2012-11-09

නිලන්ත පියසිරි විසින් 15:37 පැයට
17

මෙහෙමද යකෝ බටු උයන්නේ....?

මේක මට සිදුවුනු බොහොම පරණ සිද්ධියක්. මේ ලඟදී මතක් වුනේ අපේ දිවා කෑම පැයේදී. මා ගෙදරින් ගෙනා කෑම පතේ තිබූ පොලොස්, එදින මා සමඟ කෑම කෑ මා ගේ සඟයා ගේ කඩෙන් ගත් කෑම පතේ තිබූ පොලොස් වලට වඩා තැම්බී නොතිබීමයි.

එකල මා විවාහ දිවියට ආ මුල් දවස්. මගේ සොඳුර ඉතිං ඒ දවස් වල එච්චර කෑම හදන්න දන්නේ නැහැ. (දැන් ඉතිං දන්නවා කියන්න එපැයැ නැත්තනම් ..... දන්නවානේ) කොහොම නමුත් ඒ දින වල මට මා සේවය කළ තැනෙන් පිට වෙනත් තැනක පිරිගණන පාඨමාලාවක ඉගැන්වීමට යෙදුනා. ඉතිං සොදුරිය උදයෙන් ම නැඟිට පිළියෙල කළ බත් පත රැඟෙන ඔන්න එතැන ට ගියා. උදේ වරුවේ ඉගැන්වීමෙන් පසු ඔන්න දහවල් කෑම. දන්නවනේ එතැන හිටපු ඔය පරිපාලන වැඩට ආපු තවත් කෙනෙක් එක්ක කෑමට ගියා. ඔහු කෑම අරගෙන තියෙන්නේ එතැන තිබුනු අවන් හලෙන්. ඔන්න ඉතිං එක එක ව්‍යාංජන හුවමාරු කර ගත්තා. මගේ සොඳුරිය උයලා තිබුනා එළ බටු. මටත් ඔය ඉතිං ඒ දවස් වල කෑම ගැන එච්චර තැකීමක් නැහැ ඉතිං, දන්නවනේ බැඳපු අළුත, හැම දෙයක්ම රසයි නොවැ. මමත් එළ බටු ටිකක් අර යාළුවාට දැම්මා. (යහළුවා කිව්වට පොඩ්ඩක් අපිට වඩා ජ්‍යේෂ්ඨයි) එයා ගේ කෑම එකෙත් එළ බටු තිබුණා. ඔන්න ටික වෙලාවක් යනකොට මෙයා කියනවා. 
"මේ බලපං මුන් බටු උයලා තියෙන හැටි, ඇටත් එක්ක, මෙහෙම බටු උයන රටක් තියෙනවද? මුන් ගේ අම්මලාට........ මට හිතයි ගිහින් දෙකක් කථා කරන්න".

 මම හිමිහිට මගේ කෑම පතේ බටු ගැන බැලුවෙමි. අපොයි මේ මගේ සොඳුර පිසූ බටු නොවැ.

"හරි හරි, ඕව් එච්චර ගණන් ගන්න එපා" මම ඔහුව අස්වැසුවෙමි. හැබැයි ගෙදර ඇවිත් සොඳුර නිවැරදි කිරීමට ත් නොගියෙමි. ඇය මෙය කියවන්නේ නම් දන්නවා මිස මෙතෙක් ඇය මේ සිද්ධිය දන්නේද නැත.

