Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

2010-04-22

නිලන්ත පියසිරි විසින් 16:38 පැයට
1

අතීතයේ වැරැද්ද?

පසු ගිය දිනක රූපවාහිනියේ වූ සංවාදයකට සහභාගී වූ එක්තර විද්වතෙකු පැවසුවේ, අද අප මුහුණ දී ඇති තත්වයට බලපානු ලබන ප්‍රධාන වැරැද්ද 1956 දී ජාතික බස සිංහල කිරීම බවය. එවිට සංවාදය මෙහෙයවූ අය විමසුවේ "ඔබ 1956 දී ජාතික බස සිංහල කිරීම නිසා ස්වබසෙන් ඉගෙන ගත්තා නොවෙද?" යන්නයි.

මා කීමට යන්නේ අතීතයේ සිදු එම වැරැද්ද හෝ යහ ක්‍රියාව ගැන නොවේ. අපේ අතීතයට බැණ අඩ ගැසීමේ පුරුද්ද ගැනයි. අපට අතීතය නැවත ආවර්ජනය කරනවා හැර එය හැරවීමට නොහැකි බව දැන දැන ඒ ගැන දොස් පවරන්නේ ඇයි? මහසෙන් රජතුමා මහා විහාරය ගිනි තැබීම (මගේ මතකය නිවැරදි නම්) හෝ ජයවර්ධන ජනාධිපති වරයා විවෘත ආර්ථිකය ඇති කිරීම ගැන දුක්වීම/සතුටු වීම හැර අපට කළ හැක්කේ වත්මනේ හෝ ඉදිරියට එයින් වන අහිතකර බලපෑම් වලින් මිදීමේ මං සෙවීම පමණක් නොවෙද? බොහෝ දෙනෙක් අතීතය රස විදීම හෝ අතීතයට බැණ වැදීම කරති. නමුත් වත්මනේ හෝ අනාගතයේ අපේ රටේ/දැයේ/සමයේ උන්තිය උදෙසා කළ යුත්තේ මෙයයි යැයි නොකියති.

2010-03-18

නිලන්ත පියසිරි විසින් 12:03 පැයට
1

කැරැලයින් ආච්චි

අම්මා ගේ නැන්දනියක් වූ බැවින් අපේ ආච්චී වූ කැරැලයින් ආච්චි ගේ අවසන් කටයුතු සඳහා ඊයේ සහභාගී වූයෙමි. අම්මා කඩේ නැන්දා කියන බැවින් අපි කඩේ ආච්චී යැයි ඇයට කීවෙමු. වසර 93ක ජීවත් ව හොඳ සිහියෙන් ම පරලොව යෑම යම් විදිහක වාසනාවක් යැයි බොහෝ අය පැවසූහ. අප කුඩා කල වෙනත් වැඩකට වුවද ඇයගේ නිවස ඉදිරියෙන් හෝ ගියහොත් අනිවාර්යෙන් ම ඇගේ නිවසට යායුතුමය. ඇයට නොපෙනී නම් එතැනින් යා නොහැකිය. එසේ කැදවා ගන්නා අපට කෑමට යමක් දී එය රසවිදින අයුරු බලමින් ඇය සතුටු වන්නීය. ඇගේ නිවසේ කඩයක් පවත්වාගෙන ගිය බැවින් ඇය කඩේ ආච්චී විය. කඩේ ආච්චි සහ කඩේ සීයා අති ප්‍රේමණීය යුවලකි. ඔවුන් නිතරම සිටියේ මුවෙහි මදහසක් ඇතුවමයි. කඩේ ආච්චී සහ සීයා අතිශයින්ම ආයුර්වේද වෙදකම මත යැපුනෝ වෙති. ඔවුන් බටහිර වෙදකම ගැන විස්වාස නොකළහ. කඩේ සීයා බැවිල (බැබිල) ගස් සොයමින් ප්‍රදේශය පීරණු මා කුඩා කල හොදින් මතකය.
වසර 93 ක් ජීවත් වූ අයෙක් නිරන්තරයෙන් ම යුග ගණනක අත්දැකීම් ඇති පුස්තකාලයක් බඳු වීම වැලැක්විය නොහේ. ජීවත් වන අප සැම මරණය ලැබිය යුතුමය. ඒ ගැන පසක් කිරීම අසුබ දෙයක් නොවේ. අපේ කිරි අම්මා ජීවත් ව සිටින දින වල ඇය ගයන "තල මල" කවි, ඇය කියන කතන්දර ආදිය පොතක සටහන් කර ගතිමි. (සියල්ලම සටහන් කර ගත නොහැකි වීම ගැන තවමත් දුක් වෙමි.) ඒවා ඉදිරි පරම්පරාවන් සඳහා ගෙන යාම සංස්කෘතිය රැකගැනීම ම තමයි. එහෙත් කඩේ ආච්චී සතු වු ඒ දැනුම නම් ඔවුන ගේ මුණුබුරන්, මිණිපිරියන් විසින් ලබා නොගත් බව නම් මම සක් සුදක් සේ දනිමි. ඉදින් සංස්කෘතික පරිහාණිය ගැන කතා කිරීමේ තේරුම කිම. 

