2010-08-05

නිලන්ත පියසිරි විසින් 23:57 පැයට
1

අභිමතාර්ත රෝපණය හෙවත් goal implanting

මම සාමාන්‍යයෙන් උදේ හවස බසයේ යන කෙනෙකු බැවිනුත්, එහි යන කාලය අතර තුර බසයේ ඇසෙන නිරන්තර කන්දොස්කිරියාවෙන් මිදෙනු පිණිසත් මාගේ ජංගම දුරකතනයට කුමක් හෝ ශ්‍රව්‍ය පොතක් (audio book) දමා ගෙන එය අසමින් යන්නෙමි. ඒවා බොහෝ විට බාගන්නේ තුරුදැලින් ම තමයි. වෙසෙසින් ම ටොරන්ට් ආධාරයෙන්. පසු ගිය දිනක Demonoid හී තිබී "Become a Millionaire in 3 Years." නැමැති පොතක් එදින වූ මඳ seeds මැද වුව ද දවසින් වරුවක් පමණ ගත කොට බාගත කළෙමි. පසුව ජංගම දුරකතනයට ද එය දමා ගෙන බසය තුලදී ක්‍රියාත්මක කළෙමි. මඳ විස්තරයකින් පසුව, goal implant කිරීමට යැයි කියමින්, පසුබිමෙන් යැවෙන සිහින් සංගීත රාවය සමඟ "You are going to be a millionaire in 3 years.......You are going to be a millionaire in 3 years.......You are going to be a millionaire in 3 years.......You are going to be a millionaire in 3 years.......You are going to be a millionaire in 3 years.......ආදී වශයෙන් මගේ ගමන අවසන් වන තෙක්ම එකම දෙය නැවත නැවතත් කියැවිනි. මුදල් සෙවීමේ මාර්ග හෝ එයට කළ යුතු දේ ඇසීමට ගිය මට ඇසීමට වූ දේ ගැන මඳ සිනහද පහල විය.  අවුරුදු තුනකින් දස ලක්ෂපතියෙකු වීමට මෙය අවුරුදු තුනක් ම ඇසිය යුතු වේ යැයි මට සිතුනි.

2010-08-04

නිලන්ත පියසිරි විසින් 22:36 පැයට
1

HIV මඳුරුවන් ගෙන් බෝ වෙයි.

දැනට ටික කාලයකට පෙර මා අන්තර්ජාලයෙන් ම කියැවූ පුවතක වූයේ "අමරිකාවේ දකුණු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ HIV ආසාදිතයන් වැඩි වී ඇත්තේ මදුරුවන් මඟින් එය සම්ප්‍රේශණය වන බැවින්" බවයි. නමුත් එය එසේ නො වන බව පසුව නොයෙකුත් ආයතන මඟින් තහවුරු කරන ලදි. මේ දින වල මදුරුවන් නිසා සිදුවන ඩෙංගු මරණ ගණන දෙස බැළු කල, මට හිතුනේ "ඇත්තටම ඩෙංගු නොව HIV මදුරුවන් මඟින් බෝ වීමට හැකියාව තිබුනේ නම් කුමක් වේවිද?" කියායි. ඔබ හිතනවාද මීට වඩා මිනිසුන් මේ ගැන සැලකිලිමත් වේවි කියා? මගේ පිළිතුර නම් නැත යන්නයි. තමා ගේ නිවෙසින් පිටතට යෝගට් කෝප්පය, කිරි හට්ටිය, පොල් කට්ට හෝ සැමන් ටින් එක දැමූ පසු කරදරය නිමයි යැයි සිතන මිනිසුන් සිටින තෙක් ඩෙංගු හෝ HIV නොව ඊට වඩා වැඩි රෝගයක් වත් මේ මිනිසුන් ව බය නො කරනු ඇත.

