2010-02-05

නිලන්ත පියසිරි විසින් 15:30 පැයට
0

නිදහස් ලංකාව කොයිබටද?

යටත් විජිත වාදීන් ලංකාව ඔවුනතට ගෙන කළේ කුමක්ද? අපට සෞභාග්‍ය උදා කරන්න වෙහෙසුනා ද? නැතිනම් උන්ට එය උදා කරගත්තාද? නිදහස් ලංකාවේ අපි දැන් කුමක් කරමුද? අපේ අරමුණ කුමක්ද? අපි සරම ඇදගෙන දිවීමේ තරඟයට සහභාගී සිටින්නෙමුද? කෝට් බෑය ලා ගෙන පෝරු මස්තකව සිටින්නෙමුද? ගෑරුප්පුවෙන් අටු කොස් ඇට කමින් සිටින්නෙමුද? කිසිවෙකුට කිසිදු දිසානතියක් නොපෙනේ. ලාංකික අප, සංවර්ධිත ලංකාව නැමැති එල්ලය මවා සිටින්නේ  කුමන හැඩ තල ඇතිවද? අපේ රටේ නිෂ්පාදනයන් හා සේවාවන් කෙරෙන්නේ කවුරුන් ගේ සුභ සිද්ධිය උදෙසාද? එකෙක් රට බටහිර ධනවාදය පැත්තට රට අදිත්, තවකෙක් බටහිර සමාජවාදය පැත්තට, සමහරෙක් හෙළ බොදු සංස්කෘතියක් පැත්තට අදින මුත් ලංකාව කොතනද? දෙස්පලුවෙක් වත්, විද්වතෙක් වත් අපේ එල්ලය මෙයයැයි නොකියත් නොවෙද?

2010-02-03

නිලන්ත පියසිරි විසින් 10:54 පැයට
1

බඩවැටිය හා මූකලාන

මේ වදන් ඇසූ සැනින් ඔබේ සිතට දැනෙනනේ කුමක්ද? සමහරෙක් මේවා මොනවාදැයි අසනු ඇත. එසේම මෙවදන් වලට නිශ්චිත තේරුමක් දීමට ද මට නම් නොතේරේ. මා සිතන්නේ මේ වදන් වින්දනයෙන් ම තේරුම් ගත යුතු බවයි. මම කුඩා කල සෑම පාසල් නිවාඩුවකට ම තාත්තා ගේ ගමේ ගියෙමි. කිරි අම්මා සහ අත්තා සමඟ ගෙවුනු ඒ දවස් කිහිපය තවමත් සිතෙන් මවා මහත් අශ්වාදයක් විදිමි. නිවාඩු කාලයේ ගමේ ගියද සෙල්ලම් කිරීමට තරම් කොලු කුරුට්ටන් වට පිටාවේ නොවීය. එබැවින් මම පරිසරය නිස්කලංකව රස වින්දෙමි. ඇල දෙසට නැවී තිබුණු කජු ගසේ අත්තක් උඩට වී කුරුළු කිචිබිචිය අස්සේ පොත් කියෙව්වෙමි. (කිරි අම්මලා ගේ දිහා කියවලා ඉවර කරන්න බැරි තරම් පොත් තිබුණි.) වෙල් යායෙන් හමා එන ඇල් වී සුවඳ මුසු වූ මද නල සමඟ පේර ගසක් උඩට වී පේර කෑවෙමි. කිරි අම්මා සමඟ "හොර මූකලානේ" දර ඇහිදීමට සහ ගොටුකොල කැඩීමට ගියෙමි. කුරුල්ලන ගේ නැටුම්, ඇලේ දණ්ඩි පැටව් නිසංසලව බැළුවෙමි. 
මේ සියල්ලම කියන්නට යෙදුනේ, ඊයේ රෑ දුවනිට පොතක් කියවද්දී බඩවැටියේ සිටි කුරුල්ලෙකු ගැන කියැවුනු බැවිනි. "අප්පච්චි, මොකක්ද බඩවැටිය කියන්නේ?" ඉතිං මම කෙසේ බඩවැටිය විස්තර කරන්නද?

