Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

2012-11-09

නිලන්ත පියසිරි විසින් 15:37 පැයට
17

මෙහෙමද යකෝ බටු උයන්නේ....?

මේක මට සිදුවුනු බොහොම පරණ සිද්ධියක්. මේ ලඟදී මතක් වුනේ අපේ දිවා කෑම පැයේදී. මා ගෙදරින් ගෙනා කෑම පතේ තිබූ පොලොස්, එදින මා සමඟ කෑම කෑ මා ගේ සඟයා ගේ කඩෙන් ගත් කෑම පතේ තිබූ පොලොස් වලට වඩා තැම්බී නොතිබීමයි.

එකල මා විවාහ දිවියට ආ මුල් දවස්. මගේ සොඳුර ඉතිං ඒ දවස් වල එච්චර කෑම හදන්න දන්නේ නැහැ. (දැන් ඉතිං දන්නවා කියන්න එපැයැ නැත්තනම් ..... දන්නවානේ) කොහොම නමුත් ඒ දින වල මට මා සේවය කළ තැනෙන් පිට වෙනත් තැනක පිරිගණන පාඨමාලාවක ඉගැන්වීමට යෙදුනා. ඉතිං සොදුරිය උදයෙන් ම නැඟිට පිළියෙල කළ බත් පත රැඟෙන ඔන්න එතැන ට ගියා. උදේ වරුවේ ඉගැන්වීමෙන් පසු ඔන්න දහවල් කෑම. දන්නවනේ එතැන හිටපු ඔය පරිපාලන වැඩට ආපු තවත් කෙනෙක් එක්ක කෑමට ගියා. ඔහු කෑම අරගෙන තියෙන්නේ එතැන තිබුනු අවන් හලෙන්. ඔන්න ඉතිං එක එක ව්‍යාංජන හුවමාරු කර ගත්තා. මගේ සොඳුරිය උයලා තිබුනා එළ බටු. මටත් ඔය ඉතිං ඒ දවස් වල කෑම ගැන එච්චර තැකීමක් නැහැ ඉතිං, දන්නවනේ බැඳපු අළුත, හැම දෙයක්ම රසයි නොවැ. මමත් එළ බටු ටිකක් අර යාළුවාට දැම්මා. (යහළුවා කිව්වට පොඩ්ඩක් අපිට වඩා ජ්‍යේෂ්ඨයි) එයා ගේ කෑම එකෙත් එළ බටු තිබුණා. ඔන්න ටික වෙලාවක් යනකොට මෙයා කියනවා. 
"මේ බලපං මුන් බටු උයලා තියෙන හැටි, ඇටත් එක්ක, මෙහෙම බටු උයන රටක් තියෙනවද? මුන් ගේ අම්මලාට........ මට හිතයි ගිහින් දෙකක් කථා කරන්න".

 මම හිමිහිට මගේ කෑම පතේ බටු ගැන බැලුවෙමි. අපොයි මේ මගේ සොඳුර පිසූ බටු නොවැ.

"හරි හරි, ඕව් එච්චර ගණන් ගන්න එපා" මම ඔහුව අස්වැසුවෙමි. හැබැයි ගෙදර ඇවිත් සොඳුර නිවැරදි කිරීමට ත් නොගියෙමි. ඇය මෙය කියවන්නේ නම් දන්නවා මිස මෙතෙක් ඇය මේ සිද්ධිය දන්නේද නැත.

2012-10-12

නිලන්ත පියසිරි විසින් 10:57 පැයට
8

ඒ මාර ගහේ මුල්

කාර්යාලයෙන් ඊයේ මට නියම වී තිබුනේ යම් වැඩ මුළුවකට සහභාගී වීමටයි. එය තිබුනේ කොළඹ පුර හල පෙදෙසේ බැවින් බසයෙන් බැසි මම විහාර මහා දේවී උයන මැදින් එතැනට ලඟ වීම පහසු බැවින් ඒ හරහා ගියෙමි. අද මේ උයන මට එතරම් නුහුරු වුව ද මා පිය සොඳුර සමඟ පෙම් කරන සමයේ මේ උයන මට ඉතාමත් හුරු පුරුදු විය. අප නිරන්තරව යන මාර ගසක බංකුවක් මෙන් වූ මුලක් විය. මා එය පහු කරද්දී මට නිතැතින් ම එතැන බැලුන කල මා දුටුවේ අප එකල වාඩි වි සිට තැනම හිඳිනා පෙම් යුවලකි. අප එකල කෙතරම් නම් වේලා මෙතැන කථා කරමින් සිටින්නට ඇතිද? මේ මාර ගස කෙතරම් පෙම්වතුනට සෙවන දෙන්න ඇතිද? එහෙත් ඒ ගස මුල කිසි දිනක හිස් නොවෙයි. එහෙත් කල්පනා කළොත් ඊයේ දවසේ පමණක් මා කෙතරම් වේලාවක් සොඳුර සමඟ කථා කරන්නට ඇතිද? හොඳින් හිතුවොත් වැකි හතරක් පහක් පමණ. "නිලන්ත, දුවනිට කවනවද?, පරක්කු වෙනවා", "නිලන්ත චූටි දුව ගේ ගවුමේ බොත්තම දානවද?" "නිලන්ත එනකොට සුප් කැට තුන හතරක් ගේනවද?" "දවල් කෑම රසද?" වගේ හිතුවොත් ඉතාමත් කෙටි වදන් තුන හතරක්. මෙයින් නියෝග හැරුණ කොට ආදරය පොඩ්ඩක් වත් තියෙන්නේ "දවල් කෑම" ගැන වැකියේ පමණි. ඇයට ගෙදර මෙන් ම කාර්යාලයේද වැඩ බොහෝය. පෙම් බස් මිමිණීමට ඇයට වේලාවක් ඇත්තේ ම නැත. එසේ වෙලාවක් ආවත් ඇයට කෙසේ හෝ අතපසු වූ වැඩක් පසක් වෙයි. ඉඳින් වරු ගණන් මේ මාර ගස යට පෙම් බස් තෙපළු ඇය..... වැන්නෝ තවත් කෙතරම් මේ මාර ගස හැර ගොස් ඇතිද?   

