2008-11-24

නිලන්ත පියසිරි විසින් 10:38 පැයට
8

මනුස්සකම

ජාතිවාදියෝ කියනවා, ජාති භ්‍රෂ්ඨයෝ කියනවා, ජාති ප්‍රේමියෝ කියනවා, මේ හැමෝම එකිනෙකාට ඇඟිලි දිගු කරති. ජාතිය, ආගම වැනි දේවල් උප්පත්තියත් එක්ක ලැබෙන දෙයක් හැටියට බොහෝ දෙනා සිතති. නමුත් මා සිතන්නේ එය එසේ නොවන බවයි. ටිබෙට් ජාතික යැයි කියූ මහින්ද හිමි, සිංහල විය, විදෙස් ආක්‍රමණ කාලයේ, බුදු දහම අතහැර කිතුණු දහම වැලද ගත් හෙළයෝ කෙතරම් මෙහි වෙත්ද? නමුත් පැණය තිබෙන්නේ, මේ හැමෝම හිතන්නේ තමුන්ට උපතින්ම මේ සියල්ලටම අයිතියක් ඇති බවකි. මම මගේ ජාතිය සිංහළ වීම ගැන අභිමන් වෙමි. එසේම තවත් දෙමළ මනුස්සයෙකුට තමන් දෙමළ වීම ගැන ආඩම්බර වීමට අයිතියක් ද ඇත. එසේම මට දෙමළ සංස්කෘතිය අනුගමනය කොට දෙමළෙකු වීමට අයිතියක් ඇතුවාක් මෙන් ඕනෑම දෙමළෙකුට සිංහළ සංස්කෘතිය බාරගෙන සිංහළ වීමේ අයිතියකුදු හැකියාවකුදු ඇත. එසේම තමන් ගේ එම ජාතිය ගැන උදම් වීම කිසි සේත් ජාති වාදයක් නම් නොවේ.

එසේ නම් දැන් මොකක්ද මේ ජාතිවාදීන් නොවේ යැයි කියා සිංහල ජාතිය ගැන කතා කරන්නවුන්ට පහර ගසන අය ගේ උවමනාව? සිංහළයෝ, දෙමල්ලු හෝ බර්ගරයෝ නෙමේ ප්‍රශ්ණේ, මෙතන ප්‍රශ්ණේ මනුස්ස කම. මා කුඩා කල, අපේ පවුලම ගුවන් මඟින් යාපනයට ගියෙමු. (එකල රජයේ සේවකයන්ට ගුවන් මඟින් යාම සඳහා අවසරයක් (warrant) විය.) අප ගියේ යම් ජාතිවාදී කලබලයක් යාපනයේ පැන නැඟි කාලයේම විය. (මා කුඩා නිසා එතරම්ම ඒ ගැන විස්තර කිරීමට මතක නොමැත). කෙසේ මුත් ගිනි තැබූ සිංහල ගෙවල් කිහිපයක් මගේ තාත්තා විසින් මට පෙන්වන ලදි. ඒවා පොල් අතු මඟින් ආවරණය කර තිබූ අයුරු මට සිහියට නැගේ. පොල් අතු දෙකක් මෑත් කර බැලූ මට දැක ගන්නට ලැබුනේ දැවී ගිය මිනිස් සිරුරකි. සිංහළයෝ බොහෝ දෙනෙක් යාපනය නඟරයේ වූ නාග විහාරයේ උයා පිහාගෙන කමින් සිටියෝය. අපේ ගමනේ අරමුණ වූයේත් නාග විහාරය සහ නාග දීපය වැද ගැනීම විය. කෙසේ මුත් අපි දිවා ආහාරය සඳහා කඩයකට ගියෙමු. අපේ තාත්තාට දෙමළ තරමක් කතා කළ හැකි විය. හේ කඩයෙන් ඉඳි ආප්ප ඉල්ලා සිටියේය. ඉඳි ආප්ප වීදුර පෙට්ටියක පුරවා තිබියදීත්, ඉඳි ආප්ප නැතැයිද, සිංහලයින්ට කෑම නොදෙන බවද මුදලාලි කීවේය. මෙලෙස කඩ කිහිපයකින්ම විමසන ලද මුත් අපට කිසිවක් කෑමට නොලැබුණි. දැන් මට තීරණය කළ හැකිද, දෙමල්ලූ හැමෝම ජාතිවාදියෝ බව. කුඩා ලමුන් තිදෙනකුට කෑමට යමක් දීගත නොහැකි වූ අපේ තාත්තාට කුමන හැඟීමක් ඇති වන්නට ඇතිද? අප නැවත කොළඹට පැමිණීමට නියමිත වූයේ පසු දින ගුවන් යානය මඟින් වුවත් එදිනම සවස දුම්රිය මඟින් අප කොළඹට පැමිණියෙමු. මෙහිදී තවත් යමක් පැවසිය යුතුය. දුම්රිය පොලේ වූ දෙමළ මනුස්සයෙක් අපට කෑමට ඉඳි ආප්ප සහ තෝසේ ගෙනවුත් දුන්නේය.

සිංහලයෝ, දෙමල්ලු මේ කිසිවෙක් ජාතියක් වශයෙන් ජාතිවාදීහු නොවෙති. නමුත් ජාතිවාදී අමනුස්සයෝ, ලංකාවේත්, ඉන්දියාවේත්, ඇමරිකාවේත් වසති. ඉඳින් ඒ නොමිනිස්සු නිසා එම ජාතියට බැණ වැදීම සාධාරණද?

