Showing posts with label දුවනි. Show all posts
Showing posts with label දුවනි. Show all posts

2012-09-11

නිලන්ත පියසිරි විසින් 16:30 පැයට
11

ගැහැණුන් ගේ නරක

"අප්පච්චී කතන්දරයක්". ඒ සෑම දාම නින්ද ට පෙර අපේ දියණියන් ගේ නිදි යහනෙන් නැගෙන හඩයි. ඉතිං දෙයි හාමුදුරුවනේ මේ තරම් කතන්දර කෙසේ නම් මතක තියා ගන්නද? මට කුඩා කල මගේ කිරි අම්මා කියා දුන් කතන්දරත් මේ වන විට හමාරයි. කියා දිය හැකි ජාතක කතන්දරත් ඉවරයි. ඉඳින් මා කුමක් කරම් ද? මෙවර මෙහෙයුම දියත් කළේ මුනිදාස හේමපාල වියතානන් අනුවාදනය කෙරුනු විශ්ණු ශර්මන් ගේ පංච තන්ත්‍රය කෙරෙහියි. මෙහි වන කතන්දර හරිම අපූරුයි. ඒ අතර ඒ ඒ කතන්දරයෙන් කියා දිය හැකි ආදර්ශත් කදිමයි. දඹදිව විසූ අමරශක්ති රජතුමා ගේ හීන බුද්ධි පුතුන් තුන් දෙනෙකු වන බහු ශක්ති, උග්‍ර ශක්ති සහ අනන්ත ශක්ති යන අයගේ බුද්ධි වර්ධන සඳහා ඒ අයට කියූ එකිනෙකට වියුනු කතන්දර රාශියක් තමයි මෙහි තියෙන්නේ. මෙහි ඇති අපූරු කම තමයි සත්තුන්ට ත් නම් තිබීම. 

ඒ කෙසේ නමුත් ඊයේ කතන්දරය කියා ගෙන යද්දී අපූරු සිද්ධියකට මුහුණ පෑවා. එම කතන්දරයේ තිබුනේ යම් නමක් ඇති ගොනෙකු කැලයේ ලා තණ කා ඉතා පුෂ්ටිමත් ව වැඩී බෙල්ලේ දෙපැත්තෙන් මස් ගොබ දෙකක් එල්ලා වැටෙන්නට වූ බවත්, ගඟක් අයිනේ සැමදා මීයන් කමින් ජීවත් වූ නරි යුවලක් සිටි බවත්, දිනක් ගොනු දිය බීමට ගඟට ආ කල නරි ධේනුව නරියාට එම මස් ගොබ දෙක කුමණ හෝ වේලාවක බිම වැටෙනු ඇති බැවින් ඌ පසු පස ගොස් එය වැටුන කල ආහාරයට ගැනීමේ කැමැත්තක් ඇති වී නරියාට ඒ ගැන යෝජනා කළ බවත් ය. කථාවේ මෙතැන් පටන් කියැවෙන්නේ ගැහැණුන් ගේ බස් විශ්වාස කිරීමේ නරක ගැනයි. මෙතැන දී තමයි දුවනි ගේ කට හඩ අවදි වුනේ. 
"ඉතිං අප්පච්චි අපිත් ගැහැණු අය නේ, අපි කියන දේවල් ගණන් ගන්න හොඳ නැතිද?" 
 ඔන්න අප්පච්චිට කට උත්තර නැති වුන තැන. 
"ඒ ඉතිං මේ පොත ලියපු කාලේ නේ දුවනි, දැන් ඉතිං එහෙම නැහැ" මම කීවෙමි.

ප:ලි: 
1. ඇත්තටම දැන් කාලේ උනත් එහෙම තමයි (දුවනි ලොකු වෙලා මේක කියෙව්වත් ඒක ඇත්ත කියයි).
2. විශ්ණු ශර්මන් ගේ ලියූ මුනිදාස හේමපාල අනුවාදන කළ ඒ පොත නම් වැඩිහිටියෝ පවා කියවිය යුතුයි.
3. කතන්දරේ ඉතිරි ටික ඕනේ නම් අනිවාර්යෙන් පොත කියවන්න.