2010-02-02

නිලන්ත පියසිරි විසින් 10:22 පැයට
2

මුද්දරය

අපේ අම්මලා (සොඳුරිය ගේ සහ මගේ) මේ මස දිනක දඹදිව චාරිකාවේ යෙදීමට යොදා ගෙන ඇත. එහි ගෙන යා යුතු බඩු මුට්ටු ලැයිස්තුවක් එම ආයතනය විසින් ලබා දුන් අතර එය සොඳුරි ගේ මවට යැවීමට ලියුම් කවරයක් සහ මුද්දරයක් රැගෙන එන මෙන් මා හට අණක් ලැබුණි. හැමෝම දැන් ඊ-ලිපි සහ වෙනත් සන්නිවේදන විධි භාවිතා කළාට ලඟකදී කාටවත් ලියුමක් යැව්වාද? 
මගේ අප්පොච්චියේ, මේ මුද්දරයක් හොයා ගන්න තියෙන අමාරුවක්. ඊයේ හැන්දෑවේ 5 පමණ පටන් 6 පමණ වනතෙක් පොත්සැල් වල සිට කුඩාම කඩ දක්වා සියල්ලේම සෙවූ මුත් මුද්දරයක් නම් සොයා ගත නො හැකි විය. අඩුම තරමේ බොරැල්ලේ ප්‍රධාන තැපැල් හලේ පවා මුද්දර නොමැත. ඔවුන් කියන්නේ තැපැල් කළ යුතු ලියුම ගෙන ආවොත් යම් යන්තරයකට දමා මුද්‍රාවක් තබා යැවිය හැකි බවය. කෙසේ වෙතත් අවසානයේ යාළුවෙකු ගේ පසුම්බියේ තිබී මුද්දරයක් සොයා ගත හැකි විය. ඉස්සර අප කුඩා කාලයේ මුද්දර එකතු කිරීම මහත් ජනප්‍රිය විනෝදාංශයක් ව තිබුණි. දැන් නම් එවැන්නක් ගැන අසන්නට වත් නොලැබෙන්නේ මුද්දර නැති නිසා විය යුතුයි. ඇත්තෙන්ම ලියුම් කවරයට කෙලින්ම මුද්‍රා තැබීම නිසා ඒ ලස්සන මුද්දර වියැකී යාම හිතට යම් දුකක් ඇති කරයි.

(මුද්දර රූප අනුග්‍රහය CEYLON STAMPS නැමැති විබ හරහා ලබා ගතිමි)

