2012-11-09

නිලන්ත පියසිරි විසින් 15:37 පැයට
17

මෙහෙමද යකෝ බටු උයන්නේ....?

මේක මට සිදුවුනු බොහොම පරණ සිද්ධියක්. මේ ලඟදී මතක් වුනේ අපේ දිවා කෑම පැයේදී. මා ගෙදරින් ගෙනා කෑම පතේ තිබූ පොලොස්, එදින මා සමඟ කෑම කෑ මා ගේ සඟයා ගේ කඩෙන් ගත් කෑම පතේ තිබූ පොලොස් වලට වඩා තැම්බී නොතිබීමයි.

එකල මා විවාහ දිවියට ආ මුල් දවස්. මගේ සොඳුර ඉතිං ඒ දවස් වල එච්චර කෑම හදන්න දන්නේ නැහැ. (දැන් ඉතිං දන්නවා කියන්න එපැයැ නැත්තනම් ..... දන්නවානේ) කොහොම නමුත් ඒ දින වල මට මා සේවය කළ තැනෙන් පිට වෙනත් තැනක පිරිගණන පාඨමාලාවක ඉගැන්වීමට යෙදුනා. ඉතිං සොදුරිය උදයෙන් ම නැඟිට පිළියෙල කළ බත් පත රැඟෙන ඔන්න එතැන ට ගියා. උදේ වරුවේ ඉගැන්වීමෙන් පසු ඔන්න දහවල් කෑම. දන්නවනේ එතැන හිටපු ඔය පරිපාලන වැඩට ආපු තවත් කෙනෙක් එක්ක කෑමට ගියා. ඔහු කෑම අරගෙන තියෙන්නේ එතැන තිබුනු අවන් හලෙන්. ඔන්න ඉතිං එක එක ව්‍යාංජන හුවමාරු කර ගත්තා. මගේ සොඳුරිය උයලා තිබුනා එළ බටු. මටත් ඔය ඉතිං ඒ දවස් වල කෑම ගැන එච්චර තැකීමක් නැහැ ඉතිං, දන්නවනේ බැඳපු අළුත, හැම දෙයක්ම රසයි නොවැ. මමත් එළ බටු ටිකක් අර යාළුවාට දැම්මා. (යහළුවා කිව්වට පොඩ්ඩක් අපිට වඩා ජ්‍යේෂ්ඨයි) එයා ගේ කෑම එකෙත් එළ බටු තිබුණා. ඔන්න ටික වෙලාවක් යනකොට මෙයා කියනවා. 
"මේ බලපං මුන් බටු උයලා තියෙන හැටි, ඇටත් එක්ක, මෙහෙම බටු උයන රටක් තියෙනවද? මුන් ගේ අම්මලාට........ මට හිතයි ගිහින් දෙකක් කථා කරන්න".

 මම හිමිහිට මගේ කෑම පතේ බටු ගැන බැලුවෙමි. අපොයි මේ මගේ සොඳුර පිසූ බටු නොවැ.

"හරි හරි, ඕව් එච්චර ගණන් ගන්න එපා" මම ඔහුව අස්වැසුවෙමි. හැබැයි ගෙදර ඇවිත් සොඳුර නිවැරදි කිරීමට ත් නොගියෙමි. ඇය මෙය කියවන්නේ නම් දන්නවා මිස මෙතෙක් ඇය මේ සිද්ධිය දන්නේද නැත.

2012-10-12

නිලන්ත පියසිරි විසින් 10:57 පැයට
8

ඒ මාර ගහේ මුල්

කාර්යාලයෙන් ඊයේ මට නියම වී තිබුනේ යම් වැඩ මුළුවකට සහභාගී වීමටයි. එය තිබුනේ කොළඹ පුර හල පෙදෙසේ බැවින් බසයෙන් බැසි මම විහාර මහා දේවී උයන මැදින් එතැනට ලඟ වීම පහසු බැවින් ඒ හරහා ගියෙමි. අද මේ උයන මට එතරම් නුහුරු වුව ද මා පිය සොඳුර සමඟ පෙම් කරන සමයේ මේ උයන මට ඉතාමත් හුරු පුරුදු විය. අප නිරන්තරව යන මාර ගසක බංකුවක් මෙන් වූ මුලක් විය. මා එය පහු කරද්දී මට නිතැතින් ම එතැන බැලුන කල මා දුටුවේ අප එකල වාඩි වි සිට තැනම හිඳිනා පෙම් යුවලකි. අප එකල කෙතරම් නම් වේලා මෙතැන කථා කරමින් සිටින්නට ඇතිද? මේ මාර ගස කෙතරම් පෙම්වතුනට සෙවන දෙන්න ඇතිද? එහෙත් ඒ ගස මුල කිසි දිනක හිස් නොවෙයි. එහෙත් කල්පනා කළොත් ඊයේ දවසේ පමණක් මා කෙතරම් වේලාවක් සොඳුර සමඟ කථා කරන්නට ඇතිද? හොඳින් හිතුවොත් වැකි හතරක් පහක් පමණ. "නිලන්ත, දුවනිට කවනවද?, පරක්කු වෙනවා", "නිලන්ත චූටි දුව ගේ ගවුමේ බොත්තම දානවද?" "නිලන්ත එනකොට සුප් කැට තුන හතරක් ගේනවද?" "දවල් කෑම රසද?" වගේ හිතුවොත් ඉතාමත් කෙටි වදන් තුන හතරක්. මෙයින් නියෝග හැරුණ කොට ආදරය පොඩ්ඩක් වත් තියෙන්නේ "දවල් කෑම" ගැන වැකියේ පමණි. ඇයට ගෙදර මෙන් ම කාර්යාලයේද වැඩ බොහෝය. පෙම් බස් මිමිණීමට ඇයට වේලාවක් ඇත්තේ ම නැත. එසේ වෙලාවක් ආවත් ඇයට කෙසේ හෝ අතපසු වූ වැඩක් පසක් වෙයි. ඉඳින් වරු ගණන් මේ මාර ගස යට පෙම් බස් තෙපළු ඇය..... වැන්නෝ තවත් කෙතරම් මේ මාර ගස හැර ගොස් ඇතිද?   

2012-09-11

නිලන්ත පියසිරි විසින් 16:30 පැයට
11

ගැහැණුන් ගේ නරක

"අප්පච්චී කතන්දරයක්". ඒ සෑම දාම නින්ද ට පෙර අපේ දියණියන් ගේ නිදි යහනෙන් නැගෙන හඩයි. ඉතිං දෙයි හාමුදුරුවනේ මේ තරම් කතන්දර කෙසේ නම් මතක තියා ගන්නද? මට කුඩා කල මගේ කිරි අම්මා කියා දුන් කතන්දරත් මේ වන විට හමාරයි. කියා දිය හැකි ජාතක කතන්දරත් ඉවරයි. ඉඳින් මා කුමක් කරම් ද? මෙවර මෙහෙයුම දියත් කළේ මුනිදාස හේමපාල වියතානන් අනුවාදනය කෙරුනු විශ්ණු ශර්මන් ගේ පංච තන්ත්‍රය කෙරෙහියි. මෙහි වන කතන්දර හරිම අපූරුයි. ඒ අතර ඒ ඒ කතන්දරයෙන් කියා දිය හැකි ආදර්ශත් කදිමයි. දඹදිව විසූ අමරශක්ති රජතුමා ගේ හීන බුද්ධි පුතුන් තුන් දෙනෙකු වන බහු ශක්ති, උග්‍ර ශක්ති සහ අනන්ත ශක්ති යන අයගේ බුද්ධි වර්ධන සඳහා ඒ අයට කියූ එකිනෙකට වියුනු කතන්දර රාශියක් තමයි මෙහි තියෙන්නේ. මෙහි ඇති අපූරු කම තමයි සත්තුන්ට ත් නම් තිබීම. 

ඒ කෙසේ නමුත් ඊයේ කතන්දරය කියා ගෙන යද්දී අපූරු සිද්ධියකට මුහුණ පෑවා. එම කතන්දරයේ තිබුනේ යම් නමක් ඇති ගොනෙකු කැලයේ ලා තණ කා ඉතා පුෂ්ටිමත් ව වැඩී බෙල්ලේ දෙපැත්තෙන් මස් ගොබ දෙකක් එල්ලා වැටෙන්නට වූ බවත්, ගඟක් අයිනේ සැමදා මීයන් කමින් ජීවත් වූ නරි යුවලක් සිටි බවත්, දිනක් ගොනු දිය බීමට ගඟට ආ කල නරි ධේනුව නරියාට එම මස් ගොබ දෙක කුමණ හෝ වේලාවක බිම වැටෙනු ඇති බැවින් ඌ පසු පස ගොස් එය වැටුන කල ආහාරයට ගැනීමේ කැමැත්තක් ඇති වී නරියාට ඒ ගැන යෝජනා කළ බවත් ය. කථාවේ මෙතැන් පටන් කියැවෙන්නේ ගැහැණුන් ගේ බස් විශ්වාස කිරීමේ නරක ගැනයි. මෙතැන දී තමයි දුවනි ගේ කට හඩ අවදි වුනේ. 
"ඉතිං අප්පච්චි අපිත් ගැහැණු අය නේ, අපි කියන දේවල් ගණන් ගන්න හොඳ නැතිද?" 
 ඔන්න අප්පච්චිට කට උත්තර නැති වුන තැන. 
"ඒ ඉතිං මේ පොත ලියපු කාලේ නේ දුවනි, දැන් ඉතිං එහෙම නැහැ" මම කීවෙමි.