2012-04-23

නිලන්ත පියසිරි විසින් 23:28 පැයට
6

නෑදෑකම්

අපේ අම්මා ගේ මාමා කෙනෙකු ඊයේ හැන්දෑවේ මිය ගොස් ඇති පුවත මට ලැබුනේ මල්ලි ගේ දුරකතන ඇමතුමකිනි. ඔහු අපට ඉඳහිට මුණ ගැසෙන අයෙකු බැවින් ද, මුණ ගැසුන ද එතරම් කතා බහක නො යෙදෙන අයෙකු බැවින් ද, මම එය එතරම් ම දුක් මුසු පුවතක් නොවේ යැයි උපකල්පනය කොට එකෙනෙහි ම අම්මා ට ඒ ගැන කීවෙමි. අම්මා මහත් හඩින් හැඩීමට ගත්තාය. ම'සොඳුරිය සහ නංගී ඇය සනසා ගත්තේ මහත් වෙහෙසක් දැරීමෙන් පසුවය. මගේ ලොකු මාමා නොහොත් අම්මා ගේ අයියා මීට අවුරුදු 7 කට පමණ පෙර මිය ගිය අවස්ථාව මම සිහි කළෙමි. මගේ ඇහැට කඳුළු බිදුවකුඳු ආවා යැයි මට මතකයක් නොමැත. එහෙත් මීට මසකට පමණ පෙර අපේ පුංචි විවාහ වී සිටි බාප්පා මිය ගිය කල මට හැඩුම් ඉබේ පහළ විය. 
නෑදෑකම් හා සබඳකම් කෙතරම් මිනිස් සිත් සනසවන්නේ ද? එකල මුළු ගමක් ම නෑදැයෝ වූහ. ඔවුන් වචනයේ දුරින් උදව්ට, පහසුකම් දීමට සිටියහ. එහෙත් අද නෑදෑයෝ සි සි කඩය. අපේ අම්මා ගේ කඳුලු තුල වූයේ ඒ හැඟීමයි, ඒ ආදරයයි. දරුවෙකු හඬන කල මාමාට කිරි එරෙන කතාවක් ජන වහරේ ද ඇත. එහෙත් මෙකල දරුවෙකු හඬන ඇසීමට මාමා කෙනෙකු පෙනෙන තෙක් මානයක ද නැත. "පොඩි දුව, මෙන්න කොස් කෑල්ලක් තියෙනවා. තම්බලා ගනින්." අප කුඩා කල අපේ අම්මාට, ඇයගේ මාමා වරු එලෙස නොයෙකුත් වෙසෙසි දේ ගෙනැවිත් දෙති. අපේ අම්මාට ද මාමලා නැන්දාලා තරම් අයෙකු නොමැති ගානය. බොහෝ විටක අපිද අම්මා සමඟ ඔවුන ගේ නිවෙස් වලට යන්නෙමු. ඔවුනොවුන් අතර පැතිර යන සිනහව ආදරය කරුණාව මගේ හද පතුල ද යන්තම් කොනිත්තන්නාක් මෙන් දැන් ද දැනේ. නෑදෑකම් අද සමාජයෙන් තුරන් ව යනු සක්සුදක් ව පෙනේ. නෑයෝ සහ වේයෝ එක බැවි තෙසක රියක පිටු පස වූ බව මට මතකය. අද නෑදෑ කම් නාම මාත්‍රිකය. එකල අවුරුද්දට අපි නොවරදවා අපේ අම්මා ගේ ලොකු නැන්දා හෙවත් අපි කියන පරිදි කඩේ ආච්චි ගේ ගෙදර යන්නෙමු. එය හරිම විනෝද ජනකය. ඇය හරිම රසට ආස්මි හදන්නීය. එපමණක් නොව හදිසියකට හෝ ඇගේ නිවස අසලින් අප වෙනත් වැඩකට ගියේ නම්. "උඹ කොහෙද යන්නේ, මෙහෙ වරෙන්" කියා කුඩා අපව නිවසට එක් කරගෙන ගොස් අඩුම තරමේ විස්කෝතුවක් සමඟ තේ බිඳක් හෝ පොවා මිස පිටත් නොකරයි. එහෙත් අද.....? මගේ දියණියන් ගේ ලොකු අම්මා, හෙවත් සොඳුරිය ගේ අක්කා ඇත්තේ බදුල්ලේය. එහේ ගොස් ඒමට අඩු තරමේ දවස් පහකවත් නිවාඩුවක් අවැසිය. එතරම් කල් නිවාඩු අපට නොලැබෙන හෙයින් අප එහි ගොස් ඇත්තේ මෙතුවක් කලට එකම එක වතාවකි. ඒ වතාව දියණියන්ට කෙසේ වෙතුදු අපට ද මතක නැත. එසේ වී නම් ලොකු අම්මා ගේ ආදරය මතක තියෙන්නේ කෙසේද?    

2012-04-03

නිලන්ත පියසිරි විසින් 22:49 පැයට
1

වේවැල් වියන්නා

මා කුඩා කල දිනක වේවැල් පුටු වියන්නෙකු කෑ ගසමින් නිවස පසු කරනා විට අපේ තාත්තා ඔහුට කථා කළේය.  අපේ ගෙදර වූ වේවැල් කැඩී ගිය පුටුවක් ඔහුට පෙන්නා "මේක වියන්න කීයක් ඕනෑ දැ?" යි විමසීය. ඔහු එකල කී ගණන මට මතකයක් නැත. නමුත් ඒ ගණන වැඩි බව කියමින් තාත්තා, "අපොයි, අපොයි ඒ ගාණ හොඳටම වැඩියි. මටත් ඕක වියන්න පුළුවන්, මට වෙලාවක් නැති නිසයි. මම ඇහුවේ" කීවේය. එවිට වේවැල් වියන්නා කියූ දේ මට තවමත් නින්නාද දෙන්නාක් මෙනි. "සර්, සර්ට මේක වියන්න පුලුවන් වෙන්න ඇති, ඒත් සර් මම මේක වියුවේ නැති නම් මට ගෙදරට කන්න දෙන්න බැරි වෙනවා, මගේ දරු පවුල රැක ගන්න බැරි වෙනවා. ඒ නිසයි මම ඒ ගාන කියුවේ" හේ ඉතා දුක්බර මුහුණෙන් මුත් නිභයව කීවේය. අපේ අම්මා ගේ කට කොණට හිනාවක් නැගෙනු මම දුටිමි. "වියනවා වියනවා ඕක" කියමින් තාත්තා ගෙතුලට ගියේය. 
සේවාවන් හා නිපැයුම් ගැන මා තුල මනා කොට ඉගෙන ගත් ශාස්ත්‍රීය දැනුමක් නැති මුත්, අදීන ලංකාවේ බොහෝමයක් ඇත්තේ සේවා සපයා ජීවිකාව සපයා ගන්නන් බව මට සිතේ. වෙසසින් කොළඹ නඟරය නම් සේවා සැපැයුම් කේන්ද්‍රයකි. කරණවැමීයා ගේ පටන් ලිපිකරුවා දක්වාත්, දොස්තරගේ පටන් නාටාමි දක්වාත් සැවෝම සේවා සපයති. නමුත් බොහෝ සේවාවන් ලෙහෙසියෙන් අත හැර දැමිය හැක. මුදල් නොමැති නම් තෙසක රියේ සේවාව ලබා ගැනුමට අපි බොහෝ විට මැලි වෙමු. එලෙස වූ කල මෙකල රුපියලේ අවතක්සේරුවත්, වාහන බදු වැඩිවීමත්, වෙනත් බදු වැඩි වීමත් තුලින් ඇත්තටම අත්‍යවශ්‍ය නොවන සේවා සපයනු ලබන එදා වේල සරි කර ගන්නන් අසරණය. ඔවුන් සේවා නොසපයා නිපැයුම් ක්‍රියාවලියක සිටියා නම් ඔවුන් මෙයින් බේරෙයිද?

2010-09-21

නිලන්ත පියසිරි විසින් 16:05 පැයට
2

ජැක් ජැක් ප්‍රෝවස්ට්

අපේ දුවනි ගේ ළදරු පාසලේ වසර අවසාන උත්සවයට මේ දින වල දරු දැරියන් පුහුණුව ලබන්නෝය. දුවනිය මේ දිනවල රැගුමක් පා අමුතුම කවියක් කියන්නීය. එය මෙසේ වේ. 

"ජැක් ජැක් ප්‍රෝවස්ට්... ජැක් ජැක් ප්‍රෝවස්ට්". 

"මොකක්ද දුවනි ඔය සින්දුව" සොඳුරිය අසන්නීය.

"මේක අම්මා මට තියෙන නැටුම" ඇය සුරතල් වදන් දෙන්නීය.

"මොකක්ද ඔය බාසාව, ඔයාවත් දන්නවද මොකක්ද මේ කියන්නේ කියලා" සොඳුරිය මගෙන් අසන්නීය. 

මමත් එය නො දන්නනා බැවින් විපිලිසරව බලා හිදිමි. මොකක්ද මේ "ජැක්, ජැක් ප්‍රෝවස්ට්"

දැන් දවස් කිහිපයක් ඔය නාටකය ඔහොම ගියා කියමුකෝ. ඊයේ දුවනි අළුත් ඉල්ලීමක් කළාය. 

"අප්පච්චි මට මේ නැටුමට පොල්පිති හරකෙක් හදලා ඕනේ". 

දැන් ඉතිං හොයපල්ලාකෝ පොල්පිත්තක්. මතක නොවැ අර පොල්ලෙල්ලක් හොයන්න කාපු වහක්. නමුත් ඒක නොවේ වැඩේ. දැන් මේ පොල්පිති හරකෙක් අරගෙන නටන නැටුම මොකක්ද ජැක්, ජැක් ප්‍රෝවස්ට් කියලා. බැලින්නම් ඒ කවිය එහෙම නෙමේ එන්නේ. "ජඃ, ජඃ, හෝව් වස්සා" කියලයි ඒක කියවෙන්නේ. ඉතිං, වස්සන් ව ජඃ, කියලා එළවන, හෝව් කියලා නවත්තන අයුරු කවදාවත් දැක නැහැ දුවනි. ඔහොම වැකියක් කීම සිනහවට කරුණකුත් නොවේ නොවෙදැයි මට සිතුනි.

