Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts
2012-11-09
නිලන්ත පියසිරි විසින් 15:37 පැයට
17
මෙහෙමද යකෝ බටු උයන්නේ....?
මේක මට සිදුවුනු බොහොම පරණ සිද්ධියක්. මේ ලඟදී මතක් වුනේ අපේ දිවා කෑම පැයේදී. මා ගෙදරින් ගෙනා කෑම පතේ තිබූ පොලොස්, එදින මා සමඟ කෑම කෑ මා ගේ සඟයා ගේ කඩෙන් ගත් කෑම පතේ තිබූ පොලොස් වලට වඩා තැම්බී නොතිබීමයි.
එකල මා විවාහ දිවියට ආ මුල් දවස්. මගේ සොඳුර ඉතිං ඒ දවස් වල එච්චර කෑම හදන්න දන්නේ නැහැ. (දැන් ඉතිං දන්නවා කියන්න එපැයැ නැත්තනම් ..... දන්නවානේ) කොහොම නමුත් ඒ දින වල මට මා සේවය කළ තැනෙන් පිට වෙනත් තැනක පිරිගණන පාඨමාලාවක ඉගැන්වීමට යෙදුනා. ඉතිං සොදුරිය උදයෙන් ම නැඟිට පිළියෙල කළ බත් පත රැඟෙන ඔන්න එතැන ට ගියා. උදේ වරුවේ ඉගැන්වීමෙන් පසු ඔන්න දහවල් කෑම. දන්නවනේ එතැන හිටපු ඔය පරිපාලන වැඩට ආපු තවත් කෙනෙක් එක්ක කෑමට ගියා. ඔහු කෑම අරගෙන තියෙන්නේ එතැන තිබුනු අවන් හලෙන්. ඔන්න ඉතිං එක එක ව්‍යාංජන හුවමාරු කර ගත්තා. මගේ සොඳුරිය උයලා තිබුනා එළ බටු. මටත් ඔය ඉතිං ඒ දවස් වල කෑම ගැන එච්චර තැකීමක් නැහැ ඉතිං, දන්නවනේ බැඳපු අළුත, හැම දෙයක්ම රසයි නොවැ. මමත් එළ බටු ටිකක් අර යාළුවාට දැම්මා. (යහළුවා කිව්වට පොඩ්ඩක් අපිට වඩා ජ්‍යේෂ්ඨයි) එයා ගේ කෑම එකෙත් එළ බටු තිබුණා. ඔන්න ටික වෙලාවක් යනකොට මෙයා කියනවා.
"මේ බලපං මුන් බටු උයලා තියෙන හැටි, ඇටත් එක්ක, මෙහෙම බටු උයන රටක් තියෙනවද? මුන් ගේ අම්මලාට........ මට හිතයි ගිහින් දෙකක් කථා කරන්න".
මම හිමිහිට මගේ කෑම පතේ බටු ගැන බැලුවෙමි. අපොයි මේ මගේ සොඳුර පිසූ බටු නොවැ.
"හරි හරි, ඕව් එච්චර ගණන් ගන්න එපා" මම ඔහුව අස්වැසුවෙමි. හැබැයි ගෙදර ඇවිත් සොඳුර නිවැරදි කිරීමට ත් නොගියෙමි. ඇය මෙය කියවන්නේ නම් දන්නවා මිස මෙතෙක් ඇය මේ සිද්ධිය දන්නේද නැත.