2012-04-23

නිලන්ත පියසිරි විසින් 23:28 පැයට
6

නෑදෑකම්

අපේ අම්මා ගේ මාමා කෙනෙකු ඊයේ හැන්දෑවේ මිය ගොස් ඇති පුවත මට ලැබුනේ මල්ලි ගේ දුරකතන ඇමතුමකිනි. ඔහු අපට ඉඳහිට මුණ ගැසෙන අයෙකු බැවින් ද, මුණ ගැසුන ද එතරම් කතා බහක නො යෙදෙන අයෙකු බැවින් ද, මම එය එතරම් ම දුක් මුසු පුවතක් නොවේ යැයි උපකල්පනය කොට එකෙනෙහි ම අම්මා ට ඒ ගැන කීවෙමි. අම්මා මහත් හඩින් හැඩීමට ගත්තාය. ම'සොඳුරිය සහ නංගී ඇය සනසා ගත්තේ මහත් වෙහෙසක් දැරීමෙන් පසුවය. මගේ ලොකු මාමා නොහොත් අම්මා ගේ අයියා මීට අවුරුදු 7 කට පමණ පෙර මිය ගිය අවස්ථාව මම සිහි කළෙමි. මගේ ඇහැට කඳුළු බිදුවකුඳු ආවා යැයි මට මතකයක් නොමැත. එහෙත් මීට මසකට පමණ පෙර අපේ පුංචි විවාහ වී සිටි බාප්පා මිය ගිය කල මට හැඩුම් ඉබේ පහළ විය. 
නෑදෑකම් හා සබඳකම් කෙතරම් මිනිස් සිත් සනසවන්නේ ද? එකල මුළු ගමක් ම නෑදැයෝ වූහ. ඔවුන් වචනයේ දුරින් උදව්ට, පහසුකම් දීමට සිටියහ. එහෙත් අද නෑදෑයෝ සි සි කඩය. අපේ අම්මා ගේ කඳුලු තුල වූයේ ඒ හැඟීමයි, ඒ ආදරයයි. දරුවෙකු හඬන කල මාමාට කිරි එරෙන කතාවක් ජන වහරේ ද ඇත. එහෙත් මෙකල දරුවෙකු හඬන ඇසීමට මාමා කෙනෙකු පෙනෙන තෙක් මානයක ද නැත. "පොඩි දුව, මෙන්න කොස් කෑල්ලක් තියෙනවා. තම්බලා ගනින්." අප කුඩා කල අපේ අම්මාට, ඇයගේ මාමා වරු එලෙස නොයෙකුත් වෙසෙසි දේ ගෙනැවිත් දෙති. අපේ අම්මාට ද මාමලා නැන්දාලා තරම් අයෙකු නොමැති ගානය. බොහෝ විටක අපිද අම්මා සමඟ ඔවුන ගේ නිවෙස් වලට යන්නෙමු. ඔවුනොවුන් අතර පැතිර යන සිනහව ආදරය කරුණාව මගේ හද පතුල ද යන්තම් කොනිත්තන්නාක් මෙන් දැන් ද දැනේ. නෑදෑකම් අද සමාජයෙන් තුරන් ව යනු සක්සුදක් ව පෙනේ. නෑයෝ සහ වේයෝ එක බැවි තෙසක රියක පිටු පස වූ බව මට මතකය. අද නෑදෑ කම් නාම මාත්‍රිකය. එකල අවුරුද්දට අපි නොවරදවා අපේ අම්මා ගේ ලොකු නැන්දා හෙවත් අපි කියන පරිදි කඩේ ආච්චි ගේ ගෙදර යන්නෙමු. එය හරිම විනෝද ජනකය. ඇය හරිම රසට ආස්මි හදන්නීය. එපමණක් නොව හදිසියකට හෝ ඇගේ නිවස අසලින් අප වෙනත් වැඩකට ගියේ නම්. "උඹ කොහෙද යන්නේ, මෙහෙ වරෙන්" කියා කුඩා අපව නිවසට එක් කරගෙන ගොස් අඩුම තරමේ විස්කෝතුවක් සමඟ තේ බිඳක් හෝ පොවා මිස පිටත් නොකරයි. එහෙත් අද.....? මගේ දියණියන් ගේ ලොකු අම්මා, හෙවත් සොඳුරිය ගේ අක්කා ඇත්තේ බදුල්ලේය. එහේ ගොස් ඒමට අඩු තරමේ දවස් පහකවත් නිවාඩුවක් අවැසිය. එතරම් කල් නිවාඩු අපට නොලැබෙන හෙයින් අප එහි ගොස් ඇත්තේ මෙතුවක් කලට එකම එක වතාවකි. ඒ වතාව දියණියන්ට කෙසේ වෙතුදු අපට ද මතක නැත. එසේ වී නම් ලොකු අම්මා ගේ ආදරය මතක තියෙන්නේ කෙසේද?    

2012-03-26

නිලන්ත පියසිරි විසින් 12:20 පැයට
4

ලංකාවේ වර්ණබේදවාදය

"අප්පච්චී, අපේ පන්තියේ ඉන්නේ කළු ළමයි හතර දෙනයි. එක්කෙනෙක් තමයි මම" අපේ දුවනිය විසින් පසු ගිය දිනෙක මා හා කීවාය. "අනිත් ළමයි සේරම සුදුයි".  ඇය තව දුරටත් කියන්නීය. "එහෙනම් අප්පච්චිත් කළුයි නේ" මම කීවෙමි. "ඔව්, අප්පච්චියි, මම යි කළුයි, නංගියි, අම්මයි සුදුයි." ඇය සුරතල් වදන් දෙන්නීය. "නැහැ දුවනි, ඔයා කළු නැහැ, ඔයා තළෙළුයි, ඔයාට එහෙම කිව්වට තේරෙන්නේ නැති නම් හිතා ගන්න කෝ ඔයා රත්තරන් පාටයි, කළු කියන්නේ මෙන්න මේ පාටට නේ" කියමින් මම කළු පැහැති පැස්ටල් කූරක් පෙන්වූයෙමි. "අනිත් එක කළු පාට මිනිස්සු මේ ලෝකේ තව ඉන්නවා. කළු වුනත්, රත්තරන් වුනත්, සුදු වුනත් හැමෝම මිනිස්සු නේ, දුවනී" මම එසේ ඇයට කියූ මුත් එය ඇයට තේරුණා දැයි නොදනිමි. "එහෙනම් සුදු අය ලස්සනයි කියන්නේ?" ඇය අසන්නීය. "නැහැ, රත්තරන් පාට අය තමයි ලස්සන" මම කීවේමි. එවිට ඇය තම නංගීට තමා රත්තරන් පාට බව කියන්නීය. "අප්පච්චී, මටත් රත්තරන් පාට වෙන්න ඕනේ" එවිට නාසෙන් ඇඩිල්ල චූටි දුව ගේය.
ලංකාවේ ජාති බේද හෝ වර්ග බේද පැණයක් ඇතැයි ඇතැමෙක් කීවත් ඇත්තෙන්ම පවතින්නේ වර්ණ බේද ප්‍රශ්ණයකි. රූපවාහිනීයේ කල්ලන් සුදු කරන ආලේප ගැන දැන්වීම් කෙතරම් නම් වේද? එළෙස බැලූ කල එය ජාතික ප්‍රශ්ණයකි. ලංකාවේ සියළුම ගැහැණුන් ව සුදු කිරීමට වගකීම බාර ගෙන ඇත්තේ මේ රූපලාවන්‍ය සමාගම් බොහොමයකි. කළු වෙන්නේ ඔය මෙලනින් වර්ණකය නිසා යැයි කියති. ග්‍රීක බසින් මෙලනින් යනු කළු පැහැයට නමක් බව මම අසා ඇත්තෙමි. එසේම සෑම සතෙකු ගේම පාහේ පවතින මේ වර්ණකය මකුළුවන් ගේ සොයා ගෙන නොමැති බවද කියැවේ. සුදු කරන ආලේපන වලින් කැරෙනුයේ සමේ ඇති මෙලනින් වර්ණකය ඉවතලෑම බව කියැවේ.
කෙසේ වෙතත්, සුදු වීම හා සුදු ඕනෑ වීම, සමාජය උදෙසා නිමැවූ හීනමානයක් බව මට සිතේ. එය සිංහල කතා කරන විට ලොකු කම පෙන්වීමට ඉංගිරිසි වදන් මැදට එබීමක් මෙන්ම වෙයි. එහෙත් අද සමාජයේ මේ ඊනියා සුද, ලස්සන මනින සාධකයක් නොවී ඇතැයි කිසිවෙකුට කිව හැකිද? කළු පිළිගැනීමේ නිළධාරිනියන් සිටින්නේ කීයෙන් කී දෙනාද? කළු නිළියන් ගණන් කොට කිව හැකිද? ගැහැණු පමණක් නොව සුදු වීමට දඟලන පිරිමින් නම් සමාජයේ කෙතරම් වෙතිද? මහා කළු සිංහලයා කීම අදට ප්‍රශංසාවක් ද? නින්දාවක් ද?   

