2010-05-06

නිලන්ත පියසිරි විසින් 23:42 පැයට
10

පොල් ලෙල්ලක්

කාර්‍යාලයෙන් එළියට බහිනකොටම අපේ ගෙදර උන්දෑ (හරි වචනේ සොඳුරිය) ඇමතුමක් දුන්නා.
"දුවනිට හෙට ළදරු පාසලට ගෙන යන්න පොල් ලෙල්ලක් ඕනේ" 

බොහොම අයට ඉතින් පොල් ලෙල්ලක් නම් සුළු දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් නාරාහේන්පිට නිළ නිවාස වල නොවැ අප ජිවත් වෙන්නේ. 

කොහෙන්ද දැන් පොල් ලෙල්ලක් හොයන්නේ....... පාරට බට වෙලේ පටන් මඟ දිගට දෙපැත්තයි, කුණු ගොඩවලුයි, හැම තැනමයි ඇස් දෙකෙන් පිරමිනුයි ආවේ. බොරැල්ලෙත් පොල් කඩ දෙක තුනකටම ගියා. නමුත් කොහේ වත් පොල් ලෙල්ලක් නම් හොයා ගන්න නැහැ. පොල් මුදලාලි කියනවා, දෙමටගොඩ හරියේ පොල් ලෙලි ගහන තැනක් තියෙනවා එතනට යන්න ලු. මදැයි, මේ කියන විදිහට කුරුණෑගල යන්න වෙන විදහක් තියෙන්නේ පොල් ලෙල්ලක් හොයන්න. මේ වැඩේ හරියන්නේ නැහැ, ගෙදර යන්නත් පරක්කු වෙනවා, වැඩේ අල්ලලා දානවා කියලා ගෙදර එන අතරතුරේ තැඹිලි කෝම්බයක් දැක්කා.

ගත්තා සොඳුරියට ඇමතුමක්, "පොල් ලෙල්ලක් නැහැ, තැඹිලි කෝම්බයක් තියෙනවා ගේන්නද?"

"ඔයාට පිස්සුද? තැඹිලි කෝම්බ හරි යන්නේ නැහැ"

මටත් දැන් හෙම්බත් වෙලා.  "එහෙනම් ඉතිං පොල් ලෙලි නැහැ, මම එනවා ගෙදර"

ගෙදර ඇවිත් බලනකොට අනේ අපේ හාමිනේ ලඟ පාත ගෙදරකින් හද්ද පරණ, කරකුට්ටන් වෙච්ච පොල් ලෙල්ලක් කොහොම හරි හොයා ගෙන, ටිකක් පිම්බිලා එන්න කියලා නාන කාමරයටත් දමලා. 

ඔන්න ඔහොමයි අපේ තත්වේ, අඩු තරමේ පොල් ලෙල්ලක් වත් හදිසියකට හොයා ගන්න මේ පැත්තේ නම් නැහැ. 

ඉතිං මෙච්චර අමාරුවෙන් හොයා ගත්ත පොල් ලෙල්ලට මොකද කළේ කියලා පහුවදා මං දුවනිගෙන් ඇහුවා.

"අප්පච්චි අපි ඒකේ ගම් ගාලා ගාලා කඩදාසියක් ඇලැව්වා"

අපොයි බර ගානක් දීලා ළදරු පාසලට බාර දුන්න chemifix ගම් බෝතල් වලින් කරන්නේ පොල් ලෙලි වල උලලා උලලා කොල අලවන එකද? කියලා මට හිතුනා.

මොනවා කරන්නද? පූර්ව ළමා විය සංවර්ධනේ නොවැ. අපි පොඩි කාළේ අපිට ඔය සංවර්ධනේ නොකළ නිසා නොවැ මෙහෙම ඉන්නේ... එහෙම නේද?

