෙනවාද? එය වාදයක් ද? මෙන්න අප සිංහල කියනකොට කට්ටියක් එකතු වෙනවා, මෙන්න අප කිතුනුවෝ කියන කොට තව කට්ටියක් එකතු වෙනවා, අප එජාප (යූ.එන්.පී) කියනකොට තවත් කට්ටියක්. ඉඳින් මේ ආකාරයට කී විදිහකට වාදී විය හැකිද?

එසේ නම් මෙසේ වාදී වීම නරකද? නැත වාදී වීම නරක නැත. නරක නම් යම් වාදයක් නිසා අනිත් වාදය තලන්නේ නම් පෙලන්නේ නම් එය නරකය. උදාහරණයකට සිංහළයෝම කිතුණුවෝ, බෞද්ධයෝ කියා එකිනෙකා තලා නොගන්නේ ද? එවිට කිතුණුවෝ ගොඩේ දෙමෙල්ලු නැතිද?
අපේ පාසල කියා සිතීම නරකද? අපේ ගම කියා සිතීම නරකද? එහි කිසිඳු නරකක් නැත. එහෙත් අපේ පාසල පමණක් පැවතිය යුතුයි අනෙක පාසල් නොපැවිතිය යුතු යැයි සිතීම වරදක් බව මගේ අදහසයි.

ලොව ජාතීන් කිසිවක් නැතිව එක් ජාතියක් පමණක් ඉතිරි වූවහොත් ජාතිය කියා නමකුදු නැත. ආගම යන නමද එසේමය. නමුත් එවැන්නක් කිසි දා සිදුවන්නේ නැත. ලෝක පුරවැසියෙක් වෙන්න දැඟලුවාට ලෝක පුරවැසියෙක් කිසිදා ඇතිවෙන්නේ නොවේ. මිනිසා සත්වයෙක් බැවින් ගෝත්‍රික හැඟිම් වලින් මුදවන්න කිසි කලක නොහැකි වනු ඇත. අපි අප වීම ගැන ආඩම්බර වෙමු. මා සිංහලයෙක් වීම ගැන මම ආඩම්බර වෙමි. නමුත් මම තවකෙකු සිංහලයෙක් කිරීමට නොයමි. එසේම මගේ, අපේ කියන නැමියාව මා සදා ගත්තක් නොව, මා තුල තිබෙන්නක් බව මම දනිමි.


2008-11-25

නිලන්ත පියසිරි විසින් 11:01 පැයට
7

පොඩි දූ ගේ කඳුළු

කුඩා දූ ඉපද දවස් දෙකකින් පමණ සිට ඇයගේ ඇස්වල කබ නිරන්තරයෙන් දකින්නට ලැබුනි. අපේ අම්මා සහ බොහෝ දෙනා කීවේ, එය ඇගේ මව ලබා ගන්නා බෙහෙත් පෙති වල උෂ්ණය නිසා වන්නක් බවය. එබැවින් ඇයට සීතල කෑම නියම විය. මුං ඇට, කතුරු මුරුංගා, ගොටු කොළ ආදිය. සති දෙකක් පමණ ගත වුවද දුව ගේ ඇස් වල කබ ඉපැදීම නම් නිම නොවීය. ඉදින් ඕනෑම දෙමව්පියෙක් කලබල නොවේද? දිනක් සේවාස්ථානයෙන් බොහෝම අමාරුවෙන් මිදී, නෝනා වාට්ටුව (ඒ නම "රිජ්වේ ආර්යා ළමා රෝහළ" කියනවාට වඩා ලබැදි බව සිතේ) වෙත දියණිය රැගෙන ගියෙමු. ලෙඩ විමසූ දොස්තර ගොළු වූවෙකු විය. හේ ලෙඩ විමසූයේ හිසින් සන් කිරීමෙනි. ම'සොඳුර ඔහුට දරුවා ගේ වූ සංකූලතාවය කීවාය. දොස්තර මහතා කිසිවක් නොකියා ඔසුවක් ලියා, තුන්ඩුව ම'අත රුවීය. "දොස්තර මහත්තයෝ මෙහෙම වෙන්න හේතුව මොකක්ද?" බොහෝම ආචාරශීලීව මම විමසීමි. ඔහු කිසිවක් නොකියා අප හට පිටව යන ලෙස අතින් සන් කළේය.

යමකට හේතුව දැන ගැනීමට හුදු මිනිසෙකුට අයත් නැතැයි ඔහු සමහරවිට සිතන්නට ඇත. සමහරවිටක ඔහු ලෙඩුන්ට පිරික්සා හෙම්බත් වී සිටින්නට ද ඇත. නමුත් එමඟින් බිරිඳගේ මෙන්ම මගේද සිත තරමක් රිඳුනි. එය තරමක පහත් පන්තියක මිනිසෙකුට සලකනවාක් මෙන් හැඟුමකි.

කෙසේ හෝ වේවා, එහි වූ ඔසු හලෙන් දියණියගේ ඇසට දමන දියරයක් ලබා දුනි. එය දින කිහිපයක් ලබා දුන්නත් කිසිදු සුවයක් නොමැති විය. මට හදිසියේම අප නිතර සරනා විබ මතක් විය. මම පැණය ගූගල් කර බැලුවෙමි. මේ තියෙන්නේ හේතු ප්‍රත්‍ය හැම එකක්ම.
මෙය සාමාන්‍ය තත්වයක්, කුඩා දරුවන් බොහෝ දෙනෙක් උපදින විට කඳුළු ග්‍රන්ථි සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරිත්වයේ නැහැල්ලු. ඒ සඳහා දිනකට කිහිප වරක් නාසය අසල ඇස් කොන, සුලැඟිල්ලෙන් මුදුව සම්බාහනය කිරීමෙන් මෙම සංකූලතාවයෙන් මිදෙන්න පුළුවනි. විෂබීජ ආසාදනයෙන් මිදෙන්න මව්කිරි බිඳ බැඟින් ඇස් වලට දැමිය යුතුයි. මව්කිරි වල ස්වභාවයෙන්ම ඇතිවුනු ප්‍රතිශක්තිකරණයක් තිබේලු. දියණිය දින දෙක-තුනකින් සනීපයි.

මෙම සිදුවීමට නම් දැන් මාස දෙකක්-තුනක් විතර ඇති. මෙය තව දෙමව්පියෙකුට වැදගත් වන හෙයිනුත්, විබ අපට කෙතරම් ප්‍රයෝජනවත්ද බව කීමටත් මෙම කුඩා සටහන තැබුවෙමි.

2008-11-24

නිලන්ත පියසිරි විසින් 12:03 පැයට
0

අහිංසක මංකොල්ල කාරයෝ

මුහුදු මංකොල්ල කාරයෝ හැබෑවටම ත්‍රස්තවාදීන් නොවේද? මං හිතන්නේ terrorists කියනවාට වඩා pirates කියන එක ලස්සන ඇති කියලා සුද්දෝ හිතනවා ඇති. ඔය ත්‍රස්තවාදී නාමය සුද්දන්ගෙන් එලියට එන්නේ බොහෝම අමාරුවෙන් නොවැ. ඔවුනට අනුව අල්-ක්වයිදා නම් ත්‍රස්තවාදීන් නමුත් මිනීමරු කොටි හැඳින්වෙන්නේ සටන් කරුවෝ, කැරලි කරුවෝ, බෙදුම්වාදියෝ, විමුක්තිවාදියෝ වගේ නම් වලින්. දැන් ඔය කොටි ත්‍රස්තවාදයට හේතුව ඔවුන්ට තිබෙන කෙනෙහිලිකම් කියනවනේ. එතකොට සෝමාලියානු මුහුදු මංකොල්ලකාරයින්ටත් හරියට කෙනෙහෙලිකම් කෙරෙන බව ඔවුන්ගේ ප්‍රකාශක සුගුලේ අලී (මහතා) පවසනවා. ඔවුන්ගේ මුහුදේ පිට අය ඇවිත් මාළු අල්ලනවලු. ඉතින් ඒකට තමයි මේ මුහුදු මංකොල්ල කෑම් සිදු කරන්නේ. ඇත්තනේ. ඔය ප්‍රශ්ණේ අපේ ජාතිවාදී නොවෙන කට්ටිය නම් කියනු ඇත්තේ, ඔවුන්ව විනාශ කරලා විසඳන්න බැරි බවයි. ඕකට මොකක් හරි දේසපාලන විසඳුමක් දෙන්න වෙයි.

නිලන්ත පියසිරි විසින් 10:38 පැයට
8

මනුස්සකම

ජාතිවාදියෝ කියනවා, ජාති භ්‍රෂ්ඨයෝ කියනවා, ජාති ප්‍රේමියෝ කියනවා, මේ හැමෝම එකිනෙකාට ඇඟිලි දිගු කරති. ජාතිය, ආගම වැනි දේවල් උප්පත්තියත් එක්ක ලැබෙන දෙයක් හැටියට බොහෝ දෙනා සිතති. නමුත් මා සිතන්නේ එය එසේ නොවන බවයි. ටිබෙට් ජාතික යැයි කියූ මහින්ද හිමි, සිංහල විය, විදෙස් ආක්‍රමණ කාලයේ, බුදු දහම අතහැර කිතුණු දහම වැලද ගත් හෙළයෝ කෙතරම් මෙහි වෙත්ද? නමුත් පැණය තිබෙන්නේ, මේ හැමෝම හිතන්නේ තමුන්ට උපතින්ම මේ සියල්ලටම අයිතියක් ඇති බවකි. මම මගේ ජාතිය සිංහළ වීම ගැන අභිමන් වෙමි. එසේම තවත් දෙමළ මනුස්සයෙකුට තමන් දෙමළ වීම ගැන ආඩම්බර වීමට අයිතියක් ද ඇත. එසේම මට දෙමළ සංස්කෘතිය අනුගමනය කොට දෙමළෙකු වීමට අයිතියක් ඇතුවාක් මෙන් ඕනෑම දෙමළෙකුට සිංහළ සංස්කෘතිය බාරගෙන සිංහළ වීමේ අයිතියකුදු හැකියාවකුදු ඇත. එසේම තමන් ගේ එම ජාතිය ගැන උදම් වීම කිසි සේත් ජාති වාදයක් නම් නොවේ.

එසේ නම් දැන් මොකක්ද මේ ජාතිවාදීන් නොවේ යැයි කියා සිංහල ජාතිය ගැන කතා කරන්නවුන්ට පහර ගසන අය ගේ උවමනාව? සිංහළයෝ, දෙමල්ලු හෝ බර්ගරයෝ නෙමේ ප්‍රශ්ණේ, මෙතන ප්‍රශ්ණේ මනුස්ස කම. මා කුඩා කල, අපේ පවුලම ගුවන් මඟින් යාපනයට ගියෙමු. (එකල රජයේ සේවකයන්ට ගුවන් මඟින් යාම සඳහා අවසරයක් (warrant) විය.) අප ගියේ යම් ජාතිවාදී කලබලයක් යාපනයේ පැන නැඟි කාලයේම විය. (මා කුඩා නිසා එතරම්ම ඒ ගැන විස්තර කිරීමට මතක නොමැත). කෙසේ මුත් ගිනි තැබූ සිංහල ගෙවල් කිහිපයක් මගේ තාත්තා විසින් මට පෙන්වන ලදි. ඒවා පොල් අතු මඟින් ආවරණය කර තිබූ අයුරු මට සිහියට නැගේ. පොල් අතු දෙකක් මෑත් කර බැලූ මට දැක ගන්නට ලැබුනේ දැවී ගිය මිනිස් සිරුරකි. සිංහළයෝ බොහෝ දෙනෙක් යාපනය නඟරයේ වූ නාග විහාරයේ උයා පිහාගෙන කමින් සිටියෝය. අපේ ගමනේ අරමුණ වූයේත් නාග විහාරය සහ නාග දීපය වැද ගැනීම විය. කෙසේ මුත් අපි දිවා ආහාරය සඳහා කඩයකට ගියෙමු. අපේ තාත්තාට දෙමළ තරමක් කතා කළ හැකි විය. හේ කඩයෙන් ඉඳි ආප්ප ඉල්ලා සිටියේය. ඉඳි ආප්ප වීදුර පෙට්ටියක පුරවා තිබියදීත්, ඉඳි ආප්ප නැතැයිද, සිංහලයින්ට කෑම නොදෙන බවද මුදලාලි කීවේය. මෙලෙස කඩ කිහිපයකින්ම විමසන ලද මුත් අපට කිසිවක් කෑමට නොලැබුණි. දැන් මට තීරණය කළ හැකිද, දෙමල්ලූ හැමෝම ජාතිවාදියෝ බව. කුඩා ලමුන් තිදෙනකුට කෑමට යමක් දීගත නොහැකි වූ අපේ තාත්තාට කුමන හැඟීමක් ඇති වන්නට ඇතිද? අප නැවත කොළඹට පැමිණීමට නියමිත වූයේ පසු දින ගුවන් යානය මඟින් වුවත් එදිනම සවස දුම්රිය මඟින් අප කොළඹට පැමිණියෙමු. මෙහිදී තවත් යමක් පැවසිය යුතුය. දුම්රිය පොලේ වූ දෙමළ මනුස්සයෙක් අපට කෑමට ඉඳි ආප්ප සහ තෝසේ ගෙනවුත් දුන්නේය.

සිංහලයෝ, දෙමල්ලු මේ කිසිවෙක් ජාතියක් වශයෙන් ජාතිවාදීහු නොවෙති. නමුත් ජාතිවාදී අමනුස්සයෝ, ලංකාවේත්, ඉන්දියාවේත්, ඇමරිකාවේත් වසති. ඉඳින් ඒ නොමිනිස්සු නිසා එම ජාතියට බැණ වැදීම සාධාරණද?