2010-08-03

නිලන්ත පියසිරි විසින් 15:13 පැයට
2

දැන්වීම් සහ හොර ගෑනු

පසු ගිය දිනයන් හී දවටගහ හන්දිය (Townhall, Lipton වටරවුම) අසලින් ගියේ නම් එහි වූ දැන්වීම් සමූහය නො දකින්නට විදිහක් නොමැත. "DG ගෙදර පල!", DG ගේ හොර ගෑනී ලබුදූවේ ජානකී", ලබුදූවේ ජානකී ගේ හොර මිනිහා DG"  ආදී වශයෙන් කප්පරකට දැන්වීම් එහි වූයේ ය. මා හිතන්නේ දිනක ට වැඩිපුර ම  දැන්වීම් ඇලවෙන්නේ, පුරහල සහ දවටගහ හන්දිය අවටය. නීතියේ හැටියට නම් අවසර ලත් තැන් හී හැර දැන්වීම් ඇලවීම තහනම් වේ. එහෙත් ලංකාවේ නීතිය, නිරන්තරයෙන් විහිළුවට ලක් කරමින් දැන්වීම් අලවන්නෝ තැනක් නො තැනක් නො බලා දැන්වීම් අලවති. ඒ හැර තීන්ත වලින් බිත්ති වල ලියති. දැන්වීම් සඳහා යන කඩදාසි නම් කෙතෙක් විය හැකිද? සමාජ සමානාත්මතාවය කෙසේ වෙතත් පොතක් පැන්සලක් ලබා ගැනීමට නො හැකි, ළමුන් කී දෙනෙකු ට මේ කඩදාසි උපයෝගී කොට ගෙන පොත් සැපැයිය හැකිද? නො තැන දැන්වීම් ඇලවීම වැලැක්විය නො හැක්කේ ඇයි? දැන්වීමක් ඇලවූ වහාම එය අයිති කා හට දැයි, ඕනෑම කෙනෙකු හට කිව හැක. චිත්‍රපටියක් නම් එහි නිෂ්පාදක, අමතර අධ්‍යාපනික ආයතනයක් නම් එහි අයිතිකරු ආදී වශයෙන් ඕනෑම දැන්වීමක අයිතිකරුවෙකු සොයා ගත හැක. (හැබැයි ඉහත කී හොර ගෑනු ගැන ගැසූ කැලෑ පත්තර වල නම් අයිතිකරුවෙකු සොයා ගැනීම ට නො හැකිව වනු ඇත.)
බසයේ නිවෙස බලා යද්දී ඉහත කී DG ගැන ගැසූ කැලෑ පත්තර දැන්වීම් වල කියැවුනු "DG ගෙදර පල!" යන්න කියැවූ මගේ මිතුරෙකු කීවේ එය ගසා ඇත්තේ DG ගේ හාමිනේ බවයි. ඒ කුමක් නිසාදැයි මම විමසුවෙමි. 

"මේක නේ මචං, මිනිහා ගෙදර එන්නේ නැතිව ඇති, ඒකයි ගෙදර පල කියලා ගහලා තියෙන්නේ"

2010-08-02

නිලන්ත පියසිරි විසින් 21:45 පැයට
2

සිය දිවි හානි කර ගැනීමේ මහඟු ආදර්ශය

අද පත්තරයක වූ යේ "රියන්සි දුන්නේ මහඟු ආදර්ශයක්" නම් වු මැයකි. තමා ගේ පණ නසා ගැනීම කිනම් වු නිදසුනක් ද? එය කුමන ආගමකට/දසුනකට අනුව වුවද මහත් වූ මුග්ද නපුරු වැඩකි. මෙය මහඟු නිදසුනක් යැයි කීමෙන් වන්නේ තම පණ නසා ගැනීමට  තව තවත් ආවැඩීමකි, පොහොර සැපයීමකි. තම දිවි තොර කර ගන්නේ තමාට පමණක් නොව ජීවත් ව සිටින අනෙක් කිසිවකුට ද ආදරය නොමැති අයවලුන් නො වෙද? තම පණ නසා ගැන්ම පර පණ නැසීම වැනි වූ ක්‍රෑර කිරියකි. තම සිතැඟින ඉටු නොවේ නම්, අනුන් හෝ තමන් නැසිය යුතුය යන්න ආදර්ශයක් යැයි කියන පුවත් පත් ගැන කුමන කතාද? මා ගේ සොඳුරිය ගේ මයිලණුවන් ගේ සිය දිවි නසා ගැනීම හරහා මම මේ නපුරු ක්‍රියාවේ, අපුල හොඳින් අත් විඳ ඇත්තෙමි. එබැවින් කිසිඳු කලක තම පණ නසා ගැනීම ආදර්ශයක් නම් නො වන්නේය.

