Showing posts with label පවුල. Show all posts
Showing posts with label පවුල. Show all posts
2012-11-09
නිලන්ත පියසිරි විසින් 15:37 පැයට
17
මෙහෙමද යකෝ බටු උයන්නේ....?
මේක මට සිදුවුනු බොහොම පරණ සිද්ධියක්. මේ ලඟදී මතක් වුනේ අපේ දිවා කෑම පැයේදී. මා ගෙදරින් ගෙනා කෑම පතේ තිබූ පොලොස්, එදින මා සමඟ කෑම කෑ මා ගේ සඟයා ගේ කඩෙන් ගත් කෑම පතේ තිබූ පොලොස් වලට වඩා තැම්බී නොතිබීමයි.
එකල මා විවාහ දිවියට ආ මුල් දවස්. මගේ සොඳුර ඉතිං ඒ දවස් වල එච්චර කෑම හදන්න දන්නේ නැහැ. (දැන් ඉතිං දන්නවා කියන්න එපැයැ නැත්තනම් ..... දන්නවානේ) කොහොම නමුත් ඒ දින වල මට මා සේවය කළ තැනෙන් පිට වෙනත් තැනක පිරිගණන පාඨමාලාවක ඉගැන්වීමට යෙදුනා. ඉතිං සොදුරිය උදයෙන් ම නැඟිට පිළියෙල කළ බත් පත රැඟෙන ඔන්න එතැන ට ගියා. උදේ වරුවේ ඉගැන්වීමෙන් පසු ඔන්න දහවල් කෑම. දන්නවනේ එතැන හිටපු ඔය පරිපාලන වැඩට ආපු තවත් කෙනෙක් එක්ක කෑමට ගියා. ඔහු කෑම අරගෙන තියෙන්නේ එතැන තිබුනු අවන් හලෙන්. ඔන්න ඉතිං එක එක ව්‍යාංජන හුවමාරු කර ගත්තා. මගේ සොඳුරිය උයලා තිබුනා එළ බටු. මටත් ඔය ඉතිං ඒ දවස් වල කෑම ගැන එච්චර තැකීමක් නැහැ ඉතිං, දන්නවනේ බැඳපු අළුත, හැම දෙයක්ම රසයි නොවැ. මමත් එළ බටු ටිකක් අර යාළුවාට දැම්මා. (යහළුවා කිව්වට පොඩ්ඩක් අපිට වඩා ජ්‍යේෂ්ඨයි) එයා ගේ කෑම එකෙත් එළ බටු තිබුණා. ඔන්න ටික වෙලාවක් යනකොට මෙයා කියනවා.
"මේ බලපං මුන් බටු උයලා තියෙන හැටි, ඇටත් එක්ක, මෙහෙම බටු උයන රටක් තියෙනවද? මුන් ගේ අම්මලාට........ මට හිතයි ගිහින් දෙකක් කථා කරන්න".
මම හිමිහිට මගේ කෑම පතේ බටු ගැන බැලුවෙමි. අපොයි මේ මගේ සොඳුර පිසූ බටු නොවැ.
"හරි හරි, ඕව් එච්චර ගණන් ගන්න එපා" මම ඔහුව අස්වැසුවෙමි. හැබැයි ගෙදර ඇවිත් සොඳුර නිවැරදි කිරීමට ත් නොගියෙමි. ඇය මෙය කියවන්නේ නම් දන්නවා මිස මෙතෙක් ඇය මේ සිද්ධිය දන්නේද නැත.
2012-10-12
නිලන්ත පියසිරි විසින් 10:57 පැයට
ඒ මාර ගහේ මුල්
කාර්යාලයෙන් ඊයේ මට නියම වී තිබුනේ යම් වැඩ මුළුවකට සහභාගී වීමටයි. එය තිබුනේ කොළඹ පුර හල පෙදෙසේ බැවින් බසයෙන් බැසි මම විහාර මහා දේවී උයන මැදින් එතැනට ලඟ වීම පහසු බැවින් ඒ හරහා ගියෙමි. අද මේ උයන මට එතරම් නුහුරු වුව ද මා පිය සොඳුර සමඟ පෙම් කරන සමයේ මේ උයන මට ඉතාමත් හුරු පුරුදු විය. අප නිරන්තරව යන මාර ගසක බංකුවක් මෙන් වූ මුලක් විය. මා එය පහු කරද්දී මට නිතැතින් ම එතැන බැලුන කල මා දුටුවේ අප එකල වාඩි වි සිට තැනම හිඳිනා පෙම් යුවලකි. අප එකල කෙතරම් නම් වේලා මෙතැන කථා කරමින් සිටින්නට ඇතිද? මේ මාර ගස කෙතරම් පෙම්වතුනට සෙවන දෙන්න ඇතිද? එහෙත් ඒ ගස මුල කිසි දිනක හිස් නොවෙයි. එහෙත් කල්පනා කළොත් ඊයේ දවසේ පමණක් මා කෙතරම් වේලාවක් සොඳුර සමඟ කථා කරන්නට ඇතිද? හොඳින් හිතුවොත් වැකි හතරක් පහක් පමණ. "නිලන්ත, දුවනිට කවනවද?, පරක්කු වෙනවා", "නිලන්ත චූටි දුව ගේ ගවුමේ බොත්තම දානවද?" "නිලන්ත එනකොට සුප් කැට තුන හතරක් ගේනවද?" "දවල් කෑම රසද?" වගේ හිතුවොත් ඉතාමත් කෙටි වදන් තුන හතරක්. මෙයින් නියෝග හැරුණ කොට ආදරය පොඩ්ඩක් වත් තියෙන්නේ "දවල් කෑම" ගැන වැකියේ පමණි. ඇයට ගෙදර මෙන් ම කාර්යාලයේද වැඩ බොහෝය. පෙම් බස් මිමිණීමට ඇයට වේලාවක් ඇත්තේ ම නැත. එසේ වෙලාවක් ආවත් ඇයට කෙසේ හෝ අතපසු වූ වැඩක් පසක් වෙයි. ඉඳින් වරු ගණන් මේ මාර ගස යට පෙම් බස් තෙපළු ඇය..... වැන්නෝ තවත් කෙතරම් මේ මාර ගස හැර ගොස් ඇතිද?