2010-03-12

නිලන්ත පියසිරි විසින් 12:24 පැයට
7

චොකා මල්ලී සහ වෙනත් දෑ

කාලෙකින් දින සටහන ලියන්න අතපසු විය. පසු ගිය දින කිහිපය පුරාම නිවනක් නැතිව වැඩ කළෙමි. ඒ ඒ දින වල ලිවීම සඳහා නොයෙකුත් දෑ සිතට ආවත් ඒවා යුනිකෝඩ් අකුරු බවට හැරවීමට වේලාවක් නොමැති විය. 
 
චොකා මල්ලීට මනාපයක් පළ කරන ලෙස ඉල්ලා දැන්වීමක් පාරේ ගිය වාහනයක ගසා තිබෙනු දුටිමි. "චොකා මල්ලී" යන නම දුටු වහාම මගේ සිත අමුතුම ආකාරයේ අපුලකින් පිරී ගියේය. ඒ නමින් ගම්‍ය වූයේ යම් ආකාරයක පහත්, නොවැදගත් බවකි. (නමකින් පහත් හෝ නොවැදගත් බව නොමැනිය හැකි මුත්).

බසෙහි කුණු හරුප යැයි සම්මත වචන, සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන අයවළුන් සිටිති. එසේ අසා පුරුදු නැති අය එවැන්නෙකු ගේ කතාවක් ඇසූ කල එකවරම පුදුමයටත් ලැජ්ජාවටත් පත් වෙති. තෙසක රියදුරන්, පදික වෙලෙන්දන් කුණු හරුප කියන්නේ පාරේ ගමන් කරන්නේ කුඩා ලමුන්ද වත් නොසලකාය. බසය තුල බස් පල්ලා (කොන්දොස්තර) සමඟ සටන ඇරඹූ කල දිනන්නේ අනවතර ලෙස එකිනෙක ගැළැපී කුණු හරුප ගලා එන්නාය (බොහෝ විට බස් පල්ලා).

ටෙලි නාට්‍ය යැයි කියන රූපවාහිනී වැල් වල මෙවැනි රස්තියාදුකාර වචන දොඩවන්නෝ බොහෝ වෙති. එවැනි චරිත ජන(අ)ප්‍රියව ඇති බැව් කියැවේ. කුඩා ළමුන් සමඟ රූපවාහිනියක් නම් මෙකල නැරැඹිය නොහැක. 

අප ළමුන් ට මේ නරක යැයි සම්මත වදන් අසන්නට නොසලස්වන්නේ ඇයි? මේ වචන ඔවුන් දැනගත යුතු නැතිද? ඒවා දැනගැනීමට ඔවුනට නිදහසක් දිය යුතුද? ඒ ඒ ජන කොට්ඨාශ අනුව, පලාත් අනුව වදන් නිමැවේ. මුඩුක්කු නිවාස ආශ්‍රිතව කතා කෙරෙන බස නරක යැයි සමහරෙක් කියති. 

