2010-11-30

නිලන්ත පියසිරි විසින් 14:41 පැයට
3

වටුවට කොටන කාක්කෝ

අද උදේ කාර්‍යාලයට එන මඟ, වැටී සිටියේ වටුවෙකි. කාක්කන් වට කරගෙන කොටති, තවත් සමහර කාක්කන් හොඳ ආහාර වේලක් බුදීමට වටේ සිට ලක ලැහැස්ති වෙති. අසරණව වැටී දිව බේරාගැන්මට වලිකන වටුවා ගැන දුක සිතුනේ මට පමණක් නොවේ. පාරේ ගිය කිහිප දෙනෙක් කාක්කන් එළැවීමට වෙහෙස වෙති. වටුවා හැකි පමණ දුරක් ඉගිලී ගොස්, පඳුරක් අස්සට වැද ගත්තේය. කාක්කෝ ද ඒකා පිටු පස පියඹා ගිය අතර, ඉන් පසු ඌ පසු පස ගොස් වටුවා ව ආරක්‍ෂා කිරීමට තරම් මට වෙලාවක් ද නොවීය. ඌ හට කුමක් වූවා ද යන්න ඌ බේරාගන්නට වෙහෙස වූ අනෙක් අයද නොසොයා ගිය බව මම දුටිමි.

ඇත්තෙන් ම කාක්කන් අතර අසරණව දිවි ගළවා ගන්නට වෙහෙස වෙන  වටුවා ගැන දුක සිතන මිනිස් අපි දිනක බොජුන් සඳහා කුකුළන් කී දෙනෙකුම මෙසේ මරනවා ඇතිද? දිව ගලවා ගන්නට දඟලන වටුවා වෙනුවට කුකුළෙකු ආදේශ කරන්න, කපුටු රැළ වෙනුවට මිනිස් රැළක් ආදේශ කරන්න. ඇයි අපිට අර වටුවා ගැන හිතෙන දුක, කුකුළා ගැන හිතන්නේ නැත්තේ. ඒ අපි නොදකින නිසා නේද? කපුටා ගැන නරකක් සිතා වැඩක් නැතැයි, මට සිතුනි. අපිත් ඒ කපුටන් හා සමව වට වී වටුවට කොටමු.

2010-11-24

නිලන්ත පියසිරි විසින් 11:10 පැයට
3

අපේ මොළයේ පේශි ශක්තිමත් කරමු.

අපේ ශරීර යේ මෙන් ම, අපේ මොළයේ ඇති පේශින් ද ශක්තිමත් කළ හැකි බව කියැවෙන ඊ-ලිපියක් මට ලැබුනි. එහි වු කරුණු සැකැවින් ඔබ ගේ ද මගේ ද ඉදිරි ප්‍රයෝජන සඳහා ලියා තබමි.

දිගු හුස්මක් ගන්න. අප සිතා මතා නොවුව ද අපේ හුස්ම ගැනීම සිදු වේ. එසේ ම අවැසි නම් අපට සිතා මතා හුස්ම ගත හැක. ඔබ ගේ කායික සුවතාවයේ වැඩි දියුණුව සඳහා මෙන්ම මානසික සුවතාවය සඳහා හොඳ ගැඹුරු හුස්ම ගැනීමට පුරුඳු වන්න.

හොඳ කතාවක් කියන්න.  ඔබ ගේ අත්දැකීම් සිත්ගන්නා සුළු සහ විනෝදාත්මක ලෙස කීමට පුරුදු වන්න. එය ඔබ ස්මරණ ශක්තිය මුවහත් කරණු ලබයි.

දින චරියාව කලතන්න. වැඩපලට යන මාර්ගය වෙනස් කරන්න. වෙනදාට වාඩි ගන්නා විදිහට වෙනස් ලෙස වාඩි ගන්න.  ඒකාකාරීව දිනපතා කරන දේ නිරන්තරයෙන් වෙනස් කරන්න. මෙය විසින් ඔබ ගේ මොළයට අවදිව, අවධානයෙන් සිටීන ලෙස පණිවිඩ යැවෙනු ලබයි.

ලියන්න. කෙටි සටහන්,  කවි, කතන්දර එසේත් නැතිනම් දිනපොතක් හෝ ලියන්න. එය ඔබගේ සිතීම නිරවුල් කරනු ලබනවාක් මෙන්ම නිර්මාණශීලීත්වය ඔප දමයි. එසේම කේන්තිය දුරලන්න පවා ලියන්න. කෙනෙකුට බණින්න එපා, එය ලියන්න. (මතක ඇතිව බැණපු කෙනාට හසුවීමට පෙර එය විනාශ කර දමන්න) 

සිනහසෙන්න. සිනහසීමෙන් සිරුරට නිකුත් වන එන්ඩ්‍රොපින් ඔබ ගේ ආතතය දුරලා දිගු කාලයක් මොළය සුවෙන් තබනු ලබයි. එබැවින් විහිළු බයිස්කෝපයක් වත් බලා සිනහ සෙන්න. (අවැසි නම් බයිස්කෝප් විබ පල වෙත යන්න.)

හොඳ ඉරියව්වකින් හිඳින්න. ඔබ ගේ ලියන මේසයේ උරහිස් කඩාගෙන, මුහුණ එල්ලා ගෙන වැඩ කරන්න එපා. පුටුවේ නියමාකාරයෙන් හිඳ ගන්න. උරහිස් කෙළින් කර වැඩ කිරීමට පටන් ගන්න. හොඳ ඉරියව් ශරීරයේ ලේ ගමනාගමනය ලෙහෙසි කරයි, මොළයට හොඳින් රුධිරය සැපයෙයි. එමඟින් මානසික නිරවුල්තාවයත් මතක ශක්තියත් ඉහළ යයි.

අපේ මොළය සෑදී ඇත්තේ අපව සතුටින් තැබීමට නොවේ. මෙය ඇසූ මම ත් කළබලයට පත් වීමි. නමුත් කියන විදිහට නම් අපේ මොළයේ මූලික වගකීම ලෙස එය දන්නේ අපව ජීවත් කරවීම පමණි. එබැවින් මොළය නිරන්තරයෙන්ම, අනතුරු සහ පහරදීම් ගැන අවධානය යොමු කරගෙන සිටී. අප ගේ මොළය සෑදී ඇත්තේ නිශේධාත්මක දේ ගැන සොයාබලමින් පැවතීම ට ම වේ.

පැණය ඇත්තේ අපට ආදරය, සමෘද්ධිය සහ සතුට අවැසි නම්, ඒවා පිහිටන්නේ සරලවම සුරක්ෂිතතාවයෙන් එපිටය.  අප ගේ මොළය මෙහෙයුවේ නොමැති නම් එය නිරන්තරයෙන් සෘණාත්මක සිතුවිලි දවස පුරාම, ජීවිතය පුරාම උපද්දවමින් පවතී. තුන් තේරවිල්ල නම් - අප හිතන දේ, සිදුවන දේ වෙයි. අප ගේ අවධානය යොමු වුවහොත්, ශක්තිය ගලායයි, එය අපේ ජීවිතය එදෙසට ගෙන යයි. 

අපට උසස් වීමට අවැසි නම් අපට උසස් වීම ගැන සිත යොමු කරන්නට වෙයි. අපට තත්වය වෙනස් කළ යුතු නම් කුමක් ද හරි සහ වැරදි යන්නෙන් කුමක් නිවැරදි ද යන්නට වඩාත් සිත යොමු කිරීමට සිදු වේවි. එවිට ඒ දෙසට අප ගේ ජවය යොමු වේවි.

2010-09-21

නිලන්ත පියසිරි විසින් 16:05 පැයට
2

ජැක් ජැක් ප්‍රෝවස්ට්

අපේ දුවනි ගේ ළදරු පාසලේ වසර අවසාන උත්සවයට මේ දින වල දරු දැරියන් පුහුණුව ලබන්නෝය. දුවනිය මේ දිනවල රැගුමක් පා අමුතුම කවියක් කියන්නීය. එය මෙසේ වේ. 

"ජැක් ජැක් ප්‍රෝවස්ට්... ජැක් ජැක් ප්‍රෝවස්ට්". 

"මොකක්ද දුවනි ඔය සින්දුව" සොඳුරිය අසන්නීය.

"මේක අම්මා මට තියෙන නැටුම" ඇය සුරතල් වදන් දෙන්නීය.

"මොකක්ද ඔය බාසාව, ඔයාවත් දන්නවද මොකක්ද මේ කියන්නේ කියලා" සොඳුරිය මගෙන් අසන්නීය. 

මමත් එය නො දන්නනා බැවින් විපිලිසරව බලා හිදිමි. මොකක්ද මේ "ජැක්, ජැක් ප්‍රෝවස්ට්"

දැන් දවස් කිහිපයක් ඔය නාටකය ඔහොම ගියා කියමුකෝ. ඊයේ දුවනි අළුත් ඉල්ලීමක් කළාය. 

"අප්පච්චි මට මේ නැටුමට පොල්පිති හරකෙක් හදලා ඕනේ". 

දැන් ඉතිං හොයපල්ලාකෝ පොල්පිත්තක්. මතක නොවැ අර පොල්ලෙල්ලක් හොයන්න කාපු වහක්. නමුත් ඒක නොවේ වැඩේ. දැන් මේ පොල්පිති හරකෙක් අරගෙන නටන නැටුම මොකක්ද ජැක්, ජැක් ප්‍රෝවස්ට් කියලා. බැලින්නම් ඒ කවිය එහෙම නෙමේ එන්නේ. "ජඃ, ජඃ, හෝව් වස්සා" කියලයි ඒක කියවෙන්නේ. ඉතිං, වස්සන් ව ජඃ, කියලා එළවන, හෝව් කියලා නවත්තන අයුරු කවදාවත් දැක නැහැ දුවනි. ඔහොම වැකියක් කීම සිනහවට කරුණකුත් නොවේ නොවෙදැයි මට සිතුනි.

2010-09-07

නිලන්ත පියසිරි විසින් 23:06 පැයට
1

පරිබවයට පුරුදු වීම

පරිබව කොට බැණීමට ද පුරුද්දක් තිබිය යුතුය. "බය වෙන්න දෙයක් නැහැ, මොනවා උනත් ඔය මනුස්සයා බණින්නේ නැහැ" ඒ රාජකාරියේ දී බොහෝ දෙනා මා ගැන සිතා සිටින අයුරුය. මා යහළුවන්ට "මම මිනිහාට හොඳට බැන්නා" කීවද ඔවුන් කියනුයේ "අනේ මේ අපි දන්නවා නේ ඔයා ගේ බැණුම" කියා එයද පහත් කරති. ඇත්තටම යමෙකුට දොස් නැඟුමට වුවද, එය පුරුද්දක් ව පැවතිය යුතුය. හොඳින් පහත් වදන්, කුණු හරුප ආදිය ගැලැපී වැකි තැනී මුවඟට ආ යුතු වේ. කල්පනා කොට බැණිය නොහැක. බස්පලුවෝ මෙන්ම රියැදුරෝ ද මේ බිණුමෙහි කෙළ පැමිණියෝ වෙත්. එහෙත් යමෙකුට දොස් නැඟුමට පෙර තව තත්පර ගණනක් ඉවසුවේ නම් කිසිවෙකු ගේ සිතක් නොතැවෙනු ඇත. එසේම අහේතුකව හෝ සහේතුකව කෙතරම් රොස් පරොස් වදන් සහිත බැණුම් වලට අපි සාමාන්‍ය ජීවිතයේ මුහුණ දෙමු ද? සමහරු කියන්නේ "ඉතිං, බැණුම් අහන එක අපේ රැකියාව නොවැ" කියාය. කෙතරම් අපි සිත දුකට පත් කරගන්නෙමු ද? පසු තැවෙමුද? එහෙත් ව්‍යාසකාරයේ මේ ශ්ළෝකය නම් එසේ නොතැවී සිටීම ගැනය.

3. සාධොඃ ඵරුෂවාක්‍යෛශ්ච න මනො යාති වික්‍රියාම්,
    නහි තාපයිතුං ශක්‍යං සාගරා ම්හස්තෘණෙල්කයා.

ඵරුෂවාක්‍යෛශ්ච, ක්‍රෑර වූ බසින් (කෙවුනාවූද); සාධොඃ, සත් පුරුෂයා ගේ; මනඃ, සිත; වික්‍රියාම්, විකාරයට හෙවත් වෙනසකට; න යාති, නොපැමිණෙන්නේය; කෙසේද යත්? සාගරමහඃ, සමුද්‍රජලය; තෘණෙල්කයා, තණ සුලකින්; තාපයිතුම්, තවන්නට හෙවත් හුණු කරන්නට; නශක්‍යම්, නොපිළිවනි; එ එසේමැයි.

බොහෝ වූ ලවන ජලය තණ සුලකින් හුණුකොට ගත නොහැක්කා සේ, මුඛයෙන් ක්‍රෑරවූ බස්බිනුම් අසන්නා වූ සත් පුරුෂයා ගේ චිත්ත ස්වභාවය විකාරයට පමුණුවාගත නොහැක්කේ යයි යනු අභිප්‍රායයි.

2010-09-06

නිලන්ත පියසිරි විසින් 23:27 පැයට
1

විවාහය ගණුදෙණුවක් වන කල් හී ආදරය

බොහෝ දෙමව්පියන් තම දූ දරුවන් ගේ ආදර මුල් ආදර සම්බන්ධතා දෙස බලන්නේ ඔවුන් ජීවිතයේ ගත කොට ඇති කාලයත් සමඟ සංසන්දනාත්මකව විය හැක. ඔවුන ගේ මානයන් ආදරයේ මානයන් නොවන්නේ මය. ඒවා සමාජිය මානයන් ම වේ. ගෙවල් දොරවල්, මුදල් හදල්, යාන වාහන, වතු පිටි, වැඩ පොල ආදී යුගල පද රැසක් මේ මිනුම් දඩු අතර වුව ද තම දරුවාට මේ සහකරු/සහකාරිය කෙතරම් ආදරේ ද යන්න කොතැනකදී වත් නොසැලකේ.

එහෙත් මෙකල බොහෝ දෙනා විවාහ වනුයේ ඉතාම යොවුන් වයසින් ම නොවේ. ඔවුන් විවාහය පතනුයේ යොවුන් විය ඉක්ම වීමට ඇති අල්ල පනල්ලේ වෙති. මෙහිදී මොවුන් ගේ විවාහයේ මාන වෙනස් ව ක්‍රියා කරයි. පිරිමි ඔවුන් ගේ ජීවිත කඩ ඉම් පැනීමට බිරිඳක් සොයති. දෑවැද්දට ඉහත කී යුගල පද රැසම සොයති. විවාහයේ මූලික උවමනාව කුමක් විය හැකිද? මා නම් සිතන්නෙ ආදරය ලබාදීම හා ආදරය ලැබීම ලිංගිකත්වය හා මුසුව පැවතීම බවයි. එසේ වූ විට ගැහැණියක ගේ රූ සපුව දෙස බොහෝ දෙනෙක් සිත යොමු කරනවාක් මෙන්ම ඇය ගේ ආදරණීය ගති ගුණ දෙසත් සිත යොමු වෙයි. එහෙත් ආදරය ගණුදෙණුවක් ලෙස බලන මෙකල බොහෝ දෙනා ඒ මූලික ගති පසෙක ලන බව හැගේ. සත්ව ලෝකයේ පැවත් ම උදෙසා ගැහැණුන් සහ පිරිමින් එකතු වුවද, තෘප්තිය උදෙසා එසේ බැදෙන්නේ මිනිසා සහ ඩොල්ෆින් පමණක් බව මා කිසියම් තැනක කියැවූ බව මතකය. ගැහැණික ගේ රූ සපුව යනු ඇය දරුවෙකු දැරීමට ඉතාමත් යෝග්‍ය බව පිරිමින්ට පෙන්වන විදිහක් බව මහැඳුරු කාලෝ ෆොන්සේකා විටෙක කීවේය. එළෙසම නිරෝගිමත් පිරිමින් උදෙසා ගැහැණු සිත ඇඳී යාමත් ස්වභාවයේ ම කොටසක් බව ඔහු එහි දී පැවසීය. 

එහෙත් අද ආදරයට පමණකුඳු නොව ඒ සොබා පැවත්මට ද මේ විවාහ ගණු දෙනුව පහර දෙන බව හැඟේ. "අයියේ මට, දෑවැද්ද මෙච්චරක් තියෙනවා, මගේ රැකියාව මේකයි. පුළුවන් නම් හොඳ කෙනෙකු හොයලා දෙන්න" කියා එක් නැඟණියක් මගේ යහළුවෙකුට පැවසූ බව ඔහු රාජකාරීයේ දී මට පැවසීය. මේ සියල්ල මට සිතුනේ ඒ එක් වැකියක් නිසාවෙනි. ඇත්තටම ගැහැණු සොයන්නේ ජීවත් වීමට මාර්ගයක් ද නැතිනම් ආදරය ද? එළෙස තමා ගේ පැවත්මට විවාහ වෙන ගැහැණු අර තිස්ස ගේ ආදර වැකිය සංතෘප්ත කරයි ද?

2010-09-02

නිලන්ත පියසිරි විසින් 22:48 පැයට
1

අනුන් වගේ

"ඇල්බට් අයිස්ටයින්ට් වගේ වෙන්න, නැතිනම් එහා ගෙදර හොඳට පාඩම් කරන ළමයා වගේ වෙන්න, අරයා වගේ වෙන්න, මෙයා වගේ වෙන්න......" ආදී වශයෙන් වන වචන මාළාව ලෝකයේ ආරම්භයේ පටන් දෙමව්පියන් විසින් ළමුන් සඳහා කියූ දෙයක් විය හැක. අන්තිමට මිනිස්සූ අනිත් මිනිසා කරන කියන දේ බලමින් ජීවත් වෙන රූකඩ වී ඇති බවක් හැඟේ. එහා ගෙදර මනුස්සයා වාහනයක් ගත්තොත් මේ ගෙදර මිනිස්සුන්ටත් එය අවැසි වෙයි. යමෙක් ඇඳගෙන යන වස්තරයක් දුටුවොත් තමාටත් එවැන්නක් ගතහොත් හොඳයැයි සිතේ. දුම් බොන (අ)මනුස්සයා දුටු කල මටත් එසේ කළ නොහැකිදැයි උත්සහ කොට ජීවිතාන්තය දක්වා අමාරුවේ වැටේ. ඇත්තටම මිනිහෙකුට තමුන් ම පමණක් විය වී ජීවත් විය හැකිද? මේ ගැන සිතුනේ ව්‍යාසකාරය හි වූ මේ ශ්ළෝකය නිසාය.

2. එතාවජ්ජනම්සාඵල්‍යං යදනායත්ත වෘත්තිතා,
යෙ පරාධීන ජන්මානස් තෙ චෙජ්ජිවන්තිකෙ මෘතඃ

අනායත්ත වෘත්තිතා, අනුන් අයිති පැවතුම් නැති බවය යන; යත්, යමක් ඇද්ද; එතාවත්, මෙපමණෙක් ම; ජන්මසාඵල්‍යම්, උපන් ජන්මයෙහි ප්‍රයෝජන නම් වන්නේය; යෙ, යම් සත්ව කෙනෙක්; පරාධීන ජන්මානඃ අනුන් අයිති වූ පැවතුම් ඇත්තාහුද, තෙ, එ සත්වයෝ; ජිවන්ති, වෙත්; ඉඳින්, ජිවත් වන්නාහු නම්, මෘතඃ, මළහු; කෙ, කවරහු වෙද්ද. 

2010-09-01

නිලන්ත පියසිරි විසින් 00:11 පැයට
1

ව්‍යාසකාරය

පොත් පත් ටිකක් එහා මෙහා කරමින් සිටියදී, අපේ අත්තා ගේ පරණ පොතක් මතු වුනා. එහි නම "ව්‍යාසකාරය". බොහෝම පුරාණ පෙනුමක් තිබුණු පොතක්. කොළ දිය වෙලා යන්න ලඟ බවකුත් පෙනුනා. හැබැයි තියෙන්නේ "සංස්කෘත ශ්ළෝක". සිංහළෙන් සරල හැදින්වීමක් කරලත් තියෙනවා. නමුත් ඒක එච්චරම තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඔය ඉස්සර කාලේ වචන හොඳින් උච්ඡාරණය වෙන්න කියලා කියවන්න දෙන පොතක් කියනව නොවැ ඕකත්. 

"සකස්කඩ නොකිවූ කට උගේ කට හුඹස් කට"

කියලා කියමනකුත් තියෙනවා. හැබැයි එහෙම නම් මගේ කට පමණක් නොවේ ලංකාවේ බොහෝ දෙනෙකුට තියෙන්නේ දැන් හුඹස් කටවල්, එහෙම නොවෙද? එහෙම කියවලා උච්ඡාරණය සකස් කරගන්න, නිදැසි ලෙස, "සකස්කඩ, බුද්ධ ගඡ්ජය, ප්‍රත්‍ය ශතකය, නාමත්‍ර ශතකය, හිතෝපදේශය...." ආදි වශයෙන් ලැයිස්තුවක් කියැවෙනවා කියල යන්තම් මතකයේ තියෙනවා. 
හැබැයි, මේ ශ්ළෝක කියවන්න නම් එක පාරට මොන ජගතෙකුටවත් බැරිව ඇති. හැබැයි, අර කීවත් වගේ මේ ශ්ළෝක කියෙව්වොත් උච්ඡාරණය කරන්න බැරි වදනකුත් ආයෙත් නම් නැහැ.