2012-09-11
නිලන්ත පියසිරි විසින් 16:30 පැයට
ගැහැණුන් ගේ නරක
"අප්පච්චී කතන්දරයක්". ඒ සෑම දාම නින්ද ට පෙර අපේ දියණියන් ගේ නිදි යහනෙන් නැගෙන හඩයි. ඉතිං දෙයි හාමුදුරුවනේ මේ තරම් කතන්දර කෙසේ නම් මතක තියා ගන්නද? මට කුඩා කල මගේ කිරි අම්මා කියා දුන් කතන්දරත් මේ වන විට හමාරයි. කියා දිය හැකි ජාතක කතන්දරත් ඉවරයි. ඉඳින් මා කුමක් කරම් ද? මෙවර මෙහෙයුම දියත් කළේ මුනිදාස හේමපාල වියතානන් අනුවාදනය කෙරුනු විශ්ණු ශර්මන් ගේ පංච තන්ත්රය කෙරෙහියි. මෙහි වන කතන්දර හරිම අපූරුයි. ඒ අතර ඒ ඒ කතන්දරයෙන් කියා දිය හැකි ආදර්ශත් කදිමයි. දඹදිව විසූ අමරශක්ති රජතුමා ගේ හීන බුද්ධි පුතුන් තුන් දෙනෙකු වන බහු ශක්ති, උග්‍ර ශක්ති සහ අනන්ත ශක්ති යන අයගේ බුද්ධි වර්ධන සඳහා ඒ අයට කියූ එකිනෙකට වියුනු කතන්දර රාශියක් තමයි මෙහි තියෙන්නේ. මෙහි ඇති අපූරු කම තමයි සත්තුන්ට ත් නම් තිබීම.
ඒ කෙසේ නමුත් ඊයේ කතන්දරය කියා ගෙන යද්දී අපූරු සිද්ධියකට මුහුණ පෑවා. එම කතන්දරයේ තිබුනේ යම් නමක් ඇති ගොනෙකු කැලයේ ලා තණ කා ඉතා පුෂ්ටිමත් ව වැඩී බෙල්ලේ දෙපැත්තෙන් මස් ගොබ දෙකක් එල්ලා වැටෙන්නට වූ බවත්, ගඟක් අයිනේ සැමදා මීයන් කමින් ජීවත් වූ නරි යුවලක් සිටි බවත්, දිනක් ගොනු දිය බීමට ගඟට ආ කල නරි ධේනුව නරියාට එම මස් ගොබ දෙක කුමණ හෝ වේලාවක බිම වැටෙනු ඇති බැවින් ඌ පසු පස ගොස් එය වැටුන කල ආහාරයට ගැනීමේ කැමැත්තක් ඇති වී නරියාට ඒ ගැන යෝජනා කළ බවත් ය. කථාවේ මෙතැන් පටන් කියැවෙන්නේ ගැහැණුන් ගේ බස් විශ්වාස කිරීමේ නරක ගැනයි. මෙතැන දී තමයි දුවනි ගේ කට හඩ අවදි වුනේ.
"ඉතිං අප්පච්චි අපිත් ගැහැණු අය නේ, අපි කියන දේවල් ගණන් ගන්න හොඳ නැතිද?"
ඔන්න අප්පච්චිට කට උත්තර නැති වුන තැන.
"ඒ ඉතිං මේ පොත ලියපු කාලේ නේ දුවනි, දැන් ඉතිං එහෙම නැහැ" මම කීවෙමි.
ප:ලි:
1. ඇත්තටම දැන් කාලේ උනත් එහෙම තමයි (දුවනි ලොකු වෙලා මේක කියෙව්වත් ඒක ඇත්ත කියයි).
2. විශ්ණු ශර්මන් ගේ ලියූ මුනිදාස හේමපාල අනුවාදන කළ ඒ පොත නම් වැඩිහිටියෝ පවා කියවිය යුතුයි.
3. කතන්දරේ ඉතිරි ටික ඕනේ නම් අනිවාර්යෙන් පොත කියවන්න.
2012-04-23
නිලන්ත පියසිරි විසින් 23:28 පැයට
නෑදෑකම්
අපේ අම්මා ගේ මාමා කෙනෙකු ඊයේ හැන්දෑවේ මිය ගොස් ඇති පුවත මට ලැබුනේ මල්ලි ගේ දුරකතන ඇමතුමකිනි. ඔහු අපට ඉඳහිට මුණ ගැසෙන අයෙකු බැවින් ද, මුණ ගැසුන ද එතරම් කතා බහක නො යෙදෙන අයෙකු බැවින් ද, මම එය එතරම් ම දුක් මුසු පුවතක් නොවේ යැයි උපකල්පනය කොට එකෙනෙහි ම අම්මා ට ඒ ගැන කීවෙමි. අම්මා මහත් හඩින් හැඩීමට ගත්තාය. ම'සොඳුරිය සහ නංගී ඇය සනසා ගත්තේ මහත් වෙහෙසක් දැරීමෙන් පසුවය. මගේ ලොකු මාමා නොහොත් අම්මා ගේ අයියා මීට අවුරුදු 7 කට පමණ පෙර මිය ගිය අවස්ථාව මම සිහි කළෙමි. මගේ ඇහැට කඳුළු බිදුවකුඳු ආවා යැයි මට මතකයක් නොමැත. එහෙත් මීට මසකට පමණ පෙර අපේ පුංචි විවාහ වී සිටි බාප්පා මිය ගිය කල මට හැඩුම් ඉබේ පහළ විය.
