2010-09-01

නිලන්ත පියසිරි විසින් 00:11 පැයට
1

ව්‍යාසකාරය

පොත් පත් ටිකක් එහා මෙහා කරමින් සිටියදී, අපේ අත්තා ගේ පරණ පොතක් මතු වුනා. එහි නම "ව්‍යාසකාරය". බොහෝම පුරාණ පෙනුමක් තිබුණු පොතක්. කොළ දිය වෙලා යන්න ලඟ බවකුත් පෙනුනා. හැබැයි තියෙන්නේ "සංස්කෘත ශ්ළෝක". සිංහළෙන් සරල හැදින්වීමක් කරලත් තියෙනවා. නමුත් ඒක එච්චරම තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඔය ඉස්සර කාලේ වචන හොඳින් උච්ඡාරණය වෙන්න කියලා කියවන්න දෙන පොතක් කියනව නොවැ ඕකත්. 

"සකස්කඩ නොකිවූ කට උගේ කට හුඹස් කට"

කියලා කියමනකුත් තියෙනවා. හැබැයි එහෙම නම් මගේ කට පමණක් නොවේ ලංකාවේ බොහෝ දෙනෙකුට තියෙන්නේ දැන් හුඹස් කටවල්, එහෙම නොවෙද? එහෙම කියවලා උච්ඡාරණය සකස් කරගන්න, නිදැසි ලෙස, "සකස්කඩ, බුද්ධ ගඡ්ජය, ප්‍රත්‍ය ශතකය, නාමත්‍ර ශතකය, හිතෝපදේශය...." ආදි වශයෙන් ලැයිස්තුවක් කියැවෙනවා කියල යන්තම් මතකයේ තියෙනවා. 
හැබැයි, මේ ශ්ළෝක කියවන්න නම් එක පාරට මොන ජගතෙකුටවත් බැරිව ඇති. හැබැයි, අර කීවත් වගේ මේ ශ්ළෝක කියෙව්වොත් උච්ඡාරණය කරන්න බැරි වදනකුත් ආයෙත් නම් නැහැ.

 කොහොම වෙතත්, මේ පොතත් දිය වෙලා යන්න වගේ නිසා මට හිතුනා පොත තියෙන විදිහටම, ඉඩ කඩ ලැබෙන විදිහට ශ්ළෝකය බැගින් මගේ දින සටහන් වලට එකතු කරන්න. පස්සේ බැරියැ ඕනෑ නම් එකට එකතු කරලා කවුරුන්ට නමුත් ප්‍රයෝජනයකට ගන්නත්. අනිත් එක මේකෙන් මේ සිංහල යුනිකේත වල හැකියාවත්, නොහැකියාව නොහොත් වැඩි දියුණු කළ යුතු දේත්  මැණෙනවා නොවැ. නිදසුනක් ලෙස ගතහොත්, පෙර අකුර පසු අකුරට බැදි පසු පෙර අකුර හල් වෙන මුත් එසේ බැඳි අකුරු භාවිතයට අපෙ යුනිකේත තවමත් උදව් නොකරයි. එසේම ඔය ඉස්සර හිටිය පඬියෝ වගේ අපේ අයටත් උදාහරණයකට සංස්කෘත ශ්ළෝකයක් දෙකක් තමන් ගේ කතාවල් මැද්දට දාගන්න ත් බැරියෑ නේද? 

ව්‍යාසකාරය
 නමශ්ශාක්‍යසිංහාය 
ශාක්‍යසිංහාය, සර්‍වඥරාජයාහට; නමඃ, නමස්කාරය;
අසතු වේවා;
1.   අඥානතිමිරාන්‍ධානං විභ්‍රාන්තානාං කෘද්‍රෂ්ටිහිඃ,
      ඥානාඤ්ජන ශලාකාභිර්‍වව්‍යාසෙනොනමිලිතං ජගත්

අඥාන, නුනුවණ නැමැති, තිමිර, අන්ධකාරයෙන්; අන්ධානාම්, කිසිවක් නොදැක්කහෙන්නාවූ; කෘද්‍රෂ්ටියෙන් හෙවත් ඇති සැටිය තබා වරදවා ගැන්මෙන්; විභ්‍රාන්තානම්, වේදෝ හෝ නොවේදෝහෝයි සැක ඇතිව මුළාව ඇවිදිනා සත්වයන්ට; ව්‍යාසෙන, ව්‍යාස නම් සෘෂින් විසින්; ජගත්, ලොව හෙවත් ලොකයෙහි කළමනා නොකළමනා කටයුතු; ඥානාඤ්ජන ශලාකාහිඃ, නුවණ නමැති බෙහෙත් අඳුන් ඉරටුයෙන්, උන්මිලිතං, ප්‍රකාශකොට දක්වන ලදි.

1 අදහස් දැක්වීම්:

තිස්ස දොඩන්ගොඩ said...

ෂහ් අපූරු වැඩක්... අතීත ඤාණය, කාලය නැමති බරපතල විනිසුරුවා ගෙන් අනුමැතිය ලබා ඉදිරියට එන්නක් කියා මම විශ්වාස කරනවා... වලංගු නැති ඤාණ ධාරාවන් වැලලී යන්නේ එළෙසමය... නැවත ඒවා මේ ආකාරයෙන් අප අතරට ගෙන ඒම ගැන බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි...