Showing posts with label මනුස්සකම. Show all posts
Showing posts with label මනුස්සකම. Show all posts

2012-04-23

නිලන්ත පියසිරි විසින් 23:28 පැයට
6

නෑදෑකම්

අපේ අම්මා ගේ මාමා කෙනෙකු ඊයේ හැන්දෑවේ මිය ගොස් ඇති පුවත මට ලැබුනේ මල්ලි ගේ දුරකතන ඇමතුමකිනි. ඔහු අපට ඉඳහිට මුණ ගැසෙන අයෙකු බැවින් ද, මුණ ගැසුන ද එතරම් කතා බහක නො යෙදෙන අයෙකු බැවින් ද, මම එය එතරම් ම දුක් මුසු පුවතක් නොවේ යැයි උපකල්පනය කොට එකෙනෙහි ම අම්මා ට ඒ ගැන කීවෙමි. අම්මා මහත් හඩින් හැඩීමට ගත්තාය. ම'සොඳුරිය සහ නංගී ඇය සනසා ගත්තේ මහත් වෙහෙසක් දැරීමෙන් පසුවය. මගේ ලොකු මාමා නොහොත් අම්මා ගේ අයියා මීට අවුරුදු 7 කට පමණ පෙර මිය ගිය අවස්ථාව මම සිහි කළෙමි. මගේ ඇහැට කඳුළු බිදුවකුඳු ආවා යැයි මට මතකයක් නොමැත. එහෙත් මීට මසකට පමණ පෙර අපේ පුංචි විවාහ වී සිටි බාප්පා මිය ගිය කල මට හැඩුම් ඉබේ පහළ විය. 
නෑදෑකම් හා සබඳකම් කෙතරම් මිනිස් සිත් සනසවන්නේ ද? එකල මුළු ගමක් ම නෑදැයෝ වූහ. ඔවුන් වචනයේ දුරින් උදව්ට, පහසුකම් දීමට සිටියහ. එහෙත් අද නෑදෑයෝ සි සි කඩය. අපේ අම්මා ගේ කඳුලු තුල වූයේ ඒ හැඟීමයි, ඒ ආදරයයි. දරුවෙකු හඬන කල මාමාට කිරි එරෙන කතාවක් ජන වහරේ ද ඇත. එහෙත් මෙකල දරුවෙකු හඬන ඇසීමට මාමා කෙනෙකු පෙනෙන තෙක් මානයක ද නැත. "පොඩි දුව, මෙන්න කොස් කෑල්ලක් තියෙනවා. තම්බලා ගනින්." අප කුඩා කල අපේ අම්මාට, ඇයගේ මාමා වරු එලෙස නොයෙකුත් වෙසෙසි දේ ගෙනැවිත් දෙති. අපේ අම්මාට ද මාමලා නැන්දාලා තරම් අයෙකු නොමැති ගානය. බොහෝ විටක අපිද අම්මා සමඟ ඔවුන ගේ නිවෙස් වලට යන්නෙමු. ඔවුනොවුන් අතර පැතිර යන සිනහව ආදරය කරුණාව මගේ හද පතුල ද යන්තම් කොනිත්තන්නාක් මෙන් දැන් ද දැනේ. නෑදෑකම් අද සමාජයෙන් තුරන් ව යනු සක්සුදක් ව පෙනේ. නෑයෝ සහ වේයෝ එක බැවි තෙසක රියක පිටු පස වූ බව මට මතකය. අද නෑදෑ කම් නාම මාත්‍රිකය. එකල අවුරුද්දට අපි නොවරදවා අපේ අම්මා ගේ ලොකු නැන්දා හෙවත් අපි කියන පරිදි කඩේ ආච්චි ගේ ගෙදර යන්නෙමු. එය හරිම විනෝද ජනකය. ඇය හරිම රසට ආස්මි හදන්නීය. එපමණක් නොව හදිසියකට හෝ ඇගේ නිවස අසලින් අප වෙනත් වැඩකට ගියේ නම්. "උඹ කොහෙද යන්නේ, මෙහෙ වරෙන්" කියා කුඩා අපව නිවසට එක් කරගෙන ගොස් අඩුම තරමේ විස්කෝතුවක් සමඟ තේ බිඳක් හෝ පොවා මිස පිටත් නොකරයි. එහෙත් අද.....? මගේ දියණියන් ගේ ලොකු අම්මා, හෙවත් සොඳුරිය ගේ අක්කා ඇත්තේ බදුල්ලේය. එහේ ගොස් ඒමට අඩු තරමේ දවස් පහකවත් නිවාඩුවක් අවැසිය. එතරම් කල් නිවාඩු අපට නොලැබෙන හෙයින් අප එහි ගොස් ඇත්තේ මෙතුවක් කලට එකම එක වතාවකි. ඒ වතාව දියණියන්ට කෙසේ වෙතුදු අපට ද මතක නැත. එසේ වී නම් ලොකු අම්මා ගේ ආදරය මතක තියෙන්නේ කෙසේද?    