2012-10-12

නිලන්ත පියසිරි විසින් 10:57 පැයට
8

ඒ මාර ගහේ මුල්

කාර්යාලයෙන් ඊයේ මට නියම වී තිබුනේ යම් වැඩ මුළුවකට සහභාගී වීමටයි. එය තිබුනේ කොළඹ පුර හල පෙදෙසේ බැවින් බසයෙන් බැසි මම විහාර මහා දේවී උයන මැදින් එතැනට ලඟ වීම පහසු බැවින් ඒ හරහා ගියෙමි. අද මේ උයන මට එතරම් නුහුරු වුව ද මා පිය සොඳුර සමඟ පෙම් කරන සමයේ මේ උයන මට ඉතාමත් හුරු පුරුදු විය. අප නිරන්තරව යන මාර ගසක බංකුවක් මෙන් වූ මුලක් විය. මා එය පහු කරද්දී මට නිතැතින් ම එතැන බැලුන කල මා දුටුවේ අප එකල වාඩි වි සිට තැනම හිඳිනා පෙම් යුවලකි. අප එකල කෙතරම් නම් වේලා මෙතැන කථා කරමින් සිටින්නට ඇතිද? මේ මාර ගස කෙතරම් පෙම්වතුනට සෙවන දෙන්න ඇතිද? එහෙත් ඒ ගස මුල කිසි දිනක හිස් නොවෙයි. එහෙත් කල්පනා කළොත් ඊයේ දවසේ පමණක් මා කෙතරම් වේලාවක් සොඳුර සමඟ කථා කරන්නට ඇතිද? හොඳින් හිතුවොත් වැකි හතරක් පහක් පමණ. "නිලන්ත, දුවනිට කවනවද?, පරක්කු වෙනවා", "නිලන්ත චූටි දුව ගේ ගවුමේ බොත්තම දානවද?" "නිලන්ත එනකොට සුප් කැට තුන හතරක් ගේනවද?" "දවල් කෑම රසද?" වගේ හිතුවොත් ඉතාමත් කෙටි වදන් තුන හතරක්. මෙයින් නියෝග හැරුණ කොට ආදරය පොඩ්ඩක් වත් තියෙන්නේ "දවල් කෑම" ගැන වැකියේ පමණි. ඇයට ගෙදර මෙන් ම කාර්යාලයේද වැඩ බොහෝය. පෙම් බස් මිමිණීමට ඇයට වේලාවක් ඇත්තේ ම නැත. එසේ වෙලාවක් ආවත් ඇයට කෙසේ හෝ අතපසු වූ වැඩක් පසක් වෙයි. ඉඳින් වරු ගණන් මේ මාර ගස යට පෙම් බස් තෙපළු ඇය..... වැන්නෝ තවත් කෙතරම් මේ මාර ගස හැර ගොස් ඇතිද?   

2012-09-11

නිලන්ත පියසිරි විසින් 16:30 පැයට
11

ගැහැණුන් ගේ නරක

"අප්පච්චී කතන්දරයක්". ඒ සෑම දාම නින්ද ට පෙර අපේ දියණියන් ගේ නිදි යහනෙන් නැගෙන හඩයි. ඉතිං දෙයි හාමුදුරුවනේ මේ තරම් කතන්දර කෙසේ නම් මතක තියා ගන්නද? මට කුඩා කල මගේ කිරි අම්මා කියා දුන් කතන්දරත් මේ වන විට හමාරයි. කියා දිය හැකි ජාතක කතන්දරත් ඉවරයි. ඉඳින් මා කුමක් කරම් ද? මෙවර මෙහෙයුම දියත් කළේ මුනිදාස හේමපාල වියතානන් අනුවාදනය කෙරුනු විශ්ණු ශර්මන් ගේ පංච තන්ත්‍රය කෙරෙහියි. මෙහි වන කතන්දර හරිම අපූරුයි. ඒ අතර ඒ ඒ කතන්දරයෙන් කියා දිය හැකි ආදර්ශත් කදිමයි. දඹදිව විසූ අමරශක්ති රජතුමා ගේ හීන බුද්ධි පුතුන් තුන් දෙනෙකු වන බහු ශක්ති, උග්‍ර ශක්ති සහ අනන්ත ශක්ති යන අයගේ බුද්ධි වර්ධන සඳහා ඒ අයට කියූ එකිනෙකට වියුනු කතන්දර රාශියක් තමයි මෙහි තියෙන්නේ. මෙහි ඇති අපූරු කම තමයි සත්තුන්ට ත් නම් තිබීම. 

ඒ කෙසේ නමුත් ඊයේ කතන්දරය කියා ගෙන යද්දී අපූරු සිද්ධියකට මුහුණ පෑවා. එම කතන්දරයේ තිබුනේ යම් නමක් ඇති ගොනෙකු කැලයේ ලා තණ කා ඉතා පුෂ්ටිමත් ව වැඩී බෙල්ලේ දෙපැත්තෙන් මස් ගොබ දෙකක් එල්ලා වැටෙන්නට වූ බවත්, ගඟක් අයිනේ සැමදා මීයන් කමින් ජීවත් වූ නරි යුවලක් සිටි බවත්, දිනක් ගොනු දිය බීමට ගඟට ආ කල නරි ධේනුව නරියාට එම මස් ගොබ දෙක කුමණ හෝ වේලාවක බිම වැටෙනු ඇති බැවින් ඌ පසු පස ගොස් එය වැටුන කල ආහාරයට ගැනීමේ කැමැත්තක් ඇති වී නරියාට ඒ ගැන යෝජනා කළ බවත් ය. කථාවේ මෙතැන් පටන් කියැවෙන්නේ ගැහැණුන් ගේ බස් විශ්වාස කිරීමේ නරක ගැනයි. මෙතැන දී තමයි දුවනි ගේ කට හඩ අවදි වුනේ. 
"ඉතිං අප්පච්චි අපිත් ගැහැණු අය නේ, අපි කියන දේවල් ගණන් ගන්න හොඳ නැතිද?" 
 ඔන්න අප්පච්චිට කට උත්තර නැති වුන තැන. 
"ඒ ඉතිං මේ පොත ලියපු කාලේ නේ දුවනි, දැන් ඉතිං එහෙම නැහැ" මම කීවෙමි.

