2008-11-28

නිලන්ත පියසිරි විසින් 09:12 පැයට
5

පුරවැසිකම සහ දේසපාලනය

දේසපාලනයෙන් විමුක්තව පුරවැසියෙකුට රටක විසිය හැකිද? 10 පන්තියේදී අපට සිංහළ බස ඉගැන්වූ ලේල්ලවල ජිනරතන හාමුදුරුවෝ මේසයට බර දී මේ ගැන දේසනා කළ හැටි තවමත් මට මතකය. "හාමුදුරුවනේ ඡන්දය නොදී, මගේ පාඩුවේ සිටීම වැරදිද?" අයෙක් නැඟු පැණයකට උන්නාන්සේ අපට වෙන් වූ කාල පරාසය අවසන් වන තෙක්ම එය වැරදි බව පැහැදිලි කළෝය.
කෙසේ වෙතත් දේසපාලනය එය ක්‍රියාත්මක කරන්නන් නිසා ජරාජීරණ වී ඇති බව අපි හැමෝම දනිමු. සාමන්‍යයෙන් සියළුම මනුස්සයෝ ගෝත්‍රවාදී වෙති. ජාතිවාදි වෙන්න එපා, ආගම් වාදී වෙන්න එපා, කුලවාදී වෙන්න එපා, පක්ෂවාදී වෙන්න එපා සහ එකී, මෙකී නොකී කුමන හෝ වාදී වෙන්න එපා කීවාට එසේ නොවෙනවාද? අපේ පාසලේ, අපේ ගමේ, අපේ කාර්යාලයේ, අපේ පවුලේ ආදි වශයෙන් කෙතරම් අපේ කියන දෙයට නැමියාවක් තිබෙනවාද? එය වාදයක් ද? මෙන්න අප සිංහල කියනකොට කට්ටියක් එකතු වෙනවා, මෙන්න අප කිතුනුවෝ කියන කොට තව කට්ටියක් එකතු වෙනවා, අප එජාප (යූ.එන්.පී) කියනකොට තවත් කට්ටියක්. ඉඳින් මේ ආකාරයට කී විදිහකට වාදී විය හැකිද?

එසේ නම් මෙසේ වාදී වීම නරකද? නැත වාදී වීම නරක නැත. නරක නම් යම් වාදයක් නිසා අනිත් වාදය තලන්නේ නම් පෙලන්නේ නම් එය නරකය. උදාහරණයකට සිංහළයෝම කිතුණුවෝ, බෞද්ධයෝ කියා එකිනෙකා තලා නොගන්නේ ද? එවිට කිතුණුවෝ ගොඩේ දෙමෙල්ලු නැතිද?
අපේ පාසල කියා සිතීම නරකද? අපේ ගම කියා සිතීම නරකද? එහි කිසිඳු නරකක් නැත. එහෙත් අපේ පාසල පමණක් පැවතිය යුතුයි අනෙක පාසල් නොපැවිතිය යුතු යැයි සිතීම වරදක් බව මගේ අදහසයි.

ලොව ජාතීන් කිසිවක් නැතිව එක් ජාතියක් පමණක් ඉතිරි වූවහොත් ජාතිය කියා නමකුදු නැත. ආගම යන නමද එසේමය. නමුත් එවැන්නක් කිසි දා සිදුවන්නේ නැත. ලෝක පුරවැසියෙක් වෙන්න දැඟලුවාට ලෝක පුරවැසියෙක් කිසිදා ඇතිවෙන්නේ නොවේ. මිනිසා සත්වයෙක් බැවින් ගෝත්‍රික හැඟිම් වලින් මුදවන්න කිසි කලක නොහැකි වනු ඇත. අපි අප වීම ගැන ආඩම්බර වෙමු. මා සිංහලයෙක් වීම ගැන මම ආඩම්බර වෙමි. නමුත් මම තවකෙකු සිංහලයෙක් කිරීමට නොයමි. එසේම මගේ, අපේ කියන නැමියාව මා සදා ගත්තක් නොව, මා තුල තිබෙන්නක් බව මම දනිමි.


5 අදහස් දැක්වීම්:

Anonymous said...

ගෝත්‍රවාදය මිනිසාට පමණක් නොව වානර ගණයේ අනෙක් සතුන්ටද පොදුය. මිනිසාගේ ගෝත්‍රවාදය අඩුය. එය පරිනාමීය ලක්ෂණයකි. මනසින් වැඩෙත්ම ගෝත්‍රවාදය දුරුව යයි. බුදුහු ගෝත්‍රවාදය මුලුමනින් බැහැර කළහ.