2010-09-21

නිලන්ත පියසිරි විසින් 16:05 පැයට
2

ජැක් ජැක් ප්‍රෝවස්ට්

අපේ දුවනි ගේ ළදරු පාසලේ වසර අවසාන උත්සවයට මේ දින වල දරු දැරියන් පුහුණුව ලබන්නෝය. දුවනිය මේ දිනවල රැගුමක් පා අමුතුම කවියක් කියන්නීය. එය මෙසේ වේ. 

"ජැක් ජැක් ප්‍රෝවස්ට්... ජැක් ජැක් ප්‍රෝවස්ට්". 

"මොකක්ද දුවනි ඔය සින්දුව" සොඳුරිය අසන්නීය.

"මේක අම්මා මට තියෙන නැටුම" ඇය සුරතල් වදන් දෙන්නීය.

"මොකක්ද ඔය බාසාව, ඔයාවත් දන්නවද මොකක්ද මේ කියන්නේ කියලා" සොඳුරිය මගෙන් අසන්නීය. 

මමත් එය නො දන්නනා බැවින් විපිලිසරව බලා හිදිමි. මොකක්ද මේ "ජැක්, ජැක් ප්‍රෝවස්ට්"

දැන් දවස් කිහිපයක් ඔය නාටකය ඔහොම ගියා කියමුකෝ. ඊයේ දුවනි අළුත් ඉල්ලීමක් කළාය. 

"අප්පච්චි මට මේ නැටුමට පොල්පිති හරකෙක් හදලා ඕනේ". 

දැන් ඉතිං හොයපල්ලාකෝ පොල්පිත්තක්. මතක නොවැ අර පොල්ලෙල්ලක් හොයන්න කාපු වහක්. නමුත් ඒක නොවේ වැඩේ. දැන් මේ පොල්පිති හරකෙක් අරගෙන නටන නැටුම මොකක්ද ජැක්, ජැක් ප්‍රෝවස්ට් කියලා. බැලින්නම් ඒ කවිය එහෙම නෙමේ එන්නේ. "ජඃ, ජඃ, හෝව් වස්සා" කියලයි ඒක කියවෙන්නේ. ඉතිං, වස්සන් ව ජඃ, කියලා එළවන, හෝව් කියලා නවත්තන අයුරු කවදාවත් දැක නැහැ දුවනි. ඔහොම වැකියක් කීම සිනහවට කරුණකුත් නොවේ නොවෙදැයි මට සිතුනි.

