2012-04-10

නිලන්ත පියසිරි විසින් 13:11 පැයට
6

මෙහෙම අපිට හෙන වදීවිද?

ඊයේ හැන්දෑවේ වැස්ස ගැන නොකිවමනාය. ව්‍යායාමයට ඇවිදිල්ලත් ඒ වැස්සත් සමඟම හේදී ගියේය. කාර්යාල වේලාවෙන් පසු බස් නවැතුමට දිව ගියේ කුඩයකුත් මා නො ගෙනා නිසාවෙනි. බස් නවැතුම කී මුත් කිසිඳු ආවරණයක් එහි නොමැත. එබැවින් මා වැස්ස තුරල් වන තෙක් සිටියේ ලඟ තිබූ බැංකු ගොඩනැගිල්ලේ අඟුපිලෙහිය. මා අසලින් ම අයෙක් ජංගම දුරකතනයකින් කථා කරමින් සිටියේය. එකෙනෙහි සරම කැසපට ගසා ගත් අයෙක් "A T M" යන්ත්‍රය වෙත දිව ආවේය. ඔහු එතැනට ආවා පමණි, පලාතම එළිය කරමින් විදුලි සැරක් අහසේ ඇඳුන අතර මහ හඩින් අකුණක් පිපිරීය. 

"යකෝ තෝ අපිව මරන්නද හදන්නේ? උදේ ඉඳන් රෑ වෙනකල් ටි.වී. වල, රේඩියෝ වල කියනවා අකුණු ගහන වෙලාවට ටෙලිෆොන් පාවිච්චි කරන්න එපා, ටී.වී. දාන්න එපා කියලා. උඹ විතරක් නෙමෙයි ලඟ පාත ඉන්න අපිත් මැරෙනවා. ඔෆ් කරපන් ඕක. ඕෆ් කරපන් ඕක." සරම හැඳ ගත් පුද්ගලයා බැන වැදීමට පටන් ගත්තේය. ඔහු තරමක් බමණ ගතියෙන් ද සිටින බවක් මම දුටිමි. දුරකථනයේ සිටි පුද්ගලයා ද සැනෙන් එය අක්‍රිය කොට ලැජ්ජා බරිතව වට පිට බලා බස් රියක් දක්වා දිව ගියේය.

ඇත්තෙන් ම ජංගම දුරකතනයන් හී භාවිතා කරන්නේ ගුවන් තරංග නම් ඒවා විදුලි සම්ප්‍රේශණය කරයිද? තවද ඇන්ටනාවක් සම්බන්ධ නොකොට රූපවාහිනිය බලයි නම් එයට අකුණු ඇද ගැනීමේ ප්‍රවණතාවයක් වේද? මා දැනට දන්නා පරිදි නම් ගුවන් තරංග විදුලිය ගමන් ගන්නා මාධ්‍යයක් නොවේ. එහෙත් රැහැන් ගත දුරකතන ආදිය නම් එසේ වෙයි. අකුණු සහිත වේලාවක හොඳම පණිවිඩ හුවමාරු කරගැනීමේ ක්‍රමය ජංගම දුරකතනය වන බව අයෙක් කියනු මම අසා ඇත්තෙමි.   

6 අදහස් දැක්වීම්:

තිස්ස දොඩන්ගොඩ said...

විද්‍යාවෙන් විස්තර කරන හෑටියට වෙන්නට හෑටියක් නෑ නේද?

"ස්ථිති" විද්‍යුතය "ධාරා" විද්‍යුතයක් වෙන්න සන්නායකයක් ඕනෑ; ඕනෑ කරන දේවල්;
1. විරුද්ධාරෝපිත තැනක්
2. ගලායාමට මාධ්‍යයක්
3. විභවයක් [විභවය අනුව මුලින් පරිවාරකයක්ව තිබූ මාධ්‍යයක් සන්නයාක ගුණ පෙන්වන තත්වයට එන්න පුලුවන් - උදාහරණ ලී]

විදුලි උපකරණ පාවිච්චි කරන්න එපා කියන්නේ

1. Resistive Coupling කියන තත්වය එන නිසා..

2. පොලවට පතිත වෙන ධාරාව අපේ භූගත කම්බිය දිගේ හෝ
වෙනතැනකට පතිතවෙන්න ගමන් කරන ධාරාව පිහිටි මාර්ගයේ ඈති සන්නායක හරහා Induction Current - අර ඩයිනමෝවක වාගේ - අධීක ධාරාවක් ඈති වන්න පුලුවන් නිසා

වැඩිදුර විස්තර BS EN 62305 කියන බ්‍රිතාන්‍ය පිරිවිතරයේ හොඳට තියේ - ඕන්නම් එවතෑකි

Harshana said...

@තිස්ස දොඩන්ගොඩ මහතාණෙනි, මෙහි දී ජංගම දුරකථනයට අකුණු සැර වදින්නේ නෑනේ ... ඒ අනුව

තිස්ස දොඩන්ගොඩ said...

ඒ වගේ මටත් හිතෙන්නේ - ඒත් වෙන මක්ක හරි ආචරණයක් කවුරු හරි නිර්මාණය කරල සම්බන්ධතාවයක් හැදුවොත් එ නිසා වැදුණ වෙන්න පුලුවණි - දැනට තියෙන දැනුම එක්ක නම් වදින්න බෑ වගේ හර්ෂණ - ඔබ හරි

Chanaka Aruna Munasinghe said...

http://www.amta.org.au/pages/Mobile.phones.and.lightning

නිලන්ත පියසිරි said...

තිස්ස, ඔබ හරි වදින්න නම් විදිහයක් නැහැ, විද්‍යාව අනුව. ඒත් භාවිතය අවම කරන්න කියලා නම් උපදෙස් ලැබෙනවා. විද්‍යාව අනුව රූපවාහිනියේ සහ ගුවන් විදුලියෙත් මේක විස්තර කරනවා නම් හොඳයි. මොකද අර වගේ මිනිසෙකුට තවත් කෙනෙක් ව පහත් කරලා කතා කරන්න වෙන්නේ නැහැ එතකොට. හැබැයි ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. සමහරු ඒක වැරදියට තේරුම් ගෙන, අකුණු ගහන වෙලාවට රූපවාහිනි හෝ රැහැන් ගත දුරකතන බාවිතා කරන්න පෙළඹෙන්නත් ඉඩ තියෙනවා. හැමෝටම තේරෙන්න, ඕක පාවිච්චි කරන්නම එපා කියලා කියන එක ඒ විදිහට ගත්තොත් හරි.

තිස්ස දොඩන්ගොඩ said...

"හැබැයි ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා.."
හැබෑම නේන්නම් - ඔන්න ඕක තමා වෙන්නේ විද්‍යාව පැත්තෙන් විතරක් හිතන්න ගියහම නේද...
ප්‍රායෝගික ව්‍යවහාරය අමතක වෙනව...
ඔව් අර කිව්වත් වාගේ අකුණු ගහන වෙලාවට ජංගමයකින් රැහැන් දුරකථනයකට ඇමතුමක් ඇරන් අනෙක් කෙලවරේ ඉන්න කෙනාව අනතුරකට ඇදීමත් වෙන්න පුලුවන් - ඒනිසා කෙටියෙන් "ඕනැම නෑ ඒ වෙලාවට" කීවම පහසුයි තමා