2010-08-10

නිලන්ත පියසිරි විසින් 23:32 පැයට
2

කාය බර දසුන සහ කෑම

කාය බර දසුන නොහොත් ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් body mass index අනුව සාමාන්‍ය බරක් වීමට මගේ තිබිය යුතු ප්‍රමාණය වනුයේ 24.9 කි. එහෙත් දර්ශකයේ දැනටමත් මගේ 28.0 පෙන්නුම් කරනු ලබයි. එනම් මා විසින් මගේ ශරීරයේ බර අඩු කළ යුතුය. එසේ නැති වුවහොත් බටහිර වෙදකමේ දිව පැටලෙන දහසකුත් ලෙඩ රෝග මා වෙත පැමිණීමේ ඉහළ සම්භාවිතාවක් වේ. ඉහත දැක්වූ දර්ශකයේ සාමාන්‍ය බරකට පැමිණීම සඳහා තව කිලෝ 9 කින් වත් බර අඩු කළ යුතු වේ. දැන් කොහොමද මේක කරන්නේ. 
උදෙන්ම රජෙක් වගේ කන්න ඕනෙ කියලා හාමිනේ බෙදලා දෙන බත් පිඟානම දෙසා බානවා. ඒ මඳිවාට උස්සගෙන යන්න බැරි තරම් බරට බත් ගෙඩියකුත් බැඳලා දෙනවා රාජකාරියේ දී කන්න කියලා. බැණ, බැණ යන්නේ මේකේ බර කියලා. ගිහින් ඔපීසියේ, පිරිගණනය ඉස්සරහින් වාඩි වුනාහම වතුර ටිකක් වත් පෙවෙන්නේ නැහැ. ඔන්න දවල් කෑම වෙලාව එනවා. අපරාදේ කියන්න බැහැ, හාමිනේට රසට උයන්න නම් පුළුවන්. ඉතිං බත් ඇටයක් ඉතිරි වෙන්න නැතිවෙන්න දවල් බත් ගෙඩියටත් වග කියනවා. ආයෙත් ඔපීසියේ පිරිගණනය ඉදිරියේ  පුටුව උඩ ඉතිරි කාලය ගත කරලා හැන්දෑවට ගෙදර එනවා. ගෙදර ආපු ගමන් ඔන්න අඩුම ගානේ විස්කෝතුවක් වත් හරහා පිශ්ඨය තව ටිකක් ඇඟට දාගෙන තේ බොනවා. ඒ එක්කම වැඩි වෙලාවක් නැතිව රෑට කෑම. අද රෑට නම් හිඟන්නෙක් වගේ කන්න ඕනේ කියලා, පොඩ්ඩක් කාලා පැත්තකට වුනොත් හාමිනේ ගේ මූණ හරි නැහැ.

"කෑම රස නැතිද?"
"නෑ එහෙම නෙමේ,  මං මේ හිතුවේ බර ටිකක් අඩු කර ගන්න"
"ඔය බොරු, එහෙනම් වෙනදට කෑවේ, අද කෑම රස නැතිද කොහෙද?"

ඒ වැඩෙත් හරි යන්නේ නැහැ. කොහොම කොහොම හරි දර්ශකේ 30 පැන්නොත් නම් අතිශය අවදානමක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේක හරි යන්නේ නැහැ, එහෙනම් ව්‍යායාම ටිකක් වත් කරන්න ඕනේ. 

"කෝ මගේ තිබුණු, කැන්වස් සපත්තු දෙක"
"ඔයා ඒක දාන්නේ නැති නිසා, 5 S සංකල්පේ යටතේ විසිකරලා දැම්මා"

දුවන්න නම් සපත්තු දෙකක් ගන්න ම ඕනේ, හැන්දෑවක ගියා සපත්තු කඩේකට. ඔය තියෙන්නේ පාසල් කාලේ දමාපු, ඒ කාලේ වැඩිය කැමැති නැති, කැන්වස් ජෝඩු. 

"කීයද මේක?"
"සර්, ඕක රුපියල් එක්දහස් පන්සීයයි"
"නැහැ, මං ඇහුවේ මේකේ ගාණන"
"ඕක තමයි සර් මම කිව්වේ"
බුදු අප්පච්චියෝ, ඒ කාලේ නිකං වත් දමාපු නැති, කැන්වස් වලට දැන් ගිය කලක්? 

"සර්, මොකද ඩෙනිමට දාන්න ද?"
"ඩෙනිමට නෙමේ, මේ දුවන්න දාන්න"
"දැන් වැඩේ සර් මේවා ඔක්කොම ඩෙනිමට දානව නේ, ඒ නිසා ටිකක් මිළ අධිකයි"

එවා යේ ගණන ඇසූ සැණින් නම් මට හොඳ දාඩියක් පිට වෙනු දැනුණි. එහෙම හරි දාඩිය පිට වෙලා දර්ශකේ පහල ගියොත් නම් හොදයි කියා මට සිතුණි.

2 අදහස් දැක්වීම්:

මාරයාගේ හෝරාව said...

හප්පොච්චියේ මාත් දුවන්න කියලා හිතාගෙන සපත්තු ජෝඩුවක් ගෙනාවෙ අප්‍රියෙල්වල..එදා ගෙනත් දාලා බැළුවා විතරයි තාම ඒක කාමරෙ මුල්ලේ..
ඉතින් හරියැයියෑ...මගේත් බර වැඩි වෙගන එනවා වගේ...

Chanaka Aruna Munasinghe said...

ඇවිදින්න. ඒකට අමුතු ඇඳුම් ඕනෙ නෑ. වැඩිය මහන්සි වෙන්නෙත් නෑ. හැබයි දුවනවට වඩා වැඩිපුර වෙලාවක් ඇවිදින්න ඕනෙ