2010-03-26

නිලන්ත පියසිරි විසින් 11:16 පැයට
1

රස වින්දනය

මිනිස්සු බොහෝ දේ රස විදිනු යේ පුහුණු කිරීමකින් තොරව නොවැ. ඇත්තටම රස වින්දනය පුරුදු පුහුණු කළ යුතු දෙයක් ද? ගීතයක් රස විදින්නේ මෙහෙමයි, චිත්‍රයක් රස විදින්නේ මෙහෙමයි කියා කියා දිය යුතුද? එසේ නැතිනම් මිනිසා තුල නිසඟයෙන් ම ඒ කුසලතාවය පිහිටනවාද? සමහර දිනයන් හී මම මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස බලා යන්නෙමි. ඒ මඟ වැටී ඇත්තේ විහාරමහා දේවී උද්‍යානය අසලින් බැවින් එහි පාර අයිනේ තිබෙන චිත්‍ර සියල්ලම බලා ගෙන යාමට අපට අවසරයක් ලැබේ. එහි වන නෙක පැහැ ගැන්වූ බොහෝ චිත්‍ර වලින් එක වරම කිසිදු අදහසක් මට නම් පහල නොවේ. මගේ මිතුරාට ද එසේමය.
"මොකද බං මේවා බර ගනං දීල මිනිස්සු අරගෙන යන්නේ, මොනවද මේවායේ තියෙන්නේ" යාළුවා අසයි.
ඇත්තෙන්ම මටත් ඒ ගැන නම් අදහසක් නැත. එහෙත් මෙහි යම් ආකාරයක රස විඳීමක් තිබිය යුතුමය. ඒක සමහර විට සමහරු මාමයිට්/වෙජිමයිට් වලට කැමැතියි සමහරු අකමැතියි වගේ ද දන්නෙත් නැහැ.
ගීතය වුවත් එසේම නොවැ. දැන් මේ දින වල කතා බහේ තිබෙන අකොන් හෝ එකොන් නැමැති ගායකයා ගේ ගීත හයිටි, ඩොමිනික් ජනරජයේ ආදි රටවල ජාතික ගීත මෙන් ජනප්‍රිය වේ. ඒ ඔවුන් ගේ රසවිදීම. දැන් අපේ තිස්ස දොඩන්ගොඩ සහෝදරයා ගේ හද ගී පොත හි ඇති ගීත රස විදින්නෝ බොහොමයක් අකොන් හෝ එකොන් ට කැමැති නැති ශෛලයේ අය විය හැක. හද ගී පොතේ ඇති ගීත රස වින්දනය පුරුදු කළ අයවළුන් ට බවයි මගේ අදහස.
කෙසේ නමුත් මගේ අදහස නම් රස වින්දනය පුරුදු පුහුණු කළ යුතු බවයි. නමුත් පවතින මාධ්‍ය කිනම් නම් රසවින්දනයක් රටේ මිනිසුන්ට පුරුදු කරයි ද?
කුඩා යාන් හැල්ලකින් ලිපිය අවසන් කරමි. වරෙක අයෙක් චිත්‍ර ප්‍රදර්ශණයක් බැලීමට ගියේලු.
ඔහු එක්තර පින්තූරයක් දෙස ආශාවෙන් බලා සිටිනු දුටු එය පින්තාරු කළ පුද්ගලයා එහි පැමිණ,
"කොහොමද චිත්‍රය. හොඳයි ද?" විමසීය.
"ෂාහ් නියමයි. හරිම ලස්සනයි. කටට කෙළත් උණනවා" හේ කීවේය.
මුහුණ හකුලවාගත් සිත්තරා, "හිරු බැස යන දර්ශණයක් දැක්කාහම කොහොමද, කටට කෙළ උණන්නේ?"
"ආහ්, මේක හිරු බැස යන දර්‍ශණයක් ද?, මම හිතුවේ බිත්තර ආප්පයක් කියලා, සමා වෙන්න".
ඔන්න ඔහොමයි අපේ රස වින්දනය. 

