2012-04-23

නිලන්ත පියසිරි විසින් 23:28 පැයට
6

නෑදෑකම්

අපේ අම්මා ගේ මාමා කෙනෙකු ඊයේ හැන්දෑවේ මිය ගොස් ඇති පුවත මට ලැබුනේ මල්ලි ගේ දුරකතන ඇමතුමකිනි. ඔහු අපට ඉඳහිට මුණ ගැසෙන අයෙකු බැවින් ද, මුණ ගැසුන ද එතරම් කතා බහක නො යෙදෙන අයෙකු බැවින් ද, මම එය එතරම් ම දුක් මුසු පුවතක් නොවේ යැයි උපකල්පනය කොට එකෙනෙහි ම අම්මා ට ඒ ගැන කීවෙමි. අම්මා මහත් හඩින් හැඩීමට ගත්තාය. ම'සොඳුරිය සහ නංගී ඇය සනසා ගත්තේ මහත් වෙහෙසක් දැරීමෙන් පසුවය. මගේ ලොකු මාමා නොහොත් අම්මා ගේ අයියා මීට අවුරුදු 7 කට පමණ පෙර මිය ගිය අවස්ථාව මම සිහි කළෙමි. මගේ ඇහැට කඳුළු බිදුවකුඳු ආවා යැයි මට මතකයක් නොමැත. එහෙත් මීට මසකට පමණ පෙර අපේ පුංචි විවාහ වී සිටි බාප්පා මිය ගිය කල මට හැඩුම් ඉබේ පහළ විය. 
නෑදෑකම් හා සබඳකම් කෙතරම් මිනිස් සිත් සනසවන්නේ ද? එකල මුළු ගමක් ම නෑදැයෝ වූහ. ඔවුන් වචනයේ දුරින් උදව්ට, පහසුකම් දීමට සිටියහ. එහෙත් අද නෑදෑයෝ සි සි කඩය. අපේ අම්මා ගේ කඳුලු තුල වූයේ ඒ හැඟීමයි, ඒ ආදරයයි. දරුවෙකු හඬන කල මාමාට කිරි එරෙන කතාවක් ජන වහරේ ද ඇත. එහෙත් මෙකල දරුවෙකු හඬන ඇසීමට මාමා කෙනෙකු පෙනෙන තෙක් මානයක ද නැත. "පොඩි දුව, මෙන්න කොස් කෑල්ලක් තියෙනවා. තම්බලා ගනින්." අප කුඩා කල අපේ අම්මාට, ඇයගේ මාමා වරු එලෙස නොයෙකුත් වෙසෙසි දේ ගෙනැවිත් දෙති. අපේ අම්මාට ද මාමලා නැන්දාලා තරම් අයෙකු නොමැති ගානය. බොහෝ විටක අපිද අම්මා සමඟ ඔවුන ගේ නිවෙස් වලට යන්නෙමු. ඔවුනොවුන් අතර පැතිර යන සිනහව ආදරය කරුණාව මගේ හද පතුල ද යන්තම් කොනිත්තන්නාක් මෙන් දැන් ද දැනේ. නෑදෑකම් අද සමාජයෙන් තුරන් ව යනු සක්සුදක් ව පෙනේ. නෑයෝ සහ වේයෝ එක බැවි තෙසක රියක පිටු පස වූ බව මට මතකය. අද නෑදෑ කම් නාම මාත්‍රිකය. එකල අවුරුද්දට අපි නොවරදවා අපේ අම්මා ගේ ලොකු නැන්දා හෙවත් අපි කියන පරිදි කඩේ ආච්චි ගේ ගෙදර යන්නෙමු. එය හරිම විනෝද ජනකය. ඇය හරිම රසට ආස්මි හදන්නීය. එපමණක් නොව හදිසියකට හෝ ඇගේ නිවස අසලින් අප වෙනත් වැඩකට ගියේ නම්. "උඹ කොහෙද යන්නේ, මෙහෙ වරෙන්" කියා කුඩා අපව නිවසට එක් කරගෙන ගොස් අඩුම තරමේ විස්කෝතුවක් සමඟ තේ බිඳක් හෝ පොවා මිස පිටත් නොකරයි. එහෙත් අද.....? මගේ දියණියන් ගේ ලොකු අම්මා, හෙවත් සොඳුරිය ගේ අක්කා ඇත්තේ බදුල්ලේය. එහේ ගොස් ඒමට අඩු තරමේ දවස් පහකවත් නිවාඩුවක් අවැසිය. එතරම් කල් නිවාඩු අපට නොලැබෙන හෙයින් අප එහි ගොස් ඇත්තේ මෙතුවක් කලට එකම එක වතාවකි. ඒ වතාව දියණියන්ට කෙසේ වෙතුදු අපට ද මතක නැත. එසේ වී නම් ලොකු අම්මා ගේ ආදරය මතක තියෙන්නේ කෙසේද?    