ප:ලි: 
1. ඇත්තටම දැන් කාලේ උනත් එහෙම තමයි (දුවනි ලොකු වෙලා මේක කියෙව්වත් ඒක ඇත්ත කියයි).
2. විශ්ණු ශර්මන් ගේ ලියූ මුනිදාස හේමපාල අනුවාදන කළ ඒ පොත නම් වැඩිහිටියෝ පවා කියවිය යුතුයි.
3. කතන්දරේ ඉතිරි ටික ඕනේ නම් අනිවාර්යෙන් පොත කියවන්න.

2012-08-30

නිලන්ත පියසිරි විසින් 15:20 පැයට
3

ගොනු කිහිපයක ඇති එකම වැකියක් වෙනත් වැකියකින් ප්‍රතිස්ථාපනය කිරීම


ඔන්න මම ෆෙඩෝරා 17 ට ගොඩ වුනා කියමු කෝ. හැබැයි මගේ පරණ php ටික මේකට දාපුවහම මෙන්න සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. කොපි කරපු ඒවා යේ අවසරය පිළිබඳ පැණයක් ද, ඒත් වෙන්න බැහැ. බැළුවා බැළුවා හොයා ගන්න බැහැ. පස්සේ ඔන්න httpd access log එක බැළුවා, මේ තියෙන්නේ session ප්‍රශ්ණයක්. මොකක්ද දන්නවද session_is_registered කියන function එක deprecated හෙවත් php වලින් ම අයින් කරලම දාල. දැන් මොකද කරන්නේ හැම php ගොනුවකින් ම ඒක අයින් කරලා වෙන එකක් දාන්න ඕනේ. අපොයි php ගොනු තොගයක් ම තියෙනවා. මෙන්න මෙතැන දී තමයි මට sed හෙවත් steam editor උදව් වුනේ. හැබැයි දෙවිදියකට මට වධ දුන්නා. එකක් sed වල දී ' හෙවත් apostrophe වලක්වා ගන්න විදිහ ඒ වගේම bash script එකක් ඇතුලේ $ එක වලක්වා ගන්න විදිහ. කෙසේ නමුත් මම ඒක කළේ මෙන්න මේ විදිහටයි. නැවත කාට හෝ ඒක ප්‍රයෝජනවත් වේවී නම් මෙන්න 
#!/bin/bash

 for fl in *.php; do
     mv $fl $fl.old
     sed "s/if(session_is_registered('UserId'))/if(isset(\$_SESSION['UserId']))/g" $fl.old > $fl
     rm -f $fl.old
     done


මේක අවැසි directory යට දාලා දුවවන්නයි තියෙන්නේ. ජය වේවා!