2008-11-21

නිලන්ත පියසිරි විසින් 15:34 පැයට
0

කුළක සාදා ගැනීම

"නිවාඩු පැමිණි සෙබළා පෙම්වතියට වෙඩි තබයි", "සෙබළෙකු වෛද්‍යවරියක් මරා දමයි" ... මැයින් යුතු පුවත් අපි දකිමු. එතැන් පටන් සිදුවන්නේ කුමක්ද? "හමුදා කාරයෝ ඔහොම තමයි, හිත් පිත් නැහැ.." ආදි වශයෙන් දහසකුත් දෙස් දෙවොල් තබන්නෝ අනේක වෙති. "වෛද්‍යවරයෙකු තම රෝගියෙකු ඉහල මාලයෙන් පහලට තල්ලු කොට මරා දමයි", "නීති විරෝධී ගබ්සාවෙන් කත මරුට" ලෙස පුවත් සිරැස් කියැවුනත් "දොස්තරලා හැමෝම ඔහොම තමයි" කියන්නෝ නම් නොවෙති. සෙබළු හැමෝම මිනී මරුවෝද?, දොස්තරලා හැමෝම සාන්තුවරයන්ද?. එක් අයෙක් කරන වරදට කුළක සෑදීම මෙරට බෙහෙවින් දක්නට තිබේ. එක් එක් රැකියාව අනුව ඔවුන් ලබා ගන්නා ශික්ෂාවක් තිබේ. වෙසසින්ම හමුදා තුල එම විනය ඉහලින්ම රැකේ. අතරින් පතර අළුගෝසුවන් නැතුවා නොවේ. නමුත් බොහෝ අළුගෝසුවන් විනය ගරුක කරන තැනකි හමුදාව. එක් මනුස්සයෙක් කරන වරදකට සමූහයක් වගකිව යුතුද?

නිලන්ත පියසිරි විසින් 14:14 පැයට
6

විවිධත්වය හා ඒකාකාරිත්වය

දැන් ලංකාවේ තිබේ යැයි කියන පැණය කුමක්ද? ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ද? ඒක නොවේ බොහෝ දෙනෙකුට අනුව පැණය. පැණය නම් ජනවාර්ගික ගැටළුවයි. දේස පාලුවෙක් ගෙන් ඇසුවොත්, විද්වතෙකුගෙන් අසුවොත්, බොහෝ සාමාන්‍ය ජනතාවගෙන් ඇසුවොත් කියන්නේ "ජනවාර්ගික ගැටළුව තමයි රටේ මූලික ගැටළුව". ඒත් හත් දෙයියනේ කවුරුවත් කියන්නේ නැහැනේ මේ ගැටළුව මොකක්ද කියලා. ජනවර්ග කිව්වහම සිංහළ, දෙමළ, මුස්ලිම් මූලික කොට ගෙන කිහිපයක්ම තියෙනවා නොවැ. මේ බහු බූතයෝ හැමෝම කියන්නේ යුද්ධය එපා ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබා දෙන ලෙසයි. අප මූලික ලෙසම සිංහළ දෙමළ ජනවර්ග දෙක ගනිමු. දෙමෙල්ලුන්ගෙන් භාගයකට වඩා ඉන්නේ ඊනියා ඊලාම් දේසේ නොව අනෙක් පැති වල බවයි කියැවෙන්නේ. ඉඳින් අපේ සිංහල ජාතිවාදියෝ දෙමළ අම්මා කෙනෙක්/මුස්ලිම් අම්මා කෙනෙක් ළමයෙක් වඩාගෙන බසයට නැඟුනොත් වාඩි වෙන්න ඉඩක් දෙන්නේ නැතිද? (කාටවත් ඉඩ දෙන්නේ නැති අය ඉන්නවා ඒක වෙනම කථාවක්). දෙමළ/මුස්ලිම් කඩවලින් බඩු ගන්නේ නැතිද? දෙමළ/මුස්ලිම් හිඟන්නන්ට හිඟමන් නොදෙන්නේද?

නමුත් සිංහළයෝ බොහෝ දෙනෙක් ජාතිවාදීන් බවයි, මේ බොහෝ ඊනියා සාමවාදීන් ගේ කියමන. ඔවුන්ට අනුව මහ ජාතියෙන් සුළු ජාතින්ට වෙන්නේම කෙනෙහෙලි කම්. නමුත් මුස්ලිමුන්ට පමණක් හිඟමන් දෙන මුසල්මානුවෝ බොහෝ දෙනෙක් ඉන්නා බව මම පුද්ගලිකව දනිමි. වවුනියා (වැව්‍නිමාව) යන කෝච්‍චියේ දෙමළුන්ට පමණක් අසුන් දෙන දෙමළුන් මම දැසින් දැක ඇත්තෙමි. ජාතිවාදීන් කවරෙහුද?

අපි (සිංහළයෝ) හැමදාම විවිධත්වයට කැමැති අය වෙන්නෙමු. තෝසේ රස විදින්නේත්, කොත්තු රස විදින්නේත්, දෙමළ සින්දු අහන්නේත් ඇයි? කමල් හසන් ගේ සේයා රූ කාමරයේ ගසා ගෙන ඉන්නේ ඇයි? බසයේ දකින දෙමළ දරුවා සුරතල් කරන්නේ ඇයි?

දැන් බොහෝ සාමවාදීන් ගේ විසදුම කුමක්ද? දෙමළුන්ට වෙනම පරිපාලන ව්‍යුහයක්, මුසල්මානුවන්ට වෙනම පරිපාලනයක්, වැද්දන්ට වෙනම ව්‍යුහයක්. එකට ඉන්න හොඳ නැහැ.

ජෛව විවිධත්වය අතින් සරුසාර රටක් ලෙස අපේ රට කැපී පෙනෙන බව තමයි කියන්නේ. ඒ විවිධත්වය ලස්සනයි, මේ ජාතින්ගේ විවිධත්වය කැතයි. කාටද කියන්නේ මේ අවනඩුව?

2008-11-20

නිලන්ත පියසිරි විසින් 16:00 පැයට
5

ගොදුරට එන ගිජු ලිහිණියෝ

ඊයේ මාතලේ ඇති ම'සොදුරිය ගේ මහ ගෙදර වූ දානමය පිංකමකට සහහාගී වී කොළඹ එන්න පිටත් වන විට වේලාව හැන්දෑවේ හතරට පමණ විය. අඹේපුස්සේ දී බසය හබස් විය, වේලාව රාත්‍රි හතයි. බොහොම අමාරුවෙන් එතැනින් පැමිණි ගමනාගමන මණ්ඩලයට අයත් බසයක අවුත් පිටකොටුවෙන් බසින විට රාත්‍රි නවය පමණ විය. බොරැල්ලට එන විට නවයයි විස්සයි. නාරාහෙන්පිටට යන්න නොමැත බස්. නැවතුම් පළ තුල සෙනඟ ඇති මුත් බසයක් එන පැහැයක් වත් නොමැත. බස් නවත්වන තීරුව තුල තෙසක රිය රැලකි. බසයක් එනතුරු බලා හිද නට්ටං වූ කල අයෙක් තෙසක රියකට කථා කරති, නැඟ යති. ඉන් පසු, පසු පස වන අනෙක් රිය සෙමෙන් සෙමෙන් නැවතුම් පළට ඇදේ. මට සිහි වූයේ ගොදුර අඩ පණ වන තෙක් බලා සිටින ගිජු ලිහිණි රැලක හැඩයකි. බලා හිද, නැවත බලා හිද මඟීන්ට ඇති වූ කල තෙසක රියකට කථා කරති. උන් සිනහ මුසුව පැමිණෙති, කියන ගානක් මඟියෝ දෙති. ගිජු ලිහිණියෙකුට මිනිසෙකු මැරිය නොහැක. ලඟට පැමිණියහොත් පහර දෙන බවද දනිති. නමුත් බඩ ගින්නේ මළ පසු රස කර බිදිය හැකි බව දන්නා බැවින් මැරෙන තෙක් ලඟ පාතකට වී බලා සිටිති.

නිලන්ත පියසිරි විසින් 10:47 පැයට
2

කළ යුත්තේ කුමක්ද?

ත්‍රස්තවාදීන්‍ට එරෙහිව කෙරෙන සටනේ දී අපේ සෙබළුන් මැරෙති. යුද්ධය නිතරම අවජාතක බවද කියැවේ. සටනේ දී අත පය, ඇස්, ඉස්, මස් ආදී දේ අහිමි වූ කී දෙනෙකු අප අතර වෙත්ද? යුද ගී ගයා පෙරමුණට යවන්න වෙහෙසෙන කිසිවෙකු ගේ නෑයෙක් පෙරමුණේ නොවෙති. උඩින් දමන බෝම්බ වලින් නිරායුධ, අහිංසක වැසියන් ද මැරෙති. යුධ විරෝධීන්ව මර්දන කරන බවද කියැවේ. යුද්ධයට හුරේ දමන කිසිවෙකුත් පෙරමුණේ දුක් විදින සෙබලා ගැන සොයා නොබලති. යුද්ධය නිසා රටේ බඩු මිල අහස උසට නැඟ ඇත. ඒ ගැන කිසිවෙකු කථා නොකරති. දේසපාලුවන් ගේ ආරක්‍ෂාව පිණිස පැය ගණන් පාරවල් වසා තිබේ.
මොනවද මේ කියන්න හදන්නේ. යුද්ධය/සටන එපා.
කවුරුද යුද්ධයට කැමති? කවුරුත් කැමැති නැහැ (අවි වෙලෙන්දෝ සහ උන් ගේ එජන්තයෝ හැර). එහෙනම් මොකටද මේ අපේ අහිංසක සහෝදරයෝ ගිහින් මැරුම් කන්නේ. උන් මැරුම් කන්නේ ඇගේ අමාරුවට? බොරු පුහු චන්ඩි කම් වලට නොවෙද?
රටකට නීතියක් තිබේ, රජයක් තිබේ, පාලනයක් තිබේ. (එය කෙතරම් අප රට තුල සහ ඊට සමඟාමීව අනෙකුත් රටවල බලපවත්වනේද යන්න පැණයකි). මට අසාධාරණයක් වූයේ යැයි කියා හෝ වේවි කියා හෝ කඩුවක්, තුවක්කුවක් ගෙන සැවොම මරමි'යි කියා යකා නැටිය හැකිද? හෙට දිනේ අවිය තොපේ හිසට එල්ල කොට මෙය කරවැයි හොරෙකු හෝ තක්කඩියෙකු අණ දුන් කල තොප මේ හොරා මෙසේ කියන්නේ ඔහු ගේ දුප්පත් කම නිසා හෝ ඔහුට අසාධාරණයක් වූ හෙයිනැයි සිතා එසේ කරමීයි කියන්නේ ද නැතහොත් වෙනත් අයෙකුට මෙම අවි තුඩඟ එල්ල කිරීමට පළමු ඊට එරෙහි වන්නේද?
මගේ සහෝදරයා කකුල අහිමිව, දෑස අහිමිව දුක් විදියි. ඒ පිළිබඳ ඔහුට දුක බැව් සැබැවි. ඒ පිළිබඳ මට දුක බව සැබැවි. ඒ පිළිබඳව ඔබට දුක සිතෙන බැව්ද සැබැවි. එහෙත් ඔබව බේරා ගැන්මට ගොස් ඔහු කකුල අහිමි කර ගත් පසු, "අපරාදෙනෙ ඔයා කකුල නැති කරගත්තේ කියා" ඔබ කිව හොත් ඔහුට කෙතරම් දුක හිතෙනු ඇතිද? "අපරාදේ යුද්දේ නිසා ඔයා ගේ පුතා නැති වුනේ" කිව හොත් අම්මා කෙනෙකුට කෙතරම් දුක හිතෙනු ඇතිද? ඔවුන් දිවි දුන්නේ, ඔවුන් සිරුරු කොටස් අහිමි කර ගත්තේ මේ රටේ යන්නතමින් හෝ රැදී තිබෙන සාධාරණය, යුක්තිය, නීතිය ආදී අහිංසක මිනිසුන් ගේ අයිතිවාසිකම් රැකුමටය. යුද්ධය බංග වේවා! එය අපේත් පැතුමකි. එහෙත් යුද්ධය බංග කිරීමට අප බංග විය යුතුද?

2008-11-03

නිලන්ත පියසිරි විසින් 11:39 පැයට
0

වවමු වවමු කොස්

ආතර් වී දියෙස් උතුමා අපේ රටේ එකල පරසිඳු වී ඇත්තේ කොස් මාමා නමින්. භාවිත වසර වලින් 1886 පෙබරවාරි මස 11 වැනි දා උපන් මෙතුමා, හෙළදිව කොස්වලින් ස්වයං පෝෂිත කැරුමට අති සාර්ථක වගා සටනක් දියත් කළේය. එකල අගමැති ජෝන් කොතලාවල මැතිඳු ද තැපැල් සේවය හරහා කොස් ඇට සහ කොස් පැල නොමිළේ යැවීමට ඉඩ දීමෙන් ඔහුට සහය දැක්වීය. ජාතික ප්‍රබෝධය උදෙසා එතුමා විසින් "The Independant" සහ "ස්වදේශ මිත්‍රයා" නමින් පුවත් පත් දෙකක් ද ඇරඹීය. එතුමා ගේ දෙමව්පියන් විසින් කොළඹ විශාකා විදුහල අරඹන ලද බව එතරම් පරසිඳු කාරණයක් ද නොවේ. එසේම එතුමා අගමැති කමට තරඟ කොට ලැබූ පරාජය ද, හොඳ මිනිසෙකු නායකත්වයට ගැනීමට බොහෝ දෙනා තුල ඇති අකමැත්තද ප්‍රකට වන කරුණකි.
කෙසේ නමුදු බොහෝ කලකට පෙර කිරි අම්මා විසින් මගේ තාත්තා ගැන කියූ කරුණක් මතක් කරමි. තාත්තා කුඩා කල ඔහු ගේ පාසලේ ආතර් වී දියෙස් මහතා පිළිගැනුමට උත්සවයක් පවත්වා තිබේ. එහි "වවමු වවමු කොස්...." ආදී වශයෙන් ගීතයක් කියමින් කොස් පැල හෝ කොස් ගෙඩි ඔසවා පෙන්වමින් නැටුමක් පෙන්වීමට මේ කුඩා දරුවා තෝරා ගෙන තිබේ. ඉඳින් ඔහු ගෙදර අවුත් කිරි අම්මා සමඟ කියා ඇත්තේ "අම්මා, කොස් පැල උගුල්ලන එක පවක්. ඒවා පසුව මැරිලා යන්නත් පුළුවන් ඒ නිසා මම කොස් ගෙඩියක් ඔසවා ගෙන මේ නැටුම කරන්නම් නේද?"
කිරි අම්මා ද තම පුතු ගේ සිතුවිලි ගැන සතුටු වී "පුතාට කැමති විදියක්" යැයි කියා ඇත.
කොහොමින් මුත් කොස් මාමා පාසලට ඉහලින් ම පිළිගෙන ඔන්න අර උත්සවයත් ඇරඹුනා කියමුකෝ.
ඔන්න දැන් ළමයි නටනවා. "වවමු වවමු කොස්...." කියමින් බිම තියෙන කොස් පැල ඔසවා පෙන්වනවා.
අපේ තාත්තා ගෙනිහින් තියෙන්නේ ලොකු කොස් ගෙඩියක්. තාත්තා කොහොමද දන්නවද ගීතය කියන්නේ "වවමු වවමු. ම්හ්....ම්හ් ..... කො....ස්". කොස් ගෙඩිය බරයි නොවැ උස්සන්න තමයි තටමිල්ල.
අපේ කිරි අම්මා කියන කොට තමයි මේක ලස්සන. තාත්තා ගේ විතරක් නොවේ ඕනෑම අයෙකු ගේ කුඩා කාලයේ වැඩ ගොඩක් හිනා යන ඒව තමයි නොවෙද?