2010-07-30

නිලන්ත පියසිරි විසින් 15:38 පැයට
2

නපුරු නයා

ඊයේ රෑ නින්දට පෙර දුවනිට කියැවූ කතන්දරයේ වූ යේ නපුරු නයෙක් කාක්කෝ දෙපළක ගේ බිත්තර කන බැවින් එය වලක්වා ගැනීමට කපටි නරියෙකු ගෙන් උපදෙස් ලබා ගෙන රටේ රජු ගේ අග බිසව නාන තොටුපලෙන් මාලයක් ගෙනවුත් නයා ගේ බෙනය ඉදිරි පිට දැමූ පසු රාජ සේවකයෝ අවුත් නයා මැරූ බවට කියැවෙන කතාවකි.

අද උදයේ පෙර පාසල් යෑමට කෑම කවන වේලේ,

"අප්පච්චි, මම තමයි නපුරු නයා" යැයි දුවනි කීවාය.

"ඒ මොකද දුවනි?" මම ඇසුවෙමි.

"ඇයි, අර ඊයේ රෑ කියපු කතාවේ ඉන්න නපුරු නයා" ඇය කියන්නීය.

"හැමෝම කැමති, හොඳ කෙනෙක් වෙන්න නේ, ඇයි ඔයා නපුරු නයා වෙන්නේ?"

"ඉතිං, දැන් මං කන්නේ බිත්තර නේ, ඒ නිසා මම නපුරු නයා"

ඒ වේලාවේ මම ඇයට කවමින් සිටියේ බත් සමඟ බිත්තරයකි. අපූරුයි නොවැ පොඩි වුනත් තර්කය... මම සිතුවෙමි.

2010-07-21

නිලන්ත පියසිරි විසින් 23:38 පැයට
3

හොඳ ජාතියේ බල්ලෙක්

ඔන්න අද පොඩි හමුදා කතන්දරයක් කියන්නයි යන්නේ. මේ කතන්දරේ උපයෝගී කොටගෙන කාටවත් අපවාද, මඩ ගහනවා එහෙම නෙමෙයි ඕං, ආයුබෝවන්ඩ. මේක ඇහුවහම මට පණ යන්න හිනා ගිය නිසයි ලියන්නේ. අපේ බ්‍රිගේඩිය(ර්) තුමෙකු ගේ හාමිනේ ට හොඳ ජාතියේ බල්ලෙක් හදා ගන්න ආසවක් ඇති වුනා කියමුකෝ. ඉතිං මේ දොලදුක අපේ බ්‍රිගේඩිය(ර්) ට කිව්වා. ඔය කාලේ ත්‍රස්ත කැරැල්ල මැඩලමින් යන දින වකවානු වල. ඉතිං බ්‍රිගේඩිය(ර්) බැළුවා, යුද්දෙන් අනාත වෙච්ච හොඳ බල්ලෙක් හදා ගන්න එක පිං සිද්ද වෙන වැඩක් කියලා (නැතිව මුදලේ අගය එහෙම බලලා නෙවෙයි ඕං), යුද්දේ දරුණුවට ම යන පැත්තක ඉන්න අපේ ක(ර්)නල් කෙනෙකුට කිව්වා, 

"මචං ඔය පැත්තේ හොඳ ඇල්ෂේශන් වර්ගයේ බල්ලෙක් එහෙම යන එන මං නැතිව ඉන්නවා නම් මට කියපන්"

කියලා. ඔහොම ටික දවසක් යන කොට ක(ර්)නල්ට හොඳ බල්ලෙක් අනාත වෙලා ඉන්නවා හමුවුනා. 

