2012-09-11

නිලන්ත පියසිරි විසින් 16:30 පැයට
11

ගැහැණුන් ගේ නරක

"අප්පච්චී කතන්දරයක්". ඒ සෑම දාම නින්ද ට පෙර අපේ දියණියන් ගේ නිදි යහනෙන් නැගෙන හඩයි. ඉතිං දෙයි හාමුදුරුවනේ මේ තරම් කතන්දර කෙසේ නම් මතක තියා ගන්නද? මට කුඩා කල මගේ කිරි අම්මා කියා දුන් කතන්දරත් මේ වන විට හමාරයි. කියා දිය හැකි ජාතක කතන්දරත් ඉවරයි. ඉඳින් මා කුමක් කරම් ද? මෙවර මෙහෙයුම දියත් කළේ මුනිදාස හේමපාල වියතානන් අනුවාදනය කෙරුනු විශ්ණු ශර්මන් ගේ පංච තන්ත්‍රය කෙරෙහියි. මෙහි වන කතන්දර හරිම අපූරුයි. ඒ අතර ඒ ඒ කතන්දරයෙන් කියා දිය හැකි ආදර්ශත් කදිමයි. දඹදිව විසූ අමරශක්ති රජතුමා ගේ හීන බුද්ධි පුතුන් තුන් දෙනෙකු වන බහු ශක්ති, උග්‍ර ශක්ති සහ අනන්ත ශක්ති යන අයගේ බුද්ධි වර්ධන සඳහා ඒ අයට කියූ එකිනෙකට වියුනු කතන්දර රාශියක් තමයි මෙහි තියෙන්නේ. මෙහි ඇති අපූරු කම තමයි සත්තුන්ට ත් නම් තිබීම. 

ඒ කෙසේ නමුත් ඊයේ කතන්දරය කියා ගෙන යද්දී අපූරු සිද්ධියකට මුහුණ පෑවා. එම කතන්දරයේ තිබුනේ යම් නමක් ඇති ගොනෙකු කැලයේ ලා තණ කා ඉතා පුෂ්ටිමත් ව වැඩී බෙල්ලේ දෙපැත්තෙන් මස් ගොබ දෙකක් එල්ලා වැටෙන්නට වූ බවත්, ගඟක් අයිනේ සැමදා මීයන් කමින් ජීවත් වූ නරි යුවලක් සිටි බවත්, දිනක් ගොනු දිය බීමට ගඟට ආ කල නරි ධේනුව නරියාට එම මස් ගොබ දෙක කුමණ හෝ වේලාවක බිම වැටෙනු ඇති බැවින් ඌ පසු පස ගොස් එය වැටුන කල ආහාරයට ගැනීමේ කැමැත්තක් ඇති වී නරියාට ඒ ගැන යෝජනා කළ බවත් ය. කථාවේ මෙතැන් පටන් කියැවෙන්නේ ගැහැණුන් ගේ බස් විශ්වාස කිරීමේ නරක ගැනයි. මෙතැන දී තමයි දුවනි ගේ කට හඩ අවදි වුනේ. 
"ඉතිං අප්පච්චි අපිත් ගැහැණු අය නේ, අපි කියන දේවල් ගණන් ගන්න හොඳ නැතිද?" 
 ඔන්න අප්පච්චිට කට උත්තර නැති වුන තැන. 
"ඒ ඉතිං මේ පොත ලියපු කාලේ නේ දුවනි, දැන් ඉතිං එහෙම නැහැ" මම කීවෙමි.

ප:ලි: 
1. ඇත්තටම දැන් කාලේ උනත් එහෙම තමයි (දුවනි ලොකු වෙලා මේක කියෙව්වත් ඒක ඇත්ත කියයි).
2. විශ්ණු ශර්මන් ගේ ලියූ මුනිදාස හේමපාල අනුවාදන කළ ඒ පොත නම් වැඩිහිටියෝ පවා කියවිය යුතුයි.
3. කතන්දරේ ඉතිරි ටික ඕනේ නම් අනිවාර්යෙන් පොත කියවන්න.

11 අදහස් දැක්වීම්:

විචාරක Wicharaka said...

බොහොම කලකට පසු කියවූ හොඳ ලිපියක්. කෙටි වුනත් මෙහි ගතයුතු දෑ බොහෝයි.

1. තමන්ගේ දරුවන්ට කතන්දර කියා දෙන ඔබ අති ශ්‍රේෂ්ඨ පියෙක්. නින්ද යනතුරු රුපවාහිනී කුණු ලෝකයේ අතරමන්වීමට තම දරුවන්ට ඉඩ නොදී ඔවුන් ගේ මනසට අර්ථවත් යමක් එකතු කරන ශ්‍රේෂ්ඨ පියෙක්.

