Showing posts with label අප. Show all posts
Showing posts with label අප. Show all posts

2012-11-09

නිලන්ත පියසිරි විසින් 15:37 පැයට
17

මෙහෙමද යකෝ බටු උයන්නේ....?

මේක මට සිදුවුනු බොහොම පරණ සිද්ධියක්. මේ ලඟදී මතක් වුනේ අපේ දිවා කෑම පැයේදී. මා ගෙදරින් ගෙනා කෑම පතේ තිබූ පොලොස්, එදින මා සමඟ කෑම කෑ මා ගේ සඟයා ගේ කඩෙන් ගත් කෑම පතේ තිබූ පොලොස් වලට වඩා තැම්බී නොතිබීමයි.

එකල මා විවාහ දිවියට ආ මුල් දවස්. මගේ සොඳුර ඉතිං ඒ දවස් වල එච්චර කෑම හදන්න දන්නේ නැහැ. (දැන් ඉතිං දන්නවා කියන්න එපැයැ නැත්තනම් ..... දන්නවානේ) කොහොම නමුත් ඒ දින වල මට මා සේවය කළ තැනෙන් පිට වෙනත් තැනක පිරිගණන පාඨමාලාවක ඉගැන්වීමට යෙදුනා. ඉතිං සොදුරිය උදයෙන් ම නැඟිට පිළියෙල කළ බත් පත රැඟෙන ඔන්න එතැන ට ගියා. උදේ වරුවේ ඉගැන්වීමෙන් පසු ඔන්න දහවල් කෑම. දන්නවනේ එතැන හිටපු ඔය පරිපාලන වැඩට ආපු තවත් කෙනෙක් එක්ක කෑමට ගියා. ඔහු කෑම අරගෙන තියෙන්නේ එතැන තිබුනු අවන් හලෙන්. ඔන්න ඉතිං එක එක ව්‍යාංජන හුවමාරු කර ගත්තා. මගේ සොඳුරිය උයලා තිබුනා එළ බටු. මටත් ඔය ඉතිං ඒ දවස් වල කෑම ගැන එච්චර තැකීමක් නැහැ ඉතිං, දන්නවනේ බැඳපු අළුත, හැම දෙයක්ම රසයි නොවැ. මමත් එළ බටු ටිකක් අර යාළුවාට දැම්මා. (යහළුවා කිව්වට පොඩ්ඩක් අපිට වඩා ජ්‍යේෂ්ඨයි) එයා ගේ කෑම එකෙත් එළ බටු තිබුණා. ඔන්න ටික වෙලාවක් යනකොට මෙයා කියනවා. 
"මේ බලපං මුන් බටු උයලා තියෙන හැටි, ඇටත් එක්ක, මෙහෙම බටු උයන රටක් තියෙනවද? මුන් ගේ අම්මලාට........ මට හිතයි ගිහින් දෙකක් කථා කරන්න".

 මම හිමිහිට මගේ කෑම පතේ බටු ගැන බැලුවෙමි. අපොයි මේ මගේ සොඳුර පිසූ බටු නොවැ.

"හරි හරි, ඕව් එච්චර ගණන් ගන්න එපා" මම ඔහුව අස්වැසුවෙමි. හැබැයි ගෙදර ඇවිත් සොඳුර නිවැරදි කිරීමට ත් නොගියෙමි. ඇය මෙය කියවන්නේ නම් දන්නවා මිස මෙතෙක් ඇය මේ සිද්ධිය දන්නේද නැත.

