2008-11-20

නිලන්ත පියසිරි විසින් 10:47 පැයට
2

කළ යුත්තේ කුමක්ද?

ත්‍රස්තවාදීන්‍ට එරෙහිව කෙරෙන සටනේ දී අපේ සෙබළුන් මැරෙති. යුද්ධය නිතරම අවජාතක බවද කියැවේ. සටනේ දී අත පය, ඇස්, ඉස්, මස් ආදී දේ අහිමි වූ කී දෙනෙකු අප අතර වෙත්ද? යුද ගී ගයා පෙරමුණට යවන්න වෙහෙසෙන කිසිවෙකු ගේ නෑයෙක් පෙරමුණේ නොවෙති. උඩින් දමන බෝම්බ වලින් නිරායුධ, අහිංසක වැසියන් ද මැරෙති. යුධ විරෝධීන්ව මර්දන කරන බවද කියැවේ. යුද්ධයට හුරේ දමන කිසිවෙකුත් පෙරමුණේ දුක් විදින සෙබලා ගැන සොයා නොබලති. යුද්ධය නිසා රටේ බඩු මිල අහස උසට නැඟ ඇත. ඒ ගැන කිසිවෙකු කථා නොකරති. දේසපාලුවන් ගේ ආරක්‍ෂාව පිණිස පැය ගණන් පාරවල් වසා තිබේ.
මොනවද මේ කියන්න හදන්නේ. යුද්ධය/සටන එපා.
කවුරුද යුද්ධයට කැමති? කවුරුත් කැමැති නැහැ (අවි වෙලෙන්දෝ සහ උන් ගේ එජන්තයෝ හැර). එහෙනම් මොකටද මේ අපේ අහිංසක සහෝදරයෝ ගිහින් මැරුම් කන්නේ. උන් මැරුම් කන්නේ ඇගේ අමාරුවට? බොරු පුහු චන්ඩි කම් වලට නොවෙද?
රටකට නීතියක් තිබේ, රජයක් තිබේ, පාලනයක් තිබේ. (එය කෙතරම් අප රට තුල සහ ඊට සමඟාමීව අනෙකුත් රටවල බලපවත්වනේද යන්න පැණයකි). මට අසාධාරණයක් වූයේ යැයි කියා හෝ වේවි කියා හෝ කඩුවක්, තුවක්කුවක් ගෙන සැවොම මරමි'යි කියා යකා නැටිය හැකිද? හෙට දිනේ අවිය තොපේ හිසට එල්ල කොට මෙය කරවැයි හොරෙකු හෝ තක්කඩියෙකු අණ දුන් කල තොප මේ හොරා මෙසේ කියන්නේ ඔහු ගේ දුප්පත් කම නිසා හෝ ඔහුට අසාධාරණයක් වූ හෙයිනැයි සිතා එසේ කරමීයි කියන්නේ ද නැතහොත් වෙනත් අයෙකුට මෙම අවි තුඩඟ එල්ල කිරීමට පළමු ඊට එරෙහි වන්නේද?
මගේ සහෝදරයා කකුල අහිමිව, දෑස අහිමිව දුක් විදියි. ඒ පිළිබඳ ඔහුට දුක බැව් සැබැවි. ඒ පිළිබඳ මට දුක බව සැබැවි. ඒ පිළිබඳව ඔබට දුක සිතෙන බැව්ද සැබැවි. එහෙත් ඔබව බේරා ගැන්මට ගොස් ඔහු කකුල අහිමි කර ගත් පසු, "අපරාදෙනෙ ඔයා කකුල නැති කරගත්තේ කියා" ඔබ කිව හොත් ඔහුට කෙතරම් දුක හිතෙනු ඇතිද? "අපරාදේ යුද්දේ නිසා ඔයා ගේ පුතා නැති වුනේ" කිව හොත් අම්මා කෙනෙකුට කෙතරම් දුක හිතෙනු ඇතිද? ඔවුන් දිවි දුන්නේ, ඔවුන් සිරුරු කොටස් අහිමි කර ගත්තේ මේ රටේ යන්නතමින් හෝ රැදී තිබෙන සාධාරණය, යුක්තිය, නීතිය ආදී අහිංසක මිනිසුන් ගේ අයිතිවාසිකම් රැකුමටය. යුද්ධය බංග වේවා! එය අපේත් පැතුමකි. එහෙත් යුද්ධය බංග කිරීමට අප බංග විය යුතුද?