නෑදෑකම් හා සබඳකම් කෙතරම් මිනිස් සිත් සනසවන්නේ ද? එකල මුළු ගමක් ම නෑදැයෝ වූහ. ඔවුන් වචනයේ දුරින් උදව්ට, පහසුකම් දීමට සිටියහ. එහෙත් අද නෑදෑයෝ සි සි කඩය. අපේ අම්මා ගේ කඳුලු තුල වූයේ ඒ හැඟීමයි, ඒ ආදරයයි. දරුවෙකු හඬන කල මාමාට කිරි එරෙන කතාවක් ජන වහරේ ද ඇත. එහෙත් මෙකල දරුවෙකු හඬන ඇසීමට මාමා කෙනෙකු පෙනෙන තෙක් මානයක ද නැත. "පොඩි දුව, මෙන්න කොස් කෑල්ලක් තියෙනවා. තම්බලා ගනින්." අප කුඩා කල අපේ අම්මාට, ඇයගේ මාමා වරු එලෙස නොයෙකුත් වෙසෙසි දේ ගෙනැවිත් දෙති. අපේ අම්මාට ද මාමලා නැන්දාලා තරම් අයෙකු නොමැති ගානය. බොහෝ විටක අපිද අම්මා සමඟ ඔවුන ගේ නිවෙස් වලට යන්නෙමු. ඔවුනොවුන් අතර පැතිර යන සිනහව ආදරය කරුණාව මගේ හද පතුල ද යන්තම් කොනිත්තන්නාක් මෙන් දැන් ද දැනේ. නෑදෑකම් අද සමාජයෙන් තුරන් ව යනු සක්සුදක් ව පෙනේ. නෑයෝ සහ වේයෝ එක බැවි තෙසක රියක පිටු පස වූ බව මට මතකය. අද නෑදෑ කම් නාම මාත්‍රිකය. එකල අවුරුද්දට අපි නොවරදවා අපේ අම්මා ගේ ලොකු නැන්දා හෙවත් අපි කියන පරිදි කඩේ ආච්චි ගේ ගෙදර යන්නෙමු. එය හරිම විනෝද ජනකය. ඇය හරිම රසට ආස්මි හදන්නීය. එපමණක් නොව හදිසියකට හෝ ඇගේ නිවස අසලින් අප වෙනත් වැඩකට ගියේ නම්. "උඹ කොහෙද යන්නේ, මෙහෙ වරෙන්" කියා කුඩා අපව නිවසට එක් කරගෙන ගොස් අඩුම තරමේ විස්කෝතුවක් සමඟ තේ බිඳක් හෝ පොවා මිස පිටත් නොකරයි. එහෙත් අද.....? මගේ දියණියන් ගේ ලොකු අම්මා, හෙවත් සොඳුරිය ගේ අක්කා ඇත්තේ බදුල්ලේය. එහේ ගොස් ඒමට අඩු තරමේ දවස් පහකවත් නිවාඩුවක් අවැසිය. එතරම් කල් නිවාඩු අපට නොලැබෙන හෙයින් අප එහි ගොස් ඇත්තේ මෙතුවක් කලට එකම එක වතාවකි. ඒ වතාව දියණියන්ට කෙසේ වෙතුදු අපට ද මතක නැත. එසේ වී නම් ලොකු අම්මා ගේ ආදරය මතක තියෙන්නේ කෙසේද?
2010-09-21
නිලන්ත පියසිරි විසින් 16:05 පැයට
ජැක් ජැක් ප්‍රෝවස්ට්
අපේ දුවනි ගේ ළදරු පාසලේ වසර අවසාන උත්සවයට මේ දින වල දරු දැරියන් පුහුණුව ලබන්නෝය. දුවනිය මේ දිනවල රැගුමක් පා අමුතුම කවියක් කියන්නීය. එය මෙසේ වේ.
"ජැක් ජැක් ප්‍රෝවස්ට්... ජැක් ජැක් ප්‍රෝවස්ට්".
"මොකක්ද දුවනි ඔය සින්දුව" සොඳුරිය අසන්නීය.
"මේක අම්මා මට තියෙන නැටුම" ඇය සුරතල් වදන් දෙන්නීය.
"මොකක්ද ඔය බාසාව, ඔයාවත් දන්නවද මොකක්ද මේ කියන්නේ කියලා" සොඳුරිය මගෙන් අසන්නීය.
මමත් එය නො දන්නනා බැවින් විපිලිසරව බලා හිදිමි. මොකක්ද මේ "ජැක්, ජැක් ප්‍රෝවස්ට්"
දැන් දවස් කිහිපයක් ඔය නාටකය ඔහොම ගියා කියමුකෝ. ඊයේ දුවනි අළුත් ඉල්ලීමක් කළාය.
"අප්පච්චි මට මේ නැටුමට පොල්පිති හරකෙක් හදලා ඕනේ".
දැන් ඉතිං හොයපල්ලාකෝ පොල්පිත්තක්. මතක නොවැ අර පොල්ලෙල්ලක් හොයන්න කාපු වහක්. නමුත් ඒක නොවේ වැඩේ. දැන් මේ පොල්පිති හරකෙක් අරගෙන නටන නැටුම මොකක්ද ජැක්, ජැක් ප්‍රෝවස්ට් කියලා. බැලින්නම් ඒ කවිය එහෙම නෙමේ එන්නේ. "ජඃ, ජඃ, හෝව් වස්සා" කියලයි ඒක කියවෙන්නේ. ඉතිං, වස්සන් ව ජඃ, කියලා එළවන, හෝව් කියලා නවත්තන අයුරු කවදාවත් දැක නැහැ දුවනි. ඔහොම වැකියක් කීම සිනහවට කරුණකුත් නොවේ නොවෙදැයි මට සිතුනි.
2010-09-06
නිලන්ත පියසිරි විසින් 23:27 පැයට
විවාහය ගණුදෙණුවක් වන කල් හී ආදරය
බොහෝ දෙමව්පියන් තම දූ දරුවන් ගේ ආදර මුල් ආදර සම්බන්ධතා දෙස බලන්නේ ඔවුන් ජීවිතයේ ගත කොට ඇති කාලයත් සමඟ සංසන්දනාත්මකව විය හැක. ඔවුන ගේ මානයන් ආදරයේ මානයන් නොවන්නේ මය. ඒවා සමාජිය මානයන් ම වේ. ගෙවල් දොරවල්, මුදල් හදල්, යාන වාහන, වතු පිටි, වැඩ පොල ආදී යුගල පද රැසක් මේ මිනුම් දඩු අතර වුව ද තම දරුවාට මේ සහකරු/සහකාරිය කෙතරම් ආදරේ ද යන්න කොතැනකදී වත් නොසැලකේ.
