2010-09-07

නිලන්ත පියසිරි විසින් 23:06 පැයට
1

පරිබවයට පුරුදු වීම

පරිබව කොට බැණීමට ද පුරුද්දක් තිබිය යුතුය. "බය වෙන්න දෙයක් නැහැ, මොනවා උනත් ඔය මනුස්සයා බණින්නේ නැහැ" ඒ රාජකාරියේ දී බොහෝ දෙනා මා ගැන සිතා සිටින අයුරුය. මා යහළුවන්ට "මම මිනිහාට හොඳට බැන්නා" කීවද ඔවුන් කියනුයේ "අනේ මේ අපි දන්නවා නේ ඔයා ගේ බැණුම" කියා එයද පහත් කරති. ඇත්තටම යමෙකුට දොස් නැඟුමට වුවද, එය පුරුද්දක් ව පැවතිය යුතුය. හොඳින් පහත් වදන්, කුණු හරුප ආදිය ගැලැපී වැකි තැනී මුවඟට ආ යුතු වේ. කල්පනා කොට බැණිය නොහැක. බස්පලුවෝ මෙන්ම රියැදුරෝ ද මේ බිණුමෙහි කෙළ පැමිණියෝ වෙත්. එහෙත් යමෙකුට දොස් නැඟුමට පෙර තව තත්පර ගණනක් ඉවසුවේ නම් කිසිවෙකු ගේ සිතක් නොතැවෙනු ඇත. එසේම අහේතුකව හෝ සහේතුකව කෙතරම් රොස් පරොස් වදන් සහිත බැණුම් වලට අපි සාමාන්‍ය ජීවිතයේ මුහුණ දෙමු ද? සමහරු කියන්නේ "ඉතිං, බැණුම් අහන එක අපේ රැකියාව නොවැ" කියාය. කෙතරම් අපි සිත දුකට පත් කරගන්නෙමු ද? පසු තැවෙමුද? එහෙත් ව්‍යාසකාරයේ මේ ශ්ළෝකය නම් එසේ නොතැවී සිටීම ගැනය.

3. සාධොඃ ඵරුෂවාක්‍යෛශ්ච න මනො යාති වික්‍රියාම්,
    නහි තාපයිතුං ශක්‍යං සාගරා ම්හස්තෘණෙල්කයා.

ඵරුෂවාක්‍යෛශ්ච, ක්‍රෑර වූ බසින් (කෙවුනාවූද); සාධොඃ, සත් පුරුෂයා ගේ; මනඃ, සිත; වික්‍රියාම්, විකාරයට හෙවත් වෙනසකට; න යාති, නොපැමිණෙන්නේය; කෙසේද යත්? සාගරමහඃ, සමුද්‍රජලය; තෘණෙල්කයා, තණ සුලකින්; තාපයිතුම්, තවන්නට හෙවත් හුණු කරන්නට; නශක්‍යම්, නොපිළිවනි; එ එසේමැයි.

බොහෝ වූ ලවන ජලය තණ සුලකින් හුණුකොට ගත නොහැක්කා සේ, මුඛයෙන් ක්‍රෑරවූ බස්බිනුම් අසන්නා වූ සත් පුරුෂයා ගේ චිත්ත ස්වභාවය විකාරයට පමුණුවාගත නොහැක්කේ යයි යනු අභිප්‍රායයි.

1 අදහස් දැක්වීම්:

තිස්ස දොඩන්ගොඩ said...

මේ දිනවල බලවත් උත්සාහයෙන්, ව්‍යායාමයෙන් යුතුව නොපරුස් සිතිවිලි ජනිත කර නොහගැනීමටත්, ඒවා ලබන අන්තයේ සිටින විට නොතැවී සිටීමටත් උත්සාහ කරමි... මේ සටහන් ඒ ව්‍යායාමයන්ට උත්ප්‍රේරක වැනිය...
ස්තූතියි නිලන්ත...