 කොහොම වෙතත්, මේ පොතත් දිය වෙලා යන්න වගේ නිසා මට හිතුනා පොත තියෙන විදිහටම, ඉඩ කඩ ලැබෙන විදිහට ශ්ළෝකය බැගින් මගේ දින සටහන් වලට එකතු කරන්න. පස්සේ බැරියැ ඕනෑ නම් එකට එකතු කරලා කවුරුන්ට නමුත් ප්‍රයෝජනයකට ගන්නත්. අනිත් එක මේකෙන් මේ සිංහල යුනිකේත වල හැකියාවත්, නොහැකියාව නොහොත් වැඩි දියුණු කළ යුතු දේත්  මැණෙනවා නොවැ. නිදසුනක් ලෙස ගතහොත්, පෙර අකුර පසු අකුරට බැදි පසු පෙර අකුර හල් වෙන මුත් එසේ බැඳි අකුරු භාවිතයට අපෙ යුනිකේත තවමත් උදව් නොකරයි. එසේම ඔය ඉස්සර හිටිය පඬියෝ වගේ අපේ අයටත් උදාහරණයකට සංස්කෘත ශ්ළෝකයක් දෙකක් තමන් ගේ කතාවල් මැද්දට දාගන්න ත් බැරියෑ නේද? 

ව්‍යාසකාරය
 නමශ්ශාක්‍යසිංහාය 
ශාක්‍යසිංහාය, සර්‍වඥරාජයාහට; නමඃ, නමස්කාරය;
අසතු වේවා;
1.   අඥානතිමිරාන්‍ධානං විභ්‍රාන්තානාං කෘද්‍රෂ්ටිහිඃ,
      ඥානාඤ්ජන ශලාකාභිර්‍වව්‍යාසෙනොනමිලිතං ජගත්

අඥාන, නුනුවණ නැමැති, තිමිර, අන්ධකාරයෙන්; අන්ධානාම්, කිසිවක් නොදැක්කහෙන්නාවූ; කෘද්‍රෂ්ටියෙන් හෙවත් ඇති සැටිය තබා වරදවා ගැන්මෙන්; විභ්‍රාන්තානම්, වේදෝ හෝ නොවේදෝහෝයි සැක ඇතිව මුළාව ඇවිදිනා සත්වයන්ට; ව්‍යාසෙන, ව්‍යාස නම් සෘෂින් විසින්; ජගත්, ලොව හෙවත් ලොකයෙහි කළමනා නොකළමනා කටයුතු; ඥානාඤ්ජන ශලාකාහිඃ, නුවණ නමැති බෙහෙත් අඳුන් ඉරටුයෙන්, උන්මිලිතං, ප්‍රකාශකොට දක්වන ලදි.

2010-08-22

නිලන්ත පියසිරි විසින් 02:28 පැයට
3

රෑ ගමනාගමනය

රාත්‍රියේ වීථි සැරීම පරිහානියට කරුණක් බව බුදු දහමේ පරිහානියට කරුණු දැක්වෙන සූත්‍රයක දැක්වේ. එසේ වුවත් රාජකාරිය අනුව නිවාඩු නැති බැවින් රෑ බෝ වී නමුත් බිරිඳ ගේ මුල් ගෙදරට යා යුතු වූ යේ එහි වූ පිං පැමිණ වීමේ දානය නිමාවෙන් පසු දියණියන් නැවත ගෙදර ගෙන ඒමේ උවමනාව නිසාය.  රාජකාරි නිමාවෙන් පසු පිටකොටුව බස් නැවතුමෙන් මාතලේ දක්වා යන කිසිඳු බසයක් නොවීය. නුවරට යා හැකි බසයන් ද සිදුරක් නැතුව පිරී තිබුණි. නඟරාන්තර කියන සෑම තැනම නවත්වන බසයක මැද අසුනක බොහෝ අමාරුවෙන් වාඩි වී දෙඟුණයක් මුදල් ගෙවා යන්තම් මහනුවරට එන විට වේලාව රාත්‍රී දහය පසුවී තිබුණි. බස් නැවතුම පුරවා බසයන් ගාල් කර තිබුනත් පොලිස් නිළධාරියෙක් කීවේ ඒවා ගමනේ යෙදෙනු යේ පෙරහැර අවසානයේ බවය. කෙසේ නමුදු විනාඩි 45 කින් පමණ මාතලේ දිවෙන බසයක් බස් ගාලට ආවෙන් මං ඇසල පෙළහරට පිං දෙමින් මාතලේට ආවේ රාත්‍රී 1210 පමණය. අහෝ මේ මාතලේ නඟරය ද?, කිසිඳු මිනිස් පුළුටක් හෝ කිසි තැනක නොමැත. තෙසක රියක පිහිටක් ලැබීමේ අටියෙන් පැමිණි මට මේ වූ යේ කුමක්ද? මා හටම හැර කිසිවෙකුට දොස් කිව නොහැක. යක්කු ගස් යන යාමේ, බසයක් තිබිය යුතු යැයි කියා දොස් නැඟීම අප යකෙකු කරනු ලබයි. තෙසක රිය පදවන්නෝ ද මිනිසුන් බැවින් රැයේ ඔවුන් නින්ද ලැබිය යුතුම වෙයි. කිසිවෙකුට දොස් නොකියා මම පයින් ම ගමන ඇරඹුවෙමි. විථි ලාම්පු නැති බැවින් බොහෝ විට පැමිණියේ ජංගම දුරකතනයේ පිහිටෙනි. කි.මි. 8 ක් පමණ පැය දෙකකින් පමණ ගෙවා දමා ගෙදරට ගොඩ වූයෙමි. මා එන තුර සොඳුරිය ඇහැර සිටි බව කේන්ති ගිය මුහුණෙන් පෙනුනි. එහෙත් මහන්සිය සහ අමාරුව, නිදා සිටි කුඩා දියණියන් දැක්මෙන්ම මිදී ගියේය.

"අප්පච්චි හොරෙන්ම ඇවිත් නිදා ගෙන නේද? මං දැක්කා" දියණිය උදයේ මා ඇහැරවිමින් කියන්නීය. 

"පයින්ම ඇවිත් කකුල් රිදෙනවාද?" අම්මා අසන්නීය.

මගේ සිත තුල ආදරය දෝරේ ගලා යයි. 

"නෑ මට ගානක් නැහැ" මම කීවෙමි. 

2010-08-15

නිලන්ත පියසිරි විසින් 23:37 පැයට
3

අවිවේකී ආදරය

මා මීට පෙර කී පරිදි,  නිවසේ සිට රාජකාරියට සහ රාජකාරියේ සිට නැවත නිවසට පැමිණෙන විට, බොහෝ විට ජංගම දුරකතනය තුලින් කුමක් හෝ සවන් දිය හැකි පොතක් (audio book) අසමින් ගමනේ යෙදෙමි. අවසන් වරට සවන් දුන් පොතේ වූ වැකියක් මාව අදහස් මාවත් කිහිපයක ගෙන ගියේය. ඒ වැකිය නම් "Happy couples spend some quality time together" යන්නයි. 

විවාහයට පෙර අඩුම තරමේ සතියකට වරක් වත් හමු වී පැය දෙක තුන කතා කරන යුවලකට විවාහයෙන් පසුව එසේ අඩුම තරමේ පැය කාලක් වත් කතා කිරීමේ නිදහස තිබේද? ආදරයෙන් තුරුලු වී, මහත් වූ සිහින රජයන් සදන යුවල කීයක් විවාහයෙන් පසුව වසර පුරාවටම එසේ සිහින රජයන් සදන්න ආදරයෙන් තුරුලු වී කතා කරමින් සිටින්නේද? 

ධනාත්මක චින්තනය, S 5 හෝ වෙනත් ඕනෑම කාර්‍යක්‍ෂමතාවය ඉහල නංවන ක්‍රියාකාරීත්වයන් ගැන කතා කරන බොහෝ දෙනෙකු විවාහය ගැන සිතන්නේ දියුණු වීමේ ගණුදෙනුවක් ලෙසිනි.

"බිරිය ගෙන් මට ලැබුණු දෑවැද්ද මෙපමණ වූයේ නම් මගේ මේ තියෙන පළමු වෙනි ප්‍රශ්ණය ඉවරයි"

ඒ එක්තරා මුදල් අරමුණු කරගත් අයෙකුගේ අදහසක් ය. 

"අපේ husband ගේ දැනුම පාවිච්චි කරලා හොඳට හම්බ කරන්න පුළුවන් අනේ, ඒත් එයාට උවමනාවක් නැහැනේ"

ඒ තවත් දියණුවෙන බිරියක ගේ වචනය. ඇත්තෙන් ම දියුණුව තුළ ආදරයට තැනක් නැතිද?

උදයේ පාන්දරම වෙහෙස වී කෑම පිළියෙල කරන බිරිය ඉසුරු සොයන්නට රාජකාරියට ඇදෙන්නේ තමන් ගැහැණියක් වීම ගැන පිරිමින්ට දෙස් දෙවොල් තබමින් විය හැකිය. ඇය සවස නිවසට පා තබන්නේ හෙම්බත් වී නමුදු දරුවන් ගේ රෑ කෑම පිළියෙළ කොට ළමුන් හැඩි කොට ඇති නිවස නැවත සකසා තවමත් කිරි ඉල්ලා අඩන දරුවාට කිරිපොවා, ඊලඟ දිනයේ රාජකාරිය ගැන මෙනෙහි කරන ඇයට තම සැමියා ගෙන් රාජකාරී අමාරුදැයි අසා සිත සනසන්නට ඉඩක් වේලාවක් නොමැත. ඇයට ලබා ගත යුතු එකම කායික සන්තර්පණය නම් නින්දයි. තමා මෙන්ම රැකියාවක් කරන සැමියා තමුන්ට සාපේක්‍ෂව වෙහෙසක් නොදරන බව ඇයට දැනෙයි. මෙගාලිතික යුගයේ නිවසට වී සිට බිරිඳ ගේ සැමියා අඬු බඬු කඩාගෙන සතෙක් එලාගෙන නිවසට එනවා දකින සතුට අදීන බිරිඳට අත්විදිය නොහැකිය. මක් නිසාද යත් බිරිඳ රාජකාරී නොකළහොත් සතයක් ඉතුරු කරනවා තියා ජීවත් වීමටත් මුදල් මඳය. 

බිරිඳ ගේ වෙහෙස සලකා බැලීමේ දී සැමියා ගේ දියුණුව සඳහා දැරෙන වෙහෙස මඳය. එබැවින් ඇය තව අපේක්‍ෂා කරන්නීය. ඔවුනොවුන් කතා නොකරති. කතා කරමින් ගත කරන්නට වෙලාවක් නැත, පවුලක් ලෙස දියුණු විය යුතුය. ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, දැසි දසුන්, මෙකී නොකී සියළු දෑ අප ලඟා කරගත යුතුය. එහෙත් විවාහ වී සිටින අප එකිනෙකාට ලඟා නොවිය යුතු වේ. එසේ ආදරයෙන් සිටීමට අපට වෙලාවක් නැත. එහෙත් නැවත ඉහත කී වැකිය කියැවෙයි. "Happy couples spend some quality time together". දැන් මගේ සිත තවත් චිත්ත වීදියක දුවයි.....   

2010-08-10

නිලන්ත පියසිරි විසින් 23:32 පැයට
2

කාය බර දසුන සහ කෑම

කාය බර දසුන නොහොත් ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් body mass index අනුව සාමාන්‍ය බරක් වීමට මගේ තිබිය යුතු ප්‍රමාණය වනුයේ 24.9 කි. එහෙත් දර්ශකයේ දැනටමත් මගේ 28.0 පෙන්නුම් කරනු ලබයි. එනම් මා විසින් මගේ ශරීරයේ බර අඩු කළ යුතුය. එසේ නැති වුවහොත් බටහිර වෙදකමේ දිව පැටලෙන දහසකුත් ලෙඩ රෝග මා වෙත පැමිණීමේ ඉහළ සම්භාවිතාවක් වේ. ඉහත දැක්වූ දර්ශකයේ සාමාන්‍ය බරකට පැමිණීම සඳහා තව කිලෝ 9 කින් වත් බර අඩු කළ යුතු වේ. දැන් කොහොමද මේක කරන්නේ. 
උදෙන්ම රජෙක් වගේ කන්න ඕනෙ කියලා හාමිනේ බෙදලා දෙන බත් පිඟානම දෙසා බානවා. ඒ මඳිවාට උස්සගෙන යන්න බැරි තරම් බරට බත් ගෙඩියකුත් බැඳලා දෙනවා රාජකාරියේ දී කන්න කියලා. බැණ, බැණ යන්නේ මේකේ බර කියලා. ගිහින් ඔපීසියේ, පිරිගණනය ඉස්සරහින් වාඩි වුනාහම වතුර ටිකක් වත් පෙවෙන්නේ නැහැ. ඔන්න දවල් කෑම වෙලාව එනවා. අපරාදේ කියන්න බැහැ, හාමිනේට රසට උයන්න නම් පුළුවන්. ඉතිං බත් ඇටයක් ඉතිරි වෙන්න නැතිවෙන්න දවල් බත් ගෙඩියටත් වග කියනවා. ආයෙත් ඔපීසියේ පිරිගණනය ඉදිරියේ  පුටුව උඩ ඉතිරි කාලය ගත කරලා හැන්දෑවට ගෙදර එනවා. ගෙදර ආපු ගමන් ඔන්න අඩුම ගානේ විස්කෝතුවක් වත් හරහා පිශ්ඨය තව ටිකක් ඇඟට දාගෙන තේ බොනවා. ඒ එක්කම වැඩි වෙලාවක් නැතිව රෑට කෑම. අද රෑට නම් හිඟන්නෙක් වගේ කන්න ඕනේ කියලා, පොඩ්ඩක් කාලා පැත්තකට වුනොත් හාමිනේ ගේ මූණ හරි නැහැ.

"කෑම රස නැතිද?"
"නෑ එහෙම නෙමේ,  මං මේ හිතුවේ බර ටිකක් අඩු කර ගන්න"
"ඔය බොරු, එහෙනම් වෙනදට කෑවේ, අද කෑම රස නැතිද කොහෙද?"

ඒ වැඩෙත් හරි යන්නේ නැහැ. කොහොම කොහොම හරි දර්ශකේ 30 පැන්නොත් නම් අතිශය අවදානමක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේක හරි යන්නේ නැහැ, එහෙනම් ව්‍යායාම ටිකක් වත් කරන්න ඕනේ. 

"කෝ මගේ තිබුණු, කැන්වස් සපත්තු දෙක"
"ඔයා ඒක දාන්නේ නැති නිසා, 5 S සංකල්පේ යටතේ විසිකරලා දැම්මා"

දුවන්න නම් සපත්තු දෙකක් ගන්න ම ඕනේ, හැන්දෑවක ගියා සපත්තු කඩේකට. ඔය තියෙන්නේ පාසල් කාලේ දමාපු, ඒ කාලේ වැඩිය කැමැති නැති, කැන්වස් ජෝඩු. 

"කීයද මේක?"
"සර්, ඕක රුපියල් එක්දහස් පන්සීයයි"
"නැහැ, මං ඇහුවේ මේකේ ගාණන"
"ඕක තමයි සර් මම කිව්වේ"
බුදු අප්පච්චියෝ, ඒ කාලේ නිකං වත් දමාපු නැති, කැන්වස් වලට දැන් ගිය කලක්? 

"සර්, මොකද ඩෙනිමට දාන්න ද?"
"ඩෙනිමට නෙමේ, මේ දුවන්න දාන්න"
"දැන් වැඩේ සර් මේවා ඔක්කොම ඩෙනිමට දානව නේ, ඒ නිසා ටිකක් මිළ අධිකයි"

එවා යේ ගණන ඇසූ සැණින් නම් මට හොඳ දාඩියක් පිට වෙනු දැනුණි. එහෙම හරි දාඩිය පිට වෙලා දර්ශකේ පහල ගියොත් නම් හොදයි කියා මට සිතුණි.

2010-08-08

නිලන්ත පියසිරි විසින් 22:17 පැයට
0

GRUB එක අසමත් වුවහොත් කොහොමද?

ලිනුක්ස් පාවිච්චි කරන්න ගත්ත මුල් කාලේ තිබුනු බොහෝ විට පැන නැඟුනු පැණයක් තමයි, GRUB එක අසමත් වීම හෙවත් GRUB stage 1 failure. දැන් නම් ඒකෙන් ගොඩ යන ක්‍රමයක් අහගත්තා. ඒක අමතක වුනොත් යන බිය නිසාත්, තවත් මා වැනිම ලිනුක්ස් වලට කැමැති අය සඳහාත් මම ඒ ගැන කෙටි සටහනක් තබමි.  මේ සඳහා ඔබට අනිවාර්යෙන්ම ලිනුක්ස් CD/DVD අවැසිමයි. එය ලඟ නැතිනම් මෙතනින් එහාට කිසිඳු පියවරක් ගැනීමෙන් වලකින්න.

පලමු පියවර ලෙස අපි GRUB stage ක්‍රමලේඛය ඉවත් කරමු. ඒ සඳහා පළමුව disk device කුමක් ද යන්න සොයා ගැනුමට fdisk -l යන අණය ක්‍රියාත්මක කරමු. මතක තබා ගන්න මේ සඳහා ඔබට root ආකාරයෙන් ඇතුළු වීමට සිදු වේ. 

Disk /dev/sda: 251.0 GB, 251000193024 bytes
255 heads, 63 sectors/track, 30515 cylinders
Units = cylinders of 16065 * 512 = 8225280 bytes

   Device Boot      Start         End      Blocks   Id  System
/dev/sda1   *           1          13      104391   83  Linux
/dev/sda2              14       30384   243955057+  83  Linux
/dev/sda3           30385       30515     1052257+  82  Linux swap


අපි යන්නේ GRUB ක්‍රමලේඛය ඉවත් කිරීමටයි. මෙය ඉවත් කළ පසුව ඔබ ගේ පිරිගණනය boot වීමට නො හැකිව සිටිනු දකින්නට ලැබේ. මෙහිදී hda ලෙස හෝ sda ලෙස ඔබ ගේ disk device වින්‍යාසය දක්වනු ලබයි ලබයි.  දැන් අපි MBR හි GRUB ඉවත් කරමු.

# dd if=/dev/zero of=/dev/sda bs=446 count=1
 
මෙහි 446 යනු MBR හී GRUB stage 1 පිහිටුවෙන කොටසයි.

හොදයි දැන් ඔබේ යන්තරය ක්‍රියාත්මක කොට බලන්න. හහ් GRUB නැතිව හිර වෙලා නේද?

දැන් අපි බලමු මේක ගොඩ දාන හැටි. ඔබ ගේ ලිනුක් පිහිටුවීමේ CD/DVD තුලින් boot කරන්න. එහි ඇති rescue තේරීම තුලින් යන්න. දැන් තැනකට ඇවිත් ඇති. rescue mode හිදී ඔබ ගේ කලින් පිහිටුවීම mount වනු යේ /mnt/sysimage නම් තැනටයි. දැන් මේක බේරා ගන්න නම් එම තැනට අප යා යුතුයි. ඒ සඳහා

# chroot /mnt/sysimage

ලෙස අණවන්න. දැන් GRUB stage 1 නැවත පිහිටුවීමට

# grub-install /dev/sda

ලෙස අණක් දුන්නේ නම්, ඔන්න ඔබ ගොඩ.

2010-08-05

නිලන්ත පියසිරි විසින් 23:57 පැයට
1

අභිමතාර්ත රෝපණය හෙවත් goal implanting

මම සාමාන්‍යයෙන් උදේ හවස බසයේ යන කෙනෙකු බැවිනුත්, එහි යන කාලය අතර තුර බසයේ ඇසෙන නිරන්තර කන්දොස්කිරියාවෙන් මිදෙනු පිණිසත් මාගේ ජංගම දුරකතනයට කුමක් හෝ ශ්‍රව්‍ය පොතක් (audio book) දමා ගෙන එය අසමින් යන්නෙමි. ඒවා බොහෝ විට බාගන්නේ තුරුදැලින් ම තමයි. වෙසෙසින් ම ටොරන්ට් ආධාරයෙන්. පසු ගිය දිනක Demonoid හී තිබී "Become a Millionaire in 3 Years." නැමැති පොතක් එදින වූ මඳ seeds මැද වුව ද දවසින් වරුවක් පමණ ගත කොට බාගත කළෙමි. පසුව ජංගම දුරකතනයට ද එය දමා ගෙන බසය තුලදී ක්‍රියාත්මක කළෙමි. මඳ විස්තරයකින් පසුව, goal implant කිරීමට යැයි කියමින්, පසුබිමෙන් යැවෙන සිහින් සංගීත රාවය සමඟ "You are going to be a millionaire in 3 years.......You are going to be a millionaire in 3 years.......You are going to be a millionaire in 3 years.......You are going to be a millionaire in 3 years.......You are going to be a millionaire in 3 years.......ආදී වශයෙන් මගේ ගමන අවසන් වන තෙක්ම එකම දෙය නැවත නැවතත් කියැවිනි. මුදල් සෙවීමේ මාර්ග හෝ එයට කළ යුතු දේ ඇසීමට ගිය මට ඇසීමට වූ දේ ගැන මඳ සිනහද පහල විය.  අවුරුදු තුනකින් දස ලක්ෂපතියෙකු වීමට මෙය අවුරුදු තුනක් ම ඇසිය යුතු වේ යැයි මට සිතුනි.