2010-09-06

නිලන්ත පියසිරි විසින් 23:27 පැයට
1

විවාහය ගණුදෙණුවක් වන කල් හී ආදරය

බොහෝ දෙමව්පියන් තම දූ දරුවන් ගේ ආදර මුල් ආදර සම්බන්ධතා දෙස බලන්නේ ඔවුන් ජීවිතයේ ගත කොට ඇති කාලයත් සමඟ සංසන්දනාත්මකව විය හැක. ඔවුන ගේ මානයන් ආදරයේ මානයන් නොවන්නේ මය. ඒවා සමාජිය මානයන් ම වේ. ගෙවල් දොරවල්, මුදල් හදල්, යාන වාහන, වතු පිටි, වැඩ පොල ආදී යුගල පද රැසක් මේ මිනුම් දඩු අතර වුව ද තම දරුවාට මේ සහකරු/සහකාරිය කෙතරම් ආදරේ ද යන්න කොතැනකදී වත් නොසැලකේ.

එහෙත් මෙකල බොහෝ දෙනා විවාහ වනුයේ ඉතාම යොවුන් වයසින් ම නොවේ. ඔවුන් විවාහය පතනුයේ යොවුන් විය ඉක්ම වීමට ඇති අල්ල පනල්ලේ වෙති. මෙහිදී මොවුන් ගේ විවාහයේ මාන වෙනස් ව ක්‍රියා කරයි. පිරිමි ඔවුන් ගේ ජීවිත කඩ ඉම් පැනීමට බිරිඳක් සොයති. දෑවැද්දට ඉහත කී යුගල පද රැසම සොයති. විවාහයේ මූලික උවමනාව කුමක් විය හැකිද? මා නම් සිතන්නෙ ආදරය ලබාදීම හා ආදරය ලැබීම ලිංගිකත්වය හා මුසුව පැවතීම බවයි. එසේ වූ විට ගැහැණියක ගේ රූ සපුව දෙස බොහෝ දෙනෙක් සිත යොමු කරනවාක් මෙන්ම ඇය ගේ ආදරණීය ගති ගුණ දෙසත් සිත යොමු වෙයි. එහෙත් ආදරය ගණුදෙණුවක් ලෙස බලන මෙකල බොහෝ දෙනා ඒ මූලික ගති පසෙක ලන බව හැගේ. සත්ව ලෝකයේ පැවත් ම උදෙසා ගැහැණුන් සහ පිරිමින් එකතු වුවද, තෘප්තිය උදෙසා එසේ බැදෙන්නේ මිනිසා සහ ඩොල්ෆින් පමණක් බව මා කිසියම් තැනක කියැවූ බව මතකය. ගැහැණික ගේ රූ සපුව යනු ඇය දරුවෙකු දැරීමට ඉතාමත් යෝග්‍ය බව පිරිමින්ට පෙන්වන විදිහක් බව මහැඳුරු කාලෝ ෆොන්සේකා විටෙක කීවේය. එළෙසම නිරෝගිමත් පිරිමින් උදෙසා ගැහැණු සිත ඇඳී යාමත් ස්වභාවයේ ම කොටසක් බව ඔහු එහි දී පැවසීය. 

එහෙත් අද ආදරයට පමණකුඳු නොව ඒ සොබා පැවත්මට ද මේ විවාහ ගණු දෙනුව පහර දෙන බව හැඟේ. "අයියේ මට, දෑවැද්ද මෙච්චරක් තියෙනවා, මගේ රැකියාව මේකයි. පුළුවන් නම් හොඳ කෙනෙකු හොයලා දෙන්න" කියා එක් නැඟණියක් මගේ යහළුවෙකුට පැවසූ බව ඔහු රාජකාරීයේ දී මට පැවසීය. මේ සියල්ල මට සිතුනේ ඒ එක් වැකියක් නිසාවෙනි. ඇත්තටම ගැහැණු සොයන්නේ ජීවත් වීමට මාර්ගයක් ද නැතිනම් ආදරය ද? එළෙස තමා ගේ පැවත්මට විවාහ වෙන ගැහැණු අර තිස්ස ගේ ආදර වැකිය සංතෘප්ත කරයි ද?

2010-08-15

නිලන්ත පියසිරි විසින් 23:37 පැයට
3

අවිවේකී ආදරය

මා මීට පෙර කී පරිදි,  නිවසේ සිට රාජකාරියට සහ රාජකාරියේ සිට නැවත නිවසට පැමිණෙන විට, බොහෝ විට ජංගම දුරකතනය තුලින් කුමක් හෝ සවන් දිය හැකි පොතක් (audio book) අසමින් ගමනේ යෙදෙමි. අවසන් වරට සවන් දුන් පොතේ වූ වැකියක් මාව අදහස් මාවත් කිහිපයක ගෙන ගියේය. ඒ වැකිය නම් "Happy couples spend some quality time together" යන්නයි. 

විවාහයට පෙර අඩුම තරමේ සතියකට වරක් වත් හමු වී පැය දෙක තුන කතා කරන යුවලකට විවාහයෙන් පසුව එසේ අඩුම තරමේ පැය කාලක් වත් කතා කිරීමේ නිදහස තිබේද? ආදරයෙන් තුරුලු වී, මහත් වූ සිහින රජයන් සදන යුවල කීයක් විවාහයෙන් පසුව වසර පුරාවටම එසේ සිහින රජයන් සදන්න ආදරයෙන් තුරුලු වී කතා කරමින් සිටින්නේද? 

ධනාත්මක චින්තනය, S 5 හෝ වෙනත් ඕනෑම කාර්‍යක්‍ෂමතාවය ඉහල නංවන ක්‍රියාකාරීත්වයන් ගැන කතා කරන බොහෝ දෙනෙකු විවාහය ගැන සිතන්නේ දියුණු වීමේ ගණුදෙනුවක් ලෙසිනි.

"බිරිය ගෙන් මට ලැබුණු දෑවැද්ද මෙපමණ වූයේ නම් මගේ මේ තියෙන පළමු වෙනි ප්‍රශ්ණය ඉවරයි"

ඒ එක්තරා මුදල් අරමුණු කරගත් අයෙකුගේ අදහසක් ය. 

"අපේ husband ගේ දැනුම පාවිච්චි කරලා හොඳට හම්බ කරන්න පුළුවන් අනේ, ඒත් එයාට උවමනාවක් නැහැනේ"

ඒ තවත් දියණුවෙන බිරියක ගේ වචනය. ඇත්තෙන් ම දියුණුව තුළ ආදරයට තැනක් නැතිද?

උදයේ පාන්දරම වෙහෙස වී කෑම පිළියෙල කරන බිරිය ඉසුරු සොයන්නට රාජකාරියට ඇදෙන්නේ තමන් ගැහැණියක් වීම ගැන පිරිමින්ට දෙස් දෙවොල් තබමින් විය හැකිය. ඇය සවස නිවසට පා තබන්නේ හෙම්බත් වී නමුදු දරුවන් ගේ රෑ කෑම පිළියෙළ කොට ළමුන් හැඩි කොට ඇති නිවස නැවත සකසා තවමත් කිරි ඉල්ලා අඩන දරුවාට කිරිපොවා, ඊලඟ දිනයේ රාජකාරිය ගැන මෙනෙහි කරන ඇයට තම සැමියා ගෙන් රාජකාරී අමාරුදැයි අසා සිත සනසන්නට ඉඩක් වේලාවක් නොමැත. ඇයට ලබා ගත යුතු එකම කායික සන්තර්පණය නම් නින්දයි. තමා මෙන්ම රැකියාවක් කරන සැමියා තමුන්ට සාපේක්‍ෂව වෙහෙසක් නොදරන බව ඇයට දැනෙයි. මෙගාලිතික යුගයේ නිවසට වී සිට බිරිඳ ගේ සැමියා අඬු බඬු කඩාගෙන සතෙක් එලාගෙන නිවසට එනවා දකින සතුට අදීන බිරිඳට අත්විදිය නොහැකිය. මක් නිසාද යත් බිරිඳ රාජකාරී නොකළහොත් සතයක් ඉතුරු කරනවා තියා ජීවත් වීමටත් මුදල් මඳය. 

