2012-03-28

නිලන්ත පියසිරි විසින් 10:45 පැයට
3

දානය

මා හැමදාම කි.මි. 3 ක් පමණ කාර්යාල නිමාවෙන් පසු පයින් යන්නේ බොහෝ විට වෙනම සිරුරට ව්‍යායාම කිරීමට වෙලාවක් සොයා ගත නො හැකි නිසාවෙනි. ටික දුරක් යන විට මා ඉදිරියට අවුත් නැවත් වූයේ හොඳින් හැඳ පැළඳගත් තරුණයෙකු රැගත් නවීන පන්නයේ යතුරු පැදියකි. 
"අය්යේ පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?" හේ විමසීය.
"මොකක්ද මල්ලී" මා සිතුවේ යම් දිසාවක් සොයා ගැන්මට මොහු යත්න දරන බවකි.
"අය්යේ, බයික් එකේ පෙට්‍ර්ල් ඉවර වෙන්න යන්නේ, පෙට්‍රල් ලීටරයක් ගහන්න රුපියල් 200ක් දෙන්න පුළුවන්ද? මම ගෙදර ගිය ගමන් අය්ය ගේ ෆෝන් එකට ඒ ගානට රීලෝඩ් එකක් දාන්නම්." ඔහු කීවේය.
"මගේ ෆෝන් එක නම් රීලෝඩ් දාන එකක් නොවෙයි. අනිත් එක මට ආපහු සල්ලි එපා. මෙන්න ඔයා ගිහින් තෙල් ගහන්න" මම සල්ලි දුන්නෙමි.
මුදල් ගත් හේ නැවත වේගයෙන් ඉගිලෙන්නට විය. ඔහු ගිය දෙසට ගියේ නම් තව කි.මි. දෙකකට වත් ඉන්ධන පිරවුම් හලක් නම් සොයා ගත නොහැකි බව මට කල්පනා විය.

යමෙකුට උදව්වක් කිරීමට ලැබීම මගේ සිත සතුටු කරයි. එහෙත් යමෙක් මා රැවැටූ බව සිතුනොත් ඊට වඩා හිත රිදවයි. යමක් දීම යනු භොතිකව එය අත හැරීම පමණක් නොව සිතෙන් ම එය අත හැරීම බව බොදු අපි දනිමු. අපි හිඟන්නෙකුට මුදලක් දුන් කල ඔහු අපට පෙනෙන්න ම එයින් දුම් වැටියක් මිළදී ගතහොත් අප දුන් දේ ගැන අපට දැනෙන්නේ කුමක්ද? ඕනෑම අයෙකුට අපරාදේ මම දුන්නේ කියා සිතෙනු ඇත. එහෙත් අප දුන් දේ ඔහුට ඕනෑ ලෙස භාවිතා කරන්නට ඉඩ හරින්න තරම් හිත සකසා ගත හැකි නම් අප දිනුවා වෙයි.

යතුරු පැදියේ වූ මල්ලීට උදව් කිරීමට ලැබීම ගැන මම සතුටු වූයෙමි. ඒ සමඟ ම හට ගත් කල්පනාව වූයේ මොහුට ඉන්ධන ලබා ගැනීමේ උවමනාව වී නම් ලඟම ඉන්ධන පිරවුම් හලට නොයන්නේ මන්ද යන්නයි. එසේ නම් මා රැවටී වත්ද? සියළු පින් හෝ පව් සිදු කරන්නේ අප සිතන ආකාරයෙන් ම නොවන්නේ ද? 