එහෙත් මෙකල බොහෝ දෙනා විවාහ වනුයේ ඉතාම යොවුන් වයසින් ම නොවේ. ඔවුන් විවාහය පතනුයේ යොවුන් විය ඉක්ම වීමට ඇති අල්ල පනල්ලේ වෙති. මෙහිදී මොවුන් ගේ විවාහයේ මාන වෙනස් ව ක්‍රියා කරයි. පිරිමි ඔවුන් ගේ ජීවිත කඩ ඉම් පැනීමට බිරිඳක් සොයති. දෑවැද්දට ඉහත කී යුගල පද රැසම සොයති. විවාහයේ මූලික උවමනාව කුමක් විය හැකිද? මා නම් සිතන්නෙ ආදරය ලබාදීම හා ආදරය ලැබීම ලිංගිකත්වය හා මුසුව පැවතීම බවයි. එසේ වූ විට ගැහැණියක ගේ රූ සපුව දෙස බොහෝ දෙනෙක් සිත යොමු කරනවාක් මෙන්ම ඇය ගේ ආදරණීය ගති ගුණ දෙසත් සිත යොමු වෙයි. එහෙත් ආදරය ගණුදෙණුවක් ලෙස බලන මෙකල බොහෝ දෙනා ඒ මූලික ගති පසෙක ලන බව හැගේ. සත්ව ලෝකයේ පැවත් ම උදෙසා ගැහැණුන් සහ පිරිමින් එකතු වුවද, තෘප්තිය උදෙසා එසේ බැදෙන්නේ මිනිසා සහ ඩොල්ෆින් පමණක් බව මා කිසියම් තැනක කියැවූ බව මතකය. ගැහැණික ගේ රූ සපුව යනු ඇය දරුවෙකු දැරීමට ඉතාමත් යෝග්‍ය බව පිරිමින්ට පෙන්වන විදිහක් බව මහැඳුරු කාලෝ ෆොන්සේකා විටෙක කීවේය. එළෙසම නිරෝගිමත් පිරිමින් උදෙසා ගැහැණු සිත ඇඳී යාමත් ස්වභාවයේ ම කොටසක් බව ඔහු එහි දී පැවසීය.
එහෙත් අද ආදරයට පමණකුඳු නොව ඒ සොබා පැවත්මට ද මේ විවාහ ගණු දෙනුව පහර දෙන බව හැඟේ. "අයියේ මට, දෑවැද්ද මෙච්චරක් තියෙනවා, මගේ රැකියාව මේකයි. පුළුවන් නම් හොඳ කෙනෙකු හොයලා දෙන්න" කියා එක් නැඟණියක් මගේ යහළුවෙකුට පැවසූ බව ඔහු රාජකාරීයේ දී මට පැවසීය. මේ සියල්ල මට සිතුනේ ඒ එක් වැකියක් නිසාවෙනි. ඇත්තටම ගැහැණු සොයන්නේ ජීවත් වීමට මාර්ගයක් ද නැතිනම් ආදරය ද? එළෙස තමා ගේ පැවත්මට විවාහ වෙන ගැහැණු අර තිස්ස ගේ ආදර වැකිය සංතෘප්ත කරයි ද?
2010-08-22
නිලන්ත පියසිරි විසින් 02:28 පැයට
රෑ ගමනාගමනය
රාත්‍රියේ වීථි සැරීම පරිහානියට කරුණක් බව බුදු දහමේ පරිහානියට කරුණු දැක්වෙන සූත්‍රයක දැක්වේ. එසේ වුවත් රාජකාරිය අනුව නිවාඩු නැති බැවින් රෑ බෝ වී නමුත් බිරිඳ ගේ මුල් ගෙදරට යා යුතු වූ යේ එහි වූ පිං පැමිණ වීමේ දානය නිමාවෙන් පසු දියණියන් නැවත ගෙදර ගෙන ඒමේ උවමනාව නිසාය. රාජකාරි නිමාවෙන් පසු පිටකොටුව බස් නැවතුමෙන් මාතලේ දක්වා යන කිසිඳු බසයක් නොවීය. නුවරට යා හැකි බසයන් ද සිදුරක් නැතුව පිරී තිබුණි. නඟරාන්තර කියන සෑම තැනම නවත්වන බසයක මැද අසුනක බොහෝ අමාරුවෙන් වාඩි වී දෙඟුණයක් මුදල් ගෙවා යන්තම් මහනුවරට එන විට වේලාව රාත්‍රී දහය පසුවී තිබුණි. බස් නැවතුම පුරවා බසයන් ගාල් කර තිබුනත් පොලිස් නිළධාරියෙක් කීවේ ඒවා ගමනේ යෙදෙනු යේ පෙරහැර අවසානයේ බවය. කෙසේ නමුදු විනාඩි 45 කින් පමණ මාතලේ දිවෙන බසයක් බස් ගාලට ආවෙන් මං ඇසල පෙළහරට පිං දෙමින් මාතලේට ආවේ රාත්‍රී 1210 පමණය. අහෝ මේ මාතලේ නඟරය ද?, කිසිඳු මිනිස් පුළුටක් හෝ කිසි තැනක නොමැත. තෙසක රියක පිහිටක් ලැබීමේ අටියෙන් පැමිණි මට මේ වූ යේ කුමක්ද? මා හටම හැර කිසිවෙකුට දොස් කිව නොහැක. යක්කු ගස් යන යාමේ, බසයක් තිබිය යුතු යැයි කියා දොස් නැඟීම අප යකෙකු කරනු ලබයි. තෙසක රිය පදවන්නෝ ද මිනිසුන් බැවින් රැයේ ඔවුන් නින්ද ලැබිය යුතුම වෙයි. කිසිවෙකුට දොස් නොකියා මම පයින් ම ගමන ඇරඹුවෙමි. විථි ලාම්පු නැති බැවින් බොහෝ විට පැමිණියේ ජංගම දුරකතනයේ පිහිටෙනි. කි.මි. 8 ක් පමණ පැය දෙකකින් පමණ ගෙවා දමා ගෙදරට ගොඩ වූයෙමි. මා එන තුර සොඳුරිය ඇහැර සිටි බව කේන්ති ගිය මුහුණෙන් පෙනුනි. එහෙත් මහන්සිය සහ අමාරුව, නිදා සිටි කුඩා දියණියන් දැක්මෙන්ම මිදී ගියේය.