2010-03-25

නිලන්ත පියසිරි විසින් 22:22 පැයට
2

රැයක් දවාලක් දන්නා බරවා පණුවෝ

ඊයේ සවස ගෙදර ඒමට බසයේ සිටියදී සිඟමන් යැදි කොළුවා තමා ගේ වයස අවුරුදු 23 ක් යැයි කීවේය. හේ හිඟමනේ යෙදීමට හේතුව ලෙස දක්වන ලද්දේ බරවා බැස තිබූ පය යි. හැබැයි ඒ කකුල දැක්කා නම් බරවා රෝගයේ භයානක කම හොදින් පෙනෙනවා. බොහෝ උග්‍ර රෝග මෙන්ම මෙම බරවා රෝගයේ සම්ප්‍රේශකයා ත් මදුරුවෙක්. හැබැයි මේ විදිහට මදුරුවා අරගෙන යන්නේ අනෙක් රෝග වල මෙන් වෛරසයක් හෝ බැක්ටීරියාවක් නොවේ. පණුවෙක් හෝ කීටයෙක්. ඉතින් ඔය පණුවෝ තමයි ඔය මහා විනාශය කරන්නේ. වැඩි පුර විස්තර විකියේ හොයා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ බරවා පණුවන් ගේ විශේෂත්වයක් තමයි ලේ මාර්ග වල උන් ගේ ගහණය වැඩි වෙන්නේ රාත්‍රී 10 ත් පාන්දර 2 ත් අතර වීම. හේතුව නම් තවමත් හොයා ගෙන නැහැ කියලා තමයි විකියේ කියන්නේ. නමුත් මගේ කතාව ඒක නොවෙයි.

ඉස්සර අප කුඩා කාලේ මාස හයකට වරක් වත් රෑ මැද ගෙවල් වලට අවුත් අපගේ ලේ ගෙන බරවා පරීක්ෂණ කළා. අම්මා අපව ඇහැරවා ගෙන සාලය මැද ට ගෙන එන්නීය. බොහෝ විට අප එන්නේ නිදමත පෙරමින් ය. ඇඟිල්ල අල්ලා කුඩා සැතකින් ඇන්න කල, නිදමත කැඩී පියවි සිහියට එන්නෙමු. වීදුරු කැබැලිවල අංක ලියමින් අපගේ නම් සඳහන් කරගනිමින් කෙරෙන එය මහත් වෙහෙසකාරී කාරියකි. මා හිතන්නේ එය නැතිව ගියේ ජවිපෙ භීෂණ යුගයේ විය හැකිය. පසු කලෙක බරවා පෙති හැමෝටම බෙදාගෙන යන ලදි. දැන් නම් එහෙමවත් නැත.
මේ සමාජ මෙහෙවර දැන් කෙරෙන්නේ නැත්තේ ඇයි? දැන් බරවා ලංකාවෙන් තුරන් වෙලාද? එසේ නම් අර සිඟමන් යදින කොළුවා අප්‍රිකාවෙන්වත් ආවාද? තවත් අපූරු කතාවක් කියා මම මෙය අවසන් කරන්නෙමි. 

අපේ අම්මා ගේ අතා කෙනෙක් සිටියේ ය. ඔහුට අම්මා ඇමතුවේ "දොස්තර ආතා" කියාය. ඒ සමහර විට ඔය රෝහලේ හෝ සෞඛ්‍ය පරීක්ෂක තනතුරක රැකියාව කරන බැවින් මිස ඔහු දොස්තර කෙනෙකු නම් නොවීය. ඔහූ බීමතට තදින්ම ඇබ්බැහි වී සිටි අයෙකි. වරක් ඔහුව ඔය රෑට බරවා පරික්ෂා කරන කාරිය සඳහා යොදවා තිබුණි. පරික්ෂා කරන දින හැන්දෑවේ පටන් තවත් මිතුරෙකු සමඟ හේ කරටි කැඩෙන්නට ගසා තිබුණි. රෑ මැදියම තෙක් බිවූ ඔහුට ඇවිදීමට තියා කෙලින් සිටීමට වත් නොහැකි විය. දැන් ඉතින් මොන බරවා පරික්ෂණ ද? 