2010-08-22

නිලන්ත පියසිරි විසින් 02:28 පැයට
3

රෑ ගමනාගමනය

රාත්‍රියේ වීථි සැරීම පරිහානියට කරුණක් බව බුදු දහමේ පරිහානියට කරුණු දැක්වෙන සූත්‍රයක දැක්වේ. එසේ වුවත් රාජකාරිය අනුව නිවාඩු නැති බැවින් රෑ බෝ වී නමුත් බිරිඳ ගේ මුල් ගෙදරට යා යුතු වූ යේ එහි වූ පිං පැමිණ වීමේ දානය නිමාවෙන් පසු දියණියන් නැවත ගෙදර ගෙන ඒමේ උවමනාව නිසාය.  රාජකාරි නිමාවෙන් පසු පිටකොටුව බස් නැවතුමෙන් මාතලේ දක්වා යන කිසිඳු බසයක් නොවීය. නුවරට යා හැකි බසයන් ද සිදුරක් නැතුව පිරී තිබුණි. නඟරාන්තර කියන සෑම තැනම නවත්වන බසයක මැද අසුනක බොහෝ අමාරුවෙන් වාඩි වී දෙඟුණයක් මුදල් ගෙවා යන්තම් මහනුවරට එන විට වේලාව රාත්‍රී දහය පසුවී තිබුණි. බස් නැවතුම පුරවා බසයන් ගාල් කර තිබුනත් පොලිස් නිළධාරියෙක් කීවේ ඒවා ගමනේ යෙදෙනු යේ පෙරහැර අවසානයේ බවය. කෙසේ නමුදු විනාඩි 45 කින් පමණ මාතලේ දිවෙන බසයක් බස් ගාලට ආවෙන් මං ඇසල පෙළහරට පිං දෙමින් මාතලේට ආවේ රාත්‍රී 1210 පමණය. අහෝ මේ මාතලේ නඟරය ද?, කිසිඳු මිනිස් පුළුටක් හෝ කිසි තැනක නොමැත. තෙසක රියක පිහිටක් ලැබීමේ අටියෙන් පැමිණි මට මේ වූ යේ කුමක්ද? මා හටම හැර කිසිවෙකුට දොස් කිව නොහැක. යක්කු ගස් යන යාමේ, බසයක් තිබිය යුතු යැයි කියා දොස් නැඟීම අප යකෙකු කරනු ලබයි. තෙසක රිය පදවන්නෝ ද මිනිසුන් බැවින් රැයේ ඔවුන් නින්ද ලැබිය යුතුම වෙයි. කිසිවෙකුට දොස් නොකියා මම පයින් ම ගමන ඇරඹුවෙමි. විථි ලාම්පු නැති බැවින් බොහෝ විට පැමිණියේ ජංගම දුරකතනයේ පිහිටෙනි. කි.මි. 8 ක් පමණ පැය දෙකකින් පමණ ගෙවා දමා ගෙදරට ගොඩ වූයෙමි. මා එන තුර සොඳුරිය ඇහැර සිටි බව කේන්ති ගිය මුහුණෙන් පෙනුනි. එහෙත් මහන්සිය සහ අමාරුව, නිදා සිටි කුඩා දියණියන් දැක්මෙන්ම මිදී ගියේය.

"අප්පච්චි හොරෙන්ම ඇවිත් නිදා ගෙන නේද? මං දැක්කා" දියණිය උදයේ මා ඇහැරවිමින් කියන්නීය. 

"පයින්ම ඇවිත් කකුල් රිදෙනවාද?" අම්මා අසන්නීය.

මගේ සිත තුල ආදරය දෝරේ ගලා යයි. 

"නෑ මට ගානක් නැහැ" මම කීවෙමි. 