2012-10-12
නිලන්ත පියසිරි විසින් 10:57 පැයට
ඒ මාර ගහේ මුල්
කාර්යාලයෙන් ඊයේ මට නියම වී තිබුනේ යම් වැඩ මුළුවකට සහභාගී වීමටයි. එය තිබුනේ කොළඹ පුර හල පෙදෙසේ බැවින් බසයෙන් බැසි මම විහාර මහා දේවී උයන මැදින් එතැනට ලඟ වීම පහසු බැවින් ඒ හරහා ගියෙමි. අද මේ උයන මට එතරම් නුහුරු වුව ද මා පිය සොඳුර සමඟ පෙම් කරන සමයේ මේ උයන මට ඉතාමත් හුරු පුරුදු විය. අප නිරන්තරව යන මාර ගසක බංකුවක් මෙන් වූ මුලක් විය. මා එය පහු කරද්දී මට නිතැතින් ම එතැන බැලුන කල මා දුටුවේ අප එකල වාඩි වි සිට තැනම හිඳිනා පෙම් යුවලකි. අප එකල කෙතරම් නම් වේලා මෙතැන කථා කරමින් සිටින්නට ඇතිද? මේ මාර ගස කෙතරම් පෙම්වතුනට සෙවන දෙන්න ඇතිද? එහෙත් ඒ ගස මුල කිසි දිනක හිස් නොවෙයි. එහෙත් කල්පනා කළොත් ඊයේ දවසේ පමණක් මා කෙතරම් වේලාවක් සොඳුර සමඟ කථා කරන්නට ඇතිද? හොඳින් හිතුවොත් වැකි හතරක් පහක් පමණ. "නිලන්ත, දුවනිට කවනවද?, පරක්කු වෙනවා", "නිලන්ත චූටි දුව ගේ ගවුමේ බොත්තම දානවද?" "නිලන්ත එනකොට සුප් කැට තුන හතරක් ගේනවද?" "දවල් කෑම රසද?" වගේ හිතුවොත් ඉතාමත් කෙටි වදන් තුන හතරක්. මෙයින් නියෝග හැරුණ කොට ආදරය පොඩ්ඩක් වත් තියෙන්නේ "දවල් කෑම" ගැන වැකියේ පමණි. ඇයට ගෙදර මෙන් ම කාර්යාලයේද වැඩ බොහෝය. පෙම් බස් මිමිණීමට ඇයට වේලාවක් ඇත්තේ ම නැත. එසේ වෙලාවක් ආවත් ඇයට කෙසේ හෝ අතපසු වූ වැඩක් පසක් වෙයි. ඉඳින් වරු ගණන් මේ මාර ගස යට පෙම් බස් තෙපළු ඇය..... වැන්නෝ තවත් කෙතරම් මේ මාර ගස හැර ගොස් ඇතිද?
2012-04-23
නිලන්ත පියසිරි විසින් 23:28 පැයට
නෑදෑකම්
අපේ අම්මා ගේ මාමා කෙනෙකු ඊයේ හැන්දෑවේ මිය ගොස් ඇති පුවත මට ලැබුනේ මල්ලි ගේ දුරකතන ඇමතුමකිනි. ඔහු අපට ඉඳහිට මුණ ගැසෙන අයෙකු බැවින් ද, මුණ ගැසුන ද එතරම් කතා බහක නො යෙදෙන අයෙකු බැවින් ද, මම එය එතරම් ම දුක් මුසු පුවතක් නොවේ යැයි උපකල්පනය කොට එකෙනෙහි ම අම්මා ට ඒ ගැන කීවෙමි. අම්මා මහත් හඩින් හැඩීමට ගත්තාය. ම'සොඳුරිය සහ නංගී ඇය සනසා ගත්තේ මහත් වෙහෙසක් දැරීමෙන් පසුවය. මගේ ලොකු මාමා නොහොත් අම්මා ගේ අයියා මීට අවුරුදු 7 කට පමණ පෙර මිය ගිය අවස්ථාව මම සිහි කළෙමි. මගේ ඇහැට කඳුළු බිදුවකුඳු ආවා යැයි මට මතකයක් නොමැත. එහෙත් මීට මසකට පමණ පෙර අපේ පුංචි විවාහ වී සිටි බාප්පා මිය ගිය කල මට හැඩුම් ඉබේ පහළ විය.