"අප්පච්චි හොරෙන්ම ඇවිත් නිදා ගෙන නේද? මං දැක්කා" දියණිය උදයේ මා ඇහැරවිමින් කියන්නීය.
"පයින්ම ඇවිත් කකුල් රිදෙනවාද?" අම්මා අසන්නීය.
මගේ සිත තුල ආදරය දෝරේ ගලා යයි.
"නෑ මට ගානක් නැහැ" මම කීවෙමි.
2010-08-15
නිලන්ත පියසිරි විසින් 23:37 පැයට
අවිවේකී ආදරය
මා මීට පෙර කී පරිදි, නිවසේ සිට රාජකාරියට සහ රාජකාරියේ සිට නැවත නිවසට පැමිණෙන විට, බොහෝ විට ජංගම දුරකතනය තුලින් කුමක් හෝ සවන් දිය හැකි පොතක් (audio book) අසමින් ගමනේ යෙදෙමි. අවසන් වරට සවන් දුන් පොතේ වූ වැකියක් මාව අදහස් මාවත් කිහිපයක ගෙන ගියේය. ඒ වැකිය නම් "Happy couples spend some quality time together" යන්නයි.
විවාහයට පෙර අඩුම තරමේ සතියකට වරක් වත් හමු වී පැය දෙක තුන කතා කරන යුවලකට විවාහයෙන් පසුව එසේ අඩුම තරමේ පැය කාලක් වත් කතා කිරීමේ නිදහස තිබේද? ආදරයෙන් තුරුලු වී, මහත් වූ සිහින රජයන් සදන යුවල කීයක් විවාහයෙන් පසුව වසර පුරාවටම එසේ සිහින රජයන් සදන්න ආදරයෙන් තුරුලු වී කතා කරමින් සිටින්නේද?
ධනාත්මක චින්තනය, S 5 හෝ වෙනත් ඕනෑම කාර්යක්ෂමතාවය ඉහල නංවන ක්රියාකාරීත්වයන් ගැන කතා කරන බොහෝ දෙනෙකු විවාහය ගැන සිතන්නේ දියුණු වීමේ ගණුදෙනුවක් ලෙසිනි.
"බිරිය ගෙන් මට ලැබුණු දෑවැද්ද මෙපමණ වූයේ නම් මගේ මේ තියෙන පළමු වෙනි ප්‍රශ්ණය ඉවරයි"
ඒ එක්තරා මුදල් අරමුණු කරගත් අයෙකුගේ අදහසක් ය.
"අපේ husband ගේ දැනුම පාවිච්චි කරලා හොඳට හම්බ කරන්න පුළුවන් අනේ, ඒත් එයාට උවමනාවක් නැහැනේ"
ඒ තවත් දියණුවෙන බිරියක ගේ වචනය. ඇත්තෙන් ම දියුණුව තුළ ආදරයට තැනක් නැතිද?
උදයේ පාන්දරම වෙහෙස වී කෑම පිළියෙල කරන බිරිය ඉසුරු සොයන්නට රාජකාරියට ඇදෙන්නේ තමන් ගැහැණියක් වීම ගැන පිරිමින්ට දෙස් දෙවොල් තබමින් විය හැකිය. ඇය සවස නිවසට පා තබන්නේ හෙම්බත් වී නමුදු දරුවන් ගේ රෑ කෑම පිළියෙළ කොට ළමුන් හැඩි කොට ඇති නිවස නැවත සකසා තවමත් කිරි ඉල්ලා අඩන දරුවාට කිරිපොවා, ඊලඟ දිනයේ රාජකාරිය ගැන මෙනෙහි කරන ඇයට තම සැමියා ගෙන් රාජකාරී අමාරුදැයි අසා සිත සනසන්නට ඉඩක් වේලාවක් නොමැත. ඇයට ලබා ගත යුතු එකම කායික සන්තර්පණය නම් නින්දයි. තමා මෙන්ම රැකියාවක් කරන සැමියා තමුන්ට සාපේක්ෂව වෙහෙසක් නොදරන බව ඇයට දැනෙයි. මෙගාලිතික යුගයේ නිවසට වී සිට බිරිඳ ගේ සැමියා අඬු බඬු කඩාගෙන සතෙක් එලාගෙන නිවසට එනවා දකින සතුට අදීන බිරිඳට අත්විදිය නොහැකිය. මක් නිසාද යත් බිරිඳ රාජකාරී නොකළහොත් සතයක් ඉතුරු කරනවා තියා ජීවත් වීමටත් මුදල් මඳය.
බිරිඳ ගේ වෙහෙස සලකා බැලීමේ දී සැමියා ගේ දියුණුව සඳහා දැරෙන වෙහෙස මඳය. එබැවින් ඇය තව අපේක්ෂා කරන්නීය. ඔවුනොවුන් කතා නොකරති. කතා කරමින් ගත කරන්නට වෙලාවක් නැත, පවුලක් ලෙස දියුණු විය යුතුය. ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, දැසි දසුන්, මෙකී නොකී සියළු දෑ අප ලඟා කරගත යුතුය. එහෙත් විවාහ වී සිටින අප එකිනෙකාට ලඟා නොවිය යුතු වේ. එසේ ආදරයෙන් සිටීමට අපට වෙලාවක් නැත. එහෙත් නැවත ඉහත කී වැකිය කියැවෙයි. "Happy couples spend some quality time together". දැන් මගේ සිත තවත් චිත්ත වීදියක දුවයි.....
2010-08-10
නිලන්ත පියසිරි විසින් 23:32 පැයට
කාය බර දසුන සහ කෑම
කාය බර දසුන නොහොත් ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් body mass index අනුව සාමාන්‍ය බරක් වීමට මගේ තිබිය යුතු ප්‍රමාණය වනුයේ 24.9 කි. එහෙත් දර්ශකයේ දැනටමත් මගේ 28.0 පෙන්නුම් කරනු ලබයි. එනම් මා විසින් මගේ ශරීරයේ බර අඩු කළ යුතුය. එසේ නැති වුවහොත් බටහිර වෙදකමේ දිව පැටලෙන දහසකුත් ලෙඩ රෝග මා වෙත පැමිණීමේ ඉහළ සම්භාවිතාවක් වේ. ඉහත දැක්වූ දර්ශකයේ සාමාන්‍ය බරකට පැමිණීම සඳහා තව කිලෝ 9 කින් වත් බර අඩු කළ යුතු වේ. දැන් කොහොමද මේක කරන්නේ.