2012-03-26

නිලන්ත පියසිරි විසින් 12:20 පැයට
4

ලංකාවේ වර්ණබේදවාදය

"අප්පච්චී, අපේ පන්තියේ ඉන්නේ කළු ළමයි හතර දෙනයි. එක්කෙනෙක් තමයි මම" අපේ දුවනිය විසින් පසු ගිය දිනෙක මා හා කීවාය. "අනිත් ළමයි සේරම සුදුයි".  ඇය තව දුරටත් කියන්නීය. "එහෙනම් අප්පච්චිත් කළුයි නේ" මම කීවෙමි. "ඔව්, අප්පච්චියි, මම යි කළුයි, නංගියි, අම්මයි සුදුයි." ඇය සුරතල් වදන් දෙන්නීය. "නැහැ දුවනි, ඔයා කළු නැහැ, ඔයා තළෙළුයි, ඔයාට එහෙම කිව්වට තේරෙන්නේ නැති නම් හිතා ගන්න කෝ ඔයා රත්තරන් පාටයි, කළු කියන්නේ මෙන්න මේ පාටට නේ" කියමින් මම කළු පැහැති පැස්ටල් කූරක් පෙන්වූයෙමි. "අනිත් එක කළු පාට මිනිස්සු මේ ලෝකේ තව ඉන්නවා. කළු වුනත්, රත්තරන් වුනත්, සුදු වුනත් හැමෝම මිනිස්සු නේ, දුවනී" මම එසේ ඇයට කියූ මුත් එය ඇයට තේරුණා දැයි නොදනිමි. "එහෙනම් සුදු අය ලස්සනයි කියන්නේ?" ඇය අසන්නීය. "නැහැ, රත්තරන් පාට අය තමයි ලස්සන" මම කීවේමි. එවිට ඇය තම නංගීට තමා රත්තරන් පාට බව කියන්නීය. "අප්පච්චී, මටත් රත්තරන් පාට වෙන්න ඕනේ" එවිට නාසෙන් ඇඩිල්ල චූටි දුව ගේය.
ලංකාවේ ජාති බේද හෝ වර්ග බේද පැණයක් ඇතැයි ඇතැමෙක් කීවත් ඇත්තෙන්ම පවතින්නේ වර්ණ බේද ප්‍රශ්ණයකි. රූපවාහිනීයේ කල්ලන් සුදු කරන ආලේප ගැන දැන්වීම් කෙතරම් නම් වේද? එළෙස බැලූ කල එය ජාතික ප්‍රශ්ණයකි. ලංකාවේ සියළුම ගැහැණුන් ව සුදු කිරීමට වගකීම බාර ගෙන ඇත්තේ මේ රූපලාවන්‍ය සමාගම් බොහොමයකි. කළු වෙන්නේ ඔය මෙලනින් වර්ණකය නිසා යැයි කියති. ග්‍රීක බසින් මෙලනින් යනු කළු පැහැයට නමක් බව මම අසා ඇත්තෙමි. එසේම සෑම සතෙකු ගේම පාහේ පවතින මේ වර්ණකය මකුළුවන් ගේ සොයා ගෙන නොමැති බවද කියැවේ. සුදු කරන ආලේපන වලින් කැරෙනුයේ සමේ ඇති මෙලනින් වර්ණකය ඉවතලෑම බව කියැවේ.
කෙසේ වෙතත්, සුදු වීම හා සුදු ඕනෑ වීම, සමාජය උදෙසා නිමැවූ හීනමානයක් බව මට සිතේ. එය සිංහල කතා කරන විට ලොකු කම පෙන්වීමට ඉංගිරිසි වදන් මැදට එබීමක් මෙන්ම වෙයි. එහෙත් අද සමාජයේ මේ ඊනියා සුද, ලස්සන මනින සාධකයක් නොවී ඇතැයි කිසිවෙකුට කිව හැකිද? කළු පිළිගැනීමේ නිළධාරිනියන් සිටින්නේ කීයෙන් කී දෙනාද? කළු නිළියන් ගණන් කොට කිව හැකිද? ගැහැණු පමණක් නොව සුදු වීමට දඟලන පිරිමින් නම් සමාජයේ කෙතරම් වෙතිද? මහා කළු සිංහලයා කීම අදට ප්‍රශංසාවක් ද? නින්දාවක් ද?   

