Showing posts with label බස. Show all posts
Showing posts with label බස. Show all posts

2010-03-12

නිලන්ත පියසිරි විසින් 12:24 පැයට
7

චොකා මල්ලී සහ වෙනත් දෑ

කාලෙකින් දින සටහන ලියන්න අතපසු විය. පසු ගිය දින කිහිපය පුරාම නිවනක් නැතිව වැඩ කළෙමි. ඒ ඒ දින වල ලිවීම සඳහා නොයෙකුත් දෑ සිතට ආවත් ඒවා යුනිකෝඩ් අකුරු බවට හැරවීමට වේලාවක් නොමැති විය. 
 
චොකා මල්ලීට මනාපයක් පළ කරන ලෙස ඉල්ලා දැන්වීමක් පාරේ ගිය වාහනයක ගසා තිබෙනු දුටිමි. "චොකා මල්ලී" යන නම දුටු වහාම මගේ සිත අමුතුම ආකාරයේ අපුලකින් පිරී ගියේය. ඒ නමින් ගම්‍ය වූයේ යම් ආකාරයක පහත්, නොවැදගත් බවකි. (නමකින් පහත් හෝ නොවැදගත් බව නොමැනිය හැකි මුත්).

බසෙහි කුණු හරුප යැයි සම්මත වචන, සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන අයවළුන් සිටිති. එසේ අසා පුරුදු නැති අය එවැන්නෙකු ගේ කතාවක් ඇසූ කල එකවරම පුදුමයටත් ලැජ්ජාවටත් පත් වෙති. තෙසක රියදුරන්, පදික වෙලෙන්දන් කුණු හරුප කියන්නේ පාරේ ගමන් කරන්නේ කුඩා ලමුන්ද වත් නොසලකාය. බසය තුල බස් පල්ලා (කොන්දොස්තර) සමඟ සටන ඇරඹූ කල දිනන්නේ අනවතර ලෙස එකිනෙක ගැළැපී කුණු හරුප ගලා එන්නාය (බොහෝ විට බස් පල්ලා).

ටෙලි නාට්‍ය යැයි කියන රූපවාහිනී වැල් වල මෙවැනි රස්තියාදුකාර වචන දොඩවන්නෝ බොහෝ වෙති. එවැනි චරිත ජන(අ)ප්‍රියව ඇති බැව් කියැවේ. කුඩා ළමුන් සමඟ රූපවාහිනියක් නම් මෙකල නැරැඹිය නොහැක. 

අප ළමුන් ට මේ නරක යැයි සම්මත වදන් අසන්නට නොසලස්වන්නේ ඇයි? මේ වචන ඔවුන් දැනගත යුතු නැතිද? ඒවා දැනගැනීමට ඔවුනට නිදහසක් දිය යුතුද? ඒ ඒ ජන කොට්ඨාශ අනුව, පලාත් අනුව වදන් නිමැවේ. මුඩුක්කු නිවාස ආශ්‍රිතව කතා කෙරෙන බස නරක යැයි සමහරෙක් කියති. 

නරක බස හොඳ බස වෙන් කරන්නේ කොතනින්ද? වරෙක මා මල්ලීට "තමුසේ, ඕයි" ආදී වචන වලින් කතා කළැයි කියා අම්මා මා හට හොඳ හැටි තැළුවාය. සමාජ සම්මතයන් වදන් වලට බලපානුයේ අමුතුම ලෙසය. එය නීතිය මෙන් නම් නොවේ.

ඉතින් ඔබෙන් "චොකා මල්ලී" ඡන්දය ඉල්ලුවේ නම් ඔබ ඔහුට මනාපය ලබා දෙන්නේ ද?