2010-09-06

නිලන්ත පියසිරි විසින් 23:27 පැයට
1

විවාහය ගණුදෙණුවක් වන කල් හී ආදරය

බොහෝ දෙමව්පියන් තම දූ දරුවන් ගේ ආදර මුල් ආදර සම්බන්ධතා දෙස බලන්නේ ඔවුන් ජීවිතයේ ගත කොට ඇති කාලයත් සමඟ සංසන්දනාත්මකව විය හැක. ඔවුන ගේ මානයන් ආදරයේ මානයන් නොවන්නේ මය. ඒවා සමාජිය මානයන් ම වේ. ගෙවල් දොරවල්, මුදල් හදල්, යාන වාහන, වතු පිටි, වැඩ පොල ආදී යුගල පද රැසක් මේ මිනුම් දඩු අතර වුව ද තම දරුවාට මේ සහකරු/සහකාරිය කෙතරම් ආදරේ ද යන්න කොතැනකදී වත් නොසැලකේ.

එහෙත් මෙකල බොහෝ දෙනා විවාහ වනුයේ ඉතාම යොවුන් වයසින් ම නොවේ. ඔවුන් විවාහය පතනුයේ යොවුන් විය ඉක්ම වීමට ඇති අල්ල පනල්ලේ වෙති. මෙහිදී මොවුන් ගේ විවාහයේ මාන වෙනස් ව ක්‍රියා කරයි. පිරිමි ඔවුන් ගේ ජීවිත කඩ ඉම් පැනීමට බිරිඳක් සොයති. දෑවැද්දට ඉහත කී යුගල පද රැසම සොයති. විවාහයේ මූලික උවමනාව කුමක් විය හැකිද? මා නම් සිතන්නෙ ආදරය ලබාදීම හා ආදරය ලැබීම ලිංගිකත්වය හා මුසුව පැවතීම බවයි. එසේ වූ විට ගැහැණියක ගේ රූ සපුව දෙස බොහෝ දෙනෙක් සිත යොමු කරනවාක් මෙන්ම ඇය ගේ ආදරණීය ගති ගුණ දෙසත් සිත යොමු වෙයි. එහෙත් ආදරය ගණුදෙණුවක් ලෙස බලන මෙකල බොහෝ දෙනා ඒ මූලික ගති පසෙක ලන බව හැගේ. සත්ව ලෝකයේ පැවත් ම උදෙසා ගැහැණුන් සහ පිරිමින් එකතු වුවද, තෘප්තිය උදෙසා එසේ බැදෙන්නේ මිනිසා සහ ඩොල්ෆින් පමණක් බව මා කිසියම් තැනක කියැවූ බව මතකය. ගැහැණික ගේ රූ සපුව යනු ඇය දරුවෙකු දැරීමට ඉතාමත් යෝග්‍ය බව පිරිමින්ට පෙන්වන විදිහක් බව මහැඳුරු කාලෝ ෆොන්සේකා විටෙක කීවේය. එළෙසම නිරෝගිමත් පිරිමින් උදෙසා ගැහැණු සිත ඇඳී යාමත් ස්වභාවයේ ම කොටසක් බව ඔහු එහි දී පැවසීය. 

එහෙත් අද ආදරයට පමණකුඳු නොව ඒ සොබා පැවත්මට ද මේ විවාහ ගණු දෙනුව පහර දෙන බව හැඟේ. "අයියේ මට, දෑවැද්ද මෙච්චරක් තියෙනවා, මගේ රැකියාව මේකයි. පුළුවන් නම් හොඳ කෙනෙකු හොයලා දෙන්න" කියා එක් නැඟණියක් මගේ යහළුවෙකුට පැවසූ බව ඔහු රාජකාරීයේ දී මට පැවසීය. මේ සියල්ල මට සිතුනේ ඒ එක් වැකියක් නිසාවෙනි. ඇත්තටම ගැහැණු සොයන්නේ ජීවත් වීමට මාර්ගයක් ද නැතිනම් ආදරය ද? එළෙස තමා ගේ පැවත්මට විවාහ වෙන ගැහැණු අර තිස්ස ගේ ආදර වැකිය සංතෘප්ත කරයි ද?

1 අදහස් දැක්වීම්:

තිස්ස දොඩන්ගොඩ said...

මටත් හිතෙනවා අපි ආදරය ගැන තවමත් සොඳුරුව හිතුවත් අපේ දරුවන්ගේ ආදරයේදී අපි සාධාරණවෙයි දෝ කියලා... ඒ අම්ල පරීක්ෂාව නුදුරු දිනයකදීම එනු ඇත...

මොනදේද නිලන්ත අද ගණු දෙනුවක් වෙලා නැත්තේ නේද...? මා දන්න යහලුවෙක්ගේ නැගනියක් කසාද බඳින්න බොහෝ පරක්කු වුනේ ඇයට වඩා පඩියක් ගන්න ස්වාමියෙක් සොයාගන්න බැරි වුනු නිසා... ඇය එකල ඉතා ඉහල පඩියක් ලැබුවා...

ඔබේ සංකල්පනා මට මගේම සිතුවිලි වාගේයි... බොහොම සමීපයි... නමුත් මට වඩා නිස්කලංකයි...