2010-05-06

නිලන්ත පියසිරි විසින් 23:42 පැයට
10

පොල් ලෙල්ලක්

කාර්‍යාලයෙන් එළියට බහිනකොටම අපේ ගෙදර උන්දෑ (හරි වචනේ සොඳුරිය) ඇමතුමක් දුන්නා.
"දුවනිට හෙට ළදරු පාසලට ගෙන යන්න පොල් ලෙල්ලක් ඕනේ" 

බොහොම අයට ඉතින් පොල් ලෙල්ලක් නම් සුළු දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් නාරාහේන්පිට නිළ නිවාස වල නොවැ අප ජිවත් වෙන්නේ. 

කොහෙන්ද දැන් පොල් ලෙල්ලක් හොයන්නේ....... පාරට බට වෙලේ පටන් මඟ දිගට දෙපැත්තයි, කුණු ගොඩවලුයි, හැම තැනමයි ඇස් දෙකෙන් පිරමිනුයි ආවේ. බොරැල්ලෙත් පොල් කඩ දෙක තුනකටම ගියා. නමුත් කොහේ වත් පොල් ලෙල්ලක් නම් හොයා ගන්න නැහැ. පොල් මුදලාලි කියනවා, දෙමටගොඩ හරියේ පොල් ලෙලි ගහන තැනක් තියෙනවා එතනට යන්න ලු. මදැයි, මේ කියන විදිහට කුරුණෑගල යන්න වෙන විදහක් තියෙන්නේ පොල් ලෙල්ලක් හොයන්න. මේ වැඩේ හරියන්නේ නැහැ, ගෙදර යන්නත් පරක්කු වෙනවා, වැඩේ අල්ලලා දානවා කියලා ගෙදර එන අතරතුරේ තැඹිලි කෝම්බයක් දැක්කා.

ගත්තා සොඳුරියට ඇමතුමක්, "පොල් ලෙල්ලක් නැහැ, තැඹිලි කෝම්බයක් තියෙනවා ගේන්නද?"

"ඔයාට පිස්සුද? තැඹිලි කෝම්බ හරි යන්නේ නැහැ"

මටත් දැන් හෙම්බත් වෙලා.  "එහෙනම් ඉතිං පොල් ලෙලි නැහැ, මම එනවා ගෙදර"

ගෙදර ඇවිත් බලනකොට අනේ අපේ හාමිනේ ලඟ පාත ගෙදරකින් හද්ද පරණ, කරකුට්ටන් වෙච්ච පොල් ලෙල්ලක් කොහොම හරි හොයා ගෙන, ටිකක් පිම්බිලා එන්න කියලා නාන කාමරයටත් දමලා. 

ඔන්න ඔහොමයි අපේ තත්වේ, අඩු තරමේ පොල් ලෙල්ලක් වත් හදිසියකට හොයා ගන්න මේ පැත්තේ නම් නැහැ. 

ඉතිං මෙච්චර අමාරුවෙන් හොයා ගත්ත පොල් ලෙල්ලට මොකද කළේ කියලා පහුවදා මං දුවනිගෙන් ඇහුවා.

"අප්පච්චි අපි ඒකේ ගම් ගාලා ගාලා කඩදාසියක් ඇලැව්වා"

අපොයි බර ගානක් දීලා ළදරු පාසලට බාර දුන්න chemifix ගම් බෝතල් වලින් කරන්නේ පොල් ලෙලි වල උලලා උලලා කොල අලවන එකද? කියලා මට හිතුනා.

මොනවා කරන්නද? පූර්ව ළමා විය සංවර්ධනේ නොවැ. අපි පොඩි කාළේ අපිට ඔය සංවර්ධනේ නොකළ නිසා නොවැ මෙහෙම ඉන්නේ... එහෙම නේද?

10 අදහස් දැක්වීම්:

dinesh said...

එළ සීන් එක නේද?

මාරයාගේ හෝරාව said...

අනේ මන්දා ඔය කියන සංවර්ධනෙන් අපේ පොඩි උංට මොනවා ලැඛෙයිද කියලා...?
මම එකක් දන්නවා..උංට උංගේ පොඩි කාලේ නැත්තටම නැති කරන සියළු දෙනාටම යන්න අපායක් හදන්න වෙනවා..
තරහා වෙන්න එපා..දෙමවුපියනුත් මෙකට අයිතියි...
පවු පොඩි ඈයෝ...

ඉලංදාරියා said...

මේ පොල්ගස් කපන කැපිල්ලට....ලගදිම පොල්ගෙඩි පොල්ලෙලි...හමදේම ....පිටරටකින් ගෙන්නන වෙනවා....අපේ පැත්තේ....පොල්ලෙල්ලක් රුපියල්යි....ඒත් ගෙඩියකම එවානෙවෙයි......

අනේ අපේ ලංකාවට වෙච්චදේ......

kumaraya said...

අපොයි.. පොල් ලෙල්ලකට ගිය කල..... ආයෙ ඕන උනොත් මට කියන්න.. තැපෑලෙන් එවන්නම්... හැබැයි එකයි... තැපැල් ගාස්තු සැරයිනේ....

Praසන්ன said...

පොල් ලෙලි ලොරියක් උනත් එවන්නම්‍...

Anonymous said...

මේ ජොබ් 1ක අත් ඇරලා පොල්ලෙලි බිස්නස් එකක් පටන් ගත්තනම් හරි :D

Buddy --බඩී said...

නියම කතාව...අනේ අනේ...ල්ංකාවට ගිය කලක්..පොල් ලෙල්ලට ගිය කලක්...

නිලන්ත පියසිරි said...

@ dinesh - එළ ද කියලත් අහනවා.

@ මාරයාගේ හෝරාව - අනිවාර්‍යෙන්ම... හැමෝම වග කියන්න ඕනේ. අපිත් එක්කම.

@ ඉලංදාරියා - පොල් ගස් කපලා, කපලා ගෙවල් හදලා අපි පොල් ගෙඩි පිට රටින් ගෙනෙමු. හැබැයි එදාට පිටරට යන්න වෙනවා පොල් ලෙලි හොයන්න.

@ kumaraya - බොහොම තුති කුමාරයානෙනි.

@ Praසන්ன - ඔබතුමා පොල්වතු හිමි, නිදිකුම්බා estate හිමියෙක් වගේ.


@ Confiuzd ප්‍රෝග්‍රැමර් - හැබැයි, ළදරු පාසලක් අයිනේ බිස්නස් එක පටන් ගන්න

@ Buddy --බඩී - එකනම් ඇත්ත.

@ හෙළයා - ඒක නම් ඇත්ත, පොල් ලෙලි හොයන්න අපි වහකනකොට කෙල්ල, කවි කිය කිය කූල් එකේ ඉන්නවා.

දිල් said...

අනේ දෙයියනේ......මේ කොළඹ ඉතින් පොල් ලෙලි කොහෙන් හොයන්නද ඇත්තට.

මම කලින් බෝඩ් වෙලා උන්න ගෙදර පොඩි එකාට දවසක් ඉස්ස්කෝලෙන් කිව්වලු තුඹසක් ගැන.ඌ තුඹසක් දැකලා නෑ.පෙන්නන්න කියලා අඬනවා. කොහෙන් පෙන්නන්නද ඉතින්....

පොල් ලෙලිත් ඔන්ලයින් ගෙන්න ගන්න ක්‍රමයක් හදාගන්න වෙයි වගේ....

Blackjack Tips said...

Matchless theme....