2010-02-01

නිලන්ත පියසිරි විසින් 10:35 පැයට
7

පිරිගණන සහ මැතිවරණ

දැන් පාරේ තොටේ හැමතැන ම අළුත් ම කතා බහ පිරිගණන යොදා සිදු වූ මැතිවරණ හොරකම ක් ගැනය. මැතිවරණ වලදී පිරිගණන යෙදවෙන්නේ කොහොමද? ඇත්තෙන් ම පසු ගිය ජනාධිපතිවරණයට, අපේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය (මැතිවරණ දෙපාර්තමේන්තුව) විසින් තැපැල් චන්ද තෝරන්නට එවන්නට යෙදුනු සංයුක්ත තැටිය දුටුවා ද? මා නම් සිතන්නේ එය "නිදහස් මුදුකාංග" (Open source software) සමඟ තරහා අය විසින් සාදන ලද්දක් ලෙසයි. මට  ජන්ද හිමි නාම ලේඛණයේ අදාල අංකය සොයා ගැන්මට  මගේ ලිනුක්ස් පෙට්ටියේ තිබුණු දන්න හැම දෙයක් ම කළෙමි. pdf ගොනු කේතාංකනය කොට (encrypt) තිබුණි. පසුව ජනෙල් පෙට්ටියක් සොයා ගෙන යන්තම් තැපැල් චන්ද අයදුම්පත පිරවූවෙමි. 
දැන් එතකොට මොකක්ද මේ කතාව. මේ කතාවේ උත්සහය තමයි තොරතුරු සහ සන්නිවේද සිල්පය නොදන්නා ලක්වැසියා අන්දමන්ද කිරීම. හොදයි, ඔබ කැමැති නැතිද චන්ද පොළට ගොස් ඇඟිලි සළකුන තබා තම කැමැත්ත පළ කරන්න? (ඇඟිලි නැති කෙනා ගැන පස්සේ හිතමු) මුළු ක්‍රමයම කාර්යක්‍ෂම කරන්න කැමැති නැතිද? අපේ රට ඒ වගේ තැනකට  ගෙනෙන්න  උවමනායි.  නමුත් දැන් මේ වගේ කතාවයක් පැතුරුනහම මොකද වෙන්නේ. තොරතුරු තාක්ෂණය (සිප්ලකුව) ගැන හැමෝම සැක හිතනවා, එමඟින් හොරකම් කරන්න පුළුවන් කියා සිතනවා.  කවදාවත් ම මේ තිබෙන අකාර්යක්‍ෂම ක්‍රියාවලිය බිඳ දමන්න බැරි වෙනවා. 
තොරතුරු තාක්‍ෂණය (සිප්ලකුව) කියන්නේ චන්ද නාමලේඛණ වෙනුවට සංයුක්ත තැටි යොදා ගැනීම නොවේ නේද? අපට මෙයට වඩා ඉදිරියට යා හැකියි. ඒත් මේ ගැන නොදන්නා යොදා නොගත් පිරිගණන තාක්ෂණයක් (සිප්ලකුවක්) ගැන කතා කිරීම හරහා මිනිසුන් මෝඩයාට ඇන්ද වීමට වඩා ඉදිරියට එන්න තිබෙන ක්‍රමයක් මොට කිරීමක් සිදු වුන බවයි මගේ අදහස.

2010-01-29

නිලන්ත පියසිරි විසින් 23:25 පැයට
2

විද්දේ ගොනාට වැදුනේ හාවට

පසු ගිය කාලයේ, එක්තරා අපේක්‍ෂකයෙකු ගේ ලිංගික ජීවිතය පවා තුරුදැලේ පටන් කුඩා පොත් පිංචවල් දක්වා පල කෙරුණි. සමහරෙක් එය මඩ යැයි කියන කල්හී, එය එසේ නොවන බව කී අය ද සිටියහ. ඇත්තෙන් ම මිනිසෙකු ගේ ලිංගික ජීවිතය සහ රුචි අරුචි කම් ඔහු ගේ දෙස්පලු කිරියාවට බලපානු ලබත් ද? නමුත් මගේ මේ සටහන ඒ පිළිබඳව නොවේ. එලෙස මෙම අපේක්‍ෂකයා ගේ ගැහැණු ලැයිස්තුව නම් ගම් පවා හෙලිකරමින් පරසිඳු විය. එහි නම් සඳහන් කිහිප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙනා අවිවාහක වෙත්. මෙලෙස නම් සඳහන් වුනු එක් කතක ගේ පුතු පාසල් යාම පිළිකෙව් කරයි. ඒ පාසලේ ළමුන් ගෙන් වන අවමාන නිසාය. අවමන් කිරීමට උත්සහ කළේ කා හටද, එහෙත් ජීවිත කාලයටම විදවන්නේ කවුරුද? 

2010-01-28

නිලන්ත පියසිරි විසින් 23:56 පැයට
4

අහෝ, මට අතුරුජාතිකයෙකු විය නොහැකි විය.