බිරිඳ ගේ වෙහෙස සලකා බැලීමේ දී සැමියා ගේ දියුණුව සඳහා දැරෙන වෙහෙස මඳය. එබැවින් ඇය තව අපේක්‍ෂා කරන්නීය. ඔවුනොවුන් කතා නොකරති. කතා කරමින් ගත කරන්නට වෙලාවක් නැත, පවුලක් ලෙස දියුණු විය යුතුය. ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, දැසි දසුන්, මෙකී නොකී සියළු දෑ අප ලඟා කරගත යුතුය. එහෙත් විවාහ වී සිටින අප එකිනෙකාට ලඟා නොවිය යුතු වේ. එසේ ආදරයෙන් සිටීමට අපට වෙලාවක් නැත. එහෙත් නැවත ඉහත කී වැකිය කියැවෙයි. "Happy couples spend some quality time together". දැන් මගේ සිත තවත් චිත්ත වීදියක දුවයි.....   

2010-08-10

නිලන්ත පියසිරි විසින් 23:32 පැයට
2

කාය බර දසුන සහ කෑම

කාය බර දසුන නොහොත් ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් body mass index අනුව සාමාන්‍ය බරක් වීමට මගේ තිබිය යුතු ප්‍රමාණය වනුයේ 24.9 කි. එහෙත් දර්ශකයේ දැනටමත් මගේ 28.0 පෙන්නුම් කරනු ලබයි. එනම් මා විසින් මගේ ශරීරයේ බර අඩු කළ යුතුය. එසේ නැති වුවහොත් බටහිර වෙදකමේ දිව පැටලෙන දහසකුත් ලෙඩ රෝග මා වෙත පැමිණීමේ ඉහළ සම්භාවිතාවක් වේ. ඉහත දැක්වූ දර්ශකයේ සාමාන්‍ය බරකට පැමිණීම සඳහා තව කිලෝ 9 කින් වත් බර අඩු කළ යුතු වේ. දැන් කොහොමද මේක කරන්නේ. 
උදෙන්ම රජෙක් වගේ කන්න ඕනෙ කියලා හාමිනේ බෙදලා දෙන බත් පිඟානම දෙසා බානවා. ඒ මඳිවාට උස්සගෙන යන්න බැරි තරම් බරට බත් ගෙඩියකුත් බැඳලා දෙනවා රාජකාරියේ දී කන්න කියලා. බැණ, බැණ යන්නේ මේකේ බර කියලා. ගිහින් ඔපීසියේ, පිරිගණනය ඉස්සරහින් වාඩි වුනාහම වතුර ටිකක් වත් පෙවෙන්නේ නැහැ. ඔන්න දවල් කෑම වෙලාව එනවා. අපරාදේ කියන්න බැහැ, හාමිනේට රසට උයන්න නම් පුළුවන්. ඉතිං බත් ඇටයක් ඉතිරි වෙන්න නැතිවෙන්න දවල් බත් ගෙඩියටත් වග කියනවා. ආයෙත් ඔපීසියේ පිරිගණනය ඉදිරියේ  පුටුව උඩ ඉතිරි කාලය ගත කරලා හැන්දෑවට ගෙදර එනවා. ගෙදර ආපු ගමන් ඔන්න අඩුම ගානේ විස්කෝතුවක් වත් හරහා පිශ්ඨය තව ටිකක් ඇඟට දාගෙන තේ බොනවා. ඒ එක්කම වැඩි වෙලාවක් නැතිව රෑට කෑම. අද රෑට නම් හිඟන්නෙක් වගේ කන්න ඕනේ කියලා, පොඩ්ඩක් කාලා පැත්තකට වුනොත් හාමිනේ ගේ මූණ හරි නැහැ.

"කෑම රස නැතිද?"
"නෑ එහෙම නෙමේ,  මං මේ හිතුවේ බර ටිකක් අඩු කර ගන්න"
"ඔය බොරු, එහෙනම් වෙනදට කෑවේ, අද කෑම රස නැතිද කොහෙද?"

ඒ වැඩෙත් හරි යන්නේ නැහැ. කොහොම කොහොම හරි දර්ශකේ 30 පැන්නොත් නම් අතිශය අවදානමක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේක හරි යන්නේ නැහැ, එහෙනම් ව්‍යායාම ටිකක් වත් කරන්න ඕනේ. 

"කෝ මගේ තිබුණු, කැන්වස් සපත්තු දෙක"
"ඔයා ඒක දාන්නේ නැති නිසා, 5 S සංකල්පේ යටතේ විසිකරලා දැම්මා"

දුවන්න නම් සපත්තු දෙකක් ගන්න ම ඕනේ, හැන්දෑවක ගියා සපත්තු කඩේකට. ඔය තියෙන්නේ පාසල් කාලේ දමාපු, ඒ කාලේ වැඩිය කැමැති නැති, කැන්වස් ජෝඩු. 

"කීයද මේක?"
"සර්, ඕක රුපියල් එක්දහස් පන්සීයයි"
"නැහැ, මං ඇහුවේ මේකේ ගාණන"
"ඕක තමයි සර් මම කිව්වේ"
බුදු අප්පච්චියෝ, ඒ කාලේ නිකං වත් දමාපු නැති, කැන්වස් වලට දැන් ගිය කලක්? 

"සර්, මොකද ඩෙනිමට දාන්න ද?"
"ඩෙනිමට නෙමේ, මේ දුවන්න දාන්න"
"දැන් වැඩේ සර් මේවා ඔක්කොම ඩෙනිමට දානව නේ, ඒ නිසා ටිකක් මිළ අධිකයි"

එවා යේ ගණන ඇසූ සැණින් නම් මට හොඳ දාඩියක් පිට වෙනු දැනුණි. එහෙම හරි දාඩිය පිට වෙලා දර්ශකේ පහල ගියොත් නම් හොදයි කියා මට සිතුණි.

2010-08-04

නිලන්ත පියසිරි විසින් 22:36 පැයට
1

HIV මඳුරුවන් ගෙන් බෝ වෙයි.

දැනට ටික කාලයකට පෙර මා අන්තර්ජාලයෙන් ම කියැවූ පුවතක වූයේ "අමරිකාවේ දකුණු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ HIV ආසාදිතයන් වැඩි වී ඇත්තේ මදුරුවන් මඟින් එය සම්ප්‍රේශණය වන බැවින්" බවයි. නමුත් එය එසේ නො වන බව පසුව නොයෙකුත් ආයතන මඟින් තහවුරු කරන ලදි. මේ දින වල මදුරුවන් නිසා සිදුවන ඩෙංගු මරණ ගණන දෙස බැළු කල, මට හිතුනේ "ඇත්තටම ඩෙංගු නොව HIV මදුරුවන් මඟින් බෝ වීමට හැකියාව තිබුනේ නම් කුමක් වේවිද?" කියායි. ඔබ හිතනවාද මීට වඩා මිනිසුන් මේ ගැන සැලකිලිමත් වේවි කියා? මගේ පිළිතුර නම් නැත යන්නයි. තමා ගේ නිවෙසින් පිටතට යෝගට් කෝප්පය, කිරි හට්ටිය, පොල් කට්ට හෝ සැමන් ටින් එක දැමූ පසු කරදරය නිමයි යැයි සිතන මිනිසුන් සිටින තෙක් ඩෙංගු හෝ HIV නොව ඊට වඩා වැඩි රෝගයක් වත් මේ මිනිසුන් ව බය නො කරනු ඇත.

2010-08-02

නිලන්ත පියසිරි විසින් 21:45 පැයට
2

සිය දිවි හානි කර ගැනීමේ මහඟු ආදර්ශය

අද පත්තරයක වූ යේ "රියන්සි දුන්නේ මහඟු ආදර්ශයක්" නම් වු මැයකි. තමා ගේ පණ නසා ගැනීම කිනම් වු නිදසුනක් ද? එය කුමන ආගමකට/දසුනකට අනුව වුවද මහත් වූ මුග්ද නපුරු වැඩකි. මෙය මහඟු නිදසුනක් යැයි කීමෙන් වන්නේ තම පණ නසා ගැනීමට  තව තවත් ආවැඩීමකි, පොහොර සැපයීමකි. තම දිවි තොර කර ගන්නේ තමාට පමණක් නොව ජීවත් ව සිටින අනෙක් කිසිවකුට ද ආදරය නොමැති අයවලුන් නො වෙද? තම පණ නසා ගැන්ම පර පණ නැසීම වැනි වූ ක්‍රෑර කිරියකි. තම සිතැඟින ඉටු නොවේ නම්, අනුන් හෝ තමන් නැසිය යුතුය යන්න ආදර්ශයක් යැයි කියන පුවත් පත් ගැන කුමන කතාද? මා ගේ සොඳුරිය ගේ මයිලණුවන් ගේ සිය දිවි නසා ගැනීම හරහා මම මේ නපුරු ක්‍රියාවේ, අපුල හොඳින් අත් විඳ ඇත්තෙමි. එබැවින් කිසිඳු කලක තම පණ නසා ගැනීම ආදර්ශයක් නම් නො වන්නේය.