"දීපන් උම්..ඹගේ අත" ඔහු යාළුවාට කීය. 

ඔහුගේ අත සිදුරු කොට සියළුම වීදුරු කැබැලි වල එම ලේ තවරා ඒ ඒ අංක වලට අදාල වන සේ ගමේ අය ගේ නම් ලියා. උදයේ, බරවා පරික්ෂා කරන තැනට බාර දුනි. 

පසුදා මුළු ගම පුරාම මහත් කළබැගෑනියකි. බරවා මර්දන අංශයෙන් කියන හැටියට මුළු කළපළුවාවටම බරවා සෑදී ඇත. 

අහෝ දොස්තර ආතා ලේ ගත් යාළුවාට බරවා තිබිලා නොවැ. ඔහු ගේ ජොබ් එකත් සිලිප් උනා කියලා තමයි කියන්නේ.

(කළපළුවාව යනු අපේ ගමයි)

2010-03-23

නිලන්ත පියසිරි විසින් 17:47 පැයට
4

පිරිමියෙක්ද?

දින කිහිපයක්ම මා මේ මනුස්සයා දැක්කා. කොණ්ඩේ කෙලින් කොට තඹ පැහැ ගන්වා,  අතේ සහ පයේ නිය රත් පැහැ කොට, තොල් සායම් කොට අතේ පච්චා කොටා ලාලිත්‍යයෙන් ඇවිදින පිරිමියෙක්. පිරිමියෙක් කීවේ වෙසෙසින් ම රැවුල වැවී ඇති බැවින්ය. මෙලෙස ද්විලිංගික හෝ ලිංගු භේදයක් නැති මනුස්සයෝ සිටිය හැකිද? මොවුන් සමාජ විකෘතීන්ද නැතිනම් සොබා දහමේ විකෘතීන්ද?

මෙම පුද්ගලයා ඇවිද යන මඟේ  ම, මා ද  මද දුරක් බසය සඳහා ඇවිද යා යුතුය. එබැවින් ඔහු දෙස බලා අවඥාවට හිනාවෙන පාසල් ළමුන්, තරුණයන් මම දකිමි. ඔහු ගේ මේ ද්විලිංගික පෙනුම මානසික විකෘතියෙක් නම් එළෙස ගර්භාවට ලක් විය යුතුද? මේ මනුස්සයා කුමණ හෝ ලිංගයක් වෙත නැවත තල්ලු කළ නොහැකිද?

ඉංගිරිසියෙන් Hermaphrodite යැයි කියැවෙන්නේ වර්ගය බෝ කිරීම සඳහා ලිංගයන් දෙකම පිහිටීම වේ. ඔය නම ඇවිත් තියෙන්නේ ග්‍රීක මිත්‍යා කථා වල Hermaphroditus නම් සුළු දෙවියෙකු ගේ නමින් නොවැ. ඒකත් අපූරු කථාව.