නෑදෑකම් හා සබඳකම් කෙතරම් මිනිස් සිත් සනසවන්නේ ද? එකල මුළු ගමක් ම නෑදැයෝ වූහ. ඔවුන් වචනයේ දුරින් උදව්ට, පහසුකම් දීමට සිටියහ. එහෙත් අද නෑදෑයෝ සි සි කඩය. අපේ අම්මා ගේ කඳුලු තුල වූයේ ඒ හැඟීමයි, ඒ ආදරයයි. දරුවෙකු හඬන කල මාමාට කිරි එරෙන කතාවක් ජන වහරේ ද ඇත. එහෙත් මෙකල දරුවෙකු හඬන ඇසීමට මාමා කෙනෙකු පෙනෙන තෙක් මානයක ද නැත. "පොඩි දුව, මෙන්න කොස් කෑල්ලක් තියෙනවා. තම්බලා ගනින්." අප කුඩා කල අපේ අම්මාට, ඇයගේ මාමා වරු එලෙස නොයෙකුත් වෙසෙසි දේ ගෙනැවිත් දෙති. අපේ අම්මාට ද මාමලා නැන්දාලා තරම් අයෙකු නොමැති ගානය. බොහෝ විටක අපිද අම්මා සමඟ ඔවුන ගේ නිවෙස් වලට යන්නෙමු. ඔවුනොවුන් අතර පැතිර යන සිනහව ආදරය කරුණාව මගේ හද පතුල ද යන්තම් කොනිත්තන්නාක් මෙන් දැන් ද දැනේ. නෑදෑකම් අද සමාජයෙන් තුරන් ව යනු සක්සුදක් ව පෙනේ. නෑයෝ සහ වේයෝ එක බැවි තෙසක රියක පිටු පස වූ බව මට මතකය. අද නෑදෑ කම් නාම මාත්‍රිකය. එකල අවුරුද්දට අපි නොවරදවා අපේ අම්මා ගේ ලොකු නැන්දා හෙවත් අපි කියන පරිදි කඩේ ආච්චි ගේ ගෙදර යන්නෙමු. එය හරිම විනෝද ජනකය. ඇය හරිම රසට ආස්මි හදන්නීය. එපමණක් නොව හදිසියකට හෝ ඇගේ නිවස අසලින් අප වෙනත් වැඩකට ගියේ නම්. "උඹ කොහෙද යන්නේ, මෙහෙ වරෙන්" කියා කුඩා අපව නිවසට එක් කරගෙන ගොස් අඩුම තරමේ විස්කෝතුවක් සමඟ තේ බිඳක් හෝ පොවා මිස පිටත් නොකරයි. එහෙත් අද.....? මගේ දියණියන් ගේ ලොකු අම්මා, හෙවත් සොඳුරිය ගේ අක්කා ඇත්තේ බදුල්ලේය. එහේ ගොස් ඒමට අඩු තරමේ දවස් පහකවත් නිවාඩුවක් අවැසිය. එතරම් කල් නිවාඩු අපට නොලැබෙන හෙයින් අප එහි ගොස් ඇත්තේ මෙතුවක් කලට එකම එක වතාවකි. ඒ වතාව දියණියන්ට කෙසේ වෙතුදු අපට ද මතක නැත. එසේ වී නම් ලොකු අම්මා ගේ ආදරය මතක තියෙන්නේ කෙසේද?
2010-09-06
නිලන්ත පියසිරි විසින් 23:27 පැයට
විවාහය ගණුදෙණුවක් වන කල් හී ආදරය
බොහෝ දෙමව්පියන් තම දූ දරුවන් ගේ ආදර මුල් ආදර සම්බන්ධතා දෙස බලන්නේ ඔවුන් ජීවිතයේ ගත කොට ඇති කාලයත් සමඟ සංසන්දනාත්මකව විය හැක. ඔවුන ගේ මානයන් ආදරයේ මානයන් නොවන්නේ මය. ඒවා සමාජිය මානයන් ම වේ. ගෙවල් දොරවල්, මුදල් හදල්, යාන වාහන, වතු පිටි, වැඩ පොල ආදී යුගල පද රැසක් මේ මිනුම් දඩු අතර වුව ද තම දරුවාට මේ සහකරු/සහකාරිය කෙතරම් ආදරේ ද යන්න කොතැනකදී වත් නොසැලකේ.