2010-07-30

නිලන්ත පියසිරි විසින් 15:38 පැයට
2

නපුරු නයා

ඊයේ රෑ නින්දට පෙර දුවනිට කියැවූ කතන්දරයේ වූ යේ නපුරු නයෙක් කාක්කෝ දෙපළක ගේ බිත්තර කන බැවින් එය වලක්වා ගැනීමට කපටි නරියෙකු ගෙන් උපදෙස් ලබා ගෙන රටේ රජු ගේ අග බිසව නාන තොටුපලෙන් මාලයක් ගෙනවුත් නයා ගේ බෙනය ඉදිරි පිට දැමූ පසු රාජ සේවකයෝ අවුත් නයා මැරූ බවට කියැවෙන කතාවකි.

අද උදයේ පෙර පාසල් යෑමට කෑම කවන වේලේ,

"අප්පච්චි, මම තමයි නපුරු නයා" යැයි දුවනි කීවාය.

"ඒ මොකද දුවනි?" මම ඇසුවෙමි.

"ඇයි, අර ඊයේ රෑ කියපු කතාවේ ඉන්න නපුරු නයා" ඇය කියන්නීය.

"හැමෝම කැමති, හොඳ කෙනෙක් වෙන්න නේ, ඇයි ඔයා නපුරු නයා වෙන්නේ?"

"ඉතිං, දැන් මං කන්නේ බිත්තර නේ, ඒ නිසා මම නපුරු නයා"

ඒ වේලාවේ මම ඇයට කවමින් සිටියේ බත් සමඟ බිත්තරයකි. අපූරුයි නොවැ පොඩි වුනත් තර්කය... මම සිතුවෙමි.

2010-07-20

නිලන්ත පියසිරි විසින් 14:45 පැයට
1

බනින්න කෙනෙක්

"ප්‍රභාත් වික්‍රමසිංහ ගේ දුවට ත් ඩෙංගු හැදිලා." කියලා ආරංචික් ලැබුනහම හිත බොහොම සසල විය. ඊට පළමු සතියේ අපි දෙන්නා ත් එකතු වෙලා වටපිටාව පිරිසිඳු කළෙමු. අප ගේ නිවෙස් ලඟ ඉඳි කෙරෙන නව ගොඩනැගිල්ලේ බාස් උන්නැහැලා විසින් රෑට රෑට හිස් කළ අරක්කු බෝතල් සියයකට වඩා කානුවක් අයිනේ තිබී සොයා ගතිමු. අපේ දරුවන්ට ඩෙංගු මඳුරුවා කරන වින්නැහි, ඒ උන්නැහැලාට ගණනක් නැහැ නොවැ.

මඳුරුවෝ හඳන්නේ අපි, උන්ට සැප වාසස්ථාන, තනන්නේ කවුද? අපේ මිනිස්සු. ඒත් කතා කරලා බලන්න එපැයැ, අපේ අයගේ ආදුරුසමත් ජීවිත ගැන. හැමෝම බනින්නේ ආණ්ඩුවට හරි, තව කවුරු හරි මිනිහෙකුට. බ්ලුමැන්ඩල් කුණු ගොඩ ගැන බනින්න කී දෙනෙක් ඉන්නවද? ඒත් කීයෙන් කී දෙනාද, වීදුරු, ප්ලාස්ටික්/පොලිතින් සහ දිරන අප දෑ වෙන වෙනම ඉවත දාන්නේ? සුද්ද කරපු මාළු බොකුයි, පොඩි එකා ගේ අසූචියි, පොලිතින් මල්ලයි, වීදුරු බෝතලයයි එකට දමපුවහම කවුරුද ඕක වෙන් කරලා ප්‍රතිචක්‍රි කරණය කරන්නේ.

මේ ලඟදී අපූරු පුවතක් තිබුනා කොළඹ සරසවි බිමේ, පොලිස් විශේෂ බලකාය ඩෙංගු මර්දන ව්‍යාපාරයක් කරලා, හිස් අරක්කු බෝතල් දුසිම් ගණනක් ඉවත් කළා කියලා. ඒත් උදාහරණයකට දැන් ලඟ ඉන්න කෙනා එක්ක වචනයක් දාලා බලන්න ඩෙංගු වලට වග කියන්න ඕනේ කවුද කියලා. අනිවාර්යෙන්න ම කිහිප දෙනෙකුට පලු යන්න බනියි.

2010-05-06

නිලන්ත පියසිරි විසින් 23:42 පැයට
10

පොල් ලෙල්ලක්

කාර්‍යාලයෙන් එළියට බහිනකොටම අපේ ගෙදර උන්දෑ (හරි වචනේ සොඳුරිය) ඇමතුමක් දුන්නා.
"දුවනිට හෙට ළදරු පාසලට ගෙන යන්න පොල් ලෙල්ලක් ඕනේ" 

බොහොම අයට ඉතින් පොල් ලෙල්ලක් නම් සුළු දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් නාරාහේන්පිට නිළ නිවාස වල නොවැ අප ජිවත් වෙන්නේ. 

කොහෙන්ද දැන් පොල් ලෙල්ලක් හොයන්නේ....... පාරට බට වෙලේ පටන් මඟ දිගට දෙපැත්තයි, කුණු ගොඩවලුයි, හැම තැනමයි ඇස් දෙකෙන් පිරමිනුයි ආවේ. බොරැල්ලෙත් පොල් කඩ දෙක තුනකටම ගියා. නමුත් කොහේ වත් පොල් ලෙල්ලක් නම් හොයා ගන්න නැහැ. පොල් මුදලාලි කියනවා, දෙමටගොඩ හරියේ පොල් ලෙලි ගහන තැනක් තියෙනවා එතනට යන්න ලු. මදැයි, මේ කියන විදිහට කුරුණෑගල යන්න වෙන විදහක් තියෙන්නේ පොල් ලෙල්ලක් හොයන්න. මේ වැඩේ හරියන්නේ නැහැ, ගෙදර යන්නත් පරක්කු වෙනවා, වැඩේ අල්ලලා දානවා කියලා ගෙදර එන අතරතුරේ තැඹිලි කෝම්බයක් දැක්කා.

ගත්තා සොඳුරියට ඇමතුමක්, "පොල් ලෙල්ලක් නැහැ, තැඹිලි කෝම්බයක් තියෙනවා ගේන්නද?"

"ඔයාට පිස්සුද? තැඹිලි කෝම්බ හරි යන්නේ නැහැ"

මටත් දැන් හෙම්බත් වෙලා.  "එහෙනම් ඉතිං පොල් ලෙලි නැහැ, මම එනවා ගෙදර"

ගෙදර ඇවිත් බලනකොට අනේ අපේ හාමිනේ ලඟ පාත ගෙදරකින් හද්ද පරණ, කරකුට්ටන් වෙච්ච පොල් ලෙල්ලක් කොහොම හරි හොයා ගෙන, ටිකක් පිම්බිලා එන්න කියලා නාන කාමරයටත් දමලා. 

ඔන්න ඔහොමයි අපේ තත්වේ, අඩු තරමේ පොල් ලෙල්ලක් වත් හදිසියකට හොයා ගන්න මේ පැත්තේ නම් නැහැ. 

ඉතිං මෙච්චර අමාරුවෙන් හොයා ගත්ත පොල් ලෙල්ලට මොකද කළේ කියලා පහුවදා මං දුවනිගෙන් ඇහුවා.

"අප්පච්චි අපි ඒකේ ගම් ගාලා ගාලා කඩදාසියක් ඇලැව්වා"

අපොයි බර ගානක් දීලා ළදරු පාසලට බාර දුන්න chemifix ගම් බෝතල් වලින් කරන්නේ පොල් ලෙලි වල උලලා උලලා කොල අලවන එකද? කියලා මට හිතුනා.