ප:ලි: 
1. ඇත්තටම දැන් කාලේ උනත් එහෙම තමයි (දුවනි ලොකු වෙලා මේක කියෙව්වත් ඒක ඇත්ත කියයි).
2. විශ්ණු ශර්මන් ගේ ලියූ මුනිදාස හේමපාල අනුවාදන කළ ඒ පොත නම් වැඩිහිටියෝ පවා කියවිය යුතුයි.
3. කතන්දරේ ඉතිරි ටික ඕනේ නම් අනිවාර්යෙන් පොත කියවන්න.

2012-08-30

නිලන්ත පියසිරි විසින් 15:20 පැයට
3

ගොනු කිහිපයක ඇති එකම වැකියක් වෙනත් වැකියකින් ප්‍රතිස්ථාපනය කිරීම


ඔන්න මම ෆෙඩෝරා 17 ට ගොඩ වුනා කියමු කෝ. හැබැයි මගේ පරණ php ටික මේකට දාපුවහම මෙන්න සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. කොපි කරපු ඒවා යේ අවසරය පිළිබඳ පැණයක් ද, ඒත් වෙන්න බැහැ. බැළුවා බැළුවා හොයා ගන්න බැහැ. පස්සේ ඔන්න httpd access log එක බැළුවා, මේ තියෙන්නේ session ප්‍රශ්ණයක්. මොකක්ද දන්නවද session_is_registered කියන function එක deprecated හෙවත් php වලින් ම අයින් කරලම දාල. දැන් මොකද කරන්නේ හැම php ගොනුවකින් ම ඒක අයින් කරලා වෙන එකක් දාන්න ඕනේ. අපොයි php ගොනු තොගයක් ම තියෙනවා. මෙන්න මෙතැන දී තමයි මට sed හෙවත් steam editor උදව් වුනේ. හැබැයි දෙවිදියකට මට වධ දුන්නා. එකක් sed වල දී ' හෙවත් apostrophe වලක්වා ගන්න විදිහ ඒ වගේම bash script එකක් ඇතුලේ $ එක වලක්වා ගන්න විදිහ. කෙසේ නමුත් මම ඒක කළේ මෙන්න මේ විදිහටයි. නැවත කාට හෝ ඒක ප්‍රයෝජනවත් වේවී නම් මෙන්න 
#!/bin/bash

 for fl in *.php; do
     mv $fl $fl.old
     sed "s/if(session_is_registered('UserId'))/if(isset(\$_SESSION['UserId']))/g" $fl.old > $fl
     rm -f $fl.old
     done


මේක අවැසි directory යට දාලා දුවවන්නයි තියෙන්නේ. ජය වේවා!

2012-08-06

නිලන්ත පියසිරි විසින් 11:15 පැයට
4

සුදුසු පෙදෙසක වාසය

පසු ගිය සිකුරාදා කාර්යාලීය වෙලාවෙන් පසු අනුර ශ්‍රිනාත් ගේ සිත්තර පියොදසුන බැලීමට ගියෙමි. සිත සමනය කැරවූ එය බලා පසු දින දුවණිය එය බැලීමට රැගෙන එන සිත් ඇතිව මම නැවතත් මඟට පිලි පැනිමි. වෙලාව බැලීමට ජංගම දුරකථනය බැලූ කල එහි නංගි ගෙන් මඟ හැරුනු ඇමැතුම් වූ බැවින් ඇයට කතා කළෙමි. "ලොකු අය්යේ, මේ දැන් මගේ මාලේ කඩා ගත්තා." ඇය බිඳුන හඬින් කීවාය. 
"මොකක්? කොතැනදී ද?"
"මෙතැන මේ පාර පනින කහ ඉර ලඟදී."
"පොඩ්ඩක් ඉන්න, මම ලඟ ඉන්නේ, ඉක්මනට එනවා."
"වැඩක් නැහැ හොරා පණ කඩාගෙන දිව්වා. හොයන්න බැහැ. ලඟ පාත කවුරුත් හිටියෙත් නැහැ".
මම හැකි ඉක්මනින් දුවගෙන අවුත් ඇය මුණ ගැසුනෙමි.
"කොයි පැත්තටද දිව්වේ?"
"අන්න අර පැත්තට" කියා ඇය මහත් අඳුරු පෙදෙසක් පෙන්වීය.
එකෙනෙහි මා අඳුනන තෙසක රියැඳුරෙකු අසලට පැමිණියේය.
"මොකද මහත්තයා වුනේ?"
"නැහැ මෙතැනදී නංගි ගේ මාලය කඩාගෙන ගිහිල්ලනේ" මම කීවේමි.
ඔහු හැඩ රුව කිහිපයක් කීවේය. 
"ඒ වගේ නේද?"
"ඔව්, ඔව්, අන්න එහෙම පොඩි ලමයෙක් වගේ කෙනෙක්"
"මහත්තයා, ඔය කියන විදිහට ඒ මම දන්න අඳුනන තැනක ළමයෙක්, කුඩු වලට ඇබ්බැහි වෙලා. දැන් ඔය කැඩුවේ මෙතැනදී තුන් වෙනි මාලය. මම කිව්වා කියන්න එපා, ගිහින් පොලිසියට පැමිණිල්ලක් දාන්න, මාව අහු කරන්න එපා මම වෙලාවක පෙන්නවන්නම් මිනිහා ව. හැබැයි එයත් එක්ක තව තුන් දෙනෙක් ඉන්නවා, උන් ඔක්කොම ඔය වගේ නරක එවුන්, නිතරම දැලි පිහි තියාගෙන ඉන්නේ"
"අපි පොලිසියට යමු." මම නංගිට කීවෙමි.
"අපෝ බැහැ ලොකු අය්යේ, අපි ගෙදර යමු. අපි දිගටම මේ පාරේ එන්න එපැයැ" යි කියමින් ඈ යන්නට හැරුණි. මාත් ඇය සමඟම ගෙදර ගියෙමි. මම ඇයට වෙන කිසිවක් නොකීවේ ඇයගේ බිඳුන සිත තවත් රිදවීමට නොහැකි බැවිනි. (දන්නවනේ ගැහැණියෙකුට අභරණ කියන්නේ මොන වගේ ද කියලා). එහෙත් මම කල්පනා කරමින් ගියෙමි. ඇයි මෙවැන්නෝ ඇල්ලිය නො හැකි. හොරු කෙසේ වෙතත් කුඩු ගහන මිනිසුන් ඇල්ලිය නොහැක්කේ ඇයි. ඔය උපාය දූතයෝ අසරණ සිරුරු විකුණන අබිසරු ලියන් අල්ලන්නට යොදන වෙලාවේ, ඇයි කුඩු කාරයෙකු පිටු පසු යෙදිය නොහැක්කේ. කුඩුකාරයා කොහෙන් හෝ ඒවා මිළදී ගත යුතු නොවැ. එසේම ඒ මිළදී ගන්නා තැනට කුඩු එන්නේ කෙලෙසින් දැයි සෙවීමට උපාය දූතයෝ යොදන්න බැරිද? වැලැක්විය නොහැකි යන්න සම්පූර්ණ බොරුවකි. මත් කුඩු හා වෙනත් මත් වන දෑ වලක්වන්නේ නැති බව ඉතාමත්ම පැහැදිලිය. ගමක නඟරයක කුඩු කාරයෙකු සොයා ගැනීම හරිම ලෙහෙසිය. එවැන්නෙකු හෝ එවැන්නියක කුප්‍රකට බැවින්, පොලිස් නිළයෙකුට ඕනෑ අයෙකුගෙන් ඒ ගැන අසා දැන ගත හැක. එවැන්නෙකුට කුඩු එන මඟ සෙවීමට රහස් පොලිසිය උවමනා නැත. එය කුඩා ළමයෙකුට පවා හැක.
නංගී පොලිසියට යාම ප්‍රතික්ෂේප කිරීමෙහිද යම් නිවැරදි බවක් වෙයි. ඇය තව දුරටත් වැඩට ගොස් බසයෙන් බැස ඔය පාර දිගේම පැමිණිය යුත්තේ වෙයි. ඇයට පුද්ගලික ආරක්ෂාව දෙන්නෝ නොවෙත්. එපමණක් නොව ඇය මා කෙරෙහිද බිය වන්නීය. මංගල සූත්‍රයේ 'පතිරූප දේස වාසෝච" ගාථාව මට පසක් විය. අපි ජීවත් විය යුත්තේ සුදුසු පෙදෙසකය. එහෙත් අදීන ලංකාවේ සුදුසු පෙදෙසක් කෙසේ නම් සොයා ගනිමුද?