ඇප්‍රොඩිට් සහ හර්මිස්ට දාව ඉපැදුන මේ දරුවා ඔවුන් ගේ නමින් හර්මාප්‍රොඩිටස් නමින් නම් කෙරුවා ලු. පහලොස් වියේදී කඩවසම් බවට පත් වූ මේ කොළුවා හදා වඩා ගෙන ඇත්තේ ද සුරංගනාවියක් විසින්. ඔන්න ඔය කාලේ දී ඒකාකාරී ජීවිතය ගැන එපා වුන කොල්ලා එහෙ මෙහෙ ඇවිදින්න පටන් අරගෙන තියෙනවා. ඔහොම යද්දී එක්තරා පොකුණකට අරක් ගත්ත සුරංගනාවියක් (අපේ කතා වල තමයි පොකුණු/විල් වලට යක්කු අරක් ගෙන තියෙන්නේ) හමු වෙලා තියෙනවා. ඉතිං මේ සුරංගනාවිට මේ කොලුවා ගැන අදහසක් පහල වෙලා ඔහුව පොළඹවා ගන්න උත්සහ කළත් ඔහු එයට කැමති වී නැහැ.  පසුව  මේ සුරංගනාවී ගියා යැයි සිතා, හර්මාප්‍රොඩිටස් ඇඳුම් උනා දමා පොකුණට බැස්සා. එහෙත් ගස් වලට මුවා වී සිටි අර සුරංගනාවි එක්වරම පසුපසින් පොකුණට පැණ හර්මාප්‍රොඩිටස්ව බලෙන්ම සිප වැලද ගත්තේ ලු. ඔහු ඇයගෙන් ගැලැවීම ට දඟලන කල සුරංගනාවී ඔවුන් ව වෙන් නොකරන ලෙස දෙවියන් ගෙන් ඉල්ලීමක් කළේ ලු. අපොයි ඉල්ලීම ඉටු විය. ඔවුන් ගේ ශරීර එකතු වී ගැහැණු පිරිමියෙක් ඇතිවිය. ලජ්ජාවට පත් හර්මාප්‍රොඩිටස්, එම පොකුණට බසින හැමෝම එලෙස විය යුතු යැයි ශාපයක් කළේලු.

ඔහොමයි ග්‍රීක කතාව.  එතකොට අර මනුස්සයත් ඔය පොකුණට බැස්ස කෙනෙක් ද නැති නම් වැටුන කෙනෙක් ද? 

2010-03-18

නිලන්ත පියසිරි විසින් 12:03 පැයට
1

කැරැලයින් ආච්චි

අම්මා ගේ නැන්දනියක් වූ බැවින් අපේ ආච්චී වූ කැරැලයින් ආච්චි ගේ අවසන් කටයුතු සඳහා ඊයේ සහභාගී වූයෙමි. අම්මා කඩේ නැන්දා කියන බැවින් අපි කඩේ ආච්චී යැයි ඇයට කීවෙමු. වසර 93ක ජීවත් ව හොඳ සිහියෙන් ම පරලොව යෑම යම් විදිහක වාසනාවක් යැයි බොහෝ අය පැවසූහ. අප කුඩා කල වෙනත් වැඩකට වුවද ඇයගේ නිවස ඉදිරියෙන් හෝ ගියහොත් අනිවාර්යෙන් ම ඇගේ නිවසට යායුතුමය. ඇයට නොපෙනී නම් එතැනින් යා නොහැකිය. එසේ කැදවා ගන්නා අපට කෑමට යමක් දී එය රසවිදින අයුරු බලමින් ඇය සතුටු වන්නීය. ඇගේ නිවසේ කඩයක් පවත්වාගෙන ගිය බැවින් ඇය කඩේ ආච්චී විය. කඩේ ආච්චි සහ කඩේ සීයා අති ප්‍රේමණීය යුවලකි. ඔවුන් නිතරම සිටියේ මුවෙහි මදහසක් ඇතුවමයි. කඩේ ආච්චී සහ සීයා අතිශයින්ම ආයුර්වේද වෙදකම මත යැපුනෝ වෙති. ඔවුන් බටහිර වෙදකම ගැන විස්වාස නොකළහ. කඩේ සීයා බැවිල (බැබිල) ගස් සොයමින් ප්‍රදේශය පීරණු මා කුඩා කල හොදින් මතකය.
වසර 93 ක් ජීවත් වූ අයෙක් නිරන්තරයෙන් ම යුග ගණනක අත්දැකීම් ඇති පුස්තකාලයක් බඳු වීම වැලැක්විය නොහේ. ජීවත් වන අප සැම මරණය ලැබිය යුතුමය. ඒ ගැන පසක් කිරීම අසුබ දෙයක් නොවේ. අපේ කිරි අම්මා ජීවත් ව සිටින දින වල ඇය ගයන "තල මල" කවි, ඇය කියන කතන්දර ආදිය පොතක සටහන් කර ගතිමි. (සියල්ලම සටහන් කර ගත නොහැකි වීම ගැන තවමත් දුක් වෙමි.) ඒවා ඉදිරි පරම්පරාවන් සඳහා ගෙන යාම සංස්කෘතිය රැකගැනීම ම තමයි. එහෙත් කඩේ ආච්චී සතු වු ඒ දැනුම නම් ඔවුන ගේ මුණුබුරන්, මිණිපිරියන් විසින් ලබා නොගත් බව නම් මම සක් සුදක් සේ දනිමි. ඉදින් සංස්කෘතික පරිහාණිය ගැන කතා කිරීමේ තේරුම කිම. 