උදෙන්ම රජෙක් වගේ කන්න ඕනෙ කියලා හාමිනේ බෙදලා දෙන බත් පිඟානම දෙසා බානවා. ඒ මඳිවාට උස්සගෙන යන්න බැරි තරම් බරට බත් ගෙඩියකුත් බැඳලා දෙනවා රාජකාරියේ දී කන්න කියලා. බැණ, බැණ යන්නේ මේකේ බර කියලා. ගිහින් ඔපීසියේ, පිරිගණනය ඉස්සරහින් වාඩි වුනාහම වතුර ටිකක් වත් පෙවෙන්නේ නැහැ. ඔන්න දවල් කෑම වෙලාව එනවා. අපරාදේ කියන්න බැහැ, හාමිනේට රසට උයන්න නම් පුළුවන්. ඉතිං බත් ඇටයක් ඉතිරි වෙන්න නැතිවෙන්න දවල් බත් ගෙඩියටත් වග කියනවා. ආයෙත් ඔපීසියේ පිරිගණනය ඉදිරියේ පුටුව උඩ ඉතිරි කාලය ගත කරලා හැන්දෑවට ගෙදර එනවා. ගෙදර ආපු ගමන් ඔන්න අඩුම ගානේ විස්කෝතුවක් වත් හරහා පිශ්ඨය තව ටිකක් ඇඟට දාගෙන තේ බොනවා. ඒ එක්කම වැඩි වෙලාවක් නැතිව රෑට කෑම. අද රෑට නම් හිඟන්නෙක් වගේ කන්න ඕනේ කියලා, පොඩ්ඩක් කාලා පැත්තකට වුනොත් හාමිනේ ගේ මූණ හරි නැහැ.
"කෑම රස නැතිද?"
"නෑ එහෙම නෙමේ, මං මේ හිතුවේ බර ටිකක් අඩු කර ගන්න"
"ඔය බොරු, එහෙනම් වෙනදට කෑවේ, අද කෑම රස නැතිද කොහෙද?"
ඒ වැඩෙත් හරි යන්නේ නැහැ. කොහොම කොහොම හරි දර්ශකේ 30 පැන්නොත් නම් අතිශය අවදානමක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේක හරි යන්නේ නැහැ, එහෙනම් ව්‍යායාම ටිකක් වත් කරන්න ඕනේ.
"කෝ මගේ තිබුණු, කැන්වස් සපත්තු දෙක"
"ඔයා ඒක දාන්නේ නැති නිසා, 5 S සංකල්පේ යටතේ විසිකරලා දැම්මා"
දුවන්න නම් සපත්තු දෙකක් ගන්න ම ඕනේ, හැන්දෑවක ගියා සපත්තු කඩේකට. ඔය තියෙන්නේ පාසල් කාලේ දමාපු, ඒ කාලේ වැඩිය කැමැති නැති, කැන්වස් ජෝඩු.
"කීයද මේක?"
"සර්, ඕක රුපියල් එක්දහස් පන්සීයයි"
"නැහැ, මං ඇහුවේ මේකේ ගාණන"
"ඕක තමයි සර් මම කිව්වේ"
බුදු අප්පච්චියෝ, ඒ කාලේ නිකං වත් දමාපු නැති, කැන්වස් වලට දැන් ගිය කලක්?
"සර්, මොකද ඩෙනිමට දාන්න ද?"
"ඩෙනිමට නෙමේ, මේ දුවන්න දාන්න"
"දැන් වැඩේ සර් මේවා ඔක්කොම ඩෙනිමට දානව නේ, ඒ නිසා ටිකක් මිළ අධිකයි"
එවා යේ ගණන ඇසූ සැණින් නම් මට හොඳ දාඩියක් පිට වෙනු දැනුණි. එහෙම හරි දාඩිය පිට වෙලා දර්ශකේ පහල ගියොත් නම් හොදයි කියා මට සිතුණි.
2010-07-30
නිලන්ත පියසිරි විසින් 15:38 පැයට
නපුරු නයා
ඊයේ රෑ නින්දට පෙර දුවනිට කියැවූ කතන්දරයේ වූ යේ නපුරු නයෙක් කාක්කෝ දෙපළක ගේ බිත්තර කන බැවින් එය වලක්වා ගැනීමට කපටි නරියෙකු ගෙන් උපදෙස් ලබා ගෙන රටේ රජු ගේ අග බිසව නාන තොටුපලෙන් මාලයක් ගෙනවුත් නයා ගේ බෙනය ඉදිරි පිට දැමූ පසු රාජ සේවකයෝ අවුත් නයා මැරූ බවට කියැවෙන කතාවකි.
අද උදයේ පෙර පාසල් යෑමට කෑම කවන වේලේ,
"අප්පච්චි, මම තමයි නපුරු නයා" යැයි දුවනි කීවාය.
"ඒ මොකද දුවනි?" මම ඇසුවෙමි.
"ඇයි, අර ඊයේ රෑ කියපු කතාවේ ඉන්න නපුරු නයා" ඇය කියන්නීය.
"හැමෝම කැමති, හොඳ කෙනෙක් වෙන්න නේ, ඇයි ඔයා නපුරු නයා වෙන්නේ?"
"ඉතිං, දැන් මං කන්නේ බිත්තර නේ, ඒ නිසා මම නපුරු නයා"
ඒ වේලාවේ මම ඇයට කවමින් සිටියේ බත් සමඟ බිත්තරයකි. අපූරුයි නොවැ පොඩි වුනත් තර්කය... මම සිතුවෙමි.