2012-04-23

නිලන්ත පියසිරි විසින් 23:28 පැයට
6

නෑදෑකම්

අපේ අම්මා ගේ මාමා කෙනෙකු ඊයේ හැන්දෑවේ මිය ගොස් ඇති පුවත මට ලැබුනේ මල්ලි ගේ දුරකතන ඇමතුමකිනි. ඔහු අපට ඉඳහිට මුණ ගැසෙන අයෙකු බැවින් ද, මුණ ගැසුන ද එතරම් කතා බහක නො යෙදෙන අයෙකු බැවින් ද, මම එය එතරම් ම දුක් මුසු පුවතක් නොවේ යැයි උපකල්පනය කොට එකෙනෙහි ම අම්මා ට ඒ ගැන කීවෙමි. අම්මා මහත් හඩින් හැඩීමට ගත්තාය. ම'සොඳුරිය සහ නංගී ඇය සනසා ගත්තේ මහත් වෙහෙසක් දැරීමෙන් පසුවය. මගේ ලොකු මාමා නොහොත් අම්මා ගේ අයියා මීට අවුරුදු 7 කට පමණ පෙර මිය ගිය අවස්ථාව මම සිහි කළෙමි. මගේ ඇහැට කඳුළු බිදුවකුඳු ආවා යැයි මට මතකයක් නොමැත. එහෙත් මීට මසකට පමණ පෙර අපේ පුංචි විවාහ වී සිටි බාප්පා මිය ගිය කල මට හැඩුම් ඉබේ පහළ විය. 
නෑදෑකම් හා සබඳකම් කෙතරම් මිනිස් සිත් සනසවන්නේ ද? එකල මුළු ගමක් ම නෑදැයෝ වූහ. ඔවුන් වචනයේ දුරින් උදව්ට, පහසුකම් දීමට සිටියහ. එහෙත් අද නෑදෑයෝ සි සි කඩය. අපේ අම්මා ගේ කඳුලු තුල වූයේ ඒ හැඟීමයි, ඒ ආදරයයි. දරුවෙකු හඬන කල මාමාට කිරි එරෙන කතාවක් ජන වහරේ ද ඇත. එහෙත් මෙකල දරුවෙකු හඬන ඇසීමට මාමා කෙනෙකු පෙනෙන තෙක් මානයක ද නැත. "පොඩි දුව, මෙන්න කොස් කෑල්ලක් තියෙනවා. තම්බලා ගනින්." අප කුඩා කල අපේ අම්මාට, ඇයගේ මාමා වරු එලෙස නොයෙකුත් වෙසෙසි දේ ගෙනැවිත් දෙති. අපේ අම්මාට ද මාමලා නැන්දාලා තරම් අයෙකු නොමැති ගානය. බොහෝ විටක අපිද අම්මා සමඟ ඔවුන ගේ නිවෙස් වලට යන්නෙමු. ඔවුනොවුන් අතර පැතිර යන සිනහව ආදරය කරුණාව මගේ හද පතුල ද යන්තම් කොනිත්තන්නාක් මෙන් දැන් ද දැනේ. නෑදෑකම් අද සමාජයෙන් තුරන් ව යනු සක්සුදක් ව පෙනේ. නෑයෝ සහ වේයෝ එක බැවි තෙසක රියක පිටු පස වූ බව මට මතකය. අද නෑදෑ කම් නාම මාත්‍රිකය. එකල අවුරුද්දට අපි නොවරදවා අපේ අම්මා ගේ ලොකු නැන්දා හෙවත් අපි කියන පරිදි කඩේ ආච්චි ගේ ගෙදර යන්නෙමු. එය හරිම විනෝද ජනකය. ඇය හරිම රසට ආස්මි හදන්නීය. එපමණක් නොව හදිසියකට හෝ ඇගේ නිවස අසලින් අප වෙනත් වැඩකට ගියේ නම්. "උඹ කොහෙද යන්නේ, මෙහෙ වරෙන්" කියා කුඩා අපව නිවසට එක් කරගෙන ගොස් අඩුම තරමේ විස්කෝතුවක් සමඟ තේ බිඳක් හෝ පොවා මිස පිටත් නොකරයි. එහෙත් අද.....? මගේ දියණියන් ගේ ලොකු අම්මා, හෙවත් සොඳුරිය ගේ අක්කා ඇත්තේ බදුල්ලේය. එහේ ගොස් ඒමට අඩු තරමේ දවස් පහකවත් නිවාඩුවක් අවැසිය. එතරම් කල් නිවාඩු අපට නොලැබෙන හෙයින් අප එහි ගොස් ඇත්තේ මෙතුවක් කලට එකම එක වතාවකි. ඒ වතාව දියණියන්ට කෙසේ වෙතුදු අපට ද මතක නැත. එසේ වී නම් ලොකු අම්මා ගේ ආදරය මතක තියෙන්නේ කෙසේද?    