එහෙත් මෙකල බොහෝ දෙනා විවාහ වනුයේ ඉතාම යොවුන් වයසින් ම නොවේ. ඔවුන් විවාහය පතනුයේ යොවුන් විය ඉක්ම වීමට ඇති අල්ල පනල්ලේ වෙති. මෙහිදී මොවුන් ගේ විවාහයේ මාන වෙනස් ව ක්‍රියා කරයි. පිරිමි ඔවුන් ගේ ජීවිත කඩ ඉම් පැනීමට බිරිඳක් සොයති. දෑවැද්දට ඉහත කී යුගල පද රැසම සොයති. විවාහයේ මූලික උවමනාව කුමක් විය හැකිද? මා නම් සිතන්නෙ ආදරය ලබාදීම හා ආදරය ලැබීම ලිංගිකත්වය හා මුසුව පැවතීම බවයි. එසේ වූ විට ගැහැණියක ගේ රූ සපුව දෙස බොහෝ දෙනෙක් සිත යොමු කරනවාක් මෙන්ම ඇය ගේ ආදරණීය ගති ගුණ දෙසත් සිත යොමු වෙයි. එහෙත් ආදරය ගණුදෙණුවක් ලෙස බලන මෙකල බොහෝ දෙනා ඒ මූලික ගති පසෙක ලන බව හැගේ. සත්ව ලෝකයේ පැවත් ම උදෙසා ගැහැණුන් සහ පිරිමින් එකතු වුවද, තෘප්තිය උදෙසා එසේ බැදෙන්නේ මිනිසා සහ ඩොල්ෆින් පමණක් බව මා කිසියම් තැනක කියැවූ බව මතකය. ගැහැණික ගේ රූ සපුව යනු ඇය දරුවෙකු දැරීමට ඉතාමත් යෝග්‍ය බව පිරිමින්ට පෙන්වන විදිහක් බව මහැඳුරු කාලෝ ෆොන්සේකා විටෙක කීවේය. එළෙසම නිරෝගිමත් පිරිමින් උදෙසා ගැහැණු සිත ඇඳී යාමත් ස්වභාවයේ ම කොටසක් බව ඔහු එහි දී පැවසීය.
එහෙත් අද ආදරයට පමණකුඳු නොව ඒ සොබා පැවත්මට ද මේ විවාහ ගණු දෙනුව පහර දෙන බව හැඟේ. "අයියේ මට, දෑවැද්ද මෙච්චරක් තියෙනවා, මගේ රැකියාව මේකයි. පුළුවන් නම් හොඳ කෙනෙකු හොයලා දෙන්න" කියා එක් නැඟණියක් මගේ යහළුවෙකුට පැවසූ බව ඔහු රාජකාරීයේ දී මට පැවසීය. මේ සියල්ල මට සිතුනේ ඒ එක් වැකියක් නිසාවෙනි. ඇත්තටම ගැහැණු සොයන්නේ ජීවත් වීමට මාර්ගයක් ද නැතිනම් ආදරය ද? එළෙස තමා ගේ පැවත්මට විවාහ වෙන ගැහැණු අර තිස්ස ගේ ආදර වැකිය සංතෘප්ත කරයි ද?
2010-08-15
නිලන්ත පියසිරි විසින් 23:37 පැයට
අවිවේකී ආදරය
මා මීට පෙර කී පරිදි, නිවසේ සිට රාජකාරියට සහ රාජකාරියේ සිට නැවත නිවසට පැමිණෙන විට, බොහෝ විට ජංගම දුරකතනය තුලින් කුමක් හෝ සවන් දිය හැකි පොතක් (audio book) අසමින් ගමනේ යෙදෙමි. අවසන් වරට සවන් දුන් පොතේ වූ වැකියක් මාව අදහස් මාවත් කිහිපයක ගෙන ගියේය. ඒ වැකිය නම් "Happy couples spend some quality time together" යන්නයි.
විවාහයට පෙර අඩුම තරමේ සතියකට වරක් වත් හමු වී පැය දෙක තුන කතා කරන යුවලකට විවාහයෙන් පසුව එසේ අඩුම තරමේ පැය කාලක් වත් කතා කිරීමේ නිදහස තිබේද? ආදරයෙන් තුරුලු වී, මහත් වූ සිහින රජයන් සදන යුවල කීයක් විවාහයෙන් පසුව වසර පුරාවටම එසේ සිහින රජයන් සදන්න ආදරයෙන් තුරුලු වී කතා කරමින් සිටින්නේද?