2010-03-12

නිලන්ත පියසිරි විසින් 12:24 පැයට
7

චොකා මල්ලී සහ වෙනත් දෑ

කාලෙකින් දින සටහන ලියන්න අතපසු විය. පසු ගිය දින කිහිපය පුරාම නිවනක් නැතිව වැඩ කළෙමි. ඒ ඒ දින වල ලිවීම සඳහා නොයෙකුත් දෑ සිතට ආවත් ඒවා යුනිකෝඩ් අකුරු බවට හැරවීමට වේලාවක් නොමැති විය. 
 
චොකා මල්ලීට මනාපයක් පළ කරන ලෙස ඉල්ලා දැන්වීමක් පාරේ ගිය වාහනයක ගසා තිබෙනු දුටිමි. "චොකා මල්ලී" යන නම දුටු වහාම මගේ සිත අමුතුම ආකාරයේ අපුලකින් පිරී ගියේය. ඒ නමින් ගම්‍ය වූයේ යම් ආකාරයක පහත්, නොවැදගත් බවකි. (නමකින් පහත් හෝ නොවැදගත් බව නොමැනිය හැකි මුත්).

බසෙහි කුණු හරුප යැයි සම්මත වචන, සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන අයවළුන් සිටිති. එසේ අසා පුරුදු නැති අය එවැන්නෙකු ගේ කතාවක් ඇසූ කල එකවරම පුදුමයටත් ලැජ්ජාවටත් පත් වෙති. තෙසක රියදුරන්, පදික වෙලෙන්දන් කුණු හරුප කියන්නේ පාරේ ගමන් කරන්නේ කුඩා ලමුන්ද වත් නොසලකාය. බසය තුල බස් පල්ලා (කොන්දොස්තර) සමඟ සටන ඇරඹූ කල දිනන්නේ අනවතර ලෙස එකිනෙක ගැළැපී කුණු හරුප ගලා එන්නාය (බොහෝ විට බස් පල්ලා).

ටෙලි නාට්‍ය යැයි කියන රූපවාහිනී වැල් වල මෙවැනි රස්තියාදුකාර වචන දොඩවන්නෝ බොහෝ වෙති. එවැනි චරිත ජන(අ)ප්‍රියව ඇති බැව් කියැවේ. කුඩා ළමුන් සමඟ රූපවාහිනියක් නම් මෙකල නැරැඹිය නොහැක. 

අප ළමුන් ට මේ නරක යැයි සම්මත වදන් අසන්නට නොසලස්වන්නේ ඇයි? මේ වචන ඔවුන් දැනගත යුතු නැතිද? ඒවා දැනගැනීමට ඔවුනට නිදහසක් දිය යුතුද? ඒ ඒ ජන කොට්ඨාශ අනුව, පලාත් අනුව වදන් නිමැවේ. මුඩුක්කු නිවාස ආශ්‍රිතව කතා කෙරෙන බස නරක යැයි සමහරෙක් කියති. 

