2010-08-15

නිලන්ත පියසිරි විසින් 23:37 පැයට
3

අවිවේකී ආදරය

මා මීට පෙර කී පරිදි,  නිවසේ සිට රාජකාරියට සහ රාජකාරියේ සිට නැවත නිවසට පැමිණෙන විට, බොහෝ විට ජංගම දුරකතනය තුලින් කුමක් හෝ සවන් දිය හැකි පොතක් (audio book) අසමින් ගමනේ යෙදෙමි. අවසන් වරට සවන් දුන් පොතේ වූ වැකියක් මාව අදහස් මාවත් කිහිපයක ගෙන ගියේය. ඒ වැකිය නම් "Happy couples spend some quality time together" යන්නයි. 

විවාහයට පෙර අඩුම තරමේ සතියකට වරක් වත් හමු වී පැය දෙක තුන කතා කරන යුවලකට විවාහයෙන් පසුව එසේ අඩුම තරමේ පැය කාලක් වත් කතා කිරීමේ නිදහස තිබේද? ආදරයෙන් තුරුලු වී, මහත් වූ සිහින රජයන් සදන යුවල කීයක් විවාහයෙන් පසුව වසර පුරාවටම එසේ සිහින රජයන් සදන්න ආදරයෙන් තුරුලු වී කතා කරමින් සිටින්නේද? 

ධනාත්මක චින්තනය, S 5 හෝ වෙනත් ඕනෑම කාර්‍යක්‍ෂමතාවය ඉහල නංවන ක්‍රියාකාරීත්වයන් ගැන කතා කරන බොහෝ දෙනෙකු විවාහය ගැන සිතන්නේ දියුණු වීමේ ගණුදෙනුවක් ලෙසිනි.

"බිරිය ගෙන් මට ලැබුණු දෑවැද්ද මෙපමණ වූයේ නම් මගේ මේ තියෙන පළමු වෙනි ප්‍රශ්ණය ඉවරයි"

ඒ එක්තරා මුදල් අරමුණු කරගත් අයෙකුගේ අදහසක් ය. 

"අපේ husband ගේ දැනුම පාවිච්චි කරලා හොඳට හම්බ කරන්න පුළුවන් අනේ, ඒත් එයාට උවමනාවක් නැහැනේ"

ඒ තවත් දියණුවෙන බිරියක ගේ වචනය. ඇත්තෙන් ම දියුණුව තුළ ආදරයට තැනක් නැතිද?

උදයේ පාන්දරම වෙහෙස වී කෑම පිළියෙල කරන බිරිය ඉසුරු සොයන්නට රාජකාරියට ඇදෙන්නේ තමන් ගැහැණියක් වීම ගැන පිරිමින්ට දෙස් දෙවොල් තබමින් විය හැකිය. ඇය සවස නිවසට පා තබන්නේ හෙම්බත් වී නමුදු දරුවන් ගේ රෑ කෑම පිළියෙළ කොට ළමුන් හැඩි කොට ඇති නිවස නැවත සකසා තවමත් කිරි ඉල්ලා අඩන දරුවාට කිරිපොවා, ඊලඟ දිනයේ රාජකාරිය ගැන මෙනෙහි කරන ඇයට තම සැමියා ගෙන් රාජකාරී අමාරුදැයි අසා සිත සනසන්නට ඉඩක් වේලාවක් නොමැත. ඇයට ලබා ගත යුතු එකම කායික සන්තර්පණය නම් නින්දයි. තමා මෙන්ම රැකියාවක් කරන සැමියා තමුන්ට සාපේක්‍ෂව වෙහෙසක් නොදරන බව ඇයට දැනෙයි. මෙගාලිතික යුගයේ නිවසට වී සිට බිරිඳ ගේ සැමියා අඬු බඬු කඩාගෙන සතෙක් එලාගෙන නිවසට එනවා දකින සතුට අදීන බිරිඳට අත්විදිය නොහැකිය. මක් නිසාද යත් බිරිඳ රාජකාරී නොකළහොත් සතයක් ඉතුරු කරනවා තියා ජීවත් වීමටත් මුදල් මඳය. 

බිරිඳ ගේ වෙහෙස සලකා බැලීමේ දී සැමියා ගේ දියුණුව සඳහා දැරෙන වෙහෙස මඳය. එබැවින් ඇය තව අපේක්‍ෂා කරන්නීය. ඔවුනොවුන් කතා නොකරති. කතා කරමින් ගත කරන්නට වෙලාවක් නැත, පවුලක් ලෙස දියුණු විය යුතුය. ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, දැසි දසුන්, මෙකී නොකී සියළු දෑ අප ලඟා කරගත යුතුය. එහෙත් විවාහ වී සිටින අප එකිනෙකාට ලඟා නොවිය යුතු වේ. එසේ ආදරයෙන් සිටීමට අපට වෙලාවක් නැත. එහෙත් නැවත ඉහත කී වැකිය කියැවෙයි. "Happy couples spend some quality time together". දැන් මගේ සිත තවත් චිත්ත වීදියක දුවයි.....   

3 අදහස් දැක්වීම්:

hare :-) said...

මේක හරිම සුලභ දෙයක්... ආදරේ කරන කාලෙ ගහන ප්ලෑන් කසාදෙන් පස්සෙ සාර්ථක කරගන්න දෙන්නට ජීවිත දෙකක් ගෙවන්න වෙනව. මේක මෙහෙම වෙද්දි දෙන්න ප්ලෑන් වලට යනව ඒත් දෙන්න ඈත් වෙනව. මම මේක කාර්යාලීය විවාහකයන්ගෙ ජීවිත තුලින් දකිනව. එයාලගෙ හිතේ තියෙන්නෙ හැමවෙලාවෙම සුභ වෙයි කියල හිතෙන අනාගතයක් ගැන බලාපොරොත්තුවක්. ඒ වෙනුවෙන් බොහොමයක් දෙනා වර්තමානයේ සුන්දර මොහොත අමතක කරනවා...

Abeetha Edirisinghe said...

මම මේක දකින්නෙ ටිකක් වෙනස් විදිහකට... අපි කවුරුත් සරල ජීවිතයකින් එහා දෙයක් බලාපොරොත්තු වෙන නිසා තමයි අපිට මෙහෙම වෙන්නෙ... හැමෝගෙම හිතේ තියෙන්නෙ නිවසක්, වාහනයක්, හා තවත් සංකීර්න අවශ්‍යතා බොහොමයක්... එකක් තමන්ට ලගාවෙද්දි තව එකක් සිතට ලගා වෙනවා.. ඊට පස්සෙ ඒක ලගා කරගන්නකන් අපි දුවනවා... ඊට පස්සෙ තවත් එකක්.... මේ පොර ටෝක් දෙන මමත් එහෙමයි... ඉතින් අමාරුවෙන් හරි එදිනෙදා කාල ඇදලා ඉන්න පුරුදු වෙන එක තමයි මේකට තියෙන එකම උත්තරය...

Punchi Gedara said...
This comment has been removed by the author.