2010-05-03

නිලන්ත පියසිරි විසින් 14:39 පැයට
5

බසයේ ගමන

අම්මෝ අද නම් උදේ බසයේ ආවා නෙවේ, බසය උස්සන් ආවා වගේ. PT පාරක් යන්න නම් දැන් උපරිම සූදානම්, ඔක්කොම stretching කරලා ආවා වගේ තමයි. ඒ අස්සේ බස් පලුවා රු. 20/- අරගෙන මුණ දිහා බලලා ඉස්සරහට ගියා ඉතිරි නොදී. ඔය සෙනඟ ගොඩේ ඉස්සරහට යන්න පුළුවන් ඌට ම තමයි. දැන් කොහොමද, ඉතිරි ඉල්ලනේ. පස්සේ ඉල්ලන්න හිටියොත් ඉන්තේරුවෙන්ම අමතක වෙනවා. දැන් මොකද කරන්නේ කියලා හිතන කොටම එකෙක් මාවත් අරගෙනම බස් එකෙන් බහින්න උත්සහය. බොහොම අමාරුවෙන් පොල්ලේ එල්ලිලා හිටියා. හොඳ ගානට අත ඇදුනා. කොහොම හරි බහින හරියට එනකොට හැමෝම බැහැලා ඉවරයි. බස් පල්ලා මාව මතක නැහැ වගේ ලඟින් යනවා. 

"කෝ ඉතිරි" මං ඇහුවා.

"කීයද මහත්තය දුන්නේ?" කොන්දොස්තර තොත්ත බබා දැන් ඉපදුනා චගේ.

"රු. 100/- නේ දුන්නේ?" මාත් ඇඟට පතට නොදැනී කිව්වා.

"රු. 100/- කොහෙද මහත්තයා, රු. 20/- දුන්නේ?" කොහොමද උන්දෑ ගේ මතකය. ලඟින් යන්නේ නම් මෙලෝ දෙයක් මතක නැති අංඟ විකලයෙක් වගේ.

"මතක නම් ඇයි අහන්නේ?, මට මතකද කියලා බලන්නද? මෙන්න මෙහෙ ඉතිරි දෙනවා."

උදේ හවස මේ ව්‍යායාම ටික ඇති, දවල් බතේ තෙල් ටික පිච්චෙන්න. ඒකයි බසයේ ගමනේ හොඳේ. 

2010-04-22

නිලන්ත පියසිරි විසින් 16:38 පැයට
1

අතීතයේ වැරැද්ද?

පසු ගිය දිනක රූපවාහිනියේ වූ සංවාදයකට සහභාගී වූ එක්තර විද්වතෙකු පැවසුවේ, අද අප මුහුණ දී ඇති තත්වයට බලපානු ලබන ප්‍රධාන වැරැද්ද 1956 දී ජාතික බස සිංහල කිරීම බවය. එවිට සංවාදය මෙහෙයවූ අය විමසුවේ "ඔබ 1956 දී ජාතික බස සිංහල කිරීම නිසා ස්වබසෙන් ඉගෙන ගත්තා නොවෙද?" යන්නයි.

මා කීමට යන්නේ අතීතයේ සිදු එම වැරැද්ද හෝ යහ ක්‍රියාව ගැන නොවේ. අපේ අතීතයට බැණ අඩ ගැසීමේ පුරුද්ද ගැනයි. අපට අතීතය නැවත ආවර්ජනය කරනවා හැර එය හැරවීමට නොහැකි බව දැන දැන ඒ ගැන දොස් පවරන්නේ ඇයි? මහසෙන් රජතුමා මහා විහාරය ගිනි තැබීම (මගේ මතකය නිවැරදි නම්) හෝ ජයවර්ධන ජනාධිපති වරයා විවෘත ආර්ථිකය ඇති කිරීම ගැන දුක්වීම/සතුටු වීම හැර අපට කළ හැක්කේ වත්මනේ හෝ ඉදිරියට එයින් වන අහිතකර බලපෑම් වලින් මිදීමේ මං සෙවීම පමණක් නොවෙද? බොහෝ දෙනෙක් අතීතය රස විදීම හෝ අතීතයට බැණ වැදීම කරති. නමුත් වත්මනේ හෝ අනාගතයේ අපේ රටේ/දැයේ/සමයේ උන්තිය උදෙසා කළ යුත්තේ මෙයයි යැයි නොකියති.