6 අදහස් දැක්වීම්:

තිස්ස දොඩන්ගොඩ said...

කියල වැඩක් නෑ නිලන්ත - මෙව්වට වතු පිටි මායිම් ප්‍රස්න - උස්මිටි කම් සංසන්දනය - වාගේ ගොඩක් හේතු බලපෑව මගේ හිතේ - ඊට උඩින් කාල වේලාව නැතිකම - දියුණුයි කියල ඔජ වැඩුවට අපි හෙමින් හෙමින් තල්ලු වෙන්නේ ඔහොම තනි වෙච්චි ජීවිත වලට - අපේ පරම්පරාව පවුල [අම්මා තාත්තා දරුවෝ] වසයෙන් හරි එකට ඉන්නව - ඊලඟ පරම්පරාව එහෙමවත් ඉඳීද?

බොහොම දියුණුයි කියන ස්වීඩන් රටෙදී 1999 වාගේ ඈතක මට මේ ගැන ප්‍රස්න කරන්න ලැබුණ - මෙතන ඇති ඒ ගැන -
http://hadageepotha.blogspot.com/2010/04/blog-post_13.html

ඉඳහිට හරි අඩුපාඩු පියව ගන්න සිංහල අවුරුද්දක් කියල දෙයක් තියන එක ගැන මම නම් ඉතාම සතුටු වෙනව

ඔබ හොඳ තැනක් හිමින් සීරුවෙ ඉස්මතු කලේ - කියවන අය මේ ගැන පුද්ගලිකව හිතාබලනවම් තමන්ගේ ජීවිත ගැන නේද? - මටනම් එක දෙයක් වුනා - නෑයෝ දුරස්වීම මගෑරුනා යාලුවෝ නිසා

නිලන්ත පියසිරි said...

තිස්ස වෙත: ඔයාම මම හිතන දෙයම මීට වසර ගානකට ඉස්සෙල්ලා කියලා තියෙනවා. ඇත්තට ම මේ ගැන කියන්න තව මොන තරම් දේවල් තියෙනවාද? කොමෙන්ටුවට පිං.

සෝරෝ said...

අද සමාජයේ මිනිස්සුන්ට තියෙන ලොකුම දේ තමා සල්ලි හම්බකරන එක.. මොකද වර්ථමානය වන විට අනෙකුත් දේවල් වලින් වැඩි ප්‍රමාණයක් මුදලට යටයි.. කොටින්ම කියනවා නම් අපිට තිබහට වතුර ටිකක් වත් බොන්න පුළුවන් ද සල්ලි නැතුව.. ඉදිරිකා‍ලේ වෙද්දී හුස්මගන්නත් සල්ලි ඕන වෙයි.. මේ හේතුව නිසා කවුරුත් පෙළඹෙන්නේ මුදල් හම්බරන්න.. ඒ නිසා නෑදෑ සබඳකම් ගැන හිතන්න වෙලාවක් නෑ..