2012-04-23

නිලන්ත පියසිරි විසින් 23:28 පැයට
6

නෑදෑකම්

අපේ අම්මා ගේ මාමා කෙනෙකු ඊයේ හැන්දෑවේ මිය ගොස් ඇති පුවත මට ලැබුනේ මල්ලි ගේ දුරකතන ඇමතුමකිනි. ඔහු අපට ඉඳහිට මුණ ගැසෙන අයෙකු බැවින් ද, මුණ ගැසුන ද එතරම් කතා බහක නො යෙදෙන අයෙකු බැවින් ද, මම එය එතරම් ම දුක් මුසු පුවතක් නොවේ යැයි උපකල්පනය කොට එකෙනෙහි ම අම්මා ට ඒ ගැන කීවෙමි. අම්මා මහත් හඩින් හැඩීමට ගත්තාය. ම'සොඳුරිය සහ නංගී ඇය සනසා ගත්තේ මහත් වෙහෙසක් දැරීමෙන් පසුවය. මගේ ලොකු මාමා නොහොත් අම්මා ගේ අයියා මීට අවුරුදු 7 කට පමණ පෙර මිය ගිය අවස්ථාව මම සිහි කළෙමි. මගේ ඇහැට කඳුළු බිදුවකුඳු ආවා යැයි මට මතකයක් නොමැත. එහෙත් මීට මසකට පමණ පෙර අපේ පුංචි විවාහ වී සිටි බාප්පා මිය ගිය කල මට හැඩුම් ඉබේ පහළ විය. 
නෑදෑකම් හා සබඳකම් කෙතරම් මිනිස් සිත් සනසවන්නේ ද? එකල මුළු ගමක් ම නෑදැයෝ වූහ. ඔවුන් වචනයේ දුරින් උදව්ට, පහසුකම් දීමට සිටියහ. එහෙත් අද නෑදෑයෝ සි සි කඩය. අපේ අම්මා ගේ කඳුලු තුල වූයේ ඒ හැඟීමයි, ඒ ආදරයයි. දරුවෙකු හඬන කල මාමාට කිරි එරෙන කතාවක් ජන වහරේ ද ඇත. එහෙත් මෙකල දරුවෙකු හඬන ඇසීමට මාමා කෙනෙකු පෙනෙන තෙක් මානයක ද නැත. "පොඩි දුව, මෙන්න කොස් කෑල්ලක් තියෙනවා. තම්බලා ගනින්." අප කුඩා කල අපේ අම්මාට, ඇයගේ මාමා වරු එලෙස නොයෙකුත් වෙසෙසි දේ ගෙනැවිත් දෙති. අපේ අම්මාට ද මාමලා නැන්දාලා තරම් අයෙකු නොමැති ගානය. බොහෝ විටක අපිද අම්මා සමඟ ඔවුන ගේ නිවෙස් වලට යන්නෙමු. ඔවුනොවුන් අතර පැතිර යන සිනහව ආදරය කරුණාව මගේ හද පතුල ද යන්තම් කොනිත්තන්නාක් මෙන් දැන් ද දැනේ. නෑදෑකම් අද සමාජයෙන් තුරන් ව යනු සක්සුදක් ව පෙනේ. නෑයෝ සහ වේයෝ එක බැවි තෙසක රියක පිටු පස වූ බව මට මතකය. අද නෑදෑ කම් නාම මාත්‍රිකය. එකල අවුරුද්දට අපි නොවරදවා අපේ අම්මා ගේ ලොකු නැන්දා හෙවත් අපි කියන පරිදි කඩේ ආච්චි ගේ ගෙදර යන්නෙමු. එය හරිම විනෝද ජනකය. ඇය හරිම රසට ආස්මි හදන්නීය. එපමණක් නොව හදිසියකට හෝ ඇගේ නිවස අසලින් අප වෙනත් වැඩකට ගියේ නම්. "උඹ කොහෙද යන්නේ, මෙහෙ වරෙන්" කියා කුඩා අපව නිවසට එක් කරගෙන ගොස් අඩුම තරමේ විස්කෝතුවක් සමඟ තේ බිඳක් හෝ පොවා මිස පිටත් නොකරයි. එහෙත් අද.....? මගේ දියණියන් ගේ ලොකු අම්මා, හෙවත් සොඳුරිය ගේ අක්කා ඇත්තේ බදුල්ලේය. එහේ ගොස් ඒමට අඩු තරමේ දවස් පහකවත් නිවාඩුවක් අවැසිය. එතරම් කල් නිවාඩු අපට නොලැබෙන හෙයින් අප එහි ගොස් ඇත්තේ මෙතුවක් කලට එකම එක වතාවකි. ඒ වතාව දියණියන්ට කෙසේ වෙතුදු අපට ද මතක නැත. එසේ වී නම් ලොකු අම්මා ගේ ආදරය මතක තියෙන්නේ කෙසේද?    

2012-04-10

නිලන්ත පියසිරි විසින් 13:11 පැයට
6

මෙහෙම අපිට හෙන වදීවිද?

ඊයේ හැන්දෑවේ වැස්ස ගැන නොකිවමනාය. ව්‍යායාමයට ඇවිදිල්ලත් ඒ වැස්සත් සමඟම හේදී ගියේය. කාර්යාල වේලාවෙන් පසු බස් නවැතුමට දිව ගියේ කුඩයකුත් මා නො ගෙනා නිසාවෙනි. බස් නවැතුම කී මුත් කිසිඳු ආවරණයක් එහි නොමැත. එබැවින් මා වැස්ස තුරල් වන තෙක් සිටියේ ලඟ තිබූ බැංකු ගොඩනැගිල්ලේ අඟුපිලෙහිය. මා අසලින් ම අයෙක් ජංගම දුරකතනයකින් කථා කරමින් සිටියේය. එකෙනෙහි සරම කැසපට ගසා ගත් අයෙක් "A T M" යන්ත්‍රය වෙත දිව ආවේය. ඔහු එතැනට ආවා පමණි, පලාතම එළිය කරමින් විදුලි සැරක් අහසේ ඇඳුන අතර මහ හඩින් අකුණක් පිපිරීය. 

"යකෝ තෝ අපිව මරන්නද හදන්නේ? උදේ ඉඳන් රෑ වෙනකල් ටි.වී. වල, රේඩියෝ වල කියනවා අකුණු ගහන වෙලාවට ටෙලිෆොන් පාවිච්චි කරන්න එපා, ටී.වී. දාන්න එපා කියලා. උඹ විතරක් නෙමෙයි ලඟ පාත ඉන්න අපිත් මැරෙනවා. ඔෆ් කරපන් ඕක. ඕෆ් කරපන් ඕක." සරම හැඳ ගත් පුද්ගලයා බැන වැදීමට පටන් ගත්තේය. ඔහු තරමක් බමණ ගතියෙන් ද සිටින බවක් මම දුටිමි. දුරකථනයේ සිටි පුද්ගලයා ද සැනෙන් එය අක්‍රිය කොට ලැජ්ජා බරිතව වට පිට බලා බස් රියක් දක්වා දිව ගියේය.

ඇත්තෙන් ම ජංගම දුරකතනයන් හී භාවිතා කරන්නේ ගුවන් තරංග නම් ඒවා විදුලි සම්ප්‍රේශණය කරයිද? තවද ඇන්ටනාවක් සම්බන්ධ නොකොට රූපවාහිනිය බලයි නම් එයට අකුණු ඇද ගැනීමේ ප්‍රවණතාවයක් වේද? මා දැනට දන්නා පරිදි නම් ගුවන් තරංග විදුලිය ගමන් ගන්නා මාධ්‍යයක් නොවේ. එහෙත් රැහැන් ගත දුරකතන ආදිය නම් එසේ වෙයි. අකුණු සහිත වේලාවක හොඳම පණිවිඩ හුවමාරු කරගැනීමේ ක්‍රමය ජංගම දුරකතනය වන බව අයෙක් කියනු මම අසා ඇත්තෙමි.   

2012-04-03

නිලන්ත පියසිරි විසින් 22:49 පැයට
1

වේවැල් වියන්නා

මා කුඩා කල දිනක වේවැල් පුටු වියන්නෙකු කෑ ගසමින් නිවස පසු කරනා විට අපේ තාත්තා ඔහුට කථා කළේය.  අපේ ගෙදර වූ වේවැල් කැඩී ගිය පුටුවක් ඔහුට පෙන්නා "මේක වියන්න කීයක් ඕනෑ දැ?" යි විමසීය. ඔහු එකල කී ගණන මට මතකයක් නැත. නමුත් ඒ ගණන වැඩි බව කියමින් තාත්තා, "අපොයි, අපොයි ඒ ගාණ හොඳටම වැඩියි. මටත් ඕක වියන්න පුළුවන්, මට වෙලාවක් නැති නිසයි. මම ඇහුවේ" කීවේය. එවිට වේවැල් වියන්නා කියූ දේ මට තවමත් නින්නාද දෙන්නාක් මෙනි. "සර්, සර්ට මේක වියන්න පුලුවන් වෙන්න ඇති, ඒත් සර් මම මේක වියුවේ නැති නම් මට ගෙදරට කන්න දෙන්න බැරි වෙනවා, මගේ දරු පවුල රැක ගන්න බැරි වෙනවා. ඒ නිසයි මම ඒ ගාන කියුවේ" හේ ඉතා දුක්බර මුහුණෙන් මුත් නිභයව කීවේය. අපේ අම්මා ගේ කට කොණට හිනාවක් නැගෙනු මම දුටිමි. "වියනවා වියනවා ඕක" කියමින් තාත්තා ගෙතුලට ගියේය. 
සේවාවන් හා නිපැයුම් ගැන මා තුල මනා කොට ඉගෙන ගත් ශාස්ත්‍රීය දැනුමක් නැති මුත්, අදීන ලංකාවේ බොහෝමයක් ඇත්තේ සේවා සපයා ජීවිකාව සපයා ගන්නන් බව මට සිතේ. වෙසසින් කොළඹ නඟරය නම් සේවා සැපැයුම් කේන්ද්‍රයකි. කරණවැමීයා ගේ පටන් ලිපිකරුවා දක්වාත්, දොස්තරගේ පටන් නාටාමි දක්වාත් සැවෝම සේවා සපයති. නමුත් බොහෝ සේවාවන් ලෙහෙසියෙන් අත හැර දැමිය හැක. මුදල් නොමැති නම් තෙසක රියේ සේවාව ලබා ගැනුමට අපි බොහෝ විට මැලි වෙමු. එලෙස වූ කල මෙකල රුපියලේ අවතක්සේරුවත්, වාහන බදු වැඩිවීමත්, වෙනත් බදු වැඩි වීමත් තුලින් ඇත්තටම අත්‍යවශ්‍ය නොවන සේවා සපයනු ලබන එදා වේල සරි කර ගන්නන් අසරණය. ඔවුන් සේවා නොසපයා නිපැයුම් ක්‍රියාවලියක සිටියා නම් ඔවුන් මෙයින් බේරෙයිද?