2010-03-05
නිලන්ත පියසිරි විසින් 12:56 පැයට
තරඟයට ඇතුල්වීම
ඊයේ කුඩා දුවනි ගේ ළදරු පාසලේ ක්‍රීඩා උත්සවය පැවත්වීය. "මම දුවනවා බලන්න අප්පච්චිත් එනවා නේද?" ආදි වශයෙන් වූ ආල වඩන කතා වලට ප්‍රතිචාර ලෙස මම එය බැලීමට ගියෙමි. එය අපූරු උත්සවයක් විය. තිබූ කිසිදු තරඟයක කිසිම තරඟයක් නොවීය. ඔවුන්ට ඉලක්කයකට දිවීමට කියා තිබූ මුත් ඔවුන් කිසි දෙයකට නො දිවූහ. දුවන තරඟ අතර මඟ ඔවුන් කතා කරමින් සෙමෙන් ගියහ. තරඟය අතර මඟ අයෙක් වැටුන කල සැවොම වට වූහ. ගුරුවරු ඔවුන්ට දුවන ලෙස කීහ. එහෙත් තරඟය ගැන ඔවුනට කිසිදු අවබෝධයක් නොවීය.
මා සිතුවේ, අප මේ කරන්නේ ඔවුන් මේ සුන්දර ලෝකයෙන් මුදවා තරඟකාරී, ගැටුම් කාරී, වේගවත් ලෝකයට ඇතුලත් කිරීම නොවෙද? අනෙකා පැරදවීමේ අදහස, යටපත් කිරීමේ අදහස කුඩා මනස් තුළට එබීම නොවෙද? මේ සුන්දර සිනහ පිරුණ ලෝකය, තරහව, කේන්තිය, ක්‍රෝධය පිරුණ තැනකට ගෙනයාම නොවෙද?
එසේම කිසිදු දරුවෙකුට තරඟකාරී නොවී මෙකල ජීවත් විය හැකිද? පුර්ව ළමාවිය සංවර්ධන ක්‍රමවේද අනුව ළදරු පාසල් වල අකුරු ලිවීම, කියැවීම ආදිය නොකෙරෙන බව දැන ගන්නට ලැබුනි. ඒවා ඉගැන්වෙනුයේ පාසලේ දී බවයි කියැවෙන්නේ. ඉදින් අපේ දුවත් ගී ගැයීම්, පරිප්පු ඇට ඇලවිලි, චිත්‍ර ඇදිලි ආදිය ළදරු පාසලේ දී උගැනුම ලැබුවත් තවම අකුරු ලිවීමට නොදන්නීය. එහෙත් වෙනත් ළදරු පාසලකට යැවෙන මගේ මිතුරා ගේ දුව ට එම පාසලේ ළදරු ක්‍රියාකාරකම් වලට වඩා අකුරු ලිවිම්, කියැවීම් (අළුත් ම දේ "elocution") ආදිය කෙරේ. පසුව මේ දරුවෝ දෙදෙනාම පාසලට යාමට වූ කල අපේ දරුවා පසු පසට නොයා ද? ඔවුන් කියන ආකාරයට පූර්ව ළමාවිය සංවර්ධන ඉලක්ක සැපූරූ මුත් මේ දිවෙන තරඟයේ අපේ දරුවා තැබෙනුයේ කොතනද?
2010-02-08
නිලන්ත පියසිරි විසින් 22:11 පැයට
කිරි අම්මාවරුන් ගේ දානය
දුවනි ගේ 4 වෙනි උපන් දිනය පසු ගිය 7 වෙනිදාට යෙදී තිබුණි. එදිනට කිරි අම්මාවරුන් ගේ දානයක් ලැහැස්ති කරන ලද්දේ සොදුරිය ගේ සහ අපේ අම්මා ගේ යෝජනාවක් අනුව ටික දිනකට ඉහත දිය. සමහර පලාත් වල නම් කිරි අම්මාවරුන් ගේ දාන නොමැති බව කියැවේ. එත් කුඩා කල පටන් මට නම් කිරි අම්මාවරුන් ගේ දාන හුරුය. සමහර විටෙක කිරි අප්පා කියා කුඩා ලමයෙකු ද මෙයට සහභාගී කරවනු ලැබේ. මා කුඩා කල වරෙක් එලෙස දානයකට සහභාගී වූ බව මතකය. පත්තිනි අම්මා යැයි හැදින්වෙන දේවතාවියක් මුල් කරගෙන මෙම දානය පැවැත්වේ. කැවිලි වර්ග හතක්, හත බැගින්, අඹ ගෙඩි හතක්, කිරි මුට්ටි හතක්, තැඹිලි ගෙඩි හතක් ආදී වශයෙන් නම් කෙරුනු සහ පිළිගත් කෑම වර්ග පමණක් මෙහිදී පූජා කරනු ලැබේ.
කෙසේ වෙතත් දුවනිව පාන්දර 4 ට ඇහැරවා ගැනීම තමයි අමාරුව වුනේ. එහෙම ඇහැරවා ගත්තත් ගාථා කවි කියලා ඉවර වෙනකම් එකතැන රඳවා ගැනීම ඊට වඩා අමාරුයි. කෙසේ නමුත් කිරි අම්මාවරුන් ගේ දානය හොඳට සිද්ධ වුනා. ඇත්තටම දානයකට පස්සේ හිතට හරි සහනයක් දැනෙනවා. ඉතිං දුවනි ගේ උපන් දිනයට මෙය හැර සාදයක් පැවැත්වුවේ නැහැ. දුවනි නම් කියන්නේ "අප්පච්චි මේ මගේ උපන් දින දානය" කියලයි. උපන් දින සාදය කියනවා ට වඩා ඒක අපූරුයි කියලයි මට හිතෙන්නේ.
කොහොම වෙතත් උදේ පාන්දර පින්නේ නටලා නැවත දුවනි හෙම්බිරිස්සාවක් සහ කැස්සක් හදා ගෙන. දැන් ආයෙත් කිරි අම්මාවරුන් ගේ දානයක් බාරයක් ගැට ගහන්න වෙලා තියෙන්නේ ඒක හොඳ වෙන්න කියලා. අම්මයි නැන්දම්මයි දෙන්නා එකතු වෙලා දැනටමත් එහෙම කරලා ද දන්නෙත් නැහැ.