"ස(ර්), වැඩේ හරි හොඳ ඇල්ෂේශන් බල්ලෙක් ඉන්නවා, කොහොමද ස(ර්) ට දෙන්නේ?, හැබැයි ඌ ට කතා කරන්න ඕනේ ඉංග්‍රිසියෙන්"

මේ වෙලාවේ මේ බ්‍රිගේඩිය(ර්) ඉන්නෙත් යාපනේ පැත්තේ. 

"ආහ්, හරි මචං, එහෙනම් ඔය ක්වා(ර්)ට(ර්) මාස්ටර් අතේ, ඔය බල්ලව අපේ ගෙදර ට යවපං මචං, පින් සිද්ද වෙයි"

දැන් ඔන්න බල්ලව ලොරියක දාගෙන ක්වා(ර්)ට(ර්) මාස්ටරු යි, තවත් කොල්ලෝ දෙන්නෙකු යි එනවා කොළඹ. ටික දුරක් ඇවිත්, පොඩි අඩියක් ගහලා යමු කියලා නැවැත්තුවේ නැතෑ තල් රා වඩියක. අනේ තල් රා ගහලා ලොරියට ඇවිත් බලනකොට බල්ලා පැනලා ගිහින්. දැන් මොකද කරන්නේ? මුළු පැත්ත පලාතෙ ම බල්ලා හෙව්වා, හොයා ගන්න නැහැ. දැන් මේ කතාව බ්‍රිගේඩිය(ර්) ට කිව්වොත් රස්සාව සිලිප් වෙනවා විතරක් නොවේ බෙල්ල ත් සිලිප් වෙන නිසා, ලඟ පාත හිටය තඩි වල් බලු රජෙක් ව දාගෙන ඔන්න දැන් යනවා බ්‍රිගේඩිය(ර්) ගේ ගෙදරට.

දැන් බ්‍රිගේඩිය(ර්) ගෙදර හාමිනේ ට කියලා..

"ඩාලිං, ඔන්න අද ගෙනත් දෙයි, හොඳ බල්ලෙක් ගෙදරට, හැබැයි, ඌට ඉංග්‍රිසියෙන් කියන ඒවා විතරයි තේරෙන්නේ?"

ඔන්න දැන් බල්ලා බ්‍රිගේඩිය(ර්) ගේ ගෙදරට ගෙනත් දුන්නා කියමුකෝ. දැන් මේ වල් බලු දඩෝරියා ගෙදර බැඳලා දාලා, මූ බෙරිහන් දෙනවා ගෙවල් සේරම උඩ යන්න. අනේ කවදා බැඳලා දාල හිටිය වල් බල්ලෙක් ද? දැන් බ්‍රිගේඩිය(ර්) ගේ නෝනා දෙනවා දෙනවා ඉංග්‍රීසියෙන්, මේ වල් බල්ලා දන්න ඉංගිරිසියක් නැති නිසා මූ තවත් උඩුබුරලනවා. 

"අනේ මූට ඉංගිරිසි තේරෙන්නේ නැහැ" 

කියලා, ලඟ පාත ගෙදරක වැඩට හිටිය දෙමළ මනුස්සයෙකුත් ගෙන්න ගෙන දෙමළෙනුත් බල්ලාට කියලා, අනේ කිසි දෙයක් අහන්නේ නැහැ, මූ උඩු බුරනවා.

දැන් හාමිනේ, බ්‍රිගේඩිය(ර්) ට කියලා..

"අනේ මේකා මොන බල්ලෙක් ද, මූට කිසි දෙයක් තේරෙන්නේ නැහැ, මූ කැලෑ බල්ලෙක්" කියලා.

ඔන්න බ්‍රිගේඩිය(ර්) ක(ර්)නල්ට කතා කරලා කියනවා...

