2010-03-26

නිලන්ත පියසිරි විසින් 11:16 පැයට
1

රස වින්දනය

මිනිස්සු බොහෝ දේ රස විදිනු යේ පුහුණු කිරීමකින් තොරව නොවැ. ඇත්තටම රස වින්දනය පුරුදු පුහුණු කළ යුතු දෙයක් ද? ගීතයක් රස විදින්නේ මෙහෙමයි, චිත්‍රයක් රස විදින්නේ මෙහෙමයි කියා කියා දිය යුතුද? එසේ නැතිනම් මිනිසා තුල නිසඟයෙන් ම ඒ කුසලතාවය පිහිටනවාද? සමහර දිනයන් හී මම මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස බලා යන්නෙමි. ඒ මඟ වැටී ඇත්තේ විහාරමහා දේවී උද්‍යානය අසලින් බැවින් එහි පාර අයිනේ තිබෙන චිත්‍ර සියල්ලම බලා ගෙන යාමට අපට අවසරයක් ලැබේ. එහි වන නෙක පැහැ ගැන්වූ බොහෝ චිත්‍ර වලින් එක වරම කිසිදු අදහසක් මට නම් පහල නොවේ. මගේ මිතුරාට ද එසේමය.
"මොකද බං මේවා බර ගනං දීල මිනිස්සු අරගෙන යන්නේ, මොනවද මේවායේ තියෙන්නේ" යාළුවා අසයි.
ඇත්තෙන්ම මටත් ඒ ගැන නම් අදහසක් නැත. එහෙත් මෙහි යම් ආකාරයක රස විඳීමක් තිබිය යුතුමය. ඒක සමහර විට සමහරු මාමයිට්/වෙජිමයිට් වලට කැමැතියි සමහරු අකමැතියි වගේ ද දන්නෙත් නැහැ.
ගීතය වුවත් එසේම නොවැ. දැන් මේ දින වල කතා බහේ තිබෙන අකොන් හෝ එකොන් නැමැති ගායකයා ගේ ගීත හයිටි, ඩොමිනික් ජනරජයේ ආදි රටවල ජාතික ගීත මෙන් ජනප්‍රිය වේ. ඒ ඔවුන් ගේ රසවිදීම. දැන් අපේ තිස්ස දොඩන්ගොඩ සහෝදරයා ගේ හද ගී පොත හි ඇති ගීත රස විදින්නෝ බොහොමයක් අකොන් හෝ එකොන් ට කැමැති නැති ශෛලයේ අය විය හැක. හද ගී පොතේ ඇති ගීත රස වින්දනය පුරුදු කළ අයවළුන් ට බවයි මගේ අදහස.
කෙසේ නමුත් මගේ අදහස නම් රස වින්දනය පුරුදු පුහුණු කළ යුතු බවයි. නමුත් පවතින මාධ්‍ය කිනම් නම් රසවින්දනයක් රටේ මිනිසුන්ට පුරුදු කරයි ද?
කුඩා යාන් හැල්ලකින් ලිපිය අවසන් කරමි. වරෙක අයෙක් චිත්‍ර ප්‍රදර්ශණයක් බැලීමට ගියේලු.
ඔහු එක්තර පින්තූරයක් දෙස ආශාවෙන් බලා සිටිනු දුටු එය පින්තාරු කළ පුද්ගලයා එහි පැමිණ,
"කොහොමද චිත්‍රය. හොඳයි ද?" විමසීය.
"ෂාහ් නියමයි. හරිම ලස්සනයි. කටට කෙළත් උණනවා" හේ කීවේය.
මුහුණ හකුලවාගත් සිත්තරා, "හිරු බැස යන දර්ශණයක් දැක්කාහම කොහොමද, කටට කෙළ උණන්නේ?"
"ආහ්, මේක හිරු බැස යන දර්‍ශණයක් ද?, මම හිතුවේ බිත්තර ආප්පයක් කියලා, සමා වෙන්න".
ඔන්න ඔහොමයි අපේ රස වින්දනය. 

1 අදහස් දැක්වීම්:

taboosubjects said...

විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිටින් යන විට මටත් මේ මොන කෙහෙල්මල් දැයි සිතේ. අඩුතරමින් ඒවා නිර්ව්‍යාජ ජන නිර්මාණ වත් නොවේ. වෙනත් මොකක් හෝ චිත්‍රයක් කොපි කිරීම්ය. පේමන්ට් ගානේ තියාගෙන විකුණන්නට සිදුව ඇත්තේ ඒවායේ ප්‍රමිතිය අඩු නිසාය. මේවා මිළට ගන්නේ බොහෝවිට කුඩා සංචාරක හෝටල් යනාදියටය. ලොකු වියදමක් කොට හොඳ චිත්‍ර මිළට ගන්නට හැකියාවක් නැති නිසා බිත්තියේ අඩුතැන් පුරවන්නට ව්‍යාපාරිකයෝ මේවා මිළට ගනිති. ඒ හැරන්නට මේවායේ ඇති දෙයක් නැත.