නරක බස හොඳ බස වෙන් කරන්නේ කොතනින්ද? වරෙක මා මල්ලීට "තමුසේ, ඕයි" ආදී වචන වලින් කතා කළැයි කියා අම්මා මා හට හොඳ හැටි තැළුවාය. සමාජ සම්මතයන් වදන් වලට බලපානුයේ අමුතුම ලෙසය. එය නීතිය මෙන් නම් නොවේ.

ඉතින් ඔබෙන් "චොකා මල්ලී" ඡන්දය ඉල්ලුවේ නම් ඔබ ඔහුට මනාපය ලබා දෙන්නේ ද? 

2010-03-05

නිලන්ත පියසිරි විසින් 12:56 පැයට
2

තරඟයට ඇතුල්වීම

ඊයේ කුඩා දුවනි ගේ ළදරු පාසලේ ක්‍රීඩා උත්සවය පැවත්වීය. "මම දුවනවා බලන්න අප්පච්චිත් එනවා නේද?"  ආදි වශයෙන් වූ ආල වඩන කතා වලට ප්‍රතිචාර ලෙස මම එය බැලීමට ගියෙමි. එය අපූරු උත්සවයක් විය. තිබූ කිසිදු තරඟයක කිසිම තරඟයක් නොවීය. ඔවුන්ට ඉලක්කයකට දිවීමට කියා තිබූ මුත් ඔවුන් කිසි දෙයකට නො දිවූහ. දුවන තරඟ අතර මඟ ඔවුන් කතා කරමින් සෙමෙන් ගියහ. තරඟය අතර මඟ අයෙක් වැටුන කල සැවොම වට වූහ. ගුරුවරු ඔවුන්ට දුවන ලෙස කීහ. එහෙත් තරඟය ගැන ඔවුනට කිසිදු අවබෝධයක් නොවීය.

මා සිතුවේ, අප මේ කරන්නේ ඔවුන් මේ සුන්දර ලෝකයෙන් මුදවා තරඟකාරී, ගැටුම් කාරී, වේගවත් ලෝකයට ඇතුලත් කිරීම නොවෙද? අනෙකා පැරදවීමේ අදහස, යටපත් කිරීමේ අදහස කුඩා මනස් තුළට එබීම නොවෙද? මේ සුන්දර සිනහ පිරුණ ලෝකය, තරහව, කේන්තිය, ක්‍රෝධය පිරුණ තැනකට ගෙනයාම නොවෙද?

එසේම කිසිදු දරුවෙකුට තරඟකාරී නොවී මෙකල ජීවත් විය හැකිද? පුර්ව ළමාවිය සංවර්ධන ක්‍රමවේද අනුව ළදරු පාසල් වල අකුරු ලිවීම, කියැවීම ආදිය නොකෙරෙන බව දැන ගන්නට ලැබුනි. ඒවා ඉගැන්වෙනුයේ පාසලේ දී බවයි කියැවෙන්නේ. ඉදින් අපේ දුවත් ගී ගැයීම්, පරිප්පු ඇට ඇලවිලි, චිත්‍ර ඇදිලි ආදිය ළදරු පාසලේ දී උගැනුම ලැබුවත් තවම අකුරු ලිවීමට නොදන්නීය. එහෙත් වෙනත් ළදරු පාසලකට යැවෙන මගේ මිතුරා ගේ දුව ට එම පාසලේ ළදරු ක්‍රියාකාරකම් වලට වඩා අකුරු ලිවිම්, කියැවීම් (අළුත් ම දේ "elocution") ආදිය කෙරේ. පසුව මේ දරුවෝ දෙදෙනාම පාසලට යාමට වූ කල අපේ දරුවා පසු පසට නොයා ද? ඔවුන් කියන ආකාරයට පූර්ව ළමාවිය සංවර්ධන ඉලක්ක සැපූරූ මුත් මේ දිවෙන තරඟයේ අපේ දරුවා තැබෙනුයේ කොතනද?

