2009-02-10

නිලන්ත පියසිරි විසින් 10:50 පැයට
8

සිංහල බොදු වීම

සිංහල හා බොදු වීම කෙතරම් පවක් ද? පුදුම බැණුම් ඇහුමක් නොවැ මේ දවස් වල බොහෝ බ්ලොග් පිටු වලට ගියොත් දකින්නට ලැබෙන්නේ. මාත් නොබැන්නොත් අඩුවක් වගේ.

මේ බොදුයි කියන එවුන් මදුරුවොත් මරණවා නොවැ. ඒ අස්සේ මස් කනවා, ඒ නිසා හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් නොවැ. බෞද්ධයෝ නම් උන් ඒ නමට හරියන විදිහට ඉන්න ඕනෑ. උන් ගේ එකම අරමුණ නිවන විය යුතුයි. වෙන මොනවද ඉතිං. රාජ්‍ය පාලනය ගැන මොන කතාද? හරිනම් ඉතිං බෞද්ධයෙකුට පෙරහැරකවත් යන්න බැහැ. පෙරහැරේ ගිහින් නිවන් දකින්න පුළුවන්ද? බැහැනේ? අනිත් එක මේ බොදුයි කියන කවුරුත් ගිහි වෙලා නම් නිවන් දකින්න හිතන්න එපා. ඉන්තේරුවෙන්ම භික්‍ෂු සාසනයට ඇතුළු වෙන්නම ඕනේ. අනිත් එක සිංහල කමයි, බොදු කමයි නම් කවදාවත් එකට යන දෙයක් නොවේ. ජාතියට ආදරය කරන්න කියන්න බැහැනේ ආදරය කියන බැදීමෙන් වෙන් නොවී. කරුණා කරලා බොදු නම් සිංහල ජාතිය අත හරින්න. ඒකට කෙළවෙච්ච දෙන්, කොහොම හරි නිවන් මඟට පිවිසෙන්න ඕනේ. අනිත් එක පුදුම කිසි ආගමක නැහැ නෙවැ මේ තරම් දුස්සීල පූජක වරු මොන දහමක වත් නැහැ නොවැ. ඒ නිසාම මා හිතන්නේ බොදු කමත් අත හරින්න ඕනෑ. අනේ අපොයි!

මේවට ඉතිං බැණලා ඉවරයක් කරන්න බැහැ.

2009-02-06

නිලන්ත පියසිරි විසින් 09:13 පැයට
2

ලේන් පැංචා ගේ නංගි

නින්දට පෙර දුවනි හට පොතක් කීයවීම දැන් පුරුද්දක් වී ඇත. "අප්පච්චී, පොතක් කියන්න කෝ" ඇය ඇවිටිලි කරන්නීය. පසු ගිය දිනක කියවන ලද්දේ පූස් පැංචෙකු ගැන පොතකි. ඊයේ කියවන ලද්දේ ලේන් පැංචෙකු ගැන පොතකි. කතන්නදරයේ ඇරඹුමේ ලේන් පැංචෙකු, ලේන් අම්මෙකු සහ ලේන් තාත්තෙකු ගැන කියැවුනි. මදක් කල්පනාවේ නිග්මව සිටි ඈ "එතකොට අප්පච්චී කොහෙද ලේන් පැංචා ගේ නංගි?" යැයි විමසුවාය.
පසුව මා විසින් ඈ උදෙසා ගෙනා බොහෝ ළමා පොත් පිරික්සන ලදි. ඒ කිසිවෙක් හි සහෝදර/සහෝදරියක් ගැන නොකියැවිනි. ළමා කතා වල පවා මේ කුඩාවුන් ව තනි කොට තිබෙන බවක් මට සිතුනි. බෙදා හදා ගැනීම, අනුන් ගැන සිතීම, අනෙකා ගැන අනුකම්පාව, අනෙකා ගේ මතය ගැන කුඩා කාලයේ ම හැඟීමක් ලැබෙනුයේ සහෝදර සහෝදරියන් ගෙනි. කුඩා දරුවෙකුට සහෝදර සහෝදරියක් දිය නොහැකි නම් අඩුම තරමින් කතන්දර පොතකවත් එය සදහන් වේ නම් අපූරු යැයි මම සිතමි.