2008-10-31

නිලන්ත පියසිරි විසින් 15:02 පැයට
1

රූං පෙත්ත

පසුගිය වැසි දිනයන්හී ගාලු මුවදොර පසුකර යද්දී වෙනදා නොඇසෙන සද්දයක් ඇසුන හෙයින් එදෙස උවමනාවෙන් බැලුවෙමි. එය යන්තරයක් ක්‍රියාත්මක කලාක් මෙන් සද්දයකි. මෙම හඬ ආවේ, විදුලි පහන් කනුවක රදවා ඇති සුලං බලයෙන් විදුලිය ජනනය කෙරෙන සුලං පෙත්තකිනි. එදින දැඩි සුලං නිසා වෙනදාට වඩා වේගයෙන් එය කැරකැවුනි.
ඇත්තෙන්ම අපේ රටේ බල ශක්තිය ජනනය සඳහා වන මං පෙත් කොපමණද? මෙවැනි වෙරළ අයිනේ නිරතුරුව තදින් සුලං හමයි. මෙවැනි කුඩා සුලං පෙති බොහෝමයක් සවි කිරීමෙන් බල ශක්තිය ලෙහෙසියන්ම ලබා ගත හැකි නොවෙන්නේ ද? සමහර විටක මෙය විද්‍යා පබැඳුමක කොටසක් යැයි සිතෙන්නට පුළුවන. හේතුව එවැනි තැනකට අපේ රට ලඟා වෙන හැඩක්වත් නොමැති බැවිනි.

2008-10-30

නිලන්ත පියසිරි විසින් 14:42 පැයට
4

හිනා වෙනව ද? නොවෙනව ද?

මෙය බොහෝ කාලයකට පෙර සිදු වූවකි, නමුත් අද කෑම පැයේ දී මිතුරන් හා සංවාදයේ යෙදී සිටියදී නැවත මතු විය.

කාර්යාල කාර්ය සහයක අප සිටි පිරිගණක කාමරයට වුත්,
"සර්, අන්න SO සර්, ඩික්සන්ට එන්න කිව්වා".
"ඩික්සන්.... ම්.... මෙතන නැහැනෙ ඩික්සන් කියලා කෙනෙක්" අපේ අයෙක් කීවේය.
"ඒක නම් මම දන්නේ නැහැ, නමුත් ඩික්සන්ට එන්න කියලා තමයි, කිව්වේ" ඔහු නැවත කීවෙය.
"එහෙනම් මම එන්නම් කෝ.." කියා මම ඔහු හමුවීමට ගියෙමි.
මා ගිය කල ඔහු "ඇයි මාව මුණ ගැහෙන්නද?" විචාරීය.
"ඩික්සන් කියලා කෙනෙකුට කතා කළා ද?" මම ඇසුවෙමි.
"ඩික්සන්,...... නැහැ මම එහෙම කෙනෙකුට කතා කළේ නැහැ"
"එහෙනම් පියන් කීවේ?"
"අයියෝ, මම මිනිහට කිව්වේ computer room එකට ගිහින් dictionary ය අරන් එන්න කියලා නේ"

2008-10-24

නිලන්ත පියසිරි විසින් 10:21 පැයට
1

දැන්වීම් කාටද?

අපේ මවිබිමට, රටට ආදරේ නම් ජවිපෙ,ජනිපෙ,හෙළ උරුමේ, දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය, දේශ හිතෛෂි ජාතික මධ්‍යස්ථානය ආදී මෙකි නොකී නම් වලින් මේ පෙරමුණු බෙදිලා ඉන්නේ ඇයි? උදේ යනකොට ජනිපෙ න් දැන්වීමක් ගහලා තියෙනවා ඉන්දියානු මැදිහත් වීමට විරුද්ධ වෙමු වගේ තේරුමක් තියෙන දැන්වීමක්. හැන්දෑවේ යනකොට ඒක වහලා ජවිපෙ දැන්වීමක් ගහලා ඉන්දියාව මැදිහත් නොවෙනු කියලා. එකම දේ නොවෙද කියන්නේ. අපරාදෙ නොවෙද කොල. අපේ බලය බෙදිලා ගිහිල්ලා. එකිනෙකා කුලල් කා ගන්නවා. "අනේ කුහුඹුන්නේ තොපටත් රජෙක් ඉන්නේ...."

නිලන්ත පියසිරි විසින් 09:22 පැයට
0

සැනෙලි ධාවකයක් ලිනක්ස් මතදී හැඩගස්වා ගැනීම

අප පොදු නමින් කියන flash drive ලිනක්ස් මත දී format කරගැනීම, බොහෝ දෙනෙකුට ලෙහෙසි කරුණක් වෙන්න පුළුවන්. එහෙත් ලිනක්ස් වලට අළුත් කෙනෙක් තරමක් පසුබාන කරුණක් වෙන්නත් පුළුවන්. ලිනක්ස් වල මා කැමති දේ තමයි, එහි ඇති නැමියාව. අපට අවැසි ලෙස එහි අණවන්න (අණ දෙන්න) පුළුවන්. වින්ඩොස් මත ලෙහෙසි වෙන්න පුළුවන්, නමුත් ඒ අය කියන දේ හැර අපට යමක් කිරීමට තියෙන ඉඩ මදි. ඒවා පැත්තකට තියමු, නැත්නම් වින්දෝස් යක්කු මට වැහෙන්න පුළුවන්. ලිනක්ස් වලදී සැනෙලි ධාවකයක හැඩගසනුයේ මෙසේය.
1. මුලින්ම df ලෙස අණවා, එහි වන ගොනු සුසැටිය (file system) කුමක්දැයි බලමු.
2. ඉහත df අණයට ලැබෙන පිළිතුර අනුව බලා /sbin/mkfs /dev/sdb1 ලෙස අණවන්න. එවිට සාමාන්‍ය ext3 හැඩයට හැඩගැන්වේ.
3. ඔබට fat හැඩයට අවැසි නම් /sbin/mkfs -t vfat /dev/sdb1 ලෙස අණවන්න.

මතක තියාගන්න :- පළමුව සැනෙලිය unmount කරන්න. නැතිනම් හැඩනොගැන්වේ.

2008-10-23

නිලන්ත පියසිරි විසින් 09:58 පැයට
1

වෙනස් කම

දැන් බොහෝම දෙනා අතර කතිකාව තමිල්නාඩුව, ඉන්දියාව සහ අප රට ගැනයි. සමහරෙක්, අප නිතරම ඔවුනගෙන් විමසා වැඩ කළ යුතුයි පවසත්. සමහර අයෙක් අප ඔවුනට නිවට නියාළු විය යුතු නැතැයි පවසති. අප ලෙයිලන්ඩ්, ටාටා බසයන් හී වැඩට යන-එන නිසා ඔවුන් කියන දෙයක් කළ යුතුයි යන මතයක තවකෙකු සිටිති. බජාජ්, TVS පාවිච්චි කරන අයට ඉන්දියාට දොස් කීමට අයිතියක් නැත කියන්නෝද වෙත්. බුදු දහම ඉන්දියාවෙන් ගෙන්වූ නිසා ඉන්දියාවම ලඟදී බුදු වන බවද කියැවේ. මෙකී නොකී නෙක කරුණු මත ඉන්දියාට දොස් පැවරිය නොයුතු බව කියන්නෝද, දොස් කිවයුතුයි කියන්නෝද බොහොමයක් වෙති.
ඕනෑම අයෙකුට තමන් කැමැති මතයක් දැරීමට අයිතියක් ඇතැයි කියැවේ. නමුත් මා සමඟ සිටින මගේ පුතාට අප වසන ගෙය කඩා දැමීමේ මතයක් දැරිය නොහැක. එසේම ඔහුට එහා ගෙදරට ගොස් මගේ ගෙදර කඩා දැමිය යුතුයි කීම ද සදාචාරත්මක නොවේ. සිංහල යනු ජාතියකට වඩා සංස්කෘතියකි. සපුමල් කුමාරයා ගේ උප්පත්තිය, දෙමළ බව කියැවේ. නමුත් යාපා පටුන ජය ගත් අන්තිම සිංහල රජු ලෙස කියැවෙන්නේ එතුමා ගේ නමයි. වීදිය බණ්ඩාර ද උප්පත්තියෙන් දෙමළ යැයි මා කියැවූ පොත පතෙක විය. (මෙම දත්ත වැරදි නම් යමෙක් නිවැරදි කරත්වා). අලගියවන්න මුකවැටි තුමා වැන්නෝ ද උප්පත්තියෙන් දෙමළ වුවද (පසුව වෙනත් ආගමකට ගියද) සිංහළ බස සහ බුදු දහම පෝෂණය කළ බැව් අපි දනිමු. ඔවුන් ගේ ජාතිය තවමත් කියැවෙන්නේ සිංහළ නමිනි. එබැවිනුයි ලංකාව සිංහළේ වෙන්නේ. අපේ සංස්කෘතිය තුල උකහා ගැන්මට ම සැදුනු යාන්ත්‍රනයක් වෙයි. එබැවිනුයි, ගජබා රජ්ජුරුවෝ අරන් ආපු හැමෝම සිංහළයෝ වුනේ. ඒකයි සුද්ද ගේ පාන් sandwich හදන්නේ නැතිව හොදි එක්ක පොගොව ගෙන කන්නේ. අර්තාපල් (earth apple) තෙල් දාලා කන්නේ එකයි. හින්දු දෙවි වරු සම්‍යක් දෘශ්ඨික වෙලා අපේ පන්සලේ ඉන්නේ ඒකයි. ඒ නිසයි අපේ රට සිංහලයන්ට අයිතියි කියන්නේ. අපේ රටේ ඉන්නේ සිංහල දෙමල්ලු, සිංහල මුසල්මානුවෝ, සිංහල ලංසියෝ. හැමෝම කියන මේ ජාතිය නිසා විතරක් අසාධාරණයක් වුන අයෙක් පෙන්වන්න පුලුවන්ද? ජාතිය නිසා විරැකියාව, ජාතිය නිසා දුප්පත් කම, ජාතිය නිසා බඩු මිල වෙනස් වී තිබෙනවා ද? කෙනෙකුට කියන්න පුළුවන් උතුරේ බඩු මිළ ඉහල බව. නමුත් ඒ ජාතියක් ලෙස වෙන් වීම නිසා අනෙකුන් පන්නන මිනීමරු කොටි නිසා නොවෙද? තෝසේ කඩෙන් කෑම කන්න අප කී දෙනෙක් කැමතිද? "අයියා! රෙන්ඩු තෝසේ කොන්ඩු වාංග" කියා කැඩිච්ච දෙමලෙන් හරි කියන්න අපි කොයි තරම් කැමතිද? දෙමල යැයි කියා හෝ මුස්ලිම් කියා කඩ සාප්පු වලින් බඩු ගැනීමෙන් වලකින අයෙක් පෙන්විය හැකිද? අප තරම් විවිධත්වයට කැමැති අයවළුන් මෙලොව වෙත්ද? ගද ගහණ පිළුණු වුණු පෙණ පිපෙණ දේසපාලන මඩ ගොහොරුව විසින් රට වෙන් කරන්න උත්සහ කරන ජාතිවාදී කොටි සමඟ කෙරෙන යුද්ධය මෙහෙයවන බව සැබෑය. නමුත් මේ හිරිකිත නාරාවල සුද්ද කරන්න ගිය කල අපේ ගෙදර කඩන්න එන අයව වැලැක්වීම සඳහා හේවායන් මෙහෙයවන්නේ කවුද? මෙය තමයි මූලික මෙන්ම ප්‍රධාන පැණය.
අප හැමෝම හැමෝගෙම වරදවල් තිබෙන අතර ලෙහෙසියෙන්ම අනුන් ගේ වරද පෙනේ. නිවැරදි දේ ඉක්මනට නොපෙනේ. වරද දුටු තැනම ජාතියට, සංස්කෘතියට බැණ වැදේ. තනි හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ වරදට "අපෝ ඕක සිංහලයන් ගේ හැටි, ඕක ලංකාවේ හැටි, අය්යෝ ලංකාව" කීම නිවැරදිද? අප සිංහලයෝ ලෙස ආඩම්බර විය යුතු නොවෙමු. හොඳ හිත පැවත්වීම නරක නොවේ. නමුත් යට කිරීම් වලට එරෙහි විය යුතුමය.

2008-10-16

නිලන්ත පියසිරි විසින් 10:45 පැයට
0

යාළුවා ගේ නම

පසු ගිය දිනක සැදෑවක දුවනි, කැටුව විහාර මහා දේවී උයනට ගියෙමි. අප ගමන් කළ බසයෙහි, දියණියක් කැටුව යන තවත් අයෙක් ඉදිරියෙහි වූ අස්නේ විය. එම කුඩා දියණිය අකුරු ගැට ගසමින් කියැවීමට යත්න දරණ වයසෙහි වූවාය. බසය යනෙන එම මඟෙහි තාප්පයක් මත ලියැවුනු කුණු හරුපයක් වෙයි. ඇය තතනමින් එය කීයා, "තාත්තේ ............... කියන්නේ මොකක්ද?"