2010-03-02

නිලන්ත පියසිරි විසින් 06:00 පැයට
4

සරණක් වූ ඉරිසියාව

මේක මගේ යාළුවෙකුට සිදු වුන දෙයක්. ඊයේ දහවල් කෑම වෙලාවේ දී තමයි කිව්වේ.

මගේ යාළුවා සිටින්නේ කුරුණෑගල පැත්තේ වෙන්දේසියකින් ලබා ගත් ඉඩමක තැනූ නිවසකයි. ඔහු ලබා ගත් ඉඩම දෙපසේම ඉඩම් කැබැලි ලබා ගත් අය ඒවායෙහි ගෙවල් සෑදීම තියා එළි-පෙහෙළි කිරීමටවත් නො පැමිණේ. යාළුවාට කුඩා දරුවෝ දෙදෙනෙක් වෙත්. මේ දවස් වල පෑවිල්ල බැවින් අවට ඉඩම් වල සරුවට වැඩුනු කැලෑවෙන් නෙක සර්පයෝ වතුර සොයා මගේ යාළුවාගේ ඉඩමටත් පැමිණෙන බවට ඔහුගේ සොදුරිය ඔහුට කියා තිබුනි. අසල්වැසියෙක් කියා තිබුණේ ඔහු ගසක් උඩ සිටින පිඹුරෙක් දුටු බවයි. යාළුවාට තරු පෙනී තිබුණි.

මීට පෙරද මෙලෙස මේ ඉඩම් වල සිට සර්පයෝ සිටිතැයි නෙක දෙනා කියන බැවින් ඔහු මහත් වෙහෙසක් ගෙන අනුන් ගේ ඉඩම් වුවද දවස් ගණන් වෙහෙස ගෙන කැති ගා පුලුස්සා දමා තිබුණි. නැවත කරලියට පැමිණ තිබූ සර්ප කතාව නිසා ඔහුට නැවත මෙම ඉඩම් සුද්ද කිරීමට සිද්ද වී තිබුණි. මේ දින වල තිබෙන පෑවිල්ලේ දවසක් විතර වල්පැල කැති ගාන්න සිදු වුවහොත් වෙහෙස කොපමණ වේද? ඔහුට අපූරු අදහසක් පහළ වෙන්නේ මේ අතරතුරය.

යාළුවා කළේ ඔහු ගේ මායිම අයිනට වෙන්නට ඉඩම් දෙකේම කුඩා ප්‍රමාණයක් එළි කොට පොල් පැල දෙකක් සිට වීම පමණකි. ඉන් පසුව ඒ ඉඩම් වල අයිතිකරුවන් විසින් හදිස්සියක් වුවහොත් කතා කරන්නැයි කියා ඔහුට ම ලබා දුන් දුරකතන අංක වලට කතා කොට මෙසේ කීවේය.

"මේ කතා කරන්නේ කවුද කියලා වැඩක් නැහැ, අර ඔහේලාගේ ඉඩම ගාව ඉන්න ....... වැඩ කරන මිනිහා ඔයගොල්ලන් ගේ  වත්තේ මොනවද හිටවනවා. ටික ටික අල්ලගන්න ද කොහෙද හදන්නේ. ඇවිත් ඔය ඉඩම සුද්ද කරලා වැට පොඩ්ඩක් අලුත් කරලා යන්න"

සැලැස්ම අපූරුවටම ක්‍රියාත්මක වුනි. ඉඩම් දෙකම වල් පැලයක් නැති වෙන්න ම සුද්ද කර තිබුණි. හැබැයි සර්පයෙක් තියා අහුරකුක්කෙක්වත් අහු වෙලා නම් නැහැ.

2010-03-01

නිලන්ත පියසිරි විසින් 11:11 පැයට
2

අවිවේකී, බොහෝ වැඩ ඇති අප

ඉඳ හිට හෝ දිවා කල යාළුවෙකුට හෝ දන්නා හඳුනන අයෙකුට කතා කළොත් බොහෝ විට අසන්න ලැබෙන වැකියක් තමයි. 

