Showing posts with label පොලීසිය. Show all posts
Showing posts with label පොලීසිය. Show all posts
2012-08-06
නිලන්ත පියසිරි විසින් 11:15 පැයට
4
සුදුසු පෙදෙසක වාසය
පසු ගිය සිකුරාදා කාර්යාලීය වෙලාවෙන් පසු අනුර ශ්‍රිනාත් ගේ සිත්තර පියොදසුන බැලීමට ගියෙමි. සිත සමනය කැරවූ එය බලා පසු දින දුවණිය එය බැලීමට රැගෙන එන සිත් ඇතිව මම නැවතත් මඟට පිලි පැනිමි. වෙලාව බැලීමට ජංගම දුරකථනය බැලූ කල එහි නංගි ගෙන් මඟ හැරුනු ඇමැතුම් වූ බැවින් ඇයට කතා කළෙමි. "ලොකු අය්යේ, මේ දැන් මගේ මාලේ කඩා ගත්තා." ඇය බිඳුන හඬින් කීවාය.
"මොකක්? කොතැනදී ද?"
"මෙතැන මේ පාර පනින කහ ඉර ලඟදී."
"පොඩ්ඩක් ඉන්න, මම ලඟ ඉන්නේ, ඉක්මනට එනවා."
"වැඩක් නැහැ හොරා පණ කඩාගෙන දිව්වා. හොයන්න බැහැ. ලඟ පාත කවුරුත් හිටියෙත් නැහැ".
මම හැකි ඉක්මනින් දුවගෙන අවුත් ඇය මුණ ගැසුනෙමි.
"කොයි පැත්තටද දිව්වේ?"
"අන්න අර පැත්තට" කියා ඇය මහත් අඳුරු පෙදෙසක් පෙන්වීය.
එකෙනෙහි මා අඳුනන තෙසක රියැඳුරෙකු අසලට පැමිණියේය.
"මොකද මහත්තයා වුනේ?"
"නැහැ මෙතැනදී නංගි ගේ මාලය කඩාගෙන ගිහිල්ලනේ" මම කීවේමි.
ඔහු හැඩ රුව කිහිපයක් කීවේය.
"ඒ වගේ නේද?"
"ඔව්, ඔව්, අන්න එහෙම පොඩි ලමයෙක් වගේ කෙනෙක්"
"මහත්තයා, ඔය කියන විදිහට ඒ මම දන්න අඳුනන තැනක ළමයෙක්, කුඩු වලට ඇබ්බැහි වෙලා. දැන් ඔය කැඩුවේ මෙතැනදී තුන් වෙනි මාලය. මම කිව්වා කියන්න එපා, ගිහින් පොලිසියට පැමිණිල්ලක් දාන්න, මාව අහු කරන්න එපා මම වෙලාවක පෙන්නවන්නම් මිනිහා ව. හැබැයි එයත් එක්ක තව තුන් දෙනෙක් ඉන්නවා, උන් ඔක්කොම ඔය වගේ නරක එවුන්, නිතරම දැලි පිහි තියාගෙන ඉන්නේ"
"අපි පොලිසියට යමු." මම නංගිට කීවෙමි.
"අපෝ බැහැ ලොකු අය්යේ, අපි ගෙදර යමු. අපි දිගටම මේ පාරේ එන්න එපැයැ" යි කියමින් ඈ යන්නට හැරුණි. මාත් ඇය සමඟම ගෙදර ගියෙමි. මම ඇයට වෙන කිසිවක් නොකීවේ ඇයගේ බිඳුන සිත තවත් රිදවීමට නොහැකි බැවිනි. (දන්නවනේ ගැහැණියෙකුට අභරණ කියන්නේ මොන වගේ ද කියලා). එහෙත් මම කල්පනා කරමින් ගියෙමි. ඇයි මෙවැන්නෝ ඇල්ලිය නො හැකි. හොරු කෙසේ වෙතත් කුඩු ගහන මිනිසුන් ඇල්ලිය නොහැක්කේ ඇයි. ඔය උපාය දූතයෝ අසරණ සිරුරු විකුණන අබිසරු ලියන් අල්ලන්නට යොදන වෙලාවේ, ඇයි කුඩු කාරයෙකු පිටු පසු යෙදිය නොහැක්කේ. කුඩුකාරයා කොහෙන් හෝ ඒවා මිළදී ගත යුතු නොවැ. එසේම ඒ මිළදී ගන්නා තැනට කුඩු එන්නේ කෙලෙසින් දැයි සෙවීමට උපාය දූතයෝ යොදන්න බැරිද? වැලැක්විය නොහැකි යන්න සම්පූර්ණ බොරුවකි. මත් කුඩු හා වෙනත් මත් වන දෑ වලක්වන්නේ නැති බව ඉතාමත්ම පැහැදිලිය. ගමක නඟරයක කුඩු කාරයෙකු සොයා ගැනීම හරිම ලෙහෙසිය. එවැන්නෙකු හෝ එවැන්නියක කුප්‍රකට බැවින්, පොලිස් නිළයෙකුට ඕනෑ අයෙකුගෙන් ඒ ගැන අසා දැන ගත හැක. එවැන්නෙකුට කුඩු එන මඟ සෙවීමට රහස් පොලිසිය උවමනා නැත. එය කුඩා ළමයෙකුට පවා හැක.
නංගී පොලිසියට යාම ප්‍රතික්ෂේප කිරීමෙහිද යම් නිවැරදි බවක් වෙයි. ඇය තව දුරටත් වැඩට ගොස් බසයෙන් බැස ඔය පාර දිගේම පැමිණිය යුත්තේ වෙයි. ඇයට පුද්ගලික ආරක්ෂාව දෙන්නෝ නොවෙත්. එපමණක් නොව ඇය මා කෙරෙහිද බිය වන්නීය. මංගල සූත්‍රයේ 'පතිරූප දේස වාසෝච" ගාථාව මට පසක් විය. අපි ජීවත් විය යුත්තේ සුදුසු පෙදෙසකය. එහෙත් අදීන ලංකාවේ සුදුසු පෙදෙසක් කෙසේ නම් සොයා ගනිමුද?
Subscribe to:
Posts (Atom)