2010-08-04

නිලන්ත පියසිරි විසින් 22:36 පැයට
1

HIV මඳුරුවන් ගෙන් බෝ වෙයි.

දැනට ටික කාලයකට පෙර මා අන්තර්ජාලයෙන් ම කියැවූ පුවතක වූයේ "අමරිකාවේ දකුණු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ HIV ආසාදිතයන් වැඩි වී ඇත්තේ මදුරුවන් මඟින් එය සම්ප්‍රේශණය වන බැවින්" බවයි. නමුත් එය එසේ නො වන බව පසුව නොයෙකුත් ආයතන මඟින් තහවුරු කරන ලදි. මේ දින වල මදුරුවන් නිසා සිදුවන ඩෙංගු මරණ ගණන දෙස බැළු කල, මට හිතුනේ "ඇත්තටම ඩෙංගු නොව HIV මදුරුවන් මඟින් බෝ වීමට හැකියාව තිබුනේ නම් කුමක් වේවිද?" කියායි. ඔබ හිතනවාද මීට වඩා මිනිසුන් මේ ගැන සැලකිලිමත් වේවි කියා? මගේ පිළිතුර නම් නැත යන්නයි. තමා ගේ නිවෙසින් පිටතට යෝගට් කෝප්පය, කිරි හට්ටිය, පොල් කට්ට හෝ සැමන් ටින් එක දැමූ පසු කරදරය නිමයි යැයි සිතන මිනිසුන් සිටින තෙක් ඩෙංගු හෝ HIV නොව ඊට වඩා වැඩි රෝගයක් වත් මේ මිනිසුන් ව බය නො කරනු ඇත.

2010-08-03

නිලන්ත පියසිරි විසින් 15:13 පැයට
2

දැන්වීම් සහ හොර ගෑනු

පසු ගිය දිනයන් හී දවටගහ හන්දිය (Townhall, Lipton වටරවුම) අසලින් ගියේ නම් එහි වූ දැන්වීම් සමූහය නො දකින්නට විදිහක් නොමැත. "DG ගෙදර පල!", DG ගේ හොර ගෑනී ලබුදූවේ ජානකී", ලබුදූවේ ජානකී ගේ හොර මිනිහා DG"  ආදී වශයෙන් කප්පරකට දැන්වීම් එහි වූයේ ය. මා හිතන්නේ දිනක ට වැඩිපුර ම  දැන්වීම් ඇලවෙන්නේ, පුරහල සහ දවටගහ හන්දිය අවටය. නීතියේ හැටියට නම් අවසර ලත් තැන් හී හැර දැන්වීම් ඇලවීම තහනම් වේ. එහෙත් ලංකාවේ නීතිය, නිරන්තරයෙන් විහිළුවට ලක් කරමින් දැන්වීම් අලවන්නෝ තැනක් නො තැනක් නො බලා දැන්වීම් අලවති. ඒ හැර තීන්ත වලින් බිත්ති වල ලියති. දැන්වීම් සඳහා යන කඩදාසි නම් කෙතෙක් විය හැකිද? සමාජ සමානාත්මතාවය කෙසේ වෙතත් පොතක් පැන්සලක් ලබා ගැනීමට නො හැකි, ළමුන් කී දෙනෙකු ට මේ කඩදාසි උපයෝගී කොට ගෙන පොත් සැපැයිය හැකිද? නො තැන දැන්වීම් ඇලවීම වැලැක්විය නො හැක්කේ ඇයි? දැන්වීමක් ඇලවූ වහාම එය අයිති කා හට දැයි, ඕනෑම කෙනෙකු හට කිව හැක. චිත්‍රපටියක් නම් එහි නිෂ්පාදක, අමතර අධ්‍යාපනික ආයතනයක් නම් එහි අයිතිකරු ආදී වශයෙන් ඕනෑම දැන්වීමක අයිතිකරුවෙකු සොයා ගත හැක. (හැබැයි ඉහත කී හොර ගෑනු ගැන ගැසූ කැලෑ පත්තර වල නම් අයිතිකරුවෙකු සොයා ගැනීම ට නො හැකිව වනු ඇත.)
බසයේ නිවෙස බලා යද්දී ඉහත කී DG ගැන ගැසූ කැලෑ පත්තර දැන්වීම් වල කියැවුනු "DG ගෙදර පල!" යන්න කියැවූ මගේ මිතුරෙකු කීවේ එය ගසා ඇත්තේ DG ගේ හාමිනේ බවයි. ඒ කුමක් නිසාදැයි මම විමසුවෙමි. 

"මේක නේ මචං, මිනිහා ගෙදර එන්නේ නැතිව ඇති, ඒකයි ගෙදර පල කියලා ගහලා තියෙන්නේ"

2010-08-02

නිලන්ත පියසිරි විසින් 21:45 පැයට
2

සිය දිවි හානි කර ගැනීමේ මහඟු ආදර්ශය

අද පත්තරයක වූ යේ "රියන්සි දුන්නේ මහඟු ආදර්ශයක්" නම් වු මැයකි. තමා ගේ පණ නසා ගැනීම කිනම් වු නිදසුනක් ද? එය කුමන ආගමකට/දසුනකට අනුව වුවද මහත් වූ මුග්ද නපුරු වැඩකි. මෙය මහඟු නිදසුනක් යැයි කීමෙන් වන්නේ තම පණ නසා ගැනීමට  තව තවත් ආවැඩීමකි, පොහොර සැපයීමකි. තම දිවි තොර කර ගන්නේ තමාට පමණක් නොව ජීවත් ව සිටින අනෙක් කිසිවකුට ද ආදරය නොමැති අයවලුන් නො වෙද? තම පණ නසා ගැන්ම පර පණ නැසීම වැනි වූ ක්‍රෑර කිරියකි. තම සිතැඟින ඉටු නොවේ නම්, අනුන් හෝ තමන් නැසිය යුතුය යන්න ආදර්ශයක් යැයි කියන පුවත් පත් ගැන කුමන කතාද? මා ගේ සොඳුරිය ගේ මයිලණුවන් ගේ සිය දිවි නසා ගැනීම හරහා මම මේ නපුරු ක්‍රියාවේ, අපුල හොඳින් අත් විඳ ඇත්තෙමි. එබැවින් කිසිඳු කලක තම පණ නසා ගැනීම ආදර්ශයක් නම් නො වන්නේය.

2010-07-30

නිලන්ත පියසිරි විසින් 15:38 පැයට
2

නපුරු නයා

ඊයේ රෑ නින්දට පෙර දුවනිට කියැවූ කතන්දරයේ වූ යේ නපුරු නයෙක් කාක්කෝ දෙපළක ගේ බිත්තර කන බැවින් එය වලක්වා ගැනීමට කපටි නරියෙකු ගෙන් උපදෙස් ලබා ගෙන රටේ රජු ගේ අග බිසව නාන තොටුපලෙන් මාලයක් ගෙනවුත් නයා ගේ බෙනය ඉදිරි පිට දැමූ පසු රාජ සේවකයෝ අවුත් නයා මැරූ බවට කියැවෙන කතාවකි.

අද උදයේ පෙර පාසල් යෑමට කෑම කවන වේලේ,

"අප්පච්චි, මම තමයි නපුරු නයා" යැයි දුවනි කීවාය.

"ඒ මොකද දුවනි?" මම ඇසුවෙමි.

"ඇයි, අර ඊයේ රෑ කියපු කතාවේ ඉන්න නපුරු නයා" ඇය කියන්නීය.

"හැමෝම කැමති, හොඳ කෙනෙක් වෙන්න නේ, ඇයි ඔයා නපුරු නයා වෙන්නේ?"

"ඉතිං, දැන් මං කන්නේ බිත්තර නේ, ඒ නිසා මම නපුරු නයා"

ඒ වේලාවේ මම ඇයට කවමින් සිටියේ බත් සමඟ බිත්තරයකි. අපූරුයි නොවැ පොඩි වුනත් තර්කය... මම සිතුවෙමි.

2010-07-21

නිලන්ත පියසිරි විසින් 23:38 පැයට
3

හොඳ ජාතියේ බල්ලෙක්

ඔන්න අද පොඩි හමුදා කතන්දරයක් කියන්නයි යන්නේ. මේ කතන්දරේ උපයෝගී කොටගෙන කාටවත් අපවාද, මඩ ගහනවා එහෙම නෙමෙයි ඕං, ආයුබෝවන්ඩ. මේක ඇහුවහම මට පණ යන්න හිනා ගිය නිසයි ලියන්නේ. අපේ බ්‍රිගේඩිය(ර්) තුමෙකු ගේ හාමිනේ ට හොඳ ජාතියේ බල්ලෙක් හදා ගන්න ආසවක් ඇති වුනා කියමුකෝ. ඉතිං මේ දොලදුක අපේ බ්‍රිගේඩිය(ර්) ට කිව්වා. ඔය කාලේ ත්‍රස්ත කැරැල්ල මැඩලමින් යන දින වකවානු වල. ඉතිං බ්‍රිගේඩිය(ර්) බැළුවා, යුද්දෙන් අනාත වෙච්ච හොඳ බල්ලෙක් හදා ගන්න එක පිං සිද්ද වෙන වැඩක් කියලා (නැතිව මුදලේ අගය එහෙම බලලා නෙවෙයි ඕං), යුද්දේ දරුණුවට ම යන පැත්තක ඉන්න අපේ ක(ර්)නල් කෙනෙකුට කිව්වා, 

"මචං ඔය පැත්තේ හොඳ ඇල්ෂේශන් වර්ගයේ බල්ලෙක් එහෙම යන එන මං නැතිව ඉන්නවා නම් මට කියපන්"

කියලා. ඔහොම ටික දවසක් යන කොට ක(ර්)නල්ට හොඳ බල්ලෙක් අනාත වෙලා ඉන්නවා හමුවුනා. 

"ස(ර්), වැඩේ හරි හොඳ ඇල්ෂේශන් බල්ලෙක් ඉන්නවා, කොහොමද ස(ර්) ට දෙන්නේ?, හැබැයි ඌ ට කතා කරන්න ඕනේ ඉංග්‍රිසියෙන්"

මේ වෙලාවේ මේ බ්‍රිගේඩිය(ර්) ඉන්නෙත් යාපනේ පැත්තේ. 

"ආහ්, හරි මචං, එහෙනම් ඔය ක්වා(ර්)ට(ර්) මාස්ටර් අතේ, ඔය බල්ලව අපේ ගෙදර ට යවපං මචං, පින් සිද්ද වෙයි"

දැන් ඔන්න බල්ලව ලොරියක දාගෙන ක්වා(ර්)ට(ර්) මාස්ටරු යි, තවත් කොල්ලෝ දෙන්නෙකු යි එනවා කොළඹ. ටික දුරක් ඇවිත්, පොඩි අඩියක් ගහලා යමු කියලා නැවැත්තුවේ නැතෑ තල් රා වඩියක. අනේ තල් රා ගහලා ලොරියට ඇවිත් බලනකොට බල්ලා පැනලා ගිහින්. දැන් මොකද කරන්නේ? මුළු පැත්ත පලාතෙ ම බල්ලා හෙව්වා, හොයා ගන්න නැහැ. දැන් මේ කතාව බ්‍රිගේඩිය(ර්) ට කිව්වොත් රස්සාව සිලිප් වෙනවා විතරක් නොවේ බෙල්ල ත් සිලිප් වෙන නිසා, ලඟ පාත හිටය තඩි වල් බලු රජෙක් ව දාගෙන ඔන්න දැන් යනවා බ්‍රිගේඩිය(ර්) ගේ ගෙදරට.

දැන් බ්‍රිගේඩිය(ර්) ගෙදර හාමිනේ ට කියලා..

"ඩාලිං, ඔන්න අද ගෙනත් දෙයි, හොඳ බල්ලෙක් ගෙදරට, හැබැයි, ඌට ඉංග්‍රිසියෙන් කියන ඒවා විතරයි තේරෙන්නේ?"

ඔන්න දැන් බල්ලා බ්‍රිගේඩිය(ර්) ගේ ගෙදරට ගෙනත් දුන්නා කියමුකෝ. දැන් මේ වල් බලු දඩෝරියා ගෙදර බැඳලා දාලා, මූ බෙරිහන් දෙනවා ගෙවල් සේරම උඩ යන්න. අනේ කවදා බැඳලා දාල හිටිය වල් බල්ලෙක් ද? දැන් බ්‍රිගේඩිය(ර්) ගේ නෝනා දෙනවා දෙනවා ඉංග්‍රීසියෙන්, මේ වල් බල්ලා දන්න ඉංගිරිසියක් නැති නිසා මූ තවත් උඩුබුරලනවා. 

"අනේ මූට ඉංගිරිසි තේරෙන්නේ නැහැ" 

කියලා, ලඟ පාත ගෙදරක වැඩට හිටිය දෙමළ මනුස්සයෙකුත් ගෙන්න ගෙන දෙමළෙනුත් බල්ලාට කියලා, අනේ කිසි දෙයක් අහන්නේ නැහැ, මූ උඩු බුරනවා.

දැන් හාමිනේ, බ්‍රිගේඩිය(ර්) ට කියලා..

"අනේ මේකා මොන බල්ලෙක් ද, මූට කිසි දෙයක් තේරෙන්නේ නැහැ, මූ කැලෑ බල්ලෙක්" කියලා.

ඔන්න බ්‍රිගේඩිය(ර්) ක(ර්)නල්ට කතා කරලා කියනවා...

"මොකාද බං අර එවපු බල්ලා, අපේ හාමිනේ කියන්නේ ඒකා මහ වල් බල්ලෙක් කියලා"

"පිස්සුද? ස(ර්), ඒකා නියම බල්ලා, මගේ ගාව කිහිප දවසක් හිටපු එකානේ, ඉන්න කෝ ස(ර්) මං හෙට අනිද්දා ඇවිත් බලලා යන්න, ඌට තවම තැන ගැන නිනව්වක් නැතිව ඇති"

දැන් මේක ක්වා(ර්)ට(ර්) මාස්ට(ර්) අහගෙන ඉන්නවා.. අපොයි, ක(ර්)නල් ගෙදර ගියොත් රස්සාවත් සිලිප් වෙනවා, දුරකතනයෙන් ගත්තා බ්‍රිගේඩිය(ර්) ගේ ගෙදර. අරගෙන ගෙදර ආරක්ෂාවට ඉන්න පොරගේ ගෝලයෙක් වෙන සොල්දාදුවෙකුට කිව්වා, යකෝ, ඔය බල්ලාව ලිහලා දාපන්, උඹට පිං සිද්ද වෙනවා"

ඔන්න ටික දවසකින් බ්‍රිගේඩිය(ර්) ගේ හාමිනේ කතා කරලා කියනවා "අනේ අර බල්ලා පැනලා ගිහිල්ලනේ"

අන්තිමට පොර බේරුනා. (පොර කිව්වේ බල්ලයි, QM දෙන්නම) 

(ස්තුතිය - කතාව කිව්ව සුසන්තට)

2010-07-20

නිලන්ත පියසිරි විසින් 14:45 පැයට
1

බනින්න කෙනෙක්

"ප්‍රභාත් වික්‍රමසිංහ ගේ දුවට ත් ඩෙංගු හැදිලා." කියලා ආරංචික් ලැබුනහම හිත බොහොම සසල විය. ඊට පළමු සතියේ අපි දෙන්නා ත් එකතු වෙලා වටපිටාව පිරිසිඳු කළෙමු. අප ගේ නිවෙස් ලඟ ඉඳි කෙරෙන නව ගොඩනැගිල්ලේ බාස් උන්නැහැලා විසින් රෑට රෑට හිස් කළ අරක්කු බෝතල් සියයකට වඩා කානුවක් අයිනේ තිබී සොයා ගතිමු. අපේ දරුවන්ට ඩෙංගු මඳුරුවා කරන වින්නැහි, ඒ උන්නැහැලාට ගණනක් නැහැ නොවැ.

මඳුරුවෝ හඳන්නේ අපි, උන්ට සැප වාසස්ථාන, තනන්නේ කවුද? අපේ මිනිස්සු. ඒත් කතා කරලා බලන්න එපැයැ, අපේ අයගේ ආදුරුසමත් ජීවිත ගැන. හැමෝම බනින්නේ ආණ්ඩුවට හරි, තව කවුරු හරි මිනිහෙකුට. බ්ලුමැන්ඩල් කුණු ගොඩ ගැන බනින්න කී දෙනෙක් ඉන්නවද? ඒත් කීයෙන් කී දෙනාද, වීදුරු, ප්ලාස්ටික්/පොලිතින් සහ දිරන අප දෑ වෙන වෙනම ඉවත දාන්නේ? සුද්ද කරපු මාළු බොකුයි, පොඩි එකා ගේ අසූචියි, පොලිතින් මල්ලයි, වීදුරු බෝතලයයි එකට දමපුවහම කවුරුද ඕක වෙන් කරලා ප්‍රතිචක්‍රි කරණය කරන්නේ.

මේ ලඟදී අපූරු පුවතක් තිබුනා කොළඹ සරසවි බිමේ, පොලිස් විශේෂ බලකාය ඩෙංගු මර්දන ව්‍යාපාරයක් කරලා, හිස් අරක්කු බෝතල් දුසිම් ගණනක් ඉවත් කළා කියලා. ඒත් උදාහරණයකට දැන් ලඟ ඉන්න කෙනා එක්ක වචනයක් දාලා බලන්න ඩෙංගු වලට වග කියන්න ඕනේ කවුද කියලා. අනිවාර්යෙන්න ම කිහිප දෙනෙකුට පලු යන්න බනියි.

2010-06-29

නිලන්ත පියසිරි විසින් 23:33 පැයට
3

දකින, ඇසෙන දේ නියම දෙයම නොවේ

අප පන්සලට ලබා දෙන මාසික පේරු දානය යෙදී ඇත්තේ සෑම මසකම 27 වන දින හීලටය.  එදිනට බොහෝ විට අප දෙනු ලබනුයේ බත් සමඟ මාළු පිණි කිහිපයකි. මගේ සොදුරියත් එය බොහෝ උනන්දුවෙන් පිළියෙල කරන බැවින් පන්සලට කෙසේ වෙතත් ගෙදරත් එදින හොඳ රසට සප්පායම් විය හැකි දිනයක් ද වෙයි. (මෙය දුටුවහොත් වෙනදාට කෑම රස නැතිදැයි ඇය ඇසීමට ද ඉඩ ඇත. ඒ ගැන වෙනම ලියමි). ඒ කෙසේ වෙතුඳු මීට පෙර හීල් දානයක් දිනයක දී සෑම දාම බත් මාළු පිණි දෙන බැවින් අප එදිනට කිරිබත් සහ ලුණු මිරිස් දානයට දීමට කතිකා කර ගතිමු. එදින හීල් දානය ගෙන යන විට වෙනදාට වඩා පමා වී තිබූ අතර පාසලේ ඉගැන්වීමට යන හාමුදුරුවෝ සක්මනේ  යෙදෙමින් දානය පරක්කු බැවින් පාසැල් යාමට පරක්කු බවක් පෙනෙන මුහුණෙන් සිටින අයුරුද මම දුටිමි. හැකි ඉක්මනින් දාන ශලාවට ගොස් බුද්ධ පූජාව ද සකසා එය ගෙන බුදු මැදුරට පිට වෙනවාත් සමඟම, හාමුදුරුවෝ, මා ගෙනා දාන භාජන හැර ඒ මොනවා දැයි බලා, එය කිරිබත් යැයි දැන දානය නොගෙන ලහි ලහියේ පාසලට වඩින අයුරු මම දුටිමි. පොඩි හාමුදුරුවෝ බුද්ධ පූජාවට ගාථා කියවන වේලාවේ පටන් ම මගේ සිත කළකිරී තිබුණි. එය සොඳුරියට කී කල ඇයද මහන්සියෙන් තැනූ දානය හාමුදුරුවෝ නොගත්තැයි කළකිරීමෙන්, "ආයෙත් නම් කවදාවත් කිරිබත් නොදී, බත් ම දෙමු යැයි" කිවාය. දානය ට දෙන දෙය කුමක් වුව ද, එය පිළිගත යුතු නොවෙදැයි, මම මගේ සිත සමඟම කියවා ගතිමි. 

