2012-03-26

නිලන්ත පියසිරි විසින් 12:20 පැයට
4

ලංකාවේ වර්ණබේදවාදය

"අප්පච්චී, අපේ පන්තියේ ඉන්නේ කළු ළමයි හතර දෙනයි. එක්කෙනෙක් තමයි මම" අපේ දුවනිය විසින් පසු ගිය දිනෙක මා හා කීවාය. "අනිත් ළමයි සේරම සුදුයි".  ඇය තව දුරටත් කියන්නීය. "එහෙනම් අප්පච්චිත් කළුයි නේ" මම කීවෙමි. "ඔව්, අප්පච්චියි, මම යි කළුයි, නංගියි, අම්මයි සුදුයි." ඇය සුරතල් වදන් දෙන්නීය. "නැහැ දුවනි, ඔයා කළු නැහැ, ඔයා තළෙළුයි, ඔයාට එහෙම කිව්වට තේරෙන්නේ නැති නම් හිතා ගන්න කෝ ඔයා රත්තරන් පාටයි, කළු කියන්නේ මෙන්න මේ පාටට නේ" කියමින් මම කළු පැහැති පැස්ටල් කූරක් පෙන්වූයෙමි. "අනිත් එක කළු පාට මිනිස්සු මේ ලෝකේ තව ඉන්නවා. කළු වුනත්, රත්තරන් වුනත්, සුදු වුනත් හැමෝම මිනිස්සු නේ, දුවනී" මම එසේ ඇයට කියූ මුත් එය ඇයට තේරුණා දැයි නොදනිමි. "එහෙනම් සුදු අය ලස්සනයි කියන්නේ?" ඇය අසන්නීය. "නැහැ, රත්තරන් පාට අය තමයි ලස්සන" මම කීවේමි. එවිට ඇය තම නංගීට තමා රත්තරන් පාට බව කියන්නීය. "අප්පච්චී, මටත් රත්තරන් පාට වෙන්න ඕනේ" එවිට නාසෙන් ඇඩිල්ල චූටි දුව ගේය.
ලංකාවේ ජාති බේද හෝ වර්ග බේද පැණයක් ඇතැයි ඇතැමෙක් කීවත් ඇත්තෙන්ම පවතින්නේ වර්ණ බේද ප්‍රශ්ණයකි. රූපවාහිනීයේ කල්ලන් සුදු කරන ආලේප ගැන දැන්වීම් කෙතරම් නම් වේද? එළෙස බැලූ කල එය ජාතික ප්‍රශ්ණයකි. ලංකාවේ සියළුම ගැහැණුන් ව සුදු කිරීමට වගකීම බාර ගෙන ඇත්තේ මේ රූපලාවන්‍ය සමාගම් බොහොමයකි. කළු වෙන්නේ ඔය මෙලනින් වර්ණකය නිසා යැයි කියති. ග්‍රීක බසින් මෙලනින් යනු කළු පැහැයට නමක් බව මම අසා ඇත්තෙමි. එසේම සෑම සතෙකු ගේම පාහේ පවතින මේ වර්ණකය මකුළුවන් ගේ සොයා ගෙන නොමැති බවද කියැවේ. සුදු කරන ආලේපන වලින් කැරෙනුයේ සමේ ඇති මෙලනින් වර්ණකය ඉවතලෑම බව කියැවේ.
කෙසේ වෙතත්, සුදු වීම හා සුදු ඕනෑ වීම, සමාජය උදෙසා නිමැවූ හීනමානයක් බව මට සිතේ. එය සිංහල කතා කරන විට ලොකු කම පෙන්වීමට ඉංගිරිසි වදන් මැදට එබීමක් මෙන්ම වෙයි. එහෙත් අද සමාජයේ මේ ඊනියා සුද, ලස්සන මනින සාධකයක් නොවී ඇතැයි කිසිවෙකුට කිව හැකිද? කළු පිළිගැනීමේ නිළධාරිනියන් සිටින්නේ කීයෙන් කී දෙනාද? කළු නිළියන් ගණන් කොට කිව හැකිද? ගැහැණු පමණක් නොව සුදු වීමට දඟලන පිරිමින් නම් සමාජයේ කෙතරම් වෙතිද? මහා කළු සිංහලයා කීම අදට ප්‍රශංසාවක් ද? නින්දාවක් ද?   

4 අදහස් දැක්වීම්:

Unknown said...

ඔබ ජිවත් වන්නේ ලංකාවේද නැතිනම් විදේශයකද කියා මා නොදනිමි අද ලංකාවේ වර්ණභේදය පමණක් නොව ජාති භේදය කුල භේදය ආගම භේදය උග්‍ර වී ඇත..

hare :-) said...

ලෝකයම වෙළඳාමක්. සුදු කියන්නෙ විශිෂ්ටත්වය කියල මිනිස්සු ඇන්දවීම ව්‍යාපාරික අරමුණක්. මිනිස්සුත් දේවල් දිහා බලන්නෙ තමන්ට තේරෙන පමණින්නේ... :-)

නරකයා....!! said...

මැක්සා කතාව... වැඩි දෙනෙකුට අවධානයක් නැති.... ඔය සුදු අය තමයි ලස්සන කියන අදහස පොඩි එකාගේ හිටන් ඔළුවට දාන්නෙ ටි වි වලින්නෙ...

Anonymous said...

බොහෝ වෙලාවට සුදු අය ලස්සනයි එත් ලස්සන කලු අයනම් ඉන්නවද කියල මන් දන්නේ නැ හැබැයි ලස්සන තලෙළු අයනම් ඕන තරම් ඉන්නවා ex : Rihanna,Will Smith

මහා කලු සිංහලය කීම සම්පුර්නෙන්ම අපහාසයක්.