2008-08-08

නිලන්ත පියසිරි විසින් 11:17 පැයට
1

මුතුරාජ වෙල

මට දෙස බස රැස ගැන හැඟුමන් ඇති කළේ මගේ කිරි අම්මා. දුටු ගැමුණු එළාර සටන ගැන ඇය කියූ අයුරු මට යලිදු එය අසන්නට හැකිනම් යැයි සිතෙන තරම් ය. ගැමුණු කුමරු හුණු සුනු සහල් බත් තැනින් තැන කෑ අයුරු දැක මැහැල්ලක් එය කුමාරයා ගේ සටනට උපමා කළ තැන පටන් ඒ සබඳිව ඇති කථා නම් අපමණය. ඒවා වෙනම කථා කරමු. නමුත් විජිතපුර සටන යනු අප සිතන තරමේ හුදු කඩු පොලු සටනක් නම් නොවේ. එය මහත් වෙහෙසක් සහ සැලසුමක් ඇතිව සිදු කෙරුණු සටනකි. එම සැලසුම් අවුරුදු සහ මාස ගණන් තුල සැකැසී ඇත. "ඇතිමලේ" ගමට නම සැදුන සැටි අප කවුරුත් දන්නා පරිදි සද්ධාතිස්ස කුමරු මහා වෙල් යාය සටනට පළමු අස්වද්දවා තම අය්යාගෙන් "මේ ඇති දැ"යි ඇසූ කල ලැබුණු උත්තරය විය. මෙලෙසම මුතුරාජ වෙලද දුටු ගැමුණු කුමාර අණින් සටනට පළමු අස්වැද්ද වූ බව කිරි අම්මා මා හට පැවසුවාය. අපේ හේවායෝ මෙකල වියලි සලාක (Dried Rations) ලෙස පෙරමුණට ගෙන යන්නේ පර රට සෑදූ ආහාර වේ. එකල අපි පර රටින් නොයැපුනෙමු. ඉඳින් අපේ මුතුන්මිත්තෝ නොකා සිටියෙහු ද? නැතිනම් සටන් පෙරමුණේ සැමදා බත් පිසුවෝ ද? නැත. ඇය (කිරි අම්මා) පැවසුවේ එකල පෙරමුණේ කෑ වියලි සලාක වූ යේ "කැවුම්, ආස්මි, අතිරස, මුං කැවුම්" වූ බවය. අපි අද වූවද දනිමු මෙවැනි කැවිලි මසක් පමණ කිසිදු නරක් වීමකට බඳුන් නොවී කෑ හැකි බව. හෙළයා කැවුම් කන්න යෝධයා බවද පැවසෙයි. (මෝඩ කථාව නම් අපි හැමදාම කියා ගන්න එකනේ).
මෙහිදී මට කීමට උවමනා වූ දේ නම් එකල කැවුම් තැනුමට අස්වැද්දූ මුතුරාජ වෙල අද තිබෙන්නේ කොතනද යන්න ගැනයි. බොහෝ කලක් පුරන්ව ගොහොරු බිමක් ව තිබුනු මෙබිමෙහි කොටසක් අද ගොඩ කොට ගොල්ෆ් බෝල ගසන පිට්ටනියක් ව ඇත. තව කොටසක් තවමත් වගුරු බිම් ලෙස පවතී. අවුරුද්දකට වාරි මැවිසුරන් කී දෙනෙකු අපගේ සරසවි වලින් පිට වනු ඇත් ද? ඔවුන් ව හරි මඟ යවා ඇති ද? අපේ දෙස හදන්න බැරිද? පුළුවන්, හැබැහින්ම පුළුවන්.

1 අදහස් දැක්වීම්:

සු said...

යුද පෙරමුණට කැවුම් ගෙඩි ගෙන යාමේ තව ප්‍රයෝජනයක් තිබුණාලු. කල් තබා ගත හැකි ගුණෙන් පිරි ආහාරයක් වගේම පරණ කැවුම් පොඩි කර තුවාලවලට බැන්දාම ඒවා සුව වන නිසාලු ඒ..කැවුම් පුස් කන කොට ඒක වෙන්නේ කැවුම්වල හැදෙන පෙනිසිලින් කියන දිලීර/බැක්ටීරියා නිසාලු. මේ පෙනිසිලින් කියන්නේ ප්‍රතිජීවක ඖෂධයක් නිසා තුවාල සුව කරන්න කැවුම්වලට පුළුවන් වුණාලු. මේ ගැන ඉස්සර දවසක විද්‍යාත්මකව පැහැදිලි කළේ බෝ. එයා නම් කියන්නේ ලෝකෙ මුලින්ම පෙනිසිලින් භාවිත කළ ජාතියක්ය අපි කියලයි