නරක බස හොඳ බස වෙන් කරන්නේ කොතනින්ද? වරෙක මා මල්ලීට "තමුසේ, ඕයි" ආදී වචන වලින් කතා කළැයි කියා අම්මා මා හට හොඳ හැටි තැළුවාය. සමාජ සම්මතයන් වදන් වලට බලපානුයේ අමුතුම ලෙසය. එය නීතිය මෙන් නම් නොවේ.

ඉතින් ඔබෙන් "චොකා මල්ලී" ඡන්දය ඉල්ලුවේ නම් ඔබ ඔහුට මනාපය ලබා දෙන්නේ ද? 

2010-02-24

නිලන්ත පියසිරි විසින් 10:26 පැයට
1

අපේ සමගිය

අපට, ඒ කියන්නේ ලාංකිකයන්ට නිතැතින් ම පොදු සතුරෙකු සිටිය යුතුමයි. දැන් රටේ වෙන දේ පෙනෙනවා නොවැ. ත්‍රස්ත කොටි හපුයියෝ මැඩැවූ පසු නැවතත් දෙපැත්තක් තුන් පැත්තක බෙදිලා සියළු දෙනා කාගන්නවා. අප්පිරියයි කියන්නේ, අහන්න, බලන්න, දකින්න අප්පිරියයි. දේසපාලනය කතා කරනවා යනු අපේ දෙස පාලනය විය යුතු ආකාරය කතා කිරීම නොවැ, නමුත් අපේ රටේ සිද්ද වෙන්නේ දේසපාලනය ද? අපේ බ්ලොග් කියවනය පවා දේසපාලනය එක තැනකට රාමු කළේ එහි බොහෝ විට එහා මෙහා සිදු වෙන අපහාස/මඩ නිසා වෙන්න ඇති. (මෙය එය කිසිසේත් සාධාරණය කිරීමක් නොවේ). අපේ රට තිබිය යුතු ආකාරය ගැන හැමෝගේ ම හිතේ ලස්සන චිත්‍රයක් ඇති බවට කිසිදු සැකයක් නොවේ. එහෙත් පවතින දේසපාලන ප්‍රවනතාවය උඩ කුමන පක්ෂය බලයට ආවත් එතැනට රට යයි කියා කිසිවෙකුට සිතෙනවාද? බොහෝ දෙනෙක් රූපවාහිනි හෝ ගුවන් විදුලි පුවත් වත් නොබලන්නේ ඇයි? එහි ඇත්තේ පුවත් නොව මතවාද පමණක් බැවිනි. (Not news but views) ත්‍රස්තවාදය මැඩීමෙන් පසු අප කෙතරම් දුරට මෙලෙස අනේකුත් මතවාද වලින් හිස් පිරවූ මිනිසුන් එකිනෙකා මුසු කොට මතවාදමය සමඟියකට යොමු කොට ඇතිද?
මා කුඩා උදාහරණ කතාවක් කියන්නම්. ත්‍රස්ත කැරැල්ල තිබුණු කාලයේ (රිවිරැස මෙහෙයුමෙන් පසු) හමුදාවට අසු වූ ප්‍රාදේශීය ත්‍රස්ත නායකයෙකු වූ කුඩා කොළු ගැටයෙකු සමඟ නැවක දින තුනක් ගමනක යෙදීමට මට සිදු වූ අතර හේ සමඟ ඒ කාලය පුරාම කතා කිරීමට අවස්ථාව ලැබුවෙමි. ඔහු උපන් දා සිට දැක තිබුණේ ත්‍රස්ත මර්ධනයට අහස පුරා කැරැකැවෙන අහස් යානා විය. ත්‍රස්තයෝ නිතැතින්ම සාමාන්‍ය මිනිසුන් හා මුසු වූ බැවින් ඔවුන් ද බෝම්බ වලින් බේරීමට ආවරණ සඳහා දිවිය යුතු වන්නාහ. එපමණකුදු නොව සිංහලයෝ මිලේච්‍ඡයෝය, ඔවුන් අපව සොය සොයා මරති යැයි කියා ත්‍රස්තයෝ පතුරවන මතවාද වලින් කුඩා කල පටන් ම ඔවුන් ගේ හිස් පිරවී තිබුණි. වාසනාවකට හේ මිය නොගොස් හමුදාවට හසු වී තිබුණි. ඔහු මා හට පැවසූ දෙයක් මට අද පවා නැවත නැවත සිහි ගැන්වෙයි.
"මම කවදාවත් හිතුවේ නැහැ, සිංහල මිනිස්සු මේ තරම් හොඳයි කියලා. මම හිතුවේ උන් යක්කු වගේ අපිව මරන්න ම බලාගෙන ඉන්න කොටසක් කියලා".
මේ සිදු වීම 1995 පමණ කාලයේ දීය. අද කී දෙනෙකුට මේ සිතුවිල්ල ඇති කළ යුතුද? එහෙත් අප එකිනෙකා ඇණ කොටා ගන්නවා හැර හැමෝම අතර සංහිදියාවකට මඟක් ඇරගන්නවා ද?
මම සිංහලයෙක් මි. මම මගේ රට ගැන, පරම්පරාව ගැන, සංස්කෘතිය ගැන, හැදියාව ගැන සතුටු වෙමි. එසේම ඕනෑම දෙමෙලෙකුටත් රට ගැන, පරම්පරාව ගැන, සංස්කෘතිය ගැන සතුටු වෙන්න තිබෙන අයිතියට මම ගරු කරමි. මම මෙරටට හෙලය කීවත්, දෙමලා ඉලංකෙයි කීවත්. මේ අපේ රටය.   