2010-03-26

නිලන්ත පියසිරි විසින් 11:16 පැයට
1

රස වින්දනය

මිනිස්සු බොහෝ දේ රස විදිනු යේ පුහුණු කිරීමකින් තොරව නොවැ. ඇත්තටම රස වින්දනය පුරුදු පුහුණු කළ යුතු දෙයක් ද? ගීතයක් රස විදින්නේ මෙහෙමයි, චිත්‍රයක් රස විදින්නේ මෙහෙමයි කියා කියා දිය යුතුද? එසේ නැතිනම් මිනිසා තුල නිසඟයෙන් ම ඒ කුසලතාවය පිහිටනවාද? සමහර දිනයන් හී මම මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස බලා යන්නෙමි. ඒ මඟ වැටී ඇත්තේ විහාරමහා දේවී උද්‍යානය අසලින් බැවින් එහි පාර අයිනේ තිබෙන චිත්‍ර සියල්ලම බලා ගෙන යාමට අපට අවසරයක් ලැබේ. එහි වන නෙක පැහැ ගැන්වූ බොහෝ චිත්‍ර වලින් එක වරම කිසිදු අදහසක් මට නම් පහල නොවේ. මගේ මිතුරාට ද එසේමය.
"මොකද බං මේවා බර ගනං දීල මිනිස්සු අරගෙන යන්නේ, මොනවද මේවායේ තියෙන්නේ" යාළුවා අසයි.
ඇත්තෙන්ම මටත් ඒ ගැන නම් අදහසක් නැත. එහෙත් මෙහි යම් ආකාරයක රස විඳීමක් තිබිය යුතුමය. ඒක සමහර විට සමහරු මාමයිට්/වෙජිමයිට් වලට කැමැතියි සමහරු අකමැතියි වගේ ද දන්නෙත් නැහැ.
ගීතය වුවත් එසේම නොවැ. දැන් මේ දින වල කතා බහේ තිබෙන අකොන් හෝ එකොන් නැමැති ගායකයා ගේ ගීත හයිටි, ඩොමිනික් ජනරජයේ ආදි රටවල ජාතික ගීත මෙන් ජනප්‍රිය වේ. ඒ ඔවුන් ගේ රසවිදීම. දැන් අපේ තිස්ස දොඩන්ගොඩ සහෝදරයා ගේ හද ගී පොත හි ඇති ගීත රස විදින්නෝ බොහොමයක් අකොන් හෝ එකොන් ට කැමැති නැති ශෛලයේ අය විය හැක. හද ගී පොතේ ඇති ගීත රස වින්දනය පුරුදු කළ අයවළුන් ට බවයි මගේ අදහස.
කෙසේ නමුත් මගේ අදහස නම් රස වින්දනය පුරුදු පුහුණු කළ යුතු බවයි. නමුත් පවතින මාධ්‍ය කිනම් නම් රසවින්දනයක් රටේ මිනිසුන්ට පුරුදු කරයි ද?
කුඩා යාන් හැල්ලකින් ලිපිය අවසන් කරමි. වරෙක අයෙක් චිත්‍ර ප්‍රදර්ශණයක් බැලීමට ගියේලු.
ඔහු එක්තර පින්තූරයක් දෙස ආශාවෙන් බලා සිටිනු දුටු එය පින්තාරු කළ පුද්ගලයා එහි පැමිණ,
"කොහොමද චිත්‍රය. හොඳයි ද?" විමසීය.
"ෂාහ් නියමයි. හරිම ලස්සනයි. කටට කෙළත් උණනවා" හේ කීවේය.
මුහුණ හකුලවාගත් සිත්තරා, "හිරු බැස යන දර්ශණයක් දැක්කාහම කොහොමද, කටට කෙළ උණන්නේ?"
"ආහ්, මේක හිරු බැස යන දර්‍ශණයක් ද?, මම හිතුවේ බිත්තර ආප්පයක් කියලා, සමා වෙන්න".
ඔන්න ඔහොමයි අපේ රස වින්දනය. 