2012-04-03

නිලන්ත පියසිරි විසින් 22:49 පැයට
1

වේවැල් වියන්නා

මා කුඩා කල දිනක වේවැල් පුටු වියන්නෙකු කෑ ගසමින් නිවස පසු කරනා විට අපේ තාත්තා ඔහුට කථා කළේය.  අපේ ගෙදර වූ වේවැල් කැඩී ගිය පුටුවක් ඔහුට පෙන්නා "මේක වියන්න කීයක් ඕනෑ දැ?" යි විමසීය. ඔහු එකල කී ගණන මට මතකයක් නැත. නමුත් ඒ ගණන වැඩි බව කියමින් තාත්තා, "අපොයි, අපොයි ඒ ගාණ හොඳටම වැඩියි. මටත් ඕක වියන්න පුළුවන්, මට වෙලාවක් නැති නිසයි. මම ඇහුවේ" කීවේය. එවිට වේවැල් වියන්නා කියූ දේ මට තවමත් නින්නාද දෙන්නාක් මෙනි. "සර්, සර්ට මේක වියන්න පුලුවන් වෙන්න ඇති, ඒත් සර් මම මේක වියුවේ නැති නම් මට ගෙදරට කන්න දෙන්න බැරි වෙනවා, මගේ දරු පවුල රැක ගන්න බැරි වෙනවා. ඒ නිසයි මම ඒ ගාන කියුවේ" හේ ඉතා දුක්බර මුහුණෙන් මුත් නිභයව කීවේය. අපේ අම්මා ගේ කට කොණට හිනාවක් නැගෙනු මම දුටිමි. "වියනවා වියනවා ඕක" කියමින් තාත්තා ගෙතුලට ගියේය. 
සේවාවන් හා නිපැයුම් ගැන මා තුල මනා කොට ඉගෙන ගත් ශාස්ත්‍රීය දැනුමක් නැති මුත්, අදීන ලංකාවේ බොහෝමයක් ඇත්තේ සේවා සපයා ජීවිකාව සපයා ගන්නන් බව මට සිතේ. වෙසසින් කොළඹ නඟරය නම් සේවා සැපැයුම් කේන්ද්‍රයකි. කරණවැමීයා ගේ පටන් ලිපිකරුවා දක්වාත්, දොස්තරගේ පටන් නාටාමි දක්වාත් සැවෝම සේවා සපයති. නමුත් බොහෝ සේවාවන් ලෙහෙසියෙන් අත හැර දැමිය හැක. මුදල් නොමැති නම් තෙසක රියේ සේවාව ලබා ගැනුමට අපි බොහෝ විට මැලි වෙමු. එලෙස වූ කල මෙකල රුපියලේ අවතක්සේරුවත්, වාහන බදු වැඩිවීමත්, වෙනත් බදු වැඩි වීමත් තුලින් ඇත්තටම අත්‍යවශ්‍ය නොවන සේවා සපයනු ලබන එදා වේල සරි කර ගන්නන් අසරණය. ඔවුන් සේවා නොසපයා නිපැයුම් ක්‍රියාවලියක සිටියා නම් ඔවුන් මෙයින් බේරෙයිද?

2010-11-30

නිලන්ත පියසිරි විසින් 14:41 පැයට
3

වටුවට කොටන කාක්කෝ

අද උදේ කාර්‍යාලයට එන මඟ, වැටී සිටියේ වටුවෙකි. කාක්කන් වට කරගෙන කොටති, තවත් සමහර කාක්කන් හොඳ ආහාර වේලක් බුදීමට වටේ සිට ලක ලැහැස්ති වෙති. අසරණව වැටී දිව බේරාගැන්මට වලිකන වටුවා ගැන දුක සිතුනේ මට පමණක් නොවේ. පාරේ ගිය කිහිප දෙනෙක් කාක්කන් එළැවීමට වෙහෙස වෙති. වටුවා හැකි පමණ දුරක් ඉගිලී ගොස්, පඳුරක් අස්සට වැද ගත්තේය. කාක්කෝ ද ඒකා පිටු පස පියඹා ගිය අතර, ඉන් පසු ඌ පසු පස ගොස් වටුවා ව ආරක්‍ෂා කිරීමට තරම් මට වෙලාවක් ද නොවීය. ඌ හට කුමක් වූවා ද යන්න ඌ බේරාගන්නට වෙහෙස වූ අනෙක් අයද නොසොයා ගිය බව මම දුටිමි.

ඇත්තෙන් ම කාක්කන් අතර අසරණව දිවි ගළවා ගන්නට වෙහෙස වෙන  වටුවා ගැන දුක සිතන මිනිස් අපි දිනක බොජුන් සඳහා කුකුළන් කී දෙනෙකුම මෙසේ මරනවා ඇතිද? දිව ගලවා ගන්නට දඟලන වටුවා වෙනුවට කුකුළෙකු ආදේශ කරන්න, කපුටු රැළ වෙනුවට මිනිස් රැළක් ආදේශ කරන්න. ඇයි අපිට අර වටුවා ගැන හිතෙන දුක, කුකුළා ගැන හිතන්නේ නැත්තේ. ඒ අපි නොදකින නිසා නේද? කපුටා ගැන නරකක් සිතා වැඩක් නැතැයි, මට සිතුනි. අපිත් ඒ කපුටන් හා සමව වට වී වටුවට කොටමු.