2010-02-05

නිලන්ත පියසිරි විසින් 15:30 පැයට
0

නිදහස් ලංකාව කොයිබටද?

යටත් විජිත වාදීන් ලංකාව ඔවුනතට ගෙන කළේ කුමක්ද? අපට සෞභාග්‍ය උදා කරන්න වෙහෙසුනා ද? නැතිනම් උන්ට එය උදා කරගත්තාද? නිදහස් ලංකාවේ අපි දැන් කුමක් කරමුද? අපේ අරමුණ කුමක්ද? අපි සරම ඇදගෙන දිවීමේ තරඟයට සහභාගී සිටින්නෙමුද? කෝට් බෑය ලා ගෙන පෝරු මස්තකව සිටින්නෙමුද? ගෑරුප්පුවෙන් අටු කොස් ඇට කමින් සිටින්නෙමුද? කිසිවෙකුට කිසිදු දිසානතියක් නොපෙනේ. ලාංකික අප, සංවර්ධිත ලංකාව නැමැති එල්ලය මවා සිටින්නේ  කුමන හැඩ තල ඇතිවද? අපේ රටේ නිෂ්පාදනයන් හා සේවාවන් කෙරෙන්නේ කවුරුන් ගේ සුභ සිද්ධිය උදෙසාද? එකෙක් රට බටහිර ධනවාදය පැත්තට රට අදිත්, තවකෙක් බටහිර සමාජවාදය පැත්තට, සමහරෙක් හෙළ බොදු සංස්කෘතියක් පැත්තට අදින මුත් ලංකාව කොතනද? දෙස්පලුවෙක් වත්, විද්වතෙක් වත් අපේ එල්ලය මෙයයැයි නොකියත් නොවෙද?

2010-01-28

නිලන්ත පියසිරි විසින් 23:56 පැයට
4

අහෝ, මට අතුරුජාතිකයෙකු විය නොහැකි විය.