2009-01-19

නිලන්ත පියසිරි විසින් 11:17 පැයට
2

අද නොවේ හෙට

සමහරෙක් කෙතරම් මිස දෙටු ද යනු ලන්ඩනයේ නිවසක පවා "බාලගිරි දෝසය, අද නොවේ හෙට" යැයි ලියා තිබූ බව එහි විසූ අපේ මාමා කෙනෙක් පැවසීය. බාලගිරි යකා ලක්දිව පමණක් නොව ඉංගිරිසි අදිරදයට පවා බැල්ම හෙලන බව මින් කියැවේ. නමුත් මේ සටහන නම් බාලගිරි දොස ගැන නොවේ. අනෙක් තැන් වල මෙන්ම නීතිය කිරියාවේ යෙදවීමේ බාලගිරි දොස ගැනයි. පසු වුන ජනේරු පලමුවෙනිදා සිට පුද්ගලික බස් පල්ලන්ට නිළ ඇදුමක් දෙන බව කියැවිනි. අනේ තවමත් මම බස් පලුවා කියා වැරදීමෙන් හිඟන්නන්‍ට බස් ගාස්තුව ගෙවමි (පසුව බස් පලුවාටද ගෙවමි.) එදිනම සිට ටිකැට්ටුවක් දිය යුතුමැයි කීවත් තවමත් බොහෝ බසයන්හී එවැන්නක් නම් නොලබමි. බලගතු නීති කිරියාවේ යොදවන්නේ කොහොමද, මෙවැනි සුළු නීතියක් වත් බලපවත්වන්නේ නැතිව.

2009-01-16

නිලන්ත පියසිරි විසින් 09:35 පැයට
2

තරඟය අවසන් නැත

මුලතිව් ඇල්ලුවත් "මැච්" එක ඉවර නොවන බව අයෙක් කියත්. අවසන් වුවොත් මොකද කරන්නේ. අපේ රටේ උදව්වට මෙහි වැඩ වසන "රජයේ නොවන සංවිධාන (ආයතන)" වලට මේ රටේ මිනිස්සුන්ට උදව් කරන්න බැරි වෙනවා නොවැ. මහත් අපරාදයකි. අපට සාම දෙසුම් දෙසාබාන්න, යුද්ධයක් නැති වෙනවා නොවැ. කොටින්ම කිවහොත් මෙහෙ ඉන්න ඒ ආයතනයන්හි පරපුටුවන්ගේ රස්සා "ස්ලිප්" වෙත්. මක් නිසාද යත්, ඒවා අකුලාගෙන තවත් මෙවැනි හිඟන්නන් ගේ තුවාල ඇති රටකට "රජයේ නොවන සංවිධාන" යන කල ඒවායේ මෙහි එල්ලී සිටින මැක්කන් අරගෙන නොයන්නේ ඒ රටෙන් උවමනා තරම් මැක්කෝ සොයාගත හැකි බැවිනි. එබැවින් යුද්ධය පැවැත්මේ, සැබැ යැපෙන්නා, ආයුද වෙලෙන්ඳා මෙන්ම සාමය දෙසන්නාද වෙයි. එදිරිවාදීයෝ දෙදෙනෙක් දෙපැත්තක තබාගෙන දෙගොල්ලන්ටම ආයුද තබා ගන්න ඉඩ තියා, සාම දෙසුම් පවත්වමින් තම ජීවිකාව ගෙන යාම කෙතරම් විනෝද ජනකද? විටෙක ඒ දෙසුම් "අමා මෑණී බුදු පියාණන් වහන්සේ" සිවුරු හැර බණ දෙසන්නේ ද යැයි සිතෙන තරම් ය.

"මැච්‍" එක ඉවර නොවෙයි කියා අවසන් මොහොත දක්වා බලාසිටින "ර.නො.සං" හි (NGO) පුතේ/දුවේ, රටට සේවය කරන්න පුළුවන් රස්සාවක් සොයා ගන්න.