යම් ජනගහනයකට ගෝත්‍රවාදයෙන් මිදිය නොහැකි නම් එහි අරුත ඔවුන් තවමත් පරිනාමිකව පසු අවදියක සිටින බවය. හැසිරීමෙන් මිනිසුන් වෙනවාද වානරයන් වෙනවාද යන්න අප ජාතියක් හැටියට කල්පනා කළ යුත්තකි.

නිලන්ත පියසිරි said...

@ සාගර - ගෝත්‍ර යනු නමක්. උදාහරණයකට මනුස්ස කියන්නෙත් එක ගෝත්‍රයක්. එය සමූහයක් විසින් සදා ගන්නා දෙයක්. දේසපාලන පක්ෂ අද ගෝත්‍ර වී නැතිද? ගෝත්‍රවාදය නැති වූ තරමට මිනිසුන් නිවනට ලං වන බව සැබෑය. ගෝත්‍රවාදය නැති කිරීමටත් ගෝත්‍රයක් සදා ගැනීම නොවැ දැන් පැණය.

Anonymous said...

@නිලන්ත, ඔන්න ඔබට වැරදිච්චි තැනක්. ගෝත්‍රය කියන්නේ කෙනෙක් උපදින කොට නළලේ කොටන දෙයක්. ඒක වෙනස් කරන්න බෑ. දේශපාලන පක්ෂයක් යනු කෙනෙක් තමන්ගේ කැමැත්ත අනුව තෝරා ගන්නා දෙයක්. එය ලෙහෙසියෙන් වෙනස් කළ හැකියි. මේ නිසා දේශපාලන පක්ෂයක් පිස්සු කෙළීම යනු එතරම්ම භයානක කටයුත්තක් නෙවෙයි. JVP එකට වාගෙ ජනතාව ඔවුන්ට නිසි තැන කියාදේවි. ජාතියක් පිස්සු කෙළීම ඊට වඩා අති භයානකයි. 1983 කලබල අපට නතර කරන්න බැරිවුනේ ඇයි? ඒවා "ජාතියේ නාමයන්" කළ නිසා නේද? (උතුරේ වෙන්නෙත් ඊට සමාන දෙයක්)

ගෝත්‍ර චින්තනයෙන් මිදීම පක්ෂ චින්තනයෙන් මිදීමට වඩා ඉතා අසීරු දෙයක්. එය කළ හැක්කේ සිත දියුණු කර ගැනීමෙන් පමණයි. ඊට අමුතුවෙන් ගෝත්‍ර මවා ගැනීමට අවශ්‍ය නෑ.

පලි: ඔබට ප්‍රශ්නයක් ඇති වෙනත් තැනක. කරුණාකර උත්තර දෙන්න.

නිලන්ත පියසිරි said...

@ සාගර - ගෝත්‍රවාදය ගැනයි මගේ කතාව. ගෝත්‍රික හැඟීම වානරයන්ට පමණක් නොවේ සෑම සතෙකුටම පොදුයි. අප්‍රිකානු අලි සහ ආසියානු අලි එකට දැමුවහම එකිනෙකා අතර ප්‍රතික්ෂේප වීම තිබෙනවා කියා යම් පොතක තිබුනා.
මා කීමට උත්සහ කළේ පක්ෂ වෙනුවෙන් දිවි පිදීමට තරම් අපේ සමහරු කැපවෙන්නේ ඒ තරම්ම ඔවුන් ගෝත්‍රවාදී නිසා. කැපුවත් කොළ කියන මතයෙනි ඔවුන් ඉන්නේ. ඒ තරම්ම ඔවුන් ගෝත්‍රවාදීයි. ඒ ඔවුන් උපතින්ම ඒ පක්ෂයේ වූ නිසාද? මා කීමට උත්සහ කරන්නේ ගෝත්‍රික හැඟීම නිසා අනෙක් ගෝත්‍රය පිටු දැකීම නරක තමයි. එය පහ කිරීමට නම් ඔබ කීයූ පරිදි අරි අටඟ මඟට බැහැලා නිවන් දකින්න ඕනේ. නමුත් මා සිංහල කියා මගේ සංස්කෘතිය ඉහලට එසැවීමට වැඩ කරන්නේ නම් එය කෙතරම් ගෝත්‍රික හැඟීමක් වූවද එය හොඳයැයි මගේ මතයයි.

නිලන්ත පියසිරි said...

@ සාගර - සමාවෙන්න මොකක්ද ඔබ කියන ඔය පැණය?

එසේම 83 කලබල කලේ සියළුම සිංහළයෝ යැයි කියන මතයේ ඔබ සිටී නම් ඒ ගැන කතා කිරීමෙන් ඵලක් නොමැත.