ඇගේ පැණයට, ඔහුගෙන් කෙබඳු පිළිතුරක් වේද?

"ඒක දුවේ, නමක්. මම හිතන්නේ ලියපු කෙනාගේ නෑයෙක් ගේ නැතිනම් යාළුවෙක් ගේ නමක්"

කදිම පිළිතුරක් නොවෙද?

2008-10-10

නිලන්ත පියසිරි විසින් 12:53 පැයට
2

සූර්ය සිංහයෙක් වෙන්න පුළුවන් ද?

මේ දිනයන් හි තෙල දසුනෙහි (රූපවාහිනියේ) කිහිප විටක් ම දුටු "මම සූර්ය සිංහයෙක්, ඔබත් ......" යනුවෙන් විකාශනය වන ලාංකික නිපැයුම් මිළදී ගැනීම උදෙසා වූ දැන්වීමකි. නමුත් අපේ රටේ නිමැයුම්/නිපැයුම් ගැන මතය කුමක් ද? ජන වහරේ පවා ඇත්තේ

"අපෝ ඕක local එකක්, මා ගාව තියෙනවා original එකක්"

එනම් "දේශීය" දේ සහ "නියම" දේ ලෙස දේවල් වෙන් වේ. "දේශීය දේ නියම දේවල් නොවේ ද?" යන පැණය එයින් පැන නඟී. බාල බඩුවට කියන නමකි "දේශීය".

වෙළද පොළේ බඩු විකිනෙන්නේ

"නෝනා/මහත්තයා, මේවා imported බඩු, අපි ගාව බාල බඩු නැහැ" කියමිනය.

එයින් ඉපිලෙන තවත් පැණයකි, "ආනයිනික බඩු බාල නොවේ ද?" යන්න.

ඉඳින්, සූර්ය සිංහයෙක් වෙන්න, අපි කුමක් වෙළඳ පොළෙන් මිළදී ගනිමු ද? බොහෝ දෙනා කියන්නේ ලංකාවේ අඩුම තරමේ ඉඳි කට්ටක් වත් නොනිපදවෙන බවයි.

"මා සූර්ය සිංහයෙක් නිසා මා ගන්නේ ලාංකික දේවල් පමණයි" කියා පසෙකට වී අපට සිටිය හැකිද? වෙළද පොළේ අනුපාතයක් ලෙස ලාංකික නිපැයුම් කෙතරම් ඇති ද?

ඇපල් සහ දොඩම් වලට පමණක් රු. මිලියන 1245 ක මුදලක් විදෙස් වලට ඇදී ගිය බව පසුගිය දිනක පුවතක් විය. අපට ඇපල් නොකා මෙදෙස පළතුරු පමණක් කෑ නොහැකි ද? වෙළඳ පොළේ ඇත්තේ මෙරට පළතුරුම ද?, ලොකු පේර ගෙඩියක් "මැලේසියානු පේර" කියා විකුණයි, ලොකු අන්නාසි "මුරුසි අන්නාසි" කියා විකුණයි. සූර්ය සිංහයා බඩගින්නේය.

ලංකාවේ ම වාහනයක් නිපදවන තෙක් සිටි, සූර්ය සිංහයන්ට විදෙස් වාහන වලට වඩා අඩුවෙන් මිළදී ගත හැකි වනුයේ ලාංකික තනි රෝදේ වාහනයක් පමණි.

ඔබ මෙන්ම මා ද සූර්ය සිංහයෙක් වීමට ලැදිය. නමුත් ... සිංහ සෛයාව නම් මෙරට තවම ඇති වී නොමැත.

2008-10-08

නිලන්ත පියසිරි විසින් 09:58 පැයට
1

සංවාදය

දේස පාලනය ගැන මත දෙකක වන මිතුරන් (ඔවුන් මිතුරන් ද යන්න ඔබ පසුව සිතන්න) දෙදෙනෙකු බස් නැවතුමේ කතා බහක වෙති.
"හිතලමයි, ආරක්‍ෂාව නු දුන්නේ ?" අයෙක් කියත්.
"ඉල්ලල නැහැ නේ, නැති නම් දෙනවා" අනෙකා පිළිතුරු දෙයි.
"කවුද කියන්නේ ඉල්ලලා තියෙනවා"
"නැහැ, නැහැ, ඉල්ලලා නැහැ"
"අනේ මේ යනවා යන්න"
"ඇයි මොකද තමුසේ කියන්නේ"

එකෙකු අනෙකා ගේ කොලරයෙන් අල්ලාගෙනය.
මට යා යුතු බසය පැමිණියේය. මොවුන් පස මිතුරුන් නම් එකිනෙකා කතා කරන්නේ ඇයි? මිතුරෝ නම් ගුටි කෙලියකට ලැහැස්ති වනුයේ ඇයි?

මට නම් නොතේරේ.

2008-10-07

නිලන්ත පියසිරි විසින් 11:44 පැයට
2

බසයට පොත්

රැකියාව උදෙසා මඟට බට මට, මුලින්ම යා යුතු රු.7/- ක දුර යාමට අඩ පැයකට ආසන්නව, බසය තුල ගෙවෙන බැව් පෙර වියමනකින් මා පැවසූ බව මතකයි. දැන් ඒ කාලය රැක ගැනුමට මම බසය තුල පොතක් කියවමි. ඒ සඳහා ද තත්ව කිහිපයක් එළැඹිය යුතු වේ. එනම් අසුනක් ලදහොත්, බසයෙහි රෙදෙව්ව (radio) දමා නැතොත් සහ හිඳ ගත් පසු කරේ අයෙක් ලැඟ නැතොත් ආදී ලෙස වේ. කොළඹ මහජන පොත්ගුලෙන් ගන්නා පොත් දෙකක් තබා ගත හැක්කේ සති දෙකක් පමණි. පසු වන දිනයකට දඩය රු.5/- කි. ඉස්සර නම් වැඩිපුර සති දෙකක්-තුනක් පොතක් වැඩිපුර තබා ගන්නා මුත් දැන් නම් එය පසුම්බියට දැරිය නොහැක. (එකල දඩය දිනකට සත 25 කි.) කෙසේ නමුත් බසයේ පොත් කියැවීම ඇරැඹි පසු නියම දිනයටම පොත් බාර දීම කළ හැකිව පවතී. සමහර වේලාවට පුදුමත් හිතෙනවා බසයේ යන-එන ගමන් නොවැ මෙම පොත කියෙව්වේ කියා. පොත කෙතරම් සිත්ගන්නා සුළුද යන්න ද බසයේ පොත-පත කියැවීමේදී බෙහෙවින් බලපානු ලබයි. ඉගෙන ගත යුතු මුත් එතරම් කැමැති නැති කරුණු ඇති පොත් බසය තුල කියැවීමෙන් සිතට එතරම් නොවැටෙන බැව් අත්දැකීමෙන් දනිමි. නමුත් කැමැති විෂයන් ගැන ලියැවුනු පොත් කියවන කල බසය ගමනාන්තයට මෙතරම් වේගයෙන් ආවාදැයි සිතෙන අවස්ථාද වේ.

2008-10-06

නිලන්ත පියසිරි විසින් 09:27 පැයට
2

තලියේ කිඹුලන් දැකීම සහ ගඟෙහි කිඹුලන් නො දැකීම

x-files තෙල දසුන් කතා මාලාව, මා මහත් කැමති විදු පබැඳි කතා අතර මුල් තැනක් ගනී. එහි විය හැකි දේවල් මෙන්ම නොවිය හැකි දේවල් ද කතා-බහට ලක් වෙයි. අබා ගැන කතා කරන අය ද මෙය "මිෂනාරී කුමන්ත්‍රණයක්" විය හැකි බවද සමහරෙක් මෙය ජැක්සන් ගේ අදියුරේදී ඔහු නොදැනුවත් ම පින්තූරයට එක් වූ කිතුණු ගති බව ද කියති.

අදීන ලෝකයේ මේ සෑම දෙයක් ම විය හැකිය. ජාතියක්, රටක් යට කැරුමට සිතිය නොහැකි කුමන්ත්‍රණ සිදු විය හැක. කුමන්ත්‍රණයක් යැයි සිතෙන දේ එසේ නොවීමට ද හැක.

විය හැකි දේ ගැන සැකයෙන් හා කල්පනාකාරී ලෙස හිදීමයි වැදගත්. පසු ගිය කාලයේ මා සොඳුර සමඟ ලදරු සායනයනට ගිය කල, මට සිතුනු දේ ගැන සමහරෙකුට සිනහ පහල වීමට ද හැක. දරුවා ගැබට පැමිණි දිනේහි පටන් මෙම සායන වලින් ලබා දෙනු ලබන විටමින සහ බෙහෙත් මෙන්ම දරුවා ඉපදුන දින සිට විදිනු ලබන එන්නත් සහ අමතර ආහාර මඟින් මගේ දරවාගේ ජාන වෙනස් වීමක් නොකළ හැකිද? අප රට තුලට ගෙනෙන මේ දේවල් අපේ අය පිරික්සනු ලබන්නේ එම රටවල් වලින් ම ඉගැන්වූ විදු ඇසින් බැවින් එය අපෙන් වසන් කළ හැකි නොවන්නේ ද?

එවැන්නක් සිදු වන්නේ නම් අප එය වලකනුයේ කෙසේද? අද රජය මඟින් නොමිලේ දෙනු ලබන මෙම විටමින සහ එන්නත් නොලබන දරුවෙක් වෙත් ද?

ඇත්තෙන් ම x-files මඟින් අපව නරක් කළා ද?

2008-10-03

නිලන්ත පියසිරි විසින් 14:21 පැයට
1

අමතක නොවන පැටුම (පාඩම)

මා රැකියාවට එන සෑම දා ම පුරහල (town hall) හා ලිප්ටන් වට රවුම පසුකර පැමිණිය යුතුමය. අපේ අම්මා එහෙම තවමත් මෙම තැන හඳුන්වනුයේ ඇස් වාට්ටුව නමිනි. තවමත් අයෙක් එසේ කියනු බසයෙහි මා අසා ඇත. ඊටත් එපිට කල මේ පෙදෙස මහත් වූ කැලෑවක් බවත්, දවටගහ හන්දිය ලෙස මෙය හැදින්වූ බවත් අපේ අත්තා මා හා කියා ඇත. ඉන් නාමිකව ඉතිරිව ඇත්තේ දවටගහ පල්ලිය පමණකි. කලින් කලට ඉදිවන ගොඩනැගිලි මත තැන් හී නම් වෙනස් වන බවට උදාහරණයකි මෙතැන. තව අවුරුදු පන්සියයකින් මෙතැනට කියනු ඇත්තේ වෙනස් ම නමකි. දවටගහ පල්ලිය ගැනද අපූරු ජනප්‍රවාදයක් වන බැව් තිස්ස අබේසේකර වියතුන් විසින් රචිත ලිපියක මා කියැවූ බව මතක් වෙයි. ඒ ගැන පසුව කියන්නෙමි.

මා කීමට යන්නේ මීට අවුරුදු 26 කට පමණ පෙර වූ සිදුවීමකි. මපියා ගේ අදහස වූයේ සතියේ දින පහම පාසල් ගොස් වෙහෙස වන මා, දහම් පාසල් නොයා යුතු බවය. ඔහු ඒ තීරණය ගත්තේ අම්මා ගේ බලවත් අකමැත්ත පෙන්වද්දී වේ. එය තවත් ලමයෙකුට කෙතරම් නිවැරදි ද යැයි මම නොදනිමි. නමුදු නරක ලමයෙකු ලෙස හංවඩුවක් නම් කෙදිනකවත් මට නොවීය. එයද අමතර කතාවකි. මා කුඩා පාසල් දරුවෙකු කල, අප පාසල අසල වූ පන්සල හි දහම් පාසල සඳහා දහම් පාසල් කොඩි දිනයේ, කොඩි විකිණීමට අප සැවෝම යෙදවිනි.

කුඩා මා සිටියේ අප සැවොම "ලිප්ටන් වට රවුම" නමින් හදුන්වන තැනය. වේලාව උදයේ දහයට පමණ වන්නට ඇත. මා කැටය සහ කොඩිය දිගු කළ වහාම බොහෝ දෙනා කැටය තුලට කාසියක් දමා කොඩියක් ගෙන යති. වදනකුදු හෝ නොදොඩති, සිනහවක් දෙන්නෝ ද කලාතුරකිනි. ඈත පටන් ම වත පුරවාගෙන මදෙසට පැමිණි, පසන් පෙනුමැති මහතෙකු මා ඉදිරිපිට නැවතුණි.

"දහම් පාසල් කොඩි දිනේ නේද පුතා, බොහොම හොඳයි පුතා කරන සේවය" ඔහු මා පසැසීය.

"පුතා දන්නවද මේ පිළිරුව කවුරුන් ගේ ද කියලා?" ඔහු වට රවුම මැද ඇති රුව පෙන්වා ඇසීය.

මම එය නොදැන සිටියෙමි. අද පවා මෙම වටරවුම පසු කරන කී දෙනෙකු මෙම පිළිරුවෙන් නිරූපිත අය කවුරුන් දැයි දනීද? එදෙස බලාගෙන යන කී දෙනෙකු මෙය කාගේ පිළිරුව දැයි සිතත් ද?

"මෙතුමා ගේ නම හෙන්රි චා(ර්)ල්ස් ද සොයිසා, මේ උත්තමයා තමයි, ඇස් රෝහල, සොයිසා කාන්තා රෝහල මෙන්ම වෙද කටුගෙය සෑදු දානපතියා. මේ පසු පසින් දකින්නට ලැබෙන රෝහල් සියල්ල දැයට දන් දුන්නේ මෙතුමා." ඔහු ඈත පෙදෙස් අතින් සන් කරමින් පැවසුවේය.

"දන් දීම මහත් පිනක්, ඉඩක් ලැබුනු තැන දන් දෙන්න, මා උදේ කෑම දෙකක් ගෙදරින් ගෙන එනවා. මේ බලන්න" ඔහු මට කෑම මුල් දෙකක් දැක්වීය.

"ඉන් එකක් හැමදාම අයෙකුට දන් දෙනවා. ඔන්න බලන්න..... අස්සලාම් අලෙයික්කුම්......" ඔහු මඟ අයිනේ හිඳගෙන සිටි හිඟන්නෙකු විය හැකි මුස්ලිම් අයෙකුට ආසිරි පැතීය.