මොනවා කරන්නද? පූර්ව ළමා විය සංවර්ධනේ නොවැ. අපි පොඩි කාළේ අපිට ඔය සංවර්ධනේ නොකළ නිසා නොවැ මෙහෙම ඉන්නේ... එහෙම නේද?

2010-04-22

නිලන්ත පියසිරි විසින් 16:38 පැයට
1

අතීතයේ වැරැද්ද?

පසු ගිය දිනක රූපවාහිනියේ වූ සංවාදයකට සහභාගී වූ එක්තර විද්වතෙකු පැවසුවේ, අද අප මුහුණ දී ඇති තත්වයට බලපානු ලබන ප්‍රධාන වැරැද්ද 1956 දී ජාතික බස සිංහල කිරීම බවය. එවිට සංවාදය මෙහෙයවූ අය විමසුවේ "ඔබ 1956 දී ජාතික බස සිංහල කිරීම නිසා ස්වබසෙන් ඉගෙන ගත්තා නොවෙද?" යන්නයි.

මා කීමට යන්නේ අතීතයේ සිදු එම වැරැද්ද හෝ යහ ක්‍රියාව ගැන නොවේ. අපේ අතීතයට බැණ අඩ ගැසීමේ පුරුද්ද ගැනයි. අපට අතීතය නැවත ආවර්ජනය කරනවා හැර එය හැරවීමට නොහැකි බව දැන දැන ඒ ගැන දොස් පවරන්නේ ඇයි? මහසෙන් රජතුමා මහා විහාරය ගිනි තැබීම (මගේ මතකය නිවැරදි නම්) හෝ ජයවර්ධන ජනාධිපති වරයා විවෘත ආර්ථිකය ඇති කිරීම ගැන දුක්වීම/සතුටු වීම හැර අපට කළ හැක්කේ වත්මනේ හෝ ඉදිරියට එයින් වන අහිතකර බලපෑම් වලින් මිදීමේ මං සෙවීම පමණක් නොවෙද? බොහෝ දෙනෙක් අතීතය රස විදීම හෝ අතීතයට බැණ වැදීම කරති. නමුත් වත්මනේ හෝ අනාගතයේ අපේ රටේ/දැයේ/සමයේ උන්තිය උදෙසා කළ යුත්තේ මෙයයි යැයි නොකියති.

2010-03-26

නිලන්ත පියසිරි විසින් 11:16 පැයට
1

රස වින්දනය

මිනිස්සු බොහෝ දේ රස විදිනු යේ පුහුණු කිරීමකින් තොරව නොවැ. ඇත්තටම රස වින්දනය පුරුදු පුහුණු කළ යුතු දෙයක් ද? ගීතයක් රස විදින්නේ මෙහෙමයි, චිත්‍රයක් රස විදින්නේ මෙහෙමයි කියා කියා දිය යුතුද? එසේ නැතිනම් මිනිසා තුල නිසඟයෙන් ම ඒ කුසලතාවය පිහිටනවාද? සමහර දිනයන් හී මම මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස බලා යන්නෙමි. ඒ මඟ වැටී ඇත්තේ විහාරමහා දේවී උද්‍යානය අසලින් බැවින් එහි පාර අයිනේ තිබෙන චිත්‍ර සියල්ලම බලා ගෙන යාමට අපට අවසරයක් ලැබේ. එහි වන නෙක පැහැ ගැන්වූ බොහෝ චිත්‍ර වලින් එක වරම කිසිදු අදහසක් මට නම් පහල නොවේ. මගේ මිතුරාට ද එසේමය.
"මොකද බං මේවා බර ගනං දීල මිනිස්සු අරගෙන යන්නේ, මොනවද මේවායේ තියෙන්නේ" යාළුවා අසයි.
ඇත්තෙන්ම මටත් ඒ ගැන නම් අදහසක් නැත. එහෙත් මෙහි යම් ආකාරයක රස විඳීමක් තිබිය යුතුමය. ඒක සමහර විට සමහරු මාමයිට්/වෙජිමයිට් වලට කැමැතියි සමහරු අකමැතියි වගේ ද දන්නෙත් නැහැ.
ගීතය වුවත් එසේම නොවැ. දැන් මේ දින වල කතා බහේ තිබෙන අකොන් හෝ එකොන් නැමැති ගායකයා ගේ ගීත හයිටි, ඩොමිනික් ජනරජයේ ආදි රටවල ජාතික ගීත මෙන් ජනප්‍රිය වේ. ඒ ඔවුන් ගේ රසවිදීම. දැන් අපේ තිස්ස දොඩන්ගොඩ සහෝදරයා ගේ හද ගී පොත හි ඇති ගීත රස විදින්නෝ බොහොමයක් අකොන් හෝ එකොන් ට කැමැති නැති ශෛලයේ අය විය හැක. හද ගී පොතේ ඇති ගීත රස වින්දනය පුරුදු කළ අයවළුන් ට බවයි මගේ අදහස.
කෙසේ නමුත් මගේ අදහස නම් රස වින්දනය පුරුදු පුහුණු කළ යුතු බවයි. නමුත් පවතින මාධ්‍ය කිනම් නම් රසවින්දනයක් රටේ මිනිසුන්ට පුරුදු කරයි ද?
කුඩා යාන් හැල්ලකින් ලිපිය අවසන් කරමි. වරෙක අයෙක් චිත්‍ර ප්‍රදර්ශණයක් බැලීමට ගියේලු.
ඔහු එක්තර පින්තූරයක් දෙස ආශාවෙන් බලා සිටිනු දුටු එය පින්තාරු කළ පුද්ගලයා එහි පැමිණ,
"කොහොමද චිත්‍රය. හොඳයි ද?" විමසීය.
"ෂාහ් නියමයි. හරිම ලස්සනයි. කටට කෙළත් උණනවා" හේ කීවේය.
මුහුණ හකුලවාගත් සිත්තරා, "හිරු බැස යන දර්ශණයක් දැක්කාහම කොහොමද, කටට කෙළ උණන්නේ?"
"ආහ්, මේක හිරු බැස යන දර්‍ශණයක් ද?, මම හිතුවේ බිත්තර ආප්පයක් කියලා, සමා වෙන්න".
ඔන්න ඔහොමයි අපේ රස වින්දනය. 

2010-03-25

නිලන්ත පියසිරි විසින් 22:22 පැයට
2

රැයක් දවාලක් දන්නා බරවා පණුවෝ

ඊයේ සවස ගෙදර ඒමට බසයේ සිටියදී සිඟමන් යැදි කොළුවා තමා ගේ වයස අවුරුදු 23 ක් යැයි කීවේය. හේ හිඟමනේ යෙදීමට හේතුව ලෙස දක්වන ලද්දේ බරවා බැස තිබූ පය යි. හැබැයි ඒ කකුල දැක්කා නම් බරවා රෝගයේ භයානක කම හොදින් පෙනෙනවා. බොහෝ උග්‍ර රෝග මෙන්ම මෙම බරවා රෝගයේ සම්ප්‍රේශකයා ත් මදුරුවෙක්. හැබැයි මේ විදිහට මදුරුවා අරගෙන යන්නේ අනෙක් රෝග වල මෙන් වෛරසයක් හෝ බැක්ටීරියාවක් නොවේ. පණුවෙක් හෝ කීටයෙක්. ඉතින් ඔය පණුවෝ තමයි ඔය මහා විනාශය කරන්නේ. වැඩි පුර විස්තර විකියේ හොයා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ බරවා පණුවන් ගේ විශේෂත්වයක් තමයි ලේ මාර්ග වල උන් ගේ ගහණය වැඩි වෙන්නේ රාත්‍රී 10 ත් පාන්දර 2 ත් අතර වීම. හේතුව නම් තවමත් හොයා ගෙන නැහැ කියලා තමයි විකියේ කියන්නේ. නමුත් මගේ කතාව ඒක නොවෙයි.