2012-03-26

නිලන්ත පියසිරි විසින් 12:20 පැයට
4

ලංකාවේ වර්ණබේදවාදය

"අප්පච්චී, අපේ පන්තියේ ඉන්නේ කළු ළමයි හතර දෙනයි. එක්කෙනෙක් තමයි මම" අපේ දුවනිය විසින් පසු ගිය දිනෙක මා හා කීවාය. "අනිත් ළමයි සේරම සුදුයි".  ඇය තව දුරටත් කියන්නීය. "එහෙනම් අප්පච්චිත් කළුයි නේ" මම කීවෙමි. "ඔව්, අප්පච්චියි, මම යි කළුයි, නංගියි, අම්මයි සුදුයි." ඇය සුරතල් වදන් දෙන්නීය. "නැහැ දුවනි, ඔයා කළු නැහැ, ඔයා තළෙළුයි, ඔයාට එහෙම කිව්වට තේරෙන්නේ නැති නම් හිතා ගන්න කෝ ඔයා රත්තරන් පාටයි, කළු කියන්නේ මෙන්න මේ පාටට නේ" කියමින් මම කළු පැහැති පැස්ටල් කූරක් පෙන්වූයෙමි. "අනිත් එක කළු පාට මිනිස්සු මේ ලෝකේ තව ඉන්නවා. කළු වුනත්, රත්තරන් වුනත්, සුදු වුනත් හැමෝම මිනිස්සු නේ, දුවනී" මම එසේ ඇයට කියූ මුත් එය ඇයට තේරුණා දැයි නොදනිමි. "එහෙනම් සුදු අය ලස්සනයි කියන්නේ?" ඇය අසන්නීය. "නැහැ, රත්තරන් පාට අය තමයි ලස්සන" මම කීවේමි. එවිට ඇය තම නංගීට තමා රත්තරන් පාට බව කියන්නීය. "අප්පච්චී, මටත් රත්තරන් පාට වෙන්න ඕනේ" එවිට නාසෙන් ඇඩිල්ල චූටි දුව ගේය.
ලංකාවේ ජාති බේද හෝ වර්ග බේද පැණයක් ඇතැයි ඇතැමෙක් කීවත් ඇත්තෙන්ම පවතින්නේ වර්ණ බේද ප්‍රශ්ණයකි. රූපවාහිනීයේ කල්ලන් සුදු කරන ආලේප ගැන දැන්වීම් කෙතරම් නම් වේද? එළෙස බැලූ කල එය ජාතික ප්‍රශ්ණයකි. ලංකාවේ සියළුම ගැහැණුන් ව සුදු කිරීමට වගකීම බාර ගෙන ඇත්තේ මේ රූපලාවන්‍ය සමාගම් බොහොමයකි. කළු වෙන්නේ ඔය මෙලනින් වර්ණකය නිසා යැයි කියති. ග්‍රීක බසින් මෙලනින් යනු කළු පැහැයට නමක් බව මම අසා ඇත්තෙමි. එසේම සෑම සතෙකු ගේම පාහේ පවතින මේ වර්ණකය මකුළුවන් ගේ සොයා ගෙන නොමැති බවද කියැවේ. සුදු කරන ආලේපන වලින් කැරෙනුයේ සමේ ඇති මෙලනින් වර්ණකය ඉවතලෑම බව කියැවේ.
කෙසේ වෙතත්, සුදු වීම හා සුදු ඕනෑ වීම, සමාජය උදෙසා නිමැවූ හීනමානයක් බව මට සිතේ. එය සිංහල කතා කරන විට ලොකු කම පෙන්වීමට ඉංගිරිසි වදන් මැදට එබීමක් මෙන්ම වෙයි. එහෙත් අද සමාජයේ මේ ඊනියා සුද, ලස්සන මනින සාධකයක් නොවී ඇතැයි කිසිවෙකුට කිව හැකිද? කළු පිළිගැනීමේ නිළධාරිනියන් සිටින්නේ කීයෙන් කී දෙනාද? කළු නිළියන් ගණන් කොට කිව හැකිද? ගැහැණු පමණක් නොව සුදු වීමට දඟලන පිරිමින් නම් සමාජයේ කෙතරම් වෙතිද? මහා කළු සිංහලයා කීම අදට ප්‍රශංසාවක් ද? නින්දාවක් ද?   