එතෙක් පටන් අපෙ සෑම දාන වාරයකදී ම බත් ම ලබා දුන්නෙමු. පසු ගිය දිනක දාන වාරයේ දී ද දානය රැගෙන යාමට මඳක් පමා විය. එදින ද පෙර දා මෙන්ම දානය ගෙනෙන තෙක් හාමුදුරුවෝ මිදුලේ සක්මනේ යෙදී සිටින අයුරු මම දුටුවෙමි. එදින බුදු පූජාව සැකසූ පසු, හාමුදුරුවෝ දාන භාජන වලින් ප්ලාස්ටික් පෙට්ටියකට දන් බෙදා ගන්නා අයුරු දුටු මම, "

ඇයි හාමුදුරුවනේ හීල්  දානේ පන්සලේ දීම වලදලා නොවේ ද යන්නේ?" ඇසුවෙමි. 

"නැහැ මහත්තයෝ මේ හීල් දානේ නොවේ, දහවල් දානය, ඉස්කෝලේ ගියහම දවල් දානයට ආපසු වඩින්න බැහැ නොවැ"

කොහොමද මගේ සිතු දෙයි වැරැද්ද, මිට පෙර දින කිරිබත් නොගත්තේ එය දහවල් දානයට ගත නොහැකි බැවිනි.

2010-06-24

නිලන්ත පියසිරි විසින් 15:04 පැයට
0

දියුණුව පෙනෙන තෙක් මානේ ද?

මේ දිනයන් හී මෙහි සටහන් තැබීමට නොහැකි තරමට ම පාහේ හිත නොසන්සුන් ය. මීට පෙර තැබූ සටහනේ පරිදි තවමත් ඒ පැණය විසඳී නොමැත. එය විසඳීම සඳහා උපදෙස් ලබා දුන් සැමටම තුති. නමුත් අද මගේ සටහන ඒ පිළිබඳ නොවේ. නීතිය රකින ආයතන විසින් පුරවැසියනට ලබා දෙන ආරක්‍ෂාව කෙසේද ගැනයි. අතිශය දූෂණයට ලක් වූ ආයතන ගැන කථා කිරීමේදී හැමෝම පොලීසිය දෙසට ඇඟිල්ල දිගු කරති. එහෙත් එය එයින් මුදවා ගැනීමට ලාංකික සමාජය කිසි සේත් උත්සුක නොවෙති. බොහෝ අය "පොලීසියෙන් ඔය වැඩේ කරවා ගන්න බැහැ, වෙනත් විදිහක් බලන්න" යැයි උපදෙස් දෙති. එහෙත් නීතිය හා සාමය රැකීමට මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන "ඕනෑ විදිහකට තිබුණ දෙන්" කියා අමතක කර දැමීම පුරවැසි වගකීමක් ද? පොලීසියට නීතිය රැකීම සඳහා ආණ්ඩුවෙන් වියදම් කරන්නේ නැතිද?

අප පොලිසියට ගොස් යම් අයෙකුගෙන් අපට කරදරයි කියා පැමිණිලි කළ විට පොලිසිය කරන්නේ, "මෙන්න මේ ලියුම ඒ මනුස්සයාට ලියාපදිංචි තැපෑලෙන් යවන්න" කියා ලිපියක් ලබා දීමයි. එයින් අදහස් කරන්නේ පොලිසියට ලිපියක් ලියාපදිංචි කීරීමට මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ කියාද?

විටෙක ඇමති කෙනෙකු පුවත් පතකට කියා තිබෙනු දුටුවා යම් ආයතනයක් දූෂණයෙන් දෙවෙනි වන්නේ පොලීසියට පමණක් බව. එසේ නම් වැටී තිබෙන පොලිසිය කෙලින් කරන්නේ කවුරුද?



2010-06-09

නිලන්ත පියසිරි විසින් 23:12 පැයට
5

මහජන සේවාවන් අපයෝජනය

මේ දවස් වල මගේ හිතට වද දෙනප්‍රශ්ණ අතර මූලික තැන ලැබිලා තිබෙන්නේ අපේ නංගි ට වී ඇති කරදරයකි. යම් ගැහණියක් එක්තරා Airtel අංකයකින් කතා කොට දිගින් දිගටම බැණ වදියි. නමුත් පසුව එම අංකයට කතා කළහොත් ප්‍රතිචාරයක් නොමැත. එපමණකුදු නොනැවතී, ඇය ගේ සේවා ස්ථානයට ඇයට අපහාස කොට තැපැල් මාර්ගයෙන් ලිපි ද එවයි. මාසයකට අධික කාලයක් සිට මෙය පවතින අතර එය නවතින ආකාරයක් කිසිදු ලෙසක පෙනෙන්නට නොමැත.

නීති ගරුක, විනය ගරුක පුරවැසියන් ලෙස අපට මෙයට කළ හැක්කේ කුමක් ද, අපට පසක් වන ආකාරයට අපි ඒ සියල්ල කළෙමු. ඒවා පහත සඳහන් පරිදිය.

පළමුව කළේ එම දුරකතන අංකය අයත් Airtel ආයතනයට කතා කොට එම අංකය භාවිතා කොට අපව පීඩා කරවන බැව් පැවසිනි. ඔවුන් පැවසුවේ ඒ සඳහා එම අංකය අයත් තැතැත්තාට/තැනැත්තීට අවවාද කිරීමට පවා පොලිසියට පැමිණිල්ලක් යොදා එම පැමිණිල්ලෙ කොපියක් හෝ උසාවි නියෝගයක් ලබා ගෙන පැමිණියහොත් පමණක් එය කළ හැකි බවය.
දෙවනුව අපි වැලිකඩ පොලිස් ස්ථානය ට ගොස් පැමිණිල්ලක් ගොණු කළෙමු. එහි දී පොලිසියේ යෝජනාව වූයේ, දුරකතන අංකය වෙනස් කරන ලෙසය. එසේත් නොමැති නම් එම අංකය අවහිර කළ හැකි වර්ගයේ දුරකතනයක් ගෙන එය කරන ලෙසය. අප ගේ බල කිරීම මත ම පැමිණිල්ල ගොණු කළ අතර ඔවුන් පැවසූයේ උසාවි නියෝගයක් ගැනීමට සතියක් පමණ යන බැවින් යම් හඳුනන අයෙකු Airtel ආයතනයේ සිටී නම් එම අංකය ලබා ගෙන ඔවුනට ලබා දුනහොත් පරික්‍ෂණ කටයුතු ඉක්මන් කළ හැකි බවකි.

සති දෙකක් පමණ ඉක්මවා ගිය පසු පොලිසියෙන් ගෙදරට පැමිණ, නැවත පැමිණිල්ල ගැන විමසීය. "අපි හිතුවේ දැන් කරදරය ඉවරයි කියලා". ඔවුන් පැවසීය. "එහෙනම් අපි court order එක ගන්නම්". ඔන්න දැනුයි පොලිසිය උසාවි නියෝගය ගන්න තීරණය කළේ. 
අප නොයෙකුත් ආකාරයෙන් Airtel ආයතනයේ සේවයේ යෙදෙන යහළුවෙකු සොයා ගැනීම සති තුනක් පමණ සිට උත්සහ කොට මල්ලී ගේ යහළුවෙකු ගේත් යහළුවෙකුට කියා යන්තම් එම දුරකතන අංකය හිමි තැනැත්තිය ගේ ලිපිණය සොයා ගතිමු. එය "T. ප්‍රියා සිල්වා, අංක 550, .......... කොටේජ්, තලංගම" ලෙස සඳහන් වි තිබුණි.

දැන් අප කළ යුත්තේ එම ගෙදරට ගොස් මේ ගැන විමසීම ද නැති නම් පොලිසියට මේ ගැන පැවසීමද? තාත්තා තීරණය කළේ එම ගෙදරට ගොස් අනවශ්‍ය ප්‍රශ්ණ වල පැටලෙනවා ට වඩා, මේ ගැන පොලිසියට පැවසීම වඩා නීති ගරුක බවයි. එබැවින් මෙම විස්තර ද නැවත පොලිසීයට ලබා දුන්නෙමු. එම විස්තර ලබා දී ද දැන් සති දෙකක් පමණ ඉක්මවා ගොස් ඇත. එහෙත් තවමත් එම දුරකතනයෙන් කතා කොට බැණ වැදීම හෝ එයට කතා නොකළේ නම් අඩු තරමේ මඟ හැරුණු අංකන (missed calls) 20 ක් පමණවත් තිබේ. 
සමහර විටෙක මෙම දුරකතන අංකය ඉහත ලිපිනයේ සිටින අය ගේ නොවීමට පුළුවන. සමහරවිටක එය ඇගෙන් නැති වූවක් වීමට ඉඩ ඇත. එහෙත් යමෙකුගේ දුරකතන (SIM - Subscribe Identify Module) නැතිවුවහොත් එය එම ආයතනයට වාර්තා කිරීම ඇය ගේ වග කීමක් වන බැවින් ම ඇය වැරදි කාරියක් වේ. මසකට අධික කාලයක් ගත වුව ද තවමත් පොලිසියට මේ ගැන සොයා නොබලන්නේ අප සාමාන්‍ය පුරවැසියෝ බැවින් ද? දරා ගත අයෙකු නොවි වී නම් පොලීසිය මේ ගැන ක්‍රියා මාර්ග ලබා ගන්නා විට මානසික පිස්සෙකු වී හමාරය. 
අපේ රටේ ඇත්තෙන්ම සියල්ල පවතින්නේ නීති ගරුක පුරවැසියාට නොව නරකෙහි ගැළුණු හොර තක්කඩින්ටය.  හෙට නැවත පොලිසියට කතා කොට පැමිණිල්ලට සිදු වූයේ කුමක් දැයි ඇසිය යුතුය. ඇත්තෙන්ම මෙලෙස තැපෑල සහ දුරකතන මාර්ග යොදා ගන කෙරෙන වැරදි ක්‍රියා වලට ගත හැකි කිසිදු පියවරක් නැතිද?

2010-05-06

නිලන්ත පියසිරි විසින් 23:42 පැයට
10

පොල් ලෙල්ලක්

කාර්‍යාලයෙන් එළියට බහිනකොටම අපේ ගෙදර උන්දෑ (හරි වචනේ සොඳුරිය) ඇමතුමක් දුන්නා.
"දුවනිට හෙට ළදරු පාසලට ගෙන යන්න පොල් ලෙල්ලක් ඕනේ" 

බොහොම අයට ඉතින් පොල් ලෙල්ලක් නම් සුළු දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් නාරාහේන්පිට නිළ නිවාස වල නොවැ අප ජිවත් වෙන්නේ. 

කොහෙන්ද දැන් පොල් ලෙල්ලක් හොයන්නේ....... පාරට බට වෙලේ පටන් මඟ දිගට දෙපැත්තයි, කුණු ගොඩවලුයි, හැම තැනමයි ඇස් දෙකෙන් පිරමිනුයි ආවේ. බොරැල්ලෙත් පොල් කඩ දෙක තුනකටම ගියා. නමුත් කොහේ වත් පොල් ලෙල්ලක් නම් හොයා ගන්න නැහැ. පොල් මුදලාලි කියනවා, දෙමටගොඩ හරියේ පොල් ලෙලි ගහන තැනක් තියෙනවා එතනට යන්න ලු. මදැයි, මේ කියන විදිහට කුරුණෑගල යන්න වෙන විදහක් තියෙන්නේ පොල් ලෙල්ලක් හොයන්න. මේ වැඩේ හරියන්නේ නැහැ, ගෙදර යන්නත් පරක්කු වෙනවා, වැඩේ අල්ලලා දානවා කියලා ගෙදර එන අතරතුරේ තැඹිලි කෝම්බයක් දැක්කා.

ගත්තා සොඳුරියට ඇමතුමක්, "පොල් ලෙල්ලක් නැහැ, තැඹිලි කෝම්බයක් තියෙනවා ගේන්නද?"

"ඔයාට පිස්සුද? තැඹිලි කෝම්බ හරි යන්නේ නැහැ"

මටත් දැන් හෙම්බත් වෙලා.  "එහෙනම් ඉතිං පොල් ලෙලි නැහැ, මම එනවා ගෙදර"

ගෙදර ඇවිත් බලනකොට අනේ අපේ හාමිනේ ලඟ පාත ගෙදරකින් හද්ද පරණ, කරකුට්ටන් වෙච්ච පොල් ලෙල්ලක් කොහොම හරි හොයා ගෙන, ටිකක් පිම්බිලා එන්න කියලා නාන කාමරයටත් දමලා. 

ඔන්න ඔහොමයි අපේ තත්වේ, අඩු තරමේ පොල් ලෙල්ලක් වත් හදිසියකට හොයා ගන්න මේ පැත්තේ නම් නැහැ. 

ඉතිං මෙච්චර අමාරුවෙන් හොයා ගත්ත පොල් ලෙල්ලට මොකද කළේ කියලා පහුවදා මං දුවනිගෙන් ඇහුවා.

"අප්පච්චි අපි ඒකේ ගම් ගාලා ගාලා කඩදාසියක් ඇලැව්වා"

අපොයි බර ගානක් දීලා ළදරු පාසලට බාර දුන්න chemifix ගම් බෝතල් වලින් කරන්නේ පොල් ලෙලි වල උලලා උලලා කොල අලවන එකද? කියලා මට හිතුනා.

මොනවා කරන්නද? පූර්ව ළමා විය සංවර්ධනේ නොවැ. අපි පොඩි කාළේ අපිට ඔය සංවර්ධනේ නොකළ නිසා නොවැ මෙහෙම ඉන්නේ... එහෙම නේද?

2010-05-03

නිලන්ත පියසිරි විසින් 14:39 පැයට
5

බසයේ ගමන

අම්මෝ අද නම් උදේ බසයේ ආවා නෙවේ, බසය උස්සන් ආවා වගේ. PT පාරක් යන්න නම් දැන් උපරිම සූදානම්, ඔක්කොම stretching කරලා ආවා වගේ තමයි. ඒ අස්සේ බස් පලුවා රු. 20/- අරගෙන මුණ දිහා බලලා ඉස්සරහට ගියා ඉතිරි නොදී. ඔය සෙනඟ ගොඩේ ඉස්සරහට යන්න පුළුවන් ඌට ම තමයි. දැන් කොහොමද, ඉතිරි ඉල්ලනේ. පස්සේ ඉල්ලන්න හිටියොත් ඉන්තේරුවෙන්ම අමතක වෙනවා. දැන් මොකද කරන්නේ කියලා හිතන කොටම එකෙක් මාවත් අරගෙනම බස් එකෙන් බහින්න උත්සහය. බොහොම අමාරුවෙන් පොල්ලේ එල්ලිලා හිටියා. හොඳ ගානට අත ඇදුනා. කොහොම හරි බහින හරියට එනකොට හැමෝම බැහැලා ඉවරයි. බස් පල්ලා මාව මතක නැහැ වගේ ලඟින් යනවා. 

"කෝ ඉතිරි" මං ඇහුවා.

"කීයද මහත්තය දුන්නේ?" කොන්දොස්තර තොත්ත බබා දැන් ඉපදුනා චගේ.

"රු. 100/- නේ දුන්නේ?" මාත් ඇඟට පතට නොදැනී කිව්වා.

"රු. 100/- කොහෙද මහත්තයා, රු. 20/- දුන්නේ?" කොහොමද උන්දෑ ගේ මතකය. ලඟින් යන්නේ නම් මෙලෝ දෙයක් මතක නැති අංඟ විකලයෙක් වගේ.

"මතක නම් ඇයි අහන්නේ?, මට මතකද කියලා බලන්නද? මෙන්න මෙහෙ ඉතිරි දෙනවා."

උදේ හවස මේ ව්‍යායාම ටික ඇති, දවල් බතේ තෙල් ටික පිච්චෙන්න. ඒකයි බසයේ ගමනේ හොඳේ. 

2010-04-22

නිලන්ත පියසිරි විසින් 16:38 පැයට
1

අතීතයේ වැරැද්ද?

පසු ගිය දිනක රූපවාහිනියේ වූ සංවාදයකට සහභාගී වූ එක්තර විද්වතෙකු පැවසුවේ, අද අප මුහුණ දී ඇති තත්වයට බලපානු ලබන ප්‍රධාන වැරැද්ද 1956 දී ජාතික බස සිංහල කිරීම බවය. එවිට සංවාදය මෙහෙයවූ අය විමසුවේ "ඔබ 1956 දී ජාතික බස සිංහල කිරීම නිසා ස්වබසෙන් ඉගෙන ගත්තා නොවෙද?" යන්නයි.

මා කීමට යන්නේ අතීතයේ සිදු එම වැරැද්ද හෝ යහ ක්‍රියාව ගැන නොවේ. අපේ අතීතයට බැණ අඩ ගැසීමේ පුරුද්ද ගැනයි. අපට අතීතය නැවත ආවර්ජනය කරනවා හැර එය හැරවීමට නොහැකි බව දැන දැන ඒ ගැන දොස් පවරන්නේ ඇයි? මහසෙන් රජතුමා මහා විහාරය ගිනි තැබීම (මගේ මතකය නිවැරදි නම්) හෝ ජයවර්ධන ජනාධිපති වරයා විවෘත ආර්ථිකය ඇති කිරීම ගැන දුක්වීම/සතුටු වීම හැර අපට කළ හැක්කේ වත්මනේ හෝ ඉදිරියට එයින් වන අහිතකර බලපෑම් වලින් මිදීමේ මං සෙවීම පමණක් නොවෙද? බොහෝ දෙනෙක් අතීතය රස විදීම හෝ අතීතයට බැණ වැදීම කරති. නමුත් වත්මනේ හෝ අනාගතයේ අපේ රටේ/දැයේ/සමයේ උන්තිය උදෙසා කළ යුත්තේ මෙයයි යැයි නොකියති.

2010-03-26

නිලන්ත පියසිරි විසින් 11:16 පැයට
1

රස වින්දනය

මිනිස්සු බොහෝ දේ රස විදිනු යේ පුහුණු කිරීමකින් තොරව නොවැ. ඇත්තටම රස වින්දනය පුරුදු පුහුණු කළ යුතු දෙයක් ද? ගීතයක් රස විදින්නේ මෙහෙමයි, චිත්‍රයක් රස විදින්නේ මෙහෙමයි කියා කියා දිය යුතුද? එසේ නැතිනම් මිනිසා තුල නිසඟයෙන් ම ඒ කුසලතාවය පිහිටනවාද? සමහර දිනයන් හී මම මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස බලා යන්නෙමි. ඒ මඟ වැටී ඇත්තේ විහාරමහා දේවී උද්‍යානය අසලින් බැවින් එහි පාර අයිනේ තිබෙන චිත්‍ර සියල්ලම බලා ගෙන යාමට අපට අවසරයක් ලැබේ. එහි වන නෙක පැහැ ගැන්වූ බොහෝ චිත්‍ර වලින් එක වරම කිසිදු අදහසක් මට නම් පහල නොවේ. මගේ මිතුරාට ද එසේමය.
"මොකද බං මේවා බර ගනං දීල මිනිස්සු අරගෙන යන්නේ, මොනවද මේවායේ තියෙන්නේ" යාළුවා අසයි.
ඇත්තෙන්ම මටත් ඒ ගැන නම් අදහසක් නැත. එහෙත් මෙහි යම් ආකාරයක රස විඳීමක් තිබිය යුතුමය. ඒක සමහර විට සමහරු මාමයිට්/වෙජිමයිට් වලට කැමැතියි සමහරු අකමැතියි වගේ ද දන්නෙත් නැහැ.
ගීතය වුවත් එසේම නොවැ. දැන් මේ දින වල කතා බහේ තිබෙන අකොන් හෝ එකොන් නැමැති ගායකයා ගේ ගීත හයිටි, ඩොමිනික් ජනරජයේ ආදි රටවල ජාතික ගීත මෙන් ජනප්‍රිය වේ. ඒ ඔවුන් ගේ රසවිදීම. දැන් අපේ තිස්ස දොඩන්ගොඩ සහෝදරයා ගේ හද ගී පොත හි ඇති ගීත රස විදින්නෝ බොහොමයක් අකොන් හෝ එකොන් ට කැමැති නැති ශෛලයේ අය විය හැක. හද ගී පොතේ ඇති ගීත රස වින්දනය පුරුදු කළ අයවළුන් ට බවයි මගේ අදහස.
කෙසේ නමුත් මගේ අදහස නම් රස වින්දනය පුරුදු පුහුණු කළ යුතු බවයි. නමුත් පවතින මාධ්‍ය කිනම් නම් රසවින්දනයක් රටේ මිනිසුන්ට පුරුදු කරයි ද?
කුඩා යාන් හැල්ලකින් ලිපිය අවසන් කරමි. වරෙක අයෙක් චිත්‍ර ප්‍රදර්ශණයක් බැලීමට ගියේලු.
ඔහු එක්තර පින්තූරයක් දෙස ආශාවෙන් බලා සිටිනු දුටු එය පින්තාරු කළ පුද්ගලයා එහි පැමිණ,
"කොහොමද චිත්‍රය. හොඳයි ද?" විමසීය.
"ෂාහ් නියමයි. හරිම ලස්සනයි. කටට කෙළත් උණනවා" හේ කීවේය.
මුහුණ හකුලවාගත් සිත්තරා, "හිරු බැස යන දර්ශණයක් දැක්කාහම කොහොමද, කටට කෙළ උණන්නේ?"
"ආහ්, මේක හිරු බැස යන දර්‍ශණයක් ද?, මම හිතුවේ බිත්තර ආප්පයක් කියලා, සමා වෙන්න".
ඔන්න ඔහොමයි අපේ රස වින්දනය. 