"මලික්කුම් සලාම් .... මහත්තයා" පිලි-ආසිරි ලැබුණි.

පසන්න සිනහවක් සමඟම එතුමා කෑම මුල හිඟන්නාට පිරිනැමීය. පසුව මා හිස අත ගා කාසියක් කැටයට දමා කොඩියක් ගෙන ඈතට නොපෙනී ගියේය.

මා විවාපත් වූ පසු මෙලෙස බත් මුලක් සෑම දා උදයේ අසරණයෙකුට දීම ටික කලක් කළෙමි. නමුත් පසුව වෙනත් හේතුවක් මත එය නවතා දැමීමට මා හට සිදු විය.

ඔහු එදින මගේ දෑස් මානයෙන් නොපෙනී ගිය මුත්, දානපති සොයිසා පිළිරුව පසු කරන වාරයක් පාසා එතුමා මා ඉදිරියෙහි මැවී පෙනෙයි. මිනිසාට මිහිකත කෙතරම් සතුටු දායක තැනක් කළ හැකිද?

2008-09-30

නිලන්ත පියසිරි විසින් 10:27 පැයට
2

බුදු හාමුදුරුවෝ ගැයූ සින්දුව

ඉහත මැය දුටු කල ඇති වන හැඟුම කෙබඳු ද? පසු ගිය දිනක වේලාව රාත්‍රි 0900 ට පමණ, බොරැල්ලේ සිට පිටකොටුව ට බසයක යමින් සිටියෙමි. මරදාන පෙදෙසින් බසය ට නැඟි, වයස අවුරුදු 60 ක් පමණ වූ, පිළිවෙලකට හැඳ පැළද ගත්, හොඳින් බීමත් මහතෙකි. හොඳින් බීමත් මහත්වරු කොහිදැයි ඔබ අසනවා නොඅනුමානය. මා මහතෙකුයි කීවේ ඔහු ගේ බීමත් කමට සරිලන කිසිදු නරක වදනක් බසය තුල භාවිතා නොකිරීමයි. නමුත් ඔහු මහ හඩින් බසය තුල කතා කළේය.

"පුතා, මට දෙන්න පිට කොටුවට ටිකට් එකක්".

හේ කෑ ගැසීය. ඉන් පසු ලයාන්විතව ගී කිහිපයක් ම ගැයුවේය. සැමෝ ම සිනා මුසුව ඔහු ගේ සින්දු ඇසුවෝය. එක් වරම ඔහු

"මම දැන් කියන්න යන්නේ බුදු හාමුදුරුවෝ කියපු සින්දුවක්".

මා පමණක් නොව බසයේ හැමෝම තුෂ්ණිම්භූත ව බලා සිටියෝය. මොකක්ද බොලේ බුදු හාමුදුරුවෝ ගැයූ සින්දුව.

ඔහු සින්දුව ගැයීම ඇරඹීය.

"යසෝදරා,.... (ටින් ටින් ටින් ටින් ටින් ටින්) යසෝදරා.........(ටින් ටින් ටින් ටින් ටින් ටින්)
සිතේ නැඟුනු කළකිරීම කුමරිය, ඔබ පමණයි දැන සිටියේ පෙරසිට
යසෝදරා,.... (ටින් ටින් ටින් ටින් ටින් ටින්) යසෝදරා.........(ටින් ටින් ටින් ටින් ටින් ටින්)"

හරි නේ, බුදු හාමුදුරුවෝ ගයන අයුරින් නොවැ මේ ගී ය ලියැවිලා තියෙන්නේ.

2008-09-29

නිලන්ත පියසිරි විසින් 15:24 පැයට
5

ඇවිද්ද පය

උදේ මඟ ට බට මට එහි වූ රිය කන්දරාව දුටු කල කෙසේ නම් වැඩපළ ට එන්නෙම් දැයි සිතුණි. කිසිදු රියක් එහි වූ සකක් සොලවන බවක් දිස් නොවුනි. ඊ ලඟ බසය ගැනුමට මා හට රු. 2/- දුරක් පැමිණිය යුතුව තිබුණි. මම හොඳ හුස්මක් ගෙන පයින් ම ගමන් ඇරඹුවෙමි. අරමුණ වූ යේ, බසයක් මා පසු කිරීමට පළමුව ගමනාන්තය වෙත යාමයි. කෙටි මඟ නොමැති වුව ද, වේගයෙන් ගොස් බස නැවතුම්පලට ලඟා වූයෙමි. ජයගත් ලීලාවෙන් අනෙක් බසයට නැඟුන ද, දහදිය වැඟිරෙන්නට වූයේ උදෙන් ම මෙවැනි ගමන් එපා කියන්නාක් මෙනි. බස් පලුවා (conductor) ලඟට එනවිට මා සිටියේ හොඳින් දහදිය නාගෙන ය. මගේ පය දහස් වටී ද යැයි බැලුමට ගිය කල දුටුවේ හොඳින් ඔප දමාගෙන ආ පාවහන් ගන්න දෙයක් නොමැති බවයි.

2008-09-26

නිලන්ත පියසිරි විසින් 11:00 පැයට
3

අසැබි විබ

ජනපති ගේ 63 වෙනි එක්සත් ජාතීන් ගේ සමුළුව ඇමතීමේ දී පවා අසැබි විබ පළ සීමාකිරීමක් ගැන කියැවුනි. මෙය නම් ඒ ගැන නොවේ. අප ආයතනයේ තුරුදැලට ඈඳුනු පිරිගණක සියයකට වැඩි පමණක් ඇත. රාජකාරී කාලයෙන් පසු මේවා මඟින් අසැබි විබ පළ පීරීම කරන බැවින් නිරතුරු වෛරස හා කරදරකාරී මෘදුකාංග වලින් මේවා පිරී යයි. විබහි අඩංගු දෑ පෙරනයන් (web content filtering) භාවිතයෙන් මේවා තරමක් දුරට පාලනය කළ හැකි වුවද, මේ විබපළ බලනුයේ අප දන්නා හඳුනන අය බැවින්, "අනේ මචං පුළුවන් නම් password එක දීපන්" කියූ සැන නො දුන්නහොත් ඔවුන් අප ගැන මතයකට පැමිණෙනවා පමණක් නොව, ඒ මතය පතුරවා හරී.
ලිනක්ස් firewall හරහා මෙලෙස විබහි අඩංගු දෑ පෙරීමට හැකිද? මෙලෙස gateway පිරිගණකයකට දැමිය හැකි විබ පෙරන ඇතිද? හැබැයි එය proxy යක් නොවිය යුතුය.

අනේ මට වී ඇති වියෝයා.

2008-09-25

නිලන්ත පියසිරි විසින් 11:54 පැයට
1

මුදල් පත (නෝට්ටුව)

මුදල් පත නැතිනම් නෝට්ටුව (නිවැරදි වදනක් දැයි නොදනිමි), නොතිබුණාට කාසි නම් පුරාණයේ පටන් හෙළදිව භාවිත කළ බවට සාක්කිත් තිබේ. මා කතා කරනුයේ ඒ ගැන නම් නොවේ. අපේ රටේ මුදල් නෝට්ටු භාවිතය ගැනයි. අප අතට ලැබෙන නොට්ටු බොහොමයක් කිලිටි, පොඩිවී ගිය, යම් යම් දේ ඒ මත ලියූ ඒවා නොවෙද? අළුත්ම නෝට්ටුවක් අතට ලැබුනු කල එය වියදම් කිරීමට පවා යම් අකැමැත්තක් සිතේ පහල වේ. පසුගිය දිනෙක මට ලැබුණු නෝට්ටුවක් බසයක් තුලදී කොන්දොස්තරට දුන් කල ඔහු එය දුහුල් යැයි කියා වෙන කොලයක් ලබා දෙන මෙන් ඉල්ලීය. ඇත්තෙන්ම එය බොහෝ තැලී පොඩි වී දිරා ගිය ගතියකින් යුතු වුවද, එහි කිසිදු අඩු පාඩුවක් නම් නො වීය. ඔබ හොඳින් දන්නා පරිදි, කොන්දොස්තරවරු බොහොමයක් සමඟ සංවාදයේ යෙදුමට නම් රෙදි ගලවා, කුණු හරුප පාඩම්ක් ඉගෙන පැමිණිය යුතු බැවින් මම වෙනත් නෝට්ටුවක් දුන්නෙමි. නමුත් නෝට්ටු මේ තත්වයට පත් කැරුමට පලමු වරද කරු වනුයේ කොන්දොස්තර වරුන්ම වේ. සෑම නෝට්ටුවක් ම දිගු අතට නවා ඇඟිලි අතර රඳවා මොවුන් කරන අපරාධය එතරම් නොදැනෙන්නේ ඊට වඩා විසල් විනාස රටේ සිදුවන බැවින්මය. මුදල් නෝට්ටුවකින් රටේ ජීවත් වන පුරවැසියා ගේ ජීවන මට්ටම සහ මානසික තත්වය මැනිය හැකි බවට මගේ මතයක් වෙයි. මා වරක් ගිය (ගිය එකම රට) හයිටි දේසයෙහි මුදල් නෝට්ටු (ගු(ර්)ඩ්) වල මැටි පවා බැඳී තිබේ. එම නෝට්ටුවක් අත පත් වුවහොත් නැවත අත පිරිසිඳු කළ යුතුමය. අපේ රටේ මුදල් කොලද එම තත්වයට පැමිණීමට එතරම් ම දුර නොමැත.

2008-09-18

නිලන්ත පියසිරි විසින් 09:38 පැයට
2

මහ ඇමති ගේ බර එසවීම

පසු ගිය දිනක තෙල දසුනෙහි (රූපවාහිනියෙ හි) පුවත් බලන කල අපූරු සිදුවීමක් දුටිමි. එහි වූයේ නැගෙනහිර පෙදෙස් මහ ඇමති චන්ද්‍රකාන්ත් මහතා විසින් පොහොර මිටි, ගොවීන් අතර බෙදා දීමක් ගැන වූ පුවතෙකි. අපූරුත්වය නම් කිලෝ පනහක් පමණ වූ එම මිටි හේ විසින් ඔසවා ගොවියා ගේ කරේ තැබීමයි. කිලෝ පනහක් ආයාසයකින් තොරව එසැවිය හැකි දෙස්පලුවෝ කී දෙනෙකු අප අතර වෙත්ද? ගසක් සිටුවීමට ගිය කලද දෙකට නැමෙන්නට නොහැකි මොවුන් අතර මෙවැන්නක් දැකීම අපූරු නොවෙද?

2008-09-10

නිලන්ත පියසිරි විසින් 11:59 පැයට
2

හැඳුනුම් කම

පසු ගිය දවස් කිහිපය මා සොඳුරිය ගේ ගම් පලාතේ වසන්නට වූයේ, මලයා ගේ මළ ගෙය නිසාවෙනි. එහි දී අත් විදි දෙයක් අද බසයේ ගමන අතරතුර මතක් විය. දිනෙක මම මාතලේ නඟරයට දානයට අවැසි දේ ගෙන ඒමට බසයේ ගමනේ යෙදුනෙමි. මා බසයට නැගුන වේලේ පටන් අප කොළඹ දී අත්දකින කොන්දොස්තර මහතා ගේ "ඉදිරියට-පසුපසට" සහ "සල්ලි ගන්න" නැමැති වදන් පෙලට හාත් පසින් ම වෙනස් කතා බහක මෙහි වූ කොන්දොස්තර යෙදුනි. මතක කිහිපයක් පහත සඳහන් කරමි.

"හරි නිමල් මල්ලි කොහොම හරි එල්ලෙන්න, හරි ද? හරි යමු"

"නිමල්කා, චූටි දුව, නිල්මිණි නැන්දා බබෙක් ලැබෙන්නනෙ ඉන්නේ පොඩ්ඩක් නැඟිටලා ඉඩ දෙනවද?"

"ආ! ඇක්මොන් මාමේ, සාදික්කා මල්ල ඔන්න ඔය පැත්තෙන් දා ගන්න. ඉතින් කීයටද මේ දවස් වල සාදික්කා විකිනෙන්නේ?"


මේ කොන්දොස්තර මහතා හැමෝටම කතා කලේ නම කියලා. ඒ කියන්නේ මේ හැමෝවම හඳුනනවා. මට පුදුම අපේ කමක් දැනුනා. පුදුමේ කියන්නේ ඔහු මාවත් හදුනනවා.

"ඉතිං මහත්තයෝ හරි කරදරේ නේද වුනේ, අපි රෑට මළ ගේ පැත්තේ එන්නම් කෝ"


කොටි ත්‍රස්තයෙකුට නම් මළාට මේ බස් රියේ නම් බෝම්බ ගෙනියන්න බැහැ. මොකද හැමෝම එකිනෙකා හඳුනනවා.

අප සැවොම එක ගමේ මිනිස්සු කියන පණිවිඩය තමයි, ඒ කොන්දොස්තර මහත්තයා ගේ වදන් වල තිබුනේ. අපට එය තරමක් දිග කර ගන්න පුලුවන්, අප සැවෝම එක රටේ මිනිස්සු.

2008-09-03

නිලන්ත පියසිරි විසින් 10:04 පැයට
0

බිය ගැන්වීම සහ සැබැ බිය

බසයට, රේල්ලුවට නැගි මොහොතේ සිට බෝම්බ බිය, මඟට බට මොහොතේ සිට වාහන අනතුරු බිය, නිවසට ගිය මොහොතේ සිට සොර සතුරු බිය, මේ ආදි නොයෙකුත් බියෙන් සත පෙලේ. නමුදු මෙබිය නිතැතින්ම සතන් තුල පැන නඟින්නේ නොවේ. මෙය තනන්නක් වෙයි. පොලිසිය සහ මහජන රැක්ම උදෙසා කැප වූවන් බෝම්බ ගැන කීම ඒ ගැන සැලකිලිමත් වීම උදෙසා උදව්වක් වෙන බැව් සැබෑය. එහෙත් රූපපෙට්ටිය දැමූ මොහොතේ සිට අපමණ රක්‍ෂණ සමාගම් අප බය කරන තරම්. ඔබ මෙහෙම මැරුනොත්, අර ආකාරයට මැරුනොත්, අත පය කැඩුනොත්, පිලිකාවක් ආවොත් මෙකී නොකී කී ආකාරයකට අපව ත්‍රස්ත කරයිද? මෙය ත්‍රස්තවාදය ම නොවන්නේද?