"පොඩ්ඩක් බිසි මචං, තව ටිකකින් මම කතා කරන්නද?"

බොහොම දෙනෙක් කෙනෙකු ගෙන් ගැලැවෙන්න මේ වැකිය පාවිච්චි කළත්, ඇත්තට ම අපේ ගොඩක් දෙනා ඉතා කාර්‍ය බහුල ජීවිතයක් තමයි ගෙවන්නේ. කාර්යාලයෙන් නියමිත වේලාවට  ම  පිටත් වන්නේ කියෙන් කී දෙනාද? සමහරවිටක බොහෝ දෙනෙක් "වැඩට ඇබ්බැහියෝ" (Workaholic) වී හමාරය. මා හට කාර්‍යාලයෙන් ලබා ගැනීමට මසකට අදාල නිවාඩු දින දෙක පවා සමහර විටෙක ලබා ගත නොහැක. නොයෙකුත් ධනාත්මක චින්තන විධි ක්‍රම අනුවත්, කාල කළමනාකරණ විධික්‍රම අනුවත් වේගයෙන් වැඩ කරනු හැර වෙනත් දෙයකට සිත යොමු නොකරවයි. ඇත්තෙන්ම කාර්යාලයෙන් නිවාඩු ලබා ගැනීමට අපහසු මෙන්ම, මම ඒවා ලබා ගැනීමට ද මැලි වෙමි. අඩුම තරමේ නිවාඩු දින යැයි සලකන සති අන්ත වලදී පවා අප කෙතරම් කාර්‍ය බහුලද? වෙසෙසින් ම දෙදෙනා ම රැකියාවේ යෙදී ඇති කල සෑම සති අන්තයක් ම ගෙදරදොර වැඩ සඳහා කැප කළ යුතු වේ. සමහර විටෙක එය රැකියාවේ යෙදෙන දිනක් මෙන් වෙයි. සොඳුරිය ඉවුම් -පිහුම්, අස් - පස් කිරිලි කරන අතර සතියට අවැසි එළවළු බඩු - බාහාරාදිය ගෙනවුත්, ගෙදර-දොර ඇති කුඩා පිලිසකර ආදිය කොට නිමා වන විට සති අන්තය ද නිමා වී හමාරය. සමහර සති අන්ත වල අඩුම තරමේ සොඳුරිය සමඟ විවේකීව වදනක් හෝ හුවමාරු කරගෙන නොමැත.     

පසු ගිය දිනක ම'සොඳුරිය ගේ අම්මා වැටී අත උලුක්කු වී ඇති බැව් පැවසුවා ය. ඉදින් මාතලේ ගොස් ඇයව බැලීමට නම් නිවාඩුවක් දැමිය යුතුම වෙයි. මසකට ලැබෙන්නේ නිවාඩු දෙක නම්, දියණිය බලා-කියා ගන්නා නැන්දා ට සායනයට යාමට ඒ නිවාඩු කැප කළ යුතු වන්නේය. එක් දිනකින් මාතලේ ගොස් ඒමට නොහැකි බැවින් දින දෙකක් වත් නිවාඩු දැමිය යුතු වන්නේය.

බයිස්කෝප් අඩවියට පින්සිදු වන්නට පසු ගිය දිනක රැයක Cairo Time චිත්‍රපටය නැරඹුවෙමි. එහි වූ දෙබසක කියැවුනේ,

ඇය : - "මම දිනකට පැය 12 ක් පමණ වැඩ කරනවා."

ඔහු :- "මේ මිනිස්සු එතරම් උගත් නැහැ, ඒ නිසා කරන වැඩේ හවස තුනට විතර ඉවරයි, එතැන් පටන් ඔවුන් ජීවිතය විඳිනවා (සතුටු වෙනවා)".

(මතක හැටියට පරිවර්තනය කළේ. චිත්‍රපටියේ ගියේ මේ දෙබසම නොවේ)