Showing posts with label නිදහස. Show all posts
Showing posts with label නිදහස. Show all posts

2010-03-01

නිලන්ත පියසිරි විසින් 11:11 පැයට
2

අවිවේකී, බොහෝ වැඩ ඇති අප

ඉඳ හිට හෝ දිවා කල යාළුවෙකුට හෝ දන්නා හඳුනන අයෙකුට කතා කළොත් බොහෝ විට අසන්න ලැබෙන වැකියක් තමයි. 

"පොඩ්ඩක් බිසි මචං, තව ටිකකින් මම කතා කරන්නද?"

බොහොම දෙනෙක් කෙනෙකු ගෙන් ගැලැවෙන්න මේ වැකිය පාවිච්චි කළත්, ඇත්තට ම අපේ ගොඩක් දෙනා ඉතා කාර්‍ය බහුල ජීවිතයක් තමයි ගෙවන්නේ. කාර්යාලයෙන් නියමිත වේලාවට  ම  පිටත් වන්නේ කියෙන් කී දෙනාද? සමහරවිටක බොහෝ දෙනෙක් "වැඩට ඇබ්බැහියෝ" (Workaholic) වී හමාරය. මා හට කාර්‍යාලයෙන් ලබා ගැනීමට මසකට අදාල නිවාඩු දින දෙක පවා සමහර විටෙක ලබා ගත නොහැක. නොයෙකුත් ධනාත්මක චින්තන විධි ක්‍රම අනුවත්, කාල කළමනාකරණ විධික්‍රම අනුවත් වේගයෙන් වැඩ කරනු හැර වෙනත් දෙයකට සිත යොමු නොකරවයි. ඇත්තෙන්ම කාර්යාලයෙන් නිවාඩු ලබා ගැනීමට අපහසු මෙන්ම, මම ඒවා ලබා ගැනීමට ද මැලි වෙමි. අඩුම තරමේ නිවාඩු දින යැයි සලකන සති අන්ත වලදී පවා අප කෙතරම් කාර්‍ය බහුලද? වෙසෙසින් ම දෙදෙනා ම රැකියාවේ යෙදී ඇති කල සෑම සති අන්තයක් ම ගෙදරදොර වැඩ සඳහා කැප කළ යුතු වේ. සමහර විටෙක එය රැකියාවේ යෙදෙන දිනක් මෙන් වෙයි. සොඳුරිය ඉවුම් -පිහුම්, අස් - පස් කිරිලි කරන අතර සතියට අවැසි එළවළු බඩු - බාහාරාදිය ගෙනවුත්, ගෙදර-දොර ඇති කුඩා පිලිසකර ආදිය කොට නිමා වන විට සති අන්තය ද නිමා වී හමාරය. සමහර සති අන්ත වල අඩුම තරමේ සොඳුරිය සමඟ විවේකීව වදනක් හෝ හුවමාරු කරගෙන නොමැත.     

පසු ගිය දිනක ම'සොඳුරිය ගේ අම්මා වැටී අත උලුක්කු වී ඇති බැව් පැවසුවා ය. ඉදින් මාතලේ ගොස් ඇයව බැලීමට නම් නිවාඩුවක් දැමිය යුතුම වෙයි. මසකට ලැබෙන්නේ නිවාඩු දෙක නම්, දියණිය බලා-කියා ගන්නා නැන්දා ට සායනයට යාමට ඒ නිවාඩු කැප කළ යුතු වන්නේය. එක් දිනකින් මාතලේ ගොස් ඒමට නොහැකි බැවින් දින දෙකක් වත් නිවාඩු දැමිය යුතු වන්නේය.

බයිස්කෝප් අඩවියට පින්සිදු වන්නට පසු ගිය දිනක රැයක Cairo Time චිත්‍රපටය නැරඹුවෙමි. එහි වූ දෙබසක කියැවුනේ,

ඇය : - "මම දිනකට පැය 12 ක් පමණ වැඩ කරනවා."

ඔහු :- "මේ මිනිස්සු එතරම් උගත් නැහැ, ඒ නිසා කරන වැඩේ හවස තුනට විතර ඉවරයි, එතැන් පටන් ඔවුන් ජීවිතය විඳිනවා (සතුටු වෙනවා)".

(මතක හැටියට පරිවර්තනය කළේ. චිත්‍රපටියේ ගියේ මේ දෙබසම නොවේ)

2010-02-05

නිලන්ත පියසිරි විසින් 15:49 පැයට
2

සුද්දට ඊරිසියාද?

අපේ රට හුරගෙන කාලා, අපේ මුතුන් මිත්තන් සුන්නත්දූලි කළ සුද්දා එක්ක මා තරහද කියලත් අහනවා. අපේ වගේ රටවල් යට කරගෙන මුතුමැණික්, ඇත් දල සොරකම් කොට, කැලෑ සිඳ තේ කෝපි වවා සාරය උරගෙන බීපු සුද්දොත් එක්ක මා තරහද කියලත් අහනවා. සුද්දෝ පොහොසත් සහ උගත් නිසා උන් එක්ක ඊරිසියාද කියලත් අහනවා. උන් කොහොමද පොහොසත් උනේ කියලා අපේ "පොරවල්" අහන්නේ නැහැ නොවැ. උන් පොහොසත් උනේ හොරකම් කරලා, කොල්ල කාලා නැතිව ඒ කාලේ අපිත් එක්ක වෙළදාම් කරලද? තවමත් නොසැලී තියෙන උන්ගේ විදෙස් සංචිත වල ගොඩ ගැහිලා තියෙන්නේ අපේ රටවල සාරය තමයි. නියෝග වලට අවනත නොවූවන් ගේ ගම් පිටින් විනාශ කරපු, කඩු තුඩේ ළමුන් ඇමුණූ උන් ගේ මුණුබුරෝ අපට මානව හිමිකම්, සර්‍වසාධාරණය ගැන බණ දෙසනවා. එතකොට අපට කේන්ති එන්නේ නැතිද? අපව හප කර දමා ගිය පසුත් අපෙ ඒ මතින් වුවද නැඟී සිටින්නට උත්සහ කරමු. සැබෑ නිදහස එයයි. අපට එය කළ හැකයි.