කෙසේ වෙතත් දුවනිව පාන්දර 4 ට ඇහැරවා ගැනීම තමයි අමාරුව වුනේ. එහෙම ඇහැරවා ගත්තත් ගාථා කවි කියලා ඉවර වෙනකම් එකතැන රඳවා ගැනීම ඊට වඩා අමාරුයි. කෙසේ නමුත් කිරි අම්මාවරුන් ගේ දානය හොඳට සිද්ධ වුනා. ඇත්තටම දානයකට පස්සේ හිතට හරි සහනයක් දැනෙනවා. ඉතිං දුවනි ගේ උපන් දිනයට මෙය හැර සාදයක් පැවැත්වුවේ නැහැ. දුවනි නම් කියන්නේ "අප්පච්චි මේ මගේ උපන් දින දානය" කියලයි. උපන් දින සාදය කියනවා ට වඩා ඒක අපූරුයි කියලයි මට හිතෙන්නේ.
කොහොම වෙතත් උදේ පාන්දර පින්නේ නටලා නැවත දුවනි හෙම්බිරිස්සාවක් සහ කැස්සක් හදා ගෙන. දැන් ආයෙත් කිරි අම්මාවරුන් ගේ දානයක් බාරයක් ගැට ගහන්න වෙලා තියෙන්නේ ඒක හොඳ වෙන්න කියලා. අම්මයි නැන්දම්මයි දෙන්නා එකතු වෙලා දැනටමත් එහෙම කරලා ද දන්නෙත් නැහැ.
2010-01-29
නිලන්ත පියසිරි විසින් 23:25 පැයට
විද්දේ ගොනාට වැදුනේ හාවට
පසු ගිය කාලයේ, එක්තරා අපේක්ෂකයෙකු ගේ ලිංගික ජීවිතය පවා තුරුදැලේ පටන් කුඩා පොත් පිංචවල් දක්වා පල කෙරුණි. සමහරෙක් එය මඩ යැයි කියන කල්හී, එය එසේ නොවන බව කී අය ද සිටියහ. ඇත්තෙන් ම මිනිසෙකු ගේ ලිංගික ජීවිතය සහ රුචි අරුචි කම් ඔහු ගේ දෙස්පලු කිරියාවට බලපානු ලබත් ද? නමුත් මගේ මේ සටහන ඒ පිළිබඳව නොවේ. එලෙස මෙම අපේක්ෂකයා ගේ ගැහැණු ලැයිස්තුව නම් ගම් පවා හෙලිකරමින් පරසිඳු විය. එහි නම් සඳහන් කිහිප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙනා අවිවාහක වෙත්. මෙලෙස නම් සඳහන් වුනු එක් කතක ගේ පුතු පාසල් යාම පිළිකෙව් කරයි. ඒ පාසලේ ළමුන් ගෙන් වන අවමාන නිසාය. අවමන් කිරීමට උත්සහ කළේ කා හටද, එහෙත් ජීවිත කාලයටම විදවන්නේ කවුරුද?
2010-01-19
නිලන්ත පියසිරි විසින් 22:07 පැයට
ආදර සොදුරිය
සරණ යන්නට පෙර පෙමෙන් බැඳුන කාලයේ තම සොඳුරිය ගැන කෙතරම් සිහින මවනවාද? ඇය හා ජීවත් වන හැටි ගැන කෙතරම් සැලසුම් සදනවාද? ඒ සියල්ලම සැපිරෙනවාද? බොහෝ විවාහක අය නැතැයි කියනු ඇත. ඇත්තෙන් ම ජීවිතයේ සෑම සිහිනයක් ම එපරිද්දෙන් ම නොසපිරෙන බැවින් එය ද එසේ ම විය යුතුය. එහෙත් මා නම් සිතන්නේ සරණ යන්නට පෙර තිබූ ආදරයට වඩා ආදරයක් තම බිරිඳ ගැන විවාහයන් පසු සිදු වන බවයි. එසේ ආදරයක් නොසිතෙන්නේ නම් ඒ ඈ ගැන නොසිතන නිසයි. උදයේ අවදි වූ වේලාවේ ලැබෙන තේ කෝප්පයේ පටන්, රැයේ නින්දට යන කල ලැබෙන පොරෝනය දක්වා ඇගෙන් ලැබෙන්නේ ආදරය හැර වෙන කිසිවක් නොවේ. පිරිම් අප කෙතරම් ඇයට උදව් කළත් ඇයගෙන් තොර පවුලක් ගැන සිතිය හැකිද? උදයේ රැයින් නැඟිට කෑම පිළිවෙල කොට, දූ වරුන් පුබුදුවා, සෝදා පිරිසිඳු කොට, ඇඳුම් අන්දවා, කෑම කවා, සැමියාට කෑම පිළිවෙල කොට, රැකියාවට ගෙන යාම සඳහා කෑම සකසා ඇයද රැකියාව සඳහා පිටත් ව යන්නීය. සැදෑවේ, තම සැමියා ට පළමුව නිවසට සේන්දුව, නැවත කෑම පිළිවෙල කොට, දරුවන්ට කවා, ඔවුන්ව නින්දට යන තෙක් නොව තම සැමියාද නිදියහනට යන තෙක්ම ඇය කිසිඳු ඉසඹුවක් ලබන්නේ නොවේ. ඇය මහන්සිය නොහදුන්නී මෙන් රැයේ තුරුළුව මෙසේ අසන්නීය.
"ඔයා ඉස්සර වගේ ම මට ආදරෙයි ද?"
"නැහැ" මම පිළිවදන් දෙමි.
"ඇයි ඒ?" ඇය වික්ෂිප්තව හිස ඔසවා මා දෙඇස් දෙස බලන්නීය.
"ඉස්සරට වඩා ආදරෙයි"
"ඔයා ඉස්සර වගේ ම මට ආදරෙයි ද?"
"නැහැ" මම පිළිවදන් දෙමි.
"ඇයි ඒ?" ඇය වික්ෂිප්තව හිස ඔසවා මා දෙඇස් දෙස බලන්නීය.
"ඉස්සරට වඩා ආදරෙයි"
Subscribe to:
Posts (Atom)
