2009-01-06

නිලන්ත පියසිරි විසින් 09:32 පැයට
11

ජාතික කැක්කුම සහ බුලත් කහට

කවදත් ඉතිං මගේ බොහෝ රස බස්, බසයන් තුලමයි නොවැ. මෙය ඊයේ වුනු සිදුවීමකි. සුපුරුදු පරිදි මා බසය තුල හිඳගෙන සිටි අතර බසය තුල එතරම් සෙනඟද නොවීය. බසය ඉදිරියට ඇදී ඉතා කෙටි දුරකි. මා සිට අසුනට මඳක් පසු පසින් මහා ගාල ගොට්ටියක් මතු විය.
"යකෝ, ර..... කියනවා ඇල්ලුවේ කිලිනොච්චි නොවේ මැදවච්චි කියලා, මූ කියනවා අලිමංකඩ නොවේ යන්නේ පාමංකඩ කියලා, මං මුගේ කැවුතු කනවා යකෝ"
ඔහු කෑගසූ හඩ නිසා පාරේ යන මිනිසුන් පවා බසය දෙස බැලූහ.
"මේ, කොන්දොස්තර මහත්තයා, මේ මනුස්සයා, බසයෙන් බස්සන්න, බලන්න අපේ ඇඟටත් බුලත් කෙල විසි වෙනවා." අයෙක් බස් පලුවාට අඩ ගැසීය. ඒ වනවිටත් මම පිටු පස හැරී ඒ දෙස නොබැලුවෙමි.
"යකෝ බුලත් කෙල වගේද මගේ ජාතික කැක්කුම, හරි එහෙම නම් මම ඉස්සරහට යන්නම් කෝ"
ඔහු බසයේ ඉදිරියට පැමිණියේය. මේ ඉන්නේ ජාතික වීරයා, ජැන්ඩි පහට කළු කලිසමක් හැද, දිදුලන සුදු අත් දිග කමීසයක් හැද, ගලවාගත් කරපටිය සාක්කුවේ රුවා, අවුරුදු 50ක් පමණ වයසැති, කොල්ලෙක්. හැබැයි, අළුත් බව පෙනෙන මේ සුදු කමිසය පුරාම මේ දැන් හැලුනු බුලත් විට කෙල. එමෙන්ම යන්නතම් වැනි වැනි. ඔන්න ආයෙමත් පටන් ගත්තා... "ඇල්ලුවේ කිලිනොච්චි නොවේ මැදවච්චි ලු, මම මුගේ රීරි ලේ බොනවා යකෝ, මම දකුණේ කොල්ලෙක්"
කිසිවෙකු සද්ද නැත, මඳ වේලාවකින්, ජාතික කැක්කුම් කරු, ඉදිරි අසුනක බුදි.
දැන් අපි සියළු සිංහලයෝ මෙවැනි ජාතිවාදීන් යැයි, පෙළට හිඳගෙන බනිමුද?

11 අදහස් දැක්වීම්:

malee_msg said...

ම‍ට නම් මේක කියවලා හයියෙන් හිනා ගිය එක විතරයි වුනේ.

budhajeewa said...

> දැන් අපි සියළු සිංහලයෝ මෙවැනි ජාතිවාදීන් යැයි...

ඕක කීවා කියල මිනිසා කොහොමද ජාති වාදියෙක් වුනේ ? බස් එකක් ඇතුලෙ නිකං ඔය වගේ බොරුවට කෑගැසීම මෝඩ කම මිසක් ජාතික කැක්කුම වත්, ජාතිවාදයත් නෙවෙයි

ච.ගු said...
This comment has been removed by the author.
ච.ගු said...

අපොයි මේකා දකුණෙ කොල්ලෙක් කියල කිව්වනෙ...

සෝරෝ said...

පිස්සෙක් කියල තමඉ මට කියන්න තියෙන්න්නෙ..
දකුනෙ අපිටත් ලැජ්ජයි..

Aravinda said...

මම හරක් මස් කනව නං ඔය මිනිස්සුන්ගේ කැවුතු මමත් කනවා. ඒත් මං ඒ බස් එකේ කෑ ගහන්න යන්නේ නෑ.මිනිහට පිස්සු නිසා හරි බීල හිටපු නිසා හරි මිනිහගේ හිතේ තිබුණු දේ ඒ විදියට ම පිට වුණා. මිනිහා ජාතිවාදියෙක් නෙමෙයි.

Kasun said...