2009-01-13

නිලන්ත පියසිරි විසින් 08:47 පැයට
6

පැත්ත ගැන ඇත්ත

කවුරු හරි කියනව නම් සිරස කොටින් ගේ පැත්තේ නෙමේ කියලා ඒක ජාතික රූපවාහිනියයි, ස්වාධීන රූපවාහිනියයි ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ කියලා කියනවා වගේම විහිළුවක්. දැන් ලසන්ත වික්‍රමතුංග මහතා මරා දැමීම ගැන හොයන්න පොලීසිය වහ කනවා. දැන් මොකක්ද මේ මාධ්‍යවේදියෝ කියන්නේ, මේ ගැන හොයන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ මක් නිසාද ඊයේ බොරැල්ල මිනී පිට්ටනිය ලඟ තිබුණු පොස්ටරේ වගේ "සාටකයා ඝාතකයා" නිසා. දැන් එතකොට ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ මිනි මරුවා අල්ලගෙනද? නීලන් තිරුචෙල්වම්ගේ මිනී මරුවා අල්ලගෙනද? ප්‍රේමදාස ජනාධිපති තුමාගේ මිනිමරුවා අල්ලාගෙනද? එහෙමත් නැතිනම් ජෙයරාජ් ප්‍රනාන්‍දුපුල්ලේ ගේ මිනීමරුවා අල්ලාගෙනද? මේජර් ජෙනරල් ජානක පෙරේරා ගේ මිනීමරුවා අල්ලාගෙනද? ඇයි කදිරගාමර් මහතාව වෙඩි තබා මැරූ විට "මෙවැනි ඝාතන වැලැක්වීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි " කියලා ඇමරිකානු තානාපති මත පල නොකළේ. ඔහු කිතුණු බැතිමතෙක් නොවන නිසාද? ජෙයරාජ් මැරූ විට "ඊලඟට කවුද?" කියලා පෝස්ටර් ගහගෙන නීතිඥ සංගමය පෙළපාලි නොගියේ ඔහු නීතිඥයෙක් නොවන නිසාද?
මේ හැමෝටම පැත්තක් තියෙනවා, ඒ ගැන ඇත්ත හංගන්න වලිකනවා, නමුත් ඇත්ත සරම පල්ලෙන් දෝරේ යමින් තිබේ. අවසන යමක් කියමි. කුමණ ආකාරයේ හෝ ත්‍රස්තවාදය මර්දනය කළ යුතුමය.

2009-01-09

නිලන්ත පියසිරි විසින් 09:51 පැයට
8

කුමන්ත්‍රණ

මාධ්‍ය ආයතන වලට පහර දීම්, මාධ්‍යවේදීන් මැරීම්, ආදිය මේ අපේ රටේ උනාමයි නොවැ. ඉතින් හැමෝම ඒ ගැන කළබල වීම ස්වභාවිකයි. දැන් බලමුකෝ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. මාධ්‍ය ආයතනයකට ගහලා කුඩු වෙන්න, මාධ්‍යවේදියෙක් ඔළුවට වෙඩි තියලා මරලා. ඒවා හරිද? මොන ආගමකට වුනත්, මොන සංස්කෘතියකට වුනත් ඒක නම් වැරදියි. එතකොට දැන් කෙනෙක් අපට කියන්නේ මාධ්‍යට එරෙහිව, එය මැඩීම සඳහා රජයේ කුමන්ත්‍රණයක් ඇති බවය. ඒක හරි නොවැ. අපි කියන්නෙමු. ඔන්න තව කෙනෙක් කියනවා, මේ රජය ත්‍රස්තයන් පරද්දගෙන යන්නේ, එය වැලැක්වීම උදෙසා ක්‍රියා කරන ත්‍රස්ත බත් බැලයෝ තමයි රජය අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් මේ කුමන්ත්‍රණය කරන්නේ කියා. බැලූ බැල්මට එයත් හරි නොවැ. තවත් අයෙක් කියනවා, ඡන්දයකුත් අත ලඟ තියාගෙන සියදිවි හානි කර ගන්නවා වගේ මෙවැනි දෙයක් රජය කරන්නේ නැහැ, මෙය විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියා. ඔව් ඔව් ඒකත් වෙන්න පුළුවන් අපි ඒකටත් එකඟ වෙන්නෙමු. එතකොට තවත් කට්ටියක් කියනවා, ඡන්දය ලඟ තියාගෙන රජය මෙවැනි දෙයක් කරන්නේ නැහැ කියලා ජනතාව හිතන නිසා රජය විසින්ම මේවා කළා කියා. ඒකත් වෙන්න පුළුවන්.

මට හිතෙන දෙයකුත් මම මෙතන කියන්නෙමි. කරුණාකරලා කොටි ත්‍රස්තයෝ සුද්ද කරගන්න කම් කවුරු කවුරුත් ඇණ කොටා ගන්නේ නැතිව ඉන්නවද?