ජාතික බලවේග සහ විජාතික බලවේග ගැන නිතර කියැවේ. එහෙත් මේ දෙපැත්තට නොමැති කොටසක් ද වේ. එය අන්තර්ජාතික බලවේග හෙවත් අතුරුජාතික බලවේග ලෙස හැදින්විය හැක. විජාතික බලවේග සහ අතුරුජාතික බලවේග අතර ඇති වෙනස කිම? විජාතික බලවේග යනු අපේ රට ජාතියට අයත් නොවන අන් ජාතික බලවේගයි. අතුරුජාතික බලවේග යනු නාමිකව අපේ රට ජාතියට අයත් ව එහෙත් අන් ජාතිකයන් වන්න ට තැත් කරනවාක් මෙන්ම අනෙකුන්වත් එසේ කරන්නට තැත් කරන කොටසකි.
දැන් මොවුන් කියන්නේ අපේ මිනිස්සු ගේ තවමත් 12 වන සියවසෙහි වූ ජාන ඇති බැවින් මුන්ව ඉන් මුදවාලිය නොහැකි බවය. තවමත් ලාංකිකයන් සොයනුයේ වන්දිභට්ට කම් කිරීමට රජෙකුම බැවින් මොවුන් සිංහලෙන් ලියන විබ ද අතහැර දුවන්නෝය. ඔවුන ගේ අන්තර්ජාතික මොළය අනුව අපට ඡන්දයක් දෙන්න තවම තේරෙන්නේ නැත. ඔවුනට අනුව අපට අපේ හෙළ සාර ධර්ම තිබිය නොහැක, මක් නිසාද යත් එයින් අප ජාතිවාදීන් වන බැවිනි. අපට බුදු දහම පිළිපැදිය නොහැක, අප ආගම්වාදීන් වන බැවිනි. අප තර්කාන්විත බුද්ධියක් නැති බැවින් (උන් ගේ වචනය rational mind) ඉංගිරිසි කාරයෝ ඇවිත් මේ ඡන්ද ක්‍රමය නැවත අපෙන් උදුරාගෙන යා යුතුය. දියුණු, සංවර්ධිත, පළමුවෙනි ලෝකයේ සුද්දන් විදිහට කල්පනා නොකරන අපට අඩුම තරමේ තුරුදැළ (අන්තර්ජාලය) භාවිතා කිරීමත් තහනම් කළ යුතු වේ. මේ අන්තර්ජාතිකයන්ට අනුව අපව 12 වන සියවසට තල්ලු කර දමා බටහිර විදුවෙන් සොයා ගත් සියළු දේ අහිමි කළ යුතුය.
අපව අන්තර්ජාතික බණ කියා වෙනස් කරන්නට තැත් කොට දුවන අයටත් , තව දුරටත් උත්සහ ගන්නා අයටත් කිව යුතු දෙයක් තිබේ. නිපැයුම්, සොයාගැනීම්, ප්‍රමේයන්, මතවාද, කල්පිත සියල්ලේ අයිතිය තොප ගනුව මුත් එය අප භාවිතා කරන්නේ අපට ඕනෑ විදිහටයි. සුද්දෝ පාන් sandwich  හැදුවාට අපත් එයම කෑ යුතු නැහැ. අපට එය පරිප්පු හොද්දේ තවරාගෙන කන්න අයිතිය තිබේ. සුද්දෝ අර්තාපල් තම්බාල පොඩිකරලා කෑවට අප එලෙසම කෑ යුතු නැහැ. එය තෙල් දාල කන්න, මෙන්ම හොදි හදලා කන්න අපට අයිතියක් තිබේ. අපි තොපට පාන් පරිප්පුත් එක්ක පොඟවාගෙන කන්න නොකියන්නේ ත් ඒ නිසාමයි. එබැවින් ඡන්ද ක්‍රමය තොපේ වුවත් එය භාවිතා කොට අප බිහි කරන්නේ රජෙක්ද යකෙක් ද කියන එක තොපට වැදගත් නැත.    