2012-03-28

නිලන්ත පියසිරි විසින් 10:45 පැයට
3

දානය

මා හැමදාම කි.මි. 3 ක් පමණ කාර්යාල නිමාවෙන් පසු පයින් යන්නේ බොහෝ විට වෙනම සිරුරට ව්‍යායාම කිරීමට වෙලාවක් සොයා ගත නො හැකි නිසාවෙනි. ටික දුරක් යන විට මා ඉදිරියට අවුත් නැවත් වූයේ හොඳින් හැඳ පැළඳගත් තරුණයෙකු රැගත් නවීන පන්නයේ යතුරු පැදියකි. 
"අය්යේ පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?" හේ විමසීය.
"මොකක්ද මල්ලී" මා සිතුවේ යම් දිසාවක් සොයා ගැන්මට මොහු යත්න දරන බවකි.
"අය්යේ, බයික් එකේ පෙට්‍ර්ල් ඉවර වෙන්න යන්නේ, පෙට්‍රල් ලීටරයක් ගහන්න රුපියල් 200ක් දෙන්න පුළුවන්ද? මම ගෙදර ගිය ගමන් අය්ය ගේ ෆෝන් එකට ඒ ගානට රීලෝඩ් එකක් දාන්නම්." ඔහු කීවේය.
"මගේ ෆෝන් එක නම් රීලෝඩ් දාන එකක් නොවෙයි. අනිත් එක මට ආපහු සල්ලි එපා. මෙන්න ඔයා ගිහින් තෙල් ගහන්න" මම සල්ලි දුන්නෙමි.
මුදල් ගත් හේ නැවත වේගයෙන් ඉගිලෙන්නට විය. ඔහු ගිය දෙසට ගියේ නම් තව කි.මි. දෙකකට වත් ඉන්ධන පිරවුම් හලක් නම් සොයා ගත නොහැකි බව මට කල්පනා විය.

යමෙකුට උදව්වක් කිරීමට ලැබීම මගේ සිත සතුටු කරයි. එහෙත් යමෙක් මා රැවැටූ බව සිතුනොත් ඊට වඩා හිත රිදවයි. යමක් දීම යනු භොතිකව එය අත හැරීම පමණක් නොව සිතෙන් ම එය අත හැරීම බව බොදු අපි දනිමු. අපි හිඟන්නෙකුට මුදලක් දුන් කල ඔහු අපට පෙනෙන්න ම එයින් දුම් වැටියක් මිළදී ගතහොත් අප දුන් දේ ගැන අපට දැනෙන්නේ කුමක්ද? ඕනෑම අයෙකුට අපරාදේ මම දුන්නේ කියා සිතෙනු ඇත. එහෙත් අප දුන් දේ ඔහුට ඕනෑ ලෙස භාවිතා කරන්නට ඉඩ හරින්න තරම් හිත සකසා ගත හැකි නම් අප දිනුවා වෙයි.

යතුරු පැදියේ වූ මල්ලීට උදව් කිරීමට ලැබීම ගැන මම සතුටු වූයෙමි. ඒ සමඟ ම හට ගත් කල්පනාව වූයේ මොහුට ඉන්ධන ලබා ගැනීමේ උවමනාව වී නම් ලඟම ඉන්ධන පිරවුම් හලට නොයන්නේ මන්ද යන්නයි. එසේ නම් මා රැවටී වත්ද? සියළු පින් හෝ පව් සිදු කරන්නේ අප සිතන ආකාරයෙන් ම නොවන්නේ ද? 

2012-03-26

නිලන්ත පියසිරි විසින් 12:20 පැයට
4

ලංකාවේ වර්ණබේදවාදය

"අප්පච්චී, අපේ පන්තියේ ඉන්නේ කළු ළමයි හතර දෙනයි. එක්කෙනෙක් තමයි මම" අපේ දුවනිය විසින් පසු ගිය දිනෙක මා හා කීවාය. "අනිත් ළමයි සේරම සුදුයි".  ඇය තව දුරටත් කියන්නීය. "එහෙනම් අප්පච්චිත් කළුයි නේ" මම කීවෙමි. "ඔව්, අප්පච්චියි, මම යි කළුයි, නංගියි, අම්මයි සුදුයි." ඇය සුරතල් වදන් දෙන්නීය. "නැහැ දුවනි, ඔයා කළු නැහැ, ඔයා තළෙළුයි, ඔයාට එහෙම කිව්වට තේරෙන්නේ නැති නම් හිතා ගන්න කෝ ඔයා රත්තරන් පාටයි, කළු කියන්නේ මෙන්න මේ පාටට නේ" කියමින් මම කළු පැහැති පැස්ටල් කූරක් පෙන්වූයෙමි. "අනිත් එක කළු පාට මිනිස්සු මේ ලෝකේ තව ඉන්නවා. කළු වුනත්, රත්තරන් වුනත්, සුදු වුනත් හැමෝම මිනිස්සු නේ, දුවනී" මම එසේ ඇයට කියූ මුත් එය ඇයට තේරුණා දැයි නොදනිමි. "එහෙනම් සුදු අය ලස්සනයි කියන්නේ?" ඇය අසන්නීය. "නැහැ, රත්තරන් පාට අය තමයි ලස්සන" මම කීවේමි. එවිට ඇය තම නංගීට තමා රත්තරන් පාට බව කියන්නීය. "අප්පච්චී, මටත් රත්තරන් පාට වෙන්න ඕනේ" එවිට නාසෙන් ඇඩිල්ල චූටි දුව ගේය.
ලංකාවේ ජාති බේද හෝ වර්ග බේද පැණයක් ඇතැයි ඇතැමෙක් කීවත් ඇත්තෙන්ම පවතින්නේ වර්ණ බේද ප්‍රශ්ණයකි. රූපවාහිනීයේ කල්ලන් සුදු කරන ආලේප ගැන දැන්වීම් කෙතරම් නම් වේද? එළෙස බැලූ කල එය ජාතික ප්‍රශ්ණයකි. ලංකාවේ සියළුම ගැහැණුන් ව සුදු කිරීමට වගකීම බාර ගෙන ඇත්තේ මේ රූපලාවන්‍ය සමාගම් බොහොමයකි. කළු වෙන්නේ ඔය මෙලනින් වර්ණකය නිසා යැයි කියති. ග්‍රීක බසින් මෙලනින් යනු කළු පැහැයට නමක් බව මම අසා ඇත්තෙමි. එසේම සෑම සතෙකු ගේම පාහේ පවතින මේ වර්ණකය මකුළුවන් ගේ සොයා ගෙන නොමැති බවද කියැවේ. සුදු කරන ආලේපන වලින් කැරෙනුයේ සමේ ඇති මෙලනින් වර්ණකය ඉවතලෑම බව කියැවේ.
කෙසේ වෙතත්, සුදු වීම හා සුදු ඕනෑ වීම, සමාජය උදෙසා නිමැවූ හීනමානයක් බව මට සිතේ. එය සිංහල කතා කරන විට ලොකු කම පෙන්වීමට ඉංගිරිසි වදන් මැදට එබීමක් මෙන්ම වෙයි. එහෙත් අද සමාජයේ මේ ඊනියා සුද, ලස්සන මනින සාධකයක් නොවී ඇතැයි කිසිවෙකුට කිව හැකිද? කළු පිළිගැනීමේ නිළධාරිනියන් සිටින්නේ කීයෙන් කී දෙනාද? කළු නිළියන් ගණන් කොට කිව හැකිද? ගැහැණු පමණක් නොව සුදු වීමට දඟලන පිරිමින් නම් සමාජයේ කෙතරම් වෙතිද? මහා කළු සිංහලයා කීම අදට ප්‍රශංසාවක් ද? නින්දාවක් ද?   