ඒත් ඉස්සර සමාජය වෙනස්.. හරිම සරළ ජීවන රටාවක් තිබුනේ.. එක ගමේ ජීවත් වෙන අය ඔක්කොම වගේ නෑදෑයෝ.. ඉස්කෝලේ ඇරිලා කෙලින්ම යන්නේ මාමලාගේ ගෙදර එක්කෝ නැත්තම් පුංචිඅම්මලාගේ ගෙදර..

අද නාගරීකරණයත් එක්කම අල්ලපු ගෙදර ඉන්න කෙනා පවා අඳුරන්නැත් තත්ත්වයක් තියෙන්නේ..

මම නම් හිතන්නේ මේ ජීවන රටාව නිසා තමා මේ දේවල් වෙනස් වුනේ..

said...

නෑදෑයෝ බලන්න යන්න නම් අතේ සල්ලි තියෙන්න ඕනේ
අතේ සල්ලි තියෙන්න නම් සල්ලි හොයන්න එපායෑ. සල්ලි හොයන්න ගියාම එයාලා බලන්න යන්න නිවාඩුවක් නැහැ ඕක හැමදාම කැරකෙන රවුමක් වෙලා

RanDil said...

ආ ඒ මගේ අයියා, අක්කා, නංගි, මල්ලි, ඒ අය අපට ඕනා. බැඳීමෙන් ඉන්න ඕනා කියන හැඟීමට ගම නගරය කියලා නැහැ කියලායි මට හිතෙන්නේ. එහෙම බැඳීමෙන් ඉන්න පවුල් ‍අප අවටත් මං දැකලා තියෙනවා. පුංචම්මාගේ ලොකු අම්මාගේ දරුවෝ මගේ අයියා මගේ අක්කා වගේ තමන්ගේම අය වගේ කථා කරන අය අප සරන නගරාශ්‍රිත පරිසරයෙත් ඉන්නවා.

වෙලා තියෙන්නේ, ඔය අතරේ සමහර අය තමන්ගේ පටු පරමාර්ත නිසාවෙන් වටිනා බැඳීම් නැති කරගන්නවා. අනිත් සහෝදරයින් සහෝදරකමින් හිතද්දි තවත් කෙනෙක් ඒ අයව රවටනවා නං ඒ අය රැවටෙන්න කැමති වෙයිද? ඔය ආදි කරුණු මිසක් කාලය නැති කම මුදල් නැති කම ආදිය ආවේ දෙවැනි තුන්වැනි තැනට කියලායි මට හිතෙන්නේ. ඔහොම වුනාට පස්සේ පරම්පරා දෙක තුනක් යද්දි කාලය නැති කම මුදල් නැති කම ඉබේටම පළමු තැනට ඇවිල්ලා.

Il mondo di una povera pazza said...

(මුල්ම කාලේ බොහෝම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. ඒ කාලේ දුවගේ කතා අහලා මම දුවව හොඳට මතක තියාගෙනත් හිටියා. ඒත් පස්සේ කාලෙක ඔබේ නිහඬ වීම එක්ක බ්ලොග් එක මඟ හැරිලා.
අහම්බෙන් ලින්ක් එකක් දැකලා ආවම හුරු පුරුදු බව දැකලා ආයේ ඔක්කොම කියෙව්වා. දැන් දියණිය ලොකු ස්කෝලෙකටත් යනවා වගේ.)

නෑයෝ නෑදැකම් නම් මේන්ටෙන් කරන්න ලොකු වියදමක් යනවා. නිතරම අමාරු උනත් ඉඳලා හිටලා හරි ඕක කරන්නම වෙනවා. මොකද මළගෙයක් උනාම මඟුල් ගෙයක් වෙනකොට නැතිවම බැරි ලිස්ට් එකේ එයාලා ඉන්න නිසා.
මට නම් ආත්මෙකට මම ඉන්නවද නැද්ද කියලා නොසොයන නෑයොන්ට මාව මතක් වෙන්නේ එයාලාට මොනවා හරි දෙයක් ගෙන්න ගන්න උවමනා වුනාම.... ඒක කියන්නෙත් හරියට ලංකාවේ කඩ නෑ වගේ...