2010-11-30

නිලන්ත පියසිරි විසින් 14:41 පැයට
3

වටුවට කොටන කාක්කෝ

අද උදේ කාර්‍යාලයට එන මඟ, වැටී සිටියේ වටුවෙකි. කාක්කන් වට කරගෙන කොටති, තවත් සමහර කාක්කන් හොඳ ආහාර වේලක් බුදීමට වටේ සිට ලක ලැහැස්ති වෙති. අසරණව වැටී දිව බේරාගැන්මට වලිකන වටුවා ගැන දුක සිතුනේ මට පමණක් නොවේ. පාරේ ගිය කිහිප දෙනෙක් කාක්කන් එළැවීමට වෙහෙස වෙති. වටුවා හැකි පමණ දුරක් ඉගිලී ගොස්, පඳුරක් අස්සට වැද ගත්තේය. කාක්කෝ ද ඒකා පිටු පස පියඹා ගිය අතර, ඉන් පසු ඌ පසු පස ගොස් වටුවා ව ආරක්‍ෂා කිරීමට තරම් මට වෙලාවක් ද නොවීය. ඌ හට කුමක් වූවා ද යන්න ඌ බේරාගන්නට වෙහෙස වූ අනෙක් අයද නොසොයා ගිය බව මම දුටිමි.

ඇත්තෙන් ම කාක්කන් අතර අසරණව දිවි ගළවා ගන්නට වෙහෙස වෙන  වටුවා ගැන දුක සිතන මිනිස් අපි දිනක බොජුන් සඳහා කුකුළන් කී දෙනෙකුම මෙසේ මරනවා ඇතිද? දිව ගලවා ගන්නට දඟලන වටුවා වෙනුවට කුකුළෙකු ආදේශ කරන්න, කපුටු රැළ වෙනුවට මිනිස් රැළක් ආදේශ කරන්න. ඇයි අපිට අර වටුවා ගැන හිතෙන දුක, කුකුළා ගැන හිතන්නේ නැත්තේ. ඒ අපි නොදකින නිසා නේද? කපුටා ගැන නරකක් සිතා වැඩක් නැතැයි, මට සිතුනි. අපිත් ඒ කපුටන් හා සමව වට වී වටුවට කොටමු.