2012-03-23

නිලන්ත පියසිරි විසින් 00:14 පැයට
3

ඇමරිකානු, ඉන්දියානු සන්නාම වැරුම

දෙස්පලු විවරණයක් කැරුමට උත්සහයක් නොවේ. ඒත් මේ එක්සත් ජාතීන් ගේ මානව අයිතීන් ගැන සම්මේලනයේ දී අපේ රට ලැබූ පරාජය ගැන නම් ඇත්තේ හරිම දුකකි. එසේ නම් මෙයට පිළිතුර අපට විරුද්ධව කැමැත්ත දුන් රටවල් හී නිපැයුම් මිළට නො ගෙන වර්ජනය කැරුමද? එසේ නොමැති නම් "ලොවැ බලවත් ම ජාතින් නම් නුඹලා ය, එහෙයින් අපි තොප ගේ දනින් වැටී තොප කියන්නක් ම කරමු" කීම ද? විටෙක මේ අපි බොලොග් ලියන මේ අඩවිය ඇතුළුව ජී-මේල්, ගූගල් වර්ජනය කරමු යැයි කතා පැතිර ගිය බව ද අපි දනිමු.  එවැනි ක්‍රියාවක් නැවත කැලෑ වැදීමක් නැති නම් ගල් යුගයකට යාමක් බව බොහෝ අයෙක් කියත්. ගූගල් වැනි සෙවුම් යතුරක් අත හැර දැමීම මරි මෝඩ කමක් බව නොකිව මනාය. ගූගල් වැනි සෙවුම් යතුරු මුදල් උපයනුයේ දැන්වීම් වලිනි. එසේම අප සොයන දෙයක් ගූගල් හී සෙවූ කල ලෙහෙසියන් ම සොයා ගත හැක. මෙය දෙගොල්ලන් ටම වාසිදායකය. ගූගල් ගේ දැන්වීම් වලින් අපට පලක් නැත. එබැවින් මා නම් සිතනුයේ ඔවුන ගේ සේවාවන් අපේ කිසිදු ලක් වැසියෙකු මුදල් නො ගෙවා භාවිතා කරන්නේ නම් එයින් ඔවුනට කෙලින්ම ලැබෙන වාසියක් නැත.
අමරිකානු සන්නාම හෝ ඉන්දියානු සන්නාම ඇත්තෙන් ම අතහැරිය යුතුව ඇත. එහෙත් අමරිකාව හා වෙලදාමේ දී වෙළඳ වාසිය ඇත්තෙන් ම ඇත්තේ ලංකාවට විය යුතුය. මා එය නිවැරදිව නොදනී. නමුත් ඉන්දියානූ බඩු හා සේවා වෙළඳ පොලේ නම් නියතයෙන් ම වාසිය ලබනු යේ ඉන්දියාව විය යුතුය. ඇහි පිය ගැසීමක දී පවා පාරකදී නොපෙනී යන ඉන්දියානූ යාන වාහන කෙතරම් ද? කාබන් පෑනේ සිට යතුරු පැදිය, තෙසක රිය සහ මෝටර් රථය දක්වා. කෙතරම් නම් ඉන්දියානු බඩු වෙළඳපොලක් ලංකාවේ සකස් වී තිබේද?
එසේ නම් නියම රිදැවීම ඇමරිකානු සන්නාම වැරුම නොව ඉන්දියානු සන්නාම වැරුමයි. පළමු කොට සතුරා ගේ දුබල මිතුරාට පහර ගැසිය යුතුය. එහෙත් එය කළ හැකිදැයි සැක සහිතය. සියළු ඉන්දියානු දේ භාවිතා කරනුයේ රටේ දුප්පත් ම ජනතාවයි. ඒ මිනිස්සුන් ගේ උපකරණ/වාහන වලට අමතර කොටස් නො ගෙන්වූ යේ නම් දුක් විදිනුයේ ඔවුන් ම නොවෙත් ද?
කවුරුන් කෙසේ කීවත් "සිය රට දේ, සිරි සැප දේ" යන්න රිද්මානුකූල වදනක් ම පමණක් වී ඇත. අප ජාතිය තරම් පිට රට දේ අප රට දේ කර ගැනුමට හපනුන් ලොව කිනම් රටකවත් නොමැති විය යුතුය. අපේ රටට සැන්ඩ්විච් හදා ගෙන කන්න ගෙනා පාන්, හොඳි සමඟ අපි කන්නෙමු. සුද්දා අල පොඩි කර කන කළ අපි ඉන් අල හොඳි හෝ අල තෙල් දමා කන්නෙමු. අමරිකානු, ඉන්දියානු පමණක් නොව ලොව ඕනෑම රටක නිමැයුමක් අප රටට, අපට ගැලැපෙන සේ සකස් කර ගන්න හපන් මිනිසුන් වන අප උන් මත නො යැපිය යුතු නො වන්නේද?

2012-03-19

නිලන්ත පියසිරි විසින් 22:58 පැයට
1

හන්තාන ලිනුක්ස් සමඟ රට සුවඳ කරමු.