2010-07-20

නිලන්ත පියසිරි විසින් 14:45 පැයට
1

බනින්න කෙනෙක්

"ප්‍රභාත් වික්‍රමසිංහ ගේ දුවට ත් ඩෙංගු හැදිලා." කියලා ආරංචික් ලැබුනහම හිත බොහොම සසල විය. ඊට පළමු සතියේ අපි දෙන්නා ත් එකතු වෙලා වටපිටාව පිරිසිඳු කළෙමු. අප ගේ නිවෙස් ලඟ ඉඳි කෙරෙන නව ගොඩනැගිල්ලේ බාස් උන්නැහැලා විසින් රෑට රෑට හිස් කළ අරක්කු බෝතල් සියයකට වඩා කානුවක් අයිනේ තිබී සොයා ගතිමු. අපේ දරුවන්ට ඩෙංගු මඳුරුවා කරන වින්නැහි, ඒ උන්නැහැලාට ගණනක් නැහැ නොවැ.

මඳුරුවෝ හඳන්නේ අපි, උන්ට සැප වාසස්ථාන, තනන්නේ කවුද? අපේ මිනිස්සු. ඒත් කතා කරලා බලන්න එපැයැ, අපේ අයගේ ආදුරුසමත් ජීවිත ගැන. හැමෝම බනින්නේ ආණ්ඩුවට හරි, තව කවුරු හරි මිනිහෙකුට. බ්ලුමැන්ඩල් කුණු ගොඩ ගැන බනින්න කී දෙනෙක් ඉන්නවද? ඒත් කීයෙන් කී දෙනාද, වීදුරු, ප්ලාස්ටික්/පොලිතින් සහ දිරන අප දෑ වෙන වෙනම ඉවත දාන්නේ? සුද්ද කරපු මාළු බොකුයි, පොඩි එකා ගේ අසූචියි, පොලිතින් මල්ලයි, වීදුරු බෝතලයයි එකට දමපුවහම කවුරුද ඕක වෙන් කරලා ප්‍රතිචක්‍රි කරණය කරන්නේ.

මේ ලඟදී අපූරු පුවතක් තිබුනා කොළඹ සරසවි බිමේ, පොලිස් විශේෂ බලකාය ඩෙංගු මර්දන ව්‍යාපාරයක් කරලා, හිස් අරක්කු බෝතල් දුසිම් ගණනක් ඉවත් කළා කියලා. ඒත් උදාහරණයකට දැන් ලඟ ඉන්න කෙනා එක්ක වචනයක් දාලා බලන්න ඩෙංගු වලට වග කියන්න ඕනේ කවුද කියලා. අනිවාර්යෙන්න ම කිහිප දෙනෙකුට පලු යන්න බනියි.

2010-02-10

නිලන්ත පියසිරි විසින් 00:35 පැයට
2

අප ගැන සැලකිලිමත් වීම

පසු ගිය කාලේ ත්‍රස්ත උවදුර තිබෙන තාක් කල් අපේ රට ගැන දුක් වුන, කල්පනා කළ, විස්සෝප වෙච්ච රටවල්, සංවිධාන සහ පුද්ගලයෝ කෙතරම්ද? අපේ රට වැස්සන්ට වඩා පුදුම විදහට මේ රටට ආදරය කරපු මිනිස්සු මේ සංවිධාන වල හිටියා නොවැ.  මොවුන් මානව අයිතිවාසිකම් වලින් දේසනා පැවත්වූවා, නීති සහ රීති වලින් දෙසුම් දුන්නා, අපේ හාමුදුරුවරු ගණින්නාන්සේලා කියලා, මේ දැන් බුදු වුනා වගේ බුදු දහමිනුත් අපට දේශනා දුන්නා. අනේ ඒත් ත්‍රස්තයෝ ටික රැක ගන්න බැරිවුනා. දැන් මොකද වෙන්නේ? ඇත්තටම වෙනසක් නැහැ. එදා මේ පරදේසක්කාර සංවිධාන, මිනිස්සු එක්ක සල්ලි වලට, සැප සම්පත් වලට, මෝඩ කමට එකතු වෙලා ත්‍රස්ත මර්දනයට විරුද්ධව කෑ ගහපු නඩය, අද "ඒයි, යුධ වීරයා ට එහෙම මොනවත් කරනවා එහෙම නෙමේ" කියනවා. ඇමරිකාව වගේම එක්සත් ජාතීන් ගේ සංගමය එහෙම  "එයි! අපි බලා ගෙනයි ඉන්නේ, යුද වීරයා ට එහෙම කොනිත්තනවා නෙමෙයි" කියනවා. දැන් රටට විරුද්ද කට්ටිය, මොකද කරන්නේ? අහ් වැරදුනා රටට නොවේ රජයට විරුද්ද කට්ටිය, ඒ කියන්නේ විරුද්ද පක්සේ කියනවා "අපි ජාත්‍යන්තරයට කියනවා මේ අවනඩුව". ඔය ජාත්‍යන්තරේ කියන්නේ අර මං ඉස්සෙල්ලා කියපු කට්ටිය ම නොවැ. එතකොට ඔන්න අපිට ආපසු මානව හිමිකම්, නීති රීති, බුදු දේසනා මුල ඉදන් ම දෙනවා. හැබැයි උන්ට ඕනෑ විදිහට රටේ සාරය හුරගෙන යන්න ඉඩ දිලා විරුද්ද පක්සේ බිමට සමතලා කරත් මොවුන් නෙමේ කතා කරන්නේ. මතකයි නොවැ 87-89 කාලේ. මොන රටෙන් ඇවිත් ද අපිට කිව්වේ, "ඒයි! ගලවන්නේ එහෙම නැහැ, ඔය කොල්ල ගේ නිය පොත්ත, පරාල ඇණ ගෙනාවට ගහන්නේ එහෙම නැහැ කොල්ල ගේ ඔළුවට" කියලා. ජාත්‍යන්තර රතු කුරුසේ ඇවිත් මොන ගෙදරට කිව්වේ, "ඔබලා ගේ කොල්ලා සැප ඇතිව හිරේ ඉන්නවා" කියලා. වැරැද්දක් නැතිව සරත් ෆොන්සේකා ව අල්ලා ගෙන ඉන්නවා නම් වැරදියි. ඒත් වැරදි කරලා නම් ඕන ජගතෙකුට දඩුවම් කරන්නත් ඕනේ. ඒත් අපිට බණ දෙසමින් ඇෆ්ගනිස්තානය, ඉරාකය බිමට සමතලා කරන එවුන් ගැන තමයි කේන්තිය. කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක, ආහ් ඒකත් ඉවසන්න පුළුවන් වෙයි අපට.