2010-07-30

නිලන්ත පියසිරි විසින් 15:38 පැයට
2

නපුරු නයා

ඊයේ රෑ නින්දට පෙර දුවනිට කියැවූ කතන්දරයේ වූ යේ නපුරු නයෙක් කාක්කෝ දෙපළක ගේ බිත්තර කන බැවින් එය වලක්වා ගැනීමට කපටි නරියෙකු ගෙන් උපදෙස් ලබා ගෙන රටේ රජු ගේ අග බිසව නාන තොටුපලෙන් මාලයක් ගෙනවුත් නයා ගේ බෙනය ඉදිරි පිට දැමූ පසු රාජ සේවකයෝ අවුත් නයා මැරූ බවට කියැවෙන කතාවකි.

අද උදයේ පෙර පාසල් යෑමට කෑම කවන වේලේ,

"අප්පච්චි, මම තමයි නපුරු නයා" යැයි දුවනි කීවාය.

"ඒ මොකද දුවනි?" මම ඇසුවෙමි.

"ඇයි, අර ඊයේ රෑ කියපු කතාවේ ඉන්න නපුරු නයා" ඇය කියන්නීය.

"හැමෝම කැමති, හොඳ කෙනෙක් වෙන්න නේ, ඇයි ඔයා නපුරු නයා වෙන්නේ?"

"ඉතිං, දැන් මං කන්නේ බිත්තර නේ, ඒ නිසා මම නපුරු නයා"

ඒ වේලාවේ මම ඇයට කවමින් සිටියේ බත් සමඟ බිත්තරයකි. අපූරුයි නොවැ පොඩි වුනත් තර්කය... මම සිතුවෙමි.

2010-05-06

නිලන්ත පියසිරි විසින් 23:42 පැයට
10

පොල් ලෙල්ලක්

කාර්‍යාලයෙන් එළියට බහිනකොටම අපේ ගෙදර උන්දෑ (හරි වචනේ සොඳුරිය) ඇමතුමක් දුන්නා.
"දුවනිට හෙට ළදරු පාසලට ගෙන යන්න පොල් ලෙල්ලක් ඕනේ" 

බොහොම අයට ඉතින් පොල් ලෙල්ලක් නම් සුළු දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් නාරාහේන්පිට නිළ නිවාස වල නොවැ අප ජිවත් වෙන්නේ. 

කොහෙන්ද දැන් පොල් ලෙල්ලක් හොයන්නේ....... පාරට බට වෙලේ පටන් මඟ දිගට දෙපැත්තයි, කුණු ගොඩවලුයි, හැම තැනමයි ඇස් දෙකෙන් පිරමිනුයි ආවේ. බොරැල්ලෙත් පොල් කඩ දෙක තුනකටම ගියා. නමුත් කොහේ වත් පොල් ලෙල්ලක් නම් හොයා ගන්න නැහැ. පොල් මුදලාලි කියනවා, දෙමටගොඩ හරියේ පොල් ලෙලි ගහන තැනක් තියෙනවා එතනට යන්න ලු. මදැයි, මේ කියන විදිහට කුරුණෑගල යන්න වෙන විදහක් තියෙන්නේ පොල් ලෙල්ලක් හොයන්න. මේ වැඩේ හරියන්නේ නැහැ, ගෙදර යන්නත් පරක්කු වෙනවා, වැඩේ අල්ලලා දානවා කියලා ගෙදර එන අතරතුරේ තැඹිලි කෝම්බයක් දැක්කා.

ගත්තා සොඳුරියට ඇමතුමක්, "පොල් ලෙල්ලක් නැහැ, තැඹිලි කෝම්බයක් තියෙනවා ගේන්නද?"