2010-03-25

නිලන්ත පියසිරි විසින් 22:22 පැයට
2

රැයක් දවාලක් දන්නා බරවා පණුවෝ

ඊයේ සවස ගෙදර ඒමට බසයේ සිටියදී සිඟමන් යැදි කොළුවා තමා ගේ වයස අවුරුදු 23 ක් යැයි කීවේය. හේ හිඟමනේ යෙදීමට හේතුව ලෙස දක්වන ලද්දේ බරවා බැස තිබූ පය යි. හැබැයි ඒ කකුල දැක්කා නම් බරවා රෝගයේ භයානක කම හොදින් පෙනෙනවා. බොහෝ උග්‍ර රෝග මෙන්ම මෙම බරවා රෝගයේ සම්ප්‍රේශකයා ත් මදුරුවෙක්. හැබැයි මේ විදිහට මදුරුවා අරගෙන යන්නේ අනෙක් රෝග වල මෙන් වෛරසයක් හෝ බැක්ටීරියාවක් නොවේ. පණුවෙක් හෝ කීටයෙක්. ඉතින් ඔය පණුවෝ තමයි ඔය මහා විනාශය කරන්නේ. වැඩි පුර විස්තර විකියේ හොයා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ බරවා පණුවන් ගේ විශේෂත්වයක් තමයි ලේ මාර්ග වල උන් ගේ ගහණය වැඩි වෙන්නේ රාත්‍රී 10 ත් පාන්දර 2 ත් අතර වීම. හේතුව නම් තවමත් හොයා ගෙන නැහැ කියලා තමයි විකියේ කියන්නේ. නමුත් මගේ කතාව ඒක නොවෙයි.

ඉස්සර අප කුඩා කාලේ මාස හයකට වරක් වත් රෑ මැද ගෙවල් වලට අවුත් අපගේ ලේ ගෙන බරවා පරීක්ෂණ කළා. අම්මා අපව ඇහැරවා ගෙන සාලය මැද ට ගෙන එන්නීය. බොහෝ විට අප එන්නේ නිදමත පෙරමින් ය. ඇඟිල්ල අල්ලා කුඩා සැතකින් ඇන්න කල, නිදමත කැඩී පියවි සිහියට එන්නෙමු. වීදුරු කැබැලිවල අංක ලියමින් අපගේ නම් සඳහන් කරගනිමින් කෙරෙන එය මහත් වෙහෙසකාරී කාරියකි. මා හිතන්නේ එය නැතිව ගියේ ජවිපෙ භීෂණ යුගයේ විය හැකිය. පසු කලෙක බරවා පෙති හැමෝටම බෙදාගෙන යන ලදි. දැන් නම් එහෙමවත් නැත.
මේ සමාජ මෙහෙවර දැන් කෙරෙන්නේ නැත්තේ ඇයි? දැන් බරවා ලංකාවෙන් තුරන් වෙලාද? එසේ නම් අර සිඟමන් යදින කොළුවා අප්‍රිකාවෙන්වත් ආවාද? තවත් අපූරු කතාවක් කියා මම මෙය අවසන් කරන්නෙමි. 

අපේ අම්මා ගේ අතා කෙනෙක් සිටියේ ය. ඔහුට අම්මා ඇමතුවේ "දොස්තර ආතා" කියාය. ඒ සමහර විට ඔය රෝහලේ හෝ සෞඛ්‍ය පරීක්ෂක තනතුරක රැකියාව කරන බැවින් මිස ඔහු දොස්තර කෙනෙකු නම් නොවීය. ඔහූ බීමතට තදින්ම ඇබ්බැහි වී සිටි අයෙකි. වරක් ඔහුව ඔය රෑට බරවා පරික්ෂා කරන කාරිය සඳහා යොදවා තිබුණි. පරික්ෂා කරන දින හැන්දෑවේ පටන් තවත් මිතුරෙකු සමඟ හේ කරටි කැඩෙන්නට ගසා තිබුණි. රෑ මැදියම තෙක් බිවූ ඔහුට ඇවිදීමට තියා කෙලින් සිටීමට වත් නොහැකි විය. දැන් ඉතින් මොන බරවා පරික්ෂණ ද? 

"දීපන් උම්..ඹගේ අත" ඔහු යාළුවාට කීය. 

ඔහුගේ අත සිදුරු කොට සියළුම වීදුරු කැබැලි වල එම ලේ තවරා ඒ ඒ අංක වලට අදාල වන සේ ගමේ අය ගේ නම් ලියා. උදයේ, බරවා පරික්ෂා කරන තැනට බාර දුනි. 

පසුදා මුළු ගම පුරාම මහත් කළබැගෑනියකි. බරවා මර්දන අංශයෙන් කියන හැටියට මුළු කළපළුවාවටම බරවා සෑදී ඇත. 

අහෝ දොස්තර ආතා ලේ ගත් යාළුවාට බරවා තිබිලා නොවැ. ඔහු ගේ ජොබ් එකත් සිලිප් උනා කියලා තමයි කියන්නේ.

(කළපළුවාව යනු අපේ ගමයි)

2010-03-23

නිලන්ත පියසිරි විසින් 17:47 පැයට
4

පිරිමියෙක්ද?

දින කිහිපයක්ම මා මේ මනුස්සයා දැක්කා. කොණ්ඩේ කෙලින් කොට තඹ පැහැ ගන්වා,  අතේ සහ පයේ නිය රත් පැහැ කොට, තොල් සායම් කොට අතේ පච්චා කොටා ලාලිත්‍යයෙන් ඇවිදින පිරිමියෙක්. පිරිමියෙක් කීවේ වෙසෙසින් ම රැවුල වැවී ඇති බැවින්ය. මෙලෙස ද්විලිංගික හෝ ලිංගු භේදයක් නැති මනුස්සයෝ සිටිය හැකිද? මොවුන් සමාජ විකෘතීන්ද නැතිනම් සොබා දහමේ විකෘතීන්ද?

මෙම පුද්ගලයා ඇවිද යන මඟේ  ම, මා ද  මද දුරක් බසය සඳහා ඇවිද යා යුතුය. එබැවින් ඔහු දෙස බලා අවඥාවට හිනාවෙන පාසල් ළමුන්, තරුණයන් මම දකිමි. ඔහු ගේ මේ ද්විලිංගික පෙනුම මානසික විකෘතියෙක් නම් එළෙස ගර්භාවට ලක් විය යුතුද? මේ මනුස්සයා කුමණ හෝ ලිංගයක් වෙත නැවත තල්ලු කළ නොහැකිද?

ඉංගිරිසියෙන් Hermaphrodite යැයි කියැවෙන්නේ වර්ගය බෝ කිරීම සඳහා ලිංගයන් දෙකම පිහිටීම වේ. ඔය නම ඇවිත් තියෙන්නේ ග්‍රීක මිත්‍යා කථා වල Hermaphroditus නම් සුළු දෙවියෙකු ගේ නමින් නොවැ. ඒකත් අපූරු කථාව.

ඇප්‍රොඩිට් සහ හර්මිස්ට දාව ඉපැදුන මේ දරුවා ඔවුන් ගේ නමින් හර්මාප්‍රොඩිටස් නමින් නම් කෙරුවා ලු. පහලොස් වියේදී කඩවසම් බවට පත් වූ මේ කොළුවා හදා වඩා ගෙන ඇත්තේ ද සුරංගනාවියක් විසින්. ඔන්න ඔය කාලේ දී ඒකාකාරී ජීවිතය ගැන එපා වුන කොල්ලා එහෙ මෙහෙ ඇවිදින්න පටන් අරගෙන තියෙනවා. ඔහොම යද්දී එක්තරා පොකුණකට අරක් ගත්ත සුරංගනාවියක් (අපේ කතා වල තමයි පොකුණු/විල් වලට යක්කු අරක් ගෙන තියෙන්නේ) හමු වෙලා තියෙනවා. ඉතිං මේ සුරංගනාවිට මේ කොලුවා ගැන අදහසක් පහල වෙලා ඔහුව පොළඹවා ගන්න උත්සහ කළත් ඔහු එයට කැමති වී නැහැ.  පසුව  මේ සුරංගනාවී ගියා යැයි සිතා, හර්මාප්‍රොඩිටස් ඇඳුම් උනා දමා පොකුණට බැස්සා. එහෙත් ගස් වලට මුවා වී සිටි අර සුරංගනාවි එක්වරම පසුපසින් පොකුණට පැණ හර්මාප්‍රොඩිටස්ව බලෙන්ම සිප වැලද ගත්තේ ලු. ඔහු ඇයගෙන් ගැලැවීම ට දඟලන කල සුරංගනාවී ඔවුන් ව වෙන් නොකරන ලෙස දෙවියන් ගෙන් ඉල්ලීමක් කළේ ලු. අපොයි ඉල්ලීම ඉටු විය. ඔවුන් ගේ ශරීර එකතු වී ගැහැණු පිරිමියෙක් ඇතිවිය. ලජ්ජාවට පත් හර්මාප්‍රොඩිටස්, එම පොකුණට බසින හැමෝම එලෙස විය යුතු යැයි ශාපයක් කළේලු.

ඔහොමයි ග්‍රීක කතාව.  එතකොට අර මනුස්සයත් ඔය පොකුණට බැස්ස කෙනෙක් ද නැති නම් වැටුන කෙනෙක් ද? 

2010-03-18

නිලන්ත පියසිරි විසින් 12:03 පැයට
1

කැරැලයින් ආච්චි

අම්මා ගේ නැන්දනියක් වූ බැවින් අපේ ආච්චී වූ කැරැලයින් ආච්චි ගේ අවසන් කටයුතු සඳහා ඊයේ සහභාගී වූයෙමි. අම්මා කඩේ නැන්දා කියන බැවින් අපි කඩේ ආච්චී යැයි ඇයට කීවෙමු. වසර 93ක ජීවත් ව හොඳ සිහියෙන් ම පරලොව යෑම යම් විදිහක වාසනාවක් යැයි බොහෝ අය පැවසූහ. අප කුඩා කල වෙනත් වැඩකට වුවද ඇයගේ නිවස ඉදිරියෙන් හෝ ගියහොත් අනිවාර්යෙන් ම ඇගේ නිවසට යායුතුමය. ඇයට නොපෙනී නම් එතැනින් යා නොහැකිය. එසේ කැදවා ගන්නා අපට කෑමට යමක් දී එය රසවිදින අයුරු බලමින් ඇය සතුටු වන්නීය. ඇගේ නිවසේ කඩයක් පවත්වාගෙන ගිය බැවින් ඇය කඩේ ආච්චී විය. කඩේ ආච්චි සහ කඩේ සීයා අති ප්‍රේමණීය යුවලකි. ඔවුන් නිතරම සිටියේ මුවෙහි මදහසක් ඇතුවමයි. කඩේ ආච්චී සහ සීයා අතිශයින්ම ආයුර්වේද වෙදකම මත යැපුනෝ වෙති. ඔවුන් බටහිර වෙදකම ගැන විස්වාස නොකළහ. කඩේ සීයා බැවිල (බැබිල) ගස් සොයමින් ප්‍රදේශය පීරණු මා කුඩා කල හොදින් මතකය.
වසර 93 ක් ජීවත් වූ අයෙක් නිරන්තරයෙන් ම යුග ගණනක අත්දැකීම් ඇති පුස්තකාලයක් බඳු වීම වැලැක්විය නොහේ. ජීවත් වන අප සැම මරණය ලැබිය යුතුමය. ඒ ගැන පසක් කිරීම අසුබ දෙයක් නොවේ. අපේ කිරි අම්මා ජීවත් ව සිටින දින වල ඇය ගයන "තල මල" කවි, ඇය කියන කතන්දර ආදිය පොතක සටහන් කර ගතිමි. (සියල්ලම සටහන් කර ගත නොහැකි වීම ගැන තවමත් දුක් වෙමි.) ඒවා ඉදිරි පරම්පරාවන් සඳහා ගෙන යාම සංස්කෘතිය රැකගැනීම ම තමයි. එහෙත් කඩේ ආච්චී සතු වු ඒ දැනුම නම් ඔවුන ගේ මුණුබුරන්, මිණිපිරියන් විසින් ලබා නොගත් බව නම් මම සක් සුදක් සේ දනිමි. ඉදින් සංස්කෘතික පරිහාණිය ගැන කතා කිරීමේ තේරුම කිම. 

2010-03-12

නිලන්ත පියසිරි විසින් 12:24 පැයට
7

චොකා මල්ලී සහ වෙනත් දෑ

කාලෙකින් දින සටහන ලියන්න අතපසු විය. පසු ගිය දින කිහිපය පුරාම නිවනක් නැතිව වැඩ කළෙමි. ඒ ඒ දින වල ලිවීම සඳහා නොයෙකුත් දෑ සිතට ආවත් ඒවා යුනිකෝඩ් අකුරු බවට හැරවීමට වේලාවක් නොමැති විය. 
 
චොකා මල්ලීට මනාපයක් පළ කරන ලෙස ඉල්ලා දැන්වීමක් පාරේ ගිය වාහනයක ගසා තිබෙනු දුටිමි. "චොකා මල්ලී" යන නම දුටු වහාම මගේ සිත අමුතුම ආකාරයේ අපුලකින් පිරී ගියේය. ඒ නමින් ගම්‍ය වූයේ යම් ආකාරයක පහත්, නොවැදගත් බවකි. (නමකින් පහත් හෝ නොවැදගත් බව නොමැනිය හැකි මුත්).

බසෙහි කුණු හරුප යැයි සම්මත වචන, සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන අයවළුන් සිටිති. එසේ අසා පුරුදු නැති අය එවැන්නෙකු ගේ කතාවක් ඇසූ කල එකවරම පුදුමයටත් ලැජ්ජාවටත් පත් වෙති. තෙසක රියදුරන්, පදික වෙලෙන්දන් කුණු හරුප කියන්නේ පාරේ ගමන් කරන්නේ කුඩා ලමුන්ද වත් නොසලකාය. බසය තුල බස් පල්ලා (කොන්දොස්තර) සමඟ සටන ඇරඹූ කල දිනන්නේ අනවතර ලෙස එකිනෙක ගැළැපී කුණු හරුප ගලා එන්නාය (බොහෝ විට බස් පල්ලා).

ටෙලි නාට්‍ය යැයි කියන රූපවාහිනී වැල් වල මෙවැනි රස්තියාදුකාර වචන දොඩවන්නෝ බොහෝ වෙති. එවැනි චරිත ජන(අ)ප්‍රියව ඇති බැව් කියැවේ. කුඩා ළමුන් සමඟ රූපවාහිනියක් නම් මෙකල නැරැඹිය නොහැක. 

අප ළමුන් ට මේ නරක යැයි සම්මත වදන් අසන්නට නොසලස්වන්නේ ඇයි? මේ වචන ඔවුන් දැනගත යුතු නැතිද? ඒවා දැනගැනීමට ඔවුනට නිදහසක් දිය යුතුද? ඒ ඒ ජන කොට්ඨාශ අනුව, පලාත් අනුව වදන් නිමැවේ. මුඩුක්කු නිවාස ආශ්‍රිතව කතා කෙරෙන බස නරක යැයි සමහරෙක් කියති. 

නරක බස හොඳ බස වෙන් කරන්නේ කොතනින්ද? වරෙක මා මල්ලීට "තමුසේ, ඕයි" ආදී වචන වලින් කතා කළැයි කියා අම්මා මා හට හොඳ හැටි තැළුවාය. සමාජ සම්මතයන් වදන් වලට බලපානුයේ අමුතුම ලෙසය. එය නීතිය මෙන් නම් නොවේ.

ඉතින් ඔබෙන් "චොකා මල්ලී" ඡන්දය ඉල්ලුවේ නම් ඔබ ඔහුට මනාපය ලබා දෙන්නේ ද? 

2010-03-05

නිලන්ත පියසිරි විසින් 12:56 පැයට
2

තරඟයට ඇතුල්වීම

ඊයේ කුඩා දුවනි ගේ ළදරු පාසලේ ක්‍රීඩා උත්සවය පැවත්වීය. "මම දුවනවා බලන්න අප්පච්චිත් එනවා නේද?"  ආදි වශයෙන් වූ ආල වඩන කතා වලට ප්‍රතිචාර ලෙස මම එය බැලීමට ගියෙමි. එය අපූරු උත්සවයක් විය. තිබූ කිසිදු තරඟයක කිසිම තරඟයක් නොවීය. ඔවුන්ට ඉලක්කයකට දිවීමට කියා තිබූ මුත් ඔවුන් කිසි දෙයකට නො දිවූහ. දුවන තරඟ අතර මඟ ඔවුන් කතා කරමින් සෙමෙන් ගියහ. තරඟය අතර මඟ අයෙක් වැටුන කල සැවොම වට වූහ. ගුරුවරු ඔවුන්ට දුවන ලෙස කීහ. එහෙත් තරඟය ගැන ඔවුනට කිසිදු අවබෝධයක් නොවීය.

මා සිතුවේ, අප මේ කරන්නේ ඔවුන් මේ සුන්දර ලෝකයෙන් මුදවා තරඟකාරී, ගැටුම් කාරී, වේගවත් ලෝකයට ඇතුලත් කිරීම නොවෙද? අනෙකා පැරදවීමේ අදහස, යටපත් කිරීමේ අදහස කුඩා මනස් තුළට එබීම නොවෙද? මේ සුන්දර සිනහ පිරුණ ලෝකය, තරහව, කේන්තිය, ක්‍රෝධය පිරුණ තැනකට ගෙනයාම නොවෙද?

එසේම කිසිදු දරුවෙකුට තරඟකාරී නොවී මෙකල ජීවත් විය හැකිද? පුර්ව ළමාවිය සංවර්ධන ක්‍රමවේද අනුව ළදරු පාසල් වල අකුරු ලිවීම, කියැවීම ආදිය නොකෙරෙන බව දැන ගන්නට ලැබුනි. ඒවා ඉගැන්වෙනුයේ පාසලේ දී බවයි කියැවෙන්නේ. ඉදින් අපේ දුවත් ගී ගැයීම්, පරිප්පු ඇට ඇලවිලි, චිත්‍ර ඇදිලි ආදිය ළදරු පාසලේ දී උගැනුම ලැබුවත් තවම අකුරු ලිවීමට නොදන්නීය. එහෙත් වෙනත් ළදරු පාසලකට යැවෙන මගේ මිතුරා ගේ දුව ට එම පාසලේ ළදරු ක්‍රියාකාරකම් වලට වඩා අකුරු ලිවිම්, කියැවීම් (අළුත් ම දේ "elocution") ආදිය කෙරේ. පසුව මේ දරුවෝ දෙදෙනාම පාසලට යාමට වූ කල අපේ දරුවා පසු පසට නොයා ද? ඔවුන් කියන ආකාරයට පූර්ව ළමාවිය සංවර්ධන ඉලක්ක සැපූරූ මුත් මේ දිවෙන තරඟයේ අපේ දරුවා තැබෙනුයේ කොතනද?

2010-03-02

නිලන්ත පියසිරි විසින් 06:00 පැයට
4

සරණක් වූ ඉරිසියාව

මේක මගේ යාළුවෙකුට සිදු වුන දෙයක්. ඊයේ දහවල් කෑම වෙලාවේ දී තමයි කිව්වේ.

මගේ යාළුවා සිටින්නේ කුරුණෑගල පැත්තේ වෙන්දේසියකින් ලබා ගත් ඉඩමක තැනූ නිවසකයි. ඔහු ලබා ගත් ඉඩම දෙපසේම ඉඩම් කැබැලි ලබා ගත් අය ඒවායෙහි ගෙවල් සෑදීම තියා එළි-පෙහෙළි කිරීමටවත් නො පැමිණේ. යාළුවාට කුඩා දරුවෝ දෙදෙනෙක් වෙත්. මේ දවස් වල පෑවිල්ල බැවින් අවට ඉඩම් වල සරුවට වැඩුනු කැලෑවෙන් නෙක සර්පයෝ වතුර සොයා මගේ යාළුවාගේ ඉඩමටත් පැමිණෙන බවට ඔහුගේ සොදුරිය ඔහුට කියා තිබුනි. අසල්වැසියෙක් කියා තිබුණේ ඔහු ගසක් උඩ සිටින පිඹුරෙක් දුටු බවයි. යාළුවාට තරු පෙනී තිබුණි.

මීට පෙරද මෙලෙස මේ ඉඩම් වල සිට සර්පයෝ සිටිතැයි නෙක දෙනා කියන බැවින් ඔහු මහත් වෙහෙසක් ගෙන අනුන් ගේ ඉඩම් වුවද දවස් ගණන් වෙහෙස ගෙන කැති ගා පුලුස්සා දමා තිබුණි. නැවත කරලියට පැමිණ තිබූ සර්ප කතාව නිසා ඔහුට නැවත මෙම ඉඩම් සුද්ද කිරීමට සිද්ද වී තිබුණි. මේ දින වල තිබෙන පෑවිල්ලේ දවසක් විතර වල්පැල කැති ගාන්න සිදු වුවහොත් වෙහෙස කොපමණ වේද? ඔහුට අපූරු අදහසක් පහළ වෙන්නේ මේ අතරතුරය.