2008-08-29

නිලන්ත පියසිරි විසින් 11:55 පැයට
2

සිය දිවි නසා ගැනීම - අතුරු කථාව

මාගේ මයිලනුවන් දිවි තොර කර ගැන්මෙන්, අප සියලු දෙනා හට ඇති වුනු කම්පනය මහත් බව නොකිව මනාය. නමුදු හේ එසේ කර ගැනුමට තරම් පබල තෙරපුමකට බඳුන් වන්නට ඇති බව ද සැබෑය. එ අවසරයෙහි සිතේ කිනම් වූ සිතුවිලි මාලාවක් යන්නට ඇති දැයි කිසිවෙකුටත් කිව නොහැක. කෙසේ නමුදු අපි සියල්ලෝම ඔහුට සමාව දෙන්නෙමු. නමුත් දැන් අතුරු කථාව...

මහේස්ත්‍රාත් පිරික්සුමෙන් පසු මළ සිරුර මරණ පිරික්සුම උදෙසා එම පරික්‍ෂක වෙත ගෙන යාමට පොලිසිය වෙත පැවරුණි. පළමුව ගෙන ගිය රෝහල එම පිරික්සුම එහි කැරුමට පහසුකම් නොමැති බැව් පැවසීය. සිරුර පහසුකම් ඇති රෝහලක් වෙත ගෙන යන ලදි. නමුත් පොලිසීයට පවා ගමන් පහසුව අප විසින් සැලසිය යුතුව තිබුණි. එවැන්නකට පවා පොලිසියක වාහනක් නොමැත. මේ සඳහා වන නොයෙකුත් ලිපි වල සේයා පිටපත් ගැන්මට පොලිස් නිලදරුවා විසින් මා හට පවරණ ලදි. කෙසේ හෝ පරික්‍ෂක වෙත සිරුර ගෙන ගිය පසු එය කැපීමට නියම කළ වේලාවේ පටන් එම මිනී කාමරයේ (mortuary) වන සේවකයින් අල්ලස් ඉල්ලූ සැටි කීමට අජූවය. පිරුක්සුමෙන් පසු මළ සිරුර ඉවත් කර ගැනුම උදෙසා එම රෝහලේ සුලු සේවකයෙකු විසින් යම් ආකාරයක මුද්‍රාවක් තබා කරනු ලබන කාරියක් වේ. එහිදී හේ විසින් නොයෙකුත් ආකාරයේ ලිපි වල ලුහුඩු කම් කීමට විනි. මා නැවත පොලිස් නිලදරුවා වෙත ගොස් එය ගැන කී විට කීවේ, ඔහුත් අල්ලස් ඉල්ලන බවකි. මයිලනුවන් ගැන මට දුක් වන්නට පවා වේලාවක් නැති කල, මිනිසුන් අසරණ වූ තැනම ඒ මත යැපෙන්නට තනන මෙම පාපතරයන් ගැන කෙසේ නම් මා කිපිය යුතුද? මිනී කාමරය අසල සරන මල් ශාලා තැරැව්කරුවන් ඇත්තෙන්ම මිනී කන ගිජුලිහිණියන් හා සම වේ මැයි. අවසන දී කිව යුතු දේ නම් මා මේ කිසිවෙකුට අල්ලසක් දීමට තරම් අසරණ නොවී සිත දැඩි කර ගත් බව පමණි.

2008-08-28

නිලන්ත පියසිරි විසින් 12:44 පැයට
2

සිය දිවි නසා ගැන්ම

දින සටහන් ලියනුයේ බොහෝ කලෙකිනි. හේතුව කීමටත් එක්තරා ආකාරයක කුහුලක් පවතී. නමුත් නො කියා නො හැකිමය. මගේ සොඳුරිය ගේ බාල සොහොයුරා සිය දිවි තොර කර ගත්තේය. මෙය විටෙක මුළු පවුලට ම නින්දාවකි, තවත් අතට සැවොට ම මහත් දුකකි. දිවි තොර කරගත් ආකාරය සහ ඒ ගැන මම මෙහි දී කිසිවක් නො කියමි. තවද එවැනි මෝඩ මිනිසෙකු සහෝදරයෙකු ලෙස ලැබූ මා පිය සොඳුරිය ද, එවන් දරුවෙකු මෙතරම් කලක් උගන්වා උස් මහත් කොට උසස් උගෙනුමටත් වියදම් කොට සෑදූ මව්පියන් ද ඒ අතින් අවාසානාවන්තයෝ වෙති. තම ජීවිතය වුවද තමන් ගේ දෙමව්පින් ගැන, සහෝදර සහෝදරියන් ගැන නො සිතා අවසන් කර ගැන්මට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත්තේමය. ම සොඳුර අප ගේ දෙවැනි දරුවා බලාපොරත්තුව සිටින්නීය. ඇය කෙතරම් සංතාපයකට පත් විනිද. හේ දිවි තොර කර ගත්තේ යමෙකුගෙන් පලිගැන්මට නම්, ඒ පලිගත්තේ ඒ කිසිවෙකු ගෙන් නොවේ, තම දෙමව්පියන් ගෙනි, තම සහෝදර සහෝදරියන් ගෙනි. හේ රිදවන්නට උත්සහ කළේ කිසිවෙකු ගෙන් නම් එය ද එසේමය. මෙම ආරංචිය මට ලැබෙන විට 19 වෙනිදා මැදියමේ 12.10 පමණ විය. සොඳුරිය ගේ මව ද අප නිවසේ වසන්නීය. මා විසින් තවත් තැනකට තෙල පවසුවෙන් අමතා සිදුවීම සනාථ කර ගන්නා ලදි. ඉඳින් මම මේ පුවත, තම බාල සොහොයුරා, තම බාල පුතු මිය ගොස් ඇති පුවත කෙසේ නම් කියන්නෙම්ද? දරුවා ලැබීමට ආසන්න ව සිටින ඇයට මෙය දරා ගත හැකි වේද? නැන්දනිය සිහි නැති වුවහොත් මම කුමක් කරන්නෙම් ද? මට කළ හැකිව තිබුනේ සෑම දරුවෙකුම ගන්නා පියවර පමණි, එනම් මගේ දෙමව්පියන් ඇමතීමයි. "අම්මා...." මට කිව හැකි වුනේ එපමණකි. අසරණ කමට හැඬුම් ආවේය. ඔවුනට හැකි තරම් උදයෙන් ගෙදර එන ලෙස කියූ මා පහන් වන තුරු නොනිදා රැය පහන් කළෙමි. ඒ අතර තුර කාලයේ මා කෙතරම් අසරණද යන්න කිහිප විටකදීම තේරුම් ගියේය. මරණයක් ස්වභාවියකය. නමුත් සිය දිවි තොර කර ගැනීමක් කිසි විටෙක ස්‍වභාවික නොවේ.

2008-08-13

නිලන්ත පියසිරි විසින් 14:15 පැයට
0

මේ දවස් වල තුරුදැල

පසු ගිය දවස් කිහිපය තුල ටෙලිකොම් ආයතනය මඟින් තුරුදැල් සේවය ලබන අය, එහි වූ අතොරක් නැති බිඳ වැටීම් කෙරෙහි මුහුණ දෙන්න ඇති නේද? තාමත් එය එහෙම තමයි. nslookup ලෙස අණවුවහොත් අපිට ලැබෙන්නේ අපේ DNS දායකයා නේද? පැණය ඇත්තේ එහි බවයි පෙනෙන්නේ. විබ පීරුවොත් සැමෝටම විවර කළ DNS දායකයෝ කිහිප දෙනෙක් සොයා ගත හැක. නිදසුන් ලෙස.

ScrubIt
67.138.54.100
207.222.209.66

vnsc-pri.sys.gtei.net
4.2.2.1
4.2.2.2
4.2.2.3
4.2.2.4

ආදිය දැක්විය හැක. තියෙන ඒවා ඉවත් කර මේවා දමන්න. DNS දාන හැටි දන්නව නේද? ලිනුක්ස් වල නම් /etc/resolv.conf වෙනස් කරන්න. වින්ඩෝස් වල නම් connection හි ඇති DNS වෙනස් කරන්න.

2008-08-12

නිලන්ත පියසිරි විසින් 14:23 පැයට
0

Media Player හි පින්තුරයක් හසු කර ගැනීම

මේක මට පැන නැඟුණු පැණයක් නම් නොවේ. නමුත් Windows පියොදන (පිසදාන නොවේ, පාවිච්චි කරන) යාළුවෙකුට Media Player හි ඇති තැනක් රූපයක් ලෙස සුරකින්න අවැසි වී සුපුරුදු print screen යතුර හරහා සුරැකි මුත් පෙනුනේ කළු පාට රූපයක් පමණි. මෙය මට ද වරක් උවමනා වී මෙම පැණයට ම මුහුණ දුනෙමි. නමුදු මට ද එය විසඳා ගත්යුරු මතක නොමැත. පසුව විබ පීරුවෙමි. පිළිතුර ලදිමි. එය මෙසේය.

1. Media Player අරඹන්න, Tools හි ඇති Options වෙත යන්න.
2. එහි ඇති Performance තීරුවේ, Advanced වෙත යන්න.
3. එහි ඇති Use overlays ඉවත් කරන්න, OK තෝරා නැවත Media Player මුල සිට අරඹන්න.

දැන් සුපුරුදු print screen යතුර පියොදන්න. කොහොමද? හරි නේද? Media Player 9 හි නම් ctrl+I හරහා මෙය කරන්න පුලුවන් ලු.

2008-08-08

නිලන්ත පියසිරි විසින් 11:17 පැයට
1

මුතුරාජ වෙල

මට දෙස බස රැස ගැන හැඟුමන් ඇති කළේ මගේ කිරි අම්මා. දුටු ගැමුණු එළාර සටන ගැන ඇය කියූ අයුරු මට යලිදු එය අසන්නට හැකිනම් යැයි සිතෙන තරම් ය. ගැමුණු කුමරු හුණු සුනු සහල් බත් තැනින් තැන කෑ අයුරු දැක මැහැල්ලක් එය කුමාරයා ගේ සටනට උපමා කළ තැන පටන් ඒ සබඳිව ඇති කථා නම් අපමණය. ඒවා වෙනම කථා කරමු. නමුත් විජිතපුර සටන යනු අප සිතන තරමේ හුදු කඩු පොලු සටනක් නම් නොවේ. එය මහත් වෙහෙසක් සහ සැලසුමක් ඇතිව සිදු කෙරුණු සටනකි. එම සැලසුම් අවුරුදු සහ මාස ගණන් තුල සැකැසී ඇත. "ඇතිමලේ" ගමට නම සැදුන සැටි අප කවුරුත් දන්නා පරිදි සද්ධාතිස්ස කුමරු මහා වෙල් යාය සටනට පළමු අස්වද්දවා තම අය්යාගෙන් "මේ ඇති දැ"යි ඇසූ කල ලැබුණු උත්තරය විය. මෙලෙසම මුතුරාජ වෙලද දුටු ගැමුණු කුමාර අණින් සටනට පළමු අස්වැද්ද වූ බව කිරි අම්මා මා හට පැවසුවාය. අපේ හේවායෝ මෙකල වියලි සලාක (Dried Rations) ලෙස පෙරමුණට ගෙන යන්නේ පර රට සෑදූ ආහාර වේ. එකල අපි පර රටින් නොයැපුනෙමු. ඉඳින් අපේ මුතුන්මිත්තෝ නොකා සිටියෙහු ද? නැතිනම් සටන් පෙරමුණේ සැමදා බත් පිසුවෝ ද? නැත. ඇය (කිරි අම්මා) පැවසුවේ එකල පෙරමුණේ කෑ වියලි සලාක වූ යේ "කැවුම්, ආස්මි, අතිරස, මුං කැවුම්" වූ බවය. අපි අද වූවද දනිමු මෙවැනි කැවිලි මසක් පමණ කිසිදු නරක් වීමකට බඳුන් නොවී කෑ හැකි බව. හෙළයා කැවුම් කන්න යෝධයා බවද පැවසෙයි. (මෝඩ කථාව නම් අපි හැමදාම කියා ගන්න එකනේ).
මෙහිදී මට කීමට උවමනා වූ දේ නම් එකල කැවුම් තැනුමට අස්වැද්දූ මුතුරාජ වෙල අද තිබෙන්නේ කොතනද යන්න ගැනයි. බොහෝ කලක් පුරන්ව ගොහොරු බිමක් ව තිබුනු මෙබිමෙහි කොටසක් අද ගොඩ කොට ගොල්ෆ් බෝල ගසන පිට්ටනියක් ව ඇත. තව කොටසක් තවමත් වගුරු බිම් ලෙස පවතී. අවුරුද්දකට වාරි මැවිසුරන් කී දෙනෙකු අපගේ සරසවි වලින් පිට වනු ඇත් ද? ඔවුන් ව හරි මඟ යවා ඇති ද? අපේ දෙස හදන්න බැරිද? පුළුවන්, හැබැහින්ම පුළුවන්.

2008-08-05

නිලන්ත පියසිරි විසින් 16:59 පැයට
0

ලිනුක්ස් සූසැටිය තුලට එකවර භාවිත නාම බොහොමයක් දැමීම

හදිස්සි අවැසිතාවයක් ආවා සියයකට පමණ අලුත් විද්‍යුත් ලිපිණ නිකුත් කළ යුතු බවට. ඉදින් මේ සියල්ල එකින් එක ඇතුළු කරන්න සෑහෙන්න වේලාවක් යයි කියා තුරුදැල තුල සෙවීමක් කළෙමි. පිළිතුරක් ලැබුනා, කා හට මුත් අවැසි වුනොත් කියා සටහනක් තබමි. මුලින්ම සමූහය (group), භාවිත නාමය (username) සහ රහස් පදය (password) හිස් තැනකින් (space) වෙන් වන පරිදිත් එක් අයෙකුට එක පේලියක් වන පරිදි ගොනුවක් (file) සකස් කරගතිමි. පසුව පහත දැක්වෙන තුරුදැලින් සොයා ගත් කුඩා ක්‍රම ලේඛණයක් (script යන්නට හෙළ වදනක්?) නැවත සකසා මගේ අවැසිතාවය නිම කරගතිම්.