2012-03-23

නිලන්ත පියසිරි විසින් 00:14 පැයට
3

ඇමරිකානු, ඉන්දියානු සන්නාම වැරුම

දෙස්පලු විවරණයක් කැරුමට උත්සහයක් නොවේ. ඒත් මේ එක්සත් ජාතීන් ගේ මානව අයිතීන් ගැන සම්මේලනයේ දී අපේ රට ලැබූ පරාජය ගැන නම් ඇත්තේ හරිම දුකකි. එසේ නම් මෙයට පිළිතුර අපට විරුද්ධව කැමැත්ත දුන් රටවල් හී නිපැයුම් මිළට නො ගෙන වර්ජනය කැරුමද? එසේ නොමැති නම් "ලොවැ බලවත් ම ජාතින් නම් නුඹලා ය, එහෙයින් අපි තොප ගේ දනින් වැටී තොප කියන්නක් ම කරමු" කීම ද? විටෙක මේ අපි බොලොග් ලියන මේ අඩවිය ඇතුළුව ජී-මේල්, ගූගල් වර්ජනය කරමු යැයි කතා පැතිර ගිය බව ද අපි දනිමු.  එවැනි ක්‍රියාවක් නැවත කැලෑ වැදීමක් නැති නම් ගල් යුගයකට යාමක් බව බොහෝ අයෙක් කියත්. ගූගල් වැනි සෙවුම් යතුරක් අත හැර දැමීම මරි මෝඩ කමක් බව නොකිව මනාය. ගූගල් වැනි සෙවුම් යතුරු මුදල් උපයනුයේ දැන්වීම් වලිනි. එසේම අප සොයන දෙයක් ගූගල් හී සෙවූ කල ලෙහෙසියන් ම සොයා ගත හැක. මෙය දෙගොල්ලන් ටම වාසිදායකය. ගූගල් ගේ දැන්වීම් වලින් අපට පලක් නැත. එබැවින් මා නම් සිතනුයේ ඔවුන ගේ සේවාවන් අපේ කිසිදු ලක් වැසියෙකු මුදල් නො ගෙවා භාවිතා කරන්නේ නම් එයින් ඔවුනට කෙලින්ම ලැබෙන වාසියක් නැත.
අමරිකානු සන්නාම හෝ ඉන්දියානු සන්නාම ඇත්තෙන් ම අතහැරිය යුතුව ඇත. එහෙත් අමරිකාව හා වෙලදාමේ දී වෙළඳ වාසිය ඇත්තෙන් ම ඇත්තේ ලංකාවට විය යුතුය. මා එය නිවැරදිව නොදනී. නමුත් ඉන්දියානූ බඩු හා සේවා වෙළඳ පොලේ නම් නියතයෙන් ම වාසිය ලබනු යේ ඉන්දියාව විය යුතුය. ඇහි පිය ගැසීමක දී පවා පාරකදී නොපෙනී යන ඉන්දියානූ යාන වාහන කෙතරම් ද? කාබන් පෑනේ සිට යතුරු පැදිය, තෙසක රිය සහ මෝටර් රථය දක්වා. කෙතරම් නම් ඉන්දියානු බඩු වෙළඳපොලක් ලංකාවේ සකස් වී තිබේද?
එසේ නම් නියම රිදැවීම ඇමරිකානු සන්නාම වැරුම නොව ඉන්දියානු සන්නාම වැරුමයි. පළමු කොට සතුරා ගේ දුබල මිතුරාට පහර ගැසිය යුතුය. එහෙත් එය කළ හැකිදැයි සැක සහිතය. සියළු ඉන්දියානු දේ භාවිතා කරනුයේ රටේ දුප්පත් ම ජනතාවයි. ඒ මිනිස්සුන් ගේ උපකරණ/වාහන වලට අමතර කොටස් නො ගෙන්වූ යේ නම් දුක් විදිනුයේ ඔවුන් ම නොවෙත් ද?
කවුරුන් කෙසේ කීවත් "සිය රට දේ, සිරි සැප දේ" යන්න රිද්මානුකූල වදනක් ම පමණක් වී ඇත. අප ජාතිය තරම් පිට රට දේ අප රට දේ කර ගැනුමට හපනුන් ලොව කිනම් රටකවත් නොමැති විය යුතුය. අපේ රටට සැන්ඩ්විච් හදා ගෙන කන්න ගෙනා පාන්, හොඳි සමඟ අපි කන්නෙමු. සුද්දා අල පොඩි කර කන කළ අපි ඉන් අල හොඳි හෝ අල තෙල් දමා කන්නෙමු. අමරිකානු, ඉන්දියානු පමණක් නොව ලොව ඕනෑම රටක නිමැයුමක් අප රටට, අපට ගැලැපෙන සේ සකස් කර ගන්න හපන් මිනිසුන් වන අප උන් මත නො යැපිය යුතු නො වන්නේද?

2012-03-19

නිලන්ත පියසිරි විසින් 22:58 පැයට
1

හන්තාන ලිනුක්ස් සමඟ රට සුවඳ කරමු.

මගේ දුවණිය පාසල් යැව්වේ පහු ගිය දුරුත්තේ. හැම දෙමාපියෙක් ම හිතන්නේ තමන් ගේ දරුවා ඉතා දක්ෂ බවය. ඔවුන් මහ මෙරක් බරට සිහින ද දරුවා සමඟ ගොඩ නඟයි. ඉපැදුන දා සිට ලක් දිව ඇති සෑම දෙයකට ම පන්ති යවන්නේ එබැවින්ය. මේ දහසකුත් පන්ති අතර පිරිගණන හෙවත් පරිඝණක හා ඉංගිරිසි පන්ති බෙහෙවින් පතලව ඇත. මේ කියවන ඔබ වුවද ඔබේ දරුවා පිරිඟණන හපනෙකු වනු දැක්මට කැමැති නොවන්නේ ද? මම නිවසේ ඇති පිරිඟණනයේ ෆෙඩෝරා මෙහෙයුම් සුසැටිය හෙවත් පද්ධතිය පමණක් ම පිහිටුවා ඇත්තෙමි. ඇය මේ වසරේ පාසලට ඇතුළු කළේ මුත් ෆෙඩෝරා භාවිතා කරමින් සුළු සුළු දේ කැරුමට ඇය ඉගෙන ගෙන ඇත්තිය. ලිනක්ස් යනු කුඩා ලමුන්ට ඉගෙනුමට ම සෑදූ මෙහෙයුම් සුසැටියක් දැයි විටෙක මට සිතේ. එහි ඇති GCompris, ChildPlay, Tux paint, Tux Maths, Tux Word game වැනි කුඩා ම ලදරුවන්ට වන මෘදුකාංග පමණක් නොව තරමක ලොකු දරුවන් ට වැදගත් වන Kalzium, Avgadro වැනි රසායන විද්‍යා මෘදුකාංග ද ෆෙඩෝරා මත පිහිටුවා ගත හැක. ඒ කෙසේ වෙතුදු මේ ලිපියේ එක් අරමුණක් වූයේ ඒ සඳහා අපේම ලාංකේය ලිනුක්ස් බෙදාහැරීමක් ජනප්‍රියව ඇති බව කීමයි. එය නමින් හන්තාන ලිනුක්ස් වෙයි. එය ඔබට නොමිලේ hanthana.org අඩවියෙන් ලබා ගත හැක.
දෙවැනි අරමුණ ඊටත් වඩා පින්වන්තයි. මගේ දරුවා ඔබේ දරුවා මෙන් නොව ගෙදරට පිරිඟණනයක් ගෙන යා නො හැකි මුත් අපේ දරුවන් ගැන මෙන්ම සිහින ගොඩ නඟන දෙමාපියන් මේ ලක් දෙරණ මත කෙතරම් වේද? ඔවුන් ගේ ගෙදරට පිරිඟණනයක් සැපැයීම කෙසේ වෙතුඳු ඔවුන් ගේ දරුවා ගේ පාසලට එක තොරතුරු ශිල්ප මෙවලමක් දිය හැකි නම් ඔබේ දරුවා ගැන ඔබ සතුටු වනවා මෙන්ම ඒ දෙමාපියන් කෙතරම් සතුටු වෙයිද? දහස් ගණන් මුදල් දී ළමා නිවාසෙට දන් දෙන අපේ සහෝදර සහෝදරියන් රුපියල් දෙදහසට හෝ පරණ පිරිඟණනය යමෙකුට විකුණුමට යත්න දරති. එහෙත් පිරිඟණන පූජාවක් කළ හැකි නම්? පින යනු පිනා යාම යැයි කියත්. ඔබේ සිතත් පිනා යන්න දහසක් දරුවන් ගේ සිත් පිනා යනු පිනිසත්, දහසකුත් දෙමාපියන් ගේ සිත් පිනවනු පිනිසත් ක්‍රියා කාරිත්වයේ පවතින ඔබ ගේ පැරණි පිරිඟනනය පූජා කළ හැකිනම්, ලක් දිව දහසකුත් නිවෙස් වලින් ලාංකේය තොරතුරු ශිල්පයක පහන් වැටි දැල් වූ වා වැනි වෙනු ඇත. මෙන්න ඒ සඳහා ඔබලා ට මඟ......http://school.hanthana.org

2010-11-30

නිලන්ත පියසිරි විසින් 14:41 පැයට
3

වටුවට කොටන කාක්කෝ

අද උදේ කාර්‍යාලයට එන මඟ, වැටී සිටියේ වටුවෙකි. කාක්කන් වට කරගෙන කොටති, තවත් සමහර කාක්කන් හොඳ ආහාර වේලක් බුදීමට වටේ සිට ලක ලැහැස්ති වෙති. අසරණව වැටී දිව බේරාගැන්මට වලිකන වටුවා ගැන දුක සිතුනේ මට පමණක් නොවේ. පාරේ ගිය කිහිප දෙනෙක් කාක්කන් එළැවීමට වෙහෙස වෙති. වටුවා හැකි පමණ දුරක් ඉගිලී ගොස්, පඳුරක් අස්සට වැද ගත්තේය. කාක්කෝ ද ඒකා පිටු පස පියඹා ගිය අතර, ඉන් පසු ඌ පසු පස ගොස් වටුවා ව ආරක්‍ෂා කිරීමට තරම් මට වෙලාවක් ද නොවීය. ඌ හට කුමක් වූවා ද යන්න ඌ බේරාගන්නට වෙහෙස වූ අනෙක් අයද නොසොයා ගිය බව මම දුටිමි.