2010-02-08

නිලන්ත පියසිරි විසින් 22:11 පැයට
0

කිරි අම්මාවරුන් ගේ දානය

දුවනි ගේ 4 වෙනි උපන් දිනය පසු ගිය 7 වෙනිදාට යෙදී තිබුණි. එදිනට කිරි අම්මාවරුන් ගේ දානයක් ලැහැස්ති කරන ලද්දේ සොදුරිය ගේ සහ අපේ අම්මා ගේ යෝජනාවක් අනුව ටික දිනකට ඉහත දිය. සමහර පලාත් වල නම් කිරි අම්මාවරුන් ගේ දාන නොමැති බව කියැවේ. එත් කුඩා කල පටන් මට නම් කිරි අම්මාවරුන් ගේ දාන හුරුය. සමහර විටෙක කිරි අප්පා කියා කුඩා ලමයෙකු ද මෙයට සහභාගී කරවනු ලැබේ. මා කුඩා කල වරෙක් එලෙස දානයකට සහභාගී වූ බව මතකය. පත්තිනි අම්මා යැයි හැදින්වෙන දේවතාවියක් මුල් කරගෙන මෙම දානය පැවැත්වේ. කැවිලි වර්ග හතක්, හත බැගින්, අඹ ගෙඩි හතක්, කිරි මුට්ටි හතක්, තැඹිලි ගෙඩි හතක් ආදී වශයෙන් නම් කෙරුනු සහ පිළිගත් කෑම වර්ග පමණක් මෙහිදී පූජා කරනු ලැබේ.
කෙසේ වෙතත් දුවනිව පාන්දර 4 ට ඇහැරවා ගැනීම තමයි අමාරුව වුනේ. එහෙම ඇහැරවා ගත්තත් ගාථා කවි කියලා ඉවර වෙනකම් එකතැන රඳවා ගැනීම ඊට වඩා අමාරුයි. කෙසේ නමුත් කිරි අම්මාවරුන් ගේ දානය හොඳට සිද්ධ වුනා. ඇත්තටම දානයකට පස්සේ හිතට හරි සහනයක් දැනෙනවා. ඉතිං දුවනි ගේ උපන් දිනයට මෙය හැර සාදයක් පැවැත්වුවේ නැහැ. දුවනි නම් කියන්නේ "අප්පච්චි මේ මගේ උපන් දින දානය" කියලයි. උපන් දින සාදය කියනවා ට වඩා ඒක අපූරුයි කියලයි මට හිතෙන්නේ.
කොහොම වෙතත් උදේ පාන්දර පින්නේ නටලා නැවත දුවනි හෙම්බිරිස්සාවක් සහ කැස්සක් හදා ගෙන. දැන් ආයෙත් කිරි අම්මාවරුන් ගේ දානයක් බාරයක් ගැට ගහන්න වෙලා තියෙන්නේ ඒක හොඳ වෙන්න කියලා. අම්මයි නැන්දම්මයි දෙන්නා එකතු වෙලා දැනටමත් එහෙම කරලා ද දන්නෙත් නැහැ.