NEW_USERS="/home/nilantha/text_data_file"
HOME_BASE="/home/"

cat ${NEW_USERS} | \
while read USER PASSWORD GROUP
do
useradd -g ${GROUP} -p ${PASSWORD} -m -d ${HOME_BASE}${USER} ${USER}
done

නිලන්ත පියසිරි විසින් 15:34 පැයට
0

කුණු ගොඩ

බස් රිය තුල හිඳ ගෙන සිටි ඈ, මල්ල තුලින් කෙටි කෑමක් ගෙන කෑවාය. ඉන් පසු එය ඔතා තිබූ කඩදාසිය ජනේලයෙන් ඉවතට විසි කළාය. ඔබ/මා සිටින තැනින් පිටත සැම විටම කුණු ගොඩ ද? හිතේ සහ වතේ තිබූ සෝබනය තම වටපිටාවටත් ආරෝපණය කළ හැකි නම්.

නිලන්ත පියසිරි විසින් 14:12 පැයට
2

බරපතල තුවාල

උදේ පුවත් බලන කල මතු වුනු පැනයකි, බරපතල තුවාල කෙතරම් බරපතල ද යන්න. සටන් පෙරමුණෙ හි තුවාල ලබන හේවායා ගේ බරපතල තුවාල යනු හේ සිහි සුන්ව හෝ සිරුරෙ හි අංගයක් නොමැතිව රෝහලේ දැපිය යුතුය. බරපතල තුවාල ලබන මාධ්‍යවේදියා (මෙයට හෙළ වදනක් ඇත් ද) පයින් ඇවිදවුත් දොරටුව අසල දී රෝද පුටුවට බට පසු නිවේදන ද නිකුත් කරයි. ඡන්දය උදෙසා වන පක්ෂ සටනේ ගුටි කෑ වුන් බරපතල තුවාල ලබා රෝහලේ ඇඳ මත එකිනෙකා විසුළු කර ගනිමින් සිටිති. මෙවැනි ජනමාධ්‍ය බලන අපි බරපතල තුවාල යන්න නිඟමනය කරන අයුරු ගැන බරපතල පැනයකට මුහුණ දෙන්නෙමු.

2008-07-24

නිලන්ත පියසිරි විසින් 15:08 පැයට
0

සුදු වෑන් සෙල්ලම

සුදු වෑන් රිය මඟින් අයවලුන් පැහැර ගෙන යාම ගැන මාධ්‍ය වාර්තා එමටයි. සුදු වෑන් මඟින් සමහර විටෙක මිනිසුන් පැහැර ගෙන යන්නට ද ඇත. මා කියන්නේ එය ගැන නොවේ. ලංකාවේ බහුලව ඇත්තේ සුදු වෑන් නොවැ. ඉඳින් මා යන මඟ පසු පසින් එවැන්නක් පැමිණිය හොත් "මා පසු පසත් එවැන්නක් ආවා" යි කියා පොලිසිට පැමිණිලි කළ හැකියි නොවෙද?

මගේ කේජු කෑල්ල අරන් ගියේ කළු කපුටෙක් යැයි කියා නරියෙකු කිවහොත් ?

පරසිඳු විහිළුවක් වේ ක්‍රිකට් ගැන. චීනයේ ක්‍රිකට් කෙලිය නැත්තේ ඔවුන් එයට අකමැති නිසා නොවේ ලු. ක්‍රිකට් කෙලින රටවල් ඔවුන් ව ඒ සඳහා ගන්නේ නැති ලු. හේතුව චීනුන් සැවෝම රූපයෙන් එක සමාන බැවින් හොඳම පිතිකරු පවා දැවී ගියත් ටික වේලාවකින් නැවත පැමිණ සෙල්ලම් කරන බැවින් ලු.

2008-07-21

නිලන්ත පියසිරි විසින් 14:05 පැයට
3

මුහුණු

පසු ගිය සෙනසුරාදා අපි කුඩා දියණිය ද කැටුව දළඳා වැඳීමූ. ගමනෙහි යෙදුනේ රේල්ලුවෙහිය. මා මෙහිදී මතු කිරීම ට යනුයේ ඒ ගමන පිළිබඳ විස්තරයක් නොව අප ගමනෙහි යෙදෙන අතරතුර මා පිය සොඳුරිය පෙන්වූ කරුණක් ගැනය. අප ගමන් ගත් කෝච්චිය ගම්පහ අංගනයෙහි ද නැවැත්වීය. සෙනසුරාදා දිනයක් වුවද, වැඩපොලට යාමට පුල-පුලා සිටිනවුන් බොහොමයක් එහි වූහ. "බලන්නකෝ මේ හැමෝගෙම මුහුණු දිහා, ඔයාට දෙයක් පෙනෙනවද?" ඇය මගෙන් පිලිවිතරියාය. ඇත්තෙන්ම කිසිදු සිනහ මුසු මුහුණක් එහි නොවීය. ඔවුන් සිටින්නේ මහත් වූ දුකකට පත් වීමට ඔන්න-මෙන්න කියා මෙන්ය. රැකියාවට යාමට මෙතරම් අකමැතිද? තමා කරන දෙයින් කිසිවෙකු තෘප්තිමත් නැති ගානය. මා මෙය තවදුරටත් තහවුරු කරනු වස් අද බසය තුලද, ප්‍රීතිමත් මුහුණක් සෙව්වෙමි. එවැන්නක් නැත. මා ද සිනහ මුසුව නොමැති ව ඇති. ඇයි මේ?

2008-07-15

නිලන්ත පියසිරි විසින් 11:12 පැයට
2

දුවණිය බේරා ගැනීම

තෙලි දසුනය අපට කෙරෙන බලපෑම ගැන අනේකුත් ලිපි අනේකුත් මාධ්‍යයන්ගේ පලව ඇත. එය නොබලා සිටීමෙන් හැර එය වැඩිහිටියන් වන අපගේ සිතුවිලි වලට පවා කරන බලපෑමෙන් මිදිය නොහැක. එ නයින් ගත් කල කුඩා දරුවන්ට එය කෙරෙන බලපෑම කෙතෙක් වනු ඇතිද? මා සිටින කුඩා මහල් නිවසේ, දිවා කල දුවණිය හා රැදෙන්නේ මා පිය සොඳුරියගේ අම්මාය. ආදරය රැකවරණය අතින් ඈ අති සුරක්ෂිතය. අම්මා දිවා රැයේ දියණිය සමඟ සිටීම හැරුනු කොට කැරමට කිසිදු කාරියක් ගෙදර නැති හෙයින් තෙලි දසුන දෙස බලා හිදී. මගේ කුඩා දියණියද ඒ සමඟ වෙයි. එතුලින් ගලන කුණු කිසිදු පෙරීමකින් තොරව ඇගේ කුඩා මොලය ආක්‍රමණය කරනු ඇත. අම්මාට මේ මෝඩ පෙට්ටියෙන් මිදෙන්නට උපදෙස් දුනහොත් ඇය කුමක් කරන්නද? තවද කෙතරම් දුරට ඇගේ සිත රිදෙනු ඇතිද? එසේම මා වත් නොබලන මේ නරක ගුහාවෙන් ගලන නරකාදියෙන් මගේ දුව බේරා ගන්නේ කෙසේද? අපි දියණුව නමින් කුමණ තැනක සිටින්නෙමුද?

2008-07-14

නිලන්ත පියසිරි විසින් 10:04 පැයට
1

අහසින් ඔළුවට වැටුනු ඔළුව

සාමාන්‍ය කඩ පොලේ ගණන හා ගත් කල පිටකොටුව මැනින් වෙළඳ පොලේ එළවළු ලාභ බැවින් පසු ගිය සිකුරාදා එහි ගියෙමි. මා එළවළු තෝරමින් ඉන්නා තැනට මඳක් එහායින් කතක්ද මිළදී ගැනීමෙහි යෙදී සිටියාය. එක් විටම ඇය මහ හඩින් මොර ගෑවාය. මා කළබලයට පත්ව එදෙස බැළුවේ මෙකල කොටි හපුවන්ගේ බෝම්බ සුලභ බැවිනි. ඇගේ හිසට අහසින් යමක් වැටී එය ඇගේ එළවළු මල්ලෙහි රැදී තිබේ. ඇය මොර ගැසුවේ එය දැක්මෙනි. බැලින්නම් මෙය කුකුළු හිසකි. අවසන් මස් බිඳත් කිළෝ ගණනට එකතු කරනු වස් හැකි ලඟින්ම බෙල්ල කැපූ කුකුළු හිසකි. එහි ඇස් පියව ඇත. ඇත්තෙන්ම එය මිනිස් හිසක් වූයේ නම් කෙතරම් බියකරු දසුනක්ද? මෙය කුණප කොටසකි. අසල කුකුළන් මරන තැනකින් කපුටෙකු ඔසවා ගෙන යනු ලැබූ මළ සිරුරු කොටසකි. මිනිස් මළ සිරුරු සීරු මාරුවට ගෙන ගොස් දවති නැතහොත් වලලා දමති. ඇත්තටම මෙවැනි විකුණුම පිණිස මරා දමන සතුන්ගේ ඉතිරි මල කොටස් සාමාන්‍ය කුණු ගොඩට දමත්ද? නැතිනම් කුමක් කරනු ඇත්ද?

2008-07-13

නිලන්ත පියසිරි විසින් 18:53 පැයට
2

වැඩ වැරුම

පසු ගිය දහ වැනිදා වැඩ වැරුම 70% කින් සඵල වූ බවට පුවතෙක් විය. එනම් රජයේ සේවකයින්ගෙන් 70% පමණ වැඩ වැරූ බවය. එනමුදු සෑම කිරියාවක්ම සුමුදුව, යුහුසුළුව වූ බවක් අපට නම් දැනුනි. එසේ නම් මෙහි තේරුම ඉන්තේරුවෙන්ම රජයේ සේවකයින්ගෙන් 70% කොහොමත් වැඩ නොකරන බවද?

2008-07-11

නිලන්ත පියසිරි විසින් 15:19 පැයට
3

කොමා වලින් වෙන් වූ ගොනුවක් mysql දත්ත සමුදායකට ඇතුල් කිරීම

අප ආයතනයේ තෙලිබහුන අංක ඇතුලතජාලයෙන් (intranet - යන්නට නියම වචනයද නොදනිමි.) ලබාගැන්මට කුඩා අතුරුමුහුණතක් සදාගැන්මේදී xls ගොනුවක තිබූ තෙලිබහුන අංක රැස mysql දත්ත සමුදායකට ගැන්මට උවමනා විය. මුලින්ම එය cvs හෙවත් කොමා වලින් වෙන් වූ ගොනුවක් ලෙස සුරකින ලදි. උත්සහයන් කිහිපයක් වැරදුනු පසු සාර්ථක කුඩා php ක්‍රමලේඛයක් සාදා ගතිමි. එය මෙසේය.

include ("incl/sql_connect.incl");

$row = 1;
$handle = fopen("teleno.csv", "r");
while (($data = fgetcsv($handle, 1000, ",")) !== FALSE) {
$num = count($data);
echo "

$num fields in line $row:

\n";
$row++;

$sql="INSERT INTO `telephone` (`field1` , field2 , `field3` , `field4`) VALUES ('$data[0]','$data[1]','$data[2]','$data[3]')"; //use %d if the values are numbers instead of a string/text
mysql_query($sql)||die("Insert error: ".mysql_error());
echo "inserted";

}
fclose($handle);

?>
PHP නිල වෙබය මෙහිදී අති මහත් ප්‍රයෝජනයක් විය.

2008-07-10

නිලන්ත පියසිරි විසින් 11:07 පැයට
5

උසස් අධ්‍යාපනයෙන් ලැබෙන්නේ ආචාර්ය ද නැතිනම් අචාර්‍්‍ය ද

මා ගමන් කරන බසය යන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය අසලනි. එහි හිටපු උසස් අධ්‍යාපන ඇමති කෙනෙකු වන රිචඩ් පතිරණ මැතිතුමා වෙනුවෙන් සොව පල කැරුමට රෙදි පුවරු කිහිපයක් එල්ලා තිබුනි. එහි වු පුවරු දෙකක ඔහුගේ නම සදහන් වූයේ "ආචාර්ය රිචඩ් පතිරණ" හා "ආචාර්්‍ය රිචඩ් පතිරණ" යනුවෙන් දෙවිදියකටය. මින් නිවැරදි කුමක්ද? නියතයෙන්ම මින් එක් අයුරක් වැරදි විය යුතුය. නිවැරද්ද පෙන්වීමට මා සිහල බස පිළිබඳ වියතෙකු නොවේ. නමුදු "උසස්" යැයි සම්මත අධ්‍යාපනය සඳහා වන ආයතනයක් නිවැරදි දෙය රටට පෙන්විය යුතු නොවෙද? මැවිසුරු ඊලියන් මහතා මෙයැටම "දකුතුරු" යැයි වදනක් යොදනු මම දුටුවෙමි.

නිලන්ත පියසිරි විසින් 09:31 පැයට
2

යොමුව කීම

අප සාමාන්‍යයෙන් යොමුවක් කියන්නේ වඩාත් පරසිඳු තැන මුල් කිරීමෙනි. උදාහරණයකට "කොල්ලුපිටියේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ට දකුනින් ඇති පාර". අපි මෙහිදී වඩාත් ජනප්‍රිය තැන බැංකුව යොමුවට ගනිමු. ඊයේ බසය තුල දෙදෙනෙකු අතර සිදු වූ සංවාදයක් මට ඇසුනයුරු මෙසේය.
"මචං එතනට යන්නේ කොහොමද?"
"ආහ්! මෙහෙමයි. අර බම්බලපිටියේ මසාජ් පොට් තියෙන්නේ, ඒකට එහා පැත්තේ පාරේ යන්න ඕනේ".

කොහොමද අදාල තැන ගැන දෙදෙනා අතර පරසිඳු බව?