2009-01-06

නිලන්ත පියසිරි විසින් 09:32 පැයට
11

ජාතික කැක්කුම සහ බුලත් කහට

කවදත් ඉතිං මගේ බොහෝ රස බස්, බසයන් තුලමයි නොවැ. මෙය ඊයේ වුනු සිදුවීමකි. සුපුරුදු පරිදි මා බසය තුල හිඳගෙන සිටි අතර බසය තුල එතරම් සෙනඟද නොවීය. බසය ඉදිරියට ඇදී ඉතා කෙටි දුරකි. මා සිට අසුනට මඳක් පසු පසින් මහා ගාල ගොට්ටියක් මතු විය.
"යකෝ, ර..... කියනවා ඇල්ලුවේ කිලිනොච්චි නොවේ මැදවච්චි කියලා, මූ කියනවා අලිමංකඩ නොවේ යන්නේ පාමංකඩ කියලා, මං මුගේ කැවුතු කනවා යකෝ"
ඔහු කෑගසූ හඩ නිසා පාරේ යන මිනිසුන් පවා බසය දෙස බැලූහ.
"මේ, කොන්දොස්තර මහත්තයා, මේ මනුස්සයා, බසයෙන් බස්සන්න, බලන්න අපේ ඇඟටත් බුලත් කෙල විසි වෙනවා." අයෙක් බස් පලුවාට අඩ ගැසීය. ඒ වනවිටත් මම පිටු පස හැරී ඒ දෙස නොබැලුවෙමි.
"යකෝ බුලත් කෙල වගේද මගේ ජාතික කැක්කුම, හරි එහෙම නම් මම ඉස්සරහට යන්නම් කෝ"
ඔහු බසයේ ඉදිරියට පැමිණියේය. මේ ඉන්නේ ජාතික වීරයා, ජැන්ඩි පහට කළු කලිසමක් හැද, දිදුලන සුදු අත් දිග කමීසයක් හැද, ගලවාගත් කරපටිය සාක්කුවේ රුවා, අවුරුදු 50ක් පමණ වයසැති, කොල්ලෙක්. හැබැයි, අළුත් බව පෙනෙන මේ සුදු කමිසය පුරාම මේ දැන් හැලුනු බුලත් විට කෙල. එමෙන්ම යන්නතම් වැනි වැනි. ඔන්න ආයෙමත් පටන් ගත්තා... "ඇල්ලුවේ කිලිනොච්චි නොවේ මැදවච්චි ලු, මම මුගේ රීරි ලේ බොනවා යකෝ, මම දකුණේ කොල්ලෙක්"
කිසිවෙකු සද්ද නැත, මඳ වේලාවකින්, ජාතික කැක්කුම් කරු, ඉදිරි අසුනක බුදි.
දැන් අපි සියළු සිංහලයෝ මෙවැනි ජාතිවාදීන් යැයි, පෙළට හිඳගෙන බනිමුද?

2009-01-02

නිලන්ත පියසිරි විසින් 15:35 පැයට
1

අග්ගෝනේ චන්දරේ

අග්ගෝනේ චන්දරේ නැමැති කුප්‍රකට හොර දෙටුවා ගැන ඔබ අසා ඇතිද? එකල එම පලාතම බිය වද්දාගෙන කප්පම් සහ හොරකම් කළ අයෙකි අග්ගෝනේ චන්දරේ. හැබැයි ඔහු ජීවත් වූ කාල පරාසය නිශ්චිතව මම නම් නොදනිමි. කෙසේ වෙතුදු ඒ අපේ ආච්චිලා ජීවත් වූ කාල සමය බව මම අසා ඇත්තෙමි. මා කීමට යන්නේ අග්ගෝනේ චන්දරේ ගැන විස්තරයක් නොවේ. නමුත් ඔහුත් අදාල වන සිනහ මුසු අවස්ථාවක් ගැනයි. එකල අපේ ආච්චි අම්මාත් අඹගහ හන්දියේ කඩයක් දමාගෙන ජීවිකාව ගෙන ගොස් ඇත. අග්ගෝනේ චන්දරේ මුළු කඩපිළෙන්ම කප්පම් ගෙන ඇත. කෙසේ මුත් දිනක ඔහු පොලිසියට හසු විය. පොලිසිය විසින් චන්දරේ ගේ බෙල්ල කෙටියෙන් අල්ලාගෙන සෑම කඩයකට ගෙන ගොස් එහි වූ මුදලාලිට/මුදලාලි හාමිනේලාට වන්දවමින් ගොස් ඇත. එසේ කිරීමෙන් අග්ගෝනේ චන්දරේ නාමයට පවා මිනිසුන්ගේ ඇති බිය පහ කිරීමට පොලීසිය සිතන්නට ඇත. කෙසේ මුත් අපේ ආච්චි අම්මා ගේ කඩයට අල්ලපු කඩයට චන්දරේව අල්ලාගෙන පොලීසිය පැමිණ ඇත.
"මුදලාලි, මුදලාලි කෝ මේ මුදලාලි" පොලිස් නිලදරුවා ගෙය තුල සිටි මුදලාලිට කඩය ඉදිරිපිටට කථා කළේය. ඉදිරියට පැමිණි මුදලාලිට අග්ගෝනෙ චන්දරේ දුටු කල හීන් දාඩිය දැමීය.
"වැඳපිය" පොලිස් නිලධාරියා අණ කළේය.
බිය වූ තරම කෙසේද යත් මුදලාලි අග්ගෝනේ චන්දරේට දණ ගසා වැන්දේය.
"යකෝ මුදලාලි, උඹට නෙවේ කීවේ, මේකට" පොලිස් නිලදරුවා කෑගැසීය.