2010-02-05

නිලන්ත පියසිරි විසින් 15:49 පැයට
2

සුද්දට ඊරිසියාද?

අපේ රට හුරගෙන කාලා, අපේ මුතුන් මිත්තන් සුන්නත්දූලි කළ සුද්දා එක්ක මා තරහද කියලත් අහනවා. අපේ වගේ රටවල් යට කරගෙන මුතුමැණික්, ඇත් දල සොරකම් කොට, කැලෑ සිඳ තේ කෝපි වවා සාරය උරගෙන බීපු සුද්දොත් එක්ක මා තරහද කියලත් අහනවා. සුද්දෝ පොහොසත් සහ උගත් නිසා උන් එක්ක ඊරිසියාද කියලත් අහනවා. උන් කොහොමද පොහොසත් උනේ කියලා අපේ "පොරවල්" අහන්නේ නැහැ නොවැ. උන් පොහොසත් උනේ හොරකම් කරලා, කොල්ල කාලා නැතිව ඒ කාලේ අපිත් එක්ක වෙළදාම් කරලද? තවමත් නොසැලී තියෙන උන්ගේ විදෙස් සංචිත වල ගොඩ ගැහිලා තියෙන්නේ අපේ රටවල සාරය තමයි. නියෝග වලට අවනත නොවූවන් ගේ ගම් පිටින් විනාශ කරපු, කඩු තුඩේ ළමුන් ඇමුණූ උන් ගේ මුණුබුරෝ අපට මානව හිමිකම්, සර්‍වසාධාරණය ගැන බණ දෙසනවා. එතකොට අපට කේන්ති එන්නේ නැතිද? අපව හප කර දමා ගිය පසුත් අපෙ ඒ මතින් වුවද නැඟී සිටින්නට උත්සහ කරමු. සැබෑ නිදහස එයයි. අපට එය කළ හැකයි.

නිලන්ත පියසිරි විසින් 15:30 පැයට
0

නිදහස් ලංකාව කොයිබටද?

යටත් විජිත වාදීන් ලංකාව ඔවුනතට ගෙන කළේ කුමක්ද? අපට සෞභාග්‍ය උදා කරන්න වෙහෙසුනා ද? නැතිනම් උන්ට එය උදා කරගත්තාද? නිදහස් ලංකාවේ අපි දැන් කුමක් කරමුද? අපේ අරමුණ කුමක්ද? අපි සරම ඇදගෙන දිවීමේ තරඟයට සහභාගී සිටින්නෙමුද? කෝට් බෑය ලා ගෙන පෝරු මස්තකව සිටින්නෙමුද? ගෑරුප්පුවෙන් අටු කොස් ඇට කමින් සිටින්නෙමුද? කිසිවෙකුට කිසිදු දිසානතියක් නොපෙනේ. ලාංකික අප, සංවර්ධිත ලංකාව නැමැති එල්ලය මවා සිටින්නේ  කුමන හැඩ තල ඇතිවද? අපේ රටේ නිෂ්පාදනයන් හා සේවාවන් කෙරෙන්නේ කවුරුන් ගේ සුභ සිද්ධිය උදෙසාද? එකෙක් රට බටහිර ධනවාදය පැත්තට රට අදිත්, තවකෙක් බටහිර සමාජවාදය පැත්තට, සමහරෙක් හෙළ බොදු සංස්කෘතියක් පැත්තට අදින මුත් ලංකාව කොතනද? දෙස්පලුවෙක් වත්, විද්වතෙක් වත් අපේ එල්ලය මෙයයැයි නොකියත් නොවෙද?