2010-03-25

නිලන්ත පියසිරි විසින් 22:22 පැයට
2

රැයක් දවාලක් දන්නා බරවා පණුවෝ

ඊයේ සවස ගෙදර ඒමට බසයේ සිටියදී සිඟමන් යැදි කොළුවා තමා ගේ වයස අවුරුදු 23 ක් යැයි කීවේය. හේ හිඟමනේ යෙදීමට හේතුව ලෙස දක්වන ලද්දේ බරවා බැස තිබූ පය යි. හැබැයි ඒ කකුල දැක්කා නම් බරවා රෝගයේ භයානක කම හොදින් පෙනෙනවා. බොහෝ උග්‍ර රෝග මෙන්ම මෙම බරවා රෝගයේ සම්ප්‍රේශකයා ත් මදුරුවෙක්. හැබැයි මේ විදිහට මදුරුවා අරගෙන යන්නේ අනෙක් රෝග වල මෙන් වෛරසයක් හෝ බැක්ටීරියාවක් නොවේ. පණුවෙක් හෝ කීටයෙක්. ඉතින් ඔය පණුවෝ තමයි ඔය මහා විනාශය කරන්නේ. වැඩි පුර විස්තර විකියේ හොයා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ බරවා පණුවන් ගේ විශේෂත්වයක් තමයි ලේ මාර්ග වල උන් ගේ ගහණය වැඩි වෙන්නේ රාත්‍රී 10 ත් පාන්දර 2 ත් අතර වීම. හේතුව නම් තවමත් හොයා ගෙන නැහැ කියලා තමයි විකියේ කියන්නේ. නමුත් මගේ කතාව ඒක නොවෙයි.

ඉස්සර අප කුඩා කාලේ මාස හයකට වරක් වත් රෑ මැද ගෙවල් වලට අවුත් අපගේ ලේ ගෙන බරවා පරීක්ෂණ කළා. අම්මා අපව ඇහැරවා ගෙන සාලය මැද ට ගෙන එන්නීය. බොහෝ විට අප එන්නේ නිදමත පෙරමින් ය. ඇඟිල්ල අල්ලා කුඩා සැතකින් ඇන්න කල, නිදමත කැඩී පියවි සිහියට එන්නෙමු. වීදුරු කැබැලිවල අංක ලියමින් අපගේ නම් සඳහන් කරගනිමින් කෙරෙන එය මහත් වෙහෙසකාරී කාරියකි. මා හිතන්නේ එය නැතිව ගියේ ජවිපෙ භීෂණ යුගයේ විය හැකිය. පසු කලෙක බරවා පෙති හැමෝටම බෙදාගෙන යන ලදි. දැන් නම් එහෙමවත් නැත.
මේ සමාජ මෙහෙවර දැන් කෙරෙන්නේ නැත්තේ ඇයි? දැන් බරවා ලංකාවෙන් තුරන් වෙලාද? එසේ නම් අර සිඟමන් යදින කොළුවා අප්‍රිකාවෙන්වත් ආවාද? තවත් අපූරු කතාවක් කියා මම මෙය අවසන් කරන්නෙමි. 

අපේ අම්මා ගේ අතා කෙනෙක් සිටියේ ය. ඔහුට අම්මා ඇමතුවේ "දොස්තර ආතා" කියාය. ඒ සමහර විට ඔය රෝහලේ හෝ සෞඛ්‍ය පරීක්ෂක තනතුරක රැකියාව කරන බැවින් මිස ඔහු දොස්තර කෙනෙකු නම් නොවීය. ඔහූ බීමතට තදින්ම ඇබ්බැහි වී සිටි අයෙකි. වරක් ඔහුව ඔය රෑට බරවා පරික්ෂා කරන කාරිය සඳහා යොදවා තිබුණි. පරික්ෂා කරන දින හැන්දෑවේ පටන් තවත් මිතුරෙකු සමඟ හේ කරටි කැඩෙන්නට ගසා තිබුණි. රෑ මැදියම තෙක් බිවූ ඔහුට ඇවිදීමට තියා කෙලින් සිටීමට වත් නොහැකි විය. දැන් ඉතින් මොන බරවා පරික්ෂණ ද? 

"දීපන් උම්..ඹගේ අත" ඔහු යාළුවාට කීය. 

