Showing posts with label රාජ්‍ය සේවය. Show all posts
Showing posts with label රාජ්‍ය සේවය. Show all posts

2010-06-24

නිලන්ත පියසිරි විසින් 15:04 පැයට
0

දියුණුව පෙනෙන තෙක් මානේ ද?

මේ දිනයන් හී මෙහි සටහන් තැබීමට නොහැකි තරමට ම පාහේ හිත නොසන්සුන් ය. මීට පෙර තැබූ සටහනේ පරිදි තවමත් ඒ පැණය විසඳී නොමැත. එය විසඳීම සඳහා උපදෙස් ලබා දුන් සැමටම තුති. නමුත් අද මගේ සටහන ඒ පිළිබඳ නොවේ. නීතිය රකින ආයතන විසින් පුරවැසියනට ලබා දෙන ආරක්‍ෂාව කෙසේද ගැනයි. අතිශය දූෂණයට ලක් වූ ආයතන ගැන කථා කිරීමේදී හැමෝම පොලීසිය දෙසට ඇඟිල්ල දිගු කරති. එහෙත් එය එයින් මුදවා ගැනීමට ලාංකික සමාජය කිසි සේත් උත්සුක නොවෙති. බොහෝ අය "පොලීසියෙන් ඔය වැඩේ කරවා ගන්න බැහැ, වෙනත් විදිහක් බලන්න" යැයි උපදෙස් දෙති. එහෙත් නීතිය හා සාමය රැකීමට මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන "ඕනෑ විදිහකට තිබුණ දෙන්" කියා අමතක කර දැමීම පුරවැසි වගකීමක් ද? පොලීසියට නීතිය රැකීම සඳහා ආණ්ඩුවෙන් වියදම් කරන්නේ නැතිද?

අප පොලිසියට ගොස් යම් අයෙකුගෙන් අපට කරදරයි කියා පැමිණිලි කළ විට පොලිසිය කරන්නේ, "මෙන්න මේ ලියුම ඒ මනුස්සයාට ලියාපදිංචි තැපෑලෙන් යවන්න" කියා ලිපියක් ලබා දීමයි. එයින් අදහස් කරන්නේ පොලිසියට ලිපියක් ලියාපදිංචි කීරීමට මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ කියාද?

විටෙක ඇමති කෙනෙකු පුවත් පතකට කියා තිබෙනු දුටුවා යම් ආයතනයක් දූෂණයෙන් දෙවෙනි වන්නේ පොලීසියට පමණක් බව. එසේ නම් වැටී තිබෙන පොලිසිය කෙලින් කරන්නේ කවුරුද?



2010-02-16

නිලන්ත පියසිරි විසින් 12:53 පැයට
2

මගේ නියෝජිතයෙක්

දැන් දැන් හිතට එන දේවල් ලියන්න පළමුව පෙරහන් කරන්න වෙලා නොවැ තියෙන්නෙ. මක් නිසාද යත් "සිංහල බ්ලොග් කියවනයේ" දේශපාලන කොටසට මගේ වියමනත් වැටුනොත් යන සිතුවිල්ල නිසා. කෙසේ වෙතත් මිනිසා "දෙස්පලු සතෙක්" ලෙස ඇරිස්ටෝටල් පඬිතුමා කීවේ (human beings are by nature "political animal" -Aristotle) මේ අප දකින/අහන දේසපාලනේ ගැනමද කියල නම් සැකයි. 

දැන් අපට රට කරනවන්න යන්න වෙලාවක් නැති නිසා නොවැ අපේ නියෝජිතයෙක් මැති සබේට යවන්නේ. අපේ හැම ගැටළුවක් ම, අවැසිතාවයක් ම රටේ අනෙක් මිනිස්සුත් එක්ක කතා කරන්න වෙලාවක්, හැකියාවක් නැති නිසා ඒ ඒ මිනිස්සුන් ගේ නියෝජිතයෝ එක තැනකට ගෙනල්ලා කතා කරලා හැමෝට ම සෙතක් සැලසීම තමයි ඉතින් මැති සබේ අරමුණ. ඔය මැති සබේ ආසන 225  (196 චන්දෙන් + 29 ලැයිස්තුවෙන්) තියෙන්නේ ඒ ඒ නියොජිතයට ලංකාවම ආවරණය පරිදි නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්න. පසු ගිය දවස්වල කතාවක් පැතුරුණා ලක්ෂ දහයක විතර අළුත් චන්ද කරලියට පැමිණ ඇති බවත් ඒ චන්ද හැසිරෙන ආකාරය අනුව දිනුම පැරදුම තීරණය වෙයි .. ආදී වශයෙන්. දැන් එතකොට ඔය ආකාරයට අළුතෙන් ලාංකිකයෝ චන්ද පදනමට එකතු වෙන කොට මැති සබේ ඉන්න ඒ අය ගේ නියෝජිත ප්‍රමාණය වැඩි නොවිය යුතුද? මා දන්න තරමින් නම්  1972 ට පෙර තිබුණු රාජ්‍ය මණ්ත්‍රණ සබාවෙත් ආසන 168 තිබී ඇත. ලාංකික ජනගහනය එතෙක් මෙතෙක් කෙතරම් වැඩි වී ඇතිද? ඒ හා සමානව අපේ නියෝජිතයෝ වැඩි වී නැහැ නොවැ. ඒ විතරක් නොවේ අප පත් කරන නියෝජිතයා සමහරවිටෙක අප ජීවත් වන පෙදෙස ගැනවත් දන්නේ නැහැ නොවැ.