2010-01-18

නිලන්ත පියසිරි විසින් 22:25 පැයට
0

සමානාත්මතාවය

නීතිය ඉදිරියේ අප සැවොම සමානයි ආදි වශයෙන් වූ කතාවක් වෙයි. නීතිය පමණක් නොවේ කිසිම දෙයක් ගැන මේ ලොව එසේ සමානව සලකන්නා වූ මිනිසුන් සිටීද? දියුණු රටවල නම් එසේ වේ යැයි යමෙක් පැවසීමට ඉඩ තිබේ. සමාජවාදය එලෙස දේශණා කළ බණක් යැයි ද යමෙක් කිව හැක. අද නීතිඥයෙක්, වෙදදුරෙක්, දෙස්පලුවෙක්, ඉහළ හමුදා නිළධාරියෙක් ආදී වශයෙන් වූ ලැයිස්තුවක් අනෙක් පුද්ගලයෙකුට වඩා සමාජයේ අසමාන ලෙස නොසැලකෙන්නේ නොවේද? දෙස්පලුවායි, බස්පලුවායි එකම ලෙස පොලිසියකදී සැලකුම් ලබන්නේද? බොහෝ අය රැකියාව අනුව ගැරහුම් ලබන්නේ නොවෙද? එක් ජනපති අපේක්‍ෂකයෙක් "කොම්පුටර් ඔපරේටර් කෙනෙක් තමයි, මේ තත්වයට පත්වෙලා තියෙන්නේ" ආදි වශයෙන් කී කතාවක් ඔබට මතක ඇති. ඒ නයින් ඔහු කියන්නේ පිරිගණන ක්‍රියාකරුවන් සමාජයේ පිළිගත යුතු කෙනකුද නැතිනම් ගණන් ගත යුතු නැති කෙනෙක් කියාද? මට නම් දැනෙන්නේ එය පිළිගත යුතු රැකියාවක් නොවන බවට කෙරෙන ඇඟවීමක් බවය. එනම් නිළධාරීවාදයයි. සමාජවාදය පුම්බන අය නිළධාරීවාදය ඔසවන්නේ යැයි ඔබට නොසිතෙන්නේද?

2010-01-17

නිලන්ත පියසිරි විසින් 22:11 පැයට
4

ගෝත්‍රවාදී වීම හොඳද? නරකද?

අප ගෝත්‍රවාදයේ හිනි පෙත්තට නගිනුයේ මැතිවරණ සමයේ යැයි මට සිතේ. මතයට එකඟ නොවන එකා නසා දැමීමට තරම් මෙය උග්‍ර වේ. නමුත් මෙලෙස මරා ගනුයේ හදිසියකදී උදව්-පදව් කරගන්න සිටින අසල් වැසියන් ය. දෙස්පලුවෝ අසනීප වූ ළමයා රෝහලට ගෙන යන්න උදව් කරන්න ට ලඟ පාත ඉන්නේ නොවේ. මා කලකට පෙර අසා සිටි සංවාදයක කියැවුනේ "අප, එනම් මේ දකුණු ආසියානු මිනිස්සු උග්‍ර ගෝත්‍රවාදියෝ" බවය. අපි සිංහල, දෙමළ ආදි ලෙස බෙදෙමු. බුදු දහම, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම ලෙස බෙදෙමු. එජාප, ජවිපෙ, ශ්‍රිලනිප ලෙස බෙදෙමු. ගොවිගම, කරාවේ, දුරාවේ ලෙස බෙදෙමු. ඉගෙන ගත් විදුහල, සරසවිය අනුව බෙදෙමු. ඉදින් මෙලෙස බෙදීම හොදද? සාධාරණද? එහෙම නැතිද?
එසේ නම් අප මුලු පොලවට අයත් මිනිස්සු විය යුතුය, එසේ නැතිනම් අප මුලු සක්වලට අයත් මිනිසුන් විය යුතය. එසේ නොවේද? ඉහත සංවාදයේ කියැවුනු වදන තුලම ගෝත්‍රවාදය වේ. එනම් "දකුණු ආසියානු මිනිස්සු". සත්තු මිනිස්සු නිතරම කුලක ලෙස සිටීමට කැමැත්තෝය. එනයින් ගත් කල මනුසත්තුද තම කුලකයකට වැද ගන්න කැමැති වෙති. එසේ නොමැතිව සිටින්න කියා දහම් දෙසන බටහිරයෝ එලෙස නොවන්නේද? ඇමැරිකානුවෝ, ඉංගිරිසිකාරයෝ, ආදී වශයෙන් ඔවුන් හදුනා ගන්නේ ඇයි? රහත් ඵලයට පත් නොවූ සැවොම තම කුලකය ගැන සිතති. අප රටට, ජාතියට ආදරය කරන්නේ එබැවිනි, පක්ෂයකට මෙලෙස ලැදි වෙන්නේ එබැවිනි.