ජාතික බලවේග සහ විජාතික බලවේග ගැන නිතර කියැවේ. එහෙත් මේ දෙපැත්තට නොමැති කොටසක් ද වේ. එය අන්තර්ජාතික බලවේග හෙවත් අතුරුජාතික බලවේග ලෙස හැදින්විය හැක. විජාතික බලවේග සහ අතුරුජාතික බලවේග අතර ඇති වෙනස කිම? විජාතික බලවේග යනු අපේ රට ජාතියට අයත් නොවන අන් ජාතික බලවේගයි. අතුරුජාතික බලවේග යනු නාමිකව අපේ රට ජාතියට අයත් ව එහෙත් අන් ජාතිකයන් වන්න ට තැත් කරනවාක් මෙන්ම අනෙකුන්වත් එසේ කරන්නට තැත් කරන කොටසකි.
දැන් මොවුන් කියන්නේ අපේ මිනිස්සු ගේ තවමත් 12 වන සියවසෙහි වූ ජාන ඇති බැවින් මුන්ව ඉන් මුදවාලිය නොහැකි බවය. තවමත් ලාංකිකයන් සොයනුයේ වන්දිභට්ට කම් කිරීමට රජෙකුම බැවින් මොවුන් සිංහලෙන් ලියන විබ ද අතහැර දුවන්නෝය. ඔවුන ගේ අන්තර්ජාතික මොළය අනුව අපට ඡන්දයක් දෙන්න තවම තේරෙන්නේ නැත. ඔවුනට අනුව අපට අපේ හෙළ සාර ධර්ම තිබිය නොහැක, මක් නිසාද යත් එයින් අප ජාතිවාදීන් වන බැවිනි. අපට බුදු දහම පිළිපැදිය නොහැක, අප ආගම්වාදීන් වන බැවිනි. අප තර්කාන්විත බුද්ධියක් නැති බැවින් (උන් ගේ වචනය rational mind) ඉංගිරිසි කාරයෝ ඇවිත් මේ ඡන්ද ක්‍රමය නැවත අපෙන් උදුරාගෙන යා යුතුය. දියුණු, සංවර්ධිත, පළමුවෙනි ලෝකයේ සුද්දන් විදිහට කල්පනා නොකරන අපට අඩුම තරමේ තුරුදැළ (අන්තර්ජාලය) භාවිතා කිරීමත් තහනම් කළ යුතු වේ. මේ අන්තර්ජාතිකයන්ට අනුව අපව 12 වන සියවසට තල්ලු කර දමා බටහිර විදුවෙන් සොයා ගත් සියළු දේ අහිමි කළ යුතුය.
අපව අන්තර්ජාතික බණ කියා වෙනස් කරන්නට තැත් කොට දුවන අයටත් , තව දුරටත් උත්සහ ගන්නා අයටත් කිව යුතු දෙයක් තිබේ. නිපැයුම්, සොයාගැනීම්, ප්‍රමේයන්, මතවාද, කල්පිත සියල්ලේ අයිතිය තොප ගනුව මුත් එය අප භාවිතා කරන්නේ අපට ඕනෑ විදිහටයි. සුද්දෝ පාන් sandwich  හැදුවාට අපත් එයම කෑ යුතු නැහැ. අපට එය පරිප්පු හොද්දේ තවරාගෙන කන්න අයිතිය තිබේ. සුද්දෝ අර්තාපල් තම්බාල පොඩිකරලා කෑවට අප එලෙසම කෑ යුතු නැහැ. එය තෙල් දාල කන්න, මෙන්ම හොදි හදලා කන්න අපට අයිතියක් තිබේ. අපි තොපට පාන් පරිප්පුත් එක්ක පොඟවාගෙන කන්න නොකියන්නේ ත් ඒ නිසාමයි. එබැවින් ඡන්ද ක්‍රමය තොපේ වුවත් එය භාවිතා කොට අප බිහි කරන්නේ රජෙක්ද යකෙක් ද කියන එක තොපට වැදගත් නැත.    

