2010-03-05

නිලන්ත පියසිරි විසින් 12:56 පැයට
2

තරඟයට ඇතුල්වීම

ඊයේ කුඩා දුවනි ගේ ළදරු පාසලේ ක්‍රීඩා උත්සවය පැවත්වීය. "මම දුවනවා බලන්න අප්පච්චිත් එනවා නේද?"  ආදි වශයෙන් වූ ආල වඩන කතා වලට ප්‍රතිචාර ලෙස මම එය බැලීමට ගියෙමි. එය අපූරු උත්සවයක් විය. තිබූ කිසිදු තරඟයක කිසිම තරඟයක් නොවීය. ඔවුන්ට ඉලක්කයකට දිවීමට කියා තිබූ මුත් ඔවුන් කිසි දෙයකට නො දිවූහ. දුවන තරඟ අතර මඟ ඔවුන් කතා කරමින් සෙමෙන් ගියහ. තරඟය අතර මඟ අයෙක් වැටුන කල සැවොම වට වූහ. ගුරුවරු ඔවුන්ට දුවන ලෙස කීහ. එහෙත් තරඟය ගැන ඔවුනට කිසිදු අවබෝධයක් නොවීය.

මා සිතුවේ, අප මේ කරන්නේ ඔවුන් මේ සුන්දර ලෝකයෙන් මුදවා තරඟකාරී, ගැටුම් කාරී, වේගවත් ලෝකයට ඇතුලත් කිරීම නොවෙද? අනෙකා පැරදවීමේ අදහස, යටපත් කිරීමේ අදහස කුඩා මනස් තුළට එබීම නොවෙද? මේ සුන්දර සිනහ පිරුණ ලෝකය, තරහව, කේන්තිය, ක්‍රෝධය පිරුණ තැනකට ගෙනයාම නොවෙද?

එසේම කිසිදු දරුවෙකුට තරඟකාරී නොවී මෙකල ජීවත් විය හැකිද? පුර්ව ළමාවිය සංවර්ධන ක්‍රමවේද අනුව ළදරු පාසල් වල අකුරු ලිවීම, කියැවීම ආදිය නොකෙරෙන බව දැන ගන්නට ලැබුනි. ඒවා ඉගැන්වෙනුයේ පාසලේ දී බවයි කියැවෙන්නේ. ඉදින් අපේ දුවත් ගී ගැයීම්, පරිප්පු ඇට ඇලවිලි, චිත්‍ර ඇදිලි ආදිය ළදරු පාසලේ දී උගැනුම ලැබුවත් තවම අකුරු ලිවීමට නොදන්නීය. එහෙත් වෙනත් ළදරු පාසලකට යැවෙන මගේ මිතුරා ගේ දුව ට එම පාසලේ ළදරු ක්‍රියාකාරකම් වලට වඩා අකුරු ලිවිම්, කියැවීම් (අළුත් ම දේ "elocution") ආදිය කෙරේ. පසුව මේ දරුවෝ දෙදෙනාම පාසලට යාමට වූ කල අපේ දරුවා පසු පසට නොයා ද? ඔවුන් කියන ආකාරයට පූර්ව ළමාවිය සංවර්ධන ඉලක්ක සැපූරූ මුත් මේ දිවෙන තරඟයේ අපේ දරුවා තැබෙනුයේ කොතනද?

2 අදහස් දැක්වීම්:

.::පිස්සා::. said...

හෙ හේ.. මට මැවිලා පේනවා, වැටිච්ච එකාව වට කරං පොඩි එවුන් තරඟේ අමතක කරලා, ඒකව නැගිට්ටවන්න සපෝට් එක දෙන හැටි. එහෙම එපැයි වෙන්න..

එළ බබාලා...

sameerausa said...

පොඩි දරුවන්ගේ ලොකය හරිම නිර්ව්‍යාජ්යයි. එයාලට ජීවිතේ තරඟ නැහැ. එයාල දිහා බලන් හිටියනම් අපිට ජීවිතයේ ඉගෙනගන්න ගොඩක් තියෙනවා නේද?