ධනාත්මක චින්තනය, S 5 හෝ වෙනත් ඕනෑම කාර්‍යක්‍ෂමතාවය ඉහල නංවන ක්‍රියාකාරීත්වයන් ගැන කතා කරන බොහෝ දෙනෙකු විවාහය ගැන සිතන්නේ දියුණු වීමේ ගණුදෙනුවක් ලෙසිනි.
"බිරිය ගෙන් මට ලැබුණු දෑවැද්ද මෙපමණ වූයේ නම් මගේ මේ තියෙන පළමු වෙනි ප්‍රශ්ණය ඉවරයි"
ඒ එක්තරා මුදල් අරමුණු කරගත් අයෙකුගේ අදහසක් ය.
"අපේ husband ගේ දැනුම පාවිච්චි කරලා හොඳට හම්බ කරන්න පුළුවන් අනේ, ඒත් එයාට උවමනාවක් නැහැනේ"
ඒ තවත් දියණුවෙන බිරියක ගේ වචනය. ඇත්තෙන් ම දියුණුව තුළ ආදරයට තැනක් නැතිද?
උදයේ පාන්දරම වෙහෙස වී කෑම පිළියෙල කරන බිරිය ඉසුරු සොයන්නට රාජකාරියට ඇදෙන්නේ තමන් ගැහැණියක් වීම ගැන පිරිමින්ට දෙස් දෙවොල් තබමින් විය හැකිය. ඇය සවස නිවසට පා තබන්නේ හෙම්බත් වී නමුදු දරුවන් ගේ රෑ කෑම පිළියෙළ කොට ළමුන් හැඩි කොට ඇති නිවස නැවත සකසා තවමත් කිරි ඉල්ලා අඩන දරුවාට කිරිපොවා, ඊලඟ දිනයේ රාජකාරිය ගැන මෙනෙහි කරන ඇයට තම සැමියා ගෙන් රාජකාරී අමාරුදැයි අසා සිත සනසන්නට ඉඩක් වේලාවක් නොමැත. ඇයට ලබා ගත යුතු එකම කායික සන්තර්පණය නම් නින්දයි. තමා මෙන්ම රැකියාවක් කරන සැමියා තමුන්ට සාපේක්‍ෂව වෙහෙසක් නොදරන බව ඇයට දැනෙයි. මෙගාලිතික යුගයේ නිවසට වී සිට බිරිඳ ගේ සැමියා අඬු බඬු කඩාගෙන සතෙක් එලාගෙන නිවසට එනවා දකින සතුට අදීන බිරිඳට අත්විදිය නොහැකිය. මක් නිසාද යත් බිරිඳ රාජකාරී නොකළහොත් සතයක් ඉතුරු කරනවා තියා ජීවත් වීමටත් මුදල් මඳය.
බිරිඳ ගේ වෙහෙස සලකා බැලීමේ දී සැමියා ගේ දියුණුව සඳහා දැරෙන වෙහෙස මඳය. එබැවින් ඇය තව අපේක්‍ෂා කරන්නීය. ඔවුනොවුන් කතා නොකරති. කතා කරමින් ගත කරන්නට වෙලාවක් නැත, පවුලක් ලෙස දියුණු විය යුතුය. ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, දැසි දසුන්, මෙකී නොකී සියළු දෑ අප ලඟා කරගත යුතුය. එහෙත් විවාහ වී සිටින අප එකිනෙකාට ලඟා නොවිය යුතු වේ. එසේ ආදරයෙන් සිටීමට අපට වෙලාවක් නැත. එහෙත් නැවත ඉහත කී වැකිය කියැවෙයි. "Happy couples spend some quality time together". දැන් මගේ සිත තවත් චිත්ත වීදියක දුවයි.....