ඉස්සර අප කුඩා කාලේ මාස හයකට වරක් වත් රෑ මැද ගෙවල් වලට අවුත් අපගේ ලේ ගෙන බරවා පරීක්ෂණ කළා. අම්මා අපව ඇහැරවා ගෙන සාලය මැද ට ගෙන එන්නීය. බොහෝ විට අප එන්නේ නිදමත පෙරමින් ය. ඇඟිල්ල අල්ලා කුඩා සැතකින් ඇන්න කල, නිදමත කැඩී පියවි සිහියට එන්නෙමු. වීදුරු කැබැලිවල අංක ලියමින් අපගේ නම් සඳහන් කරගනිමින් කෙරෙන එය මහත් වෙහෙසකාරී කාරියකි. මා හිතන්නේ එය නැතිව ගියේ ජවිපෙ භීෂණ යුගයේ විය හැකිය. පසු කලෙක බරවා පෙති හැමෝටම බෙදාගෙන යන ලදි. දැන් නම් එහෙමවත් නැත.
මේ සමාජ මෙහෙවර දැන් කෙරෙන්නේ නැත්තේ ඇයි? දැන් බරවා ලංකාවෙන් තුරන් වෙලාද? එසේ නම් අර සිඟමන් යදින කොළුවා අප්‍රිකාවෙන්වත් ආවාද? තවත් අපූරු කතාවක් කියා මම මෙය අවසන් කරන්නෙමි. 

අපේ අම්මා ගේ අතා කෙනෙක් සිටියේ ය. ඔහුට අම්මා ඇමතුවේ "දොස්තර ආතා" කියාය. ඒ සමහර විට ඔය රෝහලේ හෝ සෞඛ්‍ය පරීක්ෂක තනතුරක රැකියාව කරන බැවින් මිස ඔහු දොස්තර කෙනෙකු නම් නොවීය. ඔහූ බීමතට තදින්ම ඇබ්බැහි වී සිටි අයෙකි. වරක් ඔහුව ඔය රෑට බරවා පරික්ෂා කරන කාරිය සඳහා යොදවා තිබුණි. පරික්ෂා කරන දින හැන්දෑවේ පටන් තවත් මිතුරෙකු සමඟ හේ කරටි කැඩෙන්නට ගසා තිබුණි. රෑ මැදියම තෙක් බිවූ ඔහුට ඇවිදීමට තියා කෙලින් සිටීමට වත් නොහැකි විය. දැන් ඉතින් මොන බරවා පරික්ෂණ ද? 

"දීපන් උම්..ඹගේ අත" ඔහු යාළුවාට කීය. 

ඔහුගේ අත සිදුරු කොට සියළුම වීදුරු කැබැලි වල එම ලේ තවරා ඒ ඒ අංක වලට අදාල වන සේ ගමේ අය ගේ නම් ලියා. උදයේ, බරවා පරික්ෂා කරන තැනට බාර දුනි. 

පසුදා මුළු ගම පුරාම මහත් කළබැගෑනියකි. බරවා මර්දන අංශයෙන් කියන හැටියට මුළු කළපළුවාවටම බරවා සෑදී ඇත. 

අහෝ දොස්තර ආතා ලේ ගත් යාළුවාට බරවා තිබිලා නොවැ. ඔහු ගේ ජොබ් එකත් සිලිප් උනා කියලා තමයි කියන්නේ.

(කළපළුවාව යනු අපේ ගමයි)

2010-03-18

නිලන්ත පියසිරි විසින් 12:03 පැයට
1

කැරැලයින් ආච්චි

අම්මා ගේ නැන්දනියක් වූ බැවින් අපේ ආච්චී වූ කැරැලයින් ආච්චි ගේ අවසන් කටයුතු සඳහා ඊයේ සහභාගී වූයෙමි. අම්මා කඩේ නැන්දා කියන බැවින් අපි කඩේ ආච්චී යැයි ඇයට කීවෙමු. වසර 93ක ජීවත් ව හොඳ සිහියෙන් ම පරලොව යෑම යම් විදිහක වාසනාවක් යැයි බොහෝ අය පැවසූහ. අප කුඩා කල වෙනත් වැඩකට වුවද ඇයගේ නිවස ඉදිරියෙන් හෝ ගියහොත් අනිවාර්යෙන් ම ඇගේ නිවසට යායුතුමය. ඇයට නොපෙනී නම් එතැනින් යා නොහැකිය. එසේ කැදවා ගන්නා අපට කෑමට යමක් දී එය රසවිදින අයුරු බලමින් ඇය සතුටු වන්නීය. ඇගේ නිවසේ කඩයක් පවත්වාගෙන ගිය බැවින් ඇය කඩේ ආච්චී විය. කඩේ ආච්චි සහ කඩේ සීයා අති ප්‍රේමණීය යුවලකි. ඔවුන් නිතරම සිටියේ මුවෙහි මදහසක් ඇතුවමයි. කඩේ ආච්චී සහ සීයා අතිශයින්ම ආයුර්වේද වෙදකම මත යැපුනෝ වෙති. ඔවුන් බටහිර වෙදකම ගැන විස්වාස නොකළහ. කඩේ සීයා බැවිල (බැබිල) ගස් සොයමින් ප්‍රදේශය පීරණු මා කුඩා කල හොදින් මතකය.
වසර 93 ක් ජීවත් වූ අයෙක් නිරන්තරයෙන් ම යුග ගණනක අත්දැකීම් ඇති පුස්තකාලයක් බඳු වීම වැලැක්විය නොහේ. ජීවත් වන අප සැම මරණය ලැබිය යුතුමය. ඒ ගැන පසක් කිරීම අසුබ දෙයක් නොවේ. අපේ කිරි අම්මා ජීවත් ව සිටින දින වල ඇය ගයන "තල මල" කවි, ඇය කියන කතන්දර ආදිය පොතක සටහන් කර ගතිමි. (සියල්ලම සටහන් කර ගත නොහැකි වීම ගැන තවමත් දුක් වෙමි.) ඒවා ඉදිරි පරම්පරාවන් සඳහා ගෙන යාම සංස්කෘතිය රැකගැනීම ම තමයි. එහෙත් කඩේ ආච්චී සතු වු ඒ දැනුම නම් ඔවුන ගේ මුණුබුරන්, මිණිපිරියන් විසින් ලබා නොගත් බව නම් මම සක් සුදක් සේ දනිමි. ඉදින් සංස්කෘතික පරිහාණිය ගැන කතා කිරීමේ තේරුම කිම. 

2010-03-12

නිලන්ත පියසිරි විසින් 12:24 පැයට
7

චොකා මල්ලී සහ වෙනත් දෑ

කාලෙකින් දින සටහන ලියන්න අතපසු විය. පසු ගිය දින කිහිපය පුරාම නිවනක් නැතිව වැඩ කළෙමි. ඒ ඒ දින වල ලිවීම සඳහා නොයෙකුත් දෑ සිතට ආවත් ඒවා යුනිකෝඩ් අකුරු බවට හැරවීමට වේලාවක් නොමැති විය. 
 
චොකා මල්ලීට මනාපයක් පළ කරන ලෙස ඉල්ලා දැන්වීමක් පාරේ ගිය වාහනයක ගසා තිබෙනු දුටිමි. "චොකා මල්ලී" යන නම දුටු වහාම මගේ සිත අමුතුම ආකාරයේ අපුලකින් පිරී ගියේය. ඒ නමින් ගම්‍ය වූයේ යම් ආකාරයක පහත්, නොවැදගත් බවකි. (නමකින් පහත් හෝ නොවැදගත් බව නොමැනිය හැකි මුත්).

බසෙහි කුණු හරුප යැයි සම්මත වචන, සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන අයවළුන් සිටිති. එසේ අසා පුරුදු නැති අය එවැන්නෙකු ගේ කතාවක් ඇසූ කල එකවරම පුදුමයටත් ලැජ්ජාවටත් පත් වෙති. තෙසක රියදුරන්, පදික වෙලෙන්දන් කුණු හරුප කියන්නේ පාරේ ගමන් කරන්නේ කුඩා ලමුන්ද වත් නොසලකාය. බසය තුල බස් පල්ලා (කොන්දොස්තර) සමඟ සටන ඇරඹූ කල දිනන්නේ අනවතර ලෙස එකිනෙක ගැළැපී කුණු හරුප ගලා එන්නාය (බොහෝ විට බස් පල්ලා).