2008-07-04

නිලන්ත පියසිරි විසින් 11:23 පැයට
1

අපේ දරුවෝ

පාසල් ගොස් පැමිණි වේලේ සිට අඹ, කජු, කටු ලොචි, පේර ගස් සූරමින් ගත කළ අපේ ළමා කල අපේ දරුවෝ ලබත්ද? මෙය අතීත කාමය ගැන කථාවක් නොවේ. නමුත් ඔවුන් ගැන ඇත්තේ අප ගැනම මෙන්ම දුකකි. අපේ දෙමව්පියන් ඔවුන් කුඩා කල ලද විනෝදය අපි නොලැබුවෙමු. එමෙන්ම අප ලද ඒ සුන්දර කල අපේ දරුවෝ නොලබත්. අපි ඔට්ටු ඇල්ලීමට දිවූ දුර අද අපිම රු.10/- ක් දී බසයේ යන්නෙමු. අපේ ක්‍රීඩා පිටි වූ ඒ වතුවල අද සුවිසල් මැඳුරු අරක් ගෙන සිටිති. අපි දිව ගියේ කාගේ වත්ත උඩින් දැයි නො දැන සිටියෙමු. අපට මුළු පලාතම එකම ක්‍රීඩා පිටියක් බඳු විය. අද අපේ මහගෙදරින් එහා වත්තට යා නො හැක. මක් නිසාද යත් එමග වසා මහත් වූ පවුරෙකි.
මගේ දුවනිට පොතේ ඇති කජු පුහුලම පාට කළ නොහැක. හේතුව ඇය එය මොන පැහැයදැයි නොදනී. ඉඳින් මා ඇයව කජු පුහුලම් පෙන්වීමට රැගෙන යන්නේ කොහෙද? පේරාදෙණියේ උද්ඟිත උයනේ වත් අඩුම තරමේ මේ ගස් කොලන් ටික තියෙනවාදැයි නො දනිමි? කොහොමත් ලඟදීම ඇයව කැදවාගෙන මම එහි යමි.
උදේ ගොස් රැයට ලගිනා කපුටන් මෙන් අපි මහල් නිවසෙක සිරගතව ඇත්තෙමු. දුවනිට ගසක මල් පිපෙන අයුරු පෙන්වීමට කුඩා පෝච්චියක කුඩා මල් පැලයක් ඉන්දවා තිබේ. එය ඉද හිට මලක් ලබා දෙන්නේ අප ගැන සිතා නොව කුඩා දියණිය ගැන සිතා විය යුතුය.

2008-07-03

නිලන්ත පියසිරි විසින් 10:09 පැයට
3

මග දිගට ලතැවෙන අපි

මම නම් හිතන්නේ ලඞ්‍කාවේ අපි හදන්න ගන්න ඕනේ මෝටර රිය නොවේ, පා පැදි. අපි අද බොහෝ දෙනා බස් රිය වල පැය ගණන් නාස්ති කොට ගමන් කරනුයේ රු.7/- නැතහොත් රු.10/- දුරකි. මෙය සාමාන්‍යයෙන් විනාඩි 10-15 පමණ පා පැදි ගමනෙකි. එහෙත් අප කොපමණ වේලාවක් හන්දි ගානේ, මං මාවත් දිගේ රුදුරු මුහුණු දාගෙන බස් ඇතුලට වෙලා බකං නිලාගෙන ඉන්නව ද? ඔය අතරතුර බලාපොරොත්තු ගොඩට එකතු වෙන්නේ, මෝටර රිය, යතුරු පැදි, ති රෝද රිය ආදියයි. කාගෙවත් සිහින ගොන්නට පා පැදියක් එකතු වන්නේ යැයි මම නම් නො සිතමි. අපේ පාරවල කුඩා තීරුවක් අවැසි නම් පා පැදි වලට වෙන් කළ හැකියි. ලාබෙට පා පැදි දීලා තවත් අවැසි නම් රජයට පුළුවන් මේ වැඩේට උල්පන්දන් දෙන්නත් පුළුවන්. එවිට ඉන්ධන වියදමත් පහත දමන්න පුළුවන් වේවි. අපි අල්ල ගෙන ඉන්නේ මැද්දෙන් නේද? පලමුව කෙලවරක් අල්ලා ගන්න ඕනේ මේ ලණුව ඔතන්න.

2008-07-02

නිලන්ත පියසිරි විසින් 10:15 පැයට
0

උදයේ දුටු කලුන

අඟනුන් ගේ රූපය වැනීම් නම් බොහෝමය. කවියේ පටන් එකී නොකී සෑම තැනම අඟන රූපය වනති. අදීන තෙලිදසුනෙහිද කතක් නොමැති වෙළඳ දැන්වීමක් නොමැති තරම්ය. අද උදයේ මා රැකියාවට එන ගමනේ දුටු කත ගේ විලාසිතාවට අනුව නොපෙනුනේ රහසඟ පමණෙකි. පුහුදුන් අපගේ නෙත් එදෙස නොයැවෙන්නේ නම් අඩුවෙකි. නමුත් එවැනි අවස්ථාවන්හිදී මා වෙසසින් බලන්නේ අවට සිටින පිරිමින්ගේ මුහුණු දෙසය. ඔවුන ගේ දෑස මහත් වී, කට අය වී බලන අයුරු දැකීම මට සොබාවික සතුටක් ගෙන දෙයි.
සටහන :- කලුන් රත් අත්‍ තඹරට (කව්‍සිළුමිණ)
කලුන් - කාන්තාවන්

2008-07-01

නිලන්ත පියසිරි විසින් 12:41 පැයට
1

මා පිය සොදුර ගේ උපන් දිනය

ඊයේ මා පිය සොඳුර ගේ උපන් දිනය. ඈ තුටු කිරීමට කළ හැක්කේ කුමක්ද යන්න දින කිහිපයක පටන් නිති මා කල්පනාවට ආ දෙයකි. මෙ කල අප සියල්ලෝම හැදියාවෙන් මං මුලා වූවන් බැවින් කළ යුතු දේ ගැන නිතරම සැක සහිතය. උදාහරණයකට මෙ කල විවාහ මඟුලකට කෙතරම් මුදල් වැය වේ ද? මා සිතන අයුරින් නම් ඒ මෙසේය. ඉංගිරිසි කාරයා ගේ විවාහ උත්සවයේ කරන සෑම දෙයමත් සිංහලයා ගේ විවාහ උත්සවයේ කරන සෑම දෙයමත් කරන්නට ගිය කල වියදම් දෙකකි. එක්කෝ අපි ඉංගිරිසි කාරයා ගේ විවාහ සිරිත් අනුගමනය කළ යුතු වෙමු. එසේත් නැතිනම් හෙළ සිරිත් කළ යුත්තෝ වෙමු. ඉංගිරිසි කාරයාගේ අරක්කුත්, කෝට් බෑයත්, මධුසමයත් හෙළ සිරිතෙන් පෝරුවේ මඟුලත්, ජය මඞ්‍ගල ගාථාත්, මහා කෑම මේසත් ගත් කල විවාහ වන්නන් නට්ටං වේ. ඒ අයුරින් ම තමයි අනෙකුත් උත්සවත්. නමුත් අපේ සිතන විධිය වෙනස් කරන්න නම් පටන් ගත යුත්තේ කුමණ කොනකින් ද යන්න නම් නො තේරේ. කෙසේ වෙතදු උපන් දිනේට පන්සල් පමණක් ගොස් බේරීමට නම් තවමත් නොහැක. ඉංගිරිසි කාරයා ගේ කෑම කඩෙන් කෑම වේලක් දිය යුතුමය.

2008-06-26

නිලන්ත පියසිරි විසින් 10:50 පැයට
2

ලමුන් තුරු දැලට නිරාවරනය කරනා මව්පියනට මෙන්න K9 webprotection

නරකම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ තුරු දැලේ කියලයි මට හිතෙන්නේ. සමහරක් කියන්න පුළුවන් මෙය හොඳම ප්‍රජාතන්ත්‍රය කියලත්. කෙසේ වෙතුදු නරක වෙබයන්ගෙන් දරුවා රැක ගන්න මුදල් නොයන මඟක් වශයෙන් K9 webprotection හඳුන්වන්න පුළුවන්. නොමිලේ නිසා තවත් හොඳයි. මට නම් මෙවැනි දේ සොයන වයසේ දරුවෝ නැහැ තවම. නමුත් මම කාර්යාලයේ ඉන්න නරක වැඩිහිටි නරක දරුවන්ගේ ජනෙල් පෙට්‍ටි (windows boxes) වලට මෙය දැම්‍මා. මොකද කාටවත් වෛරස ගැන අදහසක් නැහැ මෙම වෙබයන්ට යනකොට. මෙන්න සම්‍බන්ධකය http://www1.k9webprotection.com/
ලිනුක්ස් පෙට්ටි වල නම් squid හරහාත් මෙය කරන්න පුළුවන් ලු. මම නම් උත්සහ කරලා නැහැ තවම.

2008-06-25

නිලන්ත පියසිරි විසින් 12:08 පැයට
1

අපරනාමයන්‍ තුලින් සමූහයකට විදිලි තැපැල් කිරීම

මා හට අපගේ විදිලි තැපෑල පාවිච්චි කරන්නන් සියළුම දෙනා හට එකවර ලිපියක් යැවීමට උවමනා විය. මා සිතුවේ සමූහක් (group) සෑදීමෙන් මෙම කටයුත්ත කළ හැකි බවයි. නමුදු එමඟින් එය කළ හැකි මගක් මට හමු නොවුනි. මෙහිදී /etc/mail/aliases භාවිත කරමින් එය කළ හැකි විය. මා පළමුව කළේ, මට අවැසි සමූහයේ නමින් අළුත් විදිලි ලිපිනයක් සෑදීමයි. ඉන් පසු ඉහත සඳහන් අපරනාම ගොනුවේ මට උවමනා ඉදිරිපත් කිරීම පහත දැක්වෙන අයුරින් කළෙමි.
all: nilantha, eranga, wmnilantha@gmail.com
ඉන් පසු යලි postfix සේවාව අරඹන ලදි.
service postfix restart

දැන් ඉහත all යන්‍නට විදිලි තැපෑලක් යැවූ විට එය එහි අපරනාමයන් සියල්ලට යැවේ. මෙය මට අළුත් දෙයක් වූවාට සමහරුන් එසේ නොවන්නට පුළුවන්. එසේ නම්‍ කමන්න.

2008-06-13

නිලන්ත පියසිරි විසින් 16:26 පැයට
2

දුවනිට සින්දුවක්


දුවනි හරිම කැමති සින්දුවක් - හිංචි පිංචි හාවා

හිංචි පිංචි හාවා යද්දි තනි වෙලා
විලේ උන්නු ඉබ්බා දැකලා වතුරේ නෑවිලා
ඉබ්‍බා දැකපු හාවා ඉවුරේ නැවතිලා
ඔට්ටු තියලා අපි දුවමුද අහුවා ලං වෙලා

දුවන්නට හැකී තමුසෙ හපනෙකී
ඔච්චර ඔය කියන නිසා දුවලා බලමුද
හැබැයි හාවො මට ඉස්සර වෙන්න දෙනවද

හාවා දුව එනා නිදන්නට උනා
ඉබ්බා හිමින් හිමින් නියම තැනට ලං වුනා
නිදා උන්නු හාවා
ඌට උඩින් පැරදුනා

2008-06-04

නිලන්ත පියසිරි විසින් 09:47 පැයට
0

ඉන්ධන මිල අඩු කරනු

"ඉන්ධන මිල අඩු කරනු" හැම තැනම දැන්විම් ගහලා, ඇමති කෙනෙක් සභාපති වූවාට සුභ පතලා තවත් දැන්වීම් ඒවා නම් රෙදි වලින්. මේවට කොපමණ මුදලක් යනවා ඇතිද? දැන්වීම් වලට යන මුදල් වලින් පාසැල් ලමුන් කී දෙනෙකුට ලිවීමට පොත් දිය හැකිව ඇතිද? ඒවාට යන රෙදි වලින් පාසැල් ලමුන් කී දෙනෙකූට නිළ ඇඳුම් දිය හැකිව තිබුනාද?

2008-05-27

නිලන්ත පියසිරි විසින් 16:34 පැයට
0

සම්භාවිතාව සහ අපි

ජිවිතය සම්පුර්ණයෙන්ම සම්භාවිතාවක්. ඉපිදෙන දෙමව්පියන්, රට, සහෝදර සහෝදරියන්, නෑදෑයන්, බිරිඳ, දරුවෝ විතරක් නොව, බෝම්බයෙන්, මාර්ග අනතුරුවලින් බේරී නිවසට යෑම පවා සම්භාවිතාවක්. බුදු හාමුදුරුවෝ කර්මය කිව්වේ අපි හිතන සම්භාවිතාවට බවයි මගේ අදහස.

2008-05-26

නිලන්ත පියසිරි විසින් 10:42 පැයට
0

සති අන්තය සහ මම

පාසැල් යන කාලයේ සිටම අපි මොනතරම් සති අන්තයට කැමතිද? ඒක තාමත් එහෙමමයි. ඒත් අපි ජීවිතේ උපරිමය ලබනවද? අපි ලංකාවට/ලෝකයට අපගේ උපරිමය දෙනවාද?

2008-05-21

නිලන්ත පියසිරි විසින් 15:30 පැයට
0

වෙසක් දිනේ (!)

වෙසක් දිනයෙහි සිල් ගතිමි. බොහෝ හිමි වරු බුදු දහමට වඩා එතුමන් ගේ දහමක් දෙසන බැව් හැඟුණි. සමහර හිමිනමක් බුදු දහම පිළිබඳ තම දැනුමෙන් මහත් සේ මත් ව සිටිති. එහෙත් මනාව සසර ගැන වටහා දීමට හැකි හිමි වරුද සිටිති. බුදු දහම පවත්නේ එතුමන් ගෙනි.

2008-05-13

නිලන්ත පියසිරි විසින් 10:49 පැයට
0

සිංහල වලට මම කෙතරම් ආදරයද?

සිංහල භාෂාව ජාලයේ භාවිතයට ලැබීම සතුටකි. තවමත් සිංහල අකුරු හැසිරවීම පිළිබඳව පුරුද්දක් නැති වුවත්, යෙදීම පුරුදු ඇතිකරන බැවින් හැකි පමණ භාවිතා කරමි.