ඇත්තෙන් ම කාක්කන් අතර අසරණව දිවි ගළවා ගන්නට වෙහෙස වෙන  වටුවා ගැන දුක සිතන මිනිස් අපි දිනක බොජුන් සඳහා කුකුළන් කී දෙනෙකුම මෙසේ මරනවා ඇතිද? දිව ගලවා ගන්නට දඟලන වටුවා වෙනුවට කුකුළෙකු ආදේශ කරන්න, කපුටු රැළ වෙනුවට මිනිස් රැළක් ආදේශ කරන්න. ඇයි අපිට අර වටුවා ගැන හිතෙන දුක, කුකුළා ගැන හිතන්නේ නැත්තේ. ඒ අපි නොදකින නිසා නේද? කපුටා ගැන නරකක් සිතා වැඩක් නැතැයි, මට සිතුනි. අපිත් ඒ කපුටන් හා සමව වට වී වටුවට කොටමු.

2010-11-24

නිලන්ත පියසිරි විසින් 11:10 පැයට
3

අපේ මොළයේ පේශි ශක්තිමත් කරමු.

අපේ ශරීර යේ මෙන් ම, අපේ මොළයේ ඇති පේශින් ද ශක්තිමත් කළ හැකි බව කියැවෙන ඊ-ලිපියක් මට ලැබුනි. එහි වු කරුණු සැකැවින් ඔබ ගේ ද මගේ ද ඉදිරි ප්‍රයෝජන සඳහා ලියා තබමි.

දිගු හුස්මක් ගන්න. අප සිතා මතා නොවුව ද අපේ හුස්ම ගැනීම සිදු වේ. එසේ ම අවැසි නම් අපට සිතා මතා හුස්ම ගත හැක. ඔබ ගේ කායික සුවතාවයේ වැඩි දියුණුව සඳහා මෙන්ම මානසික සුවතාවය සඳහා හොඳ ගැඹුරු හුස්ම ගැනීමට පුරුඳු වන්න.

හොඳ කතාවක් කියන්න.  ඔබ ගේ අත්දැකීම් සිත්ගන්නා සුළු සහ විනෝදාත්මක ලෙස කීමට පුරුදු වන්න. එය ඔබ ස්මරණ ශක්තිය මුවහත් කරණු ලබයි.

දින චරියාව කලතන්න. වැඩපලට යන මාර්ගය වෙනස් කරන්න. වෙනදාට වාඩි ගන්නා විදිහට වෙනස් ලෙස වාඩි ගන්න.  ඒකාකාරීව දිනපතා කරන දේ නිරන්තරයෙන් වෙනස් කරන්න. මෙය විසින් ඔබ ගේ මොළයට අවදිව, අවධානයෙන් සිටීන ලෙස පණිවිඩ යැවෙනු ලබයි.

ලියන්න. කෙටි සටහන්,  කවි, කතන්දර එසේත් නැතිනම් දිනපොතක් හෝ ලියන්න. එය ඔබගේ සිතීම නිරවුල් කරනු ලබනවාක් මෙන්ම නිර්මාණශීලීත්වය ඔප දමයි. එසේම කේන්තිය දුරලන්න පවා ලියන්න. කෙනෙකුට බණින්න එපා, එය ලියන්න. (මතක ඇතිව බැණපු කෙනාට හසුවීමට පෙර එය විනාශ කර දමන්න) 

සිනහසෙන්න. සිනහසීමෙන් සිරුරට නිකුත් වන එන්ඩ්‍රොපින් ඔබ ගේ ආතතය දුරලා දිගු කාලයක් මොළය සුවෙන් තබනු ලබයි. එබැවින් විහිළු බයිස්කෝපයක් වත් බලා සිනහ සෙන්න. (අවැසි නම් බයිස්කෝප් විබ පල වෙත යන්න.)

හොඳ ඉරියව්වකින් හිඳින්න. ඔබ ගේ ලියන මේසයේ උරහිස් කඩාගෙන, මුහුණ එල්ලා ගෙන වැඩ කරන්න එපා. පුටුවේ නියමාකාරයෙන් හිඳ ගන්න. උරහිස් කෙළින් කර වැඩ කිරීමට පටන් ගන්න. හොඳ ඉරියව් ශරීරයේ ලේ ගමනාගමනය ලෙහෙසි කරයි, මොළයට හොඳින් රුධිරය සැපයෙයි. එමඟින් මානසික නිරවුල්තාවයත් මතක ශක්තියත් ඉහළ යයි.

අපේ මොළය සෑදී ඇත්තේ අපව සතුටින් තැබීමට නොවේ. මෙය ඇසූ මම ත් කළබලයට පත් වීමි. නමුත් කියන විදිහට නම් අපේ මොළයේ මූලික වගකීම ලෙස එය දන්නේ අපව ජීවත් කරවීම පමණි. එබැවින් මොළය නිරන්තරයෙන්ම, අනතුරු සහ පහරදීම් ගැන අවධානය යොමු කරගෙන සිටී. අප ගේ මොළය සෑදී ඇත්තේ නිශේධාත්මක දේ ගැන සොයාබලමින් පැවතීම ට ම වේ.

පැණය ඇත්තේ අපට ආදරය, සමෘද්ධිය සහ සතුට අවැසි නම්, ඒවා පිහිටන්නේ සරලවම සුරක්ෂිතතාවයෙන් එපිටය.  අප ගේ මොළය මෙහෙයුවේ නොමැති නම් එය නිරන්තරයෙන් සෘණාත්මක සිතුවිලි දවස පුරාම, ජීවිතය පුරාම උපද්දවමින් පවතී. තුන් තේරවිල්ල නම් - අප හිතන දේ, සිදුවන දේ වෙයි. අප ගේ අවධානය යොමු වුවහොත්, ශක්තිය ගලායයි, එය අපේ ජීවිතය එදෙසට ගෙන යයි. 

අපට උසස් වීමට අවැසි නම් අපට උසස් වීම ගැන සිත යොමු කරන්නට වෙයි. අපට තත්වය වෙනස් කළ යුතු නම් කුමක් ද හරි සහ වැරදි යන්නෙන් කුමක් නිවැරදි ද යන්නට වඩාත් සිත යොමු කිරීමට සිදු වේවි. එවිට ඒ දෙසට අප ගේ ජවය යොමු වේවි.

2010-09-21

නිලන්ත පියසිරි විසින් 16:05 පැයට
2

ජැක් ජැක් ප්‍රෝවස්ට්

අපේ දුවනි ගේ ළදරු පාසලේ වසර අවසාන උත්සවයට මේ දින වල දරු දැරියන් පුහුණුව ලබන්නෝය. දුවනිය මේ දිනවල රැගුමක් පා අමුතුම කවියක් කියන්නීය. එය මෙසේ වේ. 

"ජැක් ජැක් ප්‍රෝවස්ට්... ජැක් ජැක් ප්‍රෝවස්ට්". 

"මොකක්ද දුවනි ඔය සින්දුව" සොඳුරිය අසන්නීය.

"මේක අම්මා මට තියෙන නැටුම" ඇය සුරතල් වදන් දෙන්නීය.

"මොකක්ද ඔය බාසාව, ඔයාවත් දන්නවද මොකක්ද මේ කියන්නේ කියලා" සොඳුරිය මගෙන් අසන්නීය. 

මමත් එය නො දන්නනා බැවින් විපිලිසරව බලා හිදිමි. මොකක්ද මේ "ජැක්, ජැක් ප්‍රෝවස්ට්"

දැන් දවස් කිහිපයක් ඔය නාටකය ඔහොම ගියා කියමුකෝ. ඊයේ දුවනි අළුත් ඉල්ලීමක් කළාය. 

"අප්පච්චි මට මේ නැටුමට පොල්පිති හරකෙක් හදලා ඕනේ". 

දැන් ඉතිං හොයපල්ලාකෝ පොල්පිත්තක්. මතක නොවැ අර පොල්ලෙල්ලක් හොයන්න කාපු වහක්. නමුත් ඒක නොවේ වැඩේ. දැන් මේ පොල්පිති හරකෙක් අරගෙන නටන නැටුම මොකක්ද ජැක්, ජැක් ප්‍රෝවස්ට් කියලා. බැලින්නම් ඒ කවිය එහෙම නෙමේ එන්නේ. "ජඃ, ජඃ, හෝව් වස්සා" කියලයි ඒක කියවෙන්නේ. ඉතිං, වස්සන් ව ජඃ, කියලා එළවන, හෝව් කියලා නවත්තන අයුරු කවදාවත් දැක නැහැ දුවනි. ඔහොම වැකියක් කීම සිනහවට කරුණකුත් නොවේ නොවෙදැයි මට සිතුනි.