2010-06-29

නිලන්ත පියසිරි විසින් 23:33 පැයට
3

දකින, ඇසෙන දේ නියම දෙයම නොවේ

අප පන්සලට ලබා දෙන මාසික පේරු දානය යෙදී ඇත්තේ සෑම මසකම 27 වන දින හීලටය.  එදිනට බොහෝ විට අප දෙනු ලබනුයේ බත් සමඟ මාළු පිණි කිහිපයකි. මගේ සොදුරියත් එය බොහෝ උනන්දුවෙන් පිළියෙල කරන බැවින් පන්සලට කෙසේ වෙතත් ගෙදරත් එදින හොඳ රසට සප්පායම් විය හැකි දිනයක් ද වෙයි. (මෙය දුටුවහොත් වෙනදාට කෑම රස නැතිදැයි ඇය ඇසීමට ද ඉඩ ඇත. ඒ ගැන වෙනම ලියමි). ඒ කෙසේ වෙතුඳු මීට පෙර හීල් දානයක් දිනයක දී සෑම දාම බත් මාළු පිණි දෙන බැවින් අප එදිනට කිරිබත් සහ ලුණු මිරිස් දානයට දීමට කතිකා කර ගතිමු. එදින හීල් දානය ගෙන යන විට වෙනදාට වඩා පමා වී තිබූ අතර පාසලේ ඉගැන්වීමට යන හාමුදුරුවෝ සක්මනේ  යෙදෙමින් දානය පරක්කු බැවින් පාසැල් යාමට පරක්කු බවක් පෙනෙන මුහුණෙන් සිටින අයුරුද මම දුටිමි. හැකි ඉක්මනින් දාන ශලාවට ගොස් බුද්ධ පූජාව ද සකසා එය ගෙන බුදු මැදුරට පිට වෙනවාත් සමඟම, හාමුදුරුවෝ, මා ගෙනා දාන භාජන හැර ඒ මොනවා දැයි බලා, එය කිරිබත් යැයි දැන දානය නොගෙන ලහි ලහියේ පාසලට වඩින අයුරු මම දුටිමි. පොඩි හාමුදුරුවෝ බුද්ධ පූජාවට ගාථා කියවන වේලාවේ පටන් ම මගේ සිත කළකිරී තිබුණි. එය සොඳුරියට කී කල ඇයද මහන්සියෙන් තැනූ දානය හාමුදුරුවෝ නොගත්තැයි කළකිරීමෙන්, "ආයෙත් නම් කවදාවත් කිරිබත් නොදී, බත් ම දෙමු යැයි" කිවාය. දානය ට දෙන දෙය කුමක් වුව ද, එය පිළිගත යුතු නොවෙදැයි, මම මගේ සිත සමඟම කියවා ගතිමි. 

එතෙක් පටන් අපෙ සෑම දාන වාරයකදී ම බත් ම ලබා දුන්නෙමු. පසු ගිය දිනක දාන වාරයේ දී ද දානය රැගෙන යාමට මඳක් පමා විය. එදින ද පෙර දා මෙන්ම දානය ගෙනෙන තෙක් හාමුදුරුවෝ මිදුලේ සක්මනේ යෙදී සිටින අයුරු මම දුටුවෙමි. එදින බුදු පූජාව සැකසූ පසු, හාමුදුරුවෝ දාන භාජන වලින් ප්ලාස්ටික් පෙට්ටියකට දන් බෙදා ගන්නා අයුරු දුටු මම, "

ඇයි හාමුදුරුවනේ හීල්  දානේ පන්සලේ දීම වලදලා නොවේ ද යන්නේ?" ඇසුවෙමි. 

"නැහැ මහත්තයෝ මේ හීල් දානේ නොවේ, දහවල් දානය, ඉස්කෝලේ ගියහම දවල් දානයට ආපසු වඩින්න බැහැ නොවැ"

කොහොමද මගේ සිතු දෙයි වැරැද්ද, මිට පෙර දින කිරිබත් නොගත්තේ එය දහවල් දානයට ගත නොහැකි බැවිනි.