යාළුවා කළේ ඔහු ගේ මායිම අයිනට වෙන්නට ඉඩම් දෙකේම කුඩා ප්‍රමාණයක් එළි කොට පොල් පැල දෙකක් සිට වීම පමණකි. ඉන් පසුව ඒ ඉඩම් වල අයිතිකරුවන් විසින් හදිස්සියක් වුවහොත් කතා කරන්නැයි කියා ඔහුට ම ලබා දුන් දුරකතන අංක වලට කතා කොට මෙසේ කීවේය.

"මේ කතා කරන්නේ කවුද කියලා වැඩක් නැහැ, අර ඔහේලාගේ ඉඩම ගාව ඉන්න ....... වැඩ කරන මිනිහා ඔයගොල්ලන් ගේ  වත්තේ මොනවද හිටවනවා. ටික ටික අල්ලගන්න ද කොහෙද හදන්නේ. ඇවිත් ඔය ඉඩම සුද්ද කරලා වැට පොඩ්ඩක් අලුත් කරලා යන්න"

සැලැස්ම අපූරුවටම ක්‍රියාත්මක වුනි. ඉඩම් දෙකම වල් පැලයක් නැති වෙන්න ම සුද්ද කර තිබුණි. හැබැයි සර්පයෙක් තියා අහුරකුක්කෙක්වත් අහු වෙලා නම් නැහැ.

2010-03-01

නිලන්ත පියසිරි විසින් 11:11 පැයට
2

අවිවේකී, බොහෝ වැඩ ඇති අප

ඉඳ හිට හෝ දිවා කල යාළුවෙකුට හෝ දන්නා හඳුනන අයෙකුට කතා කළොත් බොහෝ විට අසන්න ලැබෙන වැකියක් තමයි. 

"පොඩ්ඩක් බිසි මචං, තව ටිකකින් මම කතා කරන්නද?"

බොහොම දෙනෙක් කෙනෙකු ගෙන් ගැලැවෙන්න මේ වැකිය පාවිච්චි කළත්, ඇත්තට ම අපේ ගොඩක් දෙනා ඉතා කාර්‍ය බහුල ජීවිතයක් තමයි ගෙවන්නේ. කාර්යාලයෙන් නියමිත වේලාවට  ම  පිටත් වන්නේ කියෙන් කී දෙනාද? සමහරවිටක බොහෝ දෙනෙක් "වැඩට ඇබ්බැහියෝ" (Workaholic) වී හමාරය. මා හට කාර්‍යාලයෙන් ලබා ගැනීමට මසකට අදාල නිවාඩු දින දෙක පවා සමහර විටෙක ලබා ගත නොහැක. නොයෙකුත් ධනාත්මක චින්තන විධි ක්‍රම අනුවත්, කාල කළමනාකරණ විධික්‍රම අනුවත් වේගයෙන් වැඩ කරනු හැර වෙනත් දෙයකට සිත යොමු නොකරවයි. ඇත්තෙන්ම කාර්යාලයෙන් නිවාඩු ලබා ගැනීමට අපහසු මෙන්ම, මම ඒවා ලබා ගැනීමට ද මැලි වෙමි. අඩුම තරමේ නිවාඩු දින යැයි සලකන සති අන්ත වලදී පවා අප කෙතරම් කාර්‍ය බහුලද? වෙසෙසින් ම දෙදෙනා ම රැකියාවේ යෙදී ඇති කල සෑම සති අන්තයක් ම ගෙදරදොර වැඩ සඳහා කැප කළ යුතු වේ. සමහර විටෙක එය රැකියාවේ යෙදෙන දිනක් මෙන් වෙයි. සොඳුරිය ඉවුම් -පිහුම්, අස් - පස් කිරිලි කරන අතර සතියට අවැසි එළවළු බඩු - බාහාරාදිය ගෙනවුත්, ගෙදර-දොර ඇති කුඩා පිලිසකර ආදිය කොට නිමා වන විට සති අන්තය ද නිමා වී හමාරය. සමහර සති අන්ත වල අඩුම තරමේ සොඳුරිය සමඟ විවේකීව වදනක් හෝ හුවමාරු කරගෙන නොමැත.     

පසු ගිය දිනක ම'සොඳුරිය ගේ අම්මා වැටී අත උලුක්කු වී ඇති බැව් පැවසුවා ය. ඉදින් මාතලේ ගොස් ඇයව බැලීමට නම් නිවාඩුවක් දැමිය යුතුම වෙයි. මසකට ලැබෙන්නේ නිවාඩු දෙක නම්, දියණිය බලා-කියා ගන්නා නැන්දා ට සායනයට යාමට ඒ නිවාඩු කැප කළ යුතු වන්නේය. එක් දිනකින් මාතලේ ගොස් ඒමට නොහැකි බැවින් දින දෙකක් වත් නිවාඩු දැමිය යුතු වන්නේය.

බයිස්කෝප් අඩවියට පින්සිදු වන්නට පසු ගිය දිනක රැයක Cairo Time චිත්‍රපටය නැරඹුවෙමි. එහි වූ දෙබසක කියැවුනේ,

ඇය : - "මම දිනකට පැය 12 ක් පමණ වැඩ කරනවා."

ඔහු :- "මේ මිනිස්සු එතරම් උගත් නැහැ, ඒ නිසා කරන වැඩේ හවස තුනට විතර ඉවරයි, එතැන් පටන් ඔවුන් ජීවිතය විඳිනවා (සතුටු වෙනවා)".

(මතක හැටියට පරිවර්තනය කළේ. චිත්‍රපටියේ ගියේ මේ දෙබසම නොවේ)

2010-02-24

නිලන්ත පියසිරි විසින් 10:26 පැයට
1

අපේ සමගිය

අපට, ඒ කියන්නේ ලාංකිකයන්ට නිතැතින් ම පොදු සතුරෙකු සිටිය යුතුමයි. දැන් රටේ වෙන දේ පෙනෙනවා නොවැ. ත්‍රස්ත කොටි හපුයියෝ මැඩැවූ පසු නැවතත් දෙපැත්තක් තුන් පැත්තක බෙදිලා සියළු දෙනා කාගන්නවා. අප්පිරියයි කියන්නේ, අහන්න, බලන්න, දකින්න අප්පිරියයි. දේසපාලනය කතා කරනවා යනු අපේ දෙස පාලනය විය යුතු ආකාරය කතා කිරීම නොවැ, නමුත් අපේ රටේ සිද්ද වෙන්නේ දේසපාලනය ද? අපේ බ්ලොග් කියවනය පවා දේසපාලනය එක තැනකට රාමු කළේ එහි බොහෝ විට එහා මෙහා සිදු වෙන අපහාස/මඩ නිසා වෙන්න ඇති. (මෙය එය කිසිසේත් සාධාරණය කිරීමක් නොවේ). අපේ රට තිබිය යුතු ආකාරය ගැන හැමෝගේ ම හිතේ ලස්සන චිත්‍රයක් ඇති බවට කිසිදු සැකයක් නොවේ. එහෙත් පවතින දේසපාලන ප්‍රවනතාවය උඩ කුමන පක්ෂය බලයට ආවත් එතැනට රට යයි කියා කිසිවෙකුට සිතෙනවාද? බොහෝ දෙනෙක් රූපවාහිනි හෝ ගුවන් විදුලි පුවත් වත් නොබලන්නේ ඇයි? එහි ඇත්තේ පුවත් නොව මතවාද පමණක් බැවිනි. (Not news but views) ත්‍රස්තවාදය මැඩීමෙන් පසු අප කෙතරම් දුරට මෙලෙස අනේකුත් මතවාද වලින් හිස් පිරවූ මිනිසුන් එකිනෙකා මුසු කොට මතවාදමය සමඟියකට යොමු කොට ඇතිද?
මා කුඩා උදාහරණ කතාවක් කියන්නම්. ත්‍රස්ත කැරැල්ල තිබුණු කාලයේ (රිවිරැස මෙහෙයුමෙන් පසු) හමුදාවට අසු වූ ප්‍රාදේශීය ත්‍රස්ත නායකයෙකු වූ කුඩා කොළු ගැටයෙකු සමඟ නැවක දින තුනක් ගමනක යෙදීමට මට සිදු වූ අතර හේ සමඟ ඒ කාලය පුරාම කතා කිරීමට අවස්ථාව ලැබුවෙමි. ඔහු උපන් දා සිට දැක තිබුණේ ත්‍රස්ත මර්ධනයට අහස පුරා කැරැකැවෙන අහස් යානා විය. ත්‍රස්තයෝ නිතැතින්ම සාමාන්‍ය මිනිසුන් හා මුසු වූ බැවින් ඔවුන් ද බෝම්බ වලින් බේරීමට ආවරණ සඳහා දිවිය යුතු වන්නාහ. එපමණකුදු නොව සිංහලයෝ මිලේච්‍ඡයෝය, ඔවුන් අපව සොය සොයා මරති යැයි කියා ත්‍රස්තයෝ පතුරවන මතවාද වලින් කුඩා කල පටන් ම ඔවුන් ගේ හිස් පිරවී තිබුණි. වාසනාවකට හේ මිය නොගොස් හමුදාවට හසු වී තිබුණි. ඔහු මා හට පැවසූ දෙයක් මට අද පවා නැවත නැවත සිහි ගැන්වෙයි.
"මම කවදාවත් හිතුවේ නැහැ, සිංහල මිනිස්සු මේ තරම් හොඳයි කියලා. මම හිතුවේ උන් යක්කු වගේ අපිව මරන්න ම බලාගෙන ඉන්න කොටසක් කියලා".
මේ සිදු වීම 1995 පමණ කාලයේ දීය. අද කී දෙනෙකුට මේ සිතුවිල්ල ඇති කළ යුතුද? එහෙත් අප එකිනෙකා ඇණ කොටා ගන්නවා හැර හැමෝම අතර සංහිදියාවකට මඟක් ඇරගන්නවා ද?
මම සිංහලයෙක් මි. මම මගේ රට ගැන, පරම්පරාව ගැන, සංස්කෘතිය ගැන, හැදියාව ගැන සතුටු වෙමි. එසේම ඕනෑම දෙමෙලෙකුටත් රට ගැන, පරම්පරාව ගැන, සංස්කෘතිය ගැන සතුටු වෙන්න තිබෙන අයිතියට මම ගරු කරමි. මම මෙරටට හෙලය කීවත්, දෙමලා ඉලංකෙයි කීවත්. මේ අපේ රටය.   

2010-02-23

නිලන්ත පියසිරි විසින් 17:25 පැයට
3

දිවට මොකද වුනේ?

අපේ කුඩා දුව දිවා කල රැක බලා ගන්නා නැන්දා, ඇය ගේ වත්තේ වෙරළු ගසේ අතු කපා ඉවත් කළේ යැයි කියා අමු වෙරළු මල්ලක් ම ගෙදර ගෙනැවිත් තිබුණි. එය දුටු වහාම කුඩා කල මේවාට දැක්වූ පෙරැත්තය විසින් මා නො දැනුවත් ම වෙරළු අහුරක් අත රැඳැවිනි. වෙරළු ගස් වලට පොලු ගසා, ගල් ගසා ගෙඩි එකක් දෙකක් නෙලා ගන්නා අප ඒවා රස කරමින් කෑවේ කෙතරම් ආශාවෙන් ද? සමහර විටෙක ලුණු කැටයක්, ගම්මිරිස් ඇටයක් සමඟ තළු මරමින් කෑවෙමු. වැඩියෙන් වෙරළු කැඩුවේ නම් තලා අච්චාරු දැමුවෙමු. ගහක්, මුලක් යටට වී යහළුවන් සමඟ කෙතරම් කැමැත්තෙන් මේවා කෑවෙමුද?
මේ සියල්ල මතක් කොට වෙරළු ගෙඩියක් කටේ දමා ගතිමි.
"මගේ අම්මෝ, මේකෙ ඇඹුල්".....
මම කොහොමද මෙච්චර ඇඹුල් වෙරළු 20-30 ක් දත් හිරි වැටෙන තුරු ඒ දවස් වල කෑවේ. අපොයි. මගේ දිවට මොකද වුනේ?

2010-02-16

නිලන්ත පියසිරි විසින් 12:53 පැයට
2

මගේ නියෝජිතයෙක්

දැන් දැන් හිතට එන දේවල් ලියන්න පළමුව පෙරහන් කරන්න වෙලා නොවැ තියෙන්නෙ. මක් නිසාද යත් "සිංහල බ්ලොග් කියවනයේ" දේශපාලන කොටසට මගේ වියමනත් වැටුනොත් යන සිතුවිල්ල නිසා. කෙසේ වෙතත් මිනිසා "දෙස්පලු සතෙක්" ලෙස ඇරිස්ටෝටල් පඬිතුමා කීවේ (human beings are by nature "political animal" -Aristotle) මේ අප දකින/අහන දේසපාලනේ ගැනමද කියල නම් සැකයි. 

දැන් අපට රට කරනවන්න යන්න වෙලාවක් නැති නිසා නොවැ අපේ නියෝජිතයෙක් මැති සබේට යවන්නේ. අපේ හැම ගැටළුවක් ම, අවැසිතාවයක් ම රටේ අනෙක් මිනිස්සුත් එක්ක කතා කරන්න වෙලාවක්, හැකියාවක් නැති නිසා ඒ ඒ මිනිස්සුන් ගේ නියෝජිතයෝ එක තැනකට ගෙනල්ලා කතා කරලා හැමෝට ම සෙතක් සැලසීම තමයි ඉතින් මැති සබේ අරමුණ. ඔය මැති සබේ ආසන 225  (196 චන්දෙන් + 29 ලැයිස්තුවෙන්) තියෙන්නේ ඒ ඒ නියොජිතයට ලංකාවම ආවරණය පරිදි නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්න. පසු ගිය දවස්වල කතාවක් පැතුරුණා ලක්ෂ දහයක විතර අළුත් චන්ද කරලියට පැමිණ ඇති බවත් ඒ චන්ද හැසිරෙන ආකාරය අනුව දිනුම පැරදුම තීරණය වෙයි .. ආදී වශයෙන්. දැන් එතකොට ඔය ආකාරයට අළුතෙන් ලාංකිකයෝ චන්ද පදනමට එකතු වෙන කොට මැති සබේ ඉන්න ඒ අය ගේ නියෝජිත ප්‍රමාණය වැඩි නොවිය යුතුද? මා දන්න තරමින් නම්  1972 ට පෙර තිබුණු රාජ්‍ය මණ්ත්‍රණ සබාවෙත් ආසන 168 තිබී ඇත. ලාංකික ජනගහනය එතෙක් මෙතෙක් කෙතරම් වැඩි වී ඇතිද? ඒ හා සමානව අපේ නියෝජිතයෝ වැඩි වී නැහැ නොවැ. ඒ විතරක් නොවේ අප පත් කරන නියෝජිතයා සමහරවිටෙක අප ජීවත් වන පෙදෙස ගැනවත් දන්නේ නැහැ නොවැ.

අපි හිතමු ලාංකික ජනගහනයට පර්යායව නියෝජිතයෝ වැඩි කළා කියලා. කුමක් වේවිද? දැනට ඉන්න මැති සබෙන් අඩකට වඩා ඇමැත්තෝ වූ කල, මැති සබේ රැස් වන එක් සැසියකට ලක්‍ෂ 15 වැය වන කල, මා නොදන්නා මගේ නියෝජිතයා වෙනුවෙන් මට කෙතරම් වියදමක් දැරිය යුතු වේවිද?

2010-02-15

නිලන්ත පියසිරි විසින් 10:23 පැයට
2

අවතාර් බැළුවෙමි

යම්තම් අමාරුවෙන් අමාරුවෙන් අවතාර් වල හොඳ පිටපතක් බාගෙන, ඔන්න ඊයේ සොඳුරියත්, දුවනියත් සමඟ නැරඹුවා. ඇත්තෙන් ම අපූරු චිත්‍රපටියක්. පසු ගිය දවසක නැරඹූ "Surrogates" නැමැති චිත්‍රපටියද යන්තම් මතකයට ආවා. කවුරුන් කාගෙන් අදහස කොපි කළාද කියලා කියන්න දන්නේ නැහැ. කෙසේ නමුත් ජෙම්ස් කැමරුන් දක්ෂයෙක් ම තමයි. කිසිම තැනකදී ප්‍රේක්‍ෂකයා ට වෙනත් චිත්‍රපටියෙන් එහා අදහසක් වත් එන්න දෙන්නේ නැති විදිහට ඇද බැඳ තබා ගන්නවා. තව කිහිප වරක් වත් බලන්න ඕනේ. බැළුවේ නැතිනම් අනිවාර්යෙන් බලන්න.

2010-02-10

නිලන්ත පියසිරි විසින් 00:35 පැයට
2

අප ගැන සැලකිලිමත් වීම

පසු ගිය කාලේ ත්‍රස්ත උවදුර තිබෙන තාක් කල් අපේ රට ගැන දුක් වුන, කල්පනා කළ, විස්සෝප වෙච්ච රටවල්, සංවිධාන සහ පුද්ගලයෝ කෙතරම්ද? අපේ රට වැස්සන්ට වඩා පුදුම විදහට මේ රටට ආදරය කරපු මිනිස්සු මේ සංවිධාන වල හිටියා නොවැ.  මොවුන් මානව අයිතිවාසිකම් වලින් දේසනා පැවත්වූවා, නීති සහ රීති වලින් දෙසුම් දුන්නා, අපේ හාමුදුරුවරු ගණින්නාන්සේලා කියලා, මේ දැන් බුදු වුනා වගේ බුදු දහමිනුත් අපට දේශනා දුන්නා. අනේ ඒත් ත්‍රස්තයෝ ටික රැක ගන්න බැරිවුනා. දැන් මොකද වෙන්නේ? ඇත්තටම වෙනසක් නැහැ. එදා මේ පරදේසක්කාර සංවිධාන, මිනිස්සු එක්ක සල්ලි වලට, සැප සම්පත් වලට, මෝඩ කමට එකතු වෙලා ත්‍රස්ත මර්දනයට විරුද්ධව කෑ ගහපු නඩය, අද "ඒයි, යුධ වීරයා ට එහෙම මොනවත් කරනවා එහෙම නෙමේ" කියනවා. ඇමරිකාව වගේම එක්සත් ජාතීන් ගේ සංගමය එහෙම  "එයි! අපි බලා ගෙනයි ඉන්නේ, යුද වීරයා ට එහෙම කොනිත්තනවා නෙමෙයි" කියනවා. දැන් රටට විරුද්ද කට්ටිය, මොකද කරන්නේ? අහ් වැරදුනා රටට නොවේ රජයට විරුද්ද කට්ටිය, ඒ කියන්නේ විරුද්ද පක්සේ කියනවා "අපි ජාත්‍යන්තරයට කියනවා මේ අවනඩුව". ඔය ජාත්‍යන්තරේ කියන්නේ අර මං ඉස්සෙල්ලා කියපු කට්ටිය ම නොවැ. එතකොට ඔන්න අපිට ආපසු මානව හිමිකම්, නීති රීති, බුදු දේසනා මුල ඉදන් ම දෙනවා. හැබැයි උන්ට ඕනෑ විදිහට රටේ සාරය හුරගෙන යන්න ඉඩ දිලා විරුද්ද පක්සේ බිමට සමතලා කරත් මොවුන් නෙමේ කතා කරන්නේ. මතකයි නොවැ 87-89 කාලේ. මොන රටෙන් ඇවිත් ද අපිට කිව්වේ, "ඒයි! ගලවන්නේ එහෙම නැහැ, ඔය කොල්ල ගේ නිය පොත්ත, පරාල ඇණ ගෙනාවට ගහන්නේ එහෙම නැහැ කොල්ල ගේ ඔළුවට" කියලා. ජාත්‍යන්තර රතු කුරුසේ ඇවිත් මොන ගෙදරට කිව්වේ, "ඔබලා ගේ කොල්ලා සැප ඇතිව හිරේ ඉන්නවා" කියලා. වැරැද්දක් නැතිව සරත් ෆොන්සේකා ව අල්ලා ගෙන ඉන්නවා නම් වැරදියි. ඒත් වැරදි කරලා නම් ඕන ජගතෙකුට දඩුවම් කරන්නත් ඕනේ. ඒත් අපිට බණ දෙසමින් ඇෆ්ගනිස්තානය, ඉරාකය බිමට සමතලා කරන එවුන් ගැන තමයි කේන්තිය. කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක, ආහ් ඒකත් ඉවසන්න පුළුවන් වෙයි අපට.