2. අද ඉන්න තාත්තලා අම්මලාගෙන් සීමිත පිරිසකට පමණයි ඔය දක්ෂතාවය තියෙන්නේ. එයට හේතුව ඔවුන්ගෙන් අති මහත් බහුතරය උපාධි ගෝනියක් ලබා තිබුනත් ඒවා ලබාගෙන තිබෙන්නේ වනපොත් කර දුවගොස් කඩුල්ලට උඩින් පැනීමෙන් විනා, තත්යාවබෝධයෙන් නොවෙයි. ඒ නිසා ඔවුන් තුල කතන්දර කීමට අවැසි මූලික දැනුම හෝ අවබෝධය නැහැ. ඒ අම්මලාට දරු නැලවිල්ලක් කියන්න බැහැ. හින්දි සින්දුනම් දන්නවා.

3.ඔබ දෙපලම දරුවන් ඇඳේ තියාගෙන අම්මා එක පැත්තකිනුත් තාත්තා තව පැත්තකිනුත් හිඳිමින් කතන්දර කිව්වොත් ඒ දරුවන්ගේ මනසතුල ආරක්ෂාව පිලිබඳ හැඟීම, වැඩි දියුණු වෙනවා. ඒ නැතත් ඔබ හෝ ඔබේ බිරිඳ ඔවුන්ට කතන්දර කියා දුන්නත් ඔවුන්ගේ චින්තන ශක්තිය, තර්කන හැකියාව, තැනට සුදුසු ලෙස සිතීම දියුණු වෙනවා. (හැබැයි කරීනා කපූර් සයිෆ් අලි ඛාන්ව බඳින්න යනවා වගේ කතා නෙවෙයි. ඔය පංච තන්ත්‍රයේ තියනවා වගේ කතා)

5. කතන්දර පොත් ඉවර වෙන්නේ නැහැ. අරාබි නිසොල්ලාසය වුනත් සිතෙන් සංස්කරණය කර කියවන්න.

6. ඔබේ දියණිය ඇසූ ප්‍රශ්නයෙන්ම තේරෙනවා ඇය බුද්ධිමත් හා තර්කන හැකියාව අති දරුවකු බව. ඒ දරුවාට දුන් ඔබේ පිළිතුරත් හරි. කියාදෙන්න එකාලයේදී කාන්තාවට තිබුන තැන. කියාදෙන්න සමහර කාන්තාවන් මෙන්ම සමහර පිරිමින්ද සඳහා ඒ කියමන අදටත් වලංගුයි කියා.

7. දරුවන් තවදුරටත් කතන්දර නො අසන වයසට එනතුරු මේ කාර්යය නොකඩවාම කරන්න. එයින් ඔවුන් සහ ඔබ අතර අති ජීවන බැම්ම තර වෙනවා. ඔවුන් අයාලේ යාමෙන් වලකිනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරක

Kushi said...

සියලුම ලමයිට කියවිය යුතුම පොත් ටික තමයි
1)ජාතක පොත
2)පංච තන්ත්‍රය
3)රාමායණය
4)මහා භාරතය
5)නස් රූදින්
6)බිර්බාල්ගේ කතා
7)මහ දැන මුත්තගෙ කතා
8)අරාබි නිසොල්ලාසය
9)හින්දු පුරාණය
10)අන්දරේගේ කතා

නිලන්ත පියසිරි said...

චිචාරක වෙත: ඔබතුමා ගේ උපදෙස් සහ අගය කිරීම් ගැන බොහෝ පිං දෙමි. ඒ සියළු උපදෙස් හැකි පමණ කිරීමට සිතා ගතිමි. නැවතත් ඔබට පිං.

නිලන්ත පියසිරි said...

kushi වෙත: කතන්දර හෝඩුවාවන් බොහෝමයක් ලබා දීම පිළිබඳව පිං දෙමි. මෙවර පොත් පියදසුනේ වත් හොයා ගැනීමට හැකි වේ යැයි සිතමි.

Kushi said...

මට ලියන්න අමතක වෙච්ච තව පොත්ටිකක්
11) ජපන් සෙන් කතා
12) චීන ජන කතා
13) රූසියානු කෙටි කතා

තිස්ස දොඩන්ගොඩ said...

ඕක නම් හරිම පූරු හැඟීම් ජනිත කරවන වැඩක්...