ඔහුගේ අත සිදුරු කොට සියළුම වීදුරු කැබැලි වල එම ලේ තවරා ඒ ඒ අංක වලට අදාල වන සේ ගමේ අය ගේ නම් ලියා. උදයේ, බරවා පරික්ෂා කරන තැනට බාර දුනි. 

පසුදා මුළු ගම පුරාම මහත් කළබැගෑනියකි. බරවා මර්දන අංශයෙන් කියන හැටියට මුළු කළපළුවාවටම බරවා සෑදී ඇත. 

අහෝ දොස්තර ආතා ලේ ගත් යාළුවාට බරවා තිබිලා නොවැ. ඔහු ගේ ජොබ් එකත් සිලිප් උනා කියලා තමයි කියන්නේ.

(කළපළුවාව යනු අපේ ගමයි)

2010-03-23

නිලන්ත පියසිරි විසින් 17:47 පැයට
4

පිරිමියෙක්ද?

දින කිහිපයක්ම මා මේ මනුස්සයා දැක්කා. කොණ්ඩේ කෙලින් කොට තඹ පැහැ ගන්වා,  අතේ සහ පයේ නිය රත් පැහැ කොට, තොල් සායම් කොට අතේ පච්චා කොටා ලාලිත්‍යයෙන් ඇවිදින පිරිමියෙක්. පිරිමියෙක් කීවේ වෙසෙසින් ම රැවුල වැවී ඇති බැවින්ය. මෙලෙස ද්විලිංගික හෝ ලිංගු භේදයක් නැති මනුස්සයෝ සිටිය හැකිද? මොවුන් සමාජ විකෘතීන්ද නැතිනම් සොබා දහමේ විකෘතීන්ද?

මෙම පුද්ගලයා ඇවිද යන මඟේ  ම, මා ද  මද දුරක් බසය සඳහා ඇවිද යා යුතුය. එබැවින් ඔහු දෙස බලා අවඥාවට හිනාවෙන පාසල් ළමුන්, තරුණයන් මම දකිමි. ඔහු ගේ මේ ද්විලිංගික පෙනුම මානසික විකෘතියෙක් නම් එළෙස ගර්භාවට ලක් විය යුතුද? මේ මනුස්සයා කුමණ හෝ ලිංගයක් වෙත නැවත තල්ලු කළ නොහැකිද?

ඉංගිරිසියෙන් Hermaphrodite යැයි කියැවෙන්නේ වර්ගය බෝ කිරීම සඳහා ලිංගයන් දෙකම පිහිටීම වේ. ඔය නම ඇවිත් තියෙන්නේ ග්‍රීක මිත්‍යා කථා වල Hermaphroditus නම් සුළු දෙවියෙකු ගේ නමින් නොවැ. ඒකත් අපූරු කථාව.

ඇප්‍රොඩිට් සහ හර්මිස්ට දාව ඉපැදුන මේ දරුවා ඔවුන් ගේ නමින් හර්මාප්‍රොඩිටස් නමින් නම් කෙරුවා ලු. පහලොස් වියේදී කඩවසම් බවට පත් වූ මේ කොළුවා හදා වඩා ගෙන ඇත්තේ ද සුරංගනාවියක් විසින්. ඔන්න ඔය කාලේ දී ඒකාකාරී ජීවිතය ගැන එපා වුන කොල්ලා එහෙ මෙහෙ ඇවිදින්න පටන් අරගෙන තියෙනවා. ඔහොම යද්දී එක්තරා පොකුණකට අරක් ගත්ත සුරංගනාවියක් (අපේ කතා වල තමයි පොකුණු/විල් වලට යක්කු අරක් ගෙන තියෙන්නේ) හමු වෙලා තියෙනවා. ඉතිං මේ සුරංගනාවිට මේ කොලුවා ගැන අදහසක් පහල වෙලා ඔහුව පොළඹවා ගන්න උත්සහ කළත් ඔහු එයට කැමති වී නැහැ.  පසුව  මේ සුරංගනාවී ගියා යැයි සිතා, හර්මාප්‍රොඩිටස් ඇඳුම් උනා දමා පොකුණට බැස්සා. එහෙත් ගස් වලට මුවා වී සිටි අර සුරංගනාවි එක්වරම පසුපසින් පොකුණට පැණ හර්මාප්‍රොඩිටස්ව බලෙන්ම සිප වැලද ගත්තේ ලු. ඔහු ඇයගෙන් ගැලැවීම ට දඟලන කල සුරංගනාවී ඔවුන් ව වෙන් නොකරන ලෙස දෙවියන් ගෙන් ඉල්ලීමක් කළේ ලු. අපොයි ඉල්ලීම ඉටු විය. ඔවුන් ගේ ශරීර එකතු වී ගැහැණු පිරිමියෙක් ඇතිවිය. ලජ්ජාවට පත් හර්මාප්‍රොඩිටස්, එම පොකුණට බසින හැමෝම එලෙස විය යුතු යැයි ශාපයක් කළේලු.