2012-08-06

නිලන්ත පියසිරි විසින් 11:15 පැයට
4

සුදුසු පෙදෙසක වාසය

පසු ගිය සිකුරාදා කාර්යාලීය වෙලාවෙන් පසු අනුර ශ්‍රිනාත් ගේ සිත්තර පියොදසුන බැලීමට ගියෙමි. සිත සමනය කැරවූ එය බලා පසු දින දුවණිය එය බැලීමට රැගෙන එන සිත් ඇතිව මම නැවතත් මඟට පිලි පැනිමි. වෙලාව බැලීමට ජංගම දුරකථනය බැලූ කල එහි නංගි ගෙන් මඟ හැරුනු ඇමැතුම් වූ බැවින් ඇයට කතා කළෙමි. "ලොකු අය්යේ, මේ දැන් මගේ මාලේ කඩා ගත්තා." ඇය බිඳුන හඬින් කීවාය. 
"මොකක්? කොතැනදී ද?"
"මෙතැන මේ පාර පනින කහ ඉර ලඟදී."
"පොඩ්ඩක් ඉන්න, මම ලඟ ඉන්නේ, ඉක්මනට එනවා."
"වැඩක් නැහැ හොරා පණ කඩාගෙන දිව්වා. හොයන්න බැහැ. ලඟ පාත කවුරුත් හිටියෙත් නැහැ".
මම හැකි ඉක්මනින් දුවගෙන අවුත් ඇය මුණ ගැසුනෙමි.
"කොයි පැත්තටද දිව්වේ?"
"අන්න අර පැත්තට" කියා ඇය මහත් අඳුරු පෙදෙසක් පෙන්වීය.
එකෙනෙහි මා අඳුනන තෙසක රියැඳුරෙකු අසලට පැමිණියේය.
"මොකද මහත්තයා වුනේ?"
"නැහැ මෙතැනදී නංගි ගේ මාලය කඩාගෙන ගිහිල්ලනේ" මම කීවේමි.
ඔහු හැඩ රුව කිහිපයක් කීවේය. 
"ඒ වගේ නේද?"
"ඔව්, ඔව්, අන්න එහෙම පොඩි ලමයෙක් වගේ කෙනෙක්"
"මහත්තයා, ඔය කියන විදිහට ඒ මම දන්න අඳුනන තැනක ළමයෙක්, කුඩු වලට ඇබ්බැහි වෙලා. දැන් ඔය කැඩුවේ මෙතැනදී තුන් වෙනි මාලය. මම කිව්වා කියන්න එපා, ගිහින් පොලිසියට පැමිණිල්ලක් දාන්න, මාව අහු කරන්න එපා මම වෙලාවක පෙන්නවන්නම් මිනිහා ව. හැබැයි එයත් එක්ක තව තුන් දෙනෙක් ඉන්නවා, උන් ඔක්කොම ඔය වගේ නරක එවුන්, නිතරම දැලි පිහි තියාගෙන ඉන්නේ"
"අපි පොලිසියට යමු." මම නංගිට කීවෙමි.
"අපෝ බැහැ ලොකු අය්යේ, අපි ගෙදර යමු. අපි දිගටම මේ පාරේ එන්න එපැයැ" යි කියමින් ඈ යන්නට හැරුණි. මාත් ඇය සමඟම ගෙදර ගියෙමි. මම ඇයට වෙන කිසිවක් නොකීවේ ඇයගේ බිඳුන සිත තවත් රිදවීමට නොහැකි බැවිනි. (දන්නවනේ ගැහැණියෙකුට අභරණ කියන්නේ මොන වගේ ද කියලා). එහෙත් මම කල්පනා කරමින් ගියෙමි. ඇයි මෙවැන්නෝ ඇල්ලිය නො හැකි. හොරු කෙසේ වෙතත් කුඩු ගහන මිනිසුන් ඇල්ලිය නොහැක්කේ ඇයි. ඔය උපාය දූතයෝ අසරණ සිරුරු විකුණන අබිසරු ලියන් අල්ලන්නට යොදන වෙලාවේ, ඇයි කුඩු කාරයෙකු පිටු පසු යෙදිය නොහැක්කේ. කුඩුකාරයා කොහෙන් හෝ ඒවා මිළදී ගත යුතු නොවැ. එසේම ඒ මිළදී ගන්නා තැනට කුඩු එන්නේ කෙලෙසින් දැයි සෙවීමට උපාය දූතයෝ යොදන්න බැරිද? වැලැක්විය නොහැකි යන්න සම්පූර්ණ බොරුවකි. මත් කුඩු හා වෙනත් මත් වන දෑ වලක්වන්නේ නැති බව ඉතාමත්ම පැහැදිලිය. ගමක නඟරයක කුඩු කාරයෙකු සොයා ගැනීම හරිම ලෙහෙසිය. එවැන්නෙකු හෝ එවැන්නියක කුප්‍රකට බැවින්, පොලිස් නිළයෙකුට ඕනෑ අයෙකුගෙන් ඒ ගැන අසා දැන ගත හැක. එවැන්නෙකුට කුඩු එන මඟ සෙවීමට රහස් පොලිසිය උවමනා නැත. එය කුඩා ළමයෙකුට පවා හැක.
නංගී පොලිසියට යාම ප්‍රතික්ෂේප කිරීමෙහිද යම් නිවැරදි බවක් වෙයි. ඇය තව දුරටත් වැඩට ගොස් බසයෙන් බැස ඔය පාර දිගේම පැමිණිය යුත්තේ වෙයි. ඇයට පුද්ගලික ආරක්ෂාව දෙන්නෝ නොවෙත්. එපමණක් නොව ඇය මා කෙරෙහිද බිය වන්නීය. මංගල සූත්‍රයේ 'පතිරූප දේස වාසෝච" ගාථාව මට පසක් විය. අපි ජීවත් විය යුත්තේ සුදුසු පෙදෙසකය. එහෙත් අදීන ලංකාවේ සුදුසු පෙදෙසක් කෙසේ නම් සොයා ගනිමුද?