"මොකාද බං අර එවපු බල්ලා, අපේ හාමිනේ කියන්නේ ඒකා මහ වල් බල්ලෙක් කියලා"

"පිස්සුද? ස(ර්), ඒකා නියම බල්ලා, මගේ ගාව කිහිප දවසක් හිටපු එකානේ, ඉන්න කෝ ස(ර්) මං හෙට අනිද්දා ඇවිත් බලලා යන්න, ඌට තවම තැන ගැන නිනව්වක් නැතිව ඇති"

දැන් මේක ක්වා(ර්)ට(ර්) මාස්ට(ර්) අහගෙන ඉන්නවා.. අපොයි, ක(ර්)නල් ගෙදර ගියොත් රස්සාවත් සිලිප් වෙනවා, දුරකතනයෙන් ගත්තා බ්‍රිගේඩිය(ර්) ගේ ගෙදර. අරගෙන ගෙදර ආරක්ෂාවට ඉන්න පොරගේ ගෝලයෙක් වෙන සොල්දාදුවෙකුට කිව්වා, යකෝ, ඔය බල්ලාව ලිහලා දාපන්, උඹට පිං සිද්ද වෙනවා"

ඔන්න ටික දවසකින් බ්‍රිගේඩිය(ර්) ගේ හාමිනේ කතා කරලා කියනවා "අනේ අර බල්ලා පැනලා ගිහිල්ලනේ"

අන්තිමට පොර බේරුනා. (පොර කිව්වේ බල්ලයි, QM දෙන්නම) 

(ස්තුතිය - කතාව කිව්ව සුසන්තට)

2010-07-20

නිලන්ත පියසිරි විසින් 14:45 පැයට
1

බනින්න කෙනෙක්

"ප්‍රභාත් වික්‍රමසිංහ ගේ දුවට ත් ඩෙංගු හැදිලා." කියලා ආරංචික් ලැබුනහම හිත බොහොම සසල විය. ඊට පළමු සතියේ අපි දෙන්නා ත් එකතු වෙලා වටපිටාව පිරිසිඳු කළෙමු. අප ගේ නිවෙස් ලඟ ඉඳි කෙරෙන නව ගොඩනැගිල්ලේ බාස් උන්නැහැලා විසින් රෑට රෑට හිස් කළ අරක්කු බෝතල් සියයකට වඩා කානුවක් අයිනේ තිබී සොයා ගතිමු. අපේ දරුවන්ට ඩෙංගු මඳුරුවා කරන වින්නැහි, ඒ උන්නැහැලාට ගණනක් නැහැ නොවැ.

මඳුරුවෝ හඳන්නේ අපි, උන්ට සැප වාසස්ථාන, තනන්නේ කවුද? අපේ මිනිස්සු. ඒත් කතා කරලා බලන්න එපැයැ, අපේ අයගේ ආදුරුසමත් ජීවිත ගැන. හැමෝම බනින්නේ ආණ්ඩුවට හරි, තව කවුරු හරි මිනිහෙකුට. බ්ලුමැන්ඩල් කුණු ගොඩ ගැන බනින්න කී දෙනෙක් ඉන්නවද? ඒත් කීයෙන් කී දෙනාද, වීදුරු, ප්ලාස්ටික්/පොලිතින් සහ දිරන අප දෑ වෙන වෙනම ඉවත දාන්නේ? සුද්ද කරපු මාළු බොකුයි, පොඩි එකා ගේ අසූචියි, පොලිතින් මල්ලයි, වීදුරු බෝතලයයි එකට දමපුවහම කවුරුද ඕක වෙන් කරලා ප්‍රතිචක්‍රි කරණය කරන්නේ.

මේ ලඟදී අපූරු පුවතක් තිබුනා කොළඹ සරසවි බිමේ, පොලිස් විශේෂ බලකාය ඩෙංගු මර්දන ව්‍යාපාරයක් කරලා, හිස් අරක්කු බෝතල් දුසිම් ගණනක් ඉවත් කළා කියලා. ඒත් උදාහරණයකට දැන් ලඟ ඉන්න කෙනා එක්ක වචනයක් දාලා බලන්න ඩෙංගු වලට වග කියන්න ඕනේ කවුද කියලා. අනිවාර්යෙන්න ම කිහිප දෙනෙකුට පලු යන්න බනියි.