2012-11-09

නිලන්ත පියසිරි විසින් 15:37 පැයට
17

මෙහෙමද යකෝ බටු උයන්නේ....?

මේක මට සිදුවුනු බොහොම පරණ සිද්ධියක්. මේ ලඟදී මතක් වුනේ අපේ දිවා කෑම පැයේදී. මා ගෙදරින් ගෙනා කෑම පතේ තිබූ පොලොස්, එදින මා සමඟ කෑම කෑ මා ගේ සඟයා ගේ කඩෙන් ගත් කෑම පතේ තිබූ පොලොස් වලට වඩා තැම්බී නොතිබීමයි.

එකල මා විවාහ දිවියට ආ මුල් දවස්. මගේ සොඳුර ඉතිං ඒ දවස් වල එච්චර කෑම හදන්න දන්නේ නැහැ. (දැන් ඉතිං දන්නවා කියන්න එපැයැ නැත්තනම් ..... දන්නවානේ) කොහොම නමුත් ඒ දින වල මට මා සේවය කළ තැනෙන් පිට වෙනත් තැනක පිරිගණන පාඨමාලාවක ඉගැන්වීමට යෙදුනා. ඉතිං සොදුරිය උදයෙන් ම නැඟිට පිළියෙල කළ බත් පත රැඟෙන ඔන්න එතැන ට ගියා. උදේ වරුවේ ඉගැන්වීමෙන් පසු ඔන්න දහවල් කෑම. දන්නවනේ එතැන හිටපු ඔය පරිපාලන වැඩට ආපු තවත් කෙනෙක් එක්ක කෑමට ගියා. ඔහු කෑම අරගෙන තියෙන්නේ එතැන තිබුනු අවන් හලෙන්. ඔන්න ඉතිං එක එක ව්‍යාංජන හුවමාරු කර ගත්තා. මගේ සොඳුරිය උයලා තිබුනා එළ බටු. මටත් ඔය ඉතිං ඒ දවස් වල කෑම ගැන එච්චර තැකීමක් නැහැ ඉතිං, දන්නවනේ බැඳපු අළුත, හැම දෙයක්ම රසයි නොවැ. මමත් එළ බටු ටිකක් අර යාළුවාට දැම්මා. (යහළුවා කිව්වට පොඩ්ඩක් අපිට වඩා ජ්‍යේෂ්ඨයි) එයා ගේ කෑම එකෙත් එළ බටු තිබුණා. ඔන්න ටික වෙලාවක් යනකොට මෙයා කියනවා. 
"මේ බලපං මුන් බටු උයලා තියෙන හැටි, ඇටත් එක්ක, මෙහෙම බටු උයන රටක් තියෙනවද? මුන් ගේ අම්මලාට........ මට හිතයි ගිහින් දෙකක් කථා කරන්න".

 මම හිමිහිට මගේ කෑම පතේ බටු ගැන බැලුවෙමි. අපොයි මේ මගේ සොඳුර පිසූ බටු නොවැ.

"හරි හරි, ඕව් එච්චර ගණන් ගන්න එපා" මම ඔහුව අස්වැසුවෙමි. හැබැයි ගෙදර ඇවිත් සොඳුර නිවැරදි කිරීමට ත් නොගියෙමි. ඇය මෙය කියවන්නේ නම් දන්නවා මිස මෙතෙක් ඇය මේ සිද්ධිය දන්නේද නැත.