2010-02-03

නිලන්ත පියසිරි විසින් 10:54 පැයට
1

බඩවැටිය හා මූකලාන

මේ වදන් ඇසූ සැනින් ඔබේ සිතට දැනෙනනේ කුමක්ද? සමහරෙක් මේවා මොනවාදැයි අසනු ඇත. එසේම මෙවදන් වලට නිශ්චිත තේරුමක් දීමට ද මට නම් නොතේරේ. මා සිතන්නේ මේ වදන් වින්දනයෙන් ම තේරුම් ගත යුතු බවයි. මම කුඩා කල සෑම පාසල් නිවාඩුවකට ම තාත්තා ගේ ගමේ ගියෙමි. කිරි අම්මා සහ අත්තා සමඟ ගෙවුනු ඒ දවස් කිහිපය තවමත් සිතෙන් මවා මහත් අශ්වාදයක් විදිමි. නිවාඩු කාලයේ ගමේ ගියද සෙල්ලම් කිරීමට තරම් කොලු කුරුට්ටන් වට පිටාවේ නොවීය. එබැවින් මම පරිසරය නිස්කලංකව රස වින්දෙමි. ඇල දෙසට නැවී තිබුණු කජු ගසේ අත්තක් උඩට වී කුරුළු කිචිබිචිය අස්සේ පොත් කියෙව්වෙමි. (කිරි අම්මලා ගේ දිහා කියවලා ඉවර කරන්න බැරි තරම් පොත් තිබුණි.) වෙල් යායෙන් හමා එන ඇල් වී සුවඳ මුසු වූ මද නල සමඟ පේර ගසක් උඩට වී පේර කෑවෙමි. කිරි අම්මා සමඟ "හොර මූකලානේ" දර ඇහිදීමට සහ ගොටුකොල කැඩීමට ගියෙමි. කුරුල්ලන ගේ නැටුම්, ඇලේ දණ්ඩි පැටව් නිසංසලව බැළුවෙමි. 
මේ සියල්ලම කියන්නට යෙදුනේ, ඊයේ රෑ දුවනිට පොතක් කියවද්දී බඩවැටියේ සිටි කුරුල්ලෙකු ගැන කියැවුනු බැවිනි. "අප්පච්චි, මොකක්ද බඩවැටිය කියන්නේ?" ඉතිං මම කෙසේ බඩවැටිය විස්තර කරන්නද?

2010-02-02

නිලන්ත පියසිරි විසින් 10:22 පැයට
2

මුද්දරය

අපේ අම්මලා (සොඳුරිය ගේ සහ මගේ) මේ මස දිනක දඹදිව චාරිකාවේ යෙදීමට යොදා ගෙන ඇත. එහි ගෙන යා යුතු බඩු මුට්ටු ලැයිස්තුවක් එම ආයතනය විසින් ලබා දුන් අතර එය සොඳුරි ගේ මවට යැවීමට ලියුම් කවරයක් සහ මුද්දරයක් රැගෙන එන මෙන් මා හට අණක් ලැබුණි. හැමෝම දැන් ඊ-ලිපි සහ වෙනත් සන්නිවේදන විධි භාවිතා කළාට ලඟකදී කාටවත් ලියුමක් යැව්වාද? 
මගේ අප්පොච්චියේ, මේ මුද්දරයක් හොයා ගන්න තියෙන අමාරුවක්. ඊයේ හැන්දෑවේ 5 පමණ පටන් 6 පමණ වනතෙක් පොත්සැල් වල සිට කුඩාම කඩ දක්වා සියල්ලේම සෙවූ මුත් මුද්දරයක් නම් සොයා ගත නො හැකි විය. අඩුම තරමේ බොරැල්ලේ ප්‍රධාන තැපැල් හලේ පවා මුද්දර නොමැත. ඔවුන් කියන්නේ තැපැල් කළ යුතු ලියුම ගෙන ආවොත් යම් යන්තරයකට දමා මුද්‍රාවක් තබා යැවිය හැකි බවය. කෙසේ වෙතත් අවසානයේ යාළුවෙකු ගේ පසුම්බියේ තිබී මුද්දරයක් සොයා ගත හැකි විය. ඉස්සර අප කුඩා කාලයේ මුද්දර එකතු කිරීම මහත් ජනප්‍රිය විනෝදාංශයක් ව තිබුණි. දැන් නම් එවැන්නක් ගැන අසන්නට වත් නොලැබෙන්නේ මුද්දර නැති නිසා විය යුතුයි. ඇත්තෙන්ම ලියුම් කවරයට කෙලින්ම මුද්‍රා තැබීම නිසා ඒ ලස්සන මුද්දර වියැකී යාම හිතට යම් දුකක් ඇති කරයි.

(මුද්දර රූප අනුග්‍රහය CEYLON STAMPS නැමැති විබ හරහා ලබා ගතිමි)