2012-04-23

නිලන්ත පියසිරි විසින් 23:28 පැයට
6

නෑදෑකම්

අපේ අම්මා ගේ මාමා කෙනෙකු ඊයේ හැන්දෑවේ මිය ගොස් ඇති පුවත මට ලැබුනේ මල්ලි ගේ දුරකතන ඇමතුමකිනි. ඔහු අපට ඉඳහිට මුණ ගැසෙන අයෙකු බැවින් ද, මුණ ගැසුන ද එතරම් කතා බහක නො යෙදෙන අයෙකු බැවින් ද, මම එය එතරම් ම දුක් මුසු පුවතක් නොවේ යැයි උපකල්පනය කොට එකෙනෙහි ම අම්මා ට ඒ ගැන කීවෙමි. අම්මා මහත් හඩින් හැඩීමට ගත්තාය. ම'සොඳුරිය සහ නංගී ඇය සනසා ගත්තේ මහත් වෙහෙසක් දැරීමෙන් පසුවය. මගේ ලොකු මාමා නොහොත් අම්මා ගේ අයියා මීට අවුරුදු 7 කට පමණ පෙර මිය ගිය අවස්ථාව මම සිහි කළෙමි. මගේ ඇහැට කඳුළු බිදුවකුඳු ආවා යැයි මට මතකයක් නොමැත. එහෙත් මීට මසකට පමණ පෙර අපේ පුංචි විවාහ වී සිටි බාප්පා මිය ගිය කල මට හැඩුම් ඉබේ පහළ විය. 
නෑදෑකම් හා සබඳකම් කෙතරම් මිනිස් සිත් සනසවන්නේ ද? එකල මුළු ගමක් ම නෑදැයෝ වූහ. ඔවුන් වචනයේ දුරින් උදව්ට, පහසුකම් දීමට සිටියහ. එහෙත් අද නෑදෑයෝ සි සි කඩය. අපේ අම්මා ගේ කඳුලු තුල වූයේ ඒ හැඟීමයි, ඒ ආදරයයි. දරුවෙකු හඬන කල මාමාට කිරි එරෙන කතාවක් ජන වහරේ ද ඇත. එහෙත් මෙකල දරුවෙකු හඬන ඇසීමට මාමා කෙනෙකු පෙනෙන තෙක් මානයක ද නැත. "පොඩි දුව, මෙන්න කොස් කෑල්ලක් තියෙනවා. තම්බලා ගනින්." අප කුඩා කල අපේ අම්මාට, ඇයගේ මාමා වරු එලෙස නොයෙකුත් වෙසෙසි දේ ගෙනැවිත් දෙති. අපේ අම්මාට ද මාමලා නැන්දාලා තරම් අයෙකු නොමැති ගානය. බොහෝ විටක අපිද අම්මා සමඟ ඔවුන ගේ නිවෙස් වලට යන්නෙමු. ඔවුනොවුන් අතර පැතිර යන සිනහව ආදරය කරුණාව මගේ හද පතුල ද යන්තම් කොනිත්තන්නාක් මෙන් දැන් ද දැනේ. නෑදෑකම් අද සමාජයෙන් තුරන් ව යනු සක්සුදක් ව පෙනේ. නෑයෝ සහ වේයෝ එක බැවි තෙසක රියක පිටු පස වූ බව මට මතකය. අද නෑදෑ කම් නාම මාත්‍රිකය. එකල අවුරුද්දට අපි නොවරදවා අපේ අම්මා ගේ ලොකු නැන්දා හෙවත් අපි කියන පරිදි කඩේ ආච්චි ගේ ගෙදර යන්නෙමු. එය හරිම විනෝද ජනකය. ඇය හරිම රසට ආස්මි හදන්නීය. එපමණක් නොව හදිසියකට හෝ ඇගේ නිවස අසලින් අප වෙනත් වැඩකට ගියේ නම්. "උඹ කොහෙද යන්නේ, මෙහෙ වරෙන්" කියා කුඩා අපව නිවසට එක් කරගෙන ගොස් අඩුම තරමේ විස්කෝතුවක් සමඟ තේ බිඳක් හෝ පොවා මිස පිටත් නොකරයි. එහෙත් අද.....? මගේ දියණියන් ගේ ලොකු අම්මා, හෙවත් සොඳුරිය ගේ අක්කා ඇත්තේ බදුල්ලේය. එහේ ගොස් ඒමට අඩු තරමේ දවස් පහකවත් නිවාඩුවක් අවැසිය. එතරම් කල් නිවාඩු අපට නොලැබෙන හෙයින් අප එහි ගොස් ඇත්තේ මෙතුවක් කලට එකම එක වතාවකි. ඒ වතාව දියණියන්ට කෙසේ වෙතුදු අපට ද මතක නැත. එසේ වී නම් ලොකු අම්මා ගේ ආදරය මතක තියෙන්නේ කෙසේද?    