මගේ දුවණිය පාසල් යැව්වේ පහු ගිය දුරුත්තේ. හැම දෙමාපියෙක් ම හිතන්නේ තමන් ගේ දරුවා ඉතා දක්ෂ බවය. ඔවුන් මහ මෙරක් බරට සිහින ද දරුවා සමඟ ගොඩ නඟයි. ඉපැදුන දා සිට ලක් දිව ඇති සෑම දෙයකට ම පන්ති යවන්නේ එබැවින්ය. මේ දහසකුත් පන්ති අතර පිරිගණන හෙවත් පරිඝණක හා ඉංගිරිසි පන්ති බෙහෙවින් පතලව ඇත. මේ කියවන ඔබ වුවද ඔබේ දරුවා පිරිඟණන හපනෙකු වනු දැක්මට කැමැති නොවන්නේ ද? මම නිවසේ ඇති පිරිඟණනයේ ෆෙඩෝරා මෙහෙයුම් සුසැටිය හෙවත් පද්ධතිය පමණක් ම පිහිටුවා ඇත්තෙමි. ඇය මේ වසරේ පාසලට ඇතුළු කළේ මුත් ෆෙඩෝරා භාවිතා කරමින් සුළු සුළු දේ කැරුමට ඇය ඉගෙන ගෙන ඇත්තිය. ලිනක්ස් යනු කුඩා ලමුන්ට ඉගෙනුමට ම සෑදූ මෙහෙයුම් සුසැටියක් දැයි විටෙක මට සිතේ. එහි ඇති GCompris, ChildPlay, Tux paint, Tux Maths, Tux Word game වැනි කුඩා ම ලදරුවන්ට වන මෘදුකාංග පමණක් නොව තරමක ලොකු දරුවන් ට වැදගත් වන Kalzium, Avgadro වැනි රසායන විද්‍යා මෘදුකාංග ද ෆෙඩෝරා මත පිහිටුවා ගත හැක. ඒ කෙසේ වෙතුදු මේ ලිපියේ එක් අරමුණක් වූයේ ඒ සඳහා අපේම ලාංකේය ලිනුක්ස් බෙදාහැරීමක් ජනප්‍රියව ඇති බව කීමයි. එය නමින් හන්තාන ලිනුක්ස් වෙයි. එය ඔබට නොමිලේ hanthana.org අඩවියෙන් ලබා ගත හැක.
දෙවැනි අරමුණ ඊටත් වඩා පින්වන්තයි. මගේ දරුවා ඔබේ දරුවා මෙන් නොව ගෙදරට පිරිඟණනයක් ගෙන යා නො හැකි මුත් අපේ දරුවන් ගැන මෙන්ම සිහින ගොඩ නඟන දෙමාපියන් මේ ලක් දෙරණ මත කෙතරම් වේද? ඔවුන් ගේ ගෙදරට පිරිඟණනයක් සැපැයීම කෙසේ වෙතුඳු ඔවුන් ගේ දරුවා ගේ පාසලට එක තොරතුරු ශිල්ප මෙවලමක් දිය හැකි නම් ඔබේ දරුවා ගැන ඔබ සතුටු වනවා මෙන්ම ඒ දෙමාපියන් කෙතරම් සතුටු වෙයිද? දහස් ගණන් මුදල් දී ළමා නිවාසෙට දන් දෙන අපේ සහෝදර සහෝදරියන් රුපියල් දෙදහසට හෝ පරණ පිරිඟණනය යමෙකුට විකුණුමට යත්න දරති. එහෙත් පිරිඟණන පූජාවක් කළ හැකි නම්? පින යනු පිනා යාම යැයි කියත්. ඔබේ සිතත් පිනා යන්න දහසක් දරුවන් ගේ සිත් පිනා යනු පිනිසත්, දහසකුත් දෙමාපියන් ගේ සිත් පිනවනු පිනිසත් ක්‍රියා කාරිත්වයේ පවතින ඔබ ගේ පැරණි පිරිඟනනය පූජා කළ හැකිනම්, ලක් දිව දහසකුත් නිවෙස් වලින් ලාංකේය තොරතුරු ශිල්පයක පහන් වැටි දැල් වූ වා වැනි වෙනු ඇත. මෙන්න ඒ සඳහා ඔබලා ට මඟ......http://school.hanthana.org