"ඔයාට පිස්සුද? තැඹිලි කෝම්බ හරි යන්නේ නැහැ"

මටත් දැන් හෙම්බත් වෙලා.  "එහෙනම් ඉතිං පොල් ලෙලි නැහැ, මම එනවා ගෙදර"

ගෙදර ඇවිත් බලනකොට අනේ අපේ හාමිනේ ලඟ පාත ගෙදරකින් හද්ද පරණ, කරකුට්ටන් වෙච්ච පොල් ලෙල්ලක් කොහොම හරි හොයා ගෙන, ටිකක් පිම්බිලා එන්න කියලා නාන කාමරයටත් දමලා. 

ඔන්න ඔහොමයි අපේ තත්වේ, අඩු තරමේ පොල් ලෙල්ලක් වත් හදිසියකට හොයා ගන්න මේ පැත්තේ නම් නැහැ. 

ඉතිං මෙච්චර අමාරුවෙන් හොයා ගත්ත පොල් ලෙල්ලට මොකද කළේ කියලා පහුවදා මං දුවනිගෙන් ඇහුවා.

"අප්පච්චි අපි ඒකේ ගම් ගාලා ගාලා කඩදාසියක් ඇලැව්වා"

අපොයි බර ගානක් දීලා ළදරු පාසලට බාර දුන්න chemifix ගම් බෝතල් වලින් කරන්නේ පොල් ලෙලි වල උලලා උලලා කොල අලවන එකද? කියලා මට හිතුනා.

මොනවා කරන්නද? පූර්ව ළමා විය සංවර්ධනේ නොවැ. අපි පොඩි කාළේ අපිට ඔය සංවර්ධනේ නොකළ නිසා නොවැ මෙහෙම ඉන්නේ... එහෙම නේද?

2010-03-05

නිලන්ත පියසිරි විසින් 12:56 පැයට
2

තරඟයට ඇතුල්වීම

ඊයේ කුඩා දුවනි ගේ ළදරු පාසලේ ක්‍රීඩා උත්සවය පැවත්වීය. "මම දුවනවා බලන්න අප්පච්චිත් එනවා නේද?"  ආදි වශයෙන් වූ ආල වඩන කතා වලට ප්‍රතිචාර ලෙස මම එය බැලීමට ගියෙමි. එය අපූරු උත්සවයක් විය. තිබූ කිසිදු තරඟයක කිසිම තරඟයක් නොවීය. ඔවුන්ට ඉලක්කයකට දිවීමට කියා තිබූ මුත් ඔවුන් කිසි දෙයකට නො දිවූහ. දුවන තරඟ අතර මඟ ඔවුන් කතා කරමින් සෙමෙන් ගියහ. තරඟය අතර මඟ අයෙක් වැටුන කල සැවොම වට වූහ. ගුරුවරු ඔවුන්ට දුවන ලෙස කීහ. එහෙත් තරඟය ගැන ඔවුනට කිසිදු අවබෝධයක් නොවීය.

මා සිතුවේ, අප මේ කරන්නේ ඔවුන් මේ සුන්දර ලෝකයෙන් මුදවා තරඟකාරී, ගැටුම් කාරී, වේගවත් ලෝකයට ඇතුලත් කිරීම නොවෙද? අනෙකා පැරදවීමේ අදහස, යටපත් කිරීමේ අදහස කුඩා මනස් තුළට එබීම නොවෙද? මේ සුන්දර සිනහ පිරුණ ලෝකය, තරහව, කේන්තිය, ක්‍රෝධය පිරුණ තැනකට ගෙනයාම නොවෙද?