අපි හිතමු ලාංකික ජනගහනයට පර්යායව නියෝජිතයෝ වැඩි කළා කියලා. කුමක් වේවිද? දැනට ඉන්න මැති සබෙන් අඩකට වඩා ඇමැත්තෝ වූ කල, මැති සබේ රැස් වන එක් සැසියකට ලක්‍ෂ 15 වැය වන කල, මා නොදන්නා මගේ නියෝජිතයා වෙනුවෙන් මට කෙතරම් වියදමක් දැරිය යුතු වේවිද?

2010-02-01

නිලන්ත පියසිරි විසින් 10:35 පැයට
7

පිරිගණන සහ මැතිවරණ

දැන් පාරේ තොටේ හැමතැන ම අළුත් ම කතා බහ පිරිගණන යොදා සිදු වූ මැතිවරණ හොරකම ක් ගැනය. මැතිවරණ වලදී පිරිගණන යෙදවෙන්නේ කොහොමද? ඇත්තෙන් ම පසු ගිය ජනාධිපතිවරණයට, අපේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය (මැතිවරණ දෙපාර්තමේන්තුව) විසින් තැපැල් චන්ද තෝරන්නට එවන්නට යෙදුනු සංයුක්ත තැටිය දුටුවා ද? මා නම් සිතන්නේ එය "නිදහස් මුදුකාංග" (Open source software) සමඟ තරහා අය විසින් සාදන ලද්දක් ලෙසයි. මට  ජන්ද හිමි නාම ලේඛණයේ අදාල අංකය සොයා ගැන්මට  මගේ ලිනුක්ස් පෙට්ටියේ තිබුණු දන්න හැම දෙයක් ම කළෙමි. pdf ගොනු කේතාංකනය කොට (encrypt) තිබුණි. පසුව ජනෙල් පෙට්ටියක් සොයා ගෙන යන්තම් තැපැල් චන්ද අයදුම්පත පිරවූවෙමි. 
දැන් එතකොට මොකක්ද මේ කතාව. මේ කතාවේ උත්සහය තමයි තොරතුරු සහ සන්නිවේද සිල්පය නොදන්නා ලක්වැසියා අන්දමන්ද කිරීම. හොදයි, ඔබ කැමැති නැතිද චන්ද පොළට ගොස් ඇඟිලි සළකුන තබා තම කැමැත්ත පළ කරන්න? (ඇඟිලි නැති කෙනා ගැන පස්සේ හිතමු) මුළු ක්‍රමයම කාර්යක්‍ෂම කරන්න කැමැති නැතිද? අපේ රට ඒ වගේ තැනකට  ගෙනෙන්න  උවමනායි.  නමුත් දැන් මේ වගේ කතාවයක් පැතුරුනහම මොකද වෙන්නේ. තොරතුරු තාක්ෂණය (සිප්ලකුව) ගැන හැමෝම සැක හිතනවා, එමඟින් හොරකම් කරන්න පුළුවන් කියා සිතනවා.  කවදාවත් ම මේ තිබෙන අකාර්යක්‍ෂම ක්‍රියාවලිය බිඳ දමන්න බැරි වෙනවා. 
තොරතුරු තාක්‍ෂණය (සිප්ලකුව) කියන්නේ චන්ද නාමලේඛණ වෙනුවට සංයුක්ත තැටි යොදා ගැනීම නොවේ නේද? අපට මෙයට වඩා ඉදිරියට යා හැකියි. ඒත් මේ ගැන නොදන්නා යොදා නොගත් පිරිගණන තාක්ෂණයක් (සිප්ලකුවක්) ගැන කතා කිරීම හරහා මිනිසුන් මෝඩයාට ඇන්ද වීමට වඩා ඉදිරියට එන්න තිබෙන ක්‍රමයක් මොට කිරීමක් සිදු වුන බවයි මගේ අදහස.