ටෙලි නාට්‍ය යැයි කියන රූපවාහිනී වැල් වල මෙවැනි රස්තියාදුකාර වචන දොඩවන්නෝ බොහෝ වෙති. එවැනි චරිත ජන(අ)ප්‍රියව ඇති බැව් කියැවේ. කුඩා ළමුන් සමඟ රූපවාහිනියක් නම් මෙකල නැරැඹිය නොහැක. 

අප ළමුන් ට මේ නරක යැයි සම්මත වදන් අසන්නට නොසලස්වන්නේ ඇයි? මේ වචන ඔවුන් දැනගත යුතු නැතිද? ඒවා දැනගැනීමට ඔවුනට නිදහසක් දිය යුතුද? ඒ ඒ ජන කොට්ඨාශ අනුව, පලාත් අනුව වදන් නිමැවේ. මුඩුක්කු නිවාස ආශ්‍රිතව කතා කෙරෙන බස නරක යැයි සමහරෙක් කියති. 

නරක බස හොඳ බස වෙන් කරන්නේ කොතනින්ද? වරෙක මා මල්ලීට "තමුසේ, ඕයි" ආදී වචන වලින් කතා කළැයි කියා අම්මා මා හට හොඳ හැටි තැළුවාය. සමාජ සම්මතයන් වදන් වලට බලපානුයේ අමුතුම ලෙසය. එය නීතිය මෙන් නම් නොවේ.

ඉතින් ඔබෙන් "චොකා මල්ලී" ඡන්දය ඉල්ලුවේ නම් ඔබ ඔහුට මනාපය ලබා දෙන්නේ ද? 

2010-03-05

නිලන්ත පියසිරි විසින් 12:56 පැයට
2

තරඟයට ඇතුල්වීම

ඊයේ කුඩා දුවනි ගේ ළදරු පාසලේ ක්‍රීඩා උත්සවය පැවත්වීය. "මම දුවනවා බලන්න අප්පච්චිත් එනවා නේද?"  ආදි වශයෙන් වූ ආල වඩන කතා වලට ප්‍රතිචාර ලෙස මම එය බැලීමට ගියෙමි. එය අපූරු උත්සවයක් විය. තිබූ කිසිදු තරඟයක කිසිම තරඟයක් නොවීය. ඔවුන්ට ඉලක්කයකට දිවීමට කියා තිබූ මුත් ඔවුන් කිසි දෙයකට නො දිවූහ. දුවන තරඟ අතර මඟ ඔවුන් කතා කරමින් සෙමෙන් ගියහ. තරඟය අතර මඟ අයෙක් වැටුන කල සැවොම වට වූහ. ගුරුවරු ඔවුන්ට දුවන ලෙස කීහ. එහෙත් තරඟය ගැන ඔවුනට කිසිදු අවබෝධයක් නොවීය.

මා සිතුවේ, අප මේ කරන්නේ ඔවුන් මේ සුන්දර ලෝකයෙන් මුදවා තරඟකාරී, ගැටුම් කාරී, වේගවත් ලෝකයට ඇතුලත් කිරීම නොවෙද? අනෙකා පැරදවීමේ අදහස, යටපත් කිරීමේ අදහස කුඩා මනස් තුළට එබීම නොවෙද? මේ සුන්දර සිනහ පිරුණ ලෝකය, තරහව, කේන්තිය, ක්‍රෝධය පිරුණ තැනකට ගෙනයාම නොවෙද?

එසේම කිසිදු දරුවෙකුට තරඟකාරී නොවී මෙකල ජීවත් විය හැකිද? පුර්ව ළමාවිය සංවර්ධන ක්‍රමවේද අනුව ළදරු පාසල් වල අකුරු ලිවීම, කියැවීම ආදිය නොකෙරෙන බව දැන ගන්නට ලැබුනි. ඒවා ඉගැන්වෙනුයේ පාසලේ දී බවයි කියැවෙන්නේ. ඉදින් අපේ දුවත් ගී ගැයීම්, පරිප්පු ඇට ඇලවිලි, චිත්‍ර ඇදිලි ආදිය ළදරු පාසලේ දී උගැනුම ලැබුවත් තවම අකුරු ලිවීමට නොදන්නීය. එහෙත් වෙනත් ළදරු පාසලකට යැවෙන මගේ මිතුරා ගේ දුව ට එම පාසලේ ළදරු ක්‍රියාකාරකම් වලට වඩා අකුරු ලිවිම්, කියැවීම් (අළුත් ම දේ "elocution") ආදිය කෙරේ. පසුව මේ දරුවෝ දෙදෙනාම පාසලට යාමට වූ කල අපේ දරුවා පසු පසට නොයා ද? ඔවුන් කියන ආකාරයට පූර්ව ළමාවිය සංවර්ධන ඉලක්ක සැපූරූ මුත් මේ දිවෙන තරඟයේ අපේ දරුවා තැබෙනුයේ කොතනද?

2010-03-02

නිලන්ත පියසිරි විසින් 06:00 පැයට
4

සරණක් වූ ඉරිසියාව

මේක මගේ යාළුවෙකුට සිදු වුන දෙයක්. ඊයේ දහවල් කෑම වෙලාවේ දී තමයි කිව්වේ.

මගේ යාළුවා සිටින්නේ කුරුණෑගල පැත්තේ වෙන්දේසියකින් ලබා ගත් ඉඩමක තැනූ නිවසකයි. ඔහු ලබා ගත් ඉඩම දෙපසේම ඉඩම් කැබැලි ලබා ගත් අය ඒවායෙහි ගෙවල් සෑදීම තියා එළි-පෙහෙළි කිරීමටවත් නො පැමිණේ. යාළුවාට කුඩා දරුවෝ දෙදෙනෙක් වෙත්. මේ දවස් වල පෑවිල්ල බැවින් අවට ඉඩම් වල සරුවට වැඩුනු කැලෑවෙන් නෙක සර්පයෝ වතුර සොයා මගේ යාළුවාගේ ඉඩමටත් පැමිණෙන බවට ඔහුගේ සොදුරිය ඔහුට කියා තිබුනි. අසල්වැසියෙක් කියා තිබුණේ ඔහු ගසක් උඩ සිටින පිඹුරෙක් දුටු බවයි. යාළුවාට තරු පෙනී තිබුණි.

මීට පෙරද මෙලෙස මේ ඉඩම් වල සිට සර්පයෝ සිටිතැයි නෙක දෙනා කියන බැවින් ඔහු මහත් වෙහෙසක් ගෙන අනුන් ගේ ඉඩම් වුවද දවස් ගණන් වෙහෙස ගෙන කැති ගා පුලුස්සා දමා තිබුණි. නැවත කරලියට පැමිණ තිබූ සර්ප කතාව නිසා ඔහුට නැවත මෙම ඉඩම් සුද්ද කිරීමට සිද්ද වී තිබුණි. මේ දින වල තිබෙන පෑවිල්ලේ දවසක් විතර වල්පැල කැති ගාන්න සිදු වුවහොත් වෙහෙස කොපමණ වේද? ඔහුට අපූරු අදහසක් පහළ වෙන්නේ මේ අතරතුරය.

යාළුවා කළේ ඔහු ගේ මායිම අයිනට වෙන්නට ඉඩම් දෙකේම කුඩා ප්‍රමාණයක් එළි කොට පොල් පැල දෙකක් සිට වීම පමණකි. ඉන් පසුව ඒ ඉඩම් වල අයිතිකරුවන් විසින් හදිස්සියක් වුවහොත් කතා කරන්නැයි කියා ඔහුට ම ලබා දුන් දුරකතන අංක වලට කතා කොට මෙසේ කීවේය.

"මේ කතා කරන්නේ කවුද කියලා වැඩක් නැහැ, අර ඔහේලාගේ ඉඩම ගාව ඉන්න ....... වැඩ කරන මිනිහා ඔයගොල්ලන් ගේ  වත්තේ මොනවද හිටවනවා. ටික ටික අල්ලගන්න ද කොහෙද හදන්නේ. ඇවිත් ඔය ඉඩම සුද්ද කරලා වැට පොඩ්ඩක් අලුත් කරලා යන්න"

සැලැස්ම අපූරුවටම ක්‍රියාත්මක වුනි. ඉඩම් දෙකම වල් පැලයක් නැති වෙන්න ම සුද්ද කර තිබුණි. හැබැයි සර්පයෙක් තියා අහුරකුක්කෙක්වත් අහු වෙලා නම් නැහැ.