2010-02-08

නිලන්ත පියසිරි විසින් 22:11 පැයට
0

කිරි අම්මාවරුන් ගේ දානය

දුවනි ගේ 4 වෙනි උපන් දිනය පසු ගිය 7 වෙනිදාට යෙදී තිබුණි. එදිනට කිරි අම්මාවරුන් ගේ දානයක් ලැහැස්ති කරන ලද්දේ සොදුරිය ගේ සහ අපේ අම්මා ගේ යෝජනාවක් අනුව ටික දිනකට ඉහත දිය. සමහර පලාත් වල නම් කිරි අම්මාවරුන් ගේ දාන නොමැති බව කියැවේ. එත් කුඩා කල පටන් මට නම් කිරි අම්මාවරුන් ගේ දාන හුරුය. සමහර විටෙක කිරි අප්පා කියා කුඩා ලමයෙකු ද මෙයට සහභාගී කරවනු ලැබේ. මා කුඩා කල වරෙක් එලෙස දානයකට සහභාගී වූ බව මතකය. පත්තිනි අම්මා යැයි හැදින්වෙන දේවතාවියක් මුල් කරගෙන මෙම දානය පැවැත්වේ. කැවිලි වර්ග හතක්, හත බැගින්, අඹ ගෙඩි හතක්, කිරි මුට්ටි හතක්, තැඹිලි ගෙඩි හතක් ආදී වශයෙන් නම් කෙරුනු සහ පිළිගත් කෑම වර්ග පමණක් මෙහිදී පූජා කරනු ලැබේ.
කෙසේ වෙතත් දුවනිව පාන්දර 4 ට ඇහැරවා ගැනීම තමයි අමාරුව වුනේ. එහෙම ඇහැරවා ගත්තත් ගාථා කවි කියලා ඉවර වෙනකම් එකතැන රඳවා ගැනීම ඊට වඩා අමාරුයි. කෙසේ නමුත් කිරි අම්මාවරුන් ගේ දානය හොඳට සිද්ධ වුනා. ඇත්තටම දානයකට පස්සේ හිතට හරි සහනයක් දැනෙනවා. ඉතිං දුවනි ගේ උපන් දිනයට මෙය හැර සාදයක් පැවැත්වුවේ නැහැ. දුවනි නම් කියන්නේ "අප්පච්චි මේ මගේ උපන් දින දානය" කියලයි. උපන් දින සාදය කියනවා ට වඩා ඒක අපූරුයි කියලයි මට හිතෙන්නේ.
කොහොම වෙතත් උදේ පාන්දර පින්නේ නටලා නැවත දුවනි හෙම්බිරිස්සාවක් සහ කැස්සක් හදා ගෙන. දැන් ආයෙත් කිරි අම්මාවරුන් ගේ දානයක් බාරයක් ගැට ගහන්න වෙලා තියෙන්නේ ඒක හොඳ වෙන්න කියලා. අම්මයි නැන්දම්මයි දෙන්නා එකතු වෙලා දැනටමත් එහෙම කරලා ද දන්නෙත් නැහැ.

2010-02-05

නිලන්ත පියසිරි විසින් 15:49 පැයට
2

සුද්දට ඊරිසියාද?

අපේ රට හුරගෙන කාලා, අපේ මුතුන් මිත්තන් සුන්නත්දූලි කළ සුද්දා එක්ක මා තරහද කියලත් අහනවා. අපේ වගේ රටවල් යට කරගෙන මුතුමැණික්, ඇත් දල සොරකම් කොට, කැලෑ සිඳ තේ කෝපි වවා සාරය උරගෙන බීපු සුද්දොත් එක්ක මා තරහද කියලත් අහනවා. සුද්දෝ පොහොසත් සහ උගත් නිසා උන් එක්ක ඊරිසියාද කියලත් අහනවා. උන් කොහොමද පොහොසත් උනේ කියලා අපේ "පොරවල්" අහන්නේ නැහැ නොවැ. උන් පොහොසත් උනේ හොරකම් කරලා, කොල්ල කාලා නැතිව ඒ කාලේ අපිත් එක්ක වෙළදාම් කරලද? තවමත් නොසැලී තියෙන උන්ගේ විදෙස් සංචිත වල ගොඩ ගැහිලා තියෙන්නේ අපේ රටවල සාරය තමයි. නියෝග වලට අවනත නොවූවන් ගේ ගම් පිටින් විනාශ කරපු, කඩු තුඩේ ළමුන් ඇමුණූ උන් ගේ මුණුබුරෝ අපට මානව හිමිකම්, සර්‍වසාධාරණය ගැන බණ දෙසනවා. එතකොට අපට කේන්ති එන්නේ නැතිද? අපව හප කර දමා ගිය පසුත් අපෙ ඒ මතින් වුවද නැඟී සිටින්නට උත්සහ කරමු. සැබෑ නිදහස එයයි. අපට එය කළ හැකයි.

නිලන්ත පියසිරි විසින් 15:30 පැයට
0

නිදහස් ලංකාව කොයිබටද?

යටත් විජිත වාදීන් ලංකාව ඔවුනතට ගෙන කළේ කුමක්ද? අපට සෞභාග්‍ය උදා කරන්න වෙහෙසුනා ද? නැතිනම් උන්ට එය උදා කරගත්තාද? නිදහස් ලංකාවේ අපි දැන් කුමක් කරමුද? අපේ අරමුණ කුමක්ද? අපි සරම ඇදගෙන දිවීමේ තරඟයට සහභාගී සිටින්නෙමුද? කෝට් බෑය ලා ගෙන පෝරු මස්තකව සිටින්නෙමුද? ගෑරුප්පුවෙන් අටු කොස් ඇට කමින් සිටින්නෙමුද? කිසිවෙකුට කිසිදු දිසානතියක් නොපෙනේ. ලාංකික අප, සංවර්ධිත ලංකාව නැමැති එල්ලය මවා සිටින්නේ  කුමන හැඩ තල ඇතිවද? අපේ රටේ නිෂ්පාදනයන් හා සේවාවන් කෙරෙන්නේ කවුරුන් ගේ සුභ සිද්ධිය උදෙසාද? එකෙක් රට බටහිර ධනවාදය පැත්තට රට අදිත්, තවකෙක් බටහිර සමාජවාදය පැත්තට, සමහරෙක් හෙළ බොදු සංස්කෘතියක් පැත්තට අදින මුත් ලංකාව කොතනද? දෙස්පලුවෙක් වත්, විද්වතෙක් වත් අපේ එල්ලය මෙයයැයි නොකියත් නොවෙද?

2010-02-03

නිලන්ත පියසිරි විසින් 10:54 පැයට
1

බඩවැටිය හා මූකලාන

මේ වදන් ඇසූ සැනින් ඔබේ සිතට දැනෙනනේ කුමක්ද? සමහරෙක් මේවා මොනවාදැයි අසනු ඇත. එසේම මෙවදන් වලට නිශ්චිත තේරුමක් දීමට ද මට නම් නොතේරේ. මා සිතන්නේ මේ වදන් වින්දනයෙන් ම තේරුම් ගත යුතු බවයි. මම කුඩා කල සෑම පාසල් නිවාඩුවකට ම තාත්තා ගේ ගමේ ගියෙමි. කිරි අම්මා සහ අත්තා සමඟ ගෙවුනු ඒ දවස් කිහිපය තවමත් සිතෙන් මවා මහත් අශ්වාදයක් විදිමි. නිවාඩු කාලයේ ගමේ ගියද සෙල්ලම් කිරීමට තරම් කොලු කුරුට්ටන් වට පිටාවේ නොවීය. එබැවින් මම පරිසරය නිස්කලංකව රස වින්දෙමි. ඇල දෙසට නැවී තිබුණු කජු ගසේ අත්තක් උඩට වී කුරුළු කිචිබිචිය අස්සේ පොත් කියෙව්වෙමි. (කිරි අම්මලා ගේ දිහා කියවලා ඉවර කරන්න බැරි තරම් පොත් තිබුණි.) වෙල් යායෙන් හමා එන ඇල් වී සුවඳ මුසු වූ මද නල සමඟ පේර ගසක් උඩට වී පේර කෑවෙමි. කිරි අම්මා සමඟ "හොර මූකලානේ" දර ඇහිදීමට සහ ගොටුකොල කැඩීමට ගියෙමි. කුරුල්ලන ගේ නැටුම්, ඇලේ දණ්ඩි පැටව් නිසංසලව බැළුවෙමි. 
මේ සියල්ලම කියන්නට යෙදුනේ, ඊයේ රෑ දුවනිට පොතක් කියවද්දී බඩවැටියේ සිටි කුරුල්ලෙකු ගැන කියැවුනු බැවිනි. "අප්පච්චි, මොකක්ද බඩවැටිය කියන්නේ?" ඉතිං මම කෙසේ බඩවැටිය විස්තර කරන්නද?

2010-02-02

නිලන්ත පියසිරි විසින් 10:22 පැයට
2

මුද්දරය

අපේ අම්මලා (සොඳුරිය ගේ සහ මගේ) මේ මස දිනක දඹදිව චාරිකාවේ යෙදීමට යොදා ගෙන ඇත. එහි ගෙන යා යුතු බඩු මුට්ටු ලැයිස්තුවක් එම ආයතනය විසින් ලබා දුන් අතර එය සොඳුරි ගේ මවට යැවීමට ලියුම් කවරයක් සහ මුද්දරයක් රැගෙන එන මෙන් මා හට අණක් ලැබුණි. හැමෝම දැන් ඊ-ලිපි සහ වෙනත් සන්නිවේදන විධි භාවිතා කළාට ලඟකදී කාටවත් ලියුමක් යැව්වාද? 
මගේ අප්පොච්චියේ, මේ මුද්දරයක් හොයා ගන්න තියෙන අමාරුවක්. ඊයේ හැන්දෑවේ 5 පමණ පටන් 6 පමණ වනතෙක් පොත්සැල් වල සිට කුඩාම කඩ දක්වා සියල්ලේම සෙවූ මුත් මුද්දරයක් නම් සොයා ගත නො හැකි විය. අඩුම තරමේ බොරැල්ලේ ප්‍රධාන තැපැල් හලේ පවා මුද්දර නොමැත. ඔවුන් කියන්නේ තැපැල් කළ යුතු ලියුම ගෙන ආවොත් යම් යන්තරයකට දමා මුද්‍රාවක් තබා යැවිය හැකි බවය. කෙසේ වෙතත් අවසානයේ යාළුවෙකු ගේ පසුම්බියේ තිබී මුද්දරයක් සොයා ගත හැකි විය. ඉස්සර අප කුඩා කාලයේ මුද්දර එකතු කිරීම මහත් ජනප්‍රිය විනෝදාංශයක් ව තිබුණි. දැන් නම් එවැන්නක් ගැන අසන්නට වත් නොලැබෙන්නේ මුද්දර නැති නිසා විය යුතුයි. ඇත්තෙන්ම ලියුම් කවරයට කෙලින්ම මුද්‍රා තැබීම නිසා ඒ ලස්සන මුද්දර වියැකී යාම හිතට යම් දුකක් ඇති කරයි.

(මුද්දර රූප අනුග්‍රහය CEYLON STAMPS නැමැති විබ හරහා ලබා ගතිමි)

2010-02-01

නිලන්ත පියසිරි විසින් 10:35 පැයට
7

පිරිගණන සහ මැතිවරණ

දැන් පාරේ තොටේ හැමතැන ම අළුත් ම කතා බහ පිරිගණන යොදා සිදු වූ මැතිවරණ හොරකම ක් ගැනය. මැතිවරණ වලදී පිරිගණන යෙදවෙන්නේ කොහොමද? ඇත්තෙන් ම පසු ගිය ජනාධිපතිවරණයට, අපේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය (මැතිවරණ දෙපාර්තමේන්තුව) විසින් තැපැල් චන්ද තෝරන්නට එවන්නට යෙදුනු සංයුක්ත තැටිය දුටුවා ද? මා නම් සිතන්නේ එය "නිදහස් මුදුකාංග" (Open source software) සමඟ තරහා අය විසින් සාදන ලද්දක් ලෙසයි. මට  ජන්ද හිමි නාම ලේඛණයේ අදාල අංකය සොයා ගැන්මට  මගේ ලිනුක්ස් පෙට්ටියේ තිබුණු දන්න හැම දෙයක් ම කළෙමි. pdf ගොනු කේතාංකනය කොට (encrypt) තිබුණි. පසුව ජනෙල් පෙට්ටියක් සොයා ගෙන යන්තම් තැපැල් චන්ද අයදුම්පත පිරවූවෙමි. 
දැන් එතකොට මොකක්ද මේ කතාව. මේ කතාවේ උත්සහය තමයි තොරතුරු සහ සන්නිවේද සිල්පය නොදන්නා ලක්වැසියා අන්දමන්ද කිරීම. හොදයි, ඔබ කැමැති නැතිද චන්ද පොළට ගොස් ඇඟිලි සළකුන තබා තම කැමැත්ත පළ කරන්න? (ඇඟිලි නැති කෙනා ගැන පස්සේ හිතමු) මුළු ක්‍රමයම කාර්යක්‍ෂම කරන්න කැමැති නැතිද? අපේ රට ඒ වගේ තැනකට  ගෙනෙන්න  උවමනායි.  නමුත් දැන් මේ වගේ කතාවයක් පැතුරුනහම මොකද වෙන්නේ. තොරතුරු තාක්ෂණය (සිප්ලකුව) ගැන හැමෝම සැක හිතනවා, එමඟින් හොරකම් කරන්න පුළුවන් කියා සිතනවා.  කවදාවත් ම මේ තිබෙන අකාර්යක්‍ෂම ක්‍රියාවලිය බිඳ දමන්න බැරි වෙනවා. 
තොරතුරු තාක්‍ෂණය (සිප්ලකුව) කියන්නේ චන්ද නාමලේඛණ වෙනුවට සංයුක්ත තැටි යොදා ගැනීම නොවේ නේද? අපට මෙයට වඩා ඉදිරියට යා හැකියි. ඒත් මේ ගැන නොදන්නා යොදා නොගත් පිරිගණන තාක්ෂණයක් (සිප්ලකුවක්) ගැන කතා කිරීම හරහා මිනිසුන් මෝඩයාට ඇන්ද වීමට වඩා ඉදිරියට එන්න තිබෙන ක්‍රමයක් මොට කිරීමක් සිදු වුන බවයි මගේ අදහස.

2010-01-29

නිලන්ත පියසිරි විසින් 23:25 පැයට
2

විද්දේ ගොනාට වැදුනේ හාවට

පසු ගිය කාලයේ, එක්තරා අපේක්‍ෂකයෙකු ගේ ලිංගික ජීවිතය පවා තුරුදැලේ පටන් කුඩා පොත් පිංචවල් දක්වා පල කෙරුණි. සමහරෙක් එය මඩ යැයි කියන කල්හී, එය එසේ නොවන බව කී අය ද සිටියහ. ඇත්තෙන් ම මිනිසෙකු ගේ ලිංගික ජීවිතය සහ රුචි අරුචි කම් ඔහු ගේ දෙස්පලු කිරියාවට බලපානු ලබත් ද? නමුත් මගේ මේ සටහන ඒ පිළිබඳව නොවේ. එලෙස මෙම අපේක්‍ෂකයා ගේ ගැහැණු ලැයිස්තුව නම් ගම් පවා හෙලිකරමින් පරසිඳු විය. එහි නම් සඳහන් කිහිප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙනා අවිවාහක වෙත්. මෙලෙස නම් සඳහන් වුනු එක් කතක ගේ පුතු පාසල් යාම පිළිකෙව් කරයි. ඒ පාසලේ ළමුන් ගෙන් වන අවමාන නිසාය. අවමන් කිරීමට උත්සහ කළේ කා හටද, එහෙත් ජීවිත කාලයටම විදවන්නේ කවුරුද? 

2010-01-28

නිලන්ත පියසිරි විසින් 23:56 පැයට
4

අහෝ, මට අතුරුජාතිකයෙකු විය නොහැකි විය.

ජාතික බලවේග සහ විජාතික බලවේග ගැන නිතර කියැවේ. එහෙත් මේ දෙපැත්තට නොමැති කොටසක් ද වේ. එය අන්තර්ජාතික බලවේග හෙවත් අතුරුජාතික බලවේග ලෙස හැදින්විය හැක. විජාතික බලවේග සහ අතුරුජාතික බලවේග අතර ඇති වෙනස කිම? විජාතික බලවේග යනු අපේ රට ජාතියට අයත් නොවන අන් ජාතික බලවේගයි. අතුරුජාතික බලවේග යනු නාමිකව අපේ රට ජාතියට අයත් ව එහෙත් අන් ජාතිකයන් වන්න ට තැත් කරනවාක් මෙන්ම අනෙකුන්වත් එසේ කරන්නට තැත් කරන කොටසකි.
දැන් මොවුන් කියන්නේ අපේ මිනිස්සු ගේ තවමත් 12 වන සියවසෙහි වූ ජාන ඇති බැවින් මුන්ව ඉන් මුදවාලිය නොහැකි බවය. තවමත් ලාංකිකයන් සොයනුයේ වන්දිභට්ට කම් කිරීමට රජෙකුම බැවින් මොවුන් සිංහලෙන් ලියන විබ ද අතහැර දුවන්නෝය. ඔවුන ගේ අන්තර්ජාතික මොළය අනුව අපට ඡන්දයක් දෙන්න තවම තේරෙන්නේ නැත. ඔවුනට අනුව අපට අපේ හෙළ සාර ධර්ම තිබිය නොහැක, මක් නිසාද යත් එයින් අප ජාතිවාදීන් වන බැවිනි. අපට බුදු දහම පිළිපැදිය නොහැක, අප ආගම්වාදීන් වන බැවිනි. අප තර්කාන්විත බුද්ධියක් නැති බැවින් (උන් ගේ වචනය rational mind) ඉංගිරිසි කාරයෝ ඇවිත් මේ ඡන්ද ක්‍රමය නැවත අපෙන් උදුරාගෙන යා යුතුය. දියුණු, සංවර්ධිත, පළමුවෙනි ලෝකයේ සුද්දන් විදිහට කල්පනා නොකරන අපට අඩුම තරමේ තුරුදැළ (අන්තර්ජාලය) භාවිතා කිරීමත් තහනම් කළ යුතු වේ. මේ අන්තර්ජාතිකයන්ට අනුව අපව 12 වන සියවසට තල්ලු කර දමා බටහිර විදුවෙන් සොයා ගත් සියළු දේ අහිමි කළ යුතුය.
අපව අන්තර්ජාතික බණ කියා වෙනස් කරන්නට තැත් කොට දුවන අයටත් , තව දුරටත් උත්සහ ගන්නා අයටත් කිව යුතු දෙයක් තිබේ. නිපැයුම්, සොයාගැනීම්, ප්‍රමේයන්, මතවාද, කල්පිත සියල්ලේ අයිතිය තොප ගනුව මුත් එය අප භාවිතා කරන්නේ අපට ඕනෑ විදිහටයි. සුද්දෝ පාන් sandwich  හැදුවාට අපත් එයම කෑ යුතු නැහැ. අපට එය පරිප්පු හොද්දේ තවරාගෙන කන්න අයිතිය තිබේ. සුද්දෝ අර්තාපල් තම්බාල පොඩිකරලා කෑවට අප එලෙසම කෑ යුතු නැහැ. එය තෙල් දාල කන්න, මෙන්ම හොදි හදලා කන්න අපට අයිතියක් තිබේ. අපි තොපට පාන් පරිප්පුත් එක්ක පොඟවාගෙන කන්න නොකියන්නේ ත් ඒ නිසාමයි. එබැවින් ඡන්ද ක්‍රමය තොපේ වුවත් එය භාවිතා කොට අප බිහි කරන්නේ රජෙක්ද යකෙක් ද කියන එක තොපට වැදගත් නැත.    