එසේම කිසිදු දරුවෙකුට තරඟකාරී නොවී මෙකල ජීවත් විය හැකිද? පුර්ව ළමාවිය සංවර්ධන ක්‍රමවේද අනුව ළදරු පාසල් වල අකුරු ලිවීම, කියැවීම ආදිය නොකෙරෙන බව දැන ගන්නට ලැබුනි. ඒවා ඉගැන්වෙනුයේ පාසලේ දී බවයි කියැවෙන්නේ. ඉදින් අපේ දුවත් ගී ගැයීම්, පරිප්පු ඇට ඇලවිලි, චිත්‍ර ඇදිලි ආදිය ළදරු පාසලේ දී උගැනුම ලැබුවත් තවම අකුරු ලිවීමට නොදන්නීය. එහෙත් වෙනත් ළදරු පාසලකට යැවෙන මගේ මිතුරා ගේ දුව ට එම පාසලේ ළදරු ක්‍රියාකාරකම් වලට වඩා අකුරු ලිවිම්, කියැවීම් (අළුත් ම දේ "elocution") ආදිය කෙරේ. පසුව මේ දරුවෝ දෙදෙනාම පාසලට යාමට වූ කල අපේ දරුවා පසු පසට නොයා ද? ඔවුන් කියන ආකාරයට පූර්ව ළමාවිය සංවර්ධන ඉලක්ක සැපූරූ මුත් මේ දිවෙන තරඟයේ අපේ දරුවා තැබෙනුයේ කොතනද?

2010-02-08

නිලන්ත පියසිරි විසින් 22:11 පැයට
0

කිරි අම්මාවරුන් ගේ දානය

දුවනි ගේ 4 වෙනි උපන් දිනය පසු ගිය 7 වෙනිදාට යෙදී තිබුණි. එදිනට කිරි අම්මාවරුන් ගේ දානයක් ලැහැස්ති කරන ලද්දේ සොදුරිය ගේ සහ අපේ අම්මා ගේ යෝජනාවක් අනුව ටික දිනකට ඉහත දිය. සමහර පලාත් වල නම් කිරි අම්මාවරුන් ගේ දාන නොමැති බව කියැවේ. එත් කුඩා කල පටන් මට නම් කිරි අම්මාවරුන් ගේ දාන හුරුය. සමහර විටෙක කිරි අප්පා කියා කුඩා ලමයෙකු ද මෙයට සහභාගී කරවනු ලැබේ. මා කුඩා කල වරෙක් එලෙස දානයකට සහභාගී වූ බව මතකය. පත්තිනි අම්මා යැයි හැදින්වෙන දේවතාවියක් මුල් කරගෙන මෙම දානය පැවැත්වේ. කැවිලි වර්ග හතක්, හත බැගින්, අඹ ගෙඩි හතක්, කිරි මුට්ටි හතක්, තැඹිලි ගෙඩි හතක් ආදී වශයෙන් නම් කෙරුනු සහ පිළිගත් කෑම වර්ග පමණක් මෙහිදී පූජා කරනු ලැබේ.
කෙසේ වෙතත් දුවනිව පාන්දර 4 ට ඇහැරවා ගැනීම තමයි අමාරුව වුනේ. එහෙම ඇහැරවා ගත්තත් ගාථා කවි කියලා ඉවර වෙනකම් එකතැන රඳවා ගැනීම ඊට වඩා අමාරුයි. කෙසේ නමුත් කිරි අම්මාවරුන් ගේ දානය හොඳට සිද්ධ වුනා. ඇත්තටම දානයකට පස්සේ හිතට හරි සහනයක් දැනෙනවා. ඉතිං දුවනි ගේ උපන් දිනයට මෙය හැර සාදයක් පැවැත්වුවේ නැහැ. දුවනි නම් කියන්නේ "අප්පච්චි මේ මගේ උපන් දින දානය" කියලයි. උපන් දින සාදය කියනවා ට වඩා ඒක අපූරුයි කියලයි මට හිතෙන්නේ.
කොහොම වෙතත් උදේ පාන්දර පින්නේ නටලා නැවත දුවනි හෙම්බිරිස්සාවක් සහ කැස්සක් හදා ගෙන. දැන් ආයෙත් කිරි අම්මාවරුන් ගේ දානයක් බාරයක් ගැට ගහන්න වෙලා තියෙන්නේ ඒක හොඳ වෙන්න කියලා. අම්මයි නැන්දම්මයි දෙන්නා එකතු වෙලා දැනටමත් එහෙම කරලා ද දන්නෙත් නැහැ.