සමහර දවස්වලට එයාලට කලින් මට නින්ද යනව - අතින් හොල්ලල හොල්ලල ඇහැරවල කථාව අහගන්නව

මේක මම කුඩා කල කියෙව්ව - යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ "මිතුරන් කෙටවීම - කථා මැද කථා" කියල පරිවර්ථනය කලෙත් මේකමයි. නැන්ද ඉස්කෝලෙදී ඉගෙන ගත්තු පොත තමා මම කියෙව්වේ. නැන්ද පැන්සලෙන් අමාරු තැන් විස්තර කරල තිබ්බ හින්ද මට තේරුම් ගන්න ලේසි වුනා පොත.

ඒකේ කවි තවත් මතකයි මට...

"ධර්ම බුද්ධි මේ බලන්න පාප බුද්ධියා
වස්තු ලෝභයේ පිපාසයෙන් මැරී ගියා
එච්චරක්යැ නින්දනීය කාලකණ්නියා
නාකියත්, පියත් මරාපි ගස් බෙනේ තියා.."

නිලන්ත පියසිරි said...

තිස්ස වෙත : ඇත්ත තිස්ස, මටත් සමහර දවස් වලට නින්ද යනවා. චූටි දුව නම් කොහොම හරි ඇහැරවගෙන කතාව අහ ගන්නවා. හැබැයි, චූටි දුවට නින්ද ගිහින් දුවනි (ලොකු දුව) විතරක් ඇහැරිලි හිටියොත්, එහා හරි අනුකම්පායි. එයා අම්මට ගිහින් කියනවා අප්පච්චිට නින්ද ගියා කියලා. එහෙම කියලා එයා අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවාලු. අනිත් එක තිස්ස ඔය යක්කඩුවේ පඥාරාම හාමුදුරුවන්ගේ ඔය පොත ගැන වගේම තවත් "වන කතා" කියලා පොතකුත් තියනවා. මට මගේ කිරි අම්මා ඒකේ කතාත් කියලා දීලා තියෙනවා. අනේ ඒ පොත් මම හැම තැනම හෙව්වා. හොයා ගන්න නැහැ. අර වන කතා පොත නම් හරිම ආසයි. කොහොම හරි හොයාගෙන පොතක් ගන්න ඕනේ. මේවා කෙල්ලන්ට කිව්වේ නැතිනම් කොහෙන් හරි අඩුවක් වෙනවාම තමයි.

RanDil said...

පංච තන්ත්‍රය පොත මං ගාව තියෙනවා. අප්පේ කියවන්න ගත්තහම ටිකක් දුර කියවාගෙන යද්දි සේරම සත්තු ටික පැටලෙනවා. :) ඒ වෙන කල්පනා වලට හිත ගියහම තමයි. හැබැයි තියෙන කථා සරළ ආදර්ශමත් කථා නේද?

හොඳ තාත්තාට මෙන්න අපෙනුත් අත්පුඩියක්......

රොබින් said...

මම හිතන හිටියේ දැන් තාත්තලා අම්මලා ළමයි නිද්දට යනකොට කවි/ කතා කියන්නේ නැහැ කියලා

නිලන්ත පියසිරි said...

රන්දිල් වෙත: ඇත්තට ම සරල ආදර්ශමත් කථා තියෙනවා. ඒ වගේම ළමයින් ට කියන්න බැරි කතා ත් තියෙනවා. අර ත්‍රිස්තන කුමරිය ගේ කතාව වගේ ඒවා නම් පොඩි ළමුන්ට කියන්න බැහැ නොවැ. අත් පුඩියට බොහොම පිං.

නිලන්ත පියසිරි said...

රොබින් වෙත: අපෝ නැහැ එහෙම කතන්දර කියන දෙමාපියන් තව ඉන්නවා. බැලුවහම ඒක පරම්පරාවෙන් එන එකක් ද කොහෙද? මම පුංචි කාලේ කතන්දර අහපු නිසා එහි ඇති රසය දන්නවා. ඒ රසය මගේ දරුවන්ටත් දෙන එපැයැ. හැබැයි මගේ සොදුරිය නම් පුංචි කාලේ කතා අහලා නැතිද කොහෙද ඇය නම් මතකයෙන් කතන්දර කියන්න එතරම් දක්ෂ නැහැ. හැබැයි මට බැරි වෙන සමහර දවසට ඇය පොතක් හෝ කියවනවා. එහි තිබෙන කෘතිම ගතියට ද කොහෙද, පොත කියවද්දී දුවලා කැමැති නැහැ. කතන්දර කීමත් ඉතිං කලාවක් නොවැ. කවදා හරි මගේ දුවලා එයා ගේ දරුවන්ටත් කතන්දර කියාවි කියලා මම හිතනවා.