2 අදහස් දැක්වීම්:

Anonymous said...

පුද්ගලයෙක් අවියක් එල්ල කොට මෙසේ නොකළොත් මරා දමමැයි කියයි නම් එතැන ඇත්තේ පුද්ගල ත‍්‍රස්තවාදයයි. ඊට උත්තරය ඔහු මෙල්ල කිරීම ය. එහෙත් දේශපාලන සංවිධානයක් එසේ කරන විට එහි සියුම් වෙනසක් තිබේ. එම දේශපාලන ඉලක්කය අනුයන අය විසින් එකකුගෙන් උදුරා ගන්න ධජය නැවත ඔසවනු ලැබීමේ හැකියාවය. ඒ නිසා අප පළමුව පුද්ගල ත‍්‍රස්තවාදය හා දේශපාලන ත‍්‍රස්තවාදය අතර වෙනස අප හඳුනාගත යුතු ය. මගෙන් ගිලිහෙන අවිය ගන්නට තව බොහෝ දෙනා සිටිනා බවට දේශපාලන ත‍්‍රස්තවාදීන් විසින් පාරම්බානු ලබන්නේ එබැවිනි.

දෙවනුව දේශපාලන ත‍්‍රස්තවාදයේ ද ප‍්‍රභේද තිබේ. එකක් දේශපාලන මතවාදයක් සිය අභිප‍්‍රාය ලෙස යොදාගනී. දෙවන වර්ගය යම් ජාතියක අභිප‍්‍රායක් තම අභිප‍්‍රාය ලෙස යොදා ගනී.

පළමු වර්ගයේ මතවාදය එවකට පවතින සමාජ දේශපාලන වටපිටාව තුළ ඉදිරිගාමී නම් පමණක් එකෙකුගෙන් ගිලිහෙන ධජය ගැනීමට තවත් අය ඉදිරිපත් වේ. එය පසුගාමී නම් එම සමාජ දේශපාලන වතාවරණය හේතුකොට ගෙන සමාජයෙන් පිටමං කෙරුණු අය අතරින් ඉදිරිගාමී කොටස පමණක් එසේ ඉදිරිපත් වෙති. දෙවැනි වර්ගයේ දේශපාලන ව්‍යාපාර එම ජාතියේ දේශපාලන අභිප‍්‍රායයන් වෙනුවෙන් නිවැරදිව හා දක්ෂව පෙනී සිටින්නේ නම් ඔවුනට වැටෙන අවි නැවත ඔසවා අමෝරා ගන්නට පිරිසක් සොයා ගැනීමට හැකි වෙයි.

දේශපාලන ත‍්‍රස්තවාදය ආයුධවලින් පමණක් පැරදිය නොහැක්කේ එබැවිනි.

නිලන්තට හෝ මට වුවමනාව තිබූ පමණින් හා ඒ පිළිබඳව අප පරිත්‍යාගයන් කිරීමට සූදානම් වූ පමණින් දේශපාලන ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකි වන්නේ ඒ නිසා ය.

amal ishantha said...

කොහෙද දැන්දෙශපාලන ත්‍රස්තවාදයක් තියෙන්නේ. ප්‍රභාකරන් හා ඔහුට සහය දක්වන කිහිප දෙනෙකුගේ ත්‍රස්තවාදයක් මිස. මේ සාකච්චාව ආරම්භයේ සිට අප නගන ප්‍රශ්නයක් ඇත.
මේ යුද්ධය නවත්තලා කරන්න පුළුවන් දේ මොකද්ද?
දෙමළ ජනතාවට පමණක් තිබෙන පැහැදිලි ප්‍රශ්නය කුමක්ද?
විසඳුම මොකද්ද?
Shan, beyond frame ඔබ විසින් සැම විටම මගහරින ප්‍රශනයද එයයි. කවුදෝ නිර්නාමිකයෙක් කියන ලද කුණු හරපයකට හෝ දමන ලද comment එකක් වෙනුවෙන් post දමන ඔබ මේ ප්‍රශ්නයට පිළිතුරු මග හරින්නේ ඇයි. වෙනත් කරුණු නොකියා මෙම ප්‍රශ්නයට කවුරුන් හො පිළිගත හැකි පිළිතුරක් දෙන්නේ නම් අගනා වේ....