8 අදහස් දැක්වීම්:

Manoj colambage said...

‍මේ වගේ අද්දැකීම් තියෙන ගොඩක් මිනිස්සු අපි අතර ඉන්නවා . ඕක තමයි ඇත්ත තත්වය.
නමුත් කොළඹට වෙලා පොළොවේ පස් පාගපු නැති එවුන් සිංහලයා ජාතිවාදියෙක් කියන්න උත්සාහ ගන්නවා.

Kasun said...

>සිංහලයෝ, දෙමල්ලු මේ කිසිවෙක් ජාතියක්
>වශයෙන් ජාතිවාදීහු නොවෙති. නමුත් ජාතිවාදී
>අමනුස්සයෝ, ලංකාවේත්, ඉන්දියාවේත්,
>ඇමරිකාවේත් වසති. ඉඳින් ඒ නොමිනිස්සු නිසා එම
>ජාතියට බැණ වැදීම සාධාරණද?
true

තමන් අයිති ජනවර්ගය හෝ සංස්කෘතිය ගැන අභිමානයක් තිබූ පමණින් යමෙකු ජාතිවාදියෙකු වෙන්නේ නැහැ. එහෙත් තමන්ගේ ජාතිය අන් අයට වඩා උසස්ය ඒමෙන්ම අපට වඩාත් අයිතිවාසිකම් ඇතිය යන අදහසින් යුතුව අන්්‍යයන් පහත්කොට සැලකීම නම් ජාතිවාදය තමයි. අපි එරෙහි විය යුත්තේ එයට. ඔබ කිව්වා වගේම කිසිම ජාතියක සමස්ථයක් වශයෙන් සියල්ලන්ම ජාතිවාදීන් නෙවෙයි. එහෙත් ඒ සෑම ජාතියකට ජාතිවාදී මානසිකත්වයෙන් යුතු වුන් ඉන්නවා. පරාජය කල යුත්තේ එයයි. නැතුව අපිට වඩා උන් ජාතිවාදීය, අපි ඉස්සර එහෙම නැතේය කියන කථා වලින් මෙවන් අර්බුධයන් විසඳිමට බැහැ. අද වන විට ලාංකීය සමාජය මේ ආකාරයට ජාතීන් වශයෙන් ධ්‍රැවීකරණය වී අවසන්. ශිෂ්ථ සමාජයක් වශයෙන් අප උත්සහ කල යුත්තේ මේ බෙදීම අවසන් කිරීමට. නැතිනම් අර්බුධය තව තවත් උඩුදුවන්නට ඉඩදීම නොවෙයි.
කොහොම වුනත් ඔබේ මේ ප්‍රවේශයට ස්තූතියි.

Anonymous said...

මා කුඩා කල, අපේ පවුලම ගුවන් මඟින් යාපනයට ගියෙමු.

කරුණාකර මේ මොන අවුරුද්දෙද කියනවාද? ඔබට දළ වශයෙන් වත් ඒ ගැන මතකයක් ඇතැයි සිතමි.

Kasun said...

@manoj>
කවුරුහරි සිංහල අයෙක් හොඳ දෙයක් කරහම, සිංහලයො මෙහෙම තමයි කියනවා වගේම, නරකක් කලත් කියන්නේ ඔහොම තමයි. ඒත් එකෙන් කියවෙන්නේ නැහැ. සියල්ලන්ම ඒ ආකාරයේය කියලා. සිංහලයන් සමස්ථයක් වශයෙන් ජාතිවාදීය කියන අදහස වැරදියි වගේම, දමිලයන් සමස්ථයක් වශයෙන් ජාතිවාදීය කියන එකත් වැරදියි. ඒත් මේ මොහොත වන විටත් ජාතිවාදයේ විෂබිජයන් අපේ සමාජය තුල පැතිරිලා ඇති බව පිළිගත යුතුයි. ඒක සිංහලද දෙමලද කියලා අදාල නැහැ. පහර දිය යුත්‍තේ මේ දෙකටම.

නිලන්ත පියසිරි said...

@ සාගර - එම වසර 1977,78 හෝ 79 විය යුතුයි. මතකද? Air Ceylon යානයක බෝම්බයක් පිපුරුණා. අන්න ඒ කාලයට මාස කිහිපයකට පෙර. සමාවෙන්න දින වකවානු මතක නොමැති කමට සහ පමා වූ පිළිතුරට.

Anonymous said...

@නිලන්ත, මා ඔබෙන් තව ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් ලැබෙතැයි සිතනවා. ඔබට මේ කාලය වෙනකොට වයස කීයක් විතර ඇතිද?

(මා දන්නා තරමින් බෝම්බයක් පුපුරා ගියේ Air Lanka යානයක මිස Air Ceylon යානයක නොවේ.)

Anonymous said...

@නිලන්ත ඔබ හරි. යානයක් 1978 දී බෝම්බයකට හසුව තිබෙනවා. ඒ නිසා ඒ අවුරුද්ද 1978 විය යුතුයි. ඔබට කීයක් විතර වයසද 1978දී?

නිලන්ත පියසිරි said...

@සාගර - මට එවිට වයස අවු. 8 යි.