2010-01-27

නිලන්ත පියසිරි විසින් 21:48 පැයට
2

පරාජය

අන්තිමට මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න" ලිපිය සැබෑ විය. නිර්පාක්‍ෂිකයෝ පරාජය පිළිගැනීමට අකැමැති වෙති. පැණය මෙයයි, මෙවර ඉදිරිපත් වූ නිර්පාක්‍ෂිකයෝ මෙන්ම පසුගිය මැතිවරණ වලදී පරාද වූ කිසිම පාක්‍ෂිකයෙකු "අපි පරාජය පිළිගනිමු"යි නොකීහ. මොවුහු කුඩා කාලයේ දී චක් ගුඩුවත් ගසා පරාද වී නොමැත්තෝය. එජාප යට ඉන්තේරුවෙන්ම ලක්ෂ 40 ක ජන්ද පදනමක් ඇතැයි කියති. ජවිපෙට අඩුම තරමේ ලක්ෂ 3 ක වත් පදනමක් ඇතැයි අනුමාන කළහොත් අනෙකුත් පක්ෂ අතහැර වුවද ලක්ෂ 43 ක් අපේ ගාර්දිහේවා උන්නැහේ ලබා ගත යුතුමය. එහෙත් මා දුටු අයුරින් එය ලක්ෂ 41 අතහැර නොගියේය. ජය කෙසේ වෙතත් අඩුම තරමේ ලක්ෂ 45ක් වත් නිර්පාක්ෂිකයෝ නොගත්තේ ඇයි?
Beyond Frame නම් බ්ලොග් අඩවිය කියන්නේ, "මේ රටේ ඉන්න වන්දිභට්ටයෝ නිසා මුන්ව හදන්න බැහැ ඒ නිසා මා මින් පසු නිහඩ වෙනවා" කියලයි. අර "සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects" අඩවියේ නම් කියන්නේ මෙරට සිටින නිවට ඡන්දදායකයා පිළිබඳව නොදැනීම ගැන ඔහු කණගාටු වෙන බවය. මේ දෙදෙනා ම කෙස් පැලෙන තර්ක හා විතර්ක ඉදිරිපත් කරමින් අපේ රටේ මිනිස්සු රජුන්ට වන්දිභට්ට කිරීමට උපන් අය නිසා මෙලෙස මහ රජා දිනෙව්වා වැනි යමක් කීමට උත්සහ කරනු පෙනේ. ඔවුන් ගේ ඇත්තේ අන්තර්ජාතික දැනුම නිසා ඒ පිළිබදව වදනක් දෙඩීම පවා ප්‍රයෛමේටාවන් ගේ සිට මහා පිපිරීම දක්වා වූ නොයෙකුත් න්‍යායන් සහ ප්‍රමේයයන් වලින් දමා ගැසීමට ඉඩ සැලසෙනවා ඇත. එහෙත් සාමාන්‍ය සමාජය ඇසුරු කොට දැනුමක් එකතු කොට ගෙන සිටින මට නම් හිතෙන්නේ මේ ඡන්ද හෝදාපාලුවට හේතු වූයේ කාන්තා ඡන්ද පදනම බවයි. පැයකින් අරූ හිරේ දානවා, අරූ, මූ, කලවැද්දා, පාහරයා, මනස නිරවුල් වෙන්න පොඩ්ඩක් මද්‍යසාරය ටිකක් ගන්න ඕනේ.... ආදී වශයෙන් වූ කතා පිරිමින් ගේ ප්‍රමෝදය ට හේතු වුවත් කාන්තාවන් එයින් සසල වෙන හැටි මම ගෙදර දොරදී පවා අත්දැක්කෙමි. ඇත්තෙන්ම ගාර්දිහේවා ලාල් ගේ පස්සේ ගිය බොහෝ අය වැපුරුවේ තරහව ම පමණයි. ජවිපේ වෙබ් අඩවියක් වූ (පසුව එජාප වූ) www.lankatruth.com හී වු අදහස් දැක්වීම් (comments) වල වූයේ නපුරම පමණකි. beyond frame කිසි දිනක විබ (web) හරහා සතුට බෙදා හැර නොමැත. එහි වූයේ කේන්තියෙන් දෙස් දෙවොල් තබන අනාත වූවෙකි. මම ජෙනරාල් ෆොන්සේකා ගේ පරාජයෙන් සතුටු නොවෙමි, මක් නිසාද යත් මහින්ද රාජපක්‍ෂ මෙන්ම රට අද ස්ථාවරයක වේද එතැනට ගෙන ඒමට ඔහු ද කැප වූයේය, ක්‍රියා කළේය. එහෙත් මම නපුර, තරහා, කේන්තිය, වෛරය පරාජය වීම ගැන ඉමහත් සේ සතුටුවෙමි.