2010-01-18

නිලන්ත පියසිරි විසින් 22:25 පැයට
0

සමානාත්මතාවය

නීතිය ඉදිරියේ අප සැවොම සමානයි ආදි වශයෙන් වූ කතාවක් වෙයි. නීතිය පමණක් නොවේ කිසිම දෙයක් ගැන මේ ලොව එසේ සමානව සලකන්නා වූ මිනිසුන් සිටීද? දියුණු රටවල නම් එසේ වේ යැයි යමෙක් පැවසීමට ඉඩ තිබේ. සමාජවාදය එලෙස දේශණා කළ බණක් යැයි ද යමෙක් කිව හැක. අද නීතිඥයෙක්, වෙදදුරෙක්, දෙස්පලුවෙක්, ඉහළ හමුදා නිළධාරියෙක් ආදී වශයෙන් වූ ලැයිස්තුවක් අනෙක් පුද්ගලයෙකුට වඩා සමාජයේ අසමාන ලෙස නොසැලකෙන්නේ නොවේද? දෙස්පලුවායි, බස්පලුවායි එකම ලෙස පොලිසියකදී සැලකුම් ලබන්නේද? බොහෝ අය රැකියාව අනුව ගැරහුම් ලබන්නේ නොවෙද? එක් ජනපති අපේක්‍ෂකයෙක් "කොම්පුටර් ඔපරේටර් කෙනෙක් තමයි, මේ තත්වයට පත්වෙලා තියෙන්නේ" ආදි වශයෙන් කී කතාවක් ඔබට මතක ඇති. ඒ නයින් ඔහු කියන්නේ පිරිගණන ක්‍රියාකරුවන් සමාජයේ පිළිගත යුතු කෙනකුද නැතිනම් ගණන් ගත යුතු නැති කෙනෙක් කියාද? මට නම් දැනෙන්නේ එය පිළිගත යුතු රැකියාවක් නොවන බවට කෙරෙන ඇඟවීමක් බවය. එනම් නිළධාරීවාදයයි. සමාජවාදය පුම්බන අය නිළධාරීවාදය ඔසවන්නේ යැයි ඔබට නොසිතෙන්නේද?

2010-01-08

නිලන්ත පියසිරි විසින් 10:00 පැයට
0

ජාතික හැදුනුම්පත

හඳුනාගැනීමේ පත හදන්න ගමේ නිළධාරිනී ට දීලා මාස හයක් ඉක්මවා ගොසින් ඇති බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට ගියෙමි.
"ඇයි, මහත්තය ට රියදුරු බලපත්‍රයක් එහෙම නැතිද?" ඇය විමසුවාය.
මම තිබෙන බව කීවෙමි.
"එහෙනම් ඡන්දය දාන්න බාදාවක් නැහැ නේද?" ඇය කීවාය.
"නැහැ, ඡන්දය දාන්න නෙමේ, මේ වෙනත් වැඩ වලටත් අඩුම ගානේ ඡායා පිටපතක් වත් දෙන්න මේ දීලා තියෙන කොල කෑල්ලෙන් බැහැනේ?" මම පිළිවදන් දුනෙමි.
ඇය හැඳුනුම් පත් දෙපාර්තමේන්තුව ට ගොස් විමසා බලන ලෙස කීවාය. එහිදී පිරිගණනයෙන් ලැබුනු පතක් ගෙන අදාල ලිපිකරු හමු වීමි. ඔහුට පොඩි හිසේ කැක්කුමක් ඇති බැවින් මඳක් පමා වෙන බව පැවසීය. ටික වේලාවකින් පැවසූයේ, තව සති දෙකකින් හෝ තුනකින් හැදුනුම් පත තැපෑලෙන් ලැබිය හැකි බවත් එසේ නොමැති නම් රු. 500/- ගෙවා එක් දින සේවාවෙන් ලබා ගැනීමට අයදුම් කරන ලෙසත් ය. හරක් කුවිතාන්සිය වගේ කිසිදු දෙයකට ඉදිරිපත් කළ නොහැකි කොල කැබැල්ලක් තබාගෙන සිටීමෙන් විඩාවට පත්ව සිටි මා හට එක් දින සේවාවට යාම හැර කළ හැකි කිසිවක් නොවීය.
මෙහි දී මට පැණ නැගුණු පැණය නම් රු. 500/- දිනකින් කළ හැකි දේ. අඩුම තරමේ මාස හයකින් වත් කළ නොහැක්කේ මන්ද යන්නයි. එක්කෝ අපේ රාජ්‍ය සේවයේ වැරැද්දක් ඇත, නැති නම් අපේ වැරැද්දක් ඇත.
එක් දින සේවාව කෙසේ වෙතත් අද 12 පසුව හැඳුනුම්පත ලබා ගැනීමට පැමිණෙන ලෙස හැන්දෑවේ 4 ට පමණ මා හට පැවසිණි.