2010-09-07

නිලන්ත පියසිරි විසින් 23:06 පැයට
1

පරිබවයට පුරුදු වීම

පරිබව කොට බැණීමට ද පුරුද්දක් තිබිය යුතුය. "බය වෙන්න දෙයක් නැහැ, මොනවා උනත් ඔය මනුස්සයා බණින්නේ නැහැ" ඒ රාජකාරියේ දී බොහෝ දෙනා මා ගැන සිතා සිටින අයුරුය. මා යහළුවන්ට "මම මිනිහාට හොඳට බැන්නා" කීවද ඔවුන් කියනුයේ "අනේ මේ අපි දන්නවා නේ ඔයා ගේ බැණුම" කියා එයද පහත් කරති. ඇත්තටම යමෙකුට දොස් නැඟුමට වුවද, එය පුරුද්දක් ව පැවතිය යුතුය. හොඳින් පහත් වදන්, කුණු හරුප ආදිය ගැලැපී වැකි තැනී මුවඟට ආ යුතු වේ. කල්පනා කොට බැණිය නොහැක. බස්පලුවෝ මෙන්ම රියැදුරෝ ද මේ බිණුමෙහි කෙළ පැමිණියෝ වෙත්. එහෙත් යමෙකුට දොස් නැඟුමට පෙර තව තත්පර ගණනක් ඉවසුවේ නම් කිසිවෙකු ගේ සිතක් නොතැවෙනු ඇත. එසේම අහේතුකව හෝ සහේතුකව කෙතරම් රොස් පරොස් වදන් සහිත බැණුම් වලට අපි සාමාන්‍ය ජීවිතයේ මුහුණ දෙමු ද? සමහරු කියන්නේ "ඉතිං, බැණුම් අහන එක අපේ රැකියාව නොවැ" කියාය. කෙතරම් අපි සිත දුකට පත් කරගන්නෙමු ද? පසු තැවෙමුද? එහෙත් ව්‍යාසකාරයේ මේ ශ්ළෝකය නම් එසේ නොතැවී සිටීම ගැනය.

3. සාධොඃ ඵරුෂවාක්‍යෛශ්ච න මනො යාති වික්‍රියාම්,
    නහි තාපයිතුං ශක්‍යං සාගරා ම්හස්තෘණෙල්කයා.

ඵරුෂවාක්‍යෛශ්ච, ක්‍රෑර වූ බසින් (කෙවුනාවූද); සාධොඃ, සත් පුරුෂයා ගේ; මනඃ, සිත; වික්‍රියාම්, විකාරයට හෙවත් වෙනසකට; න යාති, නොපැමිණෙන්නේය; කෙසේද යත්? සාගරමහඃ, සමුද්‍රජලය; තෘණෙල්කයා, තණ සුලකින්; තාපයිතුම්, තවන්නට හෙවත් හුණු කරන්නට; නශක්‍යම්, නොපිළිවනි; එ එසේමැයි.

බොහෝ වූ ලවන ජලය තණ සුලකින් හුණුකොට ගත නොහැක්කා සේ, මුඛයෙන් ක්‍රෑරවූ බස්බිනුම් අසන්නා වූ සත් පුරුෂයා ගේ චිත්ත ස්වභාවය විකාරයට පමුණුවාගත නොහැක්කේ යයි යනු අභිප්‍රායයි.

2010-09-06

නිලන්ත පියසිරි විසින් 23:27 පැයට
1

විවාහය ගණුදෙණුවක් වන කල් හී ආදරය

බොහෝ දෙමව්පියන් තම දූ දරුවන් ගේ ආදර මුල් ආදර සම්බන්ධතා දෙස බලන්නේ ඔවුන් ජීවිතයේ ගත කොට ඇති කාලයත් සමඟ සංසන්දනාත්මකව විය හැක. ඔවුන ගේ මානයන් ආදරයේ මානයන් නොවන්නේ මය. ඒවා සමාජිය මානයන් ම වේ. ගෙවල් දොරවල්, මුදල් හදල්, යාන වාහන, වතු පිටි, වැඩ පොල ආදී යුගල පද රැසක් මේ මිනුම් දඩු අතර වුව ද තම දරුවාට මේ සහකරු/සහකාරිය කෙතරම් ආදරේ ද යන්න කොතැනකදී වත් නොසැලකේ.

එහෙත් මෙකල බොහෝ දෙනා විවාහ වනුයේ ඉතාම යොවුන් වයසින් ම නොවේ. ඔවුන් විවාහය පතනුයේ යොවුන් විය ඉක්ම වීමට ඇති අල්ල පනල්ලේ වෙති. මෙහිදී මොවුන් ගේ විවාහයේ මාන වෙනස් ව ක්‍රියා කරයි. පිරිමි ඔවුන් ගේ ජීවිත කඩ ඉම් පැනීමට බිරිඳක් සොයති. දෑවැද්දට ඉහත කී යුගල පද රැසම සොයති. විවාහයේ මූලික උවමනාව කුමක් විය හැකිද? මා නම් සිතන්නෙ ආදරය ලබාදීම හා ආදරය ලැබීම ලිංගිකත්වය හා මුසුව පැවතීම බවයි. එසේ වූ විට ගැහැණියක ගේ රූ සපුව දෙස බොහෝ දෙනෙක් සිත යොමු කරනවාක් මෙන්ම ඇය ගේ ආදරණීය ගති ගුණ දෙසත් සිත යොමු වෙයි. එහෙත් ආදරය ගණුදෙණුවක් ලෙස බලන මෙකල බොහෝ දෙනා ඒ මූලික ගති පසෙක ලන බව හැගේ. සත්ව ලෝකයේ පැවත් ම උදෙසා ගැහැණුන් සහ පිරිමින් එකතු වුවද, තෘප්තිය උදෙසා එසේ බැදෙන්නේ මිනිසා සහ ඩොල්ෆින් පමණක් බව මා කිසියම් තැනක කියැවූ බව මතකය. ගැහැණික ගේ රූ සපුව යනු ඇය දරුවෙකු දැරීමට ඉතාමත් යෝග්‍ය බව පිරිමින්ට පෙන්වන විදිහක් බව මහැඳුරු කාලෝ ෆොන්සේකා විටෙක කීවේය. එළෙසම නිරෝගිමත් පිරිමින් උදෙසා ගැහැණු සිත ඇඳී යාමත් ස්වභාවයේ ම කොටසක් බව ඔහු එහි දී පැවසීය. 

එහෙත් අද ආදරයට පමණකුඳු නොව ඒ සොබා පැවත්මට ද මේ විවාහ ගණු දෙනුව පහර දෙන බව හැඟේ. "අයියේ මට, දෑවැද්ද මෙච්චරක් තියෙනවා, මගේ රැකියාව මේකයි. පුළුවන් නම් හොඳ කෙනෙකු හොයලා දෙන්න" කියා එක් නැඟණියක් මගේ යහළුවෙකුට පැවසූ බව ඔහු රාජකාරීයේ දී මට පැවසීය. මේ සියල්ල මට සිතුනේ ඒ එක් වැකියක් නිසාවෙනි. ඇත්තටම ගැහැණු සොයන්නේ ජීවත් වීමට මාර්ගයක් ද නැතිනම් ආදරය ද? එළෙස තමා ගේ පැවත්මට විවාහ වෙන ගැහැණු අර තිස්ස ගේ ආදර වැකිය සංතෘප්ත කරයි ද?

2010-09-02

නිලන්ත පියසිරි විසින් 22:48 පැයට
1

අනුන් වගේ

"ඇල්බට් අයිස්ටයින්ට් වගේ වෙන්න, නැතිනම් එහා ගෙදර හොඳට පාඩම් කරන ළමයා වගේ වෙන්න, අරයා වගේ වෙන්න, මෙයා වගේ වෙන්න......" ආදී වශයෙන් වන වචන මාළාව ලෝකයේ ආරම්භයේ පටන් දෙමව්පියන් විසින් ළමුන් සඳහා කියූ දෙයක් විය හැක. අන්තිමට මිනිස්සූ අනිත් මිනිසා කරන කියන දේ බලමින් ජීවත් වෙන රූකඩ වී ඇති බවක් හැඟේ. එහා ගෙදර මනුස්සයා වාහනයක් ගත්තොත් මේ ගෙදර මිනිස්සුන්ටත් එය අවැසි වෙයි. යමෙක් ඇඳගෙන යන වස්තරයක් දුටුවොත් තමාටත් එවැන්නක් ගතහොත් හොඳයැයි සිතේ. දුම් බොන (අ)මනුස්සයා දුටු කල මටත් එසේ කළ නොහැකිදැයි උත්සහ කොට ජීවිතාන්තය දක්වා අමාරුවේ වැටේ. ඇත්තටම මිනිහෙකුට තමුන් ම පමණක් විය වී ජීවත් විය හැකිද? මේ ගැන සිතුනේ ව්‍යාසකාරය හි වූ මේ ශ්ළෝකය නිසාය.