2012-04-10

නිලන්ත පියසිරි විසින් 13:11 පැයට
6

මෙහෙම අපිට හෙන වදීවිද?

ඊයේ හැන්දෑවේ වැස්ස ගැන නොකිවමනාය. ව්‍යායාමයට ඇවිදිල්ලත් ඒ වැස්සත් සමඟම හේදී ගියේය. කාර්යාල වේලාවෙන් පසු බස් නවැතුමට දිව ගියේ කුඩයකුත් මා නො ගෙනා නිසාවෙනි. බස් නවැතුම කී මුත් කිසිඳු ආවරණයක් එහි නොමැත. එබැවින් මා වැස්ස තුරල් වන තෙක් සිටියේ ලඟ තිබූ බැංකු ගොඩනැගිල්ලේ අඟුපිලෙහිය. මා අසලින් ම අයෙක් ජංගම දුරකතනයකින් කථා කරමින් සිටියේය. එකෙනෙහි සරම කැසපට ගසා ගත් අයෙක් "A T M" යන්ත්‍රය වෙත දිව ආවේය. ඔහු එතැනට ආවා පමණි, පලාතම එළිය කරමින් විදුලි සැරක් අහසේ ඇඳුන අතර මහ හඩින් අකුණක් පිපිරීය. 

"යකෝ තෝ අපිව මරන්නද හදන්නේ? උදේ ඉඳන් රෑ වෙනකල් ටි.වී. වල, රේඩියෝ වල කියනවා අකුණු ගහන වෙලාවට ටෙලිෆොන් පාවිච්චි කරන්න එපා, ටී.වී. දාන්න එපා කියලා. උඹ විතරක් නෙමෙයි ලඟ පාත ඉන්න අපිත් මැරෙනවා. ඔෆ් කරපන් ඕක. ඕෆ් කරපන් ඕක." සරම හැඳ ගත් පුද්ගලයා බැන වැදීමට පටන් ගත්තේය. ඔහු තරමක් බමණ ගතියෙන් ද සිටින බවක් මම දුටිමි. දුරකථනයේ සිටි පුද්ගලයා ද සැනෙන් එය අක්‍රිය කොට ලැජ්ජා බරිතව වට පිට බලා බස් රියක් දක්වා දිව ගියේය.

ඇත්තෙන් ම ජංගම දුරකතනයන් හී භාවිතා කරන්නේ ගුවන් තරංග නම් ඒවා විදුලි සම්ප්‍රේශණය කරයිද? තවද ඇන්ටනාවක් සම්බන්ධ නොකොට රූපවාහිනිය බලයි නම් එයට අකුණු ඇද ගැනීමේ ප්‍රවණතාවයක් වේද? මා දැනට දන්නා පරිදි නම් ගුවන් තරංග විදුලිය ගමන් ගන්නා මාධ්‍යයක් නොවේ. එහෙත් රැහැන් ගත දුරකතන ආදිය නම් එසේ වෙයි. අකුණු සහිත වේලාවක හොඳම පණිවිඩ හුවමාරු කරගැනීමේ ක්‍රමය ජංගම දුරකතනය වන බව අයෙක් කියනු මම අසා ඇත්තෙමි.