> දැන් අපි සියළු සිංහලයෝ මෙවැනි ජාතිවාදීන් යැයි...

පරණ කතාවම තමයි. සිංහල, දෙමල හො වෙනත් කිසිම ජාතියක් සමස්ථයක් වශයෙන් ජාතිවාදී වෙන්නේ නැහැ. කොහොමටවත් මේ වගේ දෙයක් නිසා. මේක විහිළුවක්, හැබැයි ඒ යටින් ඇත්තේ අඳුරු ඛේදවාචකයක්.

1958 - 83 දක්වාත් (යම් තරමකට ඉන් පසුත්) ඇතිවූ ජාතිවාදී ගැටුම් වලට ජාතිවාදය, නැතිනම් ජාතිවාදී මානසිකත්වය හේතූ නොවූ බව ඔබට පැවසිය හැකිද? නැතිනම් ඒ සිදුවීම් හුදකලා පිරිසකගේ හුදු ප්‍රචන්ඩ ක්‍රියා පමණක්ද? කෙටියෙන් කිවහොත්, ජාතිවාදය ලාංකීය සමාජයේ ප්‍රමුඛ මතවාදය ලෙස ක්‍රියා කෙරුණු අවස්ථා නොතිබිණිද?

ඔබ ජාතිවාදය අරුත්ගන්වන්නේ කුමක් ලෙසින්ද?

මට පිළිතුරු අවශ්‍යයය.

නිලන්ත පියසිරි said...

kasun වෙත-
මෙහි වූ "ජාතිවාදය" යන වදන ගැන පැණයක් මතු වී ඇති සේය. නමුත් මගේ සතුටට හේතුව නම් මා කිව යුතු දේ ඔබ කීමයි. ඔබ සමඟ මා එකඟ නම් පැණයක් නැහැ නොවැ. මා කීමට උත්සහ කළ දේ එලෙසින්ම අදහස් නොවී නම් මට සමාවෙන්න.

Kasun said...

@නිලන්ත:
"ජාතිවාදය" යන වදන ගැන මට ගැටළුවක් නැත.
මම ඇසුවේ,
"1958 - 83 දක්වාත් (යම් තරමකට ඉන් පසුත්) ඇතිවූ ජාතිවාදී ගැටුම් වලට ජාතිවාදය, නැතිනම් ජාතිවාදී මානසිකත්වය හේතූ නොවූ බව ඔබට පැවසිය හැකිද? නැතිනම් ඒ සිදුවීම් හුදකලා පිරිසකගේ හුදු ප්‍රචන්ඩ ක්‍රියා පමණක්ද? කෙටියෙන් කිවහොත්, ජාතිවාදය ලාංකීය සමාජයේ ප්‍රමුඛ මතවාදය ලෙස ක්‍රියා කෙරුණු අවස්ථා නොතිබිණිද?

ඔබ ජාතිවාදය අරුත්ගන්වන්නේ කුමක් ලෙසින්ද?"

එපමණයි.

Kasun said...

එසේ අසන්නට හේතුව මෙම බ්ලොග් සටහන (පමණක්) නොවේ.
http://nilantha-piyasiri.blogspot.com/2008/11/blog-post_23.html
හා තවත් සටහන් කිහිපයක දැක්වුනු අදහස් සම්බන්ධයෙනි.

නිලන්ත පියසිරි said...

@ කසුන් - ජාතිවාදය ලෙස මා සලකන්නේ, මගේ ජාතිය උසස් නිසා අනෙක් ජාතිය යටපත් කළ යුතුයි යැයි සිතන වාදයට. එසේම මගේ ජාතිය අනෙකුත් ජාතියට වඩා උසස් යැයි නැගෙන සිතුවිල්ලම පමණක් ජාතිවාදී නොවන බව මගේ හැඟීමයි. ඔබට ජාතිවාදය ගැන වෙනත් කියැවීමක් තිබෙන්නට හැක. එය මගේ සිතුවිල්ලට සමාන නොවෙන්නත් ඉඩ ඇත. එසේම මගේ ඒ සිතුවිල්ල ඔබගේ සිතුවිල්ල හා පරස්පර වුවද, ඔබ දරණ මතය හෝ මා දරණ මතය නිවැරදිම මතය ලෙස මම පිළිනොගනිමි. මක් නිසාද යත් කලින් කලට මිනිසුන් ගේ පරිකල්පන හැකියාවද වෙනස් වන හෙයිනි.