2008-07-04

නිලන්ත පියසිරි විසින් 11:23 පැයට
1

අපේ දරුවෝ

පාසල් ගොස් පැමිණි වේලේ සිට අඹ, කජු, කටු ලොචි, පේර ගස් සූරමින් ගත කළ අපේ ළමා කල අපේ දරුවෝ ලබත්ද? මෙය අතීත කාමය ගැන කථාවක් නොවේ. නමුත් ඔවුන් ගැන ඇත්තේ අප ගැනම මෙන්ම දුකකි. අපේ දෙමව්පියන් ඔවුන් කුඩා කල ලද විනෝදය අපි නොලැබුවෙමු. එමෙන්ම අප ලද ඒ සුන්දර කල අපේ දරුවෝ නොලබත්. අපි ඔට්ටු ඇල්ලීමට දිවූ දුර අද අපිම රු.10/- ක් දී බසයේ යන්නෙමු. අපේ ක්‍රීඩා පිටි වූ ඒ වතුවල අද සුවිසල් මැඳුරු අරක් ගෙන සිටිති. අපි දිව ගියේ කාගේ වත්ත උඩින් දැයි නො දැන සිටියෙමු. අපට මුළු පලාතම එකම ක්‍රීඩා පිටියක් බඳු විය. අද අපේ මහගෙදරින් එහා වත්තට යා නො හැක. මක් නිසාද යත් එමග වසා මහත් වූ පවුරෙකි.
මගේ දුවනිට පොතේ ඇති කජු පුහුලම පාට කළ නොහැක. හේතුව ඇය එය මොන පැහැයදැයි නොදනී. ඉඳින් මා ඇයව කජු පුහුලම් පෙන්වීමට රැගෙන යන්නේ කොහෙද? පේරාදෙණියේ උද්ඟිත උයනේ වත් අඩුම තරමේ මේ ගස් කොලන් ටික තියෙනවාදැයි නො දනිමි? කොහොමත් ලඟදීම ඇයව කැදවාගෙන මම එහි යමි.
උදේ ගොස් රැයට ලගිනා කපුටන් මෙන් අපි මහල් නිවසෙක සිරගතව ඇත්තෙමු. දුවනිට ගසක මල් පිපෙන අයුරු පෙන්වීමට කුඩා පෝච්චියක කුඩා මල් පැලයක් ඉන්දවා තිබේ. එය ඉද හිට මලක් ලබා දෙන්නේ අප ගැන සිතා නොව කුඩා දියණිය ගැන සිතා විය යුතුය.

1 අදහස් දැක්වීම්:

සු said...

කතාව ඇත්ත. මටත් මේ දේවල් නොයෙක වර සිතී තියෙනවා. මගේ නංගීට මා නියඟලා මල්, ඇතැම් සතුන් හා මල්, පළතුරු ආදිය පෙන්වන්නේ අන්තර්ජාලයෙන්..
හැන්දෑවට ගෙදර ඇවිත් ප්‍රශ්න අහන කොට එක්කං ගිහින් පෙන්වන්න වත්තක්,මිදුලක් කොයින්ද තට්ටුවල ඉන්න අපට..