2012-09-11

නිලන්ත පියසිරි විසින් 16:30 පැයට
11

ගැහැණුන් ගේ නරක

"අප්පච්චී කතන්දරයක්". ඒ සෑම දාම නින්ද ට පෙර අපේ දියණියන් ගේ නිදි යහනෙන් නැගෙන හඩයි. ඉතිං දෙයි හාමුදුරුවනේ මේ තරම් කතන්දර කෙසේ නම් මතක තියා ගන්නද? මට කුඩා කල මගේ කිරි අම්මා කියා දුන් කතන්දරත් මේ වන විට හමාරයි. කියා දිය හැකි ජාතක කතන්දරත් ඉවරයි. ඉඳින් මා කුමක් කරම් ද? මෙවර මෙහෙයුම දියත් කළේ මුනිදාස හේමපාල වියතානන් අනුවාදනය කෙරුනු විශ්ණු ශර්මන් ගේ පංච තන්ත්‍රය කෙරෙහියි. මෙහි වන කතන්දර හරිම අපූරුයි. ඒ අතර ඒ ඒ කතන්දරයෙන් කියා දිය හැකි ආදර්ශත් කදිමයි. දඹදිව විසූ අමරශක්ති රජතුමා ගේ හීන බුද්ධි පුතුන් තුන් දෙනෙකු වන බහු ශක්ති, උග්‍ර ශක්ති සහ අනන්ත ශක්ති යන අයගේ බුද්ධි වර්ධන සඳහා ඒ අයට කියූ එකිනෙකට වියුනු කතන්දර රාශියක් තමයි මෙහි තියෙන්නේ. මෙහි ඇති අපූරු කම තමයි සත්තුන්ට ත් නම් තිබීම. 

ඒ කෙසේ නමුත් ඊයේ කතන්දරය කියා ගෙන යද්දී අපූරු සිද්ධියකට මුහුණ පෑවා. එම කතන්දරයේ තිබුනේ යම් නමක් ඇති ගොනෙකු කැලයේ ලා තණ කා ඉතා පුෂ්ටිමත් ව වැඩී බෙල්ලේ දෙපැත්තෙන් මස් ගොබ දෙකක් එල්ලා වැටෙන්නට වූ බවත්, ගඟක් අයිනේ සැමදා මීයන් කමින් ජීවත් වූ නරි යුවලක් සිටි බවත්, දිනක් ගොනු දිය බීමට ගඟට ආ කල නරි ධේනුව නරියාට එම මස් ගොබ දෙක කුමණ හෝ වේලාවක බිම වැටෙනු ඇති බැවින් ඌ පසු පස ගොස් එය වැටුන කල ආහාරයට ගැනීමේ කැමැත්තක් ඇති වී නරියාට ඒ ගැන යෝජනා කළ බවත් ය. කථාවේ මෙතැන් පටන් කියැවෙන්නේ ගැහැණුන් ගේ බස් විශ්වාස කිරීමේ නරක ගැනයි. මෙතැන දී තමයි දුවනි ගේ කට හඩ අවදි වුනේ. 
"ඉතිං අප්පච්චි අපිත් ගැහැණු අය නේ, අපි කියන දේවල් ගණන් ගන්න හොඳ නැතිද?" 
 ඔන්න අප්පච්චිට කට උත්තර නැති වුන තැන. 
"ඒ ඉතිං මේ පොත ලියපු කාලේ නේ දුවනි, දැන් ඉතිං එහෙම නැහැ" මම කීවෙමි.

ප:ලි: 
1. ඇත්තටම දැන් කාලේ උනත් එහෙම තමයි (දුවනි ලොකු වෙලා මේක කියෙව්වත් ඒක ඇත්ත කියයි).
2. විශ්ණු ශර්මන් ගේ ලියූ මුනිදාස හේමපාල අනුවාදන කළ ඒ පොත නම් වැඩිහිටියෝ පවා කියවිය යුතුයි.
3. කතන්දරේ ඉතිරි ටික ඕනේ නම් අනිවාර්යෙන් පොත කියවන්න.