2010-01-19

නිලන්ත පියසිරි විසින් 22:07 පැයට
4

ආදර සොදුරිය

සරණ යන්නට පෙර පෙමෙන් බැඳුන කාලයේ තම සොඳුරිය ගැන කෙතරම් සිහින මවනවාද? ඇය හා ජීවත් වන හැටි ගැන කෙතරම් සැලසුම් සදනවාද? ඒ සියල්ලම සැපිරෙනවාද? බොහෝ විවාහක අය නැතැයි කියනු ඇත. ඇත්තෙන් ම ජීවිතයේ සෑම සිහිනයක් ම එපරිද්දෙන් ම නොසපිරෙන බැවින් එය ද එසේ ම විය යුතුය. එහෙත් මා නම් සිතන්නේ සරණ යන්නට පෙර තිබූ ආදරයට වඩා ආදරයක් තම බිරිඳ ගැන විවාහයන් පසු සිදු වන බවයි. එසේ ආදරයක් නොසිතෙන්නේ නම් ඒ ඈ ගැන නොසිතන නිසයි. උදයේ අවදි වූ වේලාවේ ලැබෙන තේ කෝප්පයේ පටන්, රැයේ නින්දට යන කල ලැබෙන පොරෝනය දක්වා ඇගෙන් ලැබෙන්නේ ආදරය හැර වෙන කිසිවක් නොවේ. පිරිම් අප කෙතරම් ඇයට උදව් කළත් ඇයගෙන් තොර පවුලක් ගැන සිතිය හැකිද? උදයේ රැයින් නැඟිට කෑම පිළිවෙල කොට, දූ වරුන් පුබුදුවා, සෝදා පිරිසිඳු කොට, ඇඳුම් අන්දවා, කෑම කවා, සැමියාට කෑම පිළිවෙල කොට, රැකියාවට ගෙන යාම සඳහා කෑම සකසා ඇයද රැකියාව සඳහා පිටත් ව යන්නීය. සැදෑවේ, තම සැමියා ට පළමුව නිවසට සේන්දුව, නැවත කෑම පිළිවෙල කොට, දරුවන්ට කවා, ඔවුන්ව නින්දට යන තෙක් නොව තම සැමියාද නිදියහනට යන තෙක්ම ඇය කිසිඳු ඉසඹුවක් ලබන්නේ නොවේ. ඇය මහන්සිය නොහදුන්නී මෙන් රැයේ තුරුළුව මෙසේ අසන්නීය.

"ඔයා ඉස්සර වගේ ම මට ආදරෙයි ද?"
"නැහැ" මම පිළිවදන් දෙමි.
"ඇයි ඒ?" ඇය වික්ෂිප්තව හිස ඔසවා මා දෙඇස් දෙස බලන්නීය.
"ඉස්සරට වඩා ආදරෙයි"

2010-01-17

නිලන්ත පියසිරි විසින් 22:11 පැයට
4

ගෝත්‍රවාදී වීම හොඳද? නරකද?

අප ගෝත්‍රවාදයේ හිනි පෙත්තට නගිනුයේ මැතිවරණ සමයේ යැයි මට සිතේ. මතයට එකඟ නොවන එකා නසා දැමීමට තරම් මෙය උග්‍ර වේ. නමුත් මෙලෙස මරා ගනුයේ හදිසියකදී උදව්-පදව් කරගන්න සිටින අසල් වැසියන් ය. දෙස්පලුවෝ අසනීප වූ ළමයා රෝහලට ගෙන යන්න උදව් කරන්න ට ලඟ පාත ඉන්නේ නොවේ. මා කලකට පෙර අසා සිටි සංවාදයක කියැවුනේ "අප, එනම් මේ දකුණු ආසියානු මිනිස්සු උග්‍ර ගෝත්‍රවාදියෝ" බවය. අපි සිංහල, දෙමළ ආදි ලෙස බෙදෙමු. බුදු දහම, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම ලෙස බෙදෙමු. එජාප, ජවිපෙ, ශ්‍රිලනිප ලෙස බෙදෙමු. ගොවිගම, කරාවේ, දුරාවේ ලෙස බෙදෙමු. ඉගෙන ගත් විදුහල, සරසවිය අනුව බෙදෙමු. ඉදින් මෙලෙස බෙදීම හොදද? සාධාරණද? එහෙම නැතිද?
එසේ නම් අප මුලු පොලවට අයත් මිනිස්සු විය යුතුය, එසේ නැතිනම් අප මුලු සක්වලට අයත් මිනිසුන් විය යුතය. එසේ නොවේද? ඉහත සංවාදයේ කියැවුනු වදන තුලම ගෝත්‍රවාදය වේ. එනම් "දකුණු ආසියානු මිනිස්සු". සත්තු මිනිස්සු නිතරම කුලක ලෙස සිටීමට කැමැත්තෝය. එනයින් ගත් කල මනුසත්තුද තම කුලකයකට වැද ගන්න කැමැති වෙති. එසේ නොමැතිව සිටින්න කියා දහම් දෙසන බටහිරයෝ එලෙස නොවන්නේද? ඇමැරිකානුවෝ, ඉංගිරිසිකාරයෝ, ආදී වශයෙන් ඔවුන් හදුනා ගන්නේ ඇයි? රහත් ඵලයට පත් නොවූ සැවොම තම කුලකය ගැන සිතති. අප රටට, ජාතියට ආදරය කරන්නේ එබැවිනි, පක්ෂයකට මෙලෙස ලැදි වෙන්නේ එබැවිනි.