2010-01-29
නිලන්ත පියසිරි විසින් 23:25 පැයට
විද්දේ ගොනාට වැදුනේ හාවට
පසු ගිය කාලයේ, එක්තරා අපේක්‍ෂකයෙකු ගේ ලිංගික ජීවිතය පවා තුරුදැලේ පටන් කුඩා පොත් පිංචවල් දක්වා පල කෙරුණි. සමහරෙක් එය මඩ යැයි කියන කල්හී, එය එසේ නොවන බව කී අය ද සිටියහ. ඇත්තෙන් ම මිනිසෙකු ගේ ලිංගික ජීවිතය සහ රුචි අරුචි කම් ඔහු ගේ දෙස්පලු කිරියාවට බලපානු ලබත් ද? නමුත් මගේ මේ සටහන ඒ පිළිබඳව නොවේ. එලෙස මෙම අපේක්‍ෂකයා ගේ ගැහැණු ලැයිස්තුව නම් ගම් පවා හෙලිකරමින් පරසිඳු විය. එහි නම් සඳහන් කිහිප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙනා අවිවාහක වෙත්. මෙලෙස නම් සඳහන් වුනු එක් කතක ගේ පුතු පාසල් යාම පිළිකෙව් කරයි. ඒ පාසලේ ළමුන් ගෙන් වන අවමාන නිසාය. අවමන් කිරීමට උත්සහ කළේ කා හටද, එහෙත් ජීවිත කාලයටම විදවන්නේ කවුරුද?
2010-01-19
නිලන්ත පියසිරි විසින් 22:07 පැයට
ආදර සොදුරිය
සරණ යන්නට පෙර පෙමෙන් බැඳුන කාලයේ තම සොඳුරිය ගැන කෙතරම් සිහින මවනවාද? ඇය හා ජීවත් වන හැටි ගැන කෙතරම් සැලසුම් සදනවාද? ඒ සියල්ලම සැපිරෙනවාද? බොහෝ විවාහක අය නැතැයි කියනු ඇත. ඇත්තෙන් ම ජීවිතයේ සෑම සිහිනයක් ම එපරිද්දෙන් ම නොසපිරෙන බැවින් එය ද එසේ ම විය යුතුය. එහෙත් මා නම් සිතන්නේ සරණ යන්නට පෙර තිබූ ආදරයට වඩා ආදරයක් තම බිරිඳ ගැන විවාහයන් පසු සිදු වන බවයි. එසේ ආදරයක් නොසිතෙන්නේ නම් ඒ ඈ ගැන නොසිතන නිසයි. උදයේ අවදි වූ වේලාවේ ලැබෙන තේ කෝප්පයේ පටන්, රැයේ නින්දට යන කල ලැබෙන පොරෝනය දක්වා ඇගෙන් ලැබෙන්නේ ආදරය හැර වෙන කිසිවක් නොවේ. පිරිම් අප කෙතරම් ඇයට උදව් කළත් ඇයගෙන් තොර පවුලක් ගැන සිතිය හැකිද? උදයේ රැයින් නැඟිට කෑම පිළිවෙල කොට, දූ වරුන් පුබුදුවා, සෝදා පිරිසිඳු කොට, ඇඳුම් අන්දවා, කෑම කවා, සැමියාට කෑම පිළිවෙල කොට, රැකියාවට ගෙන යාම සඳහා කෑම සකසා ඇයද රැකියාව සඳහා පිටත් ව යන්නීය. සැදෑවේ, තම සැමියා ට පළමුව නිවසට සේන්දුව, නැවත කෑම පිළිවෙල කොට, දරුවන්ට කවා, ඔවුන්ව නින්දට යන තෙක් නොව තම සැමියාද නිදියහනට යන තෙක්ම ඇය කිසිඳු ඉසඹුවක් ලබන්නේ නොවේ. ඇය මහන්සිය නොහදුන්නී මෙන් රැයේ තුරුළුව මෙසේ අසන්නීය.
"ඔයා ඉස්සර වගේ ම මට ආදරෙයි ද?"
"නැහැ" මම පිළිවදන් දෙමි.
"ඇයි ඒ?" ඇය වික්ෂිප්තව හිස ඔසවා මා දෙඇස් දෙස බලන්නීය.
"ඉස්සරට වඩා ආදරෙයි"
"ඔයා ඉස්සර වගේ ම මට ආදරෙයි ද?"
"නැහැ" මම පිළිවදන් දෙමි.
"ඇයි ඒ?" ඇය වික්ෂිප්තව හිස ඔසවා මා දෙඇස් දෙස බලන්නීය.
"ඉස්සරට වඩා ආදරෙයි"
Subscribe to:
Posts (Atom)
