2010-08-22

නිලන්ත පියසිරි විසින් 02:28 පැයට
3

රෑ ගමනාගමනය

රාත්‍රියේ වීථි සැරීම පරිහානියට කරුණක් බව බුදු දහමේ පරිහානියට කරුණු දැක්වෙන සූත්‍රයක දැක්වේ. එසේ වුවත් රාජකාරිය අනුව නිවාඩු නැති බැවින් රෑ බෝ වී නමුත් බිරිඳ ගේ මුල් ගෙදරට යා යුතු වූ යේ එහි වූ පිං පැමිණ වීමේ දානය නිමාවෙන් පසු දියණියන් නැවත ගෙදර ගෙන ඒමේ උවමනාව නිසාය.  රාජකාරි නිමාවෙන් පසු පිටකොටුව බස් නැවතුමෙන් මාතලේ දක්වා යන කිසිඳු බසයක් නොවීය. නුවරට යා හැකි බසයන් ද සිදුරක් නැතුව පිරී තිබුණි. නඟරාන්තර කියන සෑම තැනම නවත්වන බසයක මැද අසුනක බොහෝ අමාරුවෙන් වාඩි වී දෙඟුණයක් මුදල් ගෙවා යන්තම් මහනුවරට එන විට වේලාව රාත්‍රී දහය පසුවී තිබුණි. බස් නැවතුම පුරවා බසයන් ගාල් කර තිබුනත් පොලිස් නිළධාරියෙක් කීවේ ඒවා ගමනේ යෙදෙනු යේ පෙරහැර අවසානයේ බවය. කෙසේ නමුදු විනාඩි 45 කින් පමණ මාතලේ දිවෙන බසයක් බස් ගාලට ආවෙන් මං ඇසල පෙළහරට පිං දෙමින් මාතලේට ආවේ රාත්‍රී 1210 පමණය. අහෝ මේ මාතලේ නඟරය ද?, කිසිඳු මිනිස් පුළුටක් හෝ කිසි තැනක නොමැත. තෙසක රියක පිහිටක් ලැබීමේ අටියෙන් පැමිණි මට මේ වූ යේ කුමක්ද? මා හටම හැර කිසිවෙකුට දොස් කිව නොහැක. යක්කු ගස් යන යාමේ, බසයක් තිබිය යුතු යැයි කියා දොස් නැඟීම අප යකෙකු කරනු ලබයි. තෙසක රිය පදවන්නෝ ද මිනිසුන් බැවින් රැයේ ඔවුන් නින්ද ලැබිය යුතුම වෙයි. කිසිවෙකුට දොස් නොකියා මම පයින් ම ගමන ඇරඹුවෙමි. විථි ලාම්පු නැති බැවින් බොහෝ විට පැමිණියේ ජංගම දුරකතනයේ පිහිටෙනි. කි.මි. 8 ක් පමණ පැය දෙකකින් පමණ ගෙවා දමා ගෙදරට ගොඩ වූයෙමි. මා එන තුර සොඳුරිය ඇහැර සිටි බව කේන්ති ගිය මුහුණෙන් පෙනුනි. එහෙත් මහන්සිය සහ අමාරුව, නිදා සිටි කුඩා දියණියන් දැක්මෙන්ම මිදී ගියේය.

"අප්පච්චි හොරෙන්ම ඇවිත් නිදා ගෙන නේද? මං දැක්කා" දියණිය උදයේ මා ඇහැරවිමින් කියන්නීය. 

"පයින්ම ඇවිත් කකුල් රිදෙනවාද?" අම්මා අසන්නීය.

මගේ සිත තුල ආදරය දෝරේ ගලා යයි. 

"නෑ මට ගානක් නැහැ" මම කීවෙමි. 

3 අදහස් දැක්වීම්:

ෆා said...

හැබෑටම දුර වැඩ කරන අය කොයි තරම් නම් කට්ටක් කනවද ගෙදර යන්න? මොනවා කරන්නද බඩ වියත රැක ගන්නත් එපැයි.

Dakshina said...

හෆොයි අයියේ, නුවර කොළඹ රාත්‍රී ගමනාගමනය ගැන නම් කතා කරන්න එපා. මමනම් දැන් කොළඹින් නුවර යන්න භාවිතා කරන්නේ දුම්රිය විතරයි.

රාත්‍රීයේ යන්න තිබුණොත් පහුවදා පාන්දරම යන්න ගමන කල්දානවා. එතකොට ගමන පහසුයි වගේම හුඟක් ඉක්මන්..

තිස්ස දොඩන්ගොඩ said...

අනේ මන්දා මහත්තයෝ... රෑ අටෙන් අට හමාරෙන් පස්සේ මහරගම හන්දියේ ඉඳන් ඇතුලට යන්න ඉතින් ත්‍රී වීලර්ම තමා... පුදුම වැඩක්.. CTB එව්වා යන්නේ කාලසටහනට... රෑ මුරයක් කර ආවොත් ඉතින් අතේ සල්ලි නැත්නම් කකුල් කඩෙත්තුව හැඩෙනකල් බලා සිටිය යුතුය... අනිල් මුණසිංහ ගෙන් පසු ගමනා ගමනයට වුණු සෙතක් නැතුවා වාගේ...

මොනවා උනත් උතුරා යන දරු සෙනෙහස, කේන්තියෙන් වුව මග බලා හිඳින ගෙදර ඇත්තන්, ඉහතකී අබග්ග සැබෑවටම පහ කරනවා... අපූරු කෙටි සටහන... ස්තූතියි මහත්තයෝ...