2010-01-27

නිලන්ත පියසිරි විසින් 21:48 පැයට
2

පරාජය

අන්තිමට මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න" ලිපිය සැබෑ විය. නිර්පාක්‍ෂිකයෝ පරාජය පිළිගැනීමට අකැමැති වෙති. පැණය මෙයයි, මෙවර ඉදිරිපත් වූ නිර්පාක්‍ෂිකයෝ මෙන්ම පසුගිය මැතිවරණ වලදී පරාද වූ කිසිම පාක්‍ෂිකයෙකු "අපි පරාජය පිළිගනිමු"යි නොකීහ. මොවුහු කුඩා කාලයේ දී චක් ගුඩුවත් ගසා පරාද වී නොමැත්තෝය. එජාප යට ඉන්තේරුවෙන්ම ලක්ෂ 40 ක ජන්ද පදනමක් ඇතැයි කියති. ජවිපෙට අඩුම තරමේ ලක්ෂ 3 ක වත් පදනමක් ඇතැයි අනුමාන කළහොත් අනෙකුත් පක්ෂ අතහැර වුවද ලක්ෂ 43 ක් අපේ ගාර්දිහේවා උන්නැහේ ලබා ගත යුතුමය. එහෙත් මා දුටු අයුරින් එය ලක්ෂ 41 අතහැර නොගියේය. ජය කෙසේ වෙතත් අඩුම තරමේ ලක්ෂ 45ක් වත් නිර්පාක්ෂිකයෝ නොගත්තේ ඇයි?
Beyond Frame නම් බ්ලොග් අඩවිය කියන්නේ, "මේ රටේ ඉන්න වන්දිභට්ටයෝ නිසා මුන්ව හදන්න බැහැ ඒ නිසා මා මින් පසු නිහඩ වෙනවා" කියලයි. අර "සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects" අඩවියේ නම් කියන්නේ මෙරට සිටින නිවට ඡන්දදායකයා පිළිබඳව නොදැනීම ගැන ඔහු කණගාටු වෙන බවය. මේ දෙදෙනා ම කෙස් පැලෙන තර්ක හා විතර්ක ඉදිරිපත් කරමින් අපේ රටේ මිනිස්සු රජුන්ට වන්දිභට්ට කිරීමට උපන් අය නිසා මෙලෙස මහ රජා දිනෙව්වා වැනි යමක් කීමට උත්සහ කරනු පෙනේ. ඔවුන් ගේ ඇත්තේ අන්තර්ජාතික දැනුම නිසා ඒ පිළිබදව වදනක් දෙඩීම පවා ප්‍රයෛමේටාවන් ගේ සිට මහා පිපිරීම දක්වා වූ නොයෙකුත් න්‍යායන් සහ ප්‍රමේයයන් වලින් දමා ගැසීමට ඉඩ සැලසෙනවා ඇත. එහෙත් සාමාන්‍ය සමාජය ඇසුරු කොට දැනුමක් එකතු කොට ගෙන සිටින මට නම් හිතෙන්නේ මේ ඡන්ද හෝදාපාලුවට හේතු වූයේ කාන්තා ඡන්ද පදනම බවයි. පැයකින් අරූ හිරේ දානවා, අරූ, මූ, කලවැද්දා, පාහරයා, මනස නිරවුල් වෙන්න පොඩ්ඩක් මද්‍යසාරය ටිකක් ගන්න ඕනේ.... ආදී වශයෙන් වූ කතා පිරිමින් ගේ ප්‍රමෝදය ට හේතු වුවත් කාන්තාවන් එයින් සසල වෙන හැටි මම ගෙදර දොරදී පවා අත්දැක්කෙමි. ඇත්තෙන්ම ගාර්දිහේවා ලාල් ගේ පස්සේ ගිය බොහෝ අය වැපුරුවේ තරහව ම පමණයි. ජවිපේ වෙබ් අඩවියක් වූ (පසුව එජාප වූ) www.lankatruth.com හී වු අදහස් දැක්වීම් (comments) වල වූයේ නපුරම පමණකි. beyond frame කිසි දිනක විබ (web) හරහා සතුට බෙදා හැර නොමැත. එහි වූයේ කේන්තියෙන් දෙස් දෙවොල් තබන අනාත වූවෙකි. මම ජෙනරාල් ෆොන්සේකා ගේ පරාජයෙන් සතුටු නොවෙමි, මක් නිසාද යත් මහින්ද රාජපක්‍ෂ මෙන්ම රට අද ස්ථාවරයක වේද එතැනට ගෙන ඒමට ඔහු ද කැප වූයේය, ක්‍රියා කළේය. එහෙත් මම නපුර, තරහා, කේන්තිය, වෛරය පරාජය වීම ගැන ඉමහත් සේ සතුටුවෙමි.

2010-01-20

නිලන්ත පියසිරි විසින් 23:48 පැයට
0

කරෙන් බැහැපු සොල්දාදුවා

ත්‍රස්තවාදය මඩින සමයේ, බෝධිසත්ව ගුණෝපේත සමාජවාදීන් හා සියළු කෙළෙසුන් කෙරෙන් දුරුවූ රාජ්‍ය නොවන සංවිධාන හැරෙන්නට හමුදාවන්ට හා සෙබළුන්ට බැණ වැදුනේ කොටින් පමණකි. අටවසර සමත් සොල්දාදුවා, කිසි තැනකට වැද්දා ගත නොහැකි, නූගත් ජන කොටසක් ලෙස මුළු මහත් සමාජයෙන් ම කොන් කර තිබියදී ජනමාධ්‍ය යොදාගෙන සමාජය පිළිගන්නා වීරයෙකු කළේ මේ රජය බව රාජ්‍ය විරෝධීන් පවා පිළි ගනී යැයි මම සිතමි. සොල්දාදුවා වීරයෙකු ලෙස පිළි ගැනීම සහ තම ජීවිතය සූදුවට තබා ලබා ගන්නා වැටුප කෙරෙහි කෙතරම් අපුලකින් බලා සිටි මිනිසුන් ලංකාව තුල වූයේද යන්න මම පසුගිය බ්ලොග් කිහිපයක දුටුවෙමි. එම බ්ලොග්කරුවන් කවදත් ලංකාව සුරපුරයක් කරන්නට, කොටින්‍ට රට දෙමු යන මතයේ සිටියවුන් නිසා, ඒ තරම් ම නොසිතිය යුතු මුත් අපේ ජෙනරාල් තුමාගේ ඡන්ද සම්ප්‍රාප්තිය නිසා නම් නැවත සොල්දාදුවා කුණු බක්කියට ඇද දැමීමේ ප්‍රවනතාවයක් ඇතිවී ඇති බව සැමෝටම පෙනේ. පසු ගිල කලක වූ බ්ලොග් අඩවියක "සොල්දාදුවා දැන්වත් කරෙන් බැහැපිය" මැයින් වූ ලිපිය මෙයට කදිම නිදසුනකි. සොල්දාදුවා කරෙන් බස්සන්න කියන මොවුන් ඔවුන් එතැනට නැංවූයේ කවුරුදැයි, නොකියති.
කිසිදු බියක් සැකක් නැතිව ලංකාව තුල සංසරණයට අද ඉඩ තිබෙන්නේ වායු සමීකරණ කාමරයේ සිට වුවද ජනාධිපතිතුමන් වෙනත් රටවලින් එන බලපෑම් මැඩපවත්වමින් ත්‍රස්ත මර්ධනයට වායු සමීකරණය කළ කාමරයේ වූ ගෝඨාභය ට සහ වායු සමීකරණය කළ කාමරයේ සිටි සරත් ෆොන්සේකාට ඉඩ දීම නිසයි. සරත් කියන්නේ මේ යුද්දේ දිනුවේ ඔහු බවයි. රජය කියන්නේ ජනාධිපති විසින් යුද්ධය දිනූ බවයි. මෙය ඇත්තද? යුද්ධය දිනුවේ, ජනාධිපතිද? නැහැ, ඔහු විසින් හමුදාපතිට අණ දුන්නා යුද්ධය කරන ලෙසට. එසේ නම් යුද්ධය දිනුවේ එවකට හමුදාපති සරත් ෆොන්සේකාද? ඒත් නැහැ, ඔහු විසින් අණ දුන්නා සේනාංකාධිපතිවරුන්ට. එසේ නම් එය දිනන්න ඇත්තේ සේනාංකාධිපති වරු වෙන්න ඇති. ඒත් නැහැ ඔවුන් විසින් ඒකක, බලඝණ, ඛණ්ඩ ආදී වශයෙන් සෙබළුන්ට අණ දුන්නා යුද්ධ කරන ලෙසට . එකා පිට එකා මැරෙමින් මේ යුද්ධය දිනුවේ ඔවුන් ය. සමහර විටක දින ගණන් කුසට අහරක් නැතිව, බූට් යුවල් තුල කකුල් තැම්බී කුණු වී වේදනා විදිමින්, වැස්සට තෙමෙමින්, සතුරු වෙඩි පහරක් ගණනේ කඳ පොළොවේ ගසමින්, තම දූ දරුවන්, සොඳුරිය ඇකයට ගත නොහැකි සොවෙන් වෙලෙමින්, සතුරු බිමේ තුවාල ලබා දින ගණනක් ලේ ගොස් මියෙන තෙක්ම තම අනාගතය ගැන තැවෙමින්, මිය ගිය තුවාල වුනු, වාසනාවට හා දක්ෂකමට තවමත් ජීවත්වෙන ඒ සොල්දාදුවාටයි මේ ජය අයිති. ඉක්මනින් ත්‍රස්තවාදය නිමවා මේ සමාජය සතුටින් ඉන්න සැටි බලන්න ගෙදර එන්න කැසකැවූ ඒ සෙබළාටයි මේ ජය අයිති. එහෙත් දැන් මේ සමාජයම "ඒයි සොල්දාදුවා දැන්වත් කරෙන් බැහැපිය" කියයි.

2010-01-19

නිලන්ත පියසිරි විසින් 22:07 පැයට
4

ආදර සොදුරිය

සරණ යන්නට පෙර පෙමෙන් බැඳුන කාලයේ තම සොඳුරිය ගැන කෙතරම් සිහින මවනවාද? ඇය හා ජීවත් වන හැටි ගැන කෙතරම් සැලසුම් සදනවාද? ඒ සියල්ලම සැපිරෙනවාද? බොහෝ විවාහක අය නැතැයි කියනු ඇත. ඇත්තෙන් ම ජීවිතයේ සෑම සිහිනයක් ම එපරිද්දෙන් ම නොසපිරෙන බැවින් එය ද එසේ ම විය යුතුය. එහෙත් මා නම් සිතන්නේ සරණ යන්නට පෙර තිබූ ආදරයට වඩා ආදරයක් තම බිරිඳ ගැන විවාහයන් පසු සිදු වන බවයි. එසේ ආදරයක් නොසිතෙන්නේ නම් ඒ ඈ ගැන නොසිතන නිසයි. උදයේ අවදි වූ වේලාවේ ලැබෙන තේ කෝප්පයේ පටන්, රැයේ නින්දට යන කල ලැබෙන පොරෝනය දක්වා ඇගෙන් ලැබෙන්නේ ආදරය හැර වෙන කිසිවක් නොවේ. පිරිම් අප කෙතරම් ඇයට උදව් කළත් ඇයගෙන් තොර පවුලක් ගැන සිතිය හැකිද? උදයේ රැයින් නැඟිට කෑම පිළිවෙල කොට, දූ වරුන් පුබුදුවා, සෝදා පිරිසිඳු කොට, ඇඳුම් අන්දවා, කෑම කවා, සැමියාට කෑම පිළිවෙල කොට, රැකියාවට ගෙන යාම සඳහා කෑම සකසා ඇයද රැකියාව සඳහා පිටත් ව යන්නීය. සැදෑවේ, තම සැමියා ට පළමුව නිවසට සේන්දුව, නැවත කෑම පිළිවෙල කොට, දරුවන්ට කවා, ඔවුන්ව නින්දට යන තෙක් නොව තම සැමියාද නිදියහනට යන තෙක්ම ඇය කිසිඳු ඉසඹුවක් ලබන්නේ නොවේ. ඇය මහන්සිය නොහදුන්නී මෙන් රැයේ තුරුළුව මෙසේ අසන්නීය.

"ඔයා ඉස්සර වගේ ම මට ආදරෙයි ද?"
"නැහැ" මම පිළිවදන් දෙමි.
"ඇයි ඒ?" ඇය වික්ෂිප්තව හිස ඔසවා මා දෙඇස් දෙස බලන්නීය.
"ඉස්සරට වඩා ආදරෙයි"

2010-01-18

නිලන්ත පියසිරි විසින් 22:25 පැයට
0

සමානාත්මතාවය

නීතිය ඉදිරියේ අප සැවොම සමානයි ආදි වශයෙන් වූ කතාවක් වෙයි. නීතිය පමණක් නොවේ කිසිම දෙයක් ගැන මේ ලොව එසේ සමානව සලකන්නා වූ මිනිසුන් සිටීද? දියුණු රටවල නම් එසේ වේ යැයි යමෙක් පැවසීමට ඉඩ තිබේ. සමාජවාදය එලෙස දේශණා කළ බණක් යැයි ද යමෙක් කිව හැක. අද නීතිඥයෙක්, වෙදදුරෙක්, දෙස්පලුවෙක්, ඉහළ හමුදා නිළධාරියෙක් ආදී වශයෙන් වූ ලැයිස්තුවක් අනෙක් පුද්ගලයෙකුට වඩා සමාජයේ අසමාන ලෙස නොසැලකෙන්නේ නොවේද? දෙස්පලුවායි, බස්පලුවායි එකම ලෙස පොලිසියකදී සැලකුම් ලබන්නේද? බොහෝ අය රැකියාව අනුව ගැරහුම් ලබන්නේ නොවෙද? එක් ජනපති අපේක්‍ෂකයෙක් "කොම්පුටර් ඔපරේටර් කෙනෙක් තමයි, මේ තත්වයට පත්වෙලා තියෙන්නේ" ආදි වශයෙන් කී කතාවක් ඔබට මතක ඇති. ඒ නයින් ඔහු කියන්නේ පිරිගණන ක්‍රියාකරුවන් සමාජයේ පිළිගත යුතු කෙනකුද නැතිනම් ගණන් ගත යුතු නැති කෙනෙක් කියාද? මට නම් දැනෙන්නේ එය පිළිගත යුතු රැකියාවක් නොවන බවට කෙරෙන ඇඟවීමක් බවය. එනම් නිළධාරීවාදයයි. සමාජවාදය පුම්බන අය නිළධාරීවාදය ඔසවන්නේ යැයි ඔබට නොසිතෙන්නේද?

2010-01-17

නිලන්ත පියසිරි විසින් 22:11 පැයට
4

ගෝත්‍රවාදී වීම හොඳද? නරකද?

අප ගෝත්‍රවාදයේ හිනි පෙත්තට නගිනුයේ මැතිවරණ සමයේ යැයි මට සිතේ. මතයට එකඟ නොවන එකා නසා දැමීමට තරම් මෙය උග්‍ර වේ. නමුත් මෙලෙස මරා ගනුයේ හදිසියකදී උදව්-පදව් කරගන්න සිටින අසල් වැසියන් ය. දෙස්පලුවෝ අසනීප වූ ළමයා රෝහලට ගෙන යන්න උදව් කරන්න ට ලඟ පාත ඉන්නේ නොවේ. මා කලකට පෙර අසා සිටි සංවාදයක කියැවුනේ "අප, එනම් මේ දකුණු ආසියානු මිනිස්සු උග්‍ර ගෝත්‍රවාදියෝ" බවය. අපි සිංහල, දෙමළ ආදි ලෙස බෙදෙමු. බුදු දහම, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම ලෙස බෙදෙමු. එජාප, ජවිපෙ, ශ්‍රිලනිප ලෙස බෙදෙමු. ගොවිගම, කරාවේ, දුරාවේ ලෙස බෙදෙමු. ඉගෙන ගත් විදුහල, සරසවිය අනුව බෙදෙමු. ඉදින් මෙලෙස බෙදීම හොදද? සාධාරණද? එහෙම නැතිද?
එසේ නම් අප මුලු පොලවට අයත් මිනිස්සු විය යුතුය, එසේ නැතිනම් අප මුලු සක්වලට අයත් මිනිසුන් විය යුතය. එසේ නොවේද? ඉහත සංවාදයේ කියැවුනු වදන තුලම ගෝත්‍රවාදය වේ. එනම් "දකුණු ආසියානු මිනිස්සු". සත්තු මිනිස්සු නිතරම කුලක ලෙස සිටීමට කැමැත්තෝය. එනයින් ගත් කල මනුසත්තුද තම කුලකයකට වැද ගන්න කැමැති වෙති. එසේ නොමැතිව සිටින්න කියා දහම් දෙසන බටහිරයෝ එලෙස නොවන්නේද? ඇමැරිකානුවෝ, ඉංගිරිසිකාරයෝ, ආදී වශයෙන් ඔවුන් හදුනා ගන්නේ ඇයි? රහත් ඵලයට පත් නොවූ සැවොම තම කුලකය ගැන සිතති. අප රටට, ජාතියට ආදරය කරන්නේ එබැවිනි, පක්ෂයකට මෙලෙස ලැදි වෙන්නේ එබැවිනි.

2010-01-13

නිලන්ත පියසිරි විසින් 09:42 පැයට
0

දුවනි ගේ ළදරු පාසල

පෙරේදා සිට දුවනි නැවත ළදරු පාසල් ගියාය. නැවත කීවේ මීට කලිනුත් ඇයව මාස හයක් පමණ පෙර පාසල් යවා නිතර නිතර අසනීප වීම නිසා නැවත් වූ බැවිනි. ඇය ඉපදුනේ පෙබරවාරී මස මුල නිසා පාසල් යාමට තව අවුරුදු දෙකක් ඉතිරිව තිබේ. එය කෙතරම් සාධාරණද අසාධාරණ ද යන්න ගැන මගේ මතයක් තිබේ. නමුත් එය අදාල නැත. ඇයව පෙර පාසල් යැවීමට ටික දිනකට ඉහත, පෙර පාසලට අවැසි බඩු ලැයිස්තුව ගෙන පොත් සාප්පුවකට වැදුනෙමි. සිල්ලටම රු. 3200/- ලදුපතක් සදහා ගෙවීම් කරන ලදි. පෙර පාසල් ලමයෙකු ගේ පොත් ලැයිස්තුවට මෙතරම් මුදලක් වැය වූයේ නම් සාමාන්‍ය පාසල් ලමයෙකු ගේ පොත් ලැයිස්තුවට කෙතරම් වැය වෙනවා ඇතිද? මේ දිනවල ඡන්දය නිසා තාප්ප වල වැසෙන වෛවර්ණ දැන්වීම් වලට කෙතරම් තීන්ත සහ කඩදාසී වැය වෙනවා ඇතිද? එය සමහරක් විට ලංකාවේ ම වසන පාසල් සිසුන් සඳහා පොත් සෑදීමට වැය කළත් ඒත් ඉතිරි වෙනවා ඇති. එහෙත් දැන්වීම අලවා, එදිනම ගලවා පාර අපවිත්‍ර කරන මිනිස්සු මේ ගැන නොසිතන්නේ ඇයි?

2010-01-08

නිලන්ත පියසිරි විසින් 10:00 පැයට
0

ජාතික හැදුනුම්පත

හඳුනාගැනීමේ පත හදන්න ගමේ නිළධාරිනී ට දීලා මාස හයක් ඉක්මවා ගොසින් ඇති බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට ගියෙමි.
"ඇයි, මහත්තය ට රියදුරු බලපත්‍රයක් එහෙම නැතිද?" ඇය විමසුවාය.
මම තිබෙන බව කීවෙමි.
"එහෙනම් ඡන්දය දාන්න බාදාවක් නැහැ නේද?" ඇය කීවාය.
"නැහැ, ඡන්දය දාන්න නෙමේ, මේ වෙනත් වැඩ වලටත් අඩුම ගානේ ඡායා පිටපතක් වත් දෙන්න මේ දීලා තියෙන කොල කෑල්ලෙන් බැහැනේ?" මම පිළිවදන් දුනෙමි.
ඇය හැඳුනුම් පත් දෙපාර්තමේන්තුව ට ගොස් විමසා බලන ලෙස කීවාය. එහිදී පිරිගණනයෙන් ලැබුනු පතක් ගෙන අදාල ලිපිකරු හමු වීමි. ඔහුට පොඩි හිසේ කැක්කුමක් ඇති බැවින් මඳක් පමා වෙන බව පැවසීය. ටික වේලාවකින් පැවසූයේ, තව සති දෙකකින් හෝ තුනකින් හැදුනුම් පත තැපෑලෙන් ලැබිය හැකි බවත් එසේ නොමැති නම් රු. 500/- ගෙවා එක් දින සේවාවෙන් ලබා ගැනීමට අයදුම් කරන ලෙසත් ය. හරක් කුවිතාන්සිය වගේ කිසිදු දෙයකට ඉදිරිපත් කළ නොහැකි කොල කැබැල්ලක් තබාගෙන සිටීමෙන් විඩාවට පත්ව සිටි මා හට එක් දින සේවාවට යාම හැර කළ හැකි කිසිවක් නොවීය.
මෙහි දී මට පැණ නැගුණු පැණය නම් රු. 500/- දිනකින් කළ හැකි දේ. අඩුම තරමේ මාස හයකින් වත් කළ නොහැක්කේ මන්ද යන්නයි. එක්කෝ අපේ රාජ්‍ය සේවයේ වැරැද්දක් ඇත, නැති නම් අපේ වැරැද්දක් ඇත.
එක් දින සේවාව කෙසේ වෙතත් අද 12 පසුව හැඳුනුම්පත ලබා ගැනීමට පැමිණෙන ලෙස හැන්දෑවේ 4 ට පමණ මා හට පැවසිණි.

2010-01-06

නිලන්ත පියසිරි විසින් 12:18 පැයට
0

දෙස් පලුවට දෙවිවරු සොයන මිනිස්සු

දේස පාලනය ට දඟලන අය දෙසයි මේ දින වල කාගෙත් ඇස් යොමුව. වංචා, දූෂණ, හොරකම් නැති ජනාධිපතිවරයෙකු පත් කරගන්න තමයි හැමෝගෙම පොදු අපේක්‍ෂාව. දැන් අපි බලමු කොහෙද ඔය කියන (අපේක්‍ෂා කරන) මිනිස්සු ඉන්නේ. කිසිම හොරකමක්, වංචාවක්, පංච දුෂ්චරිතය කිසි කලක කළ නැති කෙනෙක්. මෙලොවින් නම් හොයා ගන්න නැහැ. වංචා කරන මිනිස්සු, හොරකම් කරන මිනිස්සු හොයන්නේ එහෙම නොකරන ජනාධිපති වරයෙක්. කවදාවත් වංචාවක්, බොරුවක් නොකරපු ජනාධිපති කෙනෙකු ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක බිහි වෙලා තියෙනවද? ඉතිං ඉදිරියටත් එවැන්නෙක් බිහි වෙයි කියලා හිතනව ද?