ඔහොමයි ග්‍රීක කතාව.  එතකොට අර මනුස්සයත් ඔය පොකුණට බැස්ස කෙනෙක් ද නැති නම් වැටුන කෙනෙක් ද? 

2010-03-18

නිලන්ත පියසිරි විසින් 12:03 පැයට
1

කැරැලයින් ආච්චි

අම්මා ගේ නැන්දනියක් වූ බැවින් අපේ ආච්චී වූ කැරැලයින් ආච්චි ගේ අවසන් කටයුතු සඳහා ඊයේ සහභාගී වූයෙමි. අම්මා කඩේ නැන්දා කියන බැවින් අපි කඩේ ආච්චී යැයි ඇයට කීවෙමු. වසර 93ක ජීවත් ව හොඳ සිහියෙන් ම පරලොව යෑම යම් විදිහක වාසනාවක් යැයි බොහෝ අය පැවසූහ. අප කුඩා කල වෙනත් වැඩකට වුවද ඇයගේ නිවස ඉදිරියෙන් හෝ ගියහොත් අනිවාර්යෙන් ම ඇගේ නිවසට යායුතුමය. ඇයට නොපෙනී නම් එතැනින් යා නොහැකිය. එසේ කැදවා ගන්නා අපට කෑමට යමක් දී එය රසවිදින අයුරු බලමින් ඇය සතුටු වන්නීය. ඇගේ නිවසේ කඩයක් පවත්වාගෙන ගිය බැවින් ඇය කඩේ ආච්චී විය. කඩේ ආච්චි සහ කඩේ සීයා අති ප්‍රේමණීය යුවලකි. ඔවුන් නිතරම සිටියේ මුවෙහි මදහසක් ඇතුවමයි. කඩේ ආච්චී සහ සීයා අතිශයින්ම ආයුර්වේද වෙදකම මත යැපුනෝ වෙති. ඔවුන් බටහිර වෙදකම ගැන විස්වාස නොකළහ. කඩේ සීයා බැවිල (බැබිල) ගස් සොයමින් ප්‍රදේශය පීරණු මා කුඩා කල හොදින් මතකය.
වසර 93 ක් ජීවත් වූ අයෙක් නිරන්තරයෙන් ම යුග ගණනක අත්දැකීම් ඇති පුස්තකාලයක් බඳු වීම වැලැක්විය නොහේ. ජීවත් වන අප සැම මරණය ලැබිය යුතුමය. ඒ ගැන පසක් කිරීම අසුබ දෙයක් නොවේ. අපේ කිරි අම්මා ජීවත් ව සිටින දින වල ඇය ගයන "තල මල" කවි, ඇය කියන කතන්දර ආදිය පොතක සටහන් කර ගතිමි. (සියල්ලම සටහන් කර ගත නොහැකි වීම ගැන තවමත් දුක් වෙමි.) ඒවා ඉදිරි පරම්පරාවන් සඳහා ගෙන යාම සංස්කෘතිය රැකගැනීම ම තමයි. එහෙත් කඩේ ආච්චී සතු වු ඒ දැනුම නම් ඔවුන ගේ මුණුබුරන්, මිණිපිරියන් විසින් ලබා නොගත් බව නම් මම සක් සුදක් සේ දනිමි. ඉදින් සංස්කෘතික පරිහාණිය ගැන කතා කිරීමේ තේරුම කිම.