2. එතාවජ්ජනම්සාඵල්‍යං යදනායත්ත වෘත්තිතා,
යෙ පරාධීන ජන්මානස් තෙ චෙජ්ජිවන්තිකෙ මෘතඃ

අනායත්ත වෘත්තිතා, අනුන් අයිති පැවතුම් නැති බවය යන; යත්, යමක් ඇද්ද; එතාවත්, මෙපමණෙක් ම; ජන්මසාඵල්‍යම්, උපන් ජන්මයෙහි ප්‍රයෝජන නම් වන්නේය; යෙ, යම් සත්ව කෙනෙක්; පරාධීන ජන්මානඃ අනුන් අයිති වූ පැවතුම් ඇත්තාහුද, තෙ, එ සත්වයෝ; ජිවන්ති, වෙත්; ඉඳින්, ජිවත් වන්නාහු නම්, මෘතඃ, මළහු; කෙ, කවරහු වෙද්ද. 

2010-09-01

නිලන්ත පියසිරි විසින් 00:11 පැයට
1

ව්‍යාසකාරය

පොත් පත් ටිකක් එහා මෙහා කරමින් සිටියදී, අපේ අත්තා ගේ පරණ පොතක් මතු වුනා. එහි නම "ව්‍යාසකාරය". බොහෝම පුරාණ පෙනුමක් තිබුණු පොතක්. කොළ දිය වෙලා යන්න ලඟ බවකුත් පෙනුනා. හැබැයි තියෙන්නේ "සංස්කෘත ශ්ළෝක". සිංහළෙන් සරල හැදින්වීමක් කරලත් තියෙනවා. නමුත් ඒක එච්චරම තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඔය ඉස්සර කාලේ වචන හොඳින් උච්ඡාරණය වෙන්න කියලා කියවන්න දෙන පොතක් කියනව නොවැ ඕකත්. 

"සකස්කඩ නොකිවූ කට උගේ කට හුඹස් කට"

කියලා කියමනකුත් තියෙනවා. හැබැයි එහෙම නම් මගේ කට පමණක් නොවේ ලංකාවේ බොහෝ දෙනෙකුට තියෙන්නේ දැන් හුඹස් කටවල්, එහෙම නොවෙද? එහෙම කියවලා උච්ඡාරණය සකස් කරගන්න, නිදැසි ලෙස, "සකස්කඩ, බුද්ධ ගඡ්ජය, ප්‍රත්‍ය ශතකය, නාමත්‍ර ශතකය, හිතෝපදේශය...." ආදි වශයෙන් ලැයිස්තුවක් කියැවෙනවා කියල යන්තම් මතකයේ තියෙනවා. 
හැබැයි, මේ ශ්ළෝක කියවන්න නම් එක පාරට මොන ජගතෙකුටවත් බැරිව ඇති. හැබැයි, අර කීවත් වගේ මේ ශ්ළෝක කියෙව්වොත් උච්ඡාරණය කරන්න බැරි වදනකුත් ආයෙත් නම් නැහැ.

 කොහොම වෙතත්, මේ පොතත් දිය වෙලා යන්න වගේ නිසා මට හිතුනා පොත තියෙන විදිහටම, ඉඩ කඩ ලැබෙන විදිහට ශ්ළෝකය බැගින් මගේ දින සටහන් වලට එකතු කරන්න. පස්සේ බැරියැ ඕනෑ නම් එකට එකතු කරලා කවුරුන්ට නමුත් ප්‍රයෝජනයකට ගන්නත්. අනිත් එක මේකෙන් මේ සිංහල යුනිකේත වල හැකියාවත්, නොහැකියාව නොහොත් වැඩි දියුණු කළ යුතු දේත්  මැණෙනවා නොවැ. නිදසුනක් ලෙස ගතහොත්, පෙර අකුර පසු අකුරට බැදි පසු පෙර අකුර හල් වෙන මුත් එසේ බැඳි අකුරු භාවිතයට අපෙ යුනිකේත තවමත් උදව් නොකරයි. එසේම ඔය ඉස්සර හිටිය පඬියෝ වගේ අපේ අයටත් උදාහරණයකට සංස්කෘත ශ්ළෝකයක් දෙකක් තමන් ගේ කතාවල් මැද්දට දාගන්න ත් බැරියෑ නේද? 

ව්‍යාසකාරය
 නමශ්ශාක්‍යසිංහාය 
ශාක්‍යසිංහාය, සර්‍වඥරාජයාහට; නමඃ, නමස්කාරය;
අසතු වේවා;
1.   අඥානතිමිරාන්‍ධානං විභ්‍රාන්තානාං කෘද්‍රෂ්ටිහිඃ,
      ඥානාඤ්ජන ශලාකාභිර්‍වව්‍යාසෙනොනමිලිතං ජගත්

අඥාන, නුනුවණ නැමැති, තිමිර, අන්ධකාරයෙන්; අන්ධානාම්, කිසිවක් නොදැක්කහෙන්නාවූ; කෘද්‍රෂ්ටියෙන් හෙවත් ඇති සැටිය තබා වරදවා ගැන්මෙන්; විභ්‍රාන්තානම්, වේදෝ හෝ නොවේදෝහෝයි සැක ඇතිව මුළාව ඇවිදිනා සත්වයන්ට; ව්‍යාසෙන, ව්‍යාස නම් සෘෂින් විසින්; ජගත්, ලොව හෙවත් ලොකයෙහි කළමනා නොකළමනා කටයුතු; ඥානාඤ්ජන ශලාකාහිඃ, නුවණ නමැති බෙහෙත් අඳුන් ඉරටුයෙන්, උන්මිලිතං, ප්‍රකාශකොට දක්වන ලදි.

2010-08-22

නිලන්ත පියසිරි විසින් 02:28 පැයට
3

රෑ ගමනාගමනය

රාත්‍රියේ වීථි සැරීම පරිහානියට කරුණක් බව බුදු දහමේ පරිහානියට කරුණු දැක්වෙන සූත්‍රයක දැක්වේ. එසේ වුවත් රාජකාරිය අනුව නිවාඩු නැති බැවින් රෑ බෝ වී නමුත් බිරිඳ ගේ මුල් ගෙදරට යා යුතු වූ යේ එහි වූ පිං පැමිණ වීමේ දානය නිමාවෙන් පසු දියණියන් නැවත ගෙදර ගෙන ඒමේ උවමනාව නිසාය.  රාජකාරි නිමාවෙන් පසු පිටකොටුව බස් නැවතුමෙන් මාතලේ දක්වා යන කිසිඳු බසයක් නොවීය. නුවරට යා හැකි බසයන් ද සිදුරක් නැතුව පිරී තිබුණි. නඟරාන්තර කියන සෑම තැනම නවත්වන බසයක මැද අසුනක බොහෝ අමාරුවෙන් වාඩි වී දෙඟුණයක් මුදල් ගෙවා යන්තම් මහනුවරට එන විට වේලාව රාත්‍රී දහය පසුවී තිබුණි. බස් නැවතුම පුරවා බසයන් ගාල් කර තිබුනත් පොලිස් නිළධාරියෙක් කීවේ ඒවා ගමනේ යෙදෙනු යේ පෙරහැර අවසානයේ බවය. කෙසේ නමුදු විනාඩි 45 කින් පමණ මාතලේ දිවෙන බසයක් බස් ගාලට ආවෙන් මං ඇසල පෙළහරට පිං දෙමින් මාතලේට ආවේ රාත්‍රී 1210 පමණය. අහෝ මේ මාතලේ නඟරය ද?, කිසිඳු මිනිස් පුළුටක් හෝ කිසි තැනක නොමැත. තෙසක රියක පිහිටක් ලැබීමේ අටියෙන් පැමිණි මට මේ වූ යේ කුමක්ද? මා හටම හැර කිසිවෙකුට දොස් කිව නොහැක. යක්කු ගස් යන යාමේ, බසයක් තිබිය යුතු යැයි කියා දොස් නැඟීම අප යකෙකු කරනු ලබයි. තෙසක රිය පදවන්නෝ ද මිනිසුන් බැවින් රැයේ ඔවුන් නින්ද ලැබිය යුතුම වෙයි. කිසිවෙකුට දොස් නොකියා මම පයින් ම ගමන ඇරඹුවෙමි. විථි ලාම්පු නැති බැවින් බොහෝ විට පැමිණියේ ජංගම දුරකතනයේ පිහිටෙනි. කි.මි. 8 ක් පමණ පැය දෙකකින් පමණ ගෙවා දමා ගෙදරට ගොඩ වූයෙමි. මා එන තුර සොඳුරිය ඇහැර සිටි බව කේන්ති ගිය මුහුණෙන් පෙනුනි. එහෙත් මහන්සිය සහ අමාරුව, නිදා සිටි කුඩා දියණියන් දැක්මෙන්ම මිදී ගියේය.

"අප්පච්චි හොරෙන්ම ඇවිත් නිදා ගෙන නේද? මං දැක්කා" දියණිය උදයේ මා ඇහැරවිමින් කියන්නීය. 

"පයින්ම ඇවිත් කකුල් රිදෙනවාද?" අම්මා අසන්නීය.

මගේ සිත තුල ආදරය දෝරේ ගලා යයි. 

